Monday, April 30, 2018

පැම්ප්ලෝනා ස්ත්‍රී දූෂන සිද්ධිය හා ලිංගිකත්වයේ ඛේදවාචකය

Protest Pamplona

පුරා තුන් දිනටත් ස්පාඤ්ඤයේ උද්ඝෝෂන පැවැත්වේ. ඒ සමූහ ස්ත්‍රී දූෂනයක විත්තිකරුවන්ට නිසි දඩුවම් ලබා නොදීම ගැන අප්‍රසාදය පළ කරමිනි. තමන්ට පුද්ගලික සම්බන්ධයක් ණැති කෙනෙක් වෙනුවෙන් මෙසේ ක්‍රියාකිරීම ගැන ස්පාඤ්ඤ කාන්තාවන් ප්‍රමුඛ උද්ඝෝෂකයන් පැසසිය යුතුමය. පම්ප්ලෝනා පොලීසියට අනුව 35000 ක් පමන රැස් ව සිටි අතර ඔවුහු සාමකාමීව සිය විරෝධය පළ කළහ.

මෙය සිදුකර ඇත්තේ පිරිමින් පස් දෙනෙක් විසිනි ඔවුහු සමාජ ජාල වල උපකාරයෙන් එකිනෙකා හා සම්බන්ධ වී තිබීම සැළකිල්ලට ලක්විය යුත්තකි.තාක්ෂණය අපරාධ ප්‍රවර්ධනය කිරීමට යොදාගන්නා මෙවලමක් බවට පත්ව තිබීම කණගාටුදායකය. එසේම සමාජ ජාලා හරහා ස්ත්‍රී දූෂන කල්ලි බිහිවීමේ ඉඩක් ගැනද මෙහි  කියවේ. මෙය අප රටේ බලධාරීන්ද කල්පනාවට ගත යුතුය. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා වැඩක් නැත.

අපගේ අදහසට අනුව කාන්තාවකට එරෙහිව කළ හැකි දරුණුම අපරාධය සමූහ දූෂණයයි. මෑතකදී ලංකාවේද හෙදියක් සමූහ දූෂණයකට ලක්වූ නමුත් ඒ ගැන වැඩි සද්දයක් නැත. සමූහ දූෂණ ගැන ලොක අවධානය යොමුවුනේ ඉන්දියාවේ නිර්භයා නොහොත් ජෝති සිං නම් වූ වෛද්‍ය සිසුවිය ගේ සිද්ධියෙනි.

ස්ත්‍රී දූෂන දරුණු ලෙස සිදුවන්නේ නොදියුනු රටවල යන මිත්‍යා මතය දැන් පුපුරා යමින් තිබේ. ස්ත්‍රී දූෂන වලට දුප්පත් පොහොසත් භේදයක් නැත. ගෑන්ග් රේප් ලෙස සැළැකෙන සමූහ දූෂන වැඩිවීමේ ප්‍රවනතාවයක් දැකිය හැක. දැන් කාන්තාවන් තමන්ට සිදුවූ අපරාධ එලිදරවු කරන ප්‍රවණතාවයක් දැකිය හැකිය. විශේෂයෙන් රාත්‍රී සේවා මුරවල බිම පෙරලගැනීම් ගැන දැන් ප්‍රසිද්ධියේ කතා කරති.මේ ඈත ගම් දනවු වල නොවේ ලෝක ප්‍රසිද්ධ ආයතනවලය.


ස්ත්‍රී දූෂන ඔප්පු කිරීමේදී කාන්තාව අපහසුතවකට පත්වන්නේ ඇයගේ කැමැත්ත සම්බන්ධ කාරණයේදීය. පෙම්වතෙක් හා පෙම්වතියක් අනාචාරයේ හැසිරීම සඳහා රූම් එකකට ගියා කියා සිතමු. මුදල් ගෙව්වේද කාන්තාවයි. ඔවුන් දෙදෙනා  සුහදව යන එන අයුරු සැවොම දුටුවාය කියා සිතන්න. එහෙත් ලිංගික කාර්යයේදී හදිසියේම පුරුෂයාට ස්ත්‍රිය දූෂනය කළ හැක. මේ නිසා ස්ත්‍රියගේ කැමැත්ත යන කාරනය ඉතා ප්‍රවේසමෙන් සළකා බැලිය යුත්තකි. මෙය  ඒබ්‍රහම් ටී කොවුර් උසාවියකදී ඉතා ලස්සනට පැහැදිලි කළේ කුකුලකු කිකිලියක හා සංසර්ගයේ යෙදීම උදාහරනයට ගනිමිනි.දූෂ්නයේදී ස්ත්‍රිය පුරුෂයාට අවනත වෙයි. මේ ස්වාභාවික දෙය කැමැත්ත දීමක් ලෙස වරදවා ගත යුතු නැත. අදාල නඩුවේදී නිදහස් වීමට ආසන්න වී සිටි දූෂකයා ට බරපතල දඩුවම් ලැබුන බව සදහන් වේ. ( කොවුර් ගේ පොතක මා කලකට පෙර කියවන ලද්දකි ). 

