Saturday, June 30, 2018

සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලී සුද්ද ගෙනත් දෙන සල්ලී චීන ගෙනත් දෙන සල්ලී සල්ලි තමා දෙයියගෙ මල්ලී

ගෝලීය ප්‍රාග්ධනයේ තේජස මොනවට පැහැදිලි වුන දින වකවානුවකි. ඇත්තෙන්ම එවැනි කාලයක් මින් පෙර තිබුනාද කියා සිතේ.සියලුම පක්ෂවල ජනතා නියෝජිතයන් මිලට ගෙන බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක් බව පෙන්වා දීම ගැන ඇලෝසියස් මහතා ට ස්තුති වන්ත විය යුතුවෙමු. ඊට විසදුම ශක්තිමත් ශක්තිමත් විධායක ධූරයක් යැයි අප කියන්නට සැරසෙන විටම චීනා ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියා කෑ ගැසීය. අපි කවදත් ශ්‍රීලංකා අපි කවදත් යූ ඇන් පී කියා පිල් බෙදෙන මූඪ ප්‍රජාවගේ නායකයන්ට මිලක් ඇත. ඇත්තටම මිලක් ඇත්තේ නායකයන්ට පමණක් නොවේ. අනුගාමිකයන්ටද මිලක් ඇත. මේ දෙක අතර පරතරය අහසට පොලව මෙනි.

තමන් වෙන්දේසි වීම නරක දෙයක්ද. ජාත්‍යාන්තර ප්‍රාග්ධනය මෙරටට ආ මුල් දිනවල එය හෙළා දැක වැඩවසම් කසය වෙනුවෙන් සටන් වැදුන අයට වඩා නව ප්‍රාග්ධනය වැළදගත් අය වාසනාවන්ත වූහ. ඔවුන්ගේ මීමුණුපුරන්ට පවා සිය උපත හේතුකොටගෙනම සුවපහසු දිවියක් උරුම විය. ප්‍රධාන දේශපාලන පක්ෂවල නායක මට්ටමේ තනතුරුවලට පත්ව අද දක්වාම වැජඹෙන්නට හැකි විය.වැඩවසම් කසය වෙනුවෙන් අවංකව පෙනී සිටි අය මොණරාගල හේන් ගොවියෝය. ප්‍රාග්ධන රැල්ලෙන් මගහැරුන අය අවාසනාවන්තයෝය

මෙම ප්‍රාග්ධන මහෝඝය ඉදිරියේ කෙළින් සිටගත හැකි අයෙක් නැත. කෙළින් සිටින අයෙක්ද නැත. පැවිද්දන්ටත් මුදල් මලු දී යන නාදුනන දායකයෝ සිටිති. පෙර කල චෝදනා එල්ලවුනේ එන් ජී ඕ කාරයන්ටය. දැන් එලෙස පිරිසක් වර්ග කළ නොහැකි තරමට සුනාමියක් වී ඇත. මා නම් කියන්නේ හොරකම් හරි කමක් නෑ මේක රටේ හැමෝටම බෙදෙන ක්‍රමයක් අවශ්‍ය බවයි. ෆේස්බුක් බ්ලොග් වලින් සල්ලි සෙවීම මගින් සල්ලි ගස් සෙලවීම ගැනද මා දරන්නේ ධනාත්මක අදහසකි. දුප්පත් කොල්ලෙක් කෙල්ලෙක් පොටෝෂොප් ඉගෙන ගෙන පෝස්ට් එකක් හදල බඩගින්න නිවාගැනීම වරදක් නොවේ. ඕනෑනම් දෙපැත්තටම පෝස්ට් හැදීම හා ලිපි ලිවීම මගින් මුදල් සෙවීම කළ හැක. මෙම ක්‍රමය තුල නො විකිනෙන අය කියා පිරිසක් නැති අතර සිටින්නේ විකිනෙන පිරිසත් විකිනෙන ( වෙන්දේසි වෙන ) කලාව නොදත් පිරිසක් පමණි. අනේ අපිනම් හොරකම් කරන්නෙ නෑ කියන්නෙ එක්කො බොරුකාරයෝය නැත්නම් හොරකම් කිරීමෙ කලාව නොදන්න අයයි.


