Tuesday, July 18, 2017

බුදුන් දෙසූ පුනර්භවය අන්ඩර දෙමලයක් වුන හැටි . ඊ නිව්ස් ලිපියක්

(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.18, පෙ.ව.5.45) බමුණන් විසින් කළ එකම සමාජ මෙහෙවර වන්නේ සංස්කෘත භාෂාවට අසීමිත වූ වචන සමුදායක් එකතු කිරීමය. එහෙත් එම වචන වලින් කළ ආගමික ඉගැන්වීම් අතිශයින්ම භයානකය. නිදහස් මිනිස් චින්තනය එහෙම පිටින්ම  විකෘති කොට සමස්ත භාරතීය සමාජයම තම අල්ලේ නටවන්ට බමුණන්ට හැකිවූයේ  වචන  මත ඔවුන් ගොඩ නගන ලද ‘වෛදික ධර්මය‘ නැමති සෙප්පඩ විජ්ජාව නිසාය.  මිනිසුන් යලි ප්‍රකෘර්තිමත් කිරීම සඳහා ‘පාර්ශව නාථ‘යන් සහ ‘මහාවීර‘යන් විසින් හඳුන්වා දුන්  ‘ජෛන දර්ශණය‘ ද බමුණු  මතවාදයේම තවත් දිගුවක් විනා අළුත් දෙයක් නොවීය. මේ සියල්ලෝම පෝෂනය කළේ කර්මයට අනුරූපව නැවත නැවත උපදින “සම්සාර චක්‍රය යි” (උපනිෂද්).      
සියළු ක්‍රියාකාරකම්  “පුණ්‍ය කර්ම” හා  “පාප කර්ම”  වශයෙන් කොටස් දෙකකට වෙන් කළ ඔවුහු ඒ අනුව මරණින් පසුව  “ආත්මය” වෙනත් වෙනත් ශරීර තුල උපත ලබන බව ඉගැන්වූහ. මෙය හරියටම  කිසියම්  වාහනයක ඇන්ජිමක් වෙනත්  වාහනයකට සවි කිරීමට සමානය . බොඩිය වෙනස් වුනත් ඇන්ජිම එකය. මිනිසෙකු මරණින් පසු තිරිසන් ආත්ම භවයක් ලබන්නේ ඔහු කළ පවු කම් නිසාය. දෙවියෙකු වන්නේ  පිං කම් නිසාය. මේ  දෙකම නැවතී “ශීල සුද්ධී“ භාවයට හෝ “මෝක්ෂයට“ පත්වන්නේ පිං පවු කිරීම නතර වූ පසුවය. ඒ සඳහා වෛදික හෝ ජෛන ඉගැන්වීම් පිළිපැදිය යුතුය. ඔවුන් කියාදෙන මේ ධර්මයට අනුව මුලින්ම “සම්සාර චක්‍රයට“  ඇතුල් වී ඇත්තේ මිනිසා ය.  කම් වූ පරිද්දෙන් පසුකාලීනව විවිධ සත්ව ආත්ම ලබා ඇත. මෙයින් අදහස් කෙරෙන්නේ කිසිම් කාලයක මේ චක්‍රාවාටය තුල මිනිසුන් පමණක් ජීවත් වී  ඔවුන් කරන ලද පවු පිං අනුව සෙසු ජීවීන්  පහළ වූ බවක් නොවේද? මේ පිළිබදව ප්‍රශ්ණ කිරීම තහනම්ය. පිං පවු නොපිළිගන්නා මිදිටුවෙකි. අදටත් මෙහි වෙනසක් නැත.
සිද්ධාර්ථ ගෞතමයන්ගේ ධර්මයෙන් පෙන්වා දෙන්නේ  මෙයට හාත්පසින්ම වෙනස් වූ දිසානතියකි. උන්වහන්සේ  “සාස්වත“ (පැවත්ම)    සහ “උච්චේද“  (නැවත්ම) යන කාරණා දෙකම  බැහැර කළහ.     කර්මය අනුව නැවත නැවත ඉපදීම බුදු දහමේ මාතෘකාවක් නොවේ.  බුදු වදන වනුයේ කර්මය යනු  චේතනාව බවයි. (චේතනාහං භික්ඛවේ කම්මන් වදාමී).  මරණය ‘සම්මුති‘ සහ ‘පරමාර්ථ‘ වශයෙන් ආකාර  දෙකකි. ‘සම්මුති මරණය‘ යනු  ජීවිතය අවසන් වීමයි. උපතේ සිට එසේ ජීවිතය අවසන් වෙන තුරු  සිතෙහි නැවත නැවත  මැරි මැරී උපදින , ඉපදී ඉපදී මැරෙණ චෛතසික ස්වභාවය ‘පරමාර්ථ මරණය‘ සහ ‘පුනර් භවයයි‘ . චෛතසිකයන්ගේ ඉපදීමත් මිය යෑමත් නිමා වන්නේ රහත් භාවයට පත්වීමෙන් පසුවය.       උපතේ සිට ‘සම්මුති මරණය‘ දක්වා ගෙවන ජීවිත කාලය තුල රාග ද්වේශ මෝහ පටිඝ  හෝ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදී ආරම්මනයන්ට උපස්ථම්භකව හටගන්නා චෛතසිකයන්ට අනුව තිරිසන් ප්‍රේත නරක අසුර ආදී හෝ,  දෙව් මිනිස්  බ්‍රහ්ම  භාවන්ට පත්වේ. මේ සියල්ල සිදුවන්නේ මෙලොවදී මිස පරලොවකදී නොවේ.බුදු රදුන්  “නච සෝ නච අඤ්ඤෝ“යනුවෙන් ඉතා කෙටියෙන්  දේශණාකළේ ද මේ කාරණයමය.  ‘පුනර් භවය‘ ලබන්නේ ඔහුත් නොවේ, වෙනකෙනෙකුත් නොවේ.
