Sunday, October 2, 2016

අපට නොපෙනෙන ලෝකයක් තිබේද

ගුප්තවිද්‍යාව යනු සියල්ලන්ගේම කුතුහලය අවුස්සන අපූරු ක්ශේත්‍රයකි. මානව වංශකථාවේ ආරම්භයේ සිටම විවිධ ඇදහිලි අභිචාරවලට පදනම වුනේ ගුප්ත විද්‍යාවය.අධිසොභාවික විශ්වාසයන් තරම් මිනිසාට බලපෑම් කල අන් දෙයක් නැති තරම්ය.

මම උපතින් බෞද්ධයෙක්මි.පාසල් යන කාලෙ අවංක බෞද්ධයෙක් වීමි.පන්සලේ අටවිසිබුද්ධපූජාව මට අද මෙන් මතකය.කල්පාන්තර වල අපහල වූ බුදුවරු හා එම යුග සිහිවනවිට චමත්කාරජනක අපූරු හැඟීමක් ඇති වෙයි. මගේ බුද්ධාලම්බන ප්‍රීතිය උපරිමයටම නැගි එම රාත්‍රිය  ඊයෙ පෙරේදා සිදුවූ දෙයක් මෙන් දැනේ.

පසු කලෙක පොත් කියවන විට වෙනත් දර්ශන ගැනද කියවීමි. ජෛන දර්ශනය වේදාන්ත වැනි ඉන්දියානු දර්ශනයන් අඩංගු ලේඛන කියවීමේදී මේ සියල්ල එකම දෙයක විවිධ වර්ෂන් බව සිතුනි.විශේෂයෙන් ජෛන දහමේ කරුණු 99% ක්ම බුදුදහමට සමානය. අටවිසිබුදුවරු සේම කල්පාන්තරවල පහලවූ ජිනවරු සිටියහ. බුදුදහට පෙර ජෛන දහම ඇතිවූ බවත් පන්සිල පවා ජෛන ආභාශය සහිත බවත් නොදත් උපාසකම්මලා වර්ධමාන මහාවීරට අනේ මෙහෙමත් පවුකාරයෙක් කියති. කුඩා අප නොමනා වැඩක් කලොත් අනේ මෙහෙම නිගන්ටයෙක් කියා කම්මුලේ අත් තබා ගනිති.

පරම්පරාවකම මොල සේදූ කොවුර් නම් වූ පුරුශයෙක් විය. අපේ හා අපට වඩා වයස බොහෝ දෙනෙකුට කොවුර් බලපෑවේය. මටනම් කොවුර්ටත් වඩා සුමනදාස සමරසිංහ බලපෑවේය. ඕනෑම එකෙක් ප්‍රශ්න කරන පුරුද්ද මට තිබූ නිසා කිසිම දෙයක් ගෙඩිය පිටින් නොගත්තෙමි.මට සුමනදාස හමුවීමට අවශ්‍ය වුවද ඔහු 2002 දී මිය ගියේය. සුමනදාස  ධනාත්මක චින්තනය සාර්ථකව මෙරට සුවිශේෂ තත්වයන්ට ගැලපෙන සේ සකස් කලේය.නමුත් ඔහු පලකල අදහස්ද  සාවද්‍ය බව පසුව අවබෝධ විය. ඔහුගේ දේශනවල සියුම් බෞද්ධ විරෝධයක් වූ බව මට සිතේ.භාවනාව ගැන ඔහු කී දේවල් අතිශය සාවද්‍යය. ඔහුගේ ධනාත්මක චින්තනය තුල ඕනෑම දෙයක් කල හැක. එනම් පෘථිවියේ ගුරුත්වාකර්ශනයද වෙනස් කල හැක.ඔහු දේශනාකලේ කිසියම් ශාස්තෲ කෙනෙක් විලසිනි. ඔහුගේ අනුගාමිකයන්ට ඔහු එක්තරා මට්ටමක බුදුකෙනෙක් බදුවිය.සුමනදාස කලේ ඉංග්‍රීසියෙන් තිබූ ධනාත්මක චින්තන පොත් පරිවර්තනය බව පසුකලෙක දැන ගත්තෙමි.සුමනදාස චතුර කථිකත්වයක් හිමි අපූරු අදහස් තිබූ සුන්දර මිනිසෙකි. ඔහුගේ ව්‍යාපාරය අද ඇදවැටී ඇති තැන නම් ඛේදජනකය.

ටිකෙන් ටික මම භෞතිකවාදියෙක් වීමි. සියළුම අදෘෂ්‍යමාන දේ ප්‍රතික්ෂේප කලෙමි.සරදම් සහගත සිතිවිල්ලෙන් මේ දේවල් ගැන සොයන්නට වීමේ.හේතුවාදී සංගමයට බැදීමට අදහස් කලත් එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් නොවීමි. නමුත් එහි නායකයන් සමග දුරකථනයෙන් දීර්ඝ ලෙස කතා කලෙමි.

මේ කාලයේ මට ගැලපෙන මිතුරු පිරිසක්ද විය. දේවාල දෙවිවරු කට්ටඩි ගැන කතාබහ කරමින් හූ කියමින් සිනාසුනෙමු. ගුප්ත විද්‍යා පසුපස යන අය මහා මෝඩයන් බව අපගේ අදහස විය. නමුත් මගේ නිරීක්ෂනවල ප්‍රථිඵල අනුව බොරු කිරීමේ අදහසින් නොව සත්‍ය දැනගැනීමේ කුහුලින් යුතුව නිරීක්ෂනය කිරීම සුදුසු බව අවබෝධකර ගතිමි.

