Friday, March 2, 2018

පාවෙන ඡන්ද හා රටේ දේශපාලනය

මෙම පලාත් පාලන මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා ගැන ඉඟි කරන ලිපියක් ඉකොනොමැට්ටා විසින් පළ කර ඇති අතර මම එයට 100% ක් ම එකඟ වෙමි. ඒ ගැන මට තව කියන්නට දෙයක්ද නැත. ඇත්තෙන්ම මෙම මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා එජනිසයි. එනම් මෛත්‍රීපාල මහතාගේ කණ්ඩායමයි. එජනිසයට ලැබුන ඡන්ද ඔවුන්ගේම ඡන්ද ය. සැබෑ තුන්වන බලවේගයක ප්‍රවේශයකි.

මීට සුළු මොහොතකට පෙර පුවත්පත් සිරස්තල වලදී මෙම ඡන්ද ප්‍රමාණය ගැන වැරදි අර්ථ කථනයක් අසන්නට ලැබිනි. ඒ දේශපාලකයකුගෙනි. එනම් මෙම ඡන්ද සහ පොදුජන පෙරමුනේ ඡන්ද එකම ඡන්ද ගොඩක් දෙකට බෙදීමක් බවයි. එනම් මේවා ශ්‍රී ලංකා ඡන්ද ලු. මෙය අනුන්ගෙ දරුවන්ට උප්පැන්න ලිවීමකි. ඇත්තෙන්ම ශ්‍රී ලංකා ඡන්ද යූඇන්පී ඡන්ද මෙන්ම සුළුතරයකි. වෙනස් නොවන  ශ්‍රී ලංකා ඡන්ද මුලු රටෙන්ම ලක්ෂ 25 ක් ඇතැයි සිතමි යූඇන්පී චන්දද ලක්ෂ 25 ක් පමනි. අති මහත් බහුතරය පාවෙන ඡන්දය.

දේවාලෙ පූජාවට කලින් බලලෙක් කනුවෙ ගැටහනව වගෙ අන්ධානුකරනයෙන් අලියට හෝ අතට ඡන්දෙ දෙන පිරිසක් සිටිති. නමුත් මේ පුරුද්ද එකපාරක් කැඩුනට පස්සෙ ආයෙ ඒ සම්ප්‍රදාය නැත. ඉන්පසු එය පාවෙන ඡන්දයකි. පවුලෙ කෙනෙක් ඡන්දෙ ඉල්ලන මට්ටමේ සහ පක්ෂයෙ නායකයන් සමග සමීප සබඳතා ඇති මට්ටමේ පිරිස පමණක් කවදාවත් වෙනස් නොවේ.ක්‍රම ක්‍රමයෙන් අන්ධානුකරනෙන් දෙන ඡන්ද පාවෙන ඡන්ද වී අද එය බහුතරයක් වී ඇත.

මැටිමෝල් ඡන්ද පාවෙන ඡන්ද බවට හැරවීමේ මුල්ම සාර්ථක පියවර තැබුවේ විජේවීර මහතාය. ඔහු රටේ විශාල ඡන්ද ප්‍රමාණයක් තර්කානුකූල ඡන්ද බවට පත්කලේය. විජේවීර ගේ බලවේගය පසුව පුදපූජා ලබන ආයතනයක් වී එහිද අන්ධ භක්තික ඡන්ද ගොඩක් නිර්මාණය වී ඇති බව නොරහසකි. මට නිරීක්ෂණය කරන්න ලැබුන උදාහරනයේ ප්‍රමුඛයා ලලිත් ඇතුලත්මුදලි මහතාය. ඔහුගේ ඉලක්කය සම්ප්‍රදායික එජාප ඡන්ද කැඩීමය. ඉන් සිදුවුනේ එජාප ඡන්ද විශාල ප්‍රමානයක් පාවෙන ඡන්ද බවට පත්වීමය.හෙළ උරුමයේ බලපෑමෙන් මෙය යළිත් 2004 දී සිදුවිය.

