මට බිය සැක නොදැනුනා නොවේ. එහෙත් මට සිහිවුනේ පොළව පැතලි යැයි විශ්වාස කළ යුගයක තෙරක් නොපෙනෙන මහසයුර දිග් විජය කළ නැවියන්ය. බර්තොලයු ඩයස් ,මැගලන්, වස්කෝද ගාමා වීර පුරුෂයන්ය.ඔවුහු අවදානම ගත්හ. එහි වාසිය හැමෝටමය. අවාසියක් ඇත්නම් එය එක් පුද්ගලයෙකුටය එහි කම් කිම්ද.
මම කවය තුල ගිලුනෙමි. මට ලැබුන මුල්ම අත්දැකීම පපුවේ වේදනාවකි. මුලු සිරුරා තලා දමනවාක් මෙනි. ඇස් රිදේ. ඇස් නිලංකාර වෙන සෙයකි. සාක්කුවේ කිණිස්සකි. සංචාරයේදී වේදනා සහගත මරණයකින් මා රකින මිතුරා කිණිස්සයි. කිණිස්ස අතගා බැලීමි. එය තිබේ.
බඩ දගලයි. වැටෙන්නට යයි.එහෙත් හැකිතාක් සමබරව ඉන්න උත්සාහ කළේ.කැරකෙන ගතිය නිසා හිද ගතිමි. පුදුමයකි හිද ගැනීමට අමාරුවක් නැත.
ටික වේලාවක් යන විට වේදනාව අඩුවෙන්නට විය. නැගිට්ටෙමි. අවට බැලීමි. ඈත පෙනේ. ඇවිදින්නටද පුළුවන. මෙම අවකාශය තුල මම හැකි වේගයෙන් ඇවිද්දෙමි.
එහෙට මෙහෙට ගියෙමි. මට කාලය ගැන හැඟීමක් නැත. එහෙ මෙහෙ ඇවිද හෝරා කීයක් ගතකළාද නොදනිමි. දැන් ආපසු යා යුතුය. ළහිරු මා එන තෙක් බලා සිටිනු ඇත. එහෙත් යන්නේ කෙසේද .මේ මගුලෙන් ගැලවෙන්නේ කෙසේද
මෝඩකමක් කළාය යන හැඟීම මට තවම නම් ඇතිවුනේ නැත.වෙන දෙයක් වෙද්දෙන් කියා ඉදිරියට ගියේ. එවිට සෙවනැල්ලක් ඈත එනවා පෙනුනි.කෙමෙන් උස් වූ එය නතර වුනේ මා අසලය මා පිටුපසිනි.මගේ උරහිසේ අත තැබීය.
"යාළුවා " සෙවනැල්ල කතා කලේය. කතා කළා නොවේ එය මට දැනුනි.
"මේ කොහේද මට ආපහු යන්න ඕන " මම කීවෙමි.
"බයවෙන්න එපා ' තවත් පණිවිඩයකි.
"කියන්න ඔබ කවුද කියා " මම කෑගෑවේ.
"ඇයි මාව සැකද .මම කවුද කියා කීවට ඔබ මාව දන්නෙ නැහැන " සෙවනැල්ල පවසයි.
දැන් මූ මොකෙක් වුනත් මගේ හිතුවක්කාරකම් වලින් පළක් නැත. කල යුත්තේ මූට අවනත වීමයි.
"මට යන්න ඕන. මගෙ යාළුව මං එනකම් බලාගෙන ඉන්නෙ.මට උදවු කරන්න ." මම ආයාචනාත්මකව කීවෙමි.
සෙවනැල්ල සිනාසුනි.
"කලබල වෙන්න එපා " ඔහු කියයි.
කලබල නොවී කොහොමද .මම යනවා කියමින් ඔහුගේ අත ගසා දැම්මෙමි. ඔහු අත සැනෙකින් ඉවතට ගත්තේය. මේක මොන යකෙක් වුනත් මට බලහත්කාරකමක් නොකරන බව මට දැනේ.එයම සතුටකි.
මම ඉදිරියට ගියෙමි
"නවතින්න.මගේ උදවු නැතිව ඔබට යන්න බැහැ." සෙවනැල්ල කියයි.
"ඉතින් ඇයි මට උදවු නොකරන්නෙ මම ඇසීමි."මගේ හඩ කුඩා දරුවෙකු වැඩිහිටියෙකුගෙන් කරන ආයාචනයක් මෙනි.
"ඔබ කොහෙ කියල යන්නද. ඔබ මොනවද දන්නෙ.ටිකක් ඉන්න
කියන්න ඔබට ඕන කොහෙට යන්නද කියල "සෙවනැල්ල අසයි.
"ගෙදර නැත්නම් වෙන කොහෙද. ඒත් මට ඕන මගෙ යාළුව ඉන්න තැනට යන්න." ඔහු තාම අර මලමගුල ලග වෙන්න ඇති."
ඔබ මෙහෙ ඇවිත් කළේ මහ මෝඩකමක්. දන්නවද ඔබේ යාළුවගෙ මී මුණුපුරෝ මැරුණ තැන්වලත් දැන් ගසුත් පැළවෙලා.
"මොනවා . " මට කෑගැසුනි.
ඒකයි මම කිව්වෙ ඉවසන්න කියල.
"හොඳයි ඔබට මගෙන් මොනවද වුවමනා. අනේ මට උදවු කරන්න ඔබට බැරිද "මම ආයාචනා කලෙමි.
"ඔබ කරපු වරදක් නිසා දැන් එය අමාරුයි. නමුත් මම උදවු කරන්නම්. 'මේ බලන්න
සෙවනැල්ල යම් ක්‍රියාවක් කලේය. මට දැන් අරුම පුදුම ලෝකයක් පෙනේ.
"සේරටම ඉස්සර මට කියන්න ඔබ කවුද කියල "මම සෙවනැල්ලෙන් ඇසුවෙමි .
"මමත් ඔබ වගේම කෙනෙක්. එත් අපේ තාක්ෂණය වෙනස්."සෙවනැල්ල කීවේය.
මට සැහැල්ලුවක් දැනුනි. මේ අප මෙන්ම ජීවියෙකි.
"තාක්ෂණය වෙනස් නොවෙයි. අපට ඔබල එක්ක හැරෙන්නවත් බැහැ. "මා කීවේ.
එහෙම කියන්න එපා. අපි ඔබලගෙ දියුණු දේවල් දැක තිබෙනවා. අපිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සෙවනැල්ල කියයි.
ඇත්තටම මොවුන් මොක්කු වුනත් කරුණාවන්ත නිහතමානී පිරිසකි. ළදරුවන්ගේ වැලිබත් ඉවීම් සමච්චලයට ලක් නොකරයි . අපේ තාක්ෂනය පහත් යැයි නොකියා එය වෙනස් යැයි කියයි. මොහුගේ උදාර කම ගැන සතුටු වුනෙමි.
සෙවනැල්ල ය තාක්ෂණික ක්‍රියාවක් කරයි.එය තෙරුම් ගැනීමට උත්සාහ කළත් එය මට බැරිය. එහෙත් එය කරන විට පියවරයන් මතක තබාගත හැකිබවක් පෙනේ. එහෙත් ක්‍රියාව අවසන්වූ පසු යළි අනුපිළිවෙළ සිහිකිරීම අමාරුය. සෙවනැල්ලට අවකාශය තුල ය යම් නිර්මාන කළ හැක.ඔහු එහි යම් යම් දේ කරයි. අධ්‍යනය පලක් නැති බව දැනී ඉවත බැලීමි.
"අර බලන්න" සෙවනැල්ල මට යමක් පෙන්වයි.
චලන චිත්‍රපටයක් මෙනි. මම දෑස් දල්වා බලා සිටිමි.
"මට ඕන වුනේ ඔබට විනෝදයක් දෙන්න" සෙවනැල්ල පවසයි.
"ඇත්තටම මට කියන්න ඔබලා මට මායාවක් පෙන්වනවද කවුද මේ නාකි මිනිහා "මම ඇසීමි.
" ගයියස් ජුලියස් සීසර් " සෙවනැල්ල පවසයි. මම හිතුව ඔබ මේකට ආස වෙයි කියල.
"නැහැ ඒ ඉස්සර . ඊට වඩා ක්‍රි: පූ 6 සියවසේ ඉන්දියාව බලන්න තිබුනානම් හොදයි. "මම සිතුවෙමි.
"ඔබට ඔවුන් ලඟටම යන්න පුළුවන්. ඔවුන් ඔබට පෙනුනට ඔවුන්ට ඔබව පෙනෙන්නෙ නැහැ."
ඇත්තෙන්ම අනාදිමත් කාලයක් මිනිසුන් හොල්මන් අවතාර කියා සැකකර ඇත්තේ මෙම ජීවීන්ය. මොවුහු හැර තවත් ජීවීන් විශ්වයේ සිටිනවා විය හැක. අප හුදකලාව නැත.
එසේම පෞද්ගලිකත්වය කියා දෙයක්ද නැත. අතීතය අනාගතය කියා දෙයක්ද නැත. අප විවිධ නිරීක්ෂණයන්ට බදුන් වන්නෙමු. එහෙත් අපගේ ක්‍රියාවන්ට ඔවුහු මැදිහත් නොවෙති.මට ප්‍රශ්නාවලියකි.
"හරි ඔබව ආපසු යවන්නම්. යාළුව එක්ක කිසිම දෙයක් කියන්න එපා. කිව්වත් ඔහු විශ්වාස කරන එකක් නැහැ."
මට දැන්ම යාමට අවශ්‍ය නැත. එහෙත් සෙවනැල්ල යමක් කරයි.ඔහු මාව පිටත් කරනවා විය හැක.
මට කරන්නට දෙයක් නැත.
"අප ඔබව අමතක කරන්නේ නැහැ. අපව හමුවෙන්න මින් පසු ඔබ ආ තැනට එන්න වුවමනා නැහැ.ඔබේ නිවසේම තැනක් සූදානම් කරන්නම්. "සෙවනැල්ල පැවසීය.
මේ යන විදියට මගේ නිවස කියා දෙයක්ද නැත. විශ්වයේ ඉහළ මානවල ජීවත්වන සුපිරි ජීවීන්ට කාලය හරහා ගමන් කල හැක. ඉතිහාසය වෙනස් කළ හැක. කොටින්ම කළ නොහැක්කක් නැත.
මා හිස වැනුවෙමි. පරිසරය වෙනස්ය. මා තන බිස්සක වාඩිවී සිටිමි. ලහිරු විශ්මයෙන් බලා සිටී. මොකද වුනේ බන්. උබ මී හරක වගෙ පැන්න. මේ මගුල ඉවරයක් වෙන්නෙ නෑ.මට මොකුත් පේන්නෙත් නෑ. මං ආපහු යන්න හදනකොට එක පාරටම මේ කෝලම නතර වුනා.බලපුවම උඹ ඉදගෙන ඉන්නව.
"මොකද බන් වුනේ "ළහිරු අසයි.
"මොකවත් නෑ බන්.නිකම් කැරකි කැරකි හිටිය එච්චරයි" මම කිව්වෙ ඕනවට එපාවටය.
"අපි දැන් යමු. මටත් මහන්සියි "මම කීවෙමි.
මගේ අත්දැකීම් ගැන කිසිවක් නොකීවත් විද්‍යා ප්රබන්ධවලට පාදක වූ භෞතික විද්‍යා සංකල්ප ගැන අප කතා කලෙමු. මා මෙන්ම හොල්මන් විශ්වාස නොකරන ළහිරුද එහි අප නොදන්නා යම් අබිරහසක් ඇති බව පැවසීය.ඔහු සැක කලේ පිටසක්වල ජීවීන් ගැනය. ඔහු වැරදිත් නැත.
හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙටය. මොවුන්ගේ තාක්ෂනය අප ලබා ගත යුතුය. මොවුන් සමඟ යහපත් සම්බන්දයක් ගොඩනගා ගත යුතුය.අපගේ සියළු චලනයන් ස්වයංක්‍රීයව පටිගතවන බහුමාන ලෝකයක අප ජීවත් වෙමු. ඇත්තෙන්ම අපට උදවු කළ හැකි උසස් අය සිටිති. ඔවුන්ට අප තර්ජනයක් නොවන නිසා කැමැත්තෙන්ම උදවු කරනු ඇත. එහෙත් කිසිවෙකු ගැන ඕනවට වඩා විශ්වාස නොකළ යුතුය. හොඳින් සිතා බලා ඉදිරි සැළසුම් සකස් කල යුතුය.
එහෙත් සියල්ල වෙනස්වුනේ නොසිතූ ආකාරයටය. පසුදා පුවත්පත් අතට ගත් විට මට තරු පෙනුනි.ළහිරු බටකැලය ගිනි තබා තිබුණි. පසුදා පුවත්පත් පිරී ගියේ අපේ කැමරා දසුන්වලිනි.හොල්මන් මන්දිරය වෙනුවට පණු සිදුරක් ගැන විද්‍යා ලිපි පළ වී තිබිනි. විද්‍යා ගුරුවරයෙකු වූ ළහිරු ඊට විවිධ අර්ථකථන ලබා දී තිබුණි. දැන් සියල්ල වෙනස් කළ යුතුය. ළහිරු බාල ප්‍රසිද්ධියක් සොයා යයි. මගේ අරමුණ ඊට වඩා වෙනස්ය. දැන් මා ටිකක් වහන් වී සිටිය යුතුය.
පුවත්පත මේසයට විසි කර කාමරය තුලට ගියේ විවේක ගන්නටය.