එඩ්ගාර් කේසි , ජීන් ඩික්සන්, වුල්ෆ් මෙසින් ආදී අධිමානසිකලාභීන් ගැන ලියවුන පොත් කියවීමි. මේ අය පලකල  අනාවැකි වලින් එකක් දෙකක් හැර සියල්ල වැරදී ඇත.1999 දී ලෝක යුද්ධයක් ඇතිවීම වැනි කතා අනුමාන වෙයි. කේසිගේ පුනර්භව කතාද ප්‍රබන්ධ බව මගේ හැගීමයි. නමුත් ජීන් ඩික්සන් කෙනඩිගේමරනය හා සෝවියට් දේශයේ බිද වැටීම ගැන කලින් කියා ඇති බව කියවේ. බල්ගේරියාවේ බාබා වැන්ගා 2016 දී යුරෝපය විනාශවන  බව කීවේද මෙවන් අනුමානයකිනි.1977 එජාප රජය අවුරුදු 17 ක් පවතින බව කී අනාවැකියද එසේය. එය කීවේ මෙරට ජ්‍යොතිෂවේදියෙකි. ජ්‍යොතිෂයෙන් මෙවන් අනාවැකි කිව නොහැකි අතර මේවාද  යම් ගුප්ත ක්‍රමයකින් ලබා ගන්නා දැනුම විය හැක.

මගේ නිරීක්ෂන වලදී මට අවබෝධ වුනේ යම් යම් අද්භූත බල ඇති අය අප අතර වෙසෙන බවයි.. සමහරු ප්‍රසිද්ධියට බියවන්නේ බව් බව් භෞතිකවාදීන් නිසාය. ඔවුන්ගේ අත්දැකීම් කියන්නට ගියොත් එක එක ඉංග්‍රීසි නම් වලින් ලෙඩ රෝග නම් කර හංවඩුගසන්නට බට( හිර )  වෙදුන් එනු ඇත. මේ හිස්බටයන් ගේ ඉංග්‍රීසි වචන දැක සමාජයද අකුරු තුනේ උපාධියක් මේ අයට දෙනු ඇත.වහලුන්ට වහල් හිමියන්ගෙන් නිදහස් වීමට සිතීම හා සමලිංගිකත්වයද මානසික රෝග ලෙස කලක් මොවුහු හැදින්වූහ. දේශපාලන උද්ඝෝෂන හමුවේ ඒවා වෙදපොත්වලින් අහකට විසිවිය. වෛද්‍ය විද්‍යාව දේශපාලන විද්‍යාවට යටවන අවස්ථාවන් දෙකකි ඒ. ඔබ දෙවියන්ට කතා කරන විට එය යාඥාව ලෙසත් දෙවියන් ඔබට කතා කරනවිට එය ස්කිසොප්‍රේනියාව ලෙසත් හැදින්වේ කියා කතාවක් ඇත.

මට හමුවූ ඇතැම් පුද්ගලයන් නිවසට එන මාර්ගය ආදිය හරියටම කියා ඇත. ඒ වංගුවක් හම්බවෙයි කිරිගහක් හම්බවෙයි ආදී බාල අනුමාන නොවේ. එක් වරෙක අපේ ගෙදර මල්පැලක් නෑ නේද කියා ඇසීය. ගම්බාර දෙවියන්ට ඉස්සර මල්පැලේ පාන් තිබ්බා දැන් නැත්තෙ ඇයි කියා ඇසීය. එය අපේ ගමේ වෙන ගෙදරකට කීවා නම් බොරුය. හැම ගෙදරම මල් පැලක් ඇත.

ආච්චි මියගිය දිනවල මලවුන් කතාකරවන තැනකට ගිය අතර ඇය අප හදුනාගෙන කතා කලාය. ආවේ ඇත්තටම ආච්චිද නැත්නම් වෙන භූතාත්මයක්ද ක්‍රිස්තියානි සාතන්ගෙ ගෝලයෙක්ද ඉස්ලාම් ශෙයිතාන් හෝ ජින්වරයෙක්ද කියා නම් නොදනිමි.නැත්නම් ආවේශය තුල කිසියම් පරචිත්ත විජානන හැකියාවක්  ආවේශවූ ස්ත්‍රියට ලැබුනාද නොදනිමි.

මෑතකදී නාඩිවාක්‍ය අසන්නට ගියෙමි. එහිදී පත් ඉරු ගෙන මගේ පත් ඉරුව සොයාගැනීම පිනිස මගෙන් ප්‍රශ්න කීපයක් ඇසීය. එහෙත් ඒ කිසිම ප්‍රශ්නයක් මගේ දත්ත සොයාගැනීමට ප්‍රමානවත් නැත. පියාගේ නමේ මුල් අකුර හා අකුරුගනන හැර වෙන කිසිම දත්තයක් නොදුන්නෙමි.එසේ කීවේ පත් ඉරු කිහිපයක් ගෙන වැරදුන පසුය. පියාගේ නම කියා ඉන් පසු මවගේ නම මගේ නම මගේ අධ්‍යාපන සුදුසුකම් රැකියාව ආදී බොහෝ තොරතුරු වැල නොකැඩී කියන්නට විය.

 බොහෝ දේවාලවල මායම් වී හරියටම ශාස්තරය කියති. ඇතැම් විට මොවුන් අපේ සිතේ ඇති දේ කියන බවද පෙනේ.ශාස්තරය කෙසේ වෙතත් ඔවුන් මායම්වන ආකරයට අප ඔලුව කැරකෙව්වොත් බෙල්ලද ගැලවී යනු ඇත. අපේ දේවාල වල මායම් වන්නන් සයිබීරියානු ශමන් වරුන් ,ආගම්වල අනාගත වක්තෲවරුන් ,අප්‍රිකානු කට්ටඩින් මේ සියල්ලෝම එකම ක්‍රමයකට දැනුම ලබාගන්නා අයයි.
ඇතැම්විට සියලුම ආගම් වල සම්භවය මෙම දත්ත ලබාගැනීමේ ක්‍රමය විය හැක. දෙවිවරු යනු පිටසක්වල ජීවීන් විශේෂයක් විය හැක.
එනමුදු මෙම දත්ත ලබා ගැනීමේ ක්‍රමයට අනුව අනාගතය කිවහැකිය කියන්නේ නිර්මානවාදී ආගම්වල දැක්වෙන ආකාරයේ පූර්ව සැලැස්මක් ඇති බවය.අතීතය විශේෂයෙන් පුනර්භවය කීම තවත් පැත්තකි.මෙහි බරපතල පරස්පරයකි


මගේ  නිගමන  මෙසේය.


