Wednesday, February 28, 2018

නිදා සිටින අලියා

Image result for elephant awakening yoga

දේශපාලනයේ අපූරු සංකල්ප ඇත. දශක කිහිපයකට පෙර සී අයි ඒ කුමන්ත්‍රන තිබිණි. ඒ ප්‍රගතිශීලී ( ඊනියා ) පිලට එරෙහි සියල්ලන් සැරසීමටය. පසුව යුද්ධ කාලෙ බටහිර බිල්ලා ආවේය. මේ බටහිර බිල්ලා අඩන දේශප්‍රේමීන් ( ඊනියා ) ට බත් කැවීමටය. මෑතකදී අඩන යහපාලන ( ඊනියා ) අයට බත් කැවීමට මහින්ද බිල්ලෙක් ද ආවේය.

නිදා සිටින අලියා ද බිල්ලෙක් බදු අපූරු සංකල්පයකි. පසුගිය චන්ද කාලෙ එජනිස පාර්ශ්වය එජාප විරෝධී ප්‍රචාර ගෙන ගිය විට තර්ක කලේ මෙවර එජාප ජය ශුවර් මොකද මේ වැඩේ නිසා ඡන්දය දාන්න නොයන එජාප පාක්ෂිකයාත් ඡන්ද පොලට යනවා කියාය.හැමදාමත් ඡන්දෙ නොදාන නිදා සිටින අලියා මෙවර නම් නැගිටින බවයි. මෙය අතමුන්ගේ මූලිකම තර්කයක් විය.

බ්ලොග් ලෝකයේ සිටින ඉතා බුද්ධිමත් සහ මට සිතෙන ලෙස ඉතා යහපත් කෙනෙක් වන ඉකොනොමැට්ටා කියන මේ කතාව බලන්න. දීර්ඝ කාලයක් ඡන්ද පොලට නොයන අලි මෙවර නම් ටක්කෙටම සාර සුභාවට ඡන්ද පොලට යනු ඇතැයි ඔහු කියයි.


''කෙසේවුවත්, මේ කටයුත්තේදී එජාපයේ හා පොදුජන පෙරමුණේ අවශ්‍යතා පුදුමාකාර ලෙස සමපාත වී තිබේ. පොදුජන පෙරමුණට ඔවුන්ගේ ඡන්ද දායකයින්ට ළඟ පෙනෙන ජයග්‍රහණය පෙන්විය යුතුය. එජාපයට ඔවුන්ගෙන් ගිලිහී සිටින පාවෙන ඡන්දදායකයින්ව කීද්දුවා නැවතත් මහින්ද බිල්ලා පෙන්වන්නට අවශ්‍යය. එහෙත් එය කළ යුත්තේ පෙර මෙන් සෘජු ලෙස නොව ඇඟට නොදැනෙන පරිද්දෙනි. දැන් වැඩේ ගොඩය. මෙවර එජාපයට අවශ්‍ය ප්‍රචාරක කටයුත්ත කරන්නේ මහින්දවාදීන් විසින්මය. එජාපයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ හෝ කතා කළ ඇතැමුන් දැනටමත් නැවත එජාපය දෙසට හැරී තිබීම තුළ පෙනෙන්නේ මේ ප්‍රචාරක උපක්‍රමය සාර්ථක බවයි"

මට මතක් වෙන්නේ අප කුඩාකල ඉගෙනගත් ප්‍රෙස්ටර ජෝන් රජුගේ කතාවය. මුසල්මානුවන් හා යුධයට පෙරදිග මහා ක්‍රිස්තියානි රජෙක් සිටින බවත් කල යුත්තේ ඔහු කූද්දන එක පමනක් බවත් යුරෝපය පුරාම ප්‍රචාරය කලෙන් යුරෝපයේ කිතුනුවන්ට මොරාල් එකක් ලැබිනි.

හැම චන්දෙකටම පෙර කතා කෙරෙන මේ මහා නිද්‍රාශීලී අලියා මෙවර නැගිටීවිද ? එසේ වෙතැයි පතමි. මන්ද දැන් බිල්ලෙක් සිටී. දෙමල ෆිල්ම් වල වීරයා ස්ලෝ මෝශන් එකෙන් අන්තිම ගේමට එන ලෙසින් නිදා සිටින අලියා ලොව හොල්ලමින් ඡන්ද පොලට යනු ඇත. කල යුතු එකම දේ ඔහු කූද්දන එකය. 


පසුව ලියමි.


