Friday, March 23, 2018

එළුවාත් මුට්ටියත් මහදැනමුත්තාත් බේරන විසඳුමක්

දේශපාලකයන් කරන සොරකම් රටේ විශාල ප්‍රශ්නයක් යැයි කියනු ලැබේ. 2015 මැතිවරන වල ප්‍රධාන තේමාව වුනේ හොරු ඇල්ලීමය. ආන්ඩුව ආවෙ හොරු අල්ලන්න ඒත් හොරු ආන්ඩුව ඇල්ලුවා කියා සමහරු කියති අපි නෙමේ.

මට අවශ්‍ය හොරු බේරන විසදුමකටය. ගරු හොරු හොරකම් කල මුදල් නැවත ලබාගැනීමටද අවශ්‍යය. නමුත් හොරුන්ට කිසිම දඩුවමක් දෙන්නද බැරිය. මොකක්ද මේ හතරබීරි කතාව. කොහොමද රැවුලයි කැදයි දෙකම බේරන්නෙ ?

හේතුව මේකයි ශ්‍රී ලංකා හොරුන්ට දඩුවම් දෙනවාට සම්ප්‍රදායික ශ්‍රී ලංකා පාක්ෂිකයින් කැමති නැත. යූඇන්පී හොරුන්ට දඩුවම් දෙනවාට සම්ප්‍රදායික යූඇන්පී පාක්ෂිකයන් කැමති නැත. මේවා දේශපාලන පලිගැනීම් බවත් අපේ අයට වඩා අනෙක් අය හොරකම් කළ බවත් දෙපාර්ශ්වයම කියති. මේ දෙපාර්ශ්වයේම අදහස්වලට ගරු කළ යුතුය. 



මුලින්ම මේ පාක්ෂික දෙපිරිස ලියාපදිංචි කළ යුතුය. ලෝකෙ පෙරලුනත් මොන දේ කලත් පක්ෂයට ඡන්දෙ දෙන මේ අය ලියාපදිංචි කර ගනන් බැලිය යුතුය.

යම් පක්ෂයක ගරු හොරෙක් වරදකරු වූ පසු හොරකම් කළ මුදල ගනනය කර එම මුලු මුදල එම පාක්ෂිකයන්ගෙන් අයකරගත යුතුය. අපේ හොරා අපට හොදා කියා මේ අය කියන බැවින් මේ විසදුමට කැමැත්තෙන්ම එකඟ වනු නො අනුමානය.

යම් ගරු හොරෙක් කෝටි 400 ක් සොරකම් කළා යැයි සිතමු. එවිට මෙම මුදල පාක්ෂිකයන් ලක්ෂ 20 ක් අතරබෙදුන හොත් එක් අයෙකුට වැටෙන්නේ රුපියල් 2000 ක් වගෙ මුදලකි. රුපියල් දෙදාහක් කියන්නෙ දරන්න බැරි මුදලක් නෙමේනෙ. අනික තමන්ගෙ පක්ෂෙ නායකයෙක් වෙනුවෙන් රුපියල් දෙදාහක් දෙන්න බැරි අන්ධ භක්තික පාක්ෂිකකමේ ඇති වැඩේ මොකක්ද 

මේ ක්‍රමය ජනප්‍රිය වුනාම නීති මාර්ගෙට ගිහින් කාලය ධනය වියදම් කරනවාට වැඩිය හරු හොරෙකුට යම් සොරකමක් කර මෙසේ පුවත්පත් දැන්වීමක් දැමිය හැක.

" ප්‍රිය පාක්ෂිකයෙනි මම ******* මුදලක් සොරකම් කලෙමි. අප පක්ෂයේ භක්තිවන්ත පාක්ෂිකයන් ගනන ලක්ෂ *** මෙපමනකි. එක් අයෙකුට ගෙවීමට සිදුවන්නේ රු ***** කි. හැකි ඉක්මනින් එම මුදල ගෙවා දැමීමට කාරුණික වන්න. 
මේ ලැදි අහවලා "

පත්තරේ ඇඩ් දාන්නෙ නැතිව පුද්ගලික ඇඩ්‍රස් වලට එවන්නත් පුලුවන්. ඡන්දෙ කාලෙ ඡන්දෙ ඉල්ලලා යවන පාක්ෂික ලිස්ට් එක තියෙනවානෙ. ගෙව්වෙ නැත්නම් රිමයින්ඩර් එක පිට එක යවල හරි අයකරගන්න එක හොඳයි.

මේ ක්‍රමය වඩා සුදුසු වන අතර අල්ලපු ගෙදර විරුද්ධ පාක්ශිකයාට සෙකන්ඩ් වීමට ඇති අකමැත්ත නිසා මේ මුදාල් ගෙවීමට උනන්දුවක් ජනතාව අතර ඇතිවනු ඇත. මෙවැනි දෙබස් ඇසෙනු ඇත.

ඒයි ඇහුනද අන්න අරකිලගෙ පක්ෂෙ හොරෙක් වෙනුවෙන් උන්ට ගෙවන්න වෙලා තියෙන්නෙ රුපියල් දාහලු. හි හි. අපිට රුපියල් දෙදාහක් ගෙවන්න වෙලා කීවම ඒකිගෙ මූන කජුලෙල්ලක් වුනා. දරුවට කිරිපිටි ගේන්න තියපු සල්ලි මේසෙ රෙද්ද යට ඇති. ලමය කිරිබිව්වෙ නෑ කියල මැරෙනවයැ. ඒ වගේද අපේ පක්ෂෙ ගෞරවේ."

එවිට සැමියා මෙසේ කියනු ඇත

" අනේ බං රුපියල් දෙදාහද .දවස් දෙකක කුලී වැඩ සල්ලිනෙ. දරුවට කොත්තමල්ලි දීපන්. පක්ෂෙ ලොක්කෙක් වෙනුවෙන් බොහොම සර්දාවෙන් රුපියල් දෙදාහ දෙමු. අපේ ලොක්කො විදින සැප අරුන්ගෙ පක්ෂෙ ලොක්කන්ට හිතන්නවත් බෑ බන් හෙහ් හෙහ් "

("හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙටා "ගීතය පසුබිම් ගායනය ලෙස  ගුවන් විදුලියේ ප්‍රචාරය වෙයි. )

බලන්න රටට අහිමිවුන මුදලුත් ලැබෙනව . ගරු හොරුන්ට සීරීමක්වත් නෑ. නරකද මේ යෝජනාව.

දැන් තව පුරස්නෙයක්. මේ හොරා කෑවට දඩුවම් ?

දඩුවම් දෙන්න අවශ්‍යමනම් 

ඔවු දඩුවමක් නැතිව මුදල් අයකරගන්න ක්‍රමයක් කිව්වෙ. දඩුවම් ඕනමනම් ඒකත් පාක්ෂිකයන්ට දෙමු. ඒ අයගෙත් ආසාවනෙ

ඒකත් සිම්පල් ප්ලෑන් එකක්. කවදාවත් වෙනස් නොවෙන ලේ පවා පක්ෂයෙ පාට වෙලා තියෙන පාක්ෂිකයෙකුට බැරිද තමන්ගෙ පක්ෂෙ හොරෙක් වෙනුවෙන් හිරේ යන්න. පක්ෂයෙ මිනීමරුවෙක් වෙනුවෙන් එල්ලුම් ගස් යන්නත් නියම් පාක්ෂිකයා දෙපාරක් හිතන්නෙ නෑ. දඩුවමත් පාක්ෂිකයා අතර බෙදෙන ක්‍රම හදන්න ඕන. පාක්ෂිකයොත් බලන් ඉන්නෙ කොහොමද තමන්ගෙ නියම පාක්ෂිකකම පෙන්වන්නෙ කියල. 

හතලිස් අටේදි අපේ මුත්ත හංවඩු ගහල කරත්තෙ බැන්දෙ කියල කිව්වට බෑ
අපේ මුත්ත හංවඩු ගහල කරත්තෙ බැන්දෙ පනස් හයේදි කිව්වට බෑ.
ජහ් පිට මහ් කිව්වම කිසි කිසි ගාල දුවන්න ඕන කරත්තෙ ත් ඇදගෙනම

හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙටා 

Monday, March 19, 2018

පිපිලා චන්ඩි පොහොට්ටු - කාටද දැන් පාරට්ටු

නිමිත්ත - පලාත් සභා මන්ත්‍රීවරයෙක් හා බිරිද මහ දවාලේ මැරවරකමක් කරන අයුරු ජංගම දුරකතනයකින් වීඩියෝ කිරීම නිසාඑය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට නොදී ප්‍රවෘත්තියක් බවට පත් වෙයි.