මෙම ක්ශේත්‍රයේ  බොරුකාරයෝ සිටිති.එහෙත් විද්‍යාවට මෙතෙක් හසු නොවූ යම් දෙයක් ඇත.
ඉහත කී විද්‍යාවට හසුනොවූ දෙය මත පදනම් වී අතීතය අනාගතය ගැන දත්ත ලබාගන්නා අය සිටිති.

මෙම දත්ත ලබා ගැනීම පොදු නිරවුල් ක්‍රමවේදයකින් කල හැකිද යන්න මට ඇතිවූ ගැටලුවයි.වෙනත් වචනවලින් කීවොත් කවුරු කලත් එකම ප්‍රතිපලය ලැබිය යුතුය.

අපගේ සිතිවිලි සිදුවීම් ආදිය නිරාවරනය වූවකි. ඒවා යම් ඊතරීය අවකාශයක ගිලී ඇත.කිසියම් ක්‍රමයකින් මේවා දැනගත හැක. අනාගතය ගැන කියනවානම් අද හෙට සිදුවන දේවල් වල නිරවද්‍යතාවය 90% ක් පමන වේ. ඈතට ඈතට යන්නට නිරවද්‍යතාවය අඩුවෙයි.
අතීතය 100% ක් ම නිවැරදිය. එනිසා මෙම ක්‍රමවේදය දියුනු කරගෙන නිවැරදි ඉතිහාසයක් ලිවිය හැක.අපරාධ අනාවරනය කරගතද හැක.
අපට ගෝචර නොවන සිදුවීම් දැනගත හැකි නිසා එය අධ්‍යාපනයටද යොදා ගත හැක.
මෙම ක්‍රමය දියුනු කරගැනීම තුලින් ජාම බේරාගෙන සිටීමට හැකිවනු ඇත. ඒ කපටින්ට හසුනොවී කරදරයක් නැතිව ජීවත්වීමට ලැබෙන නිසාය.
එසේම අසාර්ථක වන ව්‍යාපෘති කලින් දැන ඒවා නොකර සිටීමට හැක. එය කාලය මුදල් ඉතිරි කරගැනීමකි.

මෙම විශය ගැන හැදෑරීම අවශ්‍ය වන අතර මෙම විශය ගැන දන්න අය ගේ අධ්‍යන කවයක් වැනි දෙයක් ( තියොසොපිකල් සමාජය මෙන් )අවශ්‍යය.











32 comments:

  1. මේක මම කිහිප තැනකම කිව්වත් අනෙක් අයට තේරුනේ නෑ වගේ වුනා.
    යකා දකින ඇකියුරසිය මට අනුවත් හරි. ඒත් පාත් එක වෙනස්.
    අපේ ඊයෙ ගැන අපි දන්නවා. හෙට ගැනත් සෑහෙන අවබෝදයක් තියෙනවා. ඉතින් හරි. අනාවැකි කාරයත් ඕක කියනවා. මම කියන්නෙ ඌ අපි නොදන්න මොනවත් දන්නෙ නෑ කියලයි. උදාහරනෙකට ප්‍රසිද්ද මිනීමැරුමක ඇසින් දුටු සාක්ශියක් තියෙනවා. ඒක දන්නෙ මරපු එකයි මැරිච්ච එකයි විතරයි.
    ඉතින් පේන බලල ඕක හොයන්න බෑ. මොකද අහන එකා දන්නෙ නෑ. ඌම ගිහින් ඇහුවොත් උත්තරේ ලැබෙනවා. මම අපේ හිතේ තියෙන දේ ඌ කියන හැටි දන්නෙ නෑ. ඒත් ඌව සතපහකට කෙයාර් නොකර හිත වෙනතක යොමු කරගෙන හිටියම අනාවැකි ලොස්.
    විද්‍යාව ගැන මගේ අදහස - විද්‍යාව තවම නොදන්නා ඕනෑතරම් දේ ඇත​. එහෙත් විද්‍යාව දන්නා දේ ගැන විශ්වාසය තැබීම සරලය​. එය සැබෑ දැනුමකි. අද්භූත දේ ගැන එසේ කිව නොහැක ඕනෑම අදහසක් එහි තිබිය හැක. එකක් හරි ගිය විට ඊලඟට අනුමාන පොකුරකි. තෝරාගැනීමේ නිශ්චිත ක්‍රමයක් නැත​.

    ReplyDelete
    Replies
    1. සාත්තර කියන අතිමහත් බහුතරයක් කියන්නෙ තමන්ගෙ සිතේ ඇති දේයි. සිතේ ඇති දේ කියන එකත් විශේෂ දෙයක්. එය කල හැකි වීම ලොකු කුසලතාවයක්.
      නමුත් සමහර සාත්තරවල සිතේ නැති දේත් කියනවා. මේ ඉතා අඩු ප්‍රතිශතයක්.මෙම ශිල්ප ක්‍රමය සොයාගැනීමයි කල යුත්තෙ.

      Delete
  2. //පාසල් යන කාලෙ අවංක බෞද්ධයෙක් වීමි// අවංක බෞද්ධයෙක් කියන්නේ කාටද?

