Saturday, October 21, 2017

නයනේ , ඉකොනො හා ආගම්

බ්ලොග් අවකාශයේ නිවහල්ව අදහස් පළකරන බ්ලොග්කරුවන් සිටින්නේ අතලොස්සකි. විවිධ න්‍යායපත්‍ර හා  මුදල් වෙනුවෙන් ලියන විට ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය දේ ලියන්නට බැරිවේ.එකිනෙකාගේ පිටකසාගන්න යාමෙන්ද බ්ලොග්කරුවෙකු නාස්ති වේ. අනුන්ගෙන් යමක් බලපොරොත්තුවීමම තමන්ගේ ස්වාධීනත්වය නැතිකර ගැනීමකි. කොමෙන්ට් සිගාකෑම ,මත්පැන් සිගාකෑම ,  වෙන වෙන වරදාන ධනවත් බ්ලොග්කරුවන්ගෙන් බලාපොරොත්තු වීම වැනි දේ නිසා බ්ලොග්කරුවන්ට හානි වේ.මේ කිසිම බැදුම්කරයකට යටත් නැති අය සිටිති.  එවැනි දෙදෙනෙකු සමගයි මා පටලැවුනේ.ඒ  නිවහල්ව නොබියව නිදහස්ව ස්තන අදීන බ්ලොගකරුවන් දෙදෙනා හා මා පටලවී කොමෙන්ටුවක් ඉකොනොගෙ පෝස්ට් එකක තිබිනි. ඒ ගැන අදහස් දැක්වීමකි මේ.

 යලිත් කියන්නේ නම් බ්ලොග් අවකාශයේ මා ප්‍රිය කරන බ්ලොග්කරුවන් දෙදෙනෙකි ඉකොනොමැට්ටා සහ නයනේ. මේ දෙදෙනාගේම අදහස් 100% ක් මා අනුමත කරන්නේ නැත. ඉකොනො ගෙ අදහස් ඉතා නිර්මානශීලී නිසාත් හරවත් නිසාත් මම නොවරදවාම එහි යමි. නයනේ ගැන කියන්නේනම් දෙතිස් කතා බ්ලොගයේ නයනේ ජෝශප් ආදී කිහිපදෙනෙක් ඉතා රසවත්ව බස හසුරුවමින් හරවත් ලිපි සම්පාදනය කරමින් අදහස් දක්වමින් සිටියහ. අද එය නතරවී ඇත. එය කණගාටුවට කරුණකි.



ආගම් බිහිවීම ගැන මා දරන්නේ මෙවැනි අදහසකි. පුරාන ලෝකයේ විසූ දැනමුත්තන් ගේ මරණින් පසු ඔවුන් ඇසුරින් කතාන්දර නිර්මාණය විය. එම මහා පුරුෂයන් ඔවුන් ජීවත්ව සිටි කාලයට සාපේක්ෂ වන අතර ඔවුන්ගේ සුවිශේෂත්වය ඔවුන්ගේ කාලයටම අදාල වේ. නිකම් සිතන්න අපේ රටේ දේශපාලනය කල මහා පුරුෂයන් ගැන අදටත් කතා කෙරේ.ඔවුන් ඉතා සුපිරිසිදු මහා වීරයෝලු. නමුත් ඇත්ත කතාව ඔවුන් ජීවත්ව සිටි යුගයේ ජනමාධ්‍ය නොතිබීමයි. අද සිටියානම් මාධ්‍ය සාකච්ඡා වලදීම කපෝති වනු ඇත. 

ආගම් බිහිවන්නේ සමාජ ප්‍රගමනයේ එක්තරා අවදියකදීය. සායිබාබා යනු අවාසනාවන්තයෙකි. ඔහු සියවස් දෙකකටවත් පෙර උපන්නා නම් සංස්ථාපිත ආගමක සමාරම්භකයෙකි. එසේම කාලයට පමනක් නොව දේශයටද සාපේක්ෂ වේ. සොක්‍රටීස් උදාර දිවිපිදීමක් කලද ඔහුගේ ජීවිත පූජාව මිනිස් වර්ගයා වෙනුවෙන් කල පාප පූජාවක් නොවීය.


