Monday, April 13, 2020

සිත්වල ඇති කොරෝනා- තොටවත්ත හා මෝදර කොල්ලා

කොරෝනා කාලේ කාගේත්  සිත් නිදහස් ව තිබේ.ඇත්තටම මෙය අලුතෙන් කල්පනා කිරීමට හොඳම අවස්ථාවකි. ලැබෙන විවේකය අන්තර්ජාලය ඇසුරු කරමින් දැහැමෙන් සෙමෙන් ගත කරමු.


 තෙද ඇති ශාස්ත්‍රකරුවෙක් මේ බිමේ වෙයි. ඔහුට පැසසිය යුතු මට්ටමේ ඥාන සම්භාරයක් ඇති බවද කිවයුතුය.  ඔහු අනාවැකි කියා අතේ කයිතන් වූ අයෙක් බව නොකියාම බැරිය.වෙනත් සාත්තරකාරයන් සේම ඔහු කරන්නේද දක්ෂ අනුමාන කිරීම්ය. බල්ලෙක්වත් ආයෙ එන්නෑ කියපු කතාව මෙන්ම ප්‍රසන්න පුද්ගලයෙක් එනබව කීවේද එසේ අනුමාන කිරීමෙනි.

මේ ශාස්ත්‍රවන්ත සාත්තරකාර තෙමේ විවිධ දෙවිවරුන්ට දෝෂදර්ශනයට ලක් කර වීඩියෝ මුදාහරින අතරේ අග්‍ර දෙවිදුටද නිග්‍රහ කර වීඩියෝවක් මුදා හැරියේය. මෙය දුටු මා සිතුවේ මේකටනම් බබා හම්බෙන බවය. මට පරන කතාවක් මතක්වේ.

එක් පියෙක් තම අවසාන මොහොතේ පුතෙකුට අවවාද තුනක් කළේය. මුලින්ම කීවේ හරක් කුලප්පු නොකරන ලෙසයි .අනෙක් අවවාද මට මතක නැත. මේ පුතු හරක් පට්ටියක් දුටු විගස සිය ඇඹෙනිය හා ලහියේ පලා යයි. ඔහුගේ ආර්යාවට මෙය මහත් පැනයක් විය.

ඇය සිතේ සගවා ගෙන සිටි මේ ගැටලුව දිනක් මුදාහැරියේ සිත සන්සුන් කරගනු පිනිසය.

එම්බා වල්ලභය ! තෝ කුමක් හෙයින් ගව මහීෂාදීන් කෙරෙන් පලා යවුද? තෝ උමතුවෙන්දැයි පිළිවිසියාහුය.

එබස් ඇසූ පුරුෂයා සුසුමක් පහතට හෙලා බයබෝයි සොදුර ! මාගේ පියානනන් ගේ අවසන් වදන් වලට එරෙහි වන්නට මට බැරිය.ඔහු මරන මංචකයෙඩිහී කීවේ හරක් කුලප්පු නොකරන ලෙසයි.

එබසට සිනාසුන ස්ත්‍රිය මෙසේ දෙඩුවාය.

නුඹගේ පියානන් දුර දක්නා නුවනින් හෙබියේය. හරක් කුලප්පු නොකරන්න කීවේ අනෙකක් නොව ආගමිකයන් කුපිත නොකරන ලෙසයි.එසේ නැතිව මහීෂයන් එන විට පසු නොබලා දුවන්නට නොවේ"

ඉහත කතාවෙන්ද කියවෙන්නේ ආගමිකයන් යනු  කෝප ගැන්විය නොයුතු උත්තමයන් පිරිසක් බවයි. ඔවුන් අතරින්ද ඒබ්‍රහමික ආගමිකයන් යනු කිසිසේත්ම ( විහිලුවටවත් ) කෝපගැන්විය නොයුතු ඉතා උතුම් පිරිසකි.



