Tuesday, March 13, 2018

ෆේස්බුක් තහනමේ හොඳ පැත්තක්

ෆේස්බුක් ගැන මට මුලින්ම දැනගන්නට ලැබුනේ පුවත්පතක අතිරේකයකිනි. දියුණු රටවල තරුන තරුණියන් අතර ෆේස්බුක් නම් දෙයක් ජනප්‍රිය බවත් ලංකාවේද ඉහළ සමාජයේ තරුන තරුණියන් ට ෆේස්බුක් ගිණුම් පවා තිබෙන බව එම පුවත් පත් අතිරේකයේ සඳහන් විය.වැඩිකලක් නොගියේය. ෆේස්බුක් යන්න අසා නැති කෙනෙක් සොයාගත නොහැකි තරමටම පැතිරුනි. මේ වන විට ෆේස්බුක් ගිනුම් ලක්ෂ 60 ක් පමන තිබෙන බව අසා මම මවිතයට පත් වීමි. එය සත්‍ය නම් ජනගහනයෙන් හතරෙන් එකක් ෆේස්බුක් හා සම්බන්ධ වී ඇත.

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වල විශේෂත්වය වුනේ එය බටහිර රටවල තිබෙන යහගුණ හා දුර්ගුන දෙකම නිර්බාධිතව අප වෙත ගලා ඒමය. යහගුණ ලෙස මා දකින්නේ නිදහස හා සමානාත්මතාවයයි.මෙය අපේ සමාජයට ඔරොත්තු නොදෙන තරම් විය. අපේ සමාජය අර්ධ වැඩවසම් සමාජයක් බැවිනි.. එසේම ෆේස්බුක් යනු අසීමිත අවකාශයක්ය යන මිත්‍යාවද ස්ථාපිත විය. ඕන කෙනෙකුට ෆේස්බුක් ගිණුමක් හදාගත හැකි විය. මෙය නොමිලේම දුන් නිසා මෙම අවකාශයට නො එන කෙනෙක් නැති විය.ෆේස්බුක් වල ආගමික ගෲප් අධ්‍යාපන ගෲප් මෙන්ම තම නිෂ්පාදන අලෙවිකිරීමට හදාගත් ගෲප් පොත් කියවීම වැනි විනෝදාංශ සඳහා වූ ගෲප් ද බොහෝ විය. ෆේස්බුක් යනු ජාතිවාදය අවුස්සන්නම හෝ ලිංගික ආචාර සඳහාම තිබෙන්නක් නොවේ.එසේ කියන්නේ ෆේස්බුක් ඕනම නැත කියා කියන අයද සිටින බැවිනි.

ෆේස්බුක් වල දේශපාලන වැදගත්කම ආවේ මෑතකය. ෆේස්බුක් වලින් ආන්ඩු පෙරලිය හැකි බව ට මිත්‍යා මතයක් සමාජගත විය. එය ආන්ඩු පෙරලන්නෙ පත්තරවලින් කියා කලකට පෙර පවති මතයට සමානය. පත්තරවලින් ආන්ඩු පෙරලන්න හෝ රැකගන්න බැරි බව ඔප්පු කලේ සිරිමා රජයයි. එදා ජනතාවගේ එකම මාධ්‍ය වූ පත්තර රජයට ගත් සිරිමා රජය ඊලඟ චන්දයේදී පැරදුනි. පත්තරකාරය යනු   සිව්වැනි පුරවැසියා කියන්නට ආස කලේ පත්තර වල වැඩකරන අයය. ෆේස්බුක් ඇඩ්මින්ලාද ආන්ඩු පෙරලන්නෙ ෆේස්බුක් වලින් යැයි කීමට කැමතිය. එවිට කල්ලමරේ බැවිනි. සමාජ මාධ්‍ය යනු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට වඩා දියුණුය. මුද්‍රිතවිද්‍යුත් මාධ්‍යවල ඇති ඕනම කෙබරයක් ඉවසා වදාරන්නට සිදුවෙයි. පළවූ දෙයකට විරුද්ධ අදහසක් දැක්විය හැක්කේ තැපැල් කිරීමෙනි. එය බොහෝ විට පලකරන්නේ නැත. සම්පත්දායකයන් කීප දෙනෙක් පාලුගෙයි වලන් බිඳීමකි සම්ප්‍රදායික මාධ්ය . එහෙත් සමාජ මාධ්‍යවල අසුරු සැනෙන් අදහස් දැක්විය හැක.

