Saturday, October 21, 2017

නයනේ , ඉකොනො හා ආගම්

බ්ලොග් අවකාශයේ නිවහල්ව අදහස් පළකරන බ්ලොග්කරුවන් සිටින්නේ අතලොස්සකි. විවිධ න්‍යායපත්‍ර හා  මුදල් වෙනුවෙන් ලියන විට ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය දේ ලියන්නට බැරිවේ.එකිනෙකාගේ පිටකසාගන්න යාමෙන්ද බ්ලොග්කරුවෙකු නාස්ති වේ. අනුන්ගෙන් යමක් බලපොරොත්තුවීමම තමන්ගේ ස්වාධීනත්වය නැතිකර ගැනීමකි. කොමෙන්ට් සිගාකෑම ,මත්පැන් සිගාකෑම ,  වෙන වෙන වරදාන ධනවත් බ්ලොග්කරුවන්ගෙන් බලාපොරොත්තු වීම වැනි දේ නිසා බ්ලොග්කරුවන්ට හානි වේ.මේ කිසිම බැදුම්කරයකට යටත් නැති අය සිටිති.  එවැනි දෙදෙනෙකු සමගයි මා පටලැවුනේ.ඒ  නිවහල්ව නොබියව නිදහස්ව ස්තන අදීන බ්ලොගකරුවන් දෙදෙනා හා මා පටලවී කොමෙන්ටුවක් ඉකොනොගෙ පෝස්ට් එකක තිබිනි. ඒ ගැන අදහස් දැක්වීමකි මේ.

 යලිත් කියන්නේ නම් බ්ලොග් අවකාශයේ මා ප්‍රිය කරන බ්ලොග්කරුවන් දෙදෙනෙකි ඉකොනොමැට්ටා සහ නයනේ. මේ දෙදෙනාගේම අදහස් 100% ක් මා අනුමත කරන්නේ නැත. ඉකොනො ගෙ අදහස් ඉතා නිර්මානශීලී නිසාත් හරවත් නිසාත් මම නොවරදවාම එහි යමි. නයනේ ගැන කියන්නේනම් දෙතිස් කතා බ්ලොගයේ නයනේ ජෝශප් ආදී කිහිපදෙනෙක් ඉතා රසවත්ව බස හසුරුවමින් හරවත් ලිපි සම්පාදනය කරමින් අදහස් දක්වමින් සිටියහ. අද එය නතරවී ඇත. එය කණගාටුවට කරුණකි.



ආගම් බිහිවීම ගැන මා දරන්නේ මෙවැනි අදහසකි. පුරාන ලෝකයේ විසූ දැනමුත්තන් ගේ මරණින් පසු ඔවුන් ඇසුරින් කතාන්දර නිර්මාණය විය. එම මහා පුරුෂයන් ඔවුන් ජීවත්ව සිටි කාලයට සාපේක්ෂ වන අතර ඔවුන්ගේ සුවිශේෂත්වය ඔවුන්ගේ කාලයටම අදාල වේ. නිකම් සිතන්න අපේ රටේ දේශපාලනය කල මහා පුරුෂයන් ගැන අදටත් කතා කෙරේ.ඔවුන් ඉතා සුපිරිසිදු මහා වීරයෝලු. නමුත් ඇත්ත කතාව ඔවුන් ජීවත්ව සිටි යුගයේ ජනමාධ්‍ය නොතිබීමයි. අද සිටියානම් මාධ්‍ය සාකච්ඡා වලදීම කපෝති වනු ඇත. 

ආගම් බිහිවන්නේ සමාජ ප්‍රගමනයේ එක්තරා අවදියකදීය. සායිබාබා යනු අවාසනාවන්තයෙකි. ඔහු සියවස් දෙකකටවත් පෙර උපන්නා නම් සංස්ථාපිත ආගමක සමාරම්භකයෙකි. එසේම කාලයට පමනක් නොව දේශයටද සාපේක්ෂ වේ. සොක්‍රටීස් උදාර දිවිපිදීමක් කලද ඔහුගේ ජීවිත පූජාව මිනිස් වර්ගයා වෙනුවෙන් කල පාප පූජාවක් නොවීය.