ඒ අනුව අපේ ගම්වල සිටින මුරුතැන් බත්  පළතුරු මල් පිළිගන්නා මතු බුදුවෙන දෙවිවරු විවේචනය කළොත් බැතිමත්තු බොලව් බොලව් කියමින් කීබෝඩ් එකෙන් ජාතකේ විමසනු ඇත. ඔවුහු උපරිමව සමූහයකට මැදිව ගලක් ගසනු ඇත. එහෙත් අග්‍ර දෙවිදුන්ගේ බැතිමතුන් මෙසේ සිල්ලර වැඩ කරන අය නොවන බව ඉතිහාසය පෙන්වයි. මධ්‍යතන යුගයේ යුරෝපා ඉතිහාසය කියවා යම් අවබෝධයක් ලබා ගනු යෙහෙකි. යුරෝපයේ වෙනස් මත දැරූ අය ට සංග්‍රහ කිරීමට විවිධ උපකරන පවා අලුතෙන් සැදූහ. මායාකාරියන්ට සංග්‍රහ කිරීමට සෑදූ උපකරන කෞතුකාගාර වල දැකිය හැක. විද්‍යාවේ අන්ධකාරයෙන් හා මානව ශිෂ්ටත්වයේ අන්ධකාරයෙන් අග්‍ර දෙවිදුගේ  ප්‍රභාව අද මදක් යටපත් වී තිබෙන බව කනගාටුවෙන් වුව කිව යුතුය.


අග්‍ර දෙවිදුගේ බැතිමතුන් ආසියාවේ අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ මිත්‍යාදෘෂ්ටිකයන් ගැන විස්සෝප වී ඔවුන් දෙව්ලොව යැවීමටද කාරුනික වූහ.
කෙසේ වෙතත් අග්‍ර  දෙවිදු වෙනුවෙන් පෙනී සිටින  වැඩිමහල් සොහොයුරන් දෙදෙනා අද සාමකාමීව සිටියත් බාල සහෝදරයා තවම චන්ඩිකම් කරයි. ඒ ඔහු තවම වැඩිවියට පත්වී නැති නිසාය.

ඔහු වැඩිමහලු සහෝදරයන්ටද ඉදහිට සත්තම දාන බව නිව්ස් ඇසූ විට පෙනේ. අග්‍ර දෙවිගේ නියම පුත්‍රයා තමා බව කියා ගෝරනාඩු කරයි.


අග්‍ර දෙවිදු සරන යාමෙන් පුද්ගලයා තුල ඇතිවන විපර්යාසය පෙන්වීමට අවකන  දේශය උදාහරනකට ගමි. අවකන දේශයේ ( ඇෆ්ගනිස්තානයේ)  වැසියෝ බාමියන් වැනි විශාල පිලිම ඉදිකරමින් තෙල් මල් පුදමින් සිය සතුරන්ට බොලව් බොලව් කීමට එහා නොයමින් සිල්ලර ජීවිත ගත කරන කල්හි සත්‍යයේ පණිවිඩය ලැබුනි. ඒ පනිවුඩය ලැබුනේද සිල්ලර විදියට නොවේ. අග්‍ර දෙවිදුගේ බාල පුත්‍රයාගේ අනුහස ඇෆ්ගන්වරුන්ට ලැබුනි.

සැනෙකින් ඇෆ්ගන්වරයා පිබිදුනි. මරන හා මැරෙන අය ස්වර්ගයට යන මහා රණ හඩක් ඔහුගේ සවන වැකුනි. ඝස්නි හි **** ,ඝූර්හි **** ඉන්දියාවට පහර දුන්නේ සෙල්ලම් ගෙවල් බිද දමන්නාක් සේය. සින්ද් හි පාල රජවරු පරාජය වුනේ සිනහ උපදවනලෙසිනි. ඝස්නි හි **** සෝමනාත දේවාලය වැනසීමේ සටන මහත් උත්කර්ෂයෙන් ලියා ඇත. ඉන්දියන් සේනා පිරිවරාගත් හින්දු බමුනෝ **** ට කල කන්නලව් අහස තෙක් විහිදුනි.ඒ සියල්ල අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කර  සිංහ රාජයෙක් සේ ආ **** සිය පා පහරින් දේවාලේ දොරට ගැසූ විට රන් රිදී මුතු මැනික් විසිවුන හැටි අසන්නට  ප්‍රියය.ඔහු අවංකයෙකි. ඔහුට දුන් අල්ලස් ප්‍රතික්ෂේප කලේ අල්ලස් ගෙන මිත්‍යාවාදීන් බේරුවා කියා අග්‍ර දෙවිදු ඉදිරිපිට වරදකරුවෙක් වීමට තමාට බැරි බවයි.


