Friday, April 13, 2018

ඉතා අඩු වියදමකින් අවුරුදු සැමරිය හැක

බක් මාසයේ අස්වැන්න ගෙට ගෙන ඒ සතුට භුක්ති විදීමට අපේ පැරණියන් ට යම් අවස්ථාවක් අවශ්‍ය විය. බොහෝ රටවල ජාතික උත්සවය යනු අස්වනු මංගල්‍යම වේ. එසේත් නැත්නම් ඊට කිට්ටුවෙන් යන සූර්ය මංගල්‍ය වේ. බක් මහ සැනකෙළිය අස්වනු මංගල්‍ය හා සූර්ය මංගල්‍ය එකටම යෙදීමකි. එය අපූරුය.

බක් මහ සැනකෙළිය නිර්මාණය වී ඇත්තේ බමුණන්ට අවශ්‍ය පරිදිය. ජ්‍යොතිෂය නම් වූ කඩප්පුලි මිත්‍යාව මෙහිදී අංක එකට දමා ඇත්තේ එහෙයිනි. මෙය මිනිසුන් අකර්මන්‍ය කරවන බියපත් කරවන විජ්ජාවකි. උදාහරණයක් ගත්තොත් සෙනසුරු ග්‍රහයාගේ කක්ෂයක සිටින අජටාකාශගාමියෙකුට නිතරම සෙනසුරු ලබන නිසා ඔහුට නූලක් බදින්නට කට්ටඩියෙක් හොයා ගන්නත් වෙලාවක් නැත. මිනිස් ක්‍රියාකාරකම් ගැන මේ ග්‍රහයන්ට වගේ වගක් නැතත් මේ මනස්ගාත අපි පොඩිකාලෙ සිටම මෙය ඔලුවට දමා ඇති නිසා අපට දැන් ඉන් ගැලවෙන්න බැරිය. ඒ නිසා නැකතට වැඩ ඇල්ලීම නැකතට කෑම ආදී නහුතයක් අවුරුද්දට අයත්ය.

දැන් අවුරුද්ද බමුණන්ට අමතරව වෙළදුන්ටත් අවශ්‍ය පරිදි සංස්කරණය වී ඇත. වැලන්ටයින් දිනය මෙරටට හදුන්වාදුන් ඔලුවක් නැති මාධ්‍ය ජාලය වැලන්ටයින් ගැන අසාවත් නොතිබූ ලාංකිකයාට හදුන්වා දුන්නේ මෙසේය.( මේ ඇත්තම ශ්‍රාවකයෙක් යැයි විශ්වාස කරමු. මැදිරියේම කෙනෙක් නොවිය හැක )

ඔයා දැන් වැලන්ටයින් දවසට මොනවද කරන්න ඉන්නෙ ?

ඈ ඈ හිහි

හි හි නෙමෙයි කියන්නකෝ අනේ
ඔයා මොනවද ආදරවන්තියට අරන් දෙන්නෙ.

දෙනව ඉතින්

දෙනව කියන්නෙ .

මොකක් හරි හොඳ දෙයක්

ඒ කියන්නෙ මිල බලන්නෙ නෑ .ආදරේ තරම පෙන්වන්න හොඳම දේ තමා දෙන්නෙ නේද . එහෙම තමයි හොඳ අදරවන්තයො ආදරවන්තියො හිහි.

එක රැයින් වෙළෙන්දන කෝටි ප්‍රකෝටිපතියන් වූහ.

ඇත්තෙන්ම මේ වෙළෙන්දන්ගේ හා බමුණන්ගේ සැනකෙළියේද  ප්‍රධාන අරමුණ වෙළෙන්දන් හා බමුණන්ගේ සුබ සිද්ධියයි.

මදක් විමසා බලන්න. ගෙදරට එන අමුත්තන් වැඩියෙන්ම කන්න කැමති මොනවාද කියා . ඔවුන් කෑම මේසයේ කැවුම් අතිරස කවදාවත් කන්නේ නැත. කිරි ටොෆි ,කේක් ,තල කැරලි හෝ අලුවා කෑල්ලක් ඇපෙන් බේරෙන්න කති. ඇත්තෙන්ම හැම තැනින්ම ටික ටික කෑමේ හිරිහැරය නිසා කන්නේ අඩුවෙනි. විශාල කෑම නාස්තියක් සිදුවේ.

සීනි හා උකුකිරි ටින් එකක් ගෙන සාදන කිරිටොෆි පිගානක් ,කේක් එකක් ,බිස්කට් එකක් ,තල කැරලි පිගානක් හා කෙසෙල් ඇවරියක් අවුරුදු කෑම මේසයට ප්‍රමානවත්ය.බමුණන්ගේ විකාර නැකැත් කිසිවක් පිලිනොපදින නිසා නැකැත් එනතුරු බඩගින්නෙ ඉන්න වෙන්නෙත් නැත.

ගෙවල් වලට යනවිට එකම කෑම පිගාන හතර අතර කැරකෙන නිසා අවුලක් නැත. ඒ ගෙදරින් ගේන කෑම පාර්සලය මේ ගෙදරට යවයි. මේ ගෙදරින් ගේන කෑම එක යවන්නේ  අර  ගෙදරටය. මේ කෑම තැපෑල අවසන් වන විට කිසිවෙක් නොකා ඉතිරිවන විශාල කෑම ප්‍රමාණයක් නාස්ති වේ . ඒවා දමන්නේ බල්ලන්ටය. වියදම් අඩු කිරීමට බුලත් අතක් සමග බිස්කට් එකක්  ගෙන යන්නටද පුලුවන.


තමන්ට හා ගෙදර අයට ඇදුම් ගැනීමට සූර්යයා මේශ රාශියෙන් මීන රාශියට යනතුරුම සිටිය යුතු නැත. අවශ්‍ය  වූ විට ඇදුම් ගන්න. රැල්ලට භාණ්ඩ මිලදී ගන්න යන විට හොද කොලිටි බඩු ගන්න බැරි වෙයි.

වර්තමාන කාර්යබහුල ජීවන රටාවට නොගැලපෙන මේ සැණකෙළිය අඩු වියදමින් කරගැනීම රටේ ආර්ථිකයටත් හොඳය. 

ඇත්තෙන්ම අපගේ ප්‍රධානම ගැටළුව අපගේ අධි වියදම් ජීවන රටාවයි. අප මිලදී ගන්නේ අපට අත්‍යවශ්‍යම දේ නොවේ. වෙළෙන්දාට අවශ්‍ය දේය. අධි වියදම් ජීවන රටාවෙන් බේරුනොත් එය අපේ පොකැට්ටුවට පමණක් නොව සෞඛ්‍යටත් හොඳය.

1 comment: