Monday, March 11, 2019

කතන්දර ගොඩක් කෙටියෙන් - බිබිලෙ දොඩම් ,ගුරුවරුන්ගෙ ගැහිලි , දේශීය නිෂ්පාදනවල ස්වර්ණමය යුගය , මරණ දඩුවම , පීඩිතයාගේ කටු ඔටුන්න හා තවත් කතා

කම්මැලි නිසා පෝස්ට් ගනනාවක්ම මඟහැරී ගියේය. පෝස්ට් එකක් දානවාම කියා සිතාගෙන පරිඝනකය ලගට ආවත් මේ මොන නිෂ්ඵල වැඩක්දැයි සිතා නිකම් සිටි වාර බොහෝය. අප දකින ලෝකය නිවැරදිමද කියා අපට නිසැකබවක් නැති විටක යමක් ලියන්නට පෙර කිහිපවරක්ම සිතන්නට පෙඇළබේ.

මා තුල තදින්ම මුල්බැසගෙන තිබූ විශ්වාසයක්නම් බිබිලෙ දොඩම් විජාතික කුමන්ත්‍රනයක් මගින් විනාශකළ බවයි. එක් ගුරුවරයෙකු කාලච්ඡේදයක්ම ගෙන මේ ගැන කතා කළ හැටි මතකය. එහෙත් ඉකොනොමැට්ටාගේ ලිපියක් කියවීමෙන් මගේ එම අදහස වෙනස් විය. ලංකාව දොඩම් නිෂ්පාදනයේ ලෝක දැවැන්තයෙකු නොවූ බව සංඛ්‍යාලේඛන සහිතවම ඔහු පෙන්වා දුනි. ඇත්තෙන්ම බ්ලොග් වල එක් ප්‍රයෝජනයක් මෙයයි. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යැවල නො කියවෙන  විකල්ප අදහස අපට දැනගැනීමටත් අපේ සිත් පිරිසිදුකර ගැනීමටත් අවස්ථාව ලැබේ. ඉකොනොමැට්ටාගේ බ්ලොගය යනු නිවාඩු දමා හෝ මුල සිට අගට කියෙව්වාට පාඩු නැති බ්ලොගයකි.

ගුරුවරුන් ලමයින්ට දඩුවම් කිරීම ගැනද සංවාදයක් ඇතිවිය. ඒ ගැන ඇතිවුන සංවාදයකදී ද මට කට උත්තර නැති විය. ඇත්තෙන්ම පාසලේ ලමයින් වෙනත් ලමයින්ගෙන් ආරක්ෂාකර ගැනීමේ වගකීමද ගුරුවරයා සතුය. ඒ නිසා යම් බය ගැන්වීමක් තිබිය යුතුය. ලංකාවේ ලමයින්ට බටහිර දියුනු රටවල ලමයින්ට සලකන ලෙස සැලකිය යුතු නැත. නමුත් තමන්ගෙ පුද්ගලික පන්තියට නො එන ලමයින්ට හිරිහැර කිරීම හා තම තමන්ගේ මානසික ඇරියස් ලමයි තුලින් යවන අවස්ථා ද වෙයි. එක පැත්තකට බරව සිතන්නට බැරිය. අවස්ථාවට සාපේක්ෂය.

මරණ දඩුවම ගැන කතිකාවද එසේය. ධර්මසිරි ගමගේ මහතා ඉතා හැඟීම්බරව සිළුමිනේ ලිපිපෙලක් පල කළේය. ඒවා කියවීමෙන් මරන දඩුවම් විරෝධියෙක් වීමි. නමුත් එකල මෙම දඩුවම් ලැබූවන් කළ අපරාධ ගැන හොයල බලන විට ඔවුන් මිහිපිට නොතැබිය යුත්තන් බව පෙනේ. එයද අවස්ථාවට සාපේක්ශය.