    ReplyDelete
    Replies
    1. කෝටි එක හමාරක් වන නාමික බෞද්ධයන් අතර අවංක බෞද්ධයන් දහසක් පමන සිටිනවා. මාත් එයින් කෙනෙක් වුනා.අවංකවම ප්‍රතිපත්ති රකින පිරිස ගැන කීවේ

      Delete
  3. මම මේ සම්බන්ධ ලිපි පෙළක් ලියන නිසා මේ ගැන වෙන මුකුත් කියන්නේ නැහැ. ලියන්න තියෙන දේ අඩාල වෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලියන්න උත්තේජනයක් සැපයුවේත් ඔබේ ලිපිපෙලයි. මා එය නොවරදවා කියවන්නෙක්.

      Delete
    2. ස්තූතියි. ඒ ලිපි පෙළ අවසාන කරලා මෙතැනට නවතැහැ එන්නම්.

      Delete
  4. අර සුමනදාස මහතාගේ දියණියද දැන් කරමින් සිටින්නේද ඉන්ගිරිසි ඒ ආකාරයෙන්ම හින්ගලට පරිවර්තනය කිරීමය.

    නාඩි වාක්‍යය මා පිලිගන්නේ නැත. එහෙම දෙයක් තියෙන්නට කීයටවත් නොහැක. මන්ද එසේනම් ලෝකයේ සෑම සත්වයකුටම පත් ඉරුවක් තිබිය යුතු. එය කිසි ලෙසකවත් සිඳුවිය හැක්කක් නොවේ. ඔවුන් කරන්නේද ජෝතිෂ විද්‍යාවෙන් කරනා දෙයමය.

    බටහිර විද්‍යවද කිසි ලෙසකින් පරම සත්‍යය නොවේ. ඒවාද වෙනස් වන සුළුය. සුද්දා කීවොත් ඕනෑම දෙයක් පිලිගන්නා අපේ උන්ට නම් ඒවා පරම සත්‍යයම විය හැක.

    ReplyDelete
    Replies
    1. //බටහිර විද්‍යවද කිසි ලෙසකින් පරම සත්‍යය නොවේ// ඔතන වෙනස මචං බටහිර විද්‍යාව තමන් කවදාවත් පරම සත්‍යය කියල කියල නැහැ. අනික බටහිර විද්‍යාව නෙමෙයි විද්‍යාව කියල ගනින් බෙදන්නේ නැතිව. විද්‍යාව හැම වෙලේම තමන්ගේ වරීම නිහතමානිව පිලි අරගෙන අලුත්වෙන තැනක්.

      Delete
    2. බටහිර විජ්ජාව එහෙම නොකීවට, අපේ හරක් කියන්නෙ එහෙමනේ......

      Delete
    3. ඔවු එහෙම පත් ඉරු තිබෙනවානම් ඔවුන් ලග පත් ඉරු බිලියන ගනනක් තිබිය යුතුයි. මෙතෙක් උපන් අය අනාගතයේ උපන් අය ආදී වශයෙන් විශාල ප්‍රමානයක්. ඔවුන් යම් ක්‍රමවේදයකටයි කියන්නෙ. නමුත් එය අපෙන් සගවනවා. ඍෂිකතා කියන්නෙ ඒකයි.
      නමුත් පවුලෙ විස්තර හරියටම නම් ගම් සහිතව කිව්වා.

      බටහිර විද්‍යාවෙ වරදකටත් වඩා බව් බව් භෞතිකවාදීන් තමයි කරදරයක් වෙලා තියෙන්නෙ

      Delete
  5. සුමනදාස සමරසිංහ උගත් පුද්ගලයෙකු නොවේ. ඔහු ඉංග්‍රීසි බසින් මනෝ විද්‍යා පොත් කියවා එවා සරළව මිනිසුන්ට කියා දුන්නා. ඔහු සාවද්‍ය දේවල් බොහෝ කී බව ඇත්ත​. භාවනාව ගැන කතාවට මම එකඞයි . එසේම අනුගාමිකය්න් හදාගෙන ශාස්තෘ භූමිකාවක්ද කලා එසේම නිති විරෝධීව මානසික ප්‍රතිකාරද කලා. චිකිත්සකයෙකු නොවූ නිසා එතික්ස් බොහෝ සෙයින් ඔහු අතින් කැඩුණා. නමුත් ඔහුගේ මැදිහත්වීම
    ඒකාලයට අනුව වැදගත්. ඔහු යම් කාර්‍යභාර්‍යක් කලා හොර කපුවන්ට
    එදිරිව

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවම එයත් නොම්මර එකේ හොර කපුවෙක් නේ ලොක්කා....

      Delete
    2. සුමනදාසගේ පොත් කියවනවිට මට සිතුනේ මේ ඔහු විසින්ම සොයාගත් දැනුම කියායි. සුවිශේෂ තත්වයන්ට ගලපන එක වෙනම දෙයක්. නමුත් ධනාත්මක චින්තනය ගැන ඉංග්‍රීසියෙන් තියෙන පොත්වල ඇති දේ සිංහලට පෙරලා තමන් වහන්සේ බුදුවී සොයාගත් සේ අගවමින් ආගම්වල ඇති යම් යම් ගුණාංග ආරෝපනය කරමින් ඔහු අමුතුදෙයක් කලා. එය එම යුගයට ප්‍රයෝජනවත් වුනා . මම ඔහුට ගරු කරනවා.ඔහුගේ අනුප්‍රාප්තිකයා සුමනදාසගේ වැඩපිලිවෙල සගරා විකුනන ජාවාරමක් කරගත්තා

      නමුත් ඔහු නීතිවිරෝධීව ප්‍රතිකාර කලා. පුහුණුවක් නොලත් පුද්ගලයෙක් මෙවැනි ප්‍රතිකාර කිරීම ඉතා භයානක බවයි මගේ අදහස.