පිපිලා චන්ඩි පොහොට්ටු
කාටද දැන් පාරට්ටු
බීපන් මෙන්න සුරුට්ටු
ඕකයි අපේ කැරැට්ටූ

අපට ඕන චන්ඩි රජෙක්
අඩෝ හරිය කියල කියන පොරක්
සරම කරට ගන්න කෙනෙක්
ඇග රතු වෙනකන් ගහන යකෙක්

චන්ඩින් ගේමු සබයට
මැරයන් ගේමු බලයට 
අපි ඉදිමු පොඩියට
යමු පාෂණ යුගයට


චන්ඩියා සහ චන්දය අතර ඇත්තේ කිට්ටු සම්බන්ධයකි. චන්ඩින්ට ප්‍රේම කල ජනයා තම කෘතවේදීත්වය ඔවුන්ට පළ කරන්නේ කෙසේද කියා අහස පොලව ගැටලමින් කල්පනා කිරීමේ ප්‍රතිඵලයකි ඡන්දය. ඡන්දය යන්න චන්ඩියා යන්නෙන් බිදුන වදනකි. චන්ඩින් චන්ද දිනීමේ රහස එයයි.

සිනමාව විරාජමාන වූ කාලයේ එලිදුටු සිනමා පට මේ චන්ඩි සංකල්පයට පෙම් බැද තිබිණි. තමන්ට සැබෑ ලෝකයේ ගහන්නට බැරි දුෂ්ටයන්ට විජය ගාමිනී රිදී තිරයේදී ගහනවා දුටු රසිකයන්ට නිච්චි නිනවු නැතිවිය. එකළ ජනප්‍රිය වූ චන්ඩි චිත්‍රපට සමහරක් මෙසේය.
චන්ඩි රජා ,මමයි රජා , හතර දෙනාම සූරයෝ ( චන්ඩියෝ ),චන්ඩින්ගෙත් චන්ඩියා ,චන්ඩියගෙ පුතා ,හිත හොද චන්ඩියා.

 චන්ඩි සංකල්පය දුබල මනසට මොනතරම් ප්‍රියද කියා මෙයින් පෙනේ. වඩාත්ම නූගත් හැම අතින්ම දුර්වල මිනිසුන්ගේ ගැලවුම්කාරයා හිත හොඳ චන්ඩියාය. චන්ඩියාගෙන් ලබන සේවය සඳහා කරන ගෙවීම කීප ගුනයක් වැඩි බව මොවුන්ට අවබෝධ නොවේ.

චන්ඩියා යනු ලේසි පාසු කෙනෙක් නොවේ. සියලු රජවරුන්ගේ මූලය චන්ඩියෙකි. ආදිකාලීන ගෝත්‍රවල සිටි මැරවරයන් පසු කාලයක රජුන් ලෙස පරිණාමය විය. රජුන්ගේ බලය පෙන්වූයේ අන්තහ්පුර ස්ත්‍රීන් හා වහලුන් ප්‍රමාණය මතය. රාජකීයත්වය හා බැදුන අනෙක් කාරනය නම් දීන මුග්ධ බවයි.රාජකීයත්වය හා දීන මුග්ධ බව ගහට පොත්ත මෙනි.

චන්ඩියෙකුගෙන් චන්ඩියෙකුට බලය මාරුවෙන සම්ප්‍රදාය වෙනස් වුනේ ලොව පලමු රැකියාව කළ අය සබයට ඒමෙනි. ලොව පළමු රැකියාව කළායැයි කියන්නේ පූජකයන්ටය. චන්ඩියා ගෝත්‍රයේ සියලු ස්ත්‍රී සැප ලබමින් දඩයම්වල හොදම  කොටස භුක්ති විදිමින් රංචුව බියවද්දා වැඩ ගනිමින් කරන අයුක්තිය කල්පනා කල දුර දක්නා මිනිසුන් පූජක වෘත්තිය බිහිකළහ. ඉන් පසු ගෝත්‍රයේ ස්ත්‍රීන් රස විදීමේ වරම ,දඩයම්වල හොදම කොටස පූජකයා සමග බෙදා ගන්නට සිදුවිය. පූජකයාගේ කාර්යය වූයේ ඇසට නොපෙනෙන ලෝකය ගැන මෙන්ම ඇසට පෙනෙන ඉර හද තරු ගැන ලෝකෙ නැති බොරු හදා කීමයි.මෙය චන්ඩියාගේ භූමිකාවට වඩා බැරෑරුම් වූයෙන් නොබෝ දිනකින් පූජකයන් රජුන් විය. ආදි කාලීන පෞර රාජ්‍ය වල සිටියේ පුර දේවතාවාගේ පූජකයාද වන රජෙකි.

චන්ඩිකම යනු අනාදිමත් කාලයක සිට එන දෙයක් බවත් එය ලේ මසට කා වැදුන දෙයක් බවත් නූගත් දිළිදු මනස චන්ඩිකමට හොද සරු පසක් බවත් පෙනේ. චන්ඩින් ගැන ගරුත්වය ඇතිවන්නේ මෙවැනි මනස් තුලය.

මෙම ක්‍රමය වෙනස් වුනේ කාර්මික විප්ලවයෙන් පසු නිලබල ක්‍රමය භාවිතයට ඒමෙනි.ඊට පෙර පාලකයාත් පූජකයාත් ජනතාව බිය වැද්දීමේ කලාවේ විවිධ මානයන් අධ්‍යනය කරමින් සිටියහ. මනස්කාන්ත චාරීත්‍ර විධි ,අමුතු ඇදුම් පැළදුම් අභිචාර වලින් පෙන්නුම් කලේ ගූඪබවකි. මෙය ජනතාව යටපත් කිරීමටය.එහෙත් කල් යත්ම  පුද්ගලයාගේ තත්වය තීරණය කිරීමේ වෙනත් නිර්නායකද ඇති විය. ඒ සමගම   ආගම හා රජුගේ හිතුවක්කාරකමම නොව වෙනත් මානයන්ද මතු විය. සමාජය වෙනස් විය.මානව හිමිකම් සමානාත්මතාව සාධාරණය යුක්තිය සදාචාරය යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය වැනි සංකල්ප ඇගයීමට ලක් විය. එහෙත් මේ සංකල්ප වැළද ගැනීමට තරම් දියුණු නැති අය තවම කැමති චන්ඩින්ටය. ඔවුන් ජීවත් වන්නේ වසර ලක්ෂ ගනනක් අතීතයේය.

එහෙත් මධ්‍යස්ථ මතධාරීන් ලෙස අපට මෙය දෙස පොදු ඇසින්ම බලන්නට බැරිය. ලංකාදීපයේ නිතරම කොමෙන්ට් කරන බමුනුආරච්චි කියනවාක් මෙන් බස් ගොයියා කෙසෙල් ගසකට කොටා ඇත. අපේ ඇසට පෙනෙනෙ දේම නිවැරදි නැත. රත්නපුරේ බට්ටිගෙ කතාව බලන්න. ඉස්කෝල අසල බට්ටිලා රස්තියාදු වෙන්නේ කොල්ලන් මෝල් කර පොකට් මනි වලට විදින්නටය. මෙය සද්ක්‍රියාවක් නොවේ. බට්ටි වෙනුවෙන් අඩා දොඩා විප්ලවීය ගී ලියන්නට පෙර මේ ගැනත් සිතිය යුතුය. ඇත්තෙන්ම බට්ටිලා වෙනුවෙන් දුක් ගී ලිවීම නොව ඔවුන් පුනරුත්ථාපනය කිරීම සිදුවිය යුතුය. එසේම මේ සිද්ධියේද පීඩකයා කවුද පීඩිතයා කවුද යන්න බැලූ බැල්මට කීමට බැරි විය හැක. සමහරවිය හාත්පසින්ම වෙනස් කතාවක් පසුබිමේ තිබෙනවාද විය හැක. දේශපාලකයෙක් සම්බන්ධ වීම හා ඔහුගේ පවුල් පසුබිම මතම පූර්ව නිගමනයකට ඒම සුදුසු නැත.

