Friday, May 11, 2018

නලින් මහතාගේ ලෝකය හා මගේ ලෝකය ( එතුමාගේ අදහස් ගැන මගේ දැක්ම )

මා නලින් ද සිල්වා මහතා දැක කතාබහ කර නොමැත.එහෙත් එතුමා කලක මා බෙහෙවින් අගය කළ චරිතයක් විය. දිවයින පුවත්පතේ ඒ මහතා පළ කළ ලිපි ආශාවෙන් කියවූ කාලයක් තිබිණි. එකළ අධිපති මතවාදය යුධ විරෝධී වූ අතර යුධ විරෝධීනනියමින් නොව ඍජුවම සහාය පළ කළේ බෙදුම්වාදීන්ටයි. ඔවුහු බෙදුම්වාදීන්ගේ අපරාධ හෙළා නොදුටුවා පමනක් නොව ඒවා ප්‍රසිද්ධියේ සාධාරනීකරනය කිරීමටද බිය නොවූහ. නලින් ද සිල්වා ගුණදාස අමරසේකර ගාමිණී ඊරියගොල්ල , බෙංගමුවේ නාලක හිමි වැනි අතලොස්සක් උඩුගංබලා පිහිණූහ .ත්‍රස්තවදීන්ට සහය දුන් අය එසේ කළේ ආර්ථික කරුණු මත බව අද ප්‍රසිද්ධ රහසකි. නමුත් එකළ එසේ සිතූ අය අල්පය.

පසු කළෙක නලින් ද සිල්වලා හුදකලාව කළ සටනේ ධජ විවිධ බලවේග වලට මාරුවී එය අධිපති මතවාදය විය. නලින් මහතා රූපවාහිනියේ මුලින්ම දුටුවේ ඒ අවදියේය.නලින් මහතා වචනෙන් වචනයට දත්මිටි කමින් ආවේගශීලීව කතා කරනු දැක මා මවිත වීමි. එය ඔහුගෙන් කිසිසේත්ම අපේක්ෂා කළ තත්වයක් නොවේ.එසේම කෝප නොවිය යුතු තැන්වල පවා ගැටුම් ඇතිකරගන්නා සෙයක් මා දුටුවෙමි.

කෙසේ වුවද නලින් ද සිල්වා මහතා ඔහු වැනිම විද්වතෙකු වන වික්‍රමබාහු කරුණාරත්න මහතා මෙන්ම රැල්ලට පිහිනාගිය අයෙක් නොවේ. මේ දෙදෙනාම තමන් දරන මතය වෙනුවෙන් බොහෝ දුක් පීඩා ඉසිලූහ. දෙදෙනාගේම රැකියා නැතිවිය. එහෙත් මේ දෙදෙනාම මුදලට ගත නොහැකි මහා පෞර්ෂයක ස්ථම්භ දෙකකි.

එහෙත්නලින් මහතා බටහිර දැනුම  විවේචනය කරමින් ගොඩනැගූ මතවාදය ගැන මට ඇත්තේ දෙයාකාරයක විග්‍රහයකි. එක පැත්තකින් බටහිර දැනුමේ වියුක්ත බව එනම් එහි සර්ව සාධාරණ බව ප්‍රශ්න කෙරීමයි. විද්‍යාවටත් දේශපාලනයක් ඇත . එහෙත් විද්‍යාව සාධාරන දැණුමක් බව  සමහරු කියති ඔවුන් විද්‍යාව ගැන දක්වන්නේ ආගමික දැක්මකි. ඊට හේතුව විද්‍යාව තුල සත්‍ය ඇති බව සිතීමයි.

සත්‍ය යනු කුමක්ද
(පාරිභාෂික වචන වලින් හැකිතාක් මිදීමට මට අවශ්‍යය. )සත්‍ය යනු සාපේක්ෂ දෙයකි. එනම් සොක්‍රටීස් මිනිසෙකි මිනිසුන් මැරෙන සුලුය. එනිසා සොක්‍රටීස් මැරෙන සුලු යැයි නිගමනයකට ඒමට අපට හැක. එහෙත් බුරම්පි නමැත්තා නොමැරෙන සුලුයැයි සිතමු. එවිට සියලු මිනිසුන් මැරෙන සුලුය යන්න නිවැරදි වන්නේ නොමැරෙන මිනිසෙක් හමුවන තෙක් පමනි. කපුටා කලුය යන්න සත්‍ය වන්නේ කලු නොවන කපුටෙක් හමුවෙන තුරුය. ඉන් පසු බුරම්පි මිනිසෙක් නොවේය යන කල්පිතය ගොඩනගාගැනීමට හෝ බුරම්පි මිනිසෙක් නම් සියලු මිනිසුන් මැරෙන සුලුය යන්න අසත්‍ය කිරීමට අපට සිදුවේ.