මගේ මතය නම් ලේ කොල පාට සහ ලේ නිල් පාට අය එන්න එන්නම අඩුවෙන බවය. මේ අය බහුතරය වුනේ අතීතයේය. 1930 ට පෙර උපන් අය ගේ ලේ විවිධ වර්ණ ගෙන ඇත. නූගත් කම හා වැඩවසම් සිතුම් පැතුම් ඊට හේතුවයි. එකල රජයෙන් ඉඩම් කට්ටියක් ලද අය රජයේ ලොක්කාගේ රුව බුද්ධ පින්තූර දේව පින්තූර අතර තබා දුම් ඇල්ලූහ. වර්තමානයේ නම් පුද්ගලික උදවු ගත් අයත් තව උදවු පතා අනෙක් පැත්ත ගහන අවස්ථා ඇත. සමාජ ජාල වල ආගමනයත් සමග මේ වැඩවසම් ඡන්ද කුට්ටි එන්න එන්නම හැකිලේ. පක්ෂ දෙකේම අනුගාමිකයන්ගේ පුරෝකථන වරදින්නේ ඔවුන් කිසිදා වෙනස් නොවන ගල් ගැසුන චන්ද කුට්ටියක් ඔලුවෙ තබාගෙන විග්‍රහ කිරීමට යාමෙනි.

කිසිදා ඡන්ද පොළට නොයන එහෙත් කැපුවත් කොළ ඡන්ද ලක්ෂ 20 ක් 25 ක් මෙරට තිබෙන බව ඔවුහු සිතති. සියළු විග්‍රහ කරන්නේ මෙය පදනම ලෙස ගෙනය. ඇත්තටම එවැනි සක්‍රිය චන්දදායකයන් සිටීනම් ඔවුන් ඡන්දය දින ඡන්දය අනිවාර්යෙන්ම දානවා පමනක් නොව කැවිලි පෙවිලි සාදාගෙන පාන්දර වනතුරු වෙළද දැන්වීම බලන බවත් ඔවුන්ට ඡන්දයට මාස දෙකතුනක සිටත් ඡන්දය පසුවී මාස දෙකතුනක් යනතුරුත් කහඹිලියා ගෑවුනා සේ කැසිල්ලක් ඇති වන බවත් මොවුහු නොසිතති. මේ ලක්ෂ 20 හෝ 25 සිටින්නේ සමාන්තර විශ්වයක විය හැකි අතර ඔවුන්ටමෙම විශ්වයේ ඡන්දය පාවිච්චි කල නොහැකි බැවින් ප්‍රයෝජනවත් වනුයේ පශ්චාත් මැතිවරන විග්‍රහ වලදී පමණි.

Friday, February 23, 2018

සිසු සටන් වලට තිරසාර විසඳුමක්

රජයේ සයිටම් විසදුමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හා දෙමාපිය සංගමය එකඟ වී ඇත. එහෙත් සිසුන් තව දුරටත් සටනේය. මෙම සිසු ගැටුම් වලට තිරසාර විද්‍යාත්මක විසදුමක් දෙන්න බැරිද

විශ්ව විද්‍යාලවල ට එන සිසුන් තමන් දෙමාපිය ගුරු සෙවනේ ගතකල ජීවිතයට වඩා උපරිම නිදහසක් භුක්ති විදිති. එසේම තමන් තෝරාගත් පිරිසක්ය යන අභිමානයෙන්ද සිටිති.තරුන වයසේ දුරදිග නොබලන කලහකාරීබවද ඔවුන් සතුය. මෙහෙම විසදුමක් නරකද ?

වාර්ෂිකව සිසුන් සඳහා සැනකෙළියක් සංවිධානය කළ යුතුය. මෙයට එකම විශ්ව විද්‍යාලයේ පීඨ දෙකක් හෝ විශ්ව විද්‍යාල දෙකක් තෝරාගත හැක. ඉන්දියාවේ හෝලි උත්සවය හෝ යුරෝපයේ තක්කාලි සැනකෙලිය වැනි දෙයක් ලෙස සංවිධානය කල හැක.

සිසුන් මහපාරේ දෙපසකින් එති. A විශ්ව විද්‍යාලය වසා දමවු කියා B විශ්ව විද්‍යාලයේ සිසුන් කෑගසති. Bවිශ්ව විද්‍යාලයේ කටයුතු හකුලාගනිවු කියා A විශ්ව විද්‍යාලයේ සිසුන් කෑගසති.
 A විශ්ව විද්‍යාලයට එරෙහිවූ මාස්ට ලෙනින්ට ජයවේවා කියා B සිසුන් කෑගසන විට  B විශ්ව විද්‍යාලයට එරෙහිවූ මාස්ට ලෙනින්ට ජයවේවා කියා  A සිසුන්ට  කෑගැසිය හැක.පෘථිවියට එරෙහි අගහරු ලෝකයේ කුමන්ත්‍රන පරදවමු කියා දෙපිරිසටම කෑගැසිය හැක.

පාර දෙපස ඇති කැඩුන පුටු බංකු කඩාදමමින් හකුලා ගනිවු වසා දමවු නවතවු භංග වේවා කියමින් කෑගසන සිසු දෙපිරීස හමුවී එකිනෙකා හොදහැටි ගුටි කෙල ගෙන සැනකෙලිය නිමවෙයි. ගුටි ඇනගෙන ඇදුම් ඉරාගෙන කොළඹ නගරය පුරා දුවන සිසුන් එක් තැනකදී එක්වී භෝජන සංග්‍රහයක් භුක්ති විද නිවෙස් බලා යත හැක. මෙය සිසුන්ට හොද තෙරපි එකක් වනු ඇත.