සිදුවිය යුත්තේ චන්ඩිකම උත්කර්ෂයට නැංවීමේ පුරුද්ද නැති කර දැමීමයි. ඒ වෙනුවට සාක්ච්ඡාව සම්මන්ත්‍රණය හා සම්මුතියෙන් ප්‍රශ්න විසදා ගන්න තැනට සමාජය තල්ලු කිරීමය. චන්ඩිකම යනු වීර කමක් නොව මෝඩ පසුගාමී ලජ්ජා විය යුතු දෙයක් බවත් වැදගත් අය ප්‍රශ්න විසදාගන්නේ එසේ නොවන බවත් අවබෝධ කර දීමය.

Saturday, March 17, 2018

රුක් අත්තන මල් ඊයෙත් පිපිලා බොලේ හැබෑටම පුදුමයිනේ

රූපවාහිනී නාළිකාවක ඉතා අපූරු ආගමික වැඩසටහනක් ප්‍රචාරය වෙයි. සියළු බුදුවරයන් වහන්සේලාගේ පිහිටෙන් දුක් දුරුවෙන ලෙස ප්‍රාර්ථනා කිරීමයි. සියළු බුදුවරයන් වහන්සේලා ගස් යට බුදුවී ඇති නිසා එක් එක් බුදුවරයාගේ නමින් දුක් දුරුවේවායි පතයි. මෙය හොඳය. මන්ද දුක් දුරුවේවා කියා නිතර කීමෙන් එය ස්වයන් යෝජනාවක් වන බැවිනි. වෙන වෙන තර්ක දැමීම නිශ්ඵලය. ශ්‍රද්ධාබර උවසු උවැසියන්ට එය ප්‍රයෝජනවත්ය. බෞද්ධ දර්ශනය ගැන පණ්ඩිතයන්ට නොවේ. 

නමුත් අපි කරන්නේ නිශ්ඵල වැඩ නිසා අපට මෙහි කතන්දර බොහොමයකි. මේ කල්පයේ බුදුවරයා අපගේ ගෞතම බුදුරජානන් වහන්සේය. උන් වහන්සේට පෙර බුදුවී වදාල කාශ්‍යප බුදුන් සිටියේ මේ කල්පයේ විය නොහැක. මන්ද අවසාන අයිස් යුගය අවසන් වී මිනිසා ස්ථිර ජනාවාසවල පැලපදියම් වීම බුදුවරයෙකුට බුදුවීමට අවශ්‍ය පතිරූප දේශය ලෙස වැදගත් වේ .කාශ්‍යප බුදුන්ටගල් යුගයේ දඩයක්කාරයන් අතර  බුදුවිය නොහැක. බිම්බිසාර වැනි රජුන් අනේ පිඩු විශාකා වැනි සිටුන් යමක් තේරුම් ගත හැකි විද්වත් දාර්ශනිකයන් භාරද්වාජ වැනි ගොවීන් අවශ්‍ය. 

එසේනම් කාශ්‍යප බුදුන් බුදුවුනේ සෞරග්‍රහමන්ඩලය හෝ මේ විශ්වය බිහිවීමට කලිනි. ඒ අනුව මෙම බුදුවරු 28 ම බුදුවුනේ කල්ප 28 කය. මෙය අපට හිතාගන්නවත් අසීරු කාලයකි. අවුරුදු කෙල කෝටි බිලියන  ට්‍රිලියන ගනන් වලින් කාලය මනින මහ යෝධ අතීතයකි. නමුත් සිත්ගන්නා සුලු කරුන හැම බුදුවරයෙකුම බුදුවුනේ පොදු සමාජ වටපිටාවකය. ඉන්දියාවේ හා ලංකාවේ පහසුවෙන් දැකිය හැකි ගස් යට බුදුවී ඇත. විසි අට බුදුවරයන් වහන්සේලාගෙන් මුලින්ම බුදුවූ තන්හංකර බුදුන් රුක් අත්තන ගසක් යට බුදුවී ඇත. එතැන් සිට පලොල් ඇට්ටේරියා අත්තික්කා වැනි බෝධි මූලයන්හි බුදුන් වහන්සේලා බුදුවී වදාලහ.කුසතණ දීමට සොත්ථියලා කිරි ආහාර දීමට සුජාතා ලා පැමින ඇත. අනාගත වංස දේශනාවේ මෛත්‍රිය බුදුන් බුදුවන්නේද එකම විදියටය. වචන පමනක් වෙනස්ය. සියල්ලෝම පාලි බස කතා කරති. උතුරු ඉන්දියාවේ ග්‍රාමීය වැඩවසම් පරිසරය කිසි වෙනසක් නැතිව කල්පෙන් කල්පෙට ඇති වෙනවාද. අනිත්‍ය ධර්මය ඊට බලපාන්නේද නැතිවා සේය. මට සිතෙන්නේ පින් බලය නිසා මෙය රිපීට් වෙන බවයි.

සුමනදාස සමරසිංහ හේ කියමනක් සිහිවේ එර්දියෙන් වැඩම කල කිසිම රහතන් වහන්සේ කෙනෙක් යෝගියෙක් තවුසෙක් ඍෂිවරයෙක් ඉන්දියාව හා ලංකාව හැර වෙන රටවල් දැක නැත. සුමනදාස මහතාට අමතක වූ කරුන නම් මේ උත්තමයන් එර්දියෙන් යන්නෙ පුණ්‍ය භූමි වලට පමනක් බවයි.දිව්‍ය ලෝකවල දිග පලල හරි නූලට තිතට කීවද අඩුගානෙ පර්සියාව අරාබිය හෝ චීනය ගැනවත් නොලිව්වේ ඒ රටවල් පුණ්‍ය භූමි නොවන බැවිනි.

Tuesday, March 13, 2018

ෆේස්බුක් තහනමේ හොඳ පැත්තක්

ෆේස්බුක් ගැන මට මුලින්ම දැනගන්නට ලැබුනේ පුවත්පතක අතිරේකයකිනි. දියුණු රටවල තරුන තරුණියන් අතර ෆේස්බුක් නම් දෙයක් ජනප්‍රිය බවත් ලංකාවේද ඉහළ සමාජයේ තරුන තරුණියන් ට ෆේස්බුක් ගිණුම් පවා තිබෙන බව එම පුවත් පත් අතිරේකයේ සඳහන් විය.වැඩිකලක් නොගියේය. ෆේස්බුක් යන්න අසා නැති කෙනෙක් සොයාගත නොහැකි තරමටම පැතිරුනි. මේ වන විට ෆේස්බුක් ගිනුම් ලක්ෂ 60 ක් පමන තිබෙන බව අසා මම මවිතයට පත් වීමි. එය සත්‍ය නම් ජනගහනයෙන් හතරෙන් එකක් ෆේස්බුක් හා සම්බන්ධ වී ඇත.

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වල විශේෂත්වය වුනේ එය බටහිර රටවල තිබෙන යහගුණ හා දුර්ගුන දෙකම නිර්බාධිතව අප වෙත ගලා ඒමය. යහගුණ ලෙස මා දකින්නේ නිදහස හා සමානාත්මතාවයයි.මෙය අපේ සමාජයට ඔරොත්තු නොදෙන තරම් විය. අපේ සමාජය අර්ධ වැඩවසම් සමාජයක් බැවිනි.. එසේම ෆේස්බුක් යනු අසීමිත අවකාශයක්ය යන මිත්‍යාවද ස්ථාපිත විය. ඕන කෙනෙකුට ෆේස්බුක් ගිණුමක් හදාගත හැකි විය. මෙය නොමිලේම දුන් නිසා මෙම අවකාශයට නො එන කෙනෙක් නැති විය.ෆේස්බුක් වල ආගමික ගෲප් අධ්‍යාපන ගෲප් මෙන්ම තම නිෂ්පාදන අලෙවිකිරීමට හදාගත් ගෲප් පොත් කියවීම වැනි විනෝදාංශ සඳහා වූ ගෲප් ද බොහෝ විය. ෆේස්බුක් යනු ජාතිවාදය අවුස්සන්නම හෝ ලිංගික ආචාර සඳහාම තිබෙන්නක් නොවේ.එසේ කියන්නේ ෆේස්බුක් ඕනම නැත කියා කියන අයද සිටින බැවිනි.