      Delete
  6. කිසියම් ඇත්තක් හෝ පදනමක් තිබේ යයි සිතිය හැකි දේ බොහෝය.
    ප්‍රශ්නය වන්නේ ඒ ඇත්ත කුමක්ද , ඒ දෙයෙහි කුමන කොටස ඇත්තද, ඒ ඇත්ත සම්පූර්ණදෙයට කොපමණ හා කුමන ලෙසට බලපායිද නොහිතා විශ්වාස කිරීමය.
    එය තර්කානුකූල නොවූවද එයින් විස්වාසකරන්නාට අඩු ගණනේ මානසික යහපතක්වත් සිදුවේ

    ReplyDelete
    Replies
    1. මානසික සහනයක් වගේම සමාජ පාලනයකුත් වෙනව. ආගම මෝඩයන් දක්කන කෙවිටක්නෙ නමුත් එය ඒ තරම්ම හොද දෙයක්ම නොවෙයි. මේවයෙ විද්‍යාත්මක රාමුවක් හදාගෙන පිලිගන්න එක තමයි වෙන්න ඕන. ඇත්ත තර්කානුකූලව දැකල පිලිගන්න මට්ටමක් අවශ්‍යයි.
      නැත්නම් වෙන්නෙ සරලුවක් තරම් අහර සිත පහදාගෙන භික්ෂුවකට දන් දීමෙන් දිව බොජුන් දිව්‍යාංගනාවන් පිරි දෙව් විමනක උපදින කතා හැදෙන එක.

      සාත්තරේ ඇත්ත සෝත්තරේ බොරු කියල කතාවක් තියනව. කුමක් හෝ ක්‍රමයකින් දත්ත ලබාගෙන එතනින් එහාට ගාන කඩාගන්න උප්පරවැට්ටි කරන්නෙ.

      Delete
  7. පෙර ඔබේ බ්ලොගයට නිතර ආවා ගියත් දැන් යාවත්කාලීන වීම් අඩු නිසා එන්නේ ඉඳ හිට නිසා අළුත් ලිපිය දැක්කේ නැහැ. අටම්පහියෙන් දැක්කේ අද තමයි අළුත් ලිපියක් ඇවිත් තියෙන වග.
    මා ඔබව දැක තියෙන්නේ බුදු දහම නිර්දය ලෙස විවේචනය කරන පුද්ගලයෙකු හැටියටයි. ඒත් මේ ලිපියේදී ඔබ වෙනස් මගක් අරන් තියෙන වග පෙනෙනවා.
    මාත් නොයෙකුත් මත වාහ දැඩිව දැරූ සමයෙහි එවැනි නිර්දය ප්‍රහාර වෙනත් මත වලට එල්ල කල බව මතකයි. ඒත් එය නිවැරදි නොවන බව පසුව වටහා ගත්තා.
    ඔබ ජෛන දහම හා පන්සිල් ගැන කියන මතයට මමත් එකඟයි. දන් ඉන්න බෞද්ධයෝ හිතාගෙන ඉන්නේ බුදු දහම කියන්නේ පන්සිල් කියලා.
    පේන කරුවන් ගැන ඇත්තටම හිතා ගන්න බැරි කලාපයක් ටියෙනවා කියන ඔබේ මතය මමත් පිළිගන්නවා. එතැන හුදු අනුමානයට එහා ගිය දෙයක් ඇති බව පෙනෙනවා.
    අපි උත්සහ කල යුත්තේ ඒ කුමක්දැයි වටහා ගැනීමට මිස නොවැටහෙන නිසා ඒවා විකාර කියා දැක්වීමටනම් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. 2019 වනතුරු සක්‍රිය බ්ලොග් කරුවෙක් වෙන්න බැරිවෙයි. ඒත් විවේකවෙලාවල ශාස්ත්‍රීය ලිපි කියවනවා අවශ්‍යමනම් කොමෙන්ට් කරනවා. මම මීට පෙර කලේ වෙනස් ප්‍රතිපත්තියක්.

      බුදු දහම නෙමෙයි සමහර පාර්ශ්ව විවේචනය කිරීමේදී එහෙම වෙන්න ඇති විශේෂයෙන් භික්ෂූන්. බෞද්ධ යැයි කියන සමහර දේවල් ඇත්තටම බමුණන් විසින් පසුව එකතු කල ඒව. බුදුන් වහන්සේ ගේ දේශනා ඇසුරින් අශෝක යුගයේදී දේශපාලන බුද්ධාගමකුත් පසුව බඩගිනි බුද්ධාගමකුත් ගොඩ නැගුන.

      ඔබ කියන හිතාගන්න බැරි කලාපය ගැන අපක්ෂපාතී විවරනයක් කරන්න උත්සාහ ගන්න එකයි වැදගත්කම.
      පැහැදිලිවම අනුමානයට එහා ගිය දෙයක් තියනවා.

      Delete
  8. //මෙම ක්ශේත්‍රයේ බොරුකාරයෝ සිටිති// බොරුකාරයෝ 99%

    //එහෙත් විද්‍යාවට මෙතෙක් හසු නොවූ යම් දෙයක් ඇත.//
    සියල්ල විද්‍යාවට හසුවීම කිසිකලෙක සිදු නොවන්නකි. ලෝකවිදූ නම් වූ සියළු ලෝක අතැඹුලක් සේ දැනගනීමේ නුවණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ඇති ගුණයකි. හැකියාවකි.

    //වෙනත් වචනවලින් කීවොත් කවුරු කලත් එකම ප්‍රතිපලය ලැබිය යුතුය.//

    නානත්ත කායා, නානත්ත සංඥා නිසා මිනිසුන් දෙදෙනෙක් එක සමාන නැත. මනස මුල්කර ගනිමින් සිදුකරන ක්‍රියාවලියක් (ක්‍රියාවක් නොවෙයි) මානසික ස්වාභාවය අනුව ප්‍රතිඵල තීරණය වෙයි. එය සර්ව භෞතික ක්‍රමවේදයකට සාරාංශ ගතකල නොහැකිය යන්න මාගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. ශුද්ධ ගණිතයෙ වගෙ කවුරු විසදුවත් එකම උත්තරයක් ලැබෙන එක ගැනයි කිව්වෙ.
      මොකක් හෝ භෞතික පැහැදිලිකිරීමක් අවශ්‍යයි.