මැද පෙරදිගින් ආ වීර පුරුෂයන් අතර ***** *** නම් වීරයෙක්ද විය. යුද්ධවලට වඩා විහිලු වූ ඉන්දියා සටන් වල යෙදෙන විට ( උදේ පාන්දර  කම්මැලිකම යන්නත් එක්ක එක් සටනක් දිනා  දවල්ට කැමට පෙර  තව සටනක් දිනා එන )දෙතුන් සීයක් විසින් දස දහස් ගනන් වූ සේනා පරදවමින් මෙසේ හින්දුස්ථානය පුරා සරන විට ***** *** ට බිහාරයේ අමුතුම අත්දැකීමකට මුහුන දෙන්නට සිදුවිය. කහපාට වස්ත්‍ර හැද හිස් මුඩුකල බමුනන් දහස් ගනනකි. අසුවල් පොත තොපලග තිබේදැ‍යි ඇසූ *** ට ඔවුන් කීවේ පින්වත ඒ පොතනම් අප ලග නැත කියායි. කලින් සටන් වලදී හමුවුනේ අඩුගානෙ අවම විරෝධයක්වත් දක්වන පිරිසකි. බොලව් බොලව් වත් නොකියා  පරාජය වූ විට මරනානුස්මෘති භාවනාව වඩන මොවුන් හා සටන් *** වැන්නෙකුට තරම් වේද?ඔහු මේ අය දිව්‍ය ලෝකයට ( ඔහුට අනුව අපායට ) යැවීය.


පොතක් නිසා එක් රටක පරම්පරා දෙකතුනක වෙනස් පැහැදිලිකිරීමට ඇෆ්ගන් උදාහරනය ගත්තෙමි. එක් පරම්පරාවක් බොලව් බොලව් කීමට එහා නොගියේය. ඔවුන්ගේ මී මුනුපුරෝ කඩුව අතට ගත්හ. මෙය ඒ තරම් මහානුභා වසම්පන්න පොතකි. ඒ බාල සහෝදරයාගේ පොතයි. මද්දුම සහෝදරයාගේ පොතද මහානුභාව සම්පන්නය. පෘතුගීසීන් ස්පාඤ්ඤ වරු ලොව පුරා වීර ක්‍රියා කලේ මේ පොතේ අනුභාවයෙනි.

එමනිසා මේ පුස්තක වහන්සේ විවේචනය නොකල යුතුමය. තොටවත්ත මෙය විවේචනය කල ආකාරයද මගේ සිත් ගත්තේ නැත. ඔහු වර්ග සමූලඝාතන ගැන වැඩිපුර කතා නොකල නිසාය. ඔහු කහා කලේ සභ්‍ය අසභ්‍ය වාදයයි. කන්නගී ගේ කොලිටිය ගැනද කියමින්  කිරි දරුවන් මැරීම ගැන ඔහු කතා කළා වුව ඒ ඉතා අඩුවෙනි.කන්නගී සිටියේ කෘෂිකාර්මික දකුනු ඉන්දියාවේය .මේ  කතා කරන්නේ එඩේරුන් සිටි සැඩ පරුෂ මැද පෙරදිග කාන්තාරය ගැනයි.


දේවදූතයන් පා තබන්නටවත් බියවන තැන තොටවත්ත පිනුම් ගසා තිබේ.