ෆේස්බුක් වල දේශපාලන වැදගත්කම ආවේ මෑතකය. ෆේස්බුක් වලින් ආන්ඩු පෙරලිය හැකි බව ට මිත්‍යා මතයක් සමාජගත විය. එය ආන්ඩු පෙරලන්නෙ පත්තරවලින් කියා කලකට පෙර පවති මතයට සමානය. පත්තරවලින් ආන්ඩු පෙරලන්න හෝ රැකගන්න බැරි බව ඔප්පු කලේ සිරිමා රජයයි. එදා ජනතාවගේ එකම මාධ්‍ය වූ පත්තර රජයට ගත් සිරිමා රජය ඊලඟ චන්දයේදී පැරදුනි. පත්තරකාරය යනු   සිව්වැනි පුරවැසියා කියන්නට ආස කලේ පත්තර වල වැඩකරන අයය. ෆේස්බුක් ඇඩ්මින්ලාද ආන්ඩු පෙරලන්නෙ ෆේස්බුක් වලින් යැයි කීමට කැමතිය. එවිට කල්ලමරේ බැවිනි. සමාජ මාධ්‍ය යනු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට වඩා දියුණුය. මුද්‍රිතවිද්‍යුත් මාධ්‍යවල ඇති ඕනම කෙබරයක් ඉවසා වදාරන්නට සිදුවෙයි. පළවූ දෙයකට විරුද්ධ අදහසක් දැක්විය හැක්කේ තැපැල් කිරීමෙනි. එය බොහෝ විට පලකරන්නේ නැත. සම්පත්දායකයන් කීප දෙනෙක් පාලුගෙයි වලන් බිඳීමකි සම්ප්‍රදායික මාධ්ය . එහෙත් සමාජ මාධ්‍යවල අසුරු සැනෙන් අදහස් දැක්විය හැක.

එහෙත් සමාජ මාධ්‍යවල එක් අයහපත් ලක්ෂණයක් නම් ඇබ්බැහියයි. වෙනත් රටවල මේ සඳහා ප්‍රතිකාරද කරනු ලැබේ. ඉතින් මෙම ෆේස්බුක් තහනම නිසා ෆේස්බුක් වලින් පිටත ලෝකයක් තිබෙන බව යම් ප්‍රතිශතයකට අවබෝධ වී ඇත. මෙය කුඩුවලට ඇබ්බැහි වූ කෙනෙකුට බලෙන් කුඩුවලින් ඈත් කර තැබීමක් සේය. මේ නිසා අප්ලෝඩ් කිරීම කොමෙන්ට් කිරීම රිප්ලයි කිරීම ශෙයා කිරීම තම ජීවිතය කරගත් යම් පිරිසකට නොමිල්ලේම ප්‍රතිකාර ලැබී ඇත.

ෆේස්බුක් වලින් ආන්ඩු පෙරලිය නොහැක. එසේකල හැකිනම් ඔවුන්ට ආන්ඩු රැකගැනීමටද හැකිවිය යුතුය. තුන් තිස් පැයේම බුකියේ සිටින කීප දෙනෙක් ෆේක් ප්‍රොෆයිල් පනහ හැට තබාගනිමින් මහා බලවේග ලෙස පෙන්වා දීම දැකිය හැක. එහෙත් ෆේස්බුක් හරහා කල්පවතින මත හැඩගැස්වීමක් නම් සිදුනොවේ.  ෆේස්බුක් හරහා ගොඩනැගෙන අර්ථ විරහිත සම්බන්ධතා ගැන චමත් පලිහපිටියගේ අදහස් නිවැරදිය.

ෆේස්බුක් පරිශීලකයන් නොමිලේ ලැබුන ප්‍රතිකාරය භුක්ති විද දන් වටපිට බලන කාලයයි. බුකිය යනු ඉතා ආරක්ෂිත තමන් ගෙ අනන්‍යතාවය කිසිවෙකුට හදුනාගත නොහැකි තිප්පොලක් බවට වූ මිත්‍යාව දැන් බිඳවැටී ඇතැයි සිතමි. මින් පසු ආව්බෝධයෙන් හා ස්වයන් ශික්ෂනයෙන්  බුද්ධිමත්ව සමාජ මාධ්‍ය පරිශීලනය කරනු ඇතැයි අපේක්ෂා කරමි. සමාජ මාධ්‍ය සඳහා පොදුවේ ෆේස්බුක් කියා කීවේ අති බහුතරයකට සමීප ෆේස්බුක් බැවිනි. ෆේස්බුක් හොඳය පිහි ඇත්තේ පාන් කැපීමටය. එයින් එකෙක් දෙන්නෙක් බෙලි කපාගත්තාය කියා පිහි නිශ්පාදකයන් හෝ පාන් කපන්නට පිහි භාවිතා කරන්නන් හෝ පලි නැත.

Saturday, March 10, 2018

වාද නැතී භේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

වසුපැටවුන්ට කී කවි



Image result for buffalo kid



එම්බා වසුපැටවුනි

තොපට දැන් සනීපද
සෝමෙ අයියගෙ කඩේ දියුනුවුනත් 
නානගෙ කඩේ දියුණු වුනත්
 කිම තොපට ඇති කාරිය
තුන් තිස් පැයම වෙහෙසී
අතථ්‍ය අවකාශයේ
මහා වීරයන් වී
නන්නාදුනන මුදලාලිලාට
ලොවක් තනන්නට
උම්බෑ කියන කාලය
ඉගෙනුමට බැරි නම් 
අම්මාට පොල් ටිකක් ගාල දෙන්නට
යෙදෙව්වානම් නරකද
මීට කලකට ඉහත
ශනි අද මෙන්ම ධනු රාශියේ විය.
අද මෙන්ම සඳ මෝරා තිබුණි
එකලද තොප මෙන්ම වස්සෝ සිටියහ
දුර දිග නොබලාම
වටපිට නොබලාම
උම්බෑ කීහ තොප මෙන්ම
සඳ මෝරන විට 
උම්බෑ ශබ්දය ගිගුම් දුනි
මක්නිසාද යත්
ඒ වස්සන්ට
 දිව්‍යමය හඩක් ඇසී තිබිනි
කුමක්ද ඒ හඩ කාගෙන්ද
කපටි ගොපල්ලන්ගෙනි
එම්බා වසුපැටවුනි
තොප කවර හෙයින් නිකම් සිටිවුද
නිකම් නොසිටුව
ගනදුරු මැදියමේ අරුනලු දකින්නට යමවු
වස්සන්ගේ කන් වලට මී පැනි වත්කරන්නාක් සේ
මහ හඩින් ගිගුම් දුනි
කපටි ගොපල්ලෝ ජීවිතය වින්දහ
පසු කලෙක උන් අරුනලුද දුටුවහුය
උන්ගේ බස් අසා පෙරට ආ වසු පැටවු
අරුනලු නොව ගිනිදලු දුටුවහුය.
එහෙත් එම වස්සන්ට කියන්නට කතාවක් තිබිනි
මේ ක්ෂීරපථය අයත්වන මන්දාකිනි පොකුරේ අසාධාරනකම් නැති කිරීමය
ලොවෙත් ප්‍රායෝගික නැති වුව 
කතාව ලස්සනය.
තොප උම්බෑ කියන්නේ කුමට
බංකොලොත් සෝමෙ අයියගේ බිස්නස් වැඩි කිරීමටය.
නානගෙ කඩෙන් බඩුගන්නෙත් සල්ලිවලට නම්
සෝමෙ ගෙ කඩෙන් බඩු ගන්නෙත් සල්ලිවලටනම්
මොන කැකිරිගෙඩියක්ද බොලවු.