ආගම් භක්තිකයන් යනු යටි සිතට දමන ලද ස්වයං යෝජනා අනුව හැසිරෙන්නෙකි. ලෝකය ඊයේ මැවුවා කියා විශ්වාස කරන්නට ආගම් භක්තිකයෙකුට සුලු දෙයකි. ඊයේට පෙර තිබූ දේවල් පොසිල ,පුරාන නටබුන් වනි දේ දෙවියන් විසින්න් මවා ඇත්තේ ඒවා පරන වන විදියටමය. කාබන් කාල නිර්න අනුව පරන වෙන විදියටම එසේ මවා ඇත්තේ  පරීක්ශාවක් සඳහාය. අප එම පරීක්ෂාවෙන් සමත් විය යුතුය. බලන්න ආගමිකයාගේ දැක්ම.

තමන්ගේ දර්ශනය තුල සියල්ල ඇති බවත් එය දැනටමත් විද්‍යාවෙන් ඔප්පු කර ඇති බවත් දියුණු රටවල බහුතරය දැණටමත් තම ආගමට හැරී ඇති බවත් සිතීමද ඊට දෙවෙනි නැති. සියල්ල දත් පුද්ගලයෙක් අතීතයේ සිටි බව අපගේ යටි සිතට කවා ප්‍රෝග්‍රෑම් කර ඇති අප එයින් එහා සිතන්නේ නැත.

එහෙත් ආගම් අවශ්‍යය . ඒ මෝඩයන්ට කෙවිටක් ලෙසය. හැමෝම දුර දිග බලන අය නොවේ. එවැන්නන්ට බයවීමට අපායක් තිබීම සාධාරනය. නැත්නම් පාරෙ බැහැල යන්න බැරි වන බැවිනි.

8 comments:

  1. ඉතාම හොද අදහසක් මධ්‍යස්ථ. ඔබ සෙකියුලර්වාදියෙක් වෙන්න ඇති,සමහර අය මට බනි,
    මම උපතින් බෞද්ධයෙක් එමෙන්ද අදටත්.
    නමුත් පුංචිකාලේ ඉදන් අහන්න ප්‍රශ්න කරන්න බය කරල තිබුන ප්‍රශ්න. ඒ කියන්නේ බුදුන්ගේ රැස් විහිදිම අහසින් යාම වගේ හිතේ හිරකරන් හිටපු ප්‍රශ්න වලට නිර්බ්ත විවේචනයක් කරන්න පුලුවන් සුපැහැදිලි උත්තරයක් දෙන්න පුලුවන් කෙනෙක් හමිබවුනා .මම සමන්තබද්‍ර හිමියන්ට වඩාත් ගරු කරන්නේ බුදුදහම දර්ශයනක්ය කියල වෙන් කරන්න බැරිතරමටම හින්දු හා වෙනත් ආගමික විශ්වාස වලින් කලවම් වෙලා වල් වැදිල තිබුන බුදුදහම පිරිසිදු කරන්න දරන අසහාය වෑයම නිසා .සරලව කිවුවොත් මේ බෞද්ධ සමාජයේ ආතල් කුඩු කරපු හින්ද...ඉතින් මම හිතනව බුුදුන්ගේ නිවැරදිම දර්ශනය ඔහු සතුයි කියල.
    තව විශේෂ දෙයක් තියෙනවා.... මට අලුත් කෙනෙක් හමිබවුනා .
    මේක බලල ඒ ගැන අදහසත් රිප්ලයි කරන්න. සමහර විට බිස්නස් කාරයෙක් වෙන්නත් පුලුවන් මම මෙයාගේ විඩියෝ කිහිපයක් බැලුවා.... ඩෙකාට් වගේ තාර්කික පදමනක ඉදල අසහස් කියන කෙනෙක් වගේ .
    https://www.hyperianism.com