ආගම් භක්තිකයන් යනු යටි සිතට දමන ලද ස්වයං යෝජනා අනුව හැසිරෙන්නෙකි. ලෝකය ඊයේ මැවුවා කියා විශ්වාස කරන්නට ආගම් භක්තිකයෙකුට සුලු දෙයකි. ඊයේට පෙර තිබූ දේවල් පොසිල ,පුරාන නටබුන් වනි දේ දෙවියන් විසින්න් මවා ඇත්තේ ඒවා පරන වන විදියටමය. කාබන් කාල නිර්න අනුව පරන වෙන විදියටම එසේ මවා ඇත්තේ  පරීක්ශාවක් සඳහාය. අප එම පරීක්ෂාවෙන් සමත් විය යුතුය. බලන්න ආගමිකයාගේ දැක්ම.

තමන්ගේ දර්ශනය තුල සියල්ල ඇති බවත් එය දැනටමත් විද්‍යාවෙන් ඔප්පු කර ඇති බවත් දියුණු රටවල බහුතරය දැණටමත් තම ආගමට හැරී ඇති බවත් සිතීමද ඊට දෙවෙනි නැති. සියල්ල දත් පුද්ගලයෙක් අතීතයේ සිටි බව අපගේ යටි සිතට කවා ප්‍රෝග්‍රෑම් කර ඇති අප එයින් එහා සිතන්නේ නැත.

එහෙත් ආගම් අවශ්‍යය . ඒ මෝඩයන්ට කෙවිටක් ලෙසය. හැමෝම දුර දිග බලන අය නොවේ. එවැන්නන්ට බයවීමට අපායක් තිබීම සාධාරනය. නැත්නම් පාරෙ බැහැල යන්න බැරි වන බැවිනි.

Friday, October 20, 2017

මුතුකුඩ යෙන් මතකය අවදි වූ උඩරට රාජ්‍යයේ කතාව

විකාර ඉන්දියන් ටෙලිනාට්‍ය ඊට නොදෙවෙනි පොෂ් විකෘති  දේශීය කතා  නිසා ජරාජීර්නව පැවති ටෙලිනාට්‍ය කලාව ට සිදු සහ මුතුකුඩ ටෙලිනාට්‍ය නිසා යම් ආලෝකයක් ලැබී තිබේ. මම කිසිම ටී වී චැනල් එකක් බලන්නේ නැතත් අහම්බෙන් සිදු හා මුතුකුඩ වල කෑලි බැලෙයි.

මුතුකුඩ  1818 කැරැල්ල පසුබිම්කොට ගෙන ගෙතූ කතාවකි. මේ යුගය වනවිට රටේ ස්වාධීනත්වය රැකුනේ උඩරටය. එහෙත් මේ යුගයවන  විට මෙම රාජධානිය දකුණු ඉන්දියානු තෙලේ බැදුන උළුදු වඩයක් වී තිබිනි. මුහුදින් එතෙර එකම සංස්කෘතික සම්බන්ධය වුනේ දකුණු ඉන්දියාවයි. නරේන්ද්‍රසිංහට මෙහෙ ගෑනු මදි විය. ඊට හේතුව රජුන් සූර්ය වංශයෙන් පැවත එන බවට වූ මිත්‍යාවයි. මෙහි ප්‍රතිඵලය වුනේ දකුණු ඉන්දියාවේ රාජ ලේ ගෑවුන සාමාන්‍ය පවුලකට උඩරට බලය ලැබීමයි.මෙවකටත් ලංකා සමාජය දකුණු ඉන්දියානු මිත්‍යාවන් මත පදනම් ව තිබූ බව පෙනේ. අපි අපේ කියන බොහෝ දේ ඇත්තටම අපේ නොවේ.