රට සන්සුන් වී ඇත. 1983 ක් නොවී මෙහෙම වීම සතුටකි. 1983 දී වුනේ ජාතිවාදී කෝලහාලයක්ද නැත.සිදුවුනේ සමූහ මංකොල්ලයකි. එයින් වාසි අත් වුනේ කාටද. සිංහල ව්‍යාපාරිකයන් කීප දෙනෙකුටය. නගරවල වෙළද බලය හිමිව තිබූ දෙමළ ව්‍යාපාරිකයන් වෙනුවට සිංහලයන් ආදේශ විය. නමුත් ඒ වෙනුවෙන් රටක් ලෙස ගෙවූ වන්දිය අපමනය. ට්‍රිලියන ගනනින් දේපොල අහිමිවිය. ජීවිතද විශාල ගනනකි. සංවර්ධනය දශක ගනනකින් ආපස්සට ගියේය. ජාති භේදයකින් තොරව සියලු දෙනා අපමන පීඩාවන්ට ලක්විය. රටට අත්වූ අපකීර්තිය නිමක් නැත. පාරෙ බැහැල ගියෙත් බයෙනි. ඉතා සුලු පිරිසකගේ වාසියට රටක් ලෙස ගෙවූ මිල වැඩිය.

මී හරකුනේ මේ අසාපන්
Image result for buffalo



අපි කඩේකට ගොස් බඩු ගන්නේ සල්ලි දීලනම් ඒ කඩේ එකාගෙ උප්පැන්නය අපට මොකටද

පාරිභෝගිකයන් ලෙස අපට අවශ්‍ය හොඳ සේවයක්. අපට එකෙක් අනිකට වඩා පෝසත් කරන්නට ** අමාරුවක් නෑනෙ.

අනිත් එක ඒ කඩේ එකා මොන ක්‍රිකට් පිලට චියර් කෙරුවත් අපට මොකද

ඔය හැම ක්‍රිකට් පිලේම සෙල්ලම් කරන එවුන් කෝටිපතියො. උන්ට හොද ලයිෆ් එකක් තියෙනවා. හිඟන්නන් බඩගින්නෙ ඉදගෙන බිස්නස්කාරයන්ට හුරේ දමන්නෙ ඇයි. මොන රටේ බිස්නස්කාරයගෙ මඩිය තරවුනත් ඇත්තටම අපට මොකද බන්.


සෙල්ලම් කරල ඉවර වුනාට පස්සෙ උන් හිතන්නෙ ලැබුන කෝටි සීය කොයි බෑන්ක් එකේද ඩිපොසිට් කරන්නෙ කියල.
හුරේ දාල ගෙදර යන අපි කල්පනා කරන්නෙ හාල් සේරුවක් ගන්න රුපියල් සීයක් හොයන්නෙ කොහොමද කියල
අපි පවු බන්

උන් ආධාර දෙන්නෙ තමිල්නාඩු ගංවතුරට . හුරේ දාන උබලගෙ ගෙවල් යටවුන විට නෙමෙයි. උන්ට අවශ්‍ය ඉන්ටනැෂනල් මීඩියා කවරේජ් . 


මෙහෙ ගංවතුරට සල්ලි දුන් විට ඒක ලැබෙන්නෙ නෑනෙ.


ජාතිය ආගම තිබෙන්නෙ දුප්පත් උබලට.

උන්ට පිස්සු නෑ බන්


තව දෙයක්. කඩේ එකාගෙ අදින පළදින විදියත් අවුල්ද


ඒ කියන්නෙ  උබලගෙන් අවසර ගන්න ඕනද ඌ ඒකටත්

කඩේ එකා කොහොම ඇන්දත් අපට මොකද බන්. උන් ඔලුව වහගෙන හිටියත් ඇරගෙන හිටියත් අපට ඇති අමාරුව මොකක්ද


අපේ පන්තියෙම අපි වාගෙම දුප්පත් මිනිස්සු කොට්ටාසයක් එක්ක රන්ඩු නොවී එකිනෙකාට උදවු කරගෙන ඉන්න එක මීට වඩා ලස්සන නැද්ද

කාගෙවත් අතකොලු නොවී ජීවත්වෙන එක උදාර නැද්ද

අපිත් සත්තු බන් . සොබා දහමෙ අසරණ නිර්මාන

පරිනාමයෙ කෙස් ගහක වෙනසක් වුනානම් අපියි ඉන්නෙ කූඩු වල

එහෙම වුනානම් මොන ජාතිවාදයක් වත් නෑ


හෙහ් හෙහ්





නන්නාදුනන මුදාලාලිලා වෙනුවෙන් පරිප්පු කන මීහරකුන් ගැන නම් කියන්නට තිබෙන්නෙ අනේ අනිච්චන් කියාය.







Friday, March 9, 2018

ස්පාඤ්ඤයේ කාන්තා විප්ලවය


ස්පාඤ්ඤය යනු මට සමීප  රටකි.  ප්‍රාථමික පන්තිවලදීද මට ස්පාඤ්ඤය හා පෘතුගාලය ගැන යම් දැනුමක් තිබිණි. ඒ ගෙදර ගොඩ ගසා තිබූ කවුරුත් නොකියවන ඉතිහාස පොත් නිසාය. මගේ විනෝදාංශය වුනේ මේ පොත් කියවීමයි.  එබැවින් කස්ත්‍රෝ ලා කුටිඤ්ඤෝ ලා නොරාඤ්ඤා ලා පිලිප් ලා මට හුරු පුරුදු නම් විය. 
ස්පාඤ්ඤය හා පෘතුගාලය සහිත බිම්කඩ අයිබීරියාව ලෙස හැඳින්වේ.අයිබීරියානුවන්ගේ ධීර වීර බව මගේ සිත් ගත්තේය. පසු කලෙක යුරෝපා ඉතිහාස හා රෝම ඉතිහාසය ගැන පොත් කියවා අයිබීරියානුවන් ගැන තවත් දේ දැනගතිමි.

අයිබීරියාවේ මුල් සාර්ථක ජනාවාසකරුවන් ෆිනීෂියානුවන්ය. ෆිනීෂියානුවන්ට මුහුද යනු ගමේ වැවකි.වර්තමාන ලෙබනනය තිබෙන ප්‍රදේශයේ තිබූ සාර්ථක ශිෂ්ටාචාරයක් වූ ෆිනීෂියානුවන්ගේ සුප්‍රකට නගර වුනේ  ටයර් කාතේජ් වැනි නම් දැරූ ඒවාය. ඒවා ලෝක වෙළද මර්මස්ථාන විය. මේ පිනීශියානුවෝ අයිබීරියාද ජනාවාස කළහ. පසුව අයිබීරියාව රෝමවරුන් ජනාවාස කල අතර අයිබීරියාව වඩාත් රෝමකරනය වූ පළාතක් විය. පසුව විසිගොත් වැනි ජර්මැනික් ගෝත්‍ර මේ හැමටම වඩා අයිබීරියාවේ තම ලකුණු තැබූහ. අයිබීරියානුවෝ වත්මන් බටහිර සභ්‍යත්වයේ ද පුරෝගාමීහු වෙති. පසුකලෙක මුස්ලිම්වරු යුරෝපය ආක්‍රමනය කල යුගයේ මුස්ලිම්වරු ටුවර් නගරයේදී ප්‍රංශ චාල්ස් මාර්ටල් විසින් පරාජය කල පසු මුස්ලිම් බලය අයිබීරියාවට සීමා විය. චාල්ස් මාටල් අතින් පරාජය වුන අබ්දුල් රහමන් අයිබීරියාව ( අන්දලූස ) හි මහා වීර සෙනෙවියා විය . අයිබීරියාවේ මුස්ල්ම් පාලනය පර්ඩිනන්ඩ් හා ඉසබෙලා යන  දෙදෙනාගේ මෙහෙයවීමෙන් කැරලි ගසා  අවසන් කරන ලදී. ඉන්පසු කතෝලික ලෝකයේ ආරක්ෂකයා හා ප්‍රචාරකයා ලෙස අයිබීරියානුවෝ දිගුකලක් ලෝක දේශපාලන වේදිකාවේ විරාජමාන වූහ.ස්පාඤ්ඤය ලෝක දේශපාලනයේ දැවැන්ත විප්ලවයක් කලේ නව ලොව සොයායාමේදීය.ක්‍රිස්ටෝපර්කොලොම්බස් ඊනියා නවලොව සොයාගත් අතර  හර්නැන්ඩෝ කොටෙස් පිසාරෝ වැන්නන් දකුනු ඇමරිකාව සුනේ සුන් කලහ. මානව හිමිකම් ගැන වගේ වගක් නැති කාලයක පෘතුගීසි හා ස්පාඤ්ඤ ජාතිකයන් කල අපරාධ වාර්තා බිදහෙලීම වෙනත් ජාතියකට පහසුවෙන් කල හැක්කක් නොවේ. අද බ්‍රසීලය හරුන විට මුලු මධ්‍යම හා දකුනු ඇමරිකාවේම ස්පාඤ්ඤ සංස්කෘතියක් ඇත.