මෙවැනි යුගයක ස්වාධීනත්වය දේශීය ආර්ථිකයන් ආදී වචන හිස් වචන අටු වේ. ගෝලීයකරණය තුල කුඩාරාජ්‍යවල ස්වාධීනත්වය අහෝසි වී ගොස් ඇත. ඉදිරියේදී භාෂා පවා අහෝසි වී යත හැක. කළ යුත්තේ කුමක්ද ? වැල යන පැත්තට මැස්ස ගැසීමයි .එනම් සල්ලි විසිකරන්න සූදානම් අයට සේවා සැපයීමයි. චීනය වැනි රටවල සල්ලි වියදම් කිරීමට සූදානම් විශාල මධ්‍යම පන්තියක් බිහිවී ඇත. අප වැනි රටවල් කළ යුත්තේ නිශ්ඵල මෙගා ප්‍රොජෙක්ට් කිරීම නොව සංචාරක විප්ලවයක් කිරීමය. චීනය වැනි රටවල ලාබ ශ්‍රමය සමඟ අපට ඊනියා නිෂ්පාදන ආර්ථික කරන්නට බැරිය. මේවා චන්ද කාලෙට මීහරක් කුලප්පු කරන්න කියන කතාය. ඇන්ගෝලාවේ නිවාස ව්‍යාපෘතිය මෙන් චීන ණය මත සිදුකරන මෙගා ප්‍රොජෙක්ට් වලින් වාසි ලැබෙන්නේ කොමිස්කාරයන්ට පමණි. චීනයට අවශ්‍ය අපට ණය පමණක් ලැබෙන ව්‍යාපෘති වෙනුවට චීනාට සේවා සපයන ක්‍රමයකට ගියොත් නරකද

චීනාට අප වැනි පොඩිරටවල සාම්ස්ත දේශපාලනයම මුදලට ගත හැකිනම් අප කළ යුත්තේ සල්ලිකාර චීනාට ගොල්ෆ් ගහන්න ඇරයුම් කිරීමයි. ඔහුට එන්ජෝයි කරන්න පහසුකම් දිය යුතුය. අප සිතා සිටින්නේ සංචාරකයන් එන්නේ දළදා මාලිගාව වැදපුදාගන්න කියාය. මාල දිවයින පවා සංචාරක කර්මාන්තයෙන් අපට වඩා ගවු ගනනක් ඉදිරියෙන් සිටින්නේ අපේ මේ පසුගාමී චින්තනය නිසාය. සිංගප්පූරුවේ මෙන් සන්තෝසා පුරවරයක් අවශ්‍යය. සංචාරකයන් ට කැසිනෝ ගහන්න හෝ ඕනෑම නෙයියාඩමක් නටා අපට මුදල් දෙන පසුබිමක් සැදිය යුතුය. 

ඒක පුද්ගල ආදායම වැඩිකිරීමට නම් වන්සෙ කබල් ගෑම නවතා ලෝකයට තව දුරටත් විවෘත විය යුතුය. නැතිනම් වෙන්නේ ප්‍රාග්ධනය සුලු පිරිසක් වෙත කොමිස් ලෙස ගලා යාම පමණි. තැබිලිගෙඩිය විකුනන දුප්පතාටත් එය බෙදෙන ක්‍රමයක් අවශ්‍යය.

සී ඒ චන්ද්‍රප්‍රේම කලකට පෙර කොළපාට සමාජය නමින් පොතක් ලිව්වේය. එය  ලංකාව වැනි දූපත් රාජ්‍යයකට  ගැලපෙන සංවර්ධන අත් පොතක් වැන්න. එන පොටේ හැටියට වෙන විකල්ප නැත. සීමාසහිතව ස්වයං පෝෂිත අර්ථ ක්‍රමයක් පවත්වාගෙන යන අතර නවලොවට සේවා සපයන්නන් ලෙස වෙනස් වී අධ්‍යාපන ක්‍රමයද ඊට අනුරූපව සකස් කරගැනීම හැර වෙන විකල්පයක් නැත. එසේ නැත්නම් සිදුවන්නේ ප්‍රාග්ධනය ප්‍රභූ පිරිසක් අතර බෙදී යාමත් අප ණය කන්දක සිරවීමත්ය. හැමෝගේම අත මිට සරුවෙන ජයමාවතක් විවර වන්නේ අපේ වෙරළ විවෘත වන තරමටය. තායිලන්තය වැනි රටවල් ආදර්ශයට ගත හැකි අතර සියල්ලටම උදැල්ල දමන පූජක පැළැන්තියක බර දරාගෙන මේ ගමන කෙසේ යාමට හැකිදැයි නොදනිමි.