මූණ එක්ක තරහට නාහෙ කපා ගත්තේ එබැවිනි. මීට කලිනුත් විදේශිකයන් සමග මෝඩ සම්මුතීන්ට එළබ තිබුනද මෙවර වෙනස් විය. මෙවර ප්‍රථම වතාවට කන්ද උඩරට විදේශීය හමුදාවක් නතර කල අතර ඔවුන්ට පක්ෂ දේශීය බලවේගයක්ද විය. මොල්ලිගොඩ එක්නැලිගොඩ ප්‍රමුඛ සබරගමු හතරකෝරලේ ජනයා ඉංග්‍රීසීන්ගේ පක්ෂයේ වීමෙන් කැරැල්ලට අවශ්‍ය සැපයුම් මාර්ගද අවහිර විය. පැහැදිලිවම උඩරට දෙකඩ වී තිබිනි. ගරිල්ලා සටන දිගටම කරගෙන යාමට එයද බාධාවක් නොවීය. රජු ලෙස ඔටුනු පලන් තැනැත්තා රාජ උරුමකරුවෙකු නොවේය කියා හෙළිදරවු වීම කැරැල්ලේ අවසානය විය.  මේ පුද්ගලයා සොයාගත්තේද අමාරුවෙනි. ඔහු නායක්කර් වංශිකයෙක්ලු. කලකදි එපාවූ නායක්කර් ලා යලි ඕනෑ විය. එහෙත් ඊනියා රාජ ලේ සෙවීම වෙනුවට සුදුසු පුද්ගලයෙකු රාජත්වයට පත්කිරීමට තරම් උඩරැටියන් බුද්ධිය මුහුකුරා ගොස් තිබුනේද නැත.

නායක්කර්වරු පැමිනීමත් සමගම රදලයන්ගේ බලය සීමා සහිත විය. මේ නිසා කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේ සිටම රදලයන් පසුවුනේ රජු සමග ඉරිසියාවෙනි. රජු ලන්දේසීන් සමග යුද්ධ කරන විට රදලයෝ ලන්දේසීන් සමග කුමන්ත්‍රණය කිරීමට උත්සාහ කලද නූලෙන් වැරදුනි.නායක්කර්වරු ඉවත් කිරීමට රදලනට අවශ්‍ය වුනත් කරන්නට දෙයක් නොවීය. ලන්දේසීන් වෙලෙන්දන් පිරිසක් මිස ඉංග්‍රීසීන් මෙන් දක්ෂ සටකපට රාජ්‍ය තාන්ත්‍රිකයන්ද නොවේ. සමාජ විද්‍යාව මානව විද්‍යාව යන විශයන් බිහිවුනේම ස්වදේශිකයන් ගැන ගැඹුරින් හැදෑරීමෙනි. ඩොයිලිලා කාලයක් තිස්සේ අපේ මෝඩකම් අධ්‍යනය කළහ.


පෘතුගීසීන් ගා ලන්දේසීන් ගේ කාලවල උඩරට රාජ්‍ය මහත් තේජවන්තව පැවතියේය. මොන විවේචන තිබුනත් රාජසිංහ රජු ඉදිරියට තානාපතිවරු ආවේ දන්ඩ නමස්කාරයෙනි. ජෝන් පයිබස් පවා ආවේ එසේය. එහෙත් උඩරට ගිවිසුම අත්සන් කරන කාලයේ මේ තේජවන්තකම බින්දුවටම බැස තිබුනි. මීට හේතුව ලොව පුරා නැගී ආ ඇන්ග්ලිකන් මහෝඝය ඉදිරියේ තව දුරටත් නොසැලී ඉන්නට බැරිකමයි.  නොසැලී ඉන්න හැකියාව යන්තමින් හෝ ඇත්තේ කදුවල පිහිට නිසාය.ස්ථිර හමුදාවක්වත් නැති මේ සැගවුන රාජ්‍ය වෙනත් යුරෝපීය ජාතීන් ඉදිරියේ නොසැලී සිටියේ කදුවල බලයෙනි.සියල්ලටම වඩා මහත් හිරිහැරය වුනේ මිත්‍යා විශ්වාසයි. මදුරාවෙන් කුමාරියන් ගෙන්වීමට සිදුවුනේද මිත්‍යාව නිසාය. පාලකයා වීමට ඊනියා රාජ ලේ ඇත්තෙක්වම සෙවීම නම් ඉතිහාසය පුරා සිදුවිය.