    ReplyDelete
    Replies
    1. මම සෙකියුලර්වාදියෙක් නම් නෙමෙයි. බුදුන් සර්වබලධාරී දෙවියෙක් කරල තියෙනව පසුකාලීනව. නමුත් බුදුන් කියන්නෙ දාර්ශනිකයෙක්. බුදුන් කියා තිබෙන්නෙත් අනෙක් බොහෝ දාර්ශනිකයන් කියා ඇති දේමයි. එනම් සිත පිළිබද විග්‍රහයක් කිරීම. ඕෂෝ ගෙ දේශන බලන්න අවුරෝබින්දෝ වගෙ අයගෙ දේශන බලන්න. එකම දෙයක් තියෙන්නෙ. බාහිර උපාදාන වලින් මිදීම තුල නිවන ඇති බව. ඒක තමයි ඇත්ත.

      නිවන කියන්නෙ සිතිවිලිවල බන්ධනයන්ගෙන් මිදීම. එය විශාල සහනයක් වගේම උපරිම ආනන්දයක්. පරම සැහැල්ලුවක්.ඕකතමයි නිවන කියන්නෙ. අබෞද්ධයන්ටත් නිවන් දකින්න පුලුවන්. නමුත් මේ විමුක්තිය ලැබූවන්ට වඩා ශද්ධාව තුලින් සත්‍ය දැකීම උතුම්ය යන මතය පසුකාලීනව ගෙනාවා. ශ්‍රද්ධාව තුලින් සත්‍ය දකින්න බෑ. ශ්‍රද්ධාව කියන්නෙම මුලාවක්. එහි ආගමික ලක්ශන බහුලයි. ඔතනින් තමයි පුදපූජා එන්නෙ. හාස්කම් ඕනවෙන්නෙ ඊට පස්සෙ.

      මේ අවුල තේරුම් ගන්න ඕන. බුදුන් ට අලුත් ආගමක් හදන්න ඕන වුනේ නෑ. පිළිම හදාගෙන ආගමික සංස්ථාවක් හදාගත්තෙ පස්සෙ. සිරිධම්ම ගැන කියනවනම් ඔහුත් ආගමික සංස්ථාවක් හදාගෙන ගොන්පාට් දැම්ම නේද.

      ඇත්තටම සෝවාන් සකෘදාගාමී අනාගාමී ලෙස පැහැදීම වර්ග කර උසස් අධ්‍යාත්මික දියුණුවක් ලද අය ඊට පහලින් තැබීම පැහැදිලිවම පසුකාලීනව සිදුවූවක්. ඔය වගෙ වර්ගකිරීම් සමකාලීන දර්ශනවල තිබුනා.

      Delete
  2. මිත්‍රයා, ඔබ මා ගැන සඳහන් කරමින්ම ලිපිය ලියා ඇති නිසා මෙහි සටහනක් තැබීම උචිත‍යයි සිතනවා.
    ඇත්තෙන්ම දෙතිස් කථා බ්ලොගය අකර්මන්‍ය වීම තුල මාත් කනගාටුවට පත්ව සිටින්නේ. එහෙත් යම් කිසි හේතුවක් මත කථා කතු කනිශ්ක දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. මා හට එම බ්ලොගයේ ලිපි ලිවීමට අවසරය හිමි වුවත් ඔහුගේ නිහඬතාවයට මා බාධා කිරීමට උත්සහ ගන්නේත් නැහැ.