යම් පරාසයක සත්‍ය වන දෙයක් තවත් පරාසයක දී සත්‍ය නොවිය හැක. අප ගේ නිරීක්ෂනයන්හි පොදු ලක්ෂන අනුව නිගමනයන් ලබාගෙන එම නිගමනයන් සමාන තත්ව වලදී ආදේශ කිරීම තුලින් දැණුම ලබාගනිමු.මේ දැනුම සත්‍යාසන්නය. සමාජ විද්‍යාවන් වල මේ තත්වය දැකිය හැකි අතර ගණිටහ්යේදී ජ්‍යාමිතියේ ලක්ෂය වැනි සංකල්ප නිශ්චිත නැත. සමස්ත වාස්තවික දැණුම් පද්ධතියම ගොඩ නැගෙන්නේ අවිනිශ්චිත සංකල්ප මතද ?

ඒ ටික ගැන එකඟ විය හැක. නලින් ද සිල්වා මහතා කියන දේවල ගන්න දෙයක් ඇත. චිර ප්‍රසිද්ධ මතවද හා ගැටෙන්නට ඔහු දක්වන නොපැකිලද පැසසිය යුත්තකි. එහෙත් ඔහු ඔසවා තබන අපේ දැනුම ඔහු වෙසෙසා දක්වන බටහිර දැනුම හා සැසදිය හැකි මට්ටමක වීද ?

සුද්දප්පුලා මෙහි එනවිට අප සිටියේ රජෙකුට දුම් අල්ලමිනි. අපේම විද්‍යාවක් තිබුන බව මට නම් සිතිය නොහැක. අනුරාධපුරයේ පොලොන්නරුවේ ශිල්පීය දක්ෂතාවයන් මහා සංස්කෘතිය තුල විදේශ ආධාර ලබාගෙන කල විශ්වීය නිර්මාන වේ. අප අනුන්ගේ බලපෑමට ලක්වූවා මිස අප අනුන්ට සැළකිය යුතු බලපෑමක් කල බවක් නොපෙනේ. දූපතකට සීමා වීමද එක් හේතුවක් වන්නට ඇත.අපේම අපට අනන්‍ය විද්‍යාවක් කලාවක් සංස්කෘතියක් ඔය කිසිවක්ම නොවීය.

නලින් මහතා මෑතකදී ආන්දෝලනය ට ලක්වුනේ ආසනික් කතාවෙනි.ඉන් නලින් මහතාට හානියක් විය. ආසනික් මතය ගෙන ආවේ නාථ දේව සම්බන්ධය උඩය යන මතය ලොකු අවුලක් විය.අවුල මෙයයි .නාථ පිළිගන්නවා යනු යෙහෝවාද පිලිගැනීමකි. බටහිර විද්‍යාව යෙහෝවා වෙන ආකාරයකට ඉදිරිපත්වීමක් නම් ඊට වෙනස් කියවීමක් නාථ ගෙන් වෙන්නේ කෙසේද .(නාථ කරලියට ගෙන ආ අය අතේ කයිතන් වීම වෙනම කතාවකි )නාථ සම්‍යක්දෘෂ්ටික දෙවියෙක් බව හරියටම දැනගන්නේ කෙසේද යුදෙව්වන් කියන ලෙස යෙහෝවා විසින් ස්වර්ගයෙන් පලවාහැරි ලුසිෆර්ගේ සගයෙක් වෙන්න බැරිද ?
ඇත්ත කුමක්ද මිත්‍යා දෘෂ්ටික දේවතාවෙක් ඇතැම් විට පරිනිර්මිත වසවර්තිය වැනි තැනක සිටින්නෙකු ) අබරන් ගොයියට පෙනී සිට ඔහුටමැද පෙරදිගින් ඉඩම් කෑල්ලක් පොරොන්දු වුනාද 
නැත්නම් යෙහෝවා විසින් පලවා හැරි දේව දූතයෙක් නාථ නමින් මිනිසුන් රවටා යෙහෝවාට හිමි ඒකීය නමස්කාරය පැහැරගන්නවාද ?
ඇත්ත කෝකද ?
ඇසට නොපෙනෙන බලවේග ලංකරගන්න එක ඇගට ගුන නැත. අන්තිමේදී නිමා නොවන තර්ක උඩප්පරන් ගැසීමකි.
නාථ කතන්දරය නිසා සිදුවුනේ නලින් මහතා කාලයක් තිස්සේ ගොඩනැගූ ප්‍රවාද විහිලුවට ලක්වීමය.

අපෙන් වියුක්ත ලෝකයක් පවතීද ?නැති බව නලින් මහතා කියයි. ලෝකය අපේ මනසේ නිර්මාණයකි.මෙය එක්තරා ඉන්දියානු පැරණි දාර්ශනික ගුරුකුලයක මතයකි.