ඇත්තටම කුමක්ද මේ රාජ ලේ. ඉතිහාසයේ මුල් අවදිවල රදලයන්ට රජ වීමට බාධාවක් නොවීය. බලවත් රදලයා රජ විය. රදලයන් යනු ගෝත්‍රික නායකයන්ය. නමුත් එක් රදලයෙකු රජු ලෙස ස්ථාපිත වුන පසුව රජ පවුල හා රදලයන් යනු පැහැදිලි දුරස් බවකින් යුත් ස්ථර දෙකක් විය. දස වෙනි සියවස වන විට එංගලන්තයේද රජු හා රදළයන් මෙසේ බෙදුනි.  ඉන්දියාවේ ප්‍රබල රදලයන් දුර්වල රජුන් එලවා අලුත් රාජවංශ පිහිටවූ බව පෙනේ.ඒ ඉන්දියාවේ ජාතික රාජ්ය බිහි වී නොතිබීම මතය. ජාතික රාජ්‍ය යනු රජු කේන්ද්‍ර කර නිර්මානය වන්නකි. ජාතික රාජ්‍ය බිහිවීම ගැන වෙනත් මත තිබේ. නමුත් මා හැකි සෑම විටකම අනුන්ගෙ ඇස් වලින් දකින්නටත් අනුන්ගෙ කන් වලින් අසන්නටත් අකමැත්තෙමි. මට මගේ අදහස් ඇත.

සුද්දන් සමග මරිමෝඩ ගිවිසුමකට එළඹීම සුද්දන්ගේ සටකපට බවට සාක්ෂියකි. මෙවැනිම මෝඩ ගිවිසුමක් කීර්ති ශ්‍රී රාජසිංහ ලන්දේසීන් හා එලඹුනේය. ඒ අනුව ලංකාවේ සියළු මුහුදුතීරය ලන්දේසීන්ට හිමිවේ. ලන්දේසීන් උඩරටට ලුනු සැපයිය යුතුය. මතක හැටියට බැරන් ඉම්හොෆ් මේ ගිවිසුම ලබාගත්තේ උඩරට සේනා පැරදවීමෙන් නොවේ. තනිකරම සටකපට කමිනි. ඉම්හොෆ් ද ඩොයිලි වැනි දක්ශයෙක්ලු.

මෙහිදී සුද්දන්ගේ වැරැද්දක් නැත. ගිවිසුමේ 4 වන වගන්තියෙන් රටේ ස්වාධිපත්‍ය පැහැදිලිවම බ්‍රිතාන්‍යයට පවරා ඇත. මෙය නොදැන අත්සන් කලා කියන්න බැරිය. එනම් ඇහැලේපොල බ්‍රවුන්‍රිග් යටතේ සේවය කරන නිළධාරියෙකි. ශ්‍රී වික්‍රම එලවා සිංහල රජෙක් පත් කිරීමට වඩා ඉංග්‍රීසීන් අප්‍රිකානු රටවල හා ඉන්දියාවේ මහා රාජාවරු සමඟ ඇති කරගත් වහල් ගිවිසුමකි. මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට තරම් බලවත් තත්වයක ඉංග්‍රීසීන් සිට ඇත. ලංදේසීන් පහතරට ප්‍රදේශ පවරා දුන්නේ කැමැත්තෙනි. මුහුදු සටන්වල ප්‍රංශය පරාජය කර තිබිනි. මේ කිසිවක් එවකට උඩරට පාලනය කල අය දැන සිටියේ නැද්ද. ඔවුන්ගේ ජාත්‍යාන්තර සබඳතා දැනුම බින්දුවකි.


1818 දී ගැසූ කැරැල්ල ඇත්තටම නීතිවිරෝධී වන්නේ ගිවිසුමේ 4 වන වගන්තියෙන් මුළු රාජධානියම පවරාදීම නිසාය. මෙවැනිම පවරාදීමක් මීට පෙරද සිදුවිය. ඒ පෘතුගීසි හමුදාවක් උඩරට නවත්වාගැනීමට කරල්ලියද්දේ එකඟවීම තුලය. දොන් ජුවන් පෙරිය බන්ඩාරට පෙර රට පෘතුගීසීන්ට බාරදුන්නේ කරල්ලියද්දේ විසිනි. අප මෙහිදී කල්පනාකළ යුත්තේ මෙවැනි ගිවිසුම්වලට එළඹීමට සිදුවන තරමට දුර්වල වීම ගැනත් සුද්දන් උපායශීලී බව ගැනත්ය. නැවකින් පැමිණි පිරිසක් සමඟ  රාජ්‍ය බලය බෙදාගැනීමට රජවරු සූදානම් ව සිටියාය කියන කතාව අද දෑසින් බලන විට අමුත්තකි.

ලංකා ඉතිහාසයේ මුල් යුගවල පැවතියේ ජාත්‍යාන්තර සබඳතා මැනවින් කළමනාකරනය කරගත් රාජ්‍ය තන්ත්‍රයකි. උතුරු ඉන්දියානු රාජ්‍ය සමග මිත්‍රත්වය අනුරාධපුර යුගවල සෞභාග්‍යට හේතු විය. ගල් කැටයම් ද සිංහල ගල් වඩුවන් ගේ හපන්කම් ම නොව ලොව හැම තැනින්ම ගෙනා ශිල්පීන්ගේ දස්කම්ය.  එම යුගයේ ලෝකය යනු දඹදිවය. උතුරු ඉන්දියාවට මුස්ලිම් ආක්‍රමන ආ පසු ලංකාවට වාරු වෙන්නටතිබූ මහ ගස් අහිමි විය.  දූපතක් වුනේ ඉන් පසුවය.පොලොන්නරු යුගයෙන් පසු සියල්ලටම නැවතීමේ තිත වැටුනි. ඉන් පසු දකුණු ඉන්දියානු බලපෑම්වලට කැමැත්තෙන්ම යටත් වූ අතර දකුණු ඉන්දියාවටද අනුන්ට බලපෑම් කරන්නට වඩා උතුරින් එන ඉස්ලාමිකයාගෙන් බේරීමේ උවමනාව තිබිනි. පෘතුගීසීන් එන්නේ මේ කාලයේය.කෙසේ හෝ ලංකාව ජාත්‍යාන්තර මධ්‍යස්ථානයක් වීම වෙනුවට සැමගේම කෙළිමඩලක් විය

ආසියාව යුරෝපීය ජාතීන්ට යටත් වීම යුගයේ අවශ්‍යතාවයකි. චීනය පවා යුරෝපීය ජාතීන් අතර බෙදී යමින් පැවතුනි. යෝදයකු වූ මහා චීනයද උඩරට මෙන් සැගවුන රටක් විය. චීන අධිරාජයා එංගන්ත රැජිනට යැවූ ලිපියෙන්ම එය පෙනේ. ( පනික්කාර්ගේ ඉතිහාස පොත ).එහෙත් සොභාවික පිහිටීම මත උඩරට රාජ්‍යට තම ස්වාධීනත්වය රැකගෙන  හුදකලාව පැවතීමට ඉඩ තිබිනි.එහෙත් පාලකයන්ගේ මෝඩකම් කදුවලටත් වඩාඋස් වූ නිසා කදුවලල්ලටත් කරගන්න දෙයක් නැති විය. එහි දීර්ඝකාලීන වාසිය ජනතාවට ලැබුනි. සුද්දන් කල හැම දෙයක්ම ඔවුන්ගේ වාසියට කලත් එහි ප්‍රතිලාභ මෙරට වැසියන්ට ලැබුනි. සුද්දන්ට ලැබුනේ විශාල හිස් ඉඩම් ප්‍රමාණයක් හා සුළු ජනගහනයකි. අද වෙනතුරු මෙම රාජ්‍ය තිබුනානම් ඔය දුර්වලකම් පැටවු ගසමින්  පවතිනු ඇත.

උඩරට ඉංග්‍රීසීන්ට යටත් නොවුනානම් කුමක් වේද. බොහෝ විට ඉංග්‍රීසීන් නිසා ලැබුන යහපත් දේ පහතරටට සීමා වෙන්න ඉඩ තිබුනි. 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරන නිසා සමානාත්මතාව පහතරටට සීමා වෙන්න ඉඩ තිබිනි. ලෝකය සමඟ පහතරට සම්බන්ධ වන අතර එය සිලෝන් ලෙස නිදහස ලබන්නටද ඉඩ තිබිනි. නිෂ්පාදනය අතින් සිලෝන් හා සිංහලේ අතර අහසට පොලව වැනි දුරස්බවක් තිබිය හැකි අතර රජුගේ තහනම නිසා ගෙට සායම්වත් ගාන්න බැරි වැසියන් පහතරට සමෘද්ධිය හා සාපේක්ශ මානව හිමිකම් හා මානව ගරුත්වය දැක පහතරට ඒමටද ඉඩ තිබිනි.