අයිබීරියාව ගැන මීට මාස කිහිපයකට පෙර පුවත් මැව්වේ කැටලෝනියාව වෙනම රාජ්‍යයක් ලෙස පෙනී සිටීමේ අසාර්ථක උත්සාහයක් නිසයි. ඇත්තෙන්ම බාසිලෝනාව මැඩ්‍රීඩයේ ආධිපත්‍ය ඉතිහාසයේ බොහෝ අවස්ථාවලදී අභියෝගයට ලක්කර ඇත.එය ලිබියාවේ   ට්‍රිපොලි හා බෙන්ගාසි නගර අතර තරඟය වැන්නකි. වෙන් වෙන් රාජ්‍ය එක්සත්කර මහා රාජ්‍යයන් ගොඩ නැගූ පසුවද පැරණි භේද ඉදහිට මතුවීම ස්වාභාවිකය.ස්පාඤ්ඤය ගැන මෙවර ලෝක අවධානය දිනාගත්තේ මාර්තු 8 වෙනිදා සිදුවූ මහා කාන්තා වැඩ වර්ජනය නිසාය. කාන්තා වැඩ වර්ජනයක් පැවති මුල්ම රට ස්පාඤ්ඤය නොවේ. ඒ අයිස්ලන්තයයි. ඒ මීට දශක ගනනකටපෙරය. අයිස්ලන්තය Gander equality අතින් අදද ඉදිරියෙන්ම සිටින රටකි.  මෙම වර්ජනය අයිස්ලන්තයේ වූ වර්ජනය වැන්නක් නොවේ.  දැවැන්ත ක්‍රියාදාමයකි. මුලු ස්පාඤ්ඤයම ඇනහිට තිබේ. දුම් රිය වාර අවලංගු කර තිබේ. එහෙත් කලින් මෙන් මෙවර ගබ්සා කර ගැනීම් හා දරුවන් අත හැර දැමීම් වාර්තා වී නැත. වාර්තා නොවුනාට සමහරවිට සිදුවන්නට ඇත.ලක්ශ 50 කට වැඩි කාන්තාවන් මෙයට සහභාගි වී ඇත. ස්පාඤ්ඤයේ ජනගහනය කෝටි හතර හමාරක් වන නිසා මෙය ඉතා විශාල ප්‍රතිශතයකි.


මෙදා පාර කාන්තාවෝ ගෙදර දොර වැඩද නැවැත්වූහ. පොඩි ලමයි බලා ගැනීම වැඩි මහල්ලන් බලා ගැනීම ඇතුලු සියලු ගෘහ කටයුතු නැවැත්වූහ. මේ නිසා පිරිමින්ට අනෙක් වැඩ නවතා එම කටයුතුද බලන්නට විය. පාසල් ගිය ළමයා ගෙදර එක්කගෙන ඒම මව විසින් ප්‍රතික්ශේප කර ඇති බව තාත්තා දන්නේ අන්තිම මොහොතේය. මෙම සමාජය ලිංගික වශයෙන් බෙදුන සමාජයක් බව මෙයින් පෙනේ. අපේ සංස්කෘතිය තුල සිටින කෙනෙකුට මෙවැන්නක් තේරුම් ගැනීම දුශ්කරය. බටහිර පවුල යනු අප දකින පවුල් ඒකකය වැන්නක් නොවේ. උදාහරනයකට ස්පාඤ්ඤයේම පවුල් දහයකින් දරුවන් සිටින්නේ පවුල් හතරකය. පවුල් තුනක දරුවන් නැති අතර අනෙක් පවුල් තුන ඒක පුද්ගල පවුල්ය. ස්පාඤ්ඤය ඇතුලු බටහිර ලෝකය සමන්විත වන්නේ හුදකලා මිනිසුන්ගෙන්ය. අවුරුදු 18 පිරුන පසු නෑදෑකම් නැති හුදකලා මිනිසුන් ගැහැනුන් වෙයි. පුද්ගලිකත්වය ඉහලින්ම සලකන මෙම සමාජ ලිංගික වශයෙන් බෙදී තිබීම අරුමයක් නොවේ.



වර්ජක ස්ත්‍රීන්ගේ ප්‍රධානම ඉල්ලීමක් නම් වැටුප් පරතරය නැති කරන ලෙසයි. ස්ත්‍රීන් හා පුරුෂයන් අතර විශාල වැටුප් පරතරයක් තිබේලු. මේ කියන්නේ අරාබි රටක නොව බටහිර රටකය. ලක්ෂ 50 ක් ස්ට්‍රයික් කරන්නෙ මේ රටවල නො අනුමානවම කාන්තාවන්ට විශාල ප්‍රශ්නයක් ඇති නිසාය. සවුදි අරාබියේ මෙවැනි වර්ජන අසන්නට නැති අතර එම රටවල කාන්තාවන්ට ස්පාඤ්ඤය වැනි බටහිර  තරම් ප්‍රශ්න නැතැයි මට සිතේ. පාලකයිනි ජනතාවගේ සියලු ප්‍රශ්න විසදනු කියා එක්තරා වාමාංශික පක්ෂයක් ගසන පෝස්ටර් මට සිහිවේ. වැටුප් පරතර ලිංගික හිංසනය යන ඒවා කවදාවත් විසදා අවසන් කල හැකි ඒවා නොවේ. නමුත් සටන් පාඨ ලෙස ඉතා වටී.


මෙයින් කියවෙන්නේ කාන්තාවන්ට වැටුප් ගෙවීම් වල අසාධාරන සිදුනොවෙනවා යන්න නොවේ. ශ්‍රී ලංකාව වැනි රටවල කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මෙවැනි දේ මට නිරීක්ෂනය වී ඇත. කලකට ඉහත ගොයම් පැල සිටවීම්  දේවලට පිරිමියෙක් ආ විට ඔහු මම පිරිමියෙක් මට වැඩිපුර අවශ්‍යයි කියා ඉල්ලන අවස්ථා තිබිණි.. නමුත් ගොයම් පැල සිටවීම වැනි දේවල් වලට පිරිමින්ට වඩා හොද කාන්තාවන්ය. කාන්තා ශ්‍රමය අවතක්සේරු කිරීම දැකිය හැකි අතර ඒ සමාජයේ පහල මට්ටම්වලය. ඒ හැර ඉහල කලමනාකරන රැකියා වලද මෙය මීට වඩා වෙනස් ආකාරයෙන් දැකිය හැක. නමුත් මේ සියල්ල සමාජ වෙනස් වීම් වලට සමගාමීව සියුම්ව වෙනස් වීමට නියමිත ඒවාය. මේ තරම් ප්‍රචන්ඩ ප්‍රතිකාර ටිකක් ඕවර් යාමකි. බටහිර සමාජයේ සංක්‍රමනික විරෝධී නාසි වාදයන් මෙන්ම ලිංගවාදයන්ද පැතිරේ. යුදෙව් ක්‍රිස්තියානු  මූලයන් ඉදිරී වැටෙමින් පවතී. එළබෙන්නේ අලුත්ම ලෝකයකි.

ස්පාඤ්ඤයේ සිදුවූ කාන්තා වර්ජනය හැමටම ඇස් අරවන්නකි. වැටුප් ප්‍රශ්න හා ලිංගික හිංසනයන්ට අමතරව මෙහි වෙනත් පැත්තක්ද තිබේ. පවුල් සංස්ථාව බිදවැටී ඇති තරම පෙන්වන්නකි.බටහිර සමාජය රෝගී වූවකි. එම රෝග ලක්ෂන වරින් වර මතුවේ. යුරෝපා ඉතිහාසය ගැන අනගි විවරනයක් කල ඩැරල් ෆෝඩ් මෙසේ කියයි." රෝම සභ්‍යත්වයට මාරාන්තික වූ විශබීජ අපේ යුරෝපා සභ්‍යත්වය තුල තිබේද යන්න සොයා බැලිය යුතුය."