    ඔබ සතු ප්‍රගතිශීලී රචනා රටාව මා ප්‍රිය කරනවා. එසේම ඔබ සිමා බන්ධන වලට අයත් නැතිව කරන කථාවනුත් මා කැමැතියි.
    ඒ වගේම මාද බොහෝ කලකට පෙර දැඩි සම්ප්‍රදාය විරෝධියෙක් ඒ තරුණ වියේදී. ක්‍රමයෙන් මා තේරුම් ගත්තා බොහෝ අය තරුණ වියේදී සම්ප්‍රදාය විරෝධය නම් වූ සම්ප්‍රදායක් අනුගමනය කරන බවත්, ඇතැමුන් ඉන බැහැරව සම්ප්‍රදාය වැලඳ ගන්නා බවත් ඇතැමුන් සම්ප්‍රදාය විරෝදය නම් වූ සම්ප්‍රදාය කර පින්නගෙන දිගටම යන බවත්. ඉතින් මා විශ්ලේශනාත්මක සම්ප්‍රදාය විචාරයක් කිරීමටත් සම්ප්‍රදාය වාදියෙකු හෝ විරෝධියෙකු නොවී සිටීමටත් ඉගෙන ගත්තා.

    බුදු හිමියන් හා දහම ගැන කතාවේදී ඔබ දැඩිව පහර දෙන සර්වඥ්ඥතාවය මා දකින්නේ ඔබ වැරදි වැටහීමක් සිටිමින් කරන විචාරයක් ලෙසයි. බුදුන් සර්වඥ්ඥ නම් උන් වහන්සේ සාපේක්ශතාවාදය ඇල්බට් අයින්ස්ටයින් ට පෙර දැන ගෙන සිටිය යුතුයි වැනි වූ දැක්මක් ඔබ සිටින බවයි මා දකින්නේ. ඒ ඔබ සර්වඥ්ඥතා ඤානය යනු කුමක්දැයි නොදන්නා නිසා. ඉතින් ඒ ගැන ගැටීමෙන් පලක් නැහැ.

    එසේම ශ්‍රද්ධාව පිළිබඳව ඔබ මෙතැනදී දක්වන්නේත් එවැනිම වූ අදහස් දැක්වීමක්.
    කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්.
    බුදු දහම අනුව ශ්‍රද්ධාව කොටස් දෙකකි.
    ඔබ මෙහි කියන වර්ගය අමූලිකා ශ්‍රද්ධාවයි. ඒ කියන්නේ බුදුන් නිසා පිළිගැනීම දෙවියන් නිසා මැව්වායි පිළිගැනීම වැනි දෙ මිනිස් සිතුවිලි වල මූලිකම හේතූන් වූ කෙලෙස් අනුව ගත හොත් මේ අමූලිකා ශ්‍රද්ධාව හට ගන්නේ මෝහය හෙතු කොටගෙනයි සරළව කීවොත් මෝඩ කම නිසයි.

    තවත් ශ්‍රද්ධාවක් තියෙනවා ඒ තමයි ආකාරවතී ස්‍රද්ධාව.
    ඒ කියන්නේ අතේ ගෑවුනු කොහොල්ලෑ ගුලියක් වතුරෙන් සෝදා දැමීමට තැත්කර පසුව පොල් තෙල් වලින් සෝදා හැර කොහොල්ලෑ යනු ජලයේ දිය නොවන එහෙත් පොල් තෙල් වල දිය වන දෙයකැයි ඇති කරගන්නා වූ අවබෝධය හේතුවෙන් කොහොල්ලෑ ඇල්ලීමට බිය තුරන් කර ගන්නවා වැනි වූ දෙයක්. එය මෝහය නැති කමින් හටගන්නා වූ සිතුවිල්ලක්.

    ඔබ විවේචනාත්මකව කථා කරන්නේ කුමන ශ්‍රද්ධාව ගැනදැයි දැන් ඔබට පැහැදිලිද?
    ඔබ ශ්‍රද්ධාව ගැන කී කථාවට වඩා ඉකොනොමැට්ටා නිවන ගැන කල කථාව වෙනස් වන්නේ නැහැ.
    මා ඒ කමෙන්ටුව හරහා කීවේ අන්න එයයි.