ස්ත්‍රී දූෂණය විවාහක යුවලක් අතරද සිදුවිය හැක. බීමත්ව පැමිනෙන සැමියන් අතින් භාර්යාවන් දූෂනයට ලක්වේ. එහෙත් මෙය වරදක් ලෙස තවම අප රටේ පිලිගන්නේ නැත. 

නමුත් මා සිතන හැටියට සමූහ දූෂණ හැරුන විට ස්ත්‍රීන් මුහුන දෙන බරපතලම ප්‍රශ්නය භාරකාරත්ව ස්ත්‍රී දූෂනයයි. මෙය අතවර වල සිට බරපතල ලිංගික අපයෝජන දක්වාම විහිදේ. විවිධ වාසි උසස්වීම් දෙන බව පවසා කාන්තාවන් අපයෝජනයට ලක්වෙන අවස්ථා සුලභය. මෙම ප්‍රශ්නය ගැන කිසිවෙක් කතා නොකිරීම පුදුම සහගතය. ලොක්කන් අතින් මිරිකීමකට හෝ ලක් නොවන කාන්තාවන් ඇද්දැයි මම නොදනිමි.

බස් වල යන කාන්තාවන් හිංසනය ලක්වීම ගැන නම් කතා කෙරේ. හවස පහෙන් පසු මේ තත්වය දරුණුය. කාන්තාවන් බසයට නගින විට පිටුපසින් නගින්නටම සූදානම් පිරිමි කන්ඩායම් සිටිති. ඔවුන් ගමනාන්තයට ටිකට් ගන්නේම කාන්තාවන් ට හිංසා කිරීමටය. කෝච්චිවල ද යහළු වී දූෂනය කර මාරුවෙන ඇන්නා පැන්නා පිරිමි බහුලය. බස්වල කෝච්චිවල යන සියලු පිරිමි නරක යැයි නොකියමි. මේ සුලු පිරිසකි. බහුතරයේ නිහැඩියාව නිසා ඔවුන් ගේ බිය සැක නැතිවී ඇත.


මා ඇසින් දුටු සිද්ධියක්ද කීමට කැමැත්තෙමි. පාරේ කනේ වයර් ගහගෙන සිටි කොල්ලෙක් ඔහු අසලින් යමින් සිටි කෙල්ලකගේ පියයුරක හිතා මතාම අත වැද්දුවේය. ඇයගේ මවද එතන සිටි අතර මව කෑ ගසා බැන්නාය. අසල සිටි වෙළෙන්දන්ද ඕකට ගහන්න ඕන කියා ආවේගශීලී වුවද කොල්ලා පැමින මොන මොනවාදෝ කියා ගියේය. එපමනි.මම බලය ලත් නිළධාරියෙක් නොවේ.මට කල හැක්කේ බලාසිටීම පමණි. සමහර විට මේක කොල්ලාගේ දින චරියාවක් විය හැක.

ගැහැණු ලමුන් තමන් අසලින් යන විට ඩබල් මීනින් කතා කීම සාමාන්‍ය දෙයකි. එවැන්නකට යම් කාන්තාවක් එරෙහි වුනොත් එය ප්‍රවෘත්තියක් වේ. මන්ද එය ඒ තරමටම සාමාන්‍යකරනය වී ඇති නිසාය.

පැම්ප්ලෝනා සිදුවීම්න් පෙනෙන්නේ පිරිමින් වෘක කන්ඩායම් ලෙස සංවිධානය වී ඇති බවයි. පැම්ප්ලෝනා දූෂකයන් තමන්ව හදුන්වාගත්තේද එම නමිනි. වෘකයන්ට අනුකම්පා විරහිතව දැඩි දඩුවම් දිය යුතු බව නොකිවමනාය. එහෙත් දඩුවම් වලට අමතරව ස්ත්‍රී පීඩක සමාජ ආකල්ප වලට එරෙහිවද සටන් කළ යුතුය.

සමාජ ආකල්ප ගැන කියන විට මට මතක් වන්නේ වාරියපොල සිදුවීමයි. එහිදී කොමෙන්ට් කළ සියල්ලෝම බැන්නේ ගහපු කෙල්ලටය. ලොව වෙනත් ප්‍රදේශ ද ලංකාවට වඩා වෙනස්යැයි නොසිතමි.

