
දුම් රිය ට පැන සියදිවිහානිකර ගැනීම සුලබ දෙයකි. එවැන්නක් වූ විට අපට ට්‍රේන් එක ලේට් වේ. එවිට හවසට ලේට් කවරකරන්නට සිදුවේ. එහෙත් සියදිවි හානිකරගත් තැනැත්තා එය කළේ සෙල්ලමකට නොවේ. ඔහුගේ ප්‍රශ්න වලට වෙන විසදුමක් නුදුටු නිසාය. ඇයි අපේ කෝච්චියටම පැන්නෙ කියා ඔහුට දෙස් දෙවොල් තබමු.
පසුගිය සදුදා හවස කට්ටුව හරියේදී කෙනෙක් දුම් රියට පැන තිබුනි. කොටුවෙනුත් ලේට් වූ කෝච්චිය මේ නිසා තවත් ලේට් වී කුලියාපිටියෙනුත් එහාට බස්වල යන අය නන්නත්තාරම වූ සේක. සිය දිවි හානිකරගැනීමට වෙනත් විකල්ප වලට යා යුතු බව සමහරු පැවසූ අතර එක් අයෙක් නිර්මානශීලී යෝජනාවක් කරමින් ෆෝන් බොක්ස් එකක් වැනි පෙට්ටියක් සවිකර එයට විදුලි බලය කවා එය තුලට ඇතුලුවී ස්විච් එක දාගන්නව වගෙ ක්‍රමයක් සුදුසු බව කීහ.
සාමාන්‍යයෙන් මම අනුන්ගේ විපතේදී තදින් කම්පා වෙමි. එය මගේ උපන් ගෙයි දුර්වල කමකි. මේ පුද්ගලයාට සුව කළ නොහැකි රෝගයක් වත් තිබුනාද .ගෙදර ප්‍රශ්න ඉවසන්න බැරි තරම් වීද. සමාජයේ කිසිවෙක් ඔහුට ඇහුම්කන් දුන්නේ නැද්ද?
මෝඩකම් නිසා ජීවිතය කළමනාකරනය කරගත නොහැකිවී අතරමන් වූවෙක්වත්ද ?
එසේත් නැත්නම් ඉවසිය නොහැකි තරමට සමාජ අසාධාරනයට ලක්වූවෙක් වත්ද ? තමන් මුලුමහත් සමාජයක් නොමඟ යැවීම නිසා වරදකාරී හැඟීමෙන් සියදිවිනසාගැනීමක් නම් සිතුනේම නැත.මෙසේ සිතිවිලි අතරේ සැරිසරමින් සිටියෙමි.
එහෙත් මම කෝච්චියෙන් බැස්සේ නැත. කෝච්චියෙන් බැස සිද්ධිය බලා එන අයගේ කතා වලට සවන් දුනිමි.
"සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයිලු නේද?"
"නෑ ඒ සරම නෙමේ කලිසම"
"ආ ඇත්තද මම හිතුවෙ සරම කියල "
"ටයි එකක් කොහෙද තිබුන කියල කියනව "
"ඉදගෙන ඉදල කෝච්චිය එනකොට හිට ගත්තලු"
ඔන්න ඔහොම කතා ඇහුනා.
ටික වේලාවකින් සිරුරක් ඊලඟ ස්ටේශන් එකට බාර දීමට ගෙන යනවා දුටිමි. මැදිවියේ පිරිමි කෙනෙකි. සිරුර බොහෝ දුරට නිරුවත්ය.