    ReplyDelete
    Replies
    1. දෙතිස් කතා වල භාෂා ශෛලියෙන් මම වශී වෙලයි හිටියෙ.මොන තරම් ගැඹුරු කරුණක් වුනත් රසවත්ව ඇතැම්විට අහස්ය රසත් මුසුකර අපූරුවට ඉදිරිපත් කර තිබුනා. ඒ වගේම එහි ලේඛකයන්ගේ අදහස් එක්කත් මා එකඟයි. ඒ නිසාත් ආකර්ශනය වෙන්න ඇති.

      ඇත්තටම මම ගුරුවරයෙක් නෙමෙයි ශිෂ්‍යයෙක්. මට වරදින්න ඉඩ වැඩි බව නිතර කියන්නෙක්. නමුත් මිනිස්සු ගොනාට අන්දන වැඩ දැක්කම කනගාටු හිතෙනවා. බුදුන් වහන්සේ අද්භූත ගූඪ චරිතයක් බවටපත්වීම කාලය සහ බාහිර බලවේග නිසා සිදුවූ බවත් එයින් බෞද්ධයාගේ අධ්‍යාත්මික සංවර්ධනයට කිසිම යහපතක් නොවන බවත් තමයි මගේ අදහස. අමූලික ශ්‍රද්ධාව ගැනයි මා කිව්වෙ. ඒ වගේම අකාරවතී ශ්‍රද්ධාව ඇති වෙන්නේ අවබෝධය තුලින්. ඒ කියන්නෙ අවබෝධය ලැබූ පසු. අවබෝධය ලබන්න පෙර ආකාරවතී ශ්‍රද්ධාවක් කෙනෙකුට ඇති වෙන්න බෑ. පැහැදිලිවම මම නිරාගමිකයන්ගේ දැක්මෙන් වෙනස්. අතිමානුෂිකත්වයක් ආරෝපනය කර ඇති බුදුන් වහන්සේ පොලවට ගැනීම උන් වහන්සේට කරන නිගරුවක් නෙමෙයි.

      මට තේරුම් ගිය දෙයක් තමයි සිත ගැන යම් අවබෝධයක් ලැබූ අය පස්සට දාල ශ්‍රද්ධාව තුලින් යථාර්ථය සොයන්න හදන අය ඉස්සරහට දාගන්න උත්සාහයක් පසු කලෙක ඇති වූ බව. ශ්‍රද්ධාබර අය ඇත්තටම උපාදානයන් එක්ක බැදුන අය. ශ්‍රද්ධාවක් ඇති වෙනව කියන්නෙම බැඳීමක් ඇති වෙනව කියන එක. බැඳීම් අඩු වෙන්න නැති වෙන තරමට තමා සතුට සැනසුම. අපි ශ්‍රද්ධාවෙන් මිදෙන්න ඕන . තමන් තුලින් තමන් දකින්න ඕන. එවිට බිය ක්‍රෝධය ලැජ්ජාව ඉරිසියාව නැති වෙලා අමුතුම සමාදානයක් සිතට දැනෙනවා.

      මගෙ ඇත්දැකීම තමයි යෝනිසෝමනසිකාරයෙන් ජීවත් වීම තුල ශ්‍රද්ධාවසහ සියලු ඇලීම් අඩුවෙන බව. සිත ගැන විමසන චිත්තානුප්පස්සනාවක් තුලින් මෙතෙක් ඉබාගාතේ ගිය සිත තමන්ට පාලනය කරගන්න හැකියාව ලැබෙන බව.සිතිවිලි නිරීක්ෂනයක් හා එතුලින් ලබන අවබෝධයක්. ඕෂෝ ක්‍රිශ්නමූර්ති වැන්නන්ගේ ඉගැන්වීම් තුලත් තියෙන්නෙ මේක. ඒක තමයි පෙරදිග චිත්ත විග්‍රහයේ සාරය. මේක තමයි විවිධ ක්‍රමවලට හැමෝම කියල තියෙන්නෙ කියල මට හිතෙන්නෙ.

