Sunday, April 22, 2018

වඩිනු මැන නිදුකානනේ

බුදුන් හෝ ජින යන වචනයට වඩා නිදුකානන් වහන්සේ යන  වචන වලට මම වඩා කැමැත්තෙමි. මන්ද අපට මීට වසර දෙදහස් පන්සියයකට පෙර දනන්ට පමනක් නොව නූතනයාටද අවශ්‍ය නිදුකානන් වහන්සේ කෙනෙක් බැවිනි. යම් නිර්මිතයක් පහළ වන්නේ සමාජ අවශ්‍යතාවයක් නිසාය. උදාහරනයකට ෆේස්බුක් ආවේ පුද්ගලයන් හදුනා ගැනීමට හා සමාජ සම්බන්ධතා වලට මාර්ගයක් ලෙසය . තේරෙන බසින් කීවොත් issue එකක් තිබිය යුතුය. ඉතින් ලොකුම issue එක වුනේ දුකය. මීට වෙදදුරා වුනේ නිදුකානන් වහන්සේය.

නිදුකානන් වහන්සේ ට ඇත්තටම කියන්නට අවශ්‍ය වුනේ කුමක්ද යන්න මම හැඳෑරුවෙමි. උන් වහන්සේට භූමිකම්පා සිදුවෙන හැටි සූර්යග්‍රහන සිදුවන හැටි ගැන කියන්නට අවශ්‍ය නොවීය. ඒවා ගැන තම උපකල්පනයක් ඉදිරිපත් කලානම් ඒකටත් දොස් කියන්නාට බැරිය. නිදුකානන් වහන්සේ සර්වඥ යැයි සිතා සිටින අය මිස නිදුකානන් වහන්සේට නම් ඔය කිසිවක් වගේ වගක් නැත.නිදුකානන් වහන්සේ දේවාතිදේව බ්‍රහ්මාතිබ්‍රහ්ම කල පසු සබ්බ සකල මනාව ගැනම උන්වහන්සේගේ මතය ප්‍රකාශකල යුතුවිය. මේ නිසා ලාබ සත්කාර සදහා පැවිදිවූ ශ්‍රමන වේශධාරීන්ට වැඩ වැඩිවිය. නිදුකානන් පරමානුව ගැන මෙසේ කීහ නිදුකානන් කලුකුහර ගැන මෙසේ කීහ ආදී වශයෙන් ලියන්න වෙනව අදත් ඒ අය සිටියනම්.

ඇත්තටම මේ කතා නිර්මානය කලේ කා සදහාද. උපාසකම්මලා වෙනුවෙනි. මා කුඩා කල කියවූ පූජාවලිය පොතේ එක් කතාවක වතුරගෙන එන්න කියන්නේ සත් හැවිරිදි රහතන් වහන්සේටය. මුන් වහන්සේද සැවැත් නුවර නිවසකින් වතුර ගෙන එනවා වෙනුවට අනෝතත්ත විලට යයි. එහි දී මහා නාගරාජයෙක් දමනය කිරීමට උන් වහන්සේට සිදුවේ. ගෙදරකින් වතුර ගෙනාවානම් කතා රසය නැත. භික්ෂූහුද සිවුරු ලබාගන්නේ කෙලින්ම අහසිනි. මෙම කතන්දර ඉර සේවය යනු සූර්යයා ගේ බුද්ධ නමස්කාරයක් යැයි සිතූ අපේ ආච්චිලාගේ ශ්‍රද්ධාව වර්ධනය කලද අපට නැගෙන්නේ මන්දස්මිතයකි.  ඇත්තෙන්ම මේ කතන්දරකාරයන් නිදුකානන් වහන්සේට කල හානිය මෙතකැයි කිව නොහේ.


මේ අවස්ථා බලන්න

නිදුකානන් වහන්සේ කිසිකලෙකත් වෘක්ෂමූලික නොවූ සේක ප්‍රාසාදවලම වැඩ වාසය කළ සේක. එහෙත් වෘක්ෂමූලයන් හි සිටීමට  සිදුවුනොත් එයද සමමෙතින් ඉවසූ සේක. නිදුකානන් වහන්සේ අල්පේච්ඡ කම උත්කර්ෂයට නැංවූවෙක් නොවේ.



ධනියගෝපාල අටුකොටු පිරී ඇති බවත් මුදාගත් කිරි ඇතිබවත් උදම් අනමින් මේඝය දැන් කැමතිනම් වසින්න කියා වාසිබස් දෙඩූ කල නිදුකානන් වහන්සේ කුමක් කී සේක්ද

මේ කිසිවක් නැතත් තමන් වහන්සේ සතුටින් සිටින බවයි. මේ සිදුවීමෙන් උන්වහන්සේ ගැන අදහසක් ගන්න බැරිද



තවත් අපූරු සිදුවීමක් නම් අංගුලිමාල දමනයයි. අහිංසක නම් සිසුවාටලැබුන ගුරු පඩුර ඇගිලි දහසකි. ගුරුපඩුර පිදුවේ නැත්නම් සදාකාලික නිරයයි. මේ නිසා අහිංසකට ගැලවීමක් නොවීය. නිදුකානන් අංගුලිමාලට කීවේ කුමක්ද .
"නවතින්න"
මේ වචනය තුල උන් වහන්සේගේ සමස්ත දේශනාවම අඩංගුය. කුමක්ද නවතින්නේ ?
නවතින්නේ සිතිවිලිවල ක්‍රියාකාරීත්වයි. මම යනු සිතිවිලියි. සිතිවිලි වල ක්‍රියාකාරීත්වයයි. මමංකාරය ඇතිවන්නේ සිතිවිලිවල ක්‍රියාකාරීත්වය නිසාය. දුක ඇතිවන්නේ සිතිවිලි නිසාය. එනම් ඇලීමයි. නැවතුන විට ඇලීම නැතිවේ. දර්ශනය හදාරා සිටි අහිංසකට මෙය සැනෙකින් අවබෝධ විය.

භද්ද වග්ගිය කුමරුන්ට කීවේ කුමක්ද
තමන් ගැන සෙවුම  වඩා ප්‍රතිඵලදායක බව නේද

චුල්ලපන්ථකට ලැබුන කමටහන සුදුරෙද්දක් පිරිමැදීමයි. මෙවිට අනිත්‍යාය වෙනස්වීම අවබෝධ විය. මෙවිට උපාදානයන් හා ඇලෙන සුලු බව නැතිවිය. රහත්බව එයයි. මෙම මහා විපර්යාසය සමහරෙක් අත් වින්දේ ගලා යන දිය පහර දැකීමෙනි සමහරෙක් දිවස් හුලෙහිදීය.

මෙලොවට නිදුකානන් කෙනෙක් අවශ්‍ය හරක් බේරීමට නොවේ. දෙව්‍රම් වෙහෙර අසල ඌරු කොටුවේ ඌරන් බේරීමට නිදුකානන් පියවර නොගත්හ. එවැනි වැඩ කරන්නේ උපාදනයන් හි ඇලුන මනස කැළඹුන අයයි. නිදුකානන්  හෝ උන් වහන්සේගේ සව්වන් බාහිර උපාදානයන් ප්‍රශ්නයක් කර නොගත්හ. කොසොල් රජු පන්සියයකගේ හිස් ගසා හිත සන්සුන් අරගැනීමට ආවිට මරණ දඩුවමේ නුසුදුසු කම් නොදෙසූහ. ඒ වෙනුවට කොසොල් රජුගේ සිත සන්සුන් කළහ. කෙනෙක් මෙය මහා ආත්මාර්ථකාමීකමක් ලෙස දකින්නට ඉඩ ඇත. එහෙත් ලෝකය හදන එක නිදුකානන්ට අයත් කාර්යය නොවේ. නිදුකානන් ගේ කාර්යය දුක නැති කිරීමයි. එසේ නැතුඉව දුප්පතුන්ට සෙත සැලසීමවත් නොවේ. සමාජ ප්‍රතිසංස්කරණ නම් කොහෙත්ම අදාල නැත.

නිදුකානන්ගෙ  ඉගැන්වීම කුමක්ද . භවය නැතිකරගන්න යන්නයි

භව යනු කිම? භව යනු සිතිවිලිවල පැවැත්මයි. අප මහ පාරේ අලියෙක් යනවා දකිමු .එම දසුන අපට භවාංගය වෙයි. ඉන් පසු සිතිවිලි ජාලයක කිමිදෙමු. එම භවය අවසන් වන්නේ වෙනත් භවාංගයකිනි.  භව යනු සිතිවිලි නොව සිතිවිලි දාමයක පැවැත්මය.

අන්න එතනයි කතාව. සිතිවිලිවල ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙන මායාවක් තමයි මමත්වය /මමංකාරය.සිතිවිලි කියන්නෙ බාහිරයෙන් ඇතිවන දෙයක්නෙ. මේ සිතිවිලි වලින් තමයි මම කියා කෙනෙක් නිර්මානය කර ඒ වටා ලෝකයක් හදන්නෙ. ඉතින් ආදරයේ පදනම වන මමත්වයත් බොරුවක්. සැනසීම තියෙන්නෙ මමත්වය නැති තැන . ඒ කියන්නෙ අප තුලමයි. බාහිරින් සැනසීම සොයන එක මෝඩකමක්.

පබසර සිතක් ගැන නිදුකානන් දෙසූහ. මෙම පබසර සිත කිළුටුකරන දුහුවිලි කෙළෙස් නම් වේ. මෙම කෙළෙස් පිසදා ප්‍රභාෂ්වරය උද්දීපනය කළ හැක. රහත් වූ විට උඩින් යන්න ඕනෑ කරන්නේ රහතන් වහන්සේට නොවේ. උඩින් යාමේ තෘෂ්ණාවෙන් පෙළෙන කතන්දරකාරයන්ටය. රහතන් වහන්සේ යනු කැවුම් කා එහෙට මෙහෙට පනින කෙනෙක් නොවේ.