එහෙත් සමාජ මාධ්‍යවල එක් අයහපත් ලක්ෂණයක් නම් ඇබ්බැහියයි. වෙනත් රටවල මේ සඳහා ප්‍රතිකාරද කරනු ලැබේ. ඉතින් මෙම ෆේස්බුක් තහනම නිසා ෆේස්බුක් වලින් පිටත ලෝකයක් තිබෙන බව යම් ප්‍රතිශතයකට අවබෝධ වී ඇත. මෙය කුඩුවලට ඇබ්බැහි වූ කෙනෙකුට බලෙන් කුඩුවලින් ඈත් කර තැබීමක් සේය. මේ නිසා අප්ලෝඩ් කිරීම කොමෙන්ට් කිරීම රිප්ලයි කිරීම ශෙයා කිරීම තම ජීවිතය කරගත් යම් පිරිසකට නොමිල්ලේම ප්‍රතිකාර ලැබී ඇත.

ෆේස්බුක් වලින් ආන්ඩු පෙරලිය නොහැක. එසේකල හැකිනම් ඔවුන්ට ආන්ඩු රැකගැනීමටද හැකිවිය යුතුය. තුන් තිස් පැයේම බුකියේ සිටින කීප දෙනෙක් ෆේක් ප්‍රොෆයිල් පනහ හැට තබාගනිමින් මහා බලවේග ලෙස පෙන්වා දීම දැකිය හැක. එහෙත් ෆේස්බුක් හරහා කල්පවතින මත හැඩගැස්වීමක් නම් සිදුනොවේ.  ෆේස්බුක් හරහා ගොඩනැගෙන අර්ථ විරහිත සම්බන්ධතා ගැන චමත් පලිහපිටියගේ අදහස් නිවැරදිය.

ෆේස්බුක් පරිශීලකයන් නොමිලේ ලැබුන ප්‍රතිකාරය භුක්ති විද දන් වටපිට බලන කාලයයි. බුකිය යනු ඉතා ආරක්ෂිත තමන් ගෙ අනන්‍යතාවය කිසිවෙකුට හදුනාගත නොහැකි තිප්පොලක් බවට වූ මිත්‍යාව දැන් බිඳවැටී ඇතැයි සිතමි. මින් පසු ආව්බෝධයෙන් හා ස්වයන් ශික්ෂනයෙන්  බුද්ධිමත්ව සමාජ මාධ්‍ය පරිශීලනය කරනු ඇතැයි අපේක්ෂා කරමි. සමාජ මාධ්‍ය සඳහා පොදුවේ ෆේස්බුක් කියා කීවේ අති බහුතරයකට සමීප ෆේස්බුක් බැවිනි. ෆේස්බුක් හොඳය පිහි ඇත්තේ පාන් කැපීමටය. එයින් එකෙක් දෙන්නෙක් බෙලි කපාගත්තාය කියා පිහි නිශ්පාදකයන් හෝ පාන් කපන්නට පිහි භාවිතා කරන්නන් හෝ පලි නැත.

5 comments:

  1. ෆේස් බුක් සන්තෑසිය​

    https://transyl2014.blogspot.ca/2015/01/blog-post_7.html

    ReplyDelete
  2. ඔබ හරි. facebook ඉතා කළාතුරකින් භාවිතා කරන කෙනෙක් වශයෙන් (ගිණුම අක්‍රිය නොවීම පිණිස මාස තුනකට පමණ වරක් ගොඩ වදිමි) මේ තහනම අපට බලපෑවේ නැත. එහෙත් එය සාමාන්‍ය ජිවිතයට බලපාන අය සිටින බව දනිමි. මේ තහනමෙන් සිදු වූයේ ඔබ කියන'යුරින්ම ඒ අයට ඉන් මෙහා ලෝකයක් තිබෙන බව දැන ගැනීමට සැලැස්වීමයි. ඒ අතින් තහනම හොඳ දෙයකි.

    එහෙත් ඉන් දීර්ඝ කාලින බලපෑමක් ඇති වන්නේ නැත. සතියකින් සියල්ල යථා තත්වයට පත් වනු ඇත.

