Monday, March 19, 2018

පිපිලා චන්ඩි පොහොට්ටු - කාටද දැන් පාරට්ටු

නිමිත්ත - පලාත් සභා මන්ත්‍රීවරයෙක් හා බිරිද මහ දවාලේ මැරවරකමක් කරන අයුරු ජංගම දුරකතනයකින් වීඩියෝ කිරීම නිසාඑය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට නොදී ප්‍රවෘත්තියක් බවට පත් වෙයි.

පිපිලා චන්ඩි පොහොට්ටු
කාටද දැන් පාරට්ටු
බීපන් මෙන්න සුරුට්ටු
ඕකයි අපේ කැරැට්ටූ

අපට ඕන චන්ඩි රජෙක්
අඩෝ හරිය කියල කියන පොරක්
සරම කරට ගන්න කෙනෙක්
ඇග රතු වෙනකන් ගහන යකෙක්

චන්ඩින් ගේමු සබයට
මැරයන් ගේමු බලයට 
අපි ඉදිමු පොඩියට
යමු පාෂණ යුගයට


චන්ඩියා සහ චන්දය අතර ඇත්තේ කිට්ටු සම්බන්ධයකි. චන්ඩින්ට ප්‍රේම කල ජනයා තම කෘතවේදීත්වය ඔවුන්ට පළ කරන්නේ කෙසේද කියා අහස පොලව ගැටලමින් කල්පනා කිරීමේ ප්‍රතිඵලයකි ඡන්දය. ඡන්දය යන්න චන්ඩියා යන්නෙන් බිදුන වදනකි. චන්ඩින් චන්ද දිනීමේ රහස එයයි.

සිනමාව විරාජමාන වූ කාලයේ එලිදුටු සිනමා පට මේ චන්ඩි සංකල්පයට පෙම් බැද තිබිණි. තමන්ට සැබෑ ලෝකයේ ගහන්නට බැරි දුෂ්ටයන්ට විජය ගාමිනී රිදී තිරයේදී ගහනවා දුටු රසිකයන්ට නිච්චි නිනවු නැතිවිය. එකළ ජනප්‍රිය වූ චන්ඩි චිත්‍රපට සමහරක් මෙසේය.
චන්ඩි රජා ,මමයි රජා , හතර දෙනාම සූරයෝ ( චන්ඩියෝ ),චන්ඩින්ගෙත් චන්ඩියා ,චන්ඩියගෙ පුතා ,හිත හොද චන්ඩියා.

 චන්ඩි සංකල්පය දුබල මනසට මොනතරම් ප්‍රියද කියා මෙයින් පෙනේ. වඩාත්ම නූගත් හැම අතින්ම දුර්වල මිනිසුන්ගේ ගැලවුම්කාරයා හිත හොඳ චන්ඩියාය. චන්ඩියාගෙන් ලබන සේවය සඳහා කරන ගෙවීම කීප ගුනයක් වැඩි බව මොවුන්ට අවබෝධ නොවේ.

චන්ඩියා යනු ලේසි පාසු කෙනෙක් නොවේ. සියලු රජවරුන්ගේ මූලය චන්ඩියෙකි. ආදිකාලීන ගෝත්‍රවල සිටි මැරවරයන් පසු කාලයක රජුන් ලෙස පරිණාමය විය. රජුන්ගේ බලය පෙන්වූයේ අන්තහ්පුර ස්ත්‍රීන් හා වහලුන් ප්‍රමාණය මතය. රාජකීයත්වය හා බැදුන අනෙක් කාරනය නම් දීන මුග්ධ බවයි.රාජකීයත්වය හා දීන මුග්ධ බව ගහට පොත්ත මෙනි.

චන්ඩියෙකුගෙන් චන්ඩියෙකුට බලය මාරුවෙන සම්ප්‍රදාය වෙනස් වුනේ ලොව පලමු රැකියාව කළ අය සබයට ඒමෙනි. ලොව පළමු රැකියාව කළායැයි කියන්නේ පූජකයන්ටය. චන්ඩියා ගෝත්‍රයේ සියලු ස්ත්‍රී සැප ලබමින් දඩයම්වල හොදම  කොටස භුක්ති විදිමින් රංචුව බියවද්දා වැඩ ගනිමින් කරන අයුක්තිය කල්පනා කල දුර දක්නා මිනිසුන් පූජක වෘත්තිය බිහිකළහ. ඉන් පසු ගෝත්‍රයේ ස්ත්‍රීන් රස විදීමේ වරම ,දඩයම්වල හොදම කොටස පූජකයා සමග බෙදා ගන්නට සිදුවිය. පූජකයාගේ කාර්යය වූයේ ඇසට නොපෙනෙන ලෝකය ගැන මෙන්ම ඇසට පෙනෙන ඉර හද තරු ගැන ලෝකෙ නැති බොරු හදා කීමයි.මෙය චන්ඩියාගේ භූමිකාවට වඩා බැරෑරුම් වූයෙන් නොබෝ දිනකින් පූජකයන් රජුන් විය. ආදි කාලීන පෞර රාජ්‍ය වල සිටියේ පුර දේවතාවාගේ පූජකයාද වන රජෙකි.