      Delete
    2. මෙතැනදී මට මධ්‍යස්ත එක්ක විරුද්ධ වෙන්න තියෙන්නේ එකම එක කාරනයක් විතරයි. ඒත් ඒකත් අඩක් දුරට එකඟයි,
      ඒ තමයි ක්‍රිශ්න මූර්ථි වැනනගේ ඉගැන්වීම් තුල තියෙන්නේ මේ ඉගැන්වීමෙන් අඩක් පමණයි එහි ඇති පරම නිවීම හෙවත් නිර්වානය එතැන නැහැ.
      එය ඔබට මට වාද කොට මතු කර ගත හැක්කක් නොවන නිසා ඒ ගැන වැඩි දුර කතා කිරීමත් වැඩක් නැහැ.

      ඒත් අර පසුව ගොඩ නැගූ ගූඪ තත්වයෙන් බුදු හිමියන් බිමට ගැනීම වරදක් නැහැ. මා නම් ඒක කරලා ගොඩක් කල්. ඒත් ඒ කලේ මා වෙනුවෙන් පමණයි. ඔබට හැකිනම් ලෝකය වෙනුවෙන්ම එය කරන්න ඒක හොඳ උත්සහයක්.

      Delete
  3. ඇත්ත. බුදුන් කියන්නෙ දාර්ශනිකයෙක් විතරයි. පස්සෙ අනුගාමිකයන් අතිං ආගමක් නිර්මාණය වෙලා එයා සර්වඥ වුනා. ජේසුත් ආගමික ශාස්තෘ කෙනෙක් කළේ සාවුල් සහ පසුකාලීන රෝමක අනුගාමිකයන් ගෙ ක්‍රියාවලින්.

    මට හිතෙන්නෙ මේකයි. කවුරුහරි පැහැදිලි දැක්මක් තියෙන කෙනෙක් තමන් දකින දේ කියාදෙන්ඩ ගියාම, පටු මනසක් තියෙන උං රැළක් එයා වටේ එකතු වෙලා එයාව ආගමික ශ්‍රාත්සෘ කෙනෙක් කරගන්නව. සෝම හාමුදුරුවන්ටත් හඳුංකූරු පත්තු කරපු උපාසකම්මල හිටියනෙ මේ රටේ...

    මේ ගැන දවසක ලියන්ඩ හිතෙනව ටිකක් විස්තරාත්මකව.

    ReplyDelete
    Replies
    1. මගෙ අදහසත් ඒකම තමයි. ඒ වගේම ඒ අයව ආපහු මහපොලවට ගන්න එකෙන් ඒ උතුමන්ට කිසිම අගෞරවයක් වෙන්නෙත් නෑ.
      ඒ උතුමන් මෙහෙම ගූඪ චරිත බවට පත් කිරීම වරදක්.
      යම් කිසි බුද්ධිමතෙක් යමක් කීවම ඒ කීම පසුබිම් කරගෙන විකාර පුදපූජා හදාගෙන ඉන්නව ඒ අය අද ආවොත් දැක්ක කියමු. මොනව හිතෙයිද.
      කියපු දේ නොකර වට්ටෝරුවටයි වෙදාටයි වැද වැද ඉන්නව. කොයි ආගමෙත් ඕක තමයි.

      Delete
    2. ඩ්‍රැකීව දැක්කේ බොහෝ කලකින්.
      ඔබෙ බ්ලොගය පැත්තේ ආවෙත් නෑ මම ලියවෙනවද දැක්කෙත් නෑ.

      හැකිනම් ඔබ අදහස් කරන දෙයින් ලිපියක් ලියන්න. අපිත් පිළිතුරකින් දායක වෙන්නම්.

      මේ කියන කාරනා එක්ක මම ගැටෙන්නේ නැහැ. ඒත් බුදු හිමියන් දාර්ශනිකයෙක් පමණයි කියන එකට මම එකඟ නැහැ.
      ඒ කියන්නේ උන් වහන්සේ ආගම් ශාස්තෲ වරෙක් කියන එක නෙවෙයි කියල මගේ බුද්ධිමත් මිත්‍රයන්ට වැටහෙයි කියලා හිතනවා.

      Delete