    අනෙක් අතින් ආණ්ඩුව සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඉදිරිපත් කළ හේතුව අමන මරි මෝඩ තකතීරු එකකි. නීතිය උන්ගේ නොවී නම් මීට වන්දි ගෙවීමට සිදු වනු ඇත. පාරිභෝගිකයන් සේවා සැපයුම් කරුවන්ටද, සේවා සැපයුම් කරුවන් TRC එකටද විරුද්ධව නඩු පැවරිය යුතුව තිබේ. ඊට ඇති නීතිමය බාධාව හදිසි නීතිය කියා සිතමි.

    මේ අපට සිතන්නට ඇති තැනකි. මර්ධනයට අත වනන දේ වලින් සිංහල මෝඩයන්, විශේෂයෙන් දේශපාලන වශයෙන් නොමේරු තරුණයන්, වැලකී සිටිය යුතුය. පසුගිය දින වල සිදු වූයේ පැහැදිළිවම වර්ගවාදී ගැටුමකි. ලොරි රියදුරා මුස්ලිම් නොවී සිංහල වීම මේ සියල්ලට මුලයි. ඔහු මුස්ලිම් වීනම් මේ මරණය සිදු වන්නේ නැත - රට ගිණි ගන්නේද නැත - fb තහනම් වන්නේද නැත.

    සිංහල බෞද්ධයන් මුස්ලිමුන්ගෙන් සමාව ගත යුතු යැයි කවුදෝ ගොනෙක් කී කතාවේ සත්‍යයක් නැතුවාම නොවේ.

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් තහනම නිසා යම් ආර්ථික හානියකුත් වෙලා තියෙනවා. ඇබ්බැහි වූ ලක්ෂ ගනනක් විකල්ප සොයාගත්තා කියා දැනගන්න ලැබුනා.
      මුදලාලිවාදීන් කරන රඟපෑම හෙළිදරවු කළ යුතුයි. දෙමළ කතා කරන ජනතාව රටේ ජනගහනයෙන් තුනෙන් එකක්. ඔවුන් නොතකා කිසිවක්ම කරන්න බෑ. මුදලාලිවාදීන් මේ ජනයාගේ කඩවලට පහරදී තමන් පිටුපස සිටින මුදලාලිලාට පාලුගෙයි වලන් බිදින්න අවස්ථාවක් අරන් දෙන්නෙ රටම බිල්ලට දීල රටේ ජනතාව නරකාදියට ඇදල දාල ආර්ථිකය බින්දුවට බස්සල. මුදලාලිවාදීන්ට විරුද්ධ වෙමු.
      සිංහල බෞද්දයන් නෙමෙයි මුදලාලිවාදීන් මුස්ලිම්වරුන්ගෙන් සමාව ගත යුතුයි

      Delete
  3. ආණ්ඩු හදන්න හෝ පෙරලන්න තරම් හැකියාවක් සමාජ මාධ්‍ය වලට නැතත් සම්ප්‍රදායික මාධ්‍ය වලට වඩා ලොකු මතවාදයක් හදන්න හැකියාවක් නම් ඒ සතුව තිබෙනවා.පිහිය හරියට භාවිතා කිරීමේ වගකීම පිහිය දරන්නා සතුයි.

    ReplyDelete
    Replies
    1. සමාජ මාධ්‍ය වල වැදගත්කම තමයි සාධාරනව ඕනම කෙනෙකුට තම මතය ක්ෂණිකව ඉදිරිපත් කළ හැකිවීම .
      සම්ප්‍රදායික මාධ්‍යවල සියල්ල දත් පණ්ඩිතයන් ගේ ඒකාධිකාරය මෙහි නෑ. අප මෙහි ශ්‍රාවකයන් හා බලා සිටින්නන් පමනක් නෙමෙයි. සම්පත්දායකයන් කීපදෙනෙකුගේ රූකඩ නෙමෙයි. අපිත් මේකෙ නළුවො. දහසක් මත ගැටෙනවා.
      රාජ්‍ය මාධ්‍ය පමනක් තිබ්බ කාලෙ ගුරුකුල බිහිවුනා සමහරු දේවත්වයට නැංවුනා. පෞද්ගලික මාධ්‍ය ආවම සේරම වෙනස් වුනා.
      සමාජ මාධ්‍ය නිසා සියළුම බොල් පිලිම බිදවැටිලා. ඒක සතුටක්.
      හැබැයි සමහරු කියනව වාගෙ මේකත් සර්වබලධාරී නෑ.

      Delete