යුරෝපය හා ඇන්ග්ලෝ ඇමරිකාව තුල ඇත්තේ ඉතා කිට්ටු සංස්කෘතික සමානකම්ය.  වෙනසක් දකින්නම බැරි තරම්ය. මේ රටවල ආර්ථික වර්ධනය ඉතා අඩු අතර දරු උපත්ද ඉතාම අඩුය. මේ රටවලට සංක්‍රමනිකයන් අවශ්‍ය වන්නේ මේ නිසාය. එක්සත් ජනපදයේ ට්‍රම්ප් මේ ප්‍රශ්නය තේරුම් ගත් අතර ඔහුගේ ජය සුවිශේෂය. එහෙත් ඔහුට මහ මේඝය මකුලු දැලකින් නැවැත්විය හැකිදැයි නොදනිමි. ලෝකය තුල බටහිර වැදගත්කම එන්න එන්නම අඩුවනු ඇත. කොල්ලෑව නැති ඔරු සේ දඩාවතේ යන මිනිසුන් මුරුගසන් වර්ෂාවට තෙමුන පරිදි සටන් වදිනු ඇත. නවනාසිවාදයට අමතරව ලිංගික ගැටුම් ද ඇති වනු ඇත.  යුරෝපයේ හා ඇමරිකාවේ දරුවන් නැති කාන්තාවන් ප්‍රමානය ඉතා විශාලය. ඇමරිකාවේ සුදු දරු උපත් ප්‍රමානය ට වඩා වෙනත් දරු උපත් වැඩිවී ඇත.

.මේ සියලු දේ සිදුවන්නේ බටහිර සංස්කෘතිය තුලය. වෙනත් සංස්කෘති වල සිටින අසම්මත බටහිර කරනය වූ සුලු පිරිසක් බටහිරට වහින විට කුඩේ ඉහල ගත්තත් ප්‍රධාන ධාරාවට එය අදාල නැත. බටහිර පැතිරෙන මී ටූ ව්‍යාපාරයට හා ස්පාඤ්ඤ රැඩිකල් කාන්තා විමුක්තිවාදීන්ට සුබ පැතිය යුතුය. ඔවුහු උදාවන නවලොවක පෙරගමනට කසකාරයන් වී තිබේ. ඔවුන්ගේ අරගලය නවලොවකට මංපෙත් විවර කරනු ඇත. ඒ නවලොව අරාබීන්ගේ චීනුන්ගේ රුසියානුවන්ගේ හෝ ඉන්දියානුවන්ගේ විය හැක.

Wednesday, March 7, 2018

සතුට

අද සේවය නිමවා නිවෙස් බලා එමින් සිටි අයට කොටුව දුම්‍රිය පොලේදී  චිත්‍රකතා පත්‍රයක් නොමිලේ බෙදුවේය.සතුට නම් වූ මෙය  අසූව දශකයේ ජනප්‍රිය සතුට පත්තරේ සිහි කැදවීමකි. කෙසේ හෝ  නොමිලේ පත්තර බෙදෙන එක නම් අපූරු අත්දැකීමකි. මෙය සිදුවූ පලමු අවස්ථාව මෙය නොවුනද මට එය විශේෂ දෙයක් විය. හේතුව චිත්‍රකතා අභාවයට යන මාධ්‍යයක් වීමයි. අද චිත්‍රකතා පත්තර මෙසේ නොමිලේ බෙදුවද අසූව දශකයේ මේවා මිලදී ගන්නට පොරකෑහ. සතුට පත්තරේ සමග මට මතක් වුනේ ඒ අසූව දශකයේ සුවදයි.මමද පිටපතක්  ගත්තෙමි. සුප්‍රකට ජනප්‍රිය චිත්‍රකතා ශිල්පීන් රැසක්ම විය. 

එකළ එක්තරා හිතවත් විශ්‍රාමලත් විදුහල්පතිවරයෙක් මගේ දෙමාපියන් හා කල සල්ලාපයකදී අද ( එදා ) හැදෙන සමාජය ගැන බරපතල විවේචනයක් කල අයුරු මට මතකය. ඒ බසයක් එනතුරු බස් හෝල්ට් එකේ සිටින විටය.මට ඔහු කවුද කියා මතකයක් නැත. නමුත් ඔහු කාලෙකින් හමුවූ අයෙක් බවත් මේ අහම්බ හමුවීම කාටත් ප්‍රීතියක් වූ බවත් මතකය. සාමාන්‍ය කතාබහ එකවරම පෙරලුනේ සුචරිතය දෙසටය. එකළ රූපවාහිනියවත් හරියකට ගෙවල්වලට ඇවිත් තිබුනේ නැත.සුචරිතය අතින් ඔහුගේ බරපතලම විවේචනය වුනේ අති භයානක චිත්‍රකතාය. මම කුඩාළමයෙකු ලෙස මේ භයානක චිත්‍රකතා මෙන්ම ඒවා කියවන භයානකයන් ගැනද විශ්මයෙන් අසා සිටියෙමි. ඔහු චිත්‍රකතා කියවන්නන් විශේෂයෙන් තරුණියන් ගැන දුන් චරිත සහතික එතරම්ම සුන්දරය. අසූව දශකයේද විශ්‍රාමිකයෙකු වූ පසු කළෙක සිදුවූ සමාජ විපර්යාස බොහොමයක් නොදකින්නට තරම් පින් කරතිබූ බව නම් සහතිකය.එහෙත් එකළද අපේ පන්තියේ සිරිතක් ලෙස ප්‍රසිද්ධියේම චිත්‍රකතා කියවන්නෙක් සිටියේය.

චිත්‍රකතා කෙරෙහි සමාජ ආකල්ප එසේ වුවද අප චිත්‍රකතා හොරෙන් හෝ බලන්නට පෙලබුනෙමු. එයට බරපතල විරෝධයක්ද එල්ල නොවීය. වඩා ප්‍රබල ටෝගාද යුනිකෝද යන්න අපගේ කෙලවරක් නැති වාදයන්හි වස්තුබීජයක් විය.  එම කතාද ඉතා නිර්මානශීලීය.සතිපතා පලවූ චිත්‍රකතා පත්තරේ කඩේට එනතුරු තරුන තරුණියෝ පුල පුලා සිටියෝය. එකළ ජාතික පුවත්පත්ද එකකට දෙකකට වඩා නොතිබුනි. රූපවාහිනිය ආ අලුතය. බොහෝ දෙනෙක් හවුලෙ රූපවාහිනිය බැලූ යුගයකි. හැමෝටම  වාගෙ ස්මාට් ෆෝන් තිබෙන තව ටික කලෙකින් වර්චුවල් රියැලිටි හෙඩ් සෙට් දාගෙන සම්පූර්නයෙන්ම හුදකලා වීමට නියමිත සමාජය අසූව දශකයේ තිබුනේ එසේය.


එකළ තරුණ තරුණියන්ගේ ජනප්‍රිය මාධ්‍යයක් වූ මෙම කලාව පසුකලෙක අභාවයට ගියේ එම කලාවේ අඩුවක් නිසා නොව නව මාදිලි ආ නිසාය. පසුකලෙක ජනප්‍රිය වූ බට්ටි ටෙලිකතා මාලාවද එදා සතුට පත්තරේ ගිය අගනා නිර්මාණයකි. චිත්‍රකතා කලාව මොනතරම් ඉහළ මට්ටමක තිබුනාද යන්නට මෙයම හොද උදාහරණයකි.මුලින් රූපවාහිනිය ආ විට සමහරු බිය පලකලේ ඉතින් පොත් ඉවරයි කියාය. එසේ නොවීය. පරිඝනකය නිසා පත්තර අභාවයට යනු ඇතැයි සිතන අයද සිටී. එහෙත් පත්තර අලෙවියේ අඩුවක් නැත. අලියගෙන් ගන්න වැඩේ පරෙවියගෙන් ගන්න බැරි සේ පත්තරෙන් කරන වැඩේ පරිගනකයෙන් කළ නොහැක.එනිසා චිත්‍රකතාද තිබිය යුතුය.

අලුත් පත්තරේ වෙනත් පත්තරයක අතිරේකයක් ලෙස දෙන්නකි.එය වඩාම හොදය. එවිට එම දිනපතා පුවත්පතටද වැලියු එකක් ඇඩ් වේ. තනියම නැගිටින්නට චිත්‍රකතා වලට අද ටිකක් අසීරු බැවිනි. මේ විදියට හෝ චිත්‍රකතා කලාව යලි දියුණුවන්නේනම් සතුටකි.