සිරිමාවෝ මැතිණිය ගේ 70-77 යුගය බොහෝ විවාදිතය. ඒ ගැන අපූරු පෝස්ටුවක් වයිරල් වෙයි. එම යුගයේ දේශීය නිෂ්පාදනවල ස්වර්ණමය යුගයකි. නමුත් එම නිෂ්පාදනවල කොලිටිය අවුල් බව කියති. ඕනෑම නිෂ්පාදනයක ආරම්භයේදී කොලිටිය අවුල් විය හැක. ඕනෑම දියුණු රටක නිෂ්පාදන වල ආරම්භය කොලිටිය මුල් කාලෙ ඒ තරම් නොවීය. කොලිටිය හොද වුනේ කාලයක් යානවිටය. එය අත්දැකීම් තුලින් නිෂ්පාදකයා ලබන්නකි. නිෂ්පාදනය ක්‍රමිකව පරිනාමික විය යුතුය. යුගයට ඉදිරියෙන් සිටි ගැහැණිය ලෙස හැදින්විය හැකි සිරිමා මැතිණියගේ ක්‍රමය 77 දී වෙනස් කළ ජේ ආර්ට ටද දොස් කියන්නට බැරිය. මන්ද ලංකාවේ ජනයා ට එවැනි ඉවසීමක් පරිචයක් නැති නිසාය. 70-77 යුගය දිගටම තිබුනානම් ලංකාව තවත් ජපානයක් චීනයක් වීමට ඉඩ තිබිණි. එම යුගයේ ලොකුම අවුල හැම එකාම කට්ට නොකෑමයි. පොඩි මිනිහා පමනක් කට්ට කෑ බව පෙනේ. ඒත් එකල ජනයා අධි වියදම් ජීවන රටාවේ පීඩනයෙන් එකල ජනයා නිදහස් ව සිටියහ. අද සියබල කරලද පිටරටින් ගෙන්වයි. කෙසේ වෙතත් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය අතින් සිරිමාවෝ යුගය නරකම කාලයකි. එය දෙවැනි වන්නේ ජේ ආර් ගේ යුගයටම පමනි. ජේ ආර් රට විවෘත කිරීම රටේ මිනිසුන්ගේ හැටියට එය ඉතාම සුදුසුය.එයින් නැති සල්ලි ( විදේශ ආයෝජන ) ලැබේ. ඉන්දියාවේ නරසින්හ රාවෝ හා චීනයේ ඩෙන් සියාවෝ පින් පසු කලෙක කලේද ජේ ආර් කල දේය. නමුත් ඒ රටවල් රට විවෘත කලේ දේශීය නිෂ්පාදකයා රැකගනිමිනි.දේශීය නිශ්පාදන රකිමින් නැති සල්ලිත් ගෙනාවෝය. අපි කොයි වැඩෙත් කරන්නේ රුයිතෙටය.

කෝච්චි පෙට්ටි සිදුවීමක් ගැන කෝච්චි මගියෙක් පිරිමිකමක් ගෑන්ද කතා කළේය. එවැනි වීඩියෝවක්ද ෆේස් බුකියේ විය.මගේ මතයනම් පිරිමිකම යනු ලිංගිකත්වය හුවා දැක්වීමකි. එය කිසිසේත්ම විෂේෂත්වයක් ලැබීමට හේතුවක් නොවේ. පිරිමි සිතන්නේ තමන් බලවතුන් කියාය. අනුන් ආරක්ෂා කිරීමට වරම් ලැබූවන් කියාය. එහෙත් වර්තමාන ලෝක සමාජ ආර්ථික දේශපාලන පරිසරයේ ,නිලබල ක්‍රමය තුල පිරිමියාද පීඩිතයෙකි. පීඩිතයා කටු ඔටුන්නක් දාගෙන තමන් බලවතෙක් යැයි සිතන්නට ගියොත් අවුල්ය.

ධ්‍රැවීකරනය නොවී හැකිතාක් කේන්ද්‍රයට ආසන්න වෙමින් සමබරව සිතන්නට පුරුදුවීම අභියෝගයකි. එහෙත් එම අභියෝගය ජයගන්නා තරමට අපට අගතීන්ගෙන් මිදීමට හැකිවේ. ප්‍රතිඵලයේ මිස අන්තර්ගතයේ වටිනාමකක් නැත. සත්‍ය මායාවට වඩා අතාත්වික හා විකාරරූපී විය හැක.අප දකින අසන දේ ම නිවැරදි නැති නිසා සත්‍යාසන්න මානයකට ලගාවෙන තුරු උපේක්ශා වීම හොදය.