සාධාරන නීතියක් , සැමට ඉගෙන ගැනීමට තිබූ අයිතිය, සැමට තමන් කැමති ඕනෑම රැකියාවක නිරතවී මුදල් ඉපයීමට ඇති අයිතිය මේ කිසිම දෙයක් නැති ඊනියා ස්වාධීනත්වයක් පමනක් ඇති උපත මත සියල්ල තීරණය වන  හුදකලා රටක් ලෙස සිංහලේ නමින් ලෝක සිතියමේ ඉතිරිවන්නට ඉඩ තිබිනි. මේ ස්වාධීනත්වයෙන් ඇති ඵලය කිම. මේ සියල්ලටම හේතුව අපේ සංස්කෘතිය තුල දැනුම සංවර්ධනය නොවීමයි. පර්යේශන සිදුනොවීමයි.නිර්මාණශීලී නොවීමයි.


ඉතිහාසය දෙස බලන විට මොන පම්පෝරි තිබුනත් ලංකාව කුඩා දුර්වල රටක් ලෙස තිබී ඇත. ඉන්දියානු මිත්‍රයන් අහිමිවූ පසු රජුන් තැනිතලා බිම්වලින් රහස් ස්ථානවලට සීමා වී බැලුම්ගලවල් වල පිහිටෙන් පනබයේ ජීවත්වී ඇත. එක් බලපෑමක් බැලන්ස් වුනේ වෙන බලපෑමකිනි. මෙතරම් දුර්වල වීමට හේතු සොයා බැලිය යුතුය.අප කිසිවක් අනුන් මත පටවා නැත.යුරෝපීය ද්‍රවිඩ මුස්ලිම් බලපෑම් හමුවේ දෝලනය වූ රට 1815 වන විට එක් බලපෑමට සම්පූර්නයෙන්ම නතුවීම සිදුවිය යුත්තක්ව පැවතුනි. දීර්ඝ ඉතිහාසයක් ඇති සිංහලයන් ශක්තිමත් ජාතියක් වීමට කිසිදාක උත්සාහ දරා නැත. එහි ප්‍රතිඵලය මෙසේ අන් ජාතීන්ට අන් සංස්කෘතීන්ට යටවීමයි.


අප පාඩමක් ඉගෙන ගත යුතුය. සුද්දාගේ ක්‍රමය ඊනියා අපේකමක් මත ප්‍රතික්ෂේප කිරීමෙන් පාඩු අපටමය. ජපානයේ මුත්ස්‍යුහිතෝ  තායිලන්තයේ චූලලංකෝන් ආදීන් මෙය තේරුම් ගත්හ. බටහිර විද්‍යාවන් බටහිරක්‍රම ප්‍රතික්ශේප කර ගොන් බැදි කරත්ත යුගයකට යාමට අදද කෙස් පැලෙන තර්ක කරන්නෝ වෙති. ඔවුන් දෙබිඩ්ඩන් විය හැක. අපේකම රැකගත යුතු අතට එය වෙනත් දැනුම හා මුසු කර ප්‍රයෝජනවත් ලෙස උපයෝගීකරගත යුතුය.

අප මිත්‍ර නයනේ ම.ම ගැන  මිතුරු විවේචනයක් කර ඇත. ම.ම ටද අපේ දේවල් ගැන ඇත්තේ මිතුරු විවේචන පමනි. ම.ම එන්ජීඕ කාරයන් හා වෙනත් න්‍යාය පත්‍රවලට ලියන්නන් සමග සයිබරේ ගැටී ඇත්තේ අපේකම වෙනුවෙනි එහෙත් ඒ අපේකම ට මිතුරු විවේචන නමැති සැරයටියෙන් තට්ටු කිරීමද සිදුවේ.