ඇන්නා පැන්නා පිරිමින්ට එරෙහිව දූෂන චෝදනා ගොනු කළ නොහැකිද ? ලැජ්ජාව නිසා කාන්තාවන් පැමිනිලිකරනවා තබා මිතුරියකටවත් නොකියති. ඇන්න පැන්න එකා මචන් මං  අර බඩුවටත් ගැහුවා ඒකි මට පැනල දුන්නෙ බං කියා කියයි. මේ තත්වය රැකියා සඳහා දුර පලාත්වලට යන පිරිමින්ගේද සෙල්ලමකි. මේ අනිඋන පනින එවුන්ටනම් කිසිම සමාවක් නොදිය යුතුය.

අනෙක් කරුන නම් භාරකාරත්ව ස්ත්‍රී දූෂනය ගැන මීට වඩා හඩක් නගන්න බැරිද  .මේ විශය ගැන සියල්ලන්ගේම නිහැඩියාව මට නම් විශ්මයකි.ස්ත්‍රී දූෂනයේ ප්‍රභේද අතරින් ඉතා දරුණුවටම ඇත්තේ මෙය බව මට සිතේ.

නගරවල සිටින ස්ත්‍රී දූෂන කල්ලි වහා මර්ධනය කළ යුතුය. එසේම කාන්තා හිංසන කල්ලිද මර්ධනය කළ යුතුය. සංවිධානාත්මකව කාන්තාවකට කායිකව හෝ මානසිකව හිංසා කිරීම බරපතල වරදක් ලෙස නීති හැදිය යුතුය. නීති හදා පමණක් වැඩක් නැත. ඒවා ක්‍රියාත්මකද විය යුතුය. එසේම කාන්තාවන් සම්බන්ධ නඩු ඇසීමට විශේෂ අධිකරන පිහිටුවා දිනපතා නඩු ඇසිය යුතු බව මගේ අදහසයි.

මෙසේ නොවුනොත් සමාජය ගැන බියෙන් හා වෛරයෙන් සිටින කාන්තා සංහතියක් ලොවට උරුම වනු එහි ප්‍රතිඵල ගැන යළි යළි කිව යුතු නැත. බලගැන්වීම ගැන මොන බයිල කීවත් ඒවා මායාවක් වනු ඇත. මන්ද කාන්තාවකට ගෙයින් එළියට බහින්න බැරි නිසාය.  

ගෑනු ලමයෙකු හවස් වෙන්න කලින් ගෙදර පැමිණිය යුතුය කියා වැඩිහිටියන් කියන්නේ ඇයි. සත්තු සරපයන් නිසාද නැත. මේ කඩප්පුලියන් පිරිසක් නිසාය. මොවුන් අගහරු ලොවෙන් ආ අය නොවේ. මේ සමාජයේම ගෙවල් වලින් ආ අයයි. ඉතින් සමාජයට මීට වඩා මැදිහත්වීමක් කරන්න බැරිද ?

2 comments:

  1. මම හිතන්නේ ඇතිවෙන්න නීතිනම් තියෙනවා.නමුත් පැමිණිළි අඩු වීම සහ පැමිණිල්ල බාරගන්න ඉන්නේ බොහෝ විට පිරිමින් වීම නිසා ගොඩක් අසාධාරණකම් සිද්ද වෙනවා.

    ReplyDelete
    Replies
    1. වාර්තා වෙන්නෙ සිදුවීම් වලින් 25% ක් වගෙ ප්‍රමාණයක් කියලයි මට හිතෙන්නෙ. ඉතුරු 75% ම කාලයේ වැලිතලාවෙන් වැසී යනවා.

      අපි නිකම් කතාවට වැටුනහම අබේ කණට වැටෙන දේ බැලුවත් මේ භාරකාරත්ව ස්ත්‍රී දූෂණය ඉතා බරපතල ප්‍රශ්නයක්. ඒත් ඒක කොයිතරම් සාමන්‍යකරනය වෙලාද කීවොත් එහි වරදක් නොදකින තරමට සමාජය නරුම වෙලා. ඒව එහෙම තමයි කියන මට්ටමට.

      තාවකාලික සම්බන්ධතා ඇතිකරල ඒ කාන්තාවගෙ පවුල් ජීවිතයත් අවුල් කරල මාරුවෙන අය කෝච්චිවල එහෙම බහුලයි.අනික් තැන්වලත් ඊට වෙනස් වෙන්න බෑ. මේ සම්බන්ධකම් ඇතිකරගන්නෙම කඩන්න බලාගෙන.

      නීති ක්‍රියාත්මක වීමේ දුර්වලකම් තියෙනවා නේද?

      සමූහ දූෂන සිදුවීම අහල ඇතිවුන කම්පනය නිසා ටිකක් ඕවර් ගියාද කියලත් හිතුන පෝස්ට් එක. සමබරබව එහෙම නැතිවුනාද , සැර වැඩිවුනාද කියලත් බයක් ඇතිවුනා.

      Delete