      Delete
    2. ඉහත ඔබ සඳහන් කල සාස්තර කීම වේවා, බුදු දහමෙහි එන දෙයක් වේවා, එය අන්ධ භක්තියෙන් හෝ කියන්නා කියූ පමණින් පිළිගත යුතු නොවේ. එහි තර්කයක් නොමැත. නමුත් සියල්ලටම භෞතික පැහැදිලි කිරීමක් දිය හැකිද? භෞතික පැහැදිලි කිරීම පංච ඉන්ද්‍රියයන්ට ගෝචර වන සාධක සහ දැනුම මත රඳා පවතී. නමුත් මෙලොව සියලුම දේ පංච ඉන්ද්‍රියයන්ට ගෝචර වන දේ පමණක්මද ? සියළුම දේ ඊට ලඝු කල හැකිද?

      Delete
  9. //ලෝකවිදූ නම් වූ සියළු ලෝක අතැඹුලක් සේ දැනගනීමේ නුවණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ඇති ගුණයකි. හැකියාවකි.// මේක මෙහමයි කියල හාමුදුරුවරු නැත්නම් පොත්වලනේ තියෙන්නේ. පිළිගන්නේ මොකටද? අපට පුළුවන් තරම් හොයන එක තමා කරන්න ඕනේ කෙළවරක් නැතිවුනත්. මිනිසා කියන්නේ එහෙම සත්වයෙක්. ඔය කියන කතාව අනුව බුදුන් ඔක්කොම දැනගෙන අපට කිව්වා නිසා මොකුත් හොයන්න එපා කියන අදහස තමා එන්නේ. බොහොම පරාධීන අදහසක් මට නම්.

    ReplyDelete
    Replies
    1. සියල්ල දත් කියන වචනයම විකාරයක් කියල මට හිතෙන්නෙ. බුදුන් සියල්ල දත් කියල කියන්නෙ බෞද්ධයොනෙ.අපි බෞද්ධයො වෙලා තියෙන්නෙ පොඩිකාලෙ වැඩිහිටියො සහ සමාජ පරිසරයෙන් ඔලුවට දාන නිසානෙ. නැතිව සියලුම්ම ආගම් හා දර්ශන තුලනාත්මකව හදාරල " එව බලව අන් සියලු දර්ශන අඩුපාඩු සහිතය නමුත් තෙල සිද්ධාර්ත ගෞතමන් නම් සියල්ල දත්ය " කියල තේරුම් අරන් නෙමෙයිනෙ.

      අපේ යටිහිතට කාවැදිල මීට අවුරුදු 2500 කට පෙරසිටි බුදුන් කියල කෙනෙක් සර්වඥයි කියල .ඒක ප්‍රශ්න කරන්න අපේ යටිසිතවත් අපේ පරිසරයවත් ඉඩ දෙන්නෙ නෑ. අපි අනාගමික පරිසරයක හැදුනනම් පුස්තකාලෙකට ගිහින් වර්ධමාන මහාවීර , අජිත කේසකම්බල ගැන ලියවුන පොතක් කියවල ඔවුන් ගැන යම් හැගීමක් ඇති කරගන්නවනම් ඒ හැගීමම තමයි සිද්ධාර්ථ ගෞතම ගැනත් එන්නෙ. ඒ ශ්‍රමන භවත් ගෞතමයන් සාහිත්‍යකරුවන් කැටයම් ශිල්පීන් විසින් දේවාතිදේව කරල බ්‍රහ්මාතිබ්‍රහ්ම කරල. ලෙඩ වුන මහලු වුන ඒ ශරීරය අද්භූත ප්‍රපංචයක් කරල.

      සොක්‍රටීස් ප්ලේටෝ වැනි දාර්ශනිකයෙක් වුන ඒ මනුශ්‍යයාට අසත්‍යයෙන් චෝදනා කරල.ඔහු නොකීදේත් කිව්වකියල පොත්වල ලියල භික්ෂූන් කන්ටමන්ග සූත්තරයක් හදාගෙන.
      අපට බුදුන් දකින්න බෑ මේ බඩගිනි බුද්ධාගමෙන් මිදෙනකම්.

      Delete
    2. නෑ අජිත් මහතා. අපිට එහෙම හොයන්ඩ එපා නෙවෙයිනෙ කියන්නෙ. එවා සෙවීමට කාලය නාස්ති කරන්ඩ එපා කියලනෙ. අපිට බොහොම පොඩි කාලයක්නෙ තියෙන්නෙ ජීවත් වෙන්ඩ. අවුරුදු 60 ජීවත් උනත් දවස් 22,000ක් විතරනෙ තියෙන්නෙ හැමදේම කරන්න. ඒ උනාට ඒ පොඩි කාලය ඇතුලත, බුදුරජාණන් වහන්සේ කෙලෙස් කියල හඳුන්වල දීපු, අපේ මානසික අඩුපාඩු බොහොම ප්‍රමාණයක් තියනව නැති කරගන්න. එහෙමත් නැත්නම් අපේ සිතෙන් ඉවත් කරන්න. ඒ නිසා එවාට මහන්සි වෙන්න කියලනෙ කියන්නෙ.

      Delete
    3. බුදුරජාණන් වහන්සේ කියන්නෙ දාර්ශණිකයෙක් නෙවේනෙ මධ්‍යස්ථ මතධාරී තුමනි.

