Wednesday, March 7, 2018

සතුට

අද සේවය නිමවා නිවෙස් බලා එමින් සිටි අයට කොටුව දුම්‍රිය පොලේදී  චිත්‍රකතා පත්‍රයක් නොමිලේ බෙදුවේය.සතුට නම් වූ මෙය  අසූව දශකයේ ජනප්‍රිය සතුට පත්තරේ සිහි කැදවීමකි. කෙසේ හෝ  නොමිලේ පත්තර බෙදෙන එක නම් අපූරු අත්දැකීමකි. මෙය සිදුවූ පලමු අවස්ථාව මෙය නොවුනද මට එය විශේෂ දෙයක් විය. හේතුව චිත්‍රකතා අභාවයට යන මාධ්‍යයක් වීමයි. අද චිත්‍රකතා පත්තර මෙසේ නොමිලේ බෙදුවද අසූව දශකයේ මේවා මිලදී ගන්නට පොරකෑහ. සතුට පත්තරේ සමග මට මතක් වුනේ ඒ අසූව දශකයේ සුවදයි.මමද පිටපතක්  ගත්තෙමි. සුප්‍රකට ජනප්‍රිය චිත්‍රකතා ශිල්පීන් රැසක්ම විය. 

එකළ එක්තරා හිතවත් විශ්‍රාමලත් විදුහල්පතිවරයෙක් මගේ දෙමාපියන් හා කල සල්ලාපයකදී අද ( එදා ) හැදෙන සමාජය ගැන බරපතල විවේචනයක් කල අයුරු මට මතකය. ඒ බසයක් එනතුරු බස් හෝල්ට් එකේ සිටින විටය.මට ඔහු කවුද කියා මතකයක් නැත. නමුත් ඔහු කාලෙකින් හමුවූ අයෙක් බවත් මේ අහම්බ හමුවීම කාටත් ප්‍රීතියක් වූ බවත් මතකය. සාමාන්‍ය කතාබහ එකවරම පෙරලුනේ සුචරිතය දෙසටය. එකළ රූපවාහිනියවත් හරියකට ගෙවල්වලට ඇවිත් තිබුනේ නැත.සුචරිතය අතින් ඔහුගේ බරපතලම විවේචනය වුනේ අති භයානක චිත්‍රකතාය. මම කුඩාළමයෙකු ලෙස මේ භයානක චිත්‍රකතා මෙන්ම ඒවා කියවන භයානකයන් ගැනද විශ්මයෙන් අසා සිටියෙමි. ඔහු චිත්‍රකතා කියවන්නන් විශේෂයෙන් තරුණියන් ගැන දුන් චරිත සහතික එතරම්ම සුන්දරය. අසූව දශකයේද විශ්‍රාමිකයෙකු වූ පසු කළෙක සිදුවූ සමාජ විපර්යාස බොහොමයක් නොදකින්නට තරම් පින් කරතිබූ බව නම් සහතිකය.එහෙත් එකළද අපේ පන්තියේ සිරිතක් ලෙස ප්‍රසිද්ධියේම චිත්‍රකතා කියවන්නෙක් සිටියේය.

චිත්‍රකතා කෙරෙහි සමාජ ආකල්ප එසේ වුවද අප චිත්‍රකතා හොරෙන් හෝ බලන්නට පෙලබුනෙමු. එයට බරපතල විරෝධයක්ද එල්ල නොවීය. වඩා ප්‍රබල ටෝගාද යුනිකෝද යන්න අපගේ කෙලවරක් නැති වාදයන්හි වස්තුබීජයක් විය.  එම කතාද ඉතා නිර්මානශීලීය.සතිපතා පලවූ චිත්‍රකතා පත්තරේ කඩේට එනතුරු තරුන තරුණියෝ පුල පුලා සිටියෝය. එකළ ජාතික පුවත්පත්ද එකකට දෙකකට වඩා නොතිබුනි. රූපවාහිනිය ආ අලුතය. බොහෝ දෙනෙක් හවුලෙ රූපවාහිනිය බැලූ යුගයකි. හැමෝටම  වාගෙ ස්මාට් ෆෝන් තිබෙන තව ටික කලෙකින් වර්චුවල් රියැලිටි හෙඩ් සෙට් දාගෙන සම්පූර්නයෙන්ම හුදකලා වීමට නියමිත සමාජය අසූව දශකයේ තිබුනේ එසේය.


එකළ තරුණ තරුණියන්ගේ ජනප්‍රිය මාධ්‍යයක් වූ මෙම කලාව පසුකලෙක අභාවයට ගියේ එම කලාවේ අඩුවක් නිසා නොව නව මාදිලි ආ නිසාය. පසුකලෙක ජනප්‍රිය වූ බට්ටි ටෙලිකතා මාලාවද එදා සතුට පත්තරේ ගිය අගනා නිර්මාණයකි. චිත්‍රකතා කලාව මොනතරම් ඉහළ මට්ටමක තිබුනාද යන්නට මෙයම හොද උදාහරණයකි.මුලින් රූපවාහිනිය ආ විට සමහරු බිය පලකලේ ඉතින් පොත් ඉවරයි කියාය. එසේ නොවීය. පරිඝනකය නිසා පත්තර අභාවයට යනු ඇතැයි සිතන අයද සිටී. එහෙත් පත්තර අලෙවියේ අඩුවක් නැත. අලියගෙන් ගන්න වැඩේ පරෙවියගෙන් ගන්න බැරි සේ පත්තරෙන් කරන වැඩේ පරිගනකයෙන් කළ නොහැක.එනිසා චිත්‍රකතාද තිබිය යුතුය.

අලුත් පත්තරේ වෙනත් පත්තරයක අතිරේකයක් ලෙස දෙන්නකි.එය වඩාම හොදය. එවිට එම දිනපතා පුවත්පතටද වැලියු එකක් ඇඩ් වේ. තනියම නැගිටින්නට චිත්‍රකතා වලට අද ටිකක් අසීරු බැවිනි. මේ විදියට හෝ චිත්‍රකතා කලාව යලි දියුණුවන්නේනම් සතුටකි.

No comments:

Post a Comment