මම තොටවත්තගේ අදහස් හෙලා දකිමි. මා ප්‍රිය කරන්නේ ඔහුගෙන් ගේම ඉල්ලූ මෝදර කොල්ලාටය.ඊට හේතුවක් ඇත. අවුරුදු හාරදහසක්  පමන පරන දේවල් නැවත අදින්නේ ඇයි. අප කළ යුත්තේ ආගම්වල යහපත් දේ මතුකර අයහපත් දේ කාලයේ වැලිතලාවෙන් වැසීම නේද? අද පවතින යථාර්ථය තුල අප ජීවත් විය යුතු නේද? ලක්ෂගනන් මිනිස්සු වෛර බැද ගන්න ඔවුන්ගේ සිත් රිදවන දේවල් ප්‍රචාරය කරන්නේ ඇයි? නිකම් අහක යන ප්‍රශ්න පටලගන්නෙ ඇයි? ඔවුන්ගේ විශ්වාසය ඔබට මිත්‍යාවක් වුවද ඔවුන්ට එය පරම සත්‍යයකි. 

 ඔහු කතා කලේ උපරිම සංයමයෙන් බව ඔහු කීවේය.තනියම මුනගැසුනොත් කතා කරන්නෙ මෙසේ නොවන බව ද කීවේය.  එසේම ඔහු සේ නොඉවසන වෙනත් බැතිමතුන්ට මුනගැසුනොත් වෙන දේ ඔහු කියන විට මගේ ඇගේ මයිල් කෙලින් සිටියේය. මේවා නිකම්ම වචන නොවේ. ඉතිහාසයක් පුරා ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කල දේවල්ය.

මෝදර කොල්ලාගේ ඉවසීම ගැන ඔහුට ස්තූතිවන්ත වෙමි.ඔහුට කෝපවීමට සාධාරන හේතු තිබේ. යමෙකුගේ  විශ්වාසය ඔහුට පරම සත්‍යයක් වුවද තව කෙනෙකුට  මිත්‍යාවකි .ඔහු ආගම සිය මෑණියන්ට සමාන කරයි. එම සැසදීම නම් අනේ මන්දා. ආගම යනු අප වෙත පටවන ලද්දකි. මෘදු බලහත්කාරය පාවිච්චි කර අශෝක අධිරාජයා අපට ආගමක් පැටවූ හැටි බලන්න. දැන් අප එය කරතබාගෙන යමු. ඒ වාගෙ තමා ඉතින්. ලෝකෙ කොතනත්ය් වුනේ ඕක. රජා වැලදගත් ආගම වහල් ජනතාවත් වැලදගත්තා. ඔනම ආගමකින් වාසි ලබන්නෙ පූජකයො.




අග්‍ර දේවිදුගේත් සියලු මුරුතැන් බත් හා පලතුරු දේවතාවුන්ගේත් පිහිටෙන් තොටවත්තට බුද්ධිය පහල වේවා. සියලු මෝදර කොල්ලන් සන්සුන් වේවා.


අබරන් කළ දෑ විමසා අතීතයක් කැන
නොසිටිනු යටගිය දෙයකට නුඹේ මුවින්  බැන
අබරන් අද ඉන්න විදිය ගැන පසසනු මැන
ඉන්දිකයෝ අබරන් ගේ දොසක් නොකිව මැන


පසුව ලියමි .


මේ ලිපියත් ටිකක් වගෙ අවුල් කියා සිතුනොත් මෙය ඉවත් කරගනිමි. මේවා ඒ තරම්ම සංවේදී මාතෘකා නිසාය.ලිපියේ සමහර තැන්වල තරු දා ඇත්තේ කී බෝඩ් එකේ එම අකුරු ටයිප් කළ නොහැකි නිසාය.  ඒබ්‍රහමික ආගමක ට අදාල ලිපියක් නිසා කී බෝඩ් එක  වෙව්ලන්නට වූයෙන් ලිපිය සකස් කලේද අමාරුවෙනි.බය නැති අලුත් කී බෝඩ් එකක් ගත යුතුය. මාතෘකාවේ සිත්වල කියන වචනය වෙනුවට වෙනත් වචනයක් දැමීමට සිත්වුවද ඒකත් කේස් එකක් වෙයි කියා එම වචනය වෙනුවට සිත්වල කියා දැම්මෙමි.


No comments:

Post a Comment