Friday, March 2, 2018

පාවෙන ඡන්ද හා රටේ දේශපාලනය

මෙම පලාත් පාලන මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා ගැන ඉඟි කරන ලිපියක් ඉකොනොමැට්ටා විසින් පළ කර ඇති අතර මම එයට 100% ක් ම එකඟ වෙමි. ඒ ගැන මට තව කියන්නට දෙයක්ද නැත. ඇත්තෙන්ම මෙම මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා එජනිසයි. එනම් මෛත්‍රීපාල මහතාගේ කණ්ඩායමයි. එජනිසයට ලැබුන ඡන්ද ඔවුන්ගේම ඡන්ද ය. සැබෑ තුන්වන බලවේගයක ප්‍රවේශයකි.

මීට සුළු මොහොතකට පෙර පුවත්පත් සිරස්තල වලදී මෙම ඡන්ද ප්‍රමාණය ගැන වැරදි අර්ථ කථනයක් අසන්නට ලැබිනි. ඒ දේශපාලකයකුගෙනි. එනම් මෙම ඡන්ද සහ පොදුජන පෙරමුනේ ඡන්ද එකම ඡන්ද ගොඩක් දෙකට බෙදීමක් බවයි. එනම් මේවා ශ්‍රී ලංකා ඡන්ද ලු. මෙය අනුන්ගෙ දරුවන්ට උප්පැන්න ලිවීමකි. ඇත්තෙන්ම ශ්‍රී ලංකා ඡන්ද යූඇන්පී ඡන්ද මෙන්ම සුළුතරයකි. වෙනස් නොවන  ශ්‍රී ලංකා ඡන්ද මුලු රටෙන්ම ලක්ෂ 25 ක් ඇතැයි සිතමි යූඇන්පී චන්දද ලක්ෂ 25 ක් පමනි. අති මහත් බහුතරය පාවෙන ඡන්දය.

දේවාලෙ පූජාවට කලින් බලලෙක් කනුවෙ ගැටහනව වගෙ අන්ධානුකරනයෙන් අලියට හෝ අතට ඡන්දෙ දෙන පිරිසක් සිටිති. නමුත් මේ පුරුද්ද එකපාරක් කැඩුනට පස්සෙ ආයෙ ඒ සම්ප්‍රදාය නැත. ඉන්පසු එය පාවෙන ඡන්දයකි. පවුලෙ කෙනෙක් ඡන්දෙ ඉල්ලන මට්ටමේ සහ පක්ෂයෙ නායකයන් සමග සමීප සබඳතා ඇති මට්ටමේ පිරිස පමණක් කවදාවත් වෙනස් නොවේ.ක්‍රම ක්‍රමයෙන් අන්ධානුකරනෙන් දෙන ඡන්ද පාවෙන ඡන්ද වී අද එය බහුතරයක් වී ඇත.

මැටිමෝල් ඡන්ද පාවෙන ඡන්ද බවට හැරවීමේ මුල්ම සාර්ථක පියවර තැබුවේ විජේවීර මහතාය. ඔහු රටේ විශාල ඡන්ද ප්‍රමාණයක් තර්කානුකූල ඡන්ද බවට පත්කලේය. විජේවීර ගේ බලවේගය පසුව පුදපූජා ලබන ආයතනයක් වී එහිද අන්ධ භක්තික ඡන්ද ගොඩක් නිර්මාණය වී ඇති බව නොරහසකි. මට නිරීක්ෂණය කරන්න ලැබුන උදාහරනයේ ප්‍රමුඛයා ලලිත් ඇතුලත්මුදලි මහතාය. ඔහුගේ ඉලක්කය සම්ප්‍රදායික එජාප ඡන්ද කැඩීමය. ඉන් සිදුවුනේ එජාප ඡන්ද විශාල ප්‍රමානයක් පාවෙන ඡන්ද බවට පත්වීමය.හෙළ උරුමයේ බලපෑමෙන් මෙය යළිත් 2004 දී සිදුවිය.

ඊලගට මහින්ද රාජපක්ෂ  යුගයේදී ජාතිකවාදය මත පදනම්ව හැම පැත්තෙන්ම ඡන්ද පාවෙන එකතුකර ගත්තේය. එකතුකරගත්තේය. ඔහුගේ බලවේගයේ ඇත්තේ සම්ප්‍රදායික ශ්‍රී ලංකා ඡන්දත් ජාතිකවාදී ඡන්දත් විරෝධී ඡන්දත්ය. වෙනස් නොවන ඡන්ද මල්ලක් ඔහුට ඇතැයි කීමද මෝඩ තර්කයකි.ඔහුට ලැබුන පවතින ආණ්ඩු විරෝධී(  මෙම ඡන්ද වල ඇත්තේ තාවකාලීක ව පවතින ආන්ඩුවට විරුද්ධ වීමකි.) ඡන්ද මීට පෙර ලැබුනේ ජවිපෙටය.

මේ අනුව දැන් රටේ බහුතරය පාවෙන ඡන්ද නොහොත් තර්කානුකූල ඡන්දය. දේශපාලන විග්‍රහ කරන අය මේ කරුණ සැලකිල්ලට නොගනිති. රටේ සිංහල ප්‍රදේශවල ( අනෙක් ජනකොටස් බහුතරය වන මැතිවරන කොට්ටාස ගැන මගේ දැනුම අඩුය ) මොන විදියකටවත් වෙනස් නොවන ශ්‍රී ලංකා යූඇන්පී ගෙවල් ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයක් වන අතර මෙම තත්වය වෙනස් වන තැන්ද ඇත. මැද කොළඹ ,උතුරු කොළඹ ,බොරැල්ල වැනි ප්‍රදේශවල එජාපයට බර අතර ( මෙයද ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී ) අත්තනගල්ල ,දොම්පෙ, බියගම හා ගම්පහ ප්‍රදේශ ශ්‍රීලනිපයට බරය ( 1977 දී දොම්පෙ බියගම වැනි ආසන එජාපය ජයගත්තේය ) .

මැතිවරනයේ සැබෑ ජයග්‍රාහකයා එජනිස වන්නේ කෙසේද .තමන්ට ලැබුන ඡන්දවලින් 90% ක් පමන  පාවෙන ඡන්ද /තර්කානුකූල ඡන්ද වීම නිසාය. මෙම බලවේගය දැනටමත් තුන්වන බලවේගය වී ඇත.

දැන් රටේ දේශපාලන චිත්‍රය සම්පූර්නය. ජාතිකවාදී පාර්ශ්වය පොදුජන පෙරමුන නියෝජනය කරයි. එජාපය කාන්තාවන්ගේ හා සුළුජාතීන්ගේ පක්ෂයක් ලෙස රටේ ප්‍රධානම නූතනවාදී පක්ශය ලෙස බටහිර නැඹුරුවකින් ක්‍රියා කරයි. වාමාංශික පදනමක් සහිත සමාජ සාධාරණත්වයේ පක්ෂය වන ජවිපෙ ද නූතනවාදී නැඹුරුවකින් යුතුව යුරෝපයේ ප්‍රජාතාන්ත්‍රික වාම බලවේගයක හැඩරුවින් ඉදිරියට එනු පෙනේ. එම පක්ශය ජාතිකවාදය අත හැර දමා ඇත. පිරිසිදු මූලධාර්මික වාමාංශිකයන්ට පෙරටුගාමී පක්ෂය ඇත. හෙළ උරුමයට ජාතිකවාදය මත යැපීම එම නායකයන්ගේ පැත්තෙන් අවාසියකි.කාලය නාස්ති කිරීමකි. ඊට වඩා ප්‍රධාන පක්ශයක ඉහළ තනතුරු හරහා තම තමන් ස්ථාපිත වීම ඔවුන්ගේ පැත්තෙන් හොඳය.පක්ෂයේ මුහුණුවර වෙනස් කරගැනීමට අවශ්‍ය පක්ෂයක ඉල්ලුමට සැපයුම දිය හැක.

දේශපාලනය යනු අහස මෙනි. අනාවැකි කීම අමාරුය. අද ජාතිකවාදයට තිබෙන ඉල්ලුම හෙට නූතනවාදයට විය හැක.