බුදු දහමෙහි පැහැදී  රහත් බව ලද සියළුම  උත්තම  උත්තමාවියෝ  චෛතසික හා බැඳුනු  ‘පරමාර්ථ මරණය‘ තුල නැවත වෙනත් භවයක් නොලබති. සියළුම රහතන් වහන්සේලා එයට උදාහරණයන්ය. අංගුලිමාල අති භයාණක මිණීමරුවෙකි, බුදුන් දුටු ඔහු  එතෙක් මනසෙහි පැවති  පාපී චෛතසිකයන් සහමුලින්ම උපුටා දැමීය. එතුමන් නැවත කිසි දිනෙක කිරි දරුවෙකුටවත් හිංසාවක් කළේ නැත. එම නිසා  ඝාතක භවයෙන් මිදුනාහ. දේවදත්ත  යනු මනස  යම් තත්වකට දියුණු කළ භික්ෂුවකි. පසුව ඔහු බුදුන් කෙරෙහි වෛර බැඳ සිය භවය වෙනස් කර ගත්තේය. ඒ නිසා  ඔහු ‘සම්මුති මරණයට‘ පත්වෙන තුරුම මැරි මැරී ඉපදුනේය.  ඉපදි ඉපදී මැරුණේය. බමුණන් විසින් කුලහීන භවයකට ඇද දමා සිටි සුනීත සහ සෝපාක බුදු සසුනෙහි රහත් බව ලැබීය. උන් වහන්සේලා දෙව්දතුන් මෙන් සිය භවය නැවත වෙනස් කරගත්තේ නැත. බදු දහම මැනවින් අවබෝධ කරගත් කල්හී පුනරු භවයක් නොලබන්නේය
“පබස්සරමිදං  භික්ඛවේ චිත්තං. තංච ඛො ආගන්තුකේහි  උපක්ඛිලේසේහි  උපක්කිළිට්ඨං” මහණෙනි මේ සිත ප්‍රභාස්වරය. එය පිටතින් ගලා එන කෙලෙස් සිතුවිලි නිසා කිළිටි වෙයි. උපතේ දී සිත ප්‍රභාශ්වරය පිරිසිදුය පැහැදිලිය. පුනරුප්පත්තියක් සිදුවන්නේ පෙර ආත්මයේ කළ පව් පිං අනුව නම් , පුද්ගලයෙකුගේ මරණින් පසුව එම සිත වෙනත්  කයකට ඇතුල් වන්නේ නම්, එසේ ඇතුල් වූ සිතෙහි  මොනවා හෝ තිබිය යුතුය. එහෙත් බුදුහිමියන් පවසන්නේ එවැනි  කිසිදු කිලුටක් නැති බවයි. පෙර භවයේ හුරු කළ පුරුදු ද එහි නැත.  ලොවට බිහිවන්නේ අළුත්ම සිතක් සහිත අළුත්ම ශරීරයකි. අප මුලින් ප්‍රකාශ කළ පරිදි  පුද්ගලයෙක් දේව බ්‍රහ්ම මාර හෝ තිරිසන් ප්‍රේත අසුර හෝ තත්වයන්ට පත්වන්නේ  පසුව ඇතිවෙන චෛතසිකයන් මතය. සොරුන් අතර ඇති දැඩි වූ ගිරා පැටවා පරුෂ වචන කථා කළේය. තවුසන් අතර ඇති දැඩී වූ ගිරා පැටවා යහපත් වචන කථා කළේය. නමුත් උන් දෙදෙනාම එකම ගිරා මවකගේ පැටවුන්ය.
බුදු හිමියන් විසින් ඉතාමත්ම පැහැදිලිව නිවැරදිව දේශණා කළ පුනරුප්පත්තිය හා පුනර්භවය පිළිබඳ මෙම කාරණා  කිසිවෙකුටත් නොතේරෙන අණ්ඩර දෙමළයක් බවට පත් කළේ බමුණු මත ධාරී කාසාම්භර චෝරවාදීන්ය. අහිංක මිනිසුන් හමුවේ සුරංගනා ලෝක  මවා පා ඔවුන්  උපයන දෑ වංචාවෙන් ඩැහැ ගැනීම චෝර වාදීන්ගේ ඒකායන අරමුණයි. නිවන ශාක්සාත් කරගැනීම සඳහා යැයි කියා සිවුරු පටිය කරේ බැඳ පැවිදි වූ මොවුන් අබමල් රේණුවක තරම්වත් වෙහෙසක් නිවන සඳහා නොදරන්නේ ද ඒ නිසාම ය. බුදු හිමියන් විසින් අනුදැන වදාළ දෙසිය විසි හතක් වූ  විනය නීතී (ප්‍රාතිමෝක්ෂ ශීලය) එකක් වත් නොරැක කහරෙදි පෙරවා ගෙන ගිහියන් සේ මොවුන් හැසිරෙන්නේ තමන්  කිසිවෙකුටත් මරණින් පසු  නැවත ඉපදීමක් නැති බව ඉන්තේරුවෙන්ම දන්නා නිසාය. නමුත් පුනරුත්පත්තියක් ගැන සඳහන් කරමින් මිනිසුන් මුලා නොකරන්නට චෝර වාදීන්ට පැවත්මක් නම් නැත්තේම ය.   