ශ්‍රී පාදය සිවනෝලිපාදම් කරන්නට පිරිසක් උත්සාහ කරන්නේය යන්න පසුගිය කාලෙ තිබුන තවත් ඝෝශාවකි.  අපි සිරීපාදෙ කියන එකට උන් මොනව කියාගත්තහම අපට පාන්ද. ශ්‍රීපාදය වුනත් සිවනෝලිපාදම් වුනත් ඇඩම්ස් පීක් වුනත් මට නම් කෝකත් එකය.
සාමාන්‍යයෙන් දේශපාලකයෙක් කීයටවත් නොකියන කතාවක් එස් බී ඇමතිතුමා කීවේය. අපට වුනත් අප ජීවත්වන පරිසරයේ කට ඇර කියන්න බැරි කතාවකි. මමද සතුන් මැරීමට ඊටත් වඩා සතුන්ට හිංසා කිරීමට තදබල ලෙසම විරුද්ධ වෙමි. නමුත් මම කර්මාන්තෙටම  නැතත් ඉදහිට හෝ මස් කමි. මට හරකාගේ විශේෂත්වයක්ද නැත. එහෙත් මේ කතාව මටද ප්‍රසිද්ධියේ කිව නොහැක.හරිම අමුතු කතාවකි. නමුත් කතාව ඇත්තය. රිලවු ගෙඩි දෙක තුනක් කන්නට ගෙඩි සීයක් බිම දමති. උන් කරන්නෙ පුදුම අසානාසියකි. මුන් පරිණෑමය වෙලා නැත්තෙත් මුන්ගෙ මේ කඩප්පුලි වැඩ නිසාය. 

ගවපාලනය ගොවීන් නොපෙළඹෙන එක හේතුවක් වයසට ගිය දෙනුන් හා පිරිමි සතුන්ට කරන්න දෙයක් නැති කමය. කිරි නිෂ්පාදනය වැඩිකරන්නට නම් සමාන්තරව ගවයන් විකිනීමේ පහසුකම්ද තිබිය යුතුය.

ආනයනික කිරිපිටි දැන් වෙළදපොලේ වේළෙයි.පිටිකිරි බීමද සුද්දා පුරුදුකල දෙයක් මිස ඇති වැඩක් නැත, මෙතන ඇත්තේ සික් එකකි. කිරිබොන වෙලාවට  ටී එක නැත්නම් එතන අඩුවක් දැණේ.කිරිවලට වඩා කැද හොදය. කිරි පමනක් නොව පලතුරු .දේශීය එලවලු පවා වස විස නැතැයි සහතික දීමට නම් බැරිය. හොදම දේ වත්තෙ වැවෙන දෙයක් කඩාගෙන උයා කන එකය.

අලි මදිවට හරික් කියන්නාක් මෙන් නිට්ටෑවෝද කරලියට ආවේය. පුදුමය නම් පිටසක්වල ජීවීන් මෙන් නිට්ටෑවන්ද දුටු අය හමුවීමයි. නිට්ටෑවෝද සතියක් දෙකක් කතා කරන්නට හොද මාතෘකාවකි. නිට්ටෑවන් එන නිසා ගෙවල් දොරවල් වසා නිදාගත යුතුය. රෑට විහිලුවටවත් එලියට නොබසින එක හොදය. නිට්ටෑවන් පිටුපප්ස මොන සත්තු සිටීදැයි කවුරු දනීද. නිට්ටෑවන් මතුවන්නේ පුරාවස්තු තිබෙන තැන්වල කියාද යූටියුබ් වීඩියෝවක් දුටුවෙමි.  තව දහසකුත් එකක් කඩප්පුලිකම් කරන්නන්ට නිටෑවන් ආවරනය දෙනවාද විය හැක.


පහුගිය කාලෙ අපි කතා පොජ්ජ දමන්නට මන්දු වුන කාරනා ඔහොමය. 

2 comments: