Friday, March 9, 2018

ස්පාඤ්ඤයේ කාන්තා විප්ලවය


ස්පාඤ්ඤය යනු මට සමීප  රටකි.  ප්‍රාථමික පන්තිවලදීද මට ස්පාඤ්ඤය හා පෘතුගාලය ගැන යම් දැනුමක් තිබිණි. ඒ ගෙදර ගොඩ ගසා තිබූ කවුරුත් නොකියවන ඉතිහාස පොත් නිසාය. මගේ විනෝදාංශය වුනේ මේ පොත් කියවීමයි.  එබැවින් කස්ත්‍රෝ ලා කුටිඤ්ඤෝ ලා නොරාඤ්ඤා ලා පිලිප් ලා මට හුරු පුරුදු නම් විය. 
ස්පාඤ්ඤය හා පෘතුගාලය සහිත බිම්කඩ අයිබීරියාව ලෙස හැඳින්වේ.අයිබීරියානුවන්ගේ ධීර වීර බව මගේ සිත් ගත්තේය. පසු කලෙක යුරෝපා ඉතිහාස හා රෝම ඉතිහාසය ගැන පොත් කියවා අයිබීරියානුවන් ගැන තවත් දේ දැනගතිමි.

අයිබීරියාවේ මුල් සාර්ථක ජනාවාසකරුවන් ෆිනීෂියානුවන්ය. ෆිනීෂියානුවන්ට මුහුද යනු ගමේ වැවකි.වර්තමාන ලෙබනනය තිබෙන ප්‍රදේශයේ තිබූ සාර්ථක ශිෂ්ටාචාරයක් වූ ෆිනීෂියානුවන්ගේ සුප්‍රකට නගර වුනේ  ටයර් කාතේජ් වැනි නම් දැරූ ඒවාය. ඒවා ලෝක වෙළද මර්මස්ථාන විය. මේ පිනීශියානුවෝ අයිබීරියාද ජනාවාස කළහ. පසුව අයිබීරියාව රෝමවරුන් ජනාවාස කල අතර අයිබීරියාව වඩාත් රෝමකරනය වූ පළාතක් විය. පසුව විසිගොත් වැනි ජර්මැනික් ගෝත්‍ර මේ හැමටම වඩා අයිබීරියාවේ තම ලකුණු තැබූහ. අයිබීරියානුවෝ වත්මන් බටහිර සභ්‍යත්වයේ ද පුරෝගාමීහු වෙති. පසුකලෙක මුස්ලිම්වරු යුරෝපය ආක්‍රමනය කල යුගයේ මුස්ලිම්වරු ටුවර් නගරයේදී ප්‍රංශ චාල්ස් මාර්ටල් විසින් පරාජය කල පසු මුස්ලිම් බලය අයිබීරියාවට සීමා විය. චාල්ස් මාටල් අතින් පරාජය වුන අබ්දුල් රහමන් අයිබීරියාව ( අන්දලූස ) හි මහා වීර සෙනෙවියා විය . අයිබීරියාවේ මුස්ල්ම් පාලනය පර්ඩිනන්ඩ් හා ඉසබෙලා යන  දෙදෙනාගේ මෙහෙයවීමෙන් කැරලි ගසා  අවසන් කරන ලදී. ඉන්පසු කතෝලික ලෝකයේ ආරක්ෂකයා හා ප්‍රචාරකයා ලෙස අයිබීරියානුවෝ දිගුකලක් ලෝක දේශපාලන වේදිකාවේ විරාජමාන වූහ.ස්පාඤ්ඤය ලෝක දේශපාලනයේ දැවැන්ත විප්ලවයක් කලේ නව ලොව සොයායාමේදීය.ක්‍රිස්ටෝපර්කොලොම්බස් ඊනියා නවලොව සොයාගත් අතර  හර්නැන්ඩෝ කොටෙස් පිසාරෝ වැන්නන් දකුනු ඇමරිකාව සුනේ සුන් කලහ. මානව හිමිකම් ගැන වගේ වගක් නැති කාලයක පෘතුගීසි හා ස්පාඤ්ඤ ජාතිකයන් කල අපරාධ වාර්තා බිදහෙලීම වෙනත් ජාතියකට පහසුවෙන් කල හැක්කක් නොවේ. අද බ්‍රසීලය හරුන විට මුලු මධ්‍යම හා දකුනු ඇමරිකාවේම ස්පාඤ්ඤ සංස්කෘතියක් ඇත.


අයිබීරියාව ගැන මීට මාස කිහිපයකට පෙර පුවත් මැව්වේ කැටලෝනියාව වෙනම රාජ්‍යයක් ලෙස පෙනී සිටීමේ අසාර්ථක උත්සාහයක් නිසයි. ඇත්තෙන්ම බාසිලෝනාව මැඩ්‍රීඩයේ ආධිපත්‍ය ඉතිහාසයේ බොහෝ අවස්ථාවලදී අභියෝගයට ලක්කර ඇත.එය ලිබියාවේ   ට්‍රිපොලි හා බෙන්ගාසි නගර අතර තරඟය වැන්නකි. වෙන් වෙන් රාජ්‍ය එක්සත්කර මහා රාජ්‍යයන් ගොඩ නැගූ පසුවද පැරණි භේද ඉදහිට මතුවීම ස්වාභාවිකය.ස්පාඤ්ඤය ගැන මෙවර ලෝක අවධානය දිනාගත්තේ මාර්තු 8 වෙනිදා සිදුවූ මහා කාන්තා වැඩ වර්ජනය නිසාය. කාන්තා වැඩ වර්ජනයක් පැවති මුල්ම රට ස්පාඤ්ඤය නොවේ. ඒ අයිස්ලන්තයයි. ඒ මීට දශක ගනනකටපෙරය. අයිස්ලන්තය Gander equality අතින් අදද ඉදිරියෙන්ම සිටින රටකි.  මෙම වර්ජනය අයිස්ලන්තයේ වූ වර්ජනය වැන්නක් නොවේ.  දැවැන්ත ක්‍රියාදාමයකි. මුලු ස්පාඤ්ඤයම ඇනහිට තිබේ. දුම් රිය වාර අවලංගු කර තිබේ. එහෙත් කලින් මෙන් මෙවර ගබ්සා කර ගැනීම් හා දරුවන් අත හැර දැමීම් වාර්තා වී නැත. වාර්තා නොවුනාට සමහරවිට සිදුවන්නට ඇත.ලක්ශ 50 කට වැඩි කාන්තාවන් මෙයට සහභාගි වී ඇත. ස්පාඤ්ඤයේ ජනගහනය කෝටි හතර හමාරක් වන නිසා මෙය ඉතා විශාල ප්‍රතිශතයකි.


මෙදා පාර කාන්තාවෝ ගෙදර දොර වැඩද නැවැත්වූහ. පොඩි ලමයි බලා ගැනීම වැඩි මහල්ලන් බලා ගැනීම ඇතුලු සියලු ගෘහ කටයුතු නැවැත්වූහ. මේ නිසා පිරිමින්ට අනෙක් වැඩ නවතා එම කටයුතුද බලන්නට විය. පාසල් ගිය ළමයා ගෙදර එක්කගෙන ඒම මව විසින් ප්‍රතික්ශේප කර ඇති බව තාත්තා දන්නේ අන්තිම මොහොතේය. මෙම සමාජය ලිංගික වශයෙන් බෙදුන සමාජයක් බව මෙයින් පෙනේ. අපේ සංස්කෘතිය තුල සිටින කෙනෙකුට මෙවැන්නක් තේරුම් ගැනීම දුශ්කරය. බටහිර පවුල යනු අප දකින පවුල් ඒකකය වැන්නක් නොවේ. උදාහරනයකට ස්පාඤ්ඤයේම පවුල් දහයකින් දරුවන් සිටින්නේ පවුල් හතරකය. පවුල් තුනක දරුවන් නැති අතර අනෙක් පවුල් තුන ඒක පුද්ගල පවුල්ය. ස්පාඤ්ඤය ඇතුලු බටහිර ලෝකය සමන්විත වන්නේ හුදකලා මිනිසුන්ගෙන්ය. අවුරුදු 18 පිරුන පසු නෑදෑකම් නැති හුදකලා මිනිසුන් ගැහැනුන් වෙයි. පුද්ගලිකත්වය ඉහලින්ම සලකන මෙම සමාජ ලිංගික වශයෙන් බෙදී තිබීම අරුමයක් නොවේ.



වර්ජක ස්ත්‍රීන්ගේ ප්‍රධානම ඉල්ලීමක් නම් වැටුප් පරතරය නැති කරන ලෙසයි. ස්ත්‍රීන් හා පුරුෂයන් අතර විශාල වැටුප් පරතරයක් තිබේලු. මේ කියන්නේ අරාබි රටක නොව බටහිර රටකය. ලක්ෂ 50 ක් ස්ට්‍රයික් කරන්නෙ මේ රටවල නො අනුමානවම කාන්තාවන්ට විශාල ප්‍රශ්නයක් ඇති නිසාය. සවුදි අරාබියේ මෙවැනි වර්ජන අසන්නට නැති අතර එම රටවල කාන්තාවන්ට ස්පාඤ්ඤය වැනි බටහිර  තරම් ප්‍රශ්න නැතැයි මට සිතේ. පාලකයිනි ජනතාවගේ සියලු ප්‍රශ්න විසදනු කියා එක්තරා වාමාංශික පක්ෂයක් ගසන පෝස්ටර් මට සිහිවේ. වැටුප් පරතර ලිංගික හිංසනය යන ඒවා කවදාවත් විසදා අවසන් කල හැකි ඒවා නොවේ. නමුත් සටන් පාඨ ලෙස ඉතා වටී.