      ක්‍රෝධන සූත්‍රය කියලා සූත්‍ර දේශණාවක් තියනව

      කොධන සූත්‍රය ( ත්‍රිපිටකය -> සූත්‍ර පිටකය -> අඞ්‌ගුත්‌තර නිකාය -> සත්තක නිපාතය -> 6. අව්‍යාකත වර්ගය )

      උන්වහන්සෙ ක්‍රෝධය ගැන ඉතාම දීර්ඝ විස්තරයක් තියනව.

      ( ත්‍රිපිටකය -> සූත්‍ර පිටකය -> මජ්‌ඣිම නිකාය -> උපරි පන්නාසකය -> 4. විභඞ්‌ග වර්ගය )

      මේ කොටසෙ ඉන්ද්‍රීයය 6හි ක්‍රියාකාරීත්වය ඉතාම ගැඹුරින් විස්තර කරනව.

      මේ වගේ සිත සහ කය පිළිබඳවත් එවයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් ඉතාම විස්තරාත්මකව කරපු දේශණා බොහෝ ප්‍රමාණයක් තියනව.

      ඉතින් මෙහෙම විස්තර කරන්න පුළුවන්ද ඒ පිළිබඳව ඉතාම ගැඹුරින් අවබෝධ කර ගත්තෙ නැති කෙනෙකුට ?

      සිත් වල අඩුපාඩු සහ ඒ සිතෙන් එම අඩුපාඩු ඉවත්කර ගන්නා හැටි ඉතාම දීර්ඝ සහ විස්තරාත්මක විදිහට කියල දෙනව. ඒවා පිළිබඳව නිවැරදිම අවබොධයක් නොමැතිනම් එහෙම කියල දෙන්න බෑ නේද?

      ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ දර්ශණිකයෙක් නෙවෙයි. විශේෂයෙන් අවබොධ කරගෙන ඒ අවබෝධ කරගත් කරුණු කියා දීපු කෙනෙක්. ඒ අවබෝධය තවත් කෙනෙකුට ලබාගත හැකි ආකාරයට විස්තරාත්මකව කියා දෙන කෙනෙක්.

      ඒ දෙකේ වෙනසක් තියනව.

      Delete
    4. //ලෙඩ වුන මහලු වුන ඒ ශරීරය//

      ඒක සම්පූර්ණ ඇත්ත. විශේෂත්වය තියෙන්නෙ උන්වහන්සෙගේ දියුණුකල සිතෙහි සහ මනසෙහිනෙ. සිතත් මනසත් දියුණුකල හැකි උපරිම මට්ටමටම දියුණු කිරීම තමයි විශේෂත්වය.

      Delete
    5. //අපි අනාගමික පරිසරයක හැදුනනම් පුස්තකාලෙකට ගිහින් වර්ධමාන මහාවීර , අජිත කේසකම්බල ගැන ලියවුන පොතක් කියවල ඔවුන් ගැන යම් හැගීමක් ඇති කරගන්නවනම් ඒ හැගීමම තමයි සිද්ධාර්ථ ගෞතම ගැනත් එන්නෙ.//

      ඒක ඇත්ත. සමාන හැඟීමක් ඇතිවෙන්න පුළුවන්. නමුත් කෙනෙක් තීරණය කලොත් ඒ අය කියාදෙන දේවල් හදාරන්න. ඉන්පසු ඒවායේ සත්‍ය අසත්‍ය පරීක්ෂා කිරීමේ අදහසින් අත්හදා බලන්න ? එතකොට වෙනස් හැඟීමක් අනිවාර්යයෙන්ම ඇතිවෙනව. ඒක තමයි කල යුත්තෙත්. එක තැනකට කොටු වෙන්න එපා. ඒ කියල දෙන දේවල් හොඳට කියවන්න. ඉගෙනගන්න. ඊට පස්සේ ප්‍රායෝගිකව කරල පරීක්ෂා කරල බලන්න ඇත්තද බොරුද කියල. කියූ පමණින්ම පිළිගත් යුතු නෑනෙ.

      Delete
    6. අපේ මධ්‍යස්ථ මතධාරී තුමා බුදුන් සර්වඥ්ඥයි කියන මතයට නිර්දය ලෙස පහර දෙන්නෙක්. ඒ වගේම අජිත් ධර්ම තුමාත් ඒක අවඥාසහගතව බැහැර කරන වගකුයි පෙනෙන්නේ.

      බුදු හිමියන් සර්වඥ්ඥයි කියන එකෙන් උන් වහන්සේ සාපේක්ශතා වාදය හෝ නූතන වෛද්‍ය විද්‍යාව හෝ ආර්ථික විද්‍යා මූලධර්මයන් පවා දැන සිටි බවක් කියැවෙන්නේ නැහැ. එහි අරුත් උන් වහන්සේ ලෝකයෙහි දත යුතු පරම සත්‍යය අවබෝධ කොටගත් බවයි. උන් වහන්සේ ගේ අවබෝධය ඉක්මවා යමට දැනුමක් තවත් නැති බවයි.

      Delete
    7. බුදු හිමියන් තම ශ්‍රාවකයන් පැවතිය යුතු ආකාරය ගැන සිතූ හැටි හොඳින් සඳහන් වෙනවා අජිත් විසින්ම මට පෙන්වා දුන් මහා තණ්හාසංකය සූත්‍රයේ.
      එහි දේශනා අවසන බුදු හිමියන් ශ්‍රාවක භික්ෂූන්ගෙන් විමසා සිටිනවා
      තොප අපට ගුරු වන ශාස්තෲ වරයානෝ මෙසෙ කියන හෙයින් කිම්හයිපවසත්ද? බුද්ධ් ශ්‍රමනයන් කියන හෙයින් කියම්හයි පවසත්ද කියා මෙයට භික්ෂූන්ගේ පිළිතුර නැත යන්නයි.