ඊලගට මහින්ද රාජපක්ෂ  යුගයේදී ජාතිකවාදය මත පදනම්ව හැම පැත්තෙන්ම ඡන්ද පාවෙන එකතුකර ගත්තේය. එකතුකරගත්තේය. ඔහුගේ බලවේගයේ ඇත්තේ සම්ප්‍රදායික ශ්‍රී ලංකා ඡන්දත් ජාතිකවාදී ඡන්දත් විරෝධී ඡන්දත්ය. වෙනස් නොවන ඡන්ද මල්ලක් ඔහුට ඇතැයි කීමද මෝඩ තර්කයකි.ඔහුට ලැබුන පවතින ආණ්ඩු විරෝධී(  මෙම ඡන්ද වල ඇත්තේ තාවකාලීක ව පවතින ආන්ඩුවට විරුද්ධ වීමකි.) ඡන්ද මීට පෙර ලැබුනේ ජවිපෙටය.

මේ අනුව දැන් රටේ බහුතරය පාවෙන ඡන්ද නොහොත් තර්කානුකූල ඡන්දය. දේශපාලන විග්‍රහ කරන අය මේ කරුණ සැලකිල්ලට නොගනිති. රටේ සිංහල ප්‍රදේශවල ( අනෙක් ජනකොටස් බහුතරය වන මැතිවරන කොට්ටාස ගැන මගේ දැනුම අඩුය ) මොන විදියකටවත් වෙනස් නොවන ශ්‍රී ලංකා යූඇන්පී ගෙවල් ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයක් වන අතර මෙම තත්වය වෙනස් වන තැන්ද ඇත. මැද කොළඹ ,උතුරු කොළඹ ,බොරැල්ල වැනි ප්‍රදේශවල එජාපයට බර අතර ( මෙයද ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී ) අත්තනගල්ල ,දොම්පෙ, බියගම හා ගම්පහ ප්‍රදේශ ශ්‍රීලනිපයට බරය ( 1977 දී දොම්පෙ බියගම වැනි ආසන එජාපය ජයගත්තේය ) .

මැතිවරනයේ සැබෑ ජයග්‍රාහකයා එජනිස වන්නේ කෙසේද .තමන්ට ලැබුන ඡන්දවලින් 90% ක් පමන  පාවෙන ඡන්ද /තර්කානුකූල ඡන්ද වීම නිසාය. මෙම බලවේගය දැනටමත් තුන්වන බලවේගය වී ඇත.

දැන් රටේ දේශපාලන චිත්‍රය සම්පූර්නය. ජාතිකවාදී පාර්ශ්වය පොදුජන පෙරමුන නියෝජනය කරයි. එජාපය කාන්තාවන්ගේ හා සුළුජාතීන්ගේ පක්ෂයක් ලෙස රටේ ප්‍රධානම නූතනවාදී පක්ශය ලෙස බටහිර නැඹුරුවකින් ක්‍රියා කරයි. වාමාංශික පදනමක් සහිත සමාජ සාධාරණත්වයේ පක්ෂය වන ජවිපෙ ද නූතනවාදී නැඹුරුවකින් යුතුව යුරෝපයේ ප්‍රජාතාන්ත්‍රික වාම බලවේගයක හැඩරුවින් ඉදිරියට එනු පෙනේ. එම පක්ශය ජාතිකවාදය අත හැර දමා ඇත. පිරිසිදු මූලධාර්මික වාමාංශිකයන්ට පෙරටුගාමී පක්ෂය ඇත. හෙළ උරුමයට ජාතිකවාදය මත යැපීම එම නායකයන්ගේ පැත්තෙන් අවාසියකි.කාලය නාස්ති කිරීමකි. ඊට වඩා ප්‍රධාන පක්ශයක ඉහළ තනතුරු හරහා තම තමන් ස්ථාපිත වීම ඔවුන්ගේ පැත්තෙන් හොඳය.පක්ෂයේ මුහුණුවර වෙනස් කරගැනීමට අවශ්‍ය පක්ෂයක ඉල්ලුමට සැපයුම දිය හැක.

දේශපාලනය යනු අහස මෙනි. අනාවැකි කීම අමාරුය. අද ජාතිකවාදයට තිබෙන ඉල්ලුම හෙට නූතනවාදයට විය හැක.

No comments:

Post a Comment