මෙයින් කියවෙන්නේ කාන්තාවන්ට වැටුප් ගෙවීම් වල අසාධාරන සිදුනොවෙනවා යන්න නොවේ. ශ්‍රී ලංකාව වැනි රටවල කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මෙවැනි දේ මට නිරීක්ෂනය වී ඇත. කලකට ඉහත ගොයම් පැල සිටවීම්  දේවලට පිරිමියෙක් ආ විට ඔහු මම පිරිමියෙක් මට වැඩිපුර අවශ්‍යයි කියා ඉල්ලන අවස්ථා තිබිණි.. නමුත් ගොයම් පැල සිටවීම වැනි දේවල් වලට පිරිමින්ට වඩා හොද කාන්තාවන්ය. කාන්තා ශ්‍රමය අවතක්සේරු කිරීම දැකිය හැකි අතර ඒ සමාජයේ පහල මට්ටම්වලය. ඒ හැර ඉහල කලමනාකරන රැකියා වලද මෙය මීට වඩා වෙනස් ආකාරයෙන් දැකිය හැක. නමුත් මේ සියල්ල සමාජ වෙනස් වීම් වලට සමගාමීව සියුම්ව වෙනස් වීමට නියමිත ඒවාය. මේ තරම් ප්‍රචන්ඩ ප්‍රතිකාර ටිකක් ඕවර් යාමකි. බටහිර සමාජයේ සංක්‍රමනික විරෝධී නාසි වාදයන් මෙන්ම ලිංගවාදයන්ද පැතිරේ. යුදෙව් ක්‍රිස්තියානු  මූලයන් ඉදිරී වැටෙමින් පවතී. එළබෙන්නේ අලුත්ම ලෝකයකි.

ස්පාඤ්ඤයේ සිදුවූ කාන්තා වර්ජනය හැමටම ඇස් අරවන්නකි. වැටුප් ප්‍රශ්න හා ලිංගික හිංසනයන්ට අමතරව මෙහි වෙනත් පැත්තක්ද තිබේ. පවුල් සංස්ථාව බිදවැටී ඇති තරම පෙන්වන්නකි.බටහිර සමාජය රෝගී වූවකි. එම රෝග ලක්ෂන වරින් වර මතුවේ. යුරෝපා ඉතිහාසය ගැන අනගි විවරනයක් කල ඩැරල් ෆෝඩ් මෙසේ කියයි." රෝම සභ්‍යත්වයට මාරාන්තික වූ විශබීජ අපේ යුරෝපා සභ්‍යත්වය තුල තිබේද යන්න සොයා බැලිය යුතුය."



යුරෝපය හා ඇන්ග්ලෝ ඇමරිකාව තුල ඇත්තේ ඉතා කිට්ටු සංස්කෘතික සමානකම්ය.  වෙනසක් දකින්නම බැරි තරම්ය. මේ රටවල ආර්ථික වර්ධනය ඉතා අඩු අතර දරු උපත්ද ඉතාම අඩුය. මේ රටවලට සංක්‍රමනිකයන් අවශ්‍ය වන්නේ මේ නිසාය. එක්සත් ජනපදයේ ට්‍රම්ප් මේ ප්‍රශ්නය තේරුම් ගත් අතර ඔහුගේ ජය සුවිශේෂය. එහෙත් ඔහුට මහ මේඝය මකුලු දැලකින් නැවැත්විය හැකිදැයි නොදනිමි. ලෝකය තුල බටහිර වැදගත්කම එන්න එන්නම අඩුවනු ඇත. කොල්ලෑව නැති ඔරු සේ දඩාවතේ යන මිනිසුන් මුරුගසන් වර්ෂාවට තෙමුන පරිදි සටන් වදිනු ඇත. නවනාසිවාදයට අමතරව ලිංගික ගැටුම් ද ඇති වනු ඇත.  යුරෝපයේ හා ඇමරිකාවේ දරුවන් නැති කාන්තාවන් ප්‍රමානය ඉතා විශාලය. ඇමරිකාවේ සුදු දරු උපත් ප්‍රමානය ට වඩා වෙනත් දරු උපත් වැඩිවී ඇත.

.මේ සියලු දේ සිදුවන්නේ බටහිර සංස්කෘතිය තුලය. වෙනත් සංස්කෘති වල සිටින අසම්මත බටහිර කරනය වූ සුලු පිරිසක් බටහිරට වහින විට කුඩේ ඉහල ගත්තත් ප්‍රධාන ධාරාවට එය අදාල නැත. බටහිර පැතිරෙන මී ටූ ව්‍යාපාරයට හා ස්පාඤ්ඤ රැඩිකල් කාන්තා විමුක්තිවාදීන්ට සුබ පැතිය යුතුය. ඔවුහු උදාවන නවලොවක පෙරගමනට කසකාරයන් වී තිබේ. ඔවුන්ගේ අරගලය නවලොවකට මංපෙත් විවර කරනු ඇත. ඒ නවලොව අරාබීන්ගේ චීනුන්ගේ රුසියානුවන්ගේ හෝ ඉන්දියානුවන්ගේ විය හැක.

No comments:

Post a Comment