______________________________________________________
මුලු රටම මිත්යාන්ධකාරයේ ගිල්වා නොව හෝද හෝද ඇපිල්ලූ පසුගිය කාලයේ මිත්‍යාව ජීවිකාව කරගත් අයට කල්ල මරේ විය. මම මේ මිත්‍යා වැඩසටහන් නොබලන නමුත් මිත්‍යාව ප්‍රවර්ධනයට කිසිම විලිලැජ්ජාවක් නොතිබූ නාලිකාවක ගිය එක් වැඩසටහනක් අසා සිරාවටම මගෙ ඇග හිරිවැටුනි. එහි මිත්‍යා ප්‍රවර්ධකයා දුක කී කාන්තාවකට ඇහුම්කන් දුන්නේය. ඇගේ පවුලේ සියලු ප්‍රශ්නවලට හේතුව ඇද තබා ඇති තැනලු. මේවා ඇත්තටම විශ්වාස කරන පිරිසක් රටේ සිටිති. මෙය මහාම සමාජ ඛේදවාචකයකි. මෙම නාලිකාව අයත් ව්‍යාපාර මේ වන විට බිදවැටී ඇති අතර මෙම නාලිකාවේ හිමිකරුවන්ට ඔවුන් ප්‍රචාරය දුන් එක කට්ටඩියෙකුගේවත් දේවගැතියෙකුගේවත් කේන්දරකාරයෙකුගේවත් ෆේන්ශුයි කාරයෙකුගේවත් සිප්පිකටු කාරයෙකුගේවත් පිහිටක් නොලැබිනිද කියා සිතේ.
හේතුව මෙරමා දුක් ගැනම සිතන මේ අය තමන් ගැන සැලකිලිමත් නොවන නිසා විය හැක.
පත්තරවල පළවන ජ්‍යොතිෂ ලිපි මම සමහරවිට එකතුකරමි. ඒ ඔවුන් කාලසීමා දක්වා කියන බොරු එලිවූ පසු ඒවා ට හිමිවන වැදගත්කම නිසාය. නාත්තන්ඩියෙ මහතා ලියූ ලිපිද ඒ අතර වෙයි. එහෙත් ජනතාවට මේ අනාවැකි අමතකය. කනා බල්ලන් ගහපු එකක් මතක තිබේ. අදෝමැයි.
https://yakaageadaviya.blogspot.com/2018/04/blog-post_10.html
https://yakaageadaviya.blogspot.com/2018/04/blog-post_10.html
නාත්තන්ඩියෙ මහතා බොහෝ අනාවැකි කීවේය. හිර පායන බව කීවේය රෑට සද පායන බව කීවේය සුලන් හමන බව ද කීවේය වැඩ වර්ජන ඇතිවන බව කී ඒ මහ්තා ඒ වැඩ වර්ජනවලින් මහජනයාට පීඩා සිදුවන බව ද කීවේය, ජලගැලීම් හා ඉඩෝර ඇතිවන බව ද කීවේය. ඒ මතුනොව ශිෂ්‍ය උද්ඝෝෂනද ඇතිවෙනවාලු ,බඩු මිල ඉහල යනවාලු. මහ පෙරලි වේලු , ලේඛකයන් කලාකරුවන් දේශපාලක මරන සිදුවේලු ,මාර්තුවේ මහ දුකක් කියා සිරස්තලයක්ද විය, ඔන්න මම කීව ඇත්ත නේද බලන්න විශ්වාස භංගය නිසා කට්ටියකට දුකක් ඇතිවුනා මම හරි නේදැයි ඊලඟ පාර ඇසීය.
මහින්ද දිනන බවට කැටතැබූ ජ්යොඅතිර්වේදීන් ඉදිරියේ ඔහු පර්දින බව අභීතව කීවේ මේ මහතා සහ ඉන්දික මහතාය ඉන්දික මහතා පසුව කී කස්ත්‍රෝ මාර්තුවේ මැරෙන බවට වූ අනාවැකිය 2017 දී ෆොන්සේකා මහතා රට යන බව කී අනාවැකිය ,2015 අගෝස්තුවේ රට ලේ විලක් වීම වැනි අනාවැකි දැන් බුද්ධිමත් ජනතාවට අමතක ඇතැයි සිතමි.
නාත්තන්ඩියෙ මහතා මෙන්ම ටොලමියානු ජ්‍යොතිෂයෙන් බොරුකියන තව මහතෙකුගේ ලිපි ද මා එකතුකර ඇත. ඔහුගේ අනාවැකිද සියල්ලම පාහේ අතේ කයිතන් වී ඇත. ටොලමිගෙ එකෙන් ටක්කෙටම කිව හැකිලු. කවුද මේ ටොලමි ? ක්ලෝඩියස් ටොලමි යනු පෘථිවි කේන්ද්රනවාදයේ පියාය.( එනම් සූර්යයා පෘථිවිය වටා භ්රමනය වන බවට වූ මතය ).
______________________________________________________
ජ්‍යොතිෂයෙන් අනාවැකි කිව නොහැක.මන්ද එය මිත්‍යාවක් බැවිනි. අප දකින අහස දෘෂ්ටි මායාවකි. අහසේ අප දකින තරුරටා ඇසුරින් සාදාගත් ගණිත සූත්‍රය බඩවඩා ගැනීමට නම් මරේ මරුය. ඊට හේතු දෙකක් ඇත. එකක් මිනිසුන් මෙම ශාස්ත්‍රය නොදන්නාකමයි අනෙක නම් හිතේ ඇති බය සැකයි.
විශ්වාස නොකරන එකා වුවත් පොරොන්දම් බලති. ගෙපැල කපන විට නැකතක් බලති ,විභාගෙකට රස්සවකට සුබ වෙලා බලති .ඔන්නොහෙ මේකත් කරලම දානව බැරිවෙලාවත් ඇත්ත වුනොත් කියා කියති.
තත්වය මෙසේ හෙයින් කකුල් දෙකේ ග්‍රහයන්ගේ කල දසාව අසුබ විය නොහැක. එහෙත් ඉහත කී කාරනාවලට නොව ජීවිතයේ කුදුමහත් සියල්ලටම ග්‍රහයන් පසුපස යන පසුබිමක් තුල කකුල් දෙකේ ග්‍රහයෝ අධි සුඵෝඛභෝගී ජීවිතයකට හුරුවූහ. ජනවාරි 8 පෙරලියෙන් සියලු ග්‍රහයෝ නීච වූ පසු මොවුන්ට වෙනස දරාගන්න බැරිවිය. යහපාලනයට කඩේ ගිය ලේ කොලපාට කකුල් දෙකේ ග්‍රහයන් පවා අර ඉස්සර වාගෙ තිබ්බනම් හොදයි නේද කියා කීහ.ඇත්තෙන්ම මිත්‍යාව පැත්තෙන් නම් ජනවාරියේ වුනේ පට්ට විප්ලවයකි. යහපාලයනය මිත්‍යවට විරුද්ධ වූ බව මින් අදහස් නොවේ. සිදුවුනේ මිත්‍යාවට ලැබුන රාජානුග්‍රහය අහිමිවීමය. මුලු රටම තොවිල් පලක් වී තිබුනි. ඩෙන්න ඩෙනා ඩෙනෝ කී ගමන්ය. එය භූතයන්ගේ මායකාරියන්ගේ සුරංගනාවන්ගේ අද්භූත යුගයකි. එක සෙනසුරු මාරුවක ප්‍රධාන පාරක එක දිගට එලගිතෙල් පාන් තිබුනි .ඒ සෙනසුරාගේ වාහනය වන කපුටා හිතවත් කරගෙන සෙනසුරාව ශේප් කරගැනීමටය.