නිදුකානන් වහන්සේ ගේ සරල සුගම ඉගැන්වීම් නොතකා ඒ ඇසුරින් ආගමක් තනා ගත් අය නිර්මානශීලීත්වය ගැන පැසසුම් ලැබිය යුතුය. ලොව පුරා ආරාම සැදුවත් නිදුකානන් වහන්සේගේ ‍යැයි සිතා පිළිම ඇඹුවත් තම සිතේ ඇති දුහුවිලි පිසදමන තුරු කිසිවෙකුට නිදුකානන් ගේ සව්වෙක් විය නොහැක්කේමය.

නිදුකානන් වහන්සේ දුටු සත්‍යය දුටු තවත් අය එදාද වූහ අදද වෙති. එහෙත් බහුතරයට එය අප්‍රියය. ඔවුන්ට අවශ්‍ය දෙව් මිනිස් සැපය. එහෙත් මෙම සැපය යනු මායාවක් බව ත් එය සිතිවිලිවල ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන්නක් බවත් ඔවුන්ට නොතේරේ. ඇත්තටම නියම සුවය ලැබෙන්නේ අත් හැරීමෙනි. මෙම සුවය ගැන හැඟීමක් ඇත්තෙකුට දිව්‍යලෝක අපායවල් නැවත් ඉපදීම් අවශ්‍ය නොවේ. බොහෝ දෙනෙක් ජීවත් වන්නේ අතීතයේ හා අනාගතයේය. ඇත්තටම ජීවිතය තිබෙන්නේ මෙම ක්ෂණය තුලයි.අවබෝධ කරගත යුත්තේ එයයි. මමංකාරය ඇතිවන්නේ සිතිවිලි නිසා බවත් දුකට හේතුව එම මමංකාරය බවත් තේරුම් ගත් විට විදින්නෙක් නැති බව අවබෝධ වේ. එවිට දුක නැතිවේ. නමුත් අතීතයේ හා ඒ මත පදනම්ව අනාගත සිහින දකින විට එම බන්ධනයෙන් ගැලවීමක් නැත. අතීතයේ හා අනාගතයේ නොව වර්තමානයේ ජීවත් විය යුතුය.

සිතිවිලි වලට ඉඩ හරින්න .ඒවා විනිශ්චය කරන්න එපා. ගලායන්නට ඉඩ දෙන්න. මේ ඕෂෝ ගේ වචනයි. ඕෂෝගේ දහම තුලින්ද දුක නිවීම සිදුවේ. පුරානයේ සිටි ඉසිවරුන් මෙන්ම වත්මනෙහි ක්‍රිෂ්ණමූර්ති ආදීන්ද කියා ඇත්තේ මෙම එකම කතාවයි.

නිදුකානන් වහන්සේ මහපොලවට ගැනීමෙන් සියලු ප්‍රශ්න විසදේ. උන් වහන්සේ මහා දාර්ශනිකයානන්  වහන්සේද මනුෂ්‍යයානන් වහන්සේද වන සේක. දේවාතිදේව නොවූ සේක.බ්‍රහ්මාතිබ්‍රහ්ම නොවූ සේක. ඊනියා සර්වඥ නොවූ සේක.වයසට ගිය රෝගී වූ පිරිනිවන් පෑ උත්තමයානන් වහන්සේද වන සේක. ගූඪ බවක් නැති ශ්‍රේෂ්ටයානන් වහන්සේද වන සේක. මෙසේ කීම  උන්වහන්සේට කරන නිගරුවක් නොව මහත්ම ගරු සම්මානයයි.


මේ වීඩියෝ වලට සවන් දෙන්න. ඔබට යම් අවබෝධයක් ලැබේවි. ඉතා සරලව නිදුකානන් වහන්සේ ගෙ දහම මෙතන තියෙනවා.

https://www.youtube.com/embed/mF8ZsbDiTKU


https://www.facebook.com/vimukthi.org/?hc_ref=ARSr1-8zCBB47hQvs9pXJZ34kmBQ16-yQhNkSuFZq6ZZXYeKMgyHnaaNFsVILBAtSF4&fref=nf

2 comments:

  1. මෙලොවට නිදුකානන් කෙනෙක් අවශ්‍ය හරක් බේරීමට නොවේ. දෙව්‍රම් වෙහෙර අසල ඌරු කොටුවේ ඌරන් බේරීමට නිදුකානන් පියවර නොගත්හ. එවැනි වැඩ කරන්නේ උපාදනයන් හි ඇලුන මනස කැළඹුන අයයි +++++++

    ReplyDelete