චන්ඩිකම යනු අනාදිමත් කාලයක සිට එන දෙයක් බවත් එය ලේ මසට කා වැදුන දෙයක් බවත් නූගත් දිළිදු මනස චන්ඩිකමට හොද සරු පසක් බවත් පෙනේ. චන්ඩින් ගැන ගරුත්වය ඇතිවන්නේ මෙවැනි මනස් තුලය.

මෙම ක්‍රමය වෙනස් වුනේ කාර්මික විප්ලවයෙන් පසු නිලබල ක්‍රමය භාවිතයට ඒමෙනි.ඊට පෙර පාලකයාත් පූජකයාත් ජනතාව බිය වැද්දීමේ කලාවේ විවිධ මානයන් අධ්‍යනය කරමින් සිටියහ. මනස්කාන්ත චාරීත්‍ර විධි ,අමුතු ඇදුම් පැළදුම් අභිචාර වලින් පෙන්නුම් කලේ ගූඪබවකි. මෙය ජනතාව යටපත් කිරීමටය.එහෙත් කල් යත්ම  පුද්ගලයාගේ තත්වය තීරණය කිරීමේ වෙනත් නිර්නායකද ඇති විය. ඒ සමගම   ආගම හා රජුගේ හිතුවක්කාරකමම නොව වෙනත් මානයන්ද මතු විය. සමාජය වෙනස් විය.මානව හිමිකම් සමානාත්මතාව සාධාරණය යුක්තිය සදාචාරය යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය වැනි සංකල්ප ඇගයීමට ලක් විය. එහෙත් මේ සංකල්ප වැළද ගැනීමට තරම් දියුණු නැති අය තවම කැමති චන්ඩින්ටය. ඔවුන් ජීවත් වන්නේ වසර ලක්ෂ ගනනක් අතීතයේය.

එහෙත් මධ්‍යස්ථ මතධාරීන් ලෙස අපට මෙය දෙස පොදු ඇසින්ම බලන්නට බැරිය. ලංකාදීපයේ නිතරම කොමෙන්ට් කරන බමුනුආරච්චි කියනවාක් මෙන් බස් ගොයියා කෙසෙල් ගසකට කොටා ඇත. අපේ ඇසට පෙනෙනෙ දේම නිවැරදි නැත. රත්නපුරේ බට්ටිගෙ කතාව බලන්න. ඉස්කෝල අසල බට්ටිලා රස්තියාදු වෙන්නේ කොල්ලන් මෝල් කර පොකට් මනි වලට විදින්නටය. මෙය සද්ක්‍රියාවක් නොවේ. බට්ටි වෙනුවෙන් අඩා දොඩා විප්ලවීය ගී ලියන්නට පෙර මේ ගැනත් සිතිය යුතුය. ඇත්තෙන්ම බට්ටිලා වෙනුවෙන් දුක් ගී ලිවීම නොව ඔවුන් පුනරුත්ථාපනය කිරීම සිදුවිය යුතුය. එසේම මේ සිද්ධියේද පීඩකයා කවුද පීඩිතයා කවුද යන්න බැලූ බැල්මට කීමට බැරි විය හැක. සමහරවිය හාත්පසින්ම වෙනස් කතාවක් පසුබිමේ තිබෙනවාද විය හැක. දේශපාලකයෙක් සම්බන්ධ වීම හා ඔහුගේ පවුල් පසුබිම මතම පූර්ව නිගමනයකට ඒම සුදුසු නැත.