මගේ ඍජු පිළිතුර නම් පවතී යන්නයි. එනම් අප අත්විදින සියල්ල අපේ නිර්මාන වුවද එය බාහිර පරිසරය ඇසුරින් නිර්මානය වූවකි.බාහිර පරිසරයෙන් වියුක්ත නිර්මාණ නොවේ. මගේ මතය සමස්තය යනු ගල් ගැසුන යථාර්ථයක් නොව යම් සංදර්භයක් තුල ඊට අනන්‍ය ලෙස අදාල වන සංසිද්ධීන් එවැනිම වෙනත් සංදර්භයන් හි අදාල වන සංසිද්ධීන් හි  අන්තර් සම්බන්ධතාවය බවයි.එවිට මම කියා සමස්තයෙන් වියුක්ත ප්‍රපංචයක් නොමැති අතර මම යනු යම් සංදර්භයක් තුල ඊට අදාල පරාසය තුල පමනක් අදාල වන ප්‍රපංචයක පැවැත්මයි. මෙවැනි සංදර්භයන් තුල ඇතිවන මෙවැනි ප්‍රපංචයන්හි අන්තර සම්බන්ධතාවය සමස්තය ලෙස අප හදුනාගනිමු. එනයින් ලෝකය යනු අපේ නිර්මානයක් නොවන අතර සමස්තය සම්පූර්නයෙන්ම අපෙන් වියුක්තද නැත. මේ ඡේදයෙන් කියාපු දේ ඔබට අවබෝධ වූවාදැයි නොදනිමි. ඒ මාගේ ප්‍රකාශන දුර්වලතාවයයි.


මට සිතෙන්නෙ බටහිර විද්‍යාව කියා දැණුම වෙන්කළ නොහැකි බවයි. නලින් ද සිල්වා මෙන්ම අලවත්තාගොඩ පේමදාසද මෙසේ වෙන් කිරීමට ගත් උත්සාහයන්හිදී අපූරු තර්ක ගොඩ නැගූහ. අලවත්තාගොඩ පේමදාස මෙසේ කීවේය. සුද්දා අල ගෙනාවේ චිප්ස් කෑමටයි අපේ අම්මලා අල හොද්ද නිර්මාණය කළහ. මෙසේ නිර්මාන කල හැකිනම් එයින්ම මෙසේ දැනුම බෙදීමේ පදනම බිද වැටේ. මගේ කලිසම සුද්දාගේ කලිසම නොවේ. එය මටානුව මසා ගත් එකකි කියා පේමදාස මහතා තවදුරටත් කියයි. පරිඝනකය තුලින් බටහිරට අවශ්‍ය දේ ටයිප් කරන්නේ නැත .කියා නලින් වරෙක කී කතාවද මීට සමානය. දැනුම මෙසේ බෙදීම කිසිම පදනමක් ඇති දෙයක් නොවන බව නම් පැහැදිලිය. අල පෙති ,කලිසම් හා පරිඝනක උදහරනයෙන් මෙම ප්‍රවාදයේ පඩිවරුම අසරන වීමෙන් එය පෙනේ.

බටහිර තාක්ෂනයේ එකම හපන්කම හබල් දුරේක්ෂය යැයි නලින් වරෙක කීවේය. එය එසේනම් අපේ හපන්කම් මොනවාද

බොරු තර්ක යොදා වචන උඩප්පරන් ගැසීම පලක් නැත. අපේ සාර්ථකත්වය බටහිර දේ අපේ කරගෙන හෝ යොදාගැනීමයි. අපේ කරගැනීම ද විකාරයකි. අපට අප නැතිවීම මෙහිදී සිදුවේ.අප යනු කවුද අපට මේ ලේබල් වැදුනේ ස්වාභාවිකවමද අපට දැන් ඇති හංවඩුද කාලයේ හා අවකාශයේ නිර්මානයකි. බුදුදහමට අනුවමද කිසිවක් ස්ථිර නැත.එසේනම් අපේකමක් තිබිය හැකිද එය නලින් මහතාගේ මතයටද විරුද්ධයි නේද? තාප්ප බදින්නේ බටහිරයාය(  නලින් මහතාට අනුව ). තාප්ප වලින් පලක් නැත. කළ යුත්තේ මානව දැනුම අදාල කර ගැනීමයි.මැදපෙරදිග ඉන්දියාව පමනක් නොව බොහෝ ශිෂ්ටාචාරවල උපත ලබා බටහිර ලෝකයේ සංවර්ධනය වූ විද්‍යාව හා තාක්ෂණය පොදු දෙයකි. සංස්කෘතික සීමා කල්පිත රේඛාය.බටහිර නොවන බෞද්ධ විද්‍යාවක් සඳහා  වචන උඩප්පරන් ගැසීම කාලය කා දැමීමකි.

3 comments:

  1. "කළ යුත්තේ මානව දැනුම අදාල කර ගැනීමයි.මැදපෙරදිග ඉන්දියාව පමනක් නොව බොහෝ ශිෂ්ටාචාරවල උපත ලබා බටහිර ලෝකයේ සංවර්ධනය වූ විද්‍යාව හා තාක්ෂණය පොදු දෙයකි."

    ඉතා වැදගත් අදහසකි. ඒ ගැන වෙනම ලිපියක් ලිවුවොත් අගෙයි.

    ReplyDelete
  2. What is the truth?

    ReplyDelete