මෙම ශාස්ත්රයේ අනාවැකි කීමට නිශ්චිත ක්‍රමවේදයක් නැත. තත්කාලය , මහදශාක්රමය , ග්‍රහ දෘෂ්ටි ,ආදී ලෙස ක්‍රම 18 ක් ඉන්දියානු ජ්‍යොතිෂයේ ඇත. මෙරට කේන්දර අප්පුහාමිලා එයින් කීපයක් භාවිතා කරති. දල කේන්ද්‍ර හා භාව කේන්ද්‍ර කියා දෙවර්ගයකි. දළ කේන්ද්‍රයේ රාශිවල සිටින ග්‍රහයන් භාව කේන්ද්‍රයේ වෙනත් රාශිවලට යාමට පුලුවන. එවිට ඵලාඵල සියල්ලම වැරදි වේ. දළ කේන්ද්‍රයේ රාශි 12 කට බෙදා ඇත්තේ මිනිසා විසිනි. එය අහසේ ඇති ස්වාභාවික බෙදීමක් නොවේ. භාව කේන්ද්‍රයේදී ග්‍රහයන්ද පිහිටි අංශකය අනුව භාව වලට බෙදයි. එකකින් වැරදුනොත් අනික ලෙස බොරුවෙන් බොරුවට මාරුවිය හැකිවීම මෙම ශාස්ත්රයේ ඇති අපූර්වත්වයයි. දළ කේන්ද්‍රයේ ඵලාඵල වරදුනොත් භාව එක හරි කිව හැක . ඒක වැරදුනොත් ග්‍රහ දෘෂ්ටි අනුව විග්රහ කල හක. ඒකත් වැරදුනොත් මහ දශාය. මේ ලෙස යමක් සිදුවූ පසු ඕන අතකට කරකවන්න පුලුවන් බොරු සකපෝරුවක් ඇත. මෙම ශිල්පයේ රහස මිනිසා තුල ඇති බියයි. මොවුහු මෙම බිය වපුරා පෝර දමමින් වගා කරති. ජීවිත කාලයේ හරි අඩක් සෙනසුරු අපලයට බිය කෙනෙක් විදින පීඩාව බලන්න . අෂ්ටම චන්ද්‍රාෂ්ටම හා ජන්ම ලෙස රාශි 6 ක අපල ඇත. ඉතිරි රාශි ලැබූ විටද සතුටු විය නොහැක්කේ ගෙදර වෙන කෙනෙකුට සෙනසුරා ලබන බැවිනි. කිං කරිස්සන්ති තාරකා කියා බුදු හිමියන් කීවද බෞද්ධයන්ට වඩා වටින්නේ බමුණන්ය. එහෙත් කිතුනුවන් හා මුස්ලිම්වරු ඉතා වාසනාවන්තය. ඔවුන් සමහරෙක් තම උපන් දවස වත් නොදනිති. මේ හැම ජරාගොඩක්ම ඇත්තේ ඉන්දියාවේ හා ලංකාවේ පමනක්ද ?
සෙනසුරු වටා භ්රමනය වන යානයක සිටින ගගනගාමියෙකුට පැයෙන් පැයට සෙනසුරු ලබන නිසා ඔහුට නිතරම නූල් දමන්න සිදුවන නිසා ලංකාවෙන් අජඨාකාශයට යානා යවන දිනක කට්ටඩින්ද යැවිය යුතුවේ.
අහසේ ඇති රටා මාළුන් කබරයන් මී හරකුන් ලෙස නම් තබාගෙන ඒවායේ ගතිගුන ඒවා අහසේ දිස් වූ වෙලාවල උපන් අයට ආරෝපනය කිරීම විහිලුවක් නේද ?
සහෝදර මනුෂ්‍යයන් /ශ්‍රී ලාංකිකයන් රවටා බඩවඩා ගැනීම අපරාධයක් නේද? ඇත්තෙන්ම අනාවැකි කාරයන් තමන් කරන්නෙ බොරුවක් බව දනිති. එහෙත් ඔවුන්ට වෙන රස්සාවක් හොයාගන්න ප්‍රමාද වැඩිය.
කෝච්චියට පැන්න නැකැත්කරු ගැන ශෝකවන අතර කෝච්චියට පැනිය යුත්තේ නැකැත්කරුවන් නොව මිත්‍යාවය. මිනිසා නොපෙනෙන පෙනෙන සියල්ල ගැන සවිඥානක වන දින නැකැත්කරුවන් නොව මිත්‍යාවම කෝච්චියට පනිනු ඇත. නැකැත්කරුවන් වෙනත් රැකියා සොයාගනු ඇත. ඔවුන්ට එහිදී සමාජය උදවු කල යුතුය. වෘත්තීය පුහුණුවක් ලබාදීම වැනි දේ සුදුසුය. හිගන්නන් නැකැත්කරුවන් වැනි අය පුනරුත්ථාපනය කළ යුතුය.