4 comments:

  1. මිනිස්සු තමන් හරියට නොදන්නා දේවල් ලියන කොට ඔහොම අබග්ග සිදු වෙනවා. පුනරුත්පත්තිය ගැන ලියපු ටික විතරයි හරි.බුදුදහමේ අනාත්ම කියන්නේ ආත්මයක් නැති එකට නෙමෙයි. හින්දු ආගමේ විදියට නොකැඩෙන නොබිදෙන ආත්මයක් නොපිළිගැනීමයි.බුදුදහම පිළිගන්නේ වෙනස්වෙමින් යන ආත්මයක්. නමුත් පුනර්භවය ගැන පිස්සු කෙලලා. එතැනදී ආපහු මිට කලින් හා මිට පසුව උපතක් නැත කියන මතය කොලේ වහලා පෙන්නන්න හදනවා .

    ReplyDelete
    Replies
    1. මේක මගෙ මතයම නොවෙයි. මගෙ මතය මා මීට පෙර කොමෙන්ට්කරල තියනවා .මම හදාරන්නෙක් පමනක් නිසා ත් අන්තවාදියෙකු නොවන නිසාත් අවසාන නිගමනයක නෑ.
      මගෙ තර්කය මේකයි යලි උපදින්නෙ මැරුන කෙනාත් නොවෙයි අලුත්ම් අ කෙනෙකුත් නෙමෙයි කියනවානම් ඒ මැරුන කෙනා ඇසුරින් ඇතිවන නව කෙනෙක්. මෙතන ඇසුරින් කියන වචනය ඉතා වැදගත්. මතක ගබඩාවක් සහිත ආත්මයක් ගෙනයන්නෙත් නැති නිසා මේ ක්‍රියාවලිය දිගටම සිදුවීමේදි අන්තිමට සිටින්නෙ මුල් කෙනා නෙමෙයි.

      භව කියන්නෙ සිතිවිලිවලට නේද

      ළමයෙක් නිල්පාට ජිල්බෝල පහක් පේලියට තබනවා. පසුව එම පේලියේ පිටුපස ඇති නිල් බෝලය ඉවත් කර ඉදිරිපසට රතු බෝලයක් තබනවා. මෙය පස් වරක් කලාම එතන තියෙන්නෙ රතු බෝල පහක්.

      Delete
    2. මධ්‍යස්ත මත ධාරියා, ඔබ නිහඬව සිටි කාලයෙන් පසු යම් ප්‍රගතියක් දක්වන බවක් පෙනෙනවා.

      භව කියන්නේ සිතුවිලි වලට නෙවෙයි. භව කියන්නේ පැවැත්ම හෙවත් කාලය. මේක සත්ත්වයා විසින් කරනු ලබන නිර්මිතයක්.

      ඉහත ලිපිය බොහෝ නිවැරදි දේ කතා කරනවා. ඒත් අන්තිමේ නංගි පෙන්නලා අක්කා දෙන්න උත්සහ කරනවා. බුදු දහමේ කිසි ලෙසකින්වත් පුනර්භවය සම්මුති මරණයෙන් කෙලවර වන බවක් කියැවෙන්නේ නැහැ. මේ සෑම මොහොතකදීම අප මුහුණ දෙන පුනර්භවය සම්මුති මරණයෙන් ඔබ්බෙහිද පවතින බවයි ඉගැන්වෙන්නේ.
      නො එසේනම් නච සෝ නච අඤ්ඤෝ කියා කියමනක් බුදු හිමියන් දෙසන්නේ ඇයි. උන් වහන්සේට නච සෝ කියා නවතින්නට තිබුනා නේද?

      Delete