Wednesday, March 13, 2019

කුසුමාසන දේවිය

කුසුමාසන දේවි ටෙලිනාට්‍ය පෙන්වන වෙලාව වෙනස් කිරීම නිසා මා වැනි බොහෙ දෙනෙකුට එය නැරඹීමට නොහැකි විය. ඓතිහාසික චරිත හා ඉතිහාසගත කර්ණු මෙහි ඉදිරිපත් කිරීමට උත්සාහ කර තිබීම ප්‍රශංසනීය වුවද ඇතැම් චරිත අනවශ්‍ය ලෙස උලුප්පන්ට උත්සාහ කිරීමෙන් පොදුවේ කතාවට හානිය සිදුවී ඇත. එවන් චරිත දෙකක් නම් ධර්මපාල හා කුසුමාසන දේවියයි. ධර්මපාල පෘතුගීසීන්ගේ රූකඩයක් වුවද මෙම කතාවේ ඔහු බලවත් රජෙකි.අනෙක් අතට කුසුමාසන වුවද කතාවේ තිබෙන තරම් ප්‍රබල චරිතයක් නොවේ. ඇය හා විමලධර්ම සූරිය සම රජ පදවි දැරුවානම් රජුගේ මරනයේදී සෙනරත්ට රජකම පැවරෙන්නේ නැත. ඇය ළමා කාලය පරන්ගීන්ගේ රූකඩයක් ලෙසද පසුව සිංහලයන්ගේ රූකඩයක් ලෙස ද දිවි ගෙවූවාය. ඇය ලිංගික සූරාකෑමට ලක් වූ අවාසනාවන්ත කාන්තාවකි. ඇයගේ මරනින් පසු ඇයගේ දියනියන් සමගද විවාහ වූ සෙනරත් වැන්නකු සමග පවුල් කන්නට සිදුවීමම මහ අවාසනාවකි.

අර්බුද සහිත අවදානම් කාලයක කාන්තාවකට රට පාලනය කළ නොහැකිය යන්න බොරුවකි. එවැනි චරිත ඉතිහාසය පුරාම විය. ෆර්ඩිනන්ඩ් හා ඉසබෙලා බලන්න. ඔවුහු අයිබීරියාව මුස්ලිමුන්ගෙන් නිදහස් කරගෙන සම රජ පදවි දැරූහ. ලංකාවේ විහාර මහා දේවියගේ භූමිකාව බලන්න. සෙනෝබියා සෙමිරාමිස් ඇන්ගෝලාවේ නිසින්ගා ,ටොමරිස් රැජින වැනි බොහෝ උදාහරණ ඇත. රජවරු අසාර්ථක වීමෙන් පසු ධජය අතට ගෙන සටන් වැදුනු මෙම ස්ත්‍රීන් හා සැසදීමේදී කුසුමාසන දේවිය වෙනස් චරිතයක් බව පෙනේ.

මා මීට පෙරාසා නොතිබුන එසේම බොහෝ දෙනෙකු අසා නොමැති යයි මා සිතන තවත් පාලිකාවක් ගැන අද අසන්නට ලැබුනි. ඒ මානෑවේ විමලරතන හිමියන්ගේ පොතක් කියවන්නට ලැබීමෙනි. එම කුමරිය මහා මේඝ රත්නපාලි කුමරියයි .ජීවත් වුනේ ක්‍රි ව 5  වන සියවසේය. මෙහි තවත් අපූරු අතුරු කතාවක් වෙයි. මහානාම රජු රැකවරන පතා මානෑවට ගියවිට එහි තිබූ ශක්තිමත් යක්ෂ ගෝත්‍රික බලප්‍රදේශයේ නවාතැන් ගැනීමයි. රත්නපාලි කුමරිය මෙහි ගෝත්‍රික නායකයාගේ දියණියකි.  ඇය විදෙස් ආක්‍රමනිකයන්ද පරදවා ද්වන්ද්ව සටනකට සතුරු සෙනෙවියාට ආරාධනා කර තිබේ.ඉන් ඇය ජයගත්තාය. මෙය එළාර දුටුගැමුනු සටන මෙනි. මෙතරම් අභීත සටන්කාරියක් වූ රත්නපාලි කුමරියගේ නමවත් අපි වැඩි දෙනෙක් අසා නැත. මහානාම රජු රත්නපාලි කුමරිය හා විවාහ වීමට යෝජනා කල විට කුමරිය කීවේ මහා වැවක් සාදන ලෙසයි. යකුන් හා වැව් අතර සබදතාව මෙයින් පෙනේ.

මහසෙන් රජුද මින්නේරි සාදන්නට එම ප්‍රදේශයේ යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් අවසර ඉල්ලා ඇත. ඒ කියන්නෙ යක්ෂ ගෝත්‍රිකයන් මේ යුගය වන විටද බලවත් ගෝත්‍රයක් ලෙස සිටි බවයි. යක්කු මෙනේරි වගා කා අතර රජු යෝජනා කලේ මෙනේරි වෙනුවට වී වගා කල හැකි බවයි. රජු යක්ෂ ගෝතික නායකයාගේ සොයුරිය හා විවාහ වී රජුගේ සොයුරිය යක්ෂ නායකයකුට විවාහ කර දී නෑකමක් ඇතිකරගෙන මින්නේරි වැව සාදන්නට රජුට සිදුවිය. මෙයින් පෙනෙන්නේ පන්ඩුකාභය යුගයේදී ගෝත්‍රස්වීකරනය අවසන් නොවූ බවයි

කාරුණික කාන්තවාක් වූ කුසුමාසන දේවියගේ චරිතය සැබෑ එසින් නිරූපනය කර ඇයට සිදුවූ අසාධාරණය ගැන කතාකලානම් මෙම නිර්මාණය මීට වඩා සාර්ථක වන බව මගේ අදහසයි.මේ කුමරිය තරම් දුක් වින්ද කුමරියක් ලංකා ඉතිහාසයේම නැති බැවිනි.

කෙසේ හෝ ඉන්දියන් මෙගා ජරා ගොඩවල් රජකරන ප්‍රයිම් ටයිම් එකේ මෙවැනි කතාවක් ටික කලක් හෝ විකාශනය කිරීම ජයග්‍රහණයකි. ඒ ගැන දෙරණ නාලිකාවටද ස්තුතිය හිමිවෙයි.එසේම මෙය ලවු ස්ටෝරියක් කර කතාව විනාශ කර නොදැමීම ගැන නම් විශේෂ ස්තුතියක් කල යුතුය. රාවනා වැනි බොරු ගොඩවල් වලින් චූන් වීම නොව මෙවැනි කතාවලින් උසස් වින්දනයක් ලබන යම් පිරිසක් හෝ සිටිති.

No comments:

Post a Comment