සිදුවිය යුත්තේ චන්ඩිකම උත්කර්ෂයට නැංවීමේ පුරුද්ද නැති කර දැමීමයි. ඒ වෙනුවට සාක්ච්ඡාව සම්මන්ත්‍රණය හා සම්මුතියෙන් ප්‍රශ්න විසදා ගන්න තැනට සමාජය තල්ලු කිරීමය. චන්ඩිකම යනු වීර කමක් නොව මෝඩ පසුගාමී ලජ්ජා විය යුතු දෙයක් බවත් වැදගත් අය ප්‍රශ්න විසදාගන්නේ එසේ නොවන බවත් අවබෝධ කර දීමය.

5 comments:

  1. හොඳයි . ඒ වුනත් සිදුවීමක අන්තිම කොටස විතරක් බලල තීරනයකට එන්න එපා. ඕකෙ මුල් හරිය වීඩියෝ එකේ නෑ නේද

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ඔබට දියයුතු පිළිතුර යට කොමෙන්ට් එකේ කතා කතුට දී තිබෙනවා. කරුණාකර එය අදාල කරගන්න. අදහස් දැක්වීමට ස්තුතියි.

      Delete
  2. මා මේ වීඩියෝවේ පිස්තෝලය ලෙලවනා ලලනාව ගැනත් ඇගේ සැමියා ගැනත් විශේෂ හිතවත් කමක් නැතත් ගුටි කන බස් රියැදුරා කෙරේ අනුකම්පාවක් ද නූපදී. මේ මාර්ග විනය නැති වීම දුර දිග යාමක ප්‍රතිඵලයකි. මාර්ග විනය නැති දෙදෙනක් සම්මුඛ වූ කළ මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

    මෙහි ලලනාවගේ භූමිකාව තීරණාත්මක බව සිතමි. ඈ නොසිටින්නට සහ ඇගේ අතේ පිස්තෝලය නොතිබෙන්නට ඇගේ සැමියා වින්දිතයා වීමට තිබුණේ යැයි මා සිතන ඉඩ ඔබ බැහැර කරන්නේද ?

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි. අප දකින දේ නිවැරදිම නොවේය යන්නට මෙයම හොඳ නිදසුනක්. වින්දිතයා බස් රියදුරෙක් බව දන්නෙ පස්සෙ. ඒක දැනගත්තට පස්සෙ දාම්දෝ නොදාම්දෝ කියලත් හිතුන. ඒකයි මේ පෝස්ට් එක ප්‍රමාද වුනේ. ඒත් කවි පන්තිය නිකමට වගෙ පල කරන්න හිතුන. මේකෙ අතුරු කතාවකුත් තියෙන නිසා..
      අද "අද" පත්තරේ තියෙනව බදුල්ලෙ ප්‍රයිවෙට් බස් රියදුරෙක් මහලු කාන්තාවකට දරුනු ලෙස පහර දුන් කතාවක්.වෙන රටවල රියදුරු කොන්දොස්තර තනතුරු සඳහා ගන්නෙ විනයගරුක අය. නමුත් ලංකාව ඉන්දියාව වගෙ රටවල මේ තනතුරුවලට ගන්නෙ සමාජයෙ ඉතාම අවිනීත පිරිස්. මාර්ග නීති කඩවෙන්නත් මේක ලොකුම හේතුවක්.

      කාන්තාව අත රැදි පිස්තෝලය නිසා සිදුවීම අංශක 180 කින්ම අනෙක් පැත්ත හැරුනා විය හැකියි. ඇය පිස්තෝලය වටේට එල්ලකරමින් කුඩුවෙන්න තියනවා කියන හැසිරීම තුල ආත්මාරක්ෂක බවක් පේනවා. වටේට සිටින්නේ බස් මැරයන් විය හැකියි. ඒත් මේක පදනම් කරගෙන දේශපාලනය ගැන උත්ප්‍රාසයක් ජනනය කළ හැකි නිසයි දැම්මෙ.

      Delete
    2. ආත්මාරක්‍ෂාව ගැන ඔබගේ නිරීක්‍ෂණය හා එකඟ වෙමි. ජීවී උණ්ඩ සමග පිස්තෝලය අත් අඩංගුවට ගත් බව පුවත්පත් වල පල විය. බස් රියැදුරා හා මන්ත්‍රී වරයා යන දෙදෙනාම පොලිස් පැමිණිලි දැමුවෝද යන්න ගැන තොරතුරක් නැත. මේ කළහය දැඩි අවවාද දීමකට සහ සමාජ වේවා වල යෙදීමකට සීමා වී දෙපාර්ශවයටම අත්හිටවූ සිර දඬුවම් පමුණුවන්නේනම් උචිතය.

      Delete