      මහණෙනි, යම්කිසි දෙයක් තමන් ණුවනින් දන්නා ලදද? ,තමන් පැනැසින් දක්නා ලදද, තමන් පහල කොට ගන්නා ලදද, එයම තොපි කියන්නා නොවේද? යනුවෙන් උන් වහන්සේ විමසන කල භික්ෂූන්ගේ පිළිතුර වන්නේ එසේය ස්වාමීනි යනුවෙනි.

      ඉතින් තත්වය එයනම් අප වටහා ගත යුත්තේ බුදුන් සර්වඥ්ඥ වුවද නොවූවද, උන් වහන්සේ සතුව පැවති ඥානය හා අවබෝධය උන් වහන්සේගේමය. අප ඉන් පල ලබා ගැනුමට නම් අප විසින්ම කරනු ලබන ව්‍යාමයක් මගින් විමර්ශනයක් මගින් එය අප අප විසින්ම පහදවා ගත යුතුය. අවබෝධ කොට ගත යුතුය. බුදු හිමියන් කියූ දෙය සත්‍යය එම නිසා මා එය සැක නොකරමි මා එය දොහොත් මුදුන් තබා පිළිගනිමියි යමෙකු කියනවානම් එය බුදු හිමියන් විසින් ප්‍රථික්ශේප කරන ලද දෘශ්ඨියක් වැලඳ ගැනීමකි.
      දෘශ්ටි වශයෙන් බුදු හිමියන් හෝ ධර්මය දැරීමම විමුක්ති මාර්ගයට වැට කඩොලු බැඳ ගැනීමකි.

      ඉහත අජිත් කියා ඇති පරිදි බුදුන් සර්වඥ්ඥ නිසා ඔක්කොම දැනගෙන කිව්වනිසා මුකුත් හොයන්න එපා කියන අදහස පරිපූර්ණ ලෙසම ධර්ම විරෝදී මතයක්.
      දහම දැන හෝ නොදැන මෙතැනදී අජිත් හා මධ්‍යස්ත කියන කාරනා ධර්මයට සැම අතින්ම එකඟ බවකුයි මා දකිම්න්නේ එහෙත් විමර්ශනය කිරීම කියන්නේ බුදු හිමියන්ට ගැරහීම නොවෙයි. උන් වහන්සේ යමක් කියා ඇති විට ඉන් උන් වහන්සේ අදහස් කලේ කුමක්ද? උන් වහන්සේ එසේ කීවේ ඇයි? මට තේරෙන හැටියට උන් වහන්සේ මෙතැන කියන දෙය වැරදියි ඒත් උන්වහන්සේට යම් හේතුවක් ඇති ඒ හේතුව කුමක්ද කියා සොයන එක තමයි බුදු හිමියන් සර්වඥ බව පිළිගෙන උන් වහන්සේගේ ධර්මය විමසන ක්‍රමය.

      Delete
    8. නයනේ ගේ විවෘත භාවයට මම ගරු කරනවා. බුද්ධ ධර්මය හොඳින් හදාරා ඇති බවත් පෙනෙන නිසා. "අදහස් අවකාශය" ත් ඒ වගේමයි. ඔබල සමග සාකච්චා කිරීම ඇත්තටම සතුටක්. මොකද වෙන තැන වෙන කෙනෙකුට මේ දේ ලිව්වා නම් මෙලහට අපට දරුණු විධිහට පරිභව කරලා. එහෙම වෙච්ච් බ්ලොග් තිබෙන නිසා. හරියටම ම කියන්නේ එය තමයි. බුදුන් සර්වඥ නිසා කිව්වා ඔක්කොම හරි කියල පිලි ගන්න එක උන්වහන්සේ වත් නොවදාල නිසා. ඒවා දැන් තියෙන ආගම රක ගැනීම සඳහා බිහිවූ දැල්. ම.ම. එහෙම කරන්නේ නැහැ වගේම මම හිතන්නේ මමත් බුදුනට කවදාවත් අපහස කරන්නේ නැහැ. වෙන ශාස්තෘ වරයෙකුටත් මාක්ස් ටත් දර්ශනවදින්ටත් එහෙමයි. විමසනවා මිස අපහාසයක් නැහැ.

      Delete
    9. ඔව් අජිත් විමසීම තමයි බුදු දහමේ එකම මාර්ගය. එහි වෙන කිසිවක් නැහැ. අපැහැදිලි සැම දේම විමසන්න.
      දහමට අනුව භක්තිය හෝ ශ්‍රද්ධාව කියන කාරනය හට ගන්නේ මෝහය කියන මිනිස් ස්වභාවය නිසා. බුදු හිමියන් මෙය කිසි තැනෙක අනුදැන වදාරා නැහැ. උන් වහන්සේ හැම විටම කියන්නේ මෝහයෙන් ප්‍රඥ්ඥාවට පිවිසෙන හැටියි.
      යමෙකු ශ්‍රද්ධාවක් ඇති කර ගන්නවානම් ඒ විය යුත්තේ පැහැදිලි හේතු සාදක මුල් කරගෙනයි.
      අපි අයින්ස්ටයින් මහා විද්වතෙකු ලෙසත් ලොවට මහා මග පෙන්වීමක් දුන් ප්‍රාඥයෙකු ලෙසත් පිළිගන්නවා. ඒ පැහැදිලිවම එතුමාගේ ඉගැන්වීම් හරහා මිනිස් වර්ගයා අසීමිත පල ප්‍රයෝජන ලබමින් සිටින නිසා. එය කිසිවෙකුට බැහැර කිරීමට බැහැ. අප තුල් එතුමා කෙරෙහි ඇති ගරුත්වය හා පිළිගැනීම ආකාරවතී ශ්‍රද්ධාවක්. බුදු හිමියන් උන් වහන්සේ කෙරෙහි වූ ශ්‍රද්ධාව පිළිගනු ලබුවේ අන්න ඒ අකාර වූ විට පමණයි.

      Delete
    10. සර්වඥ භාවය පිළිබඳව ප්‍රශ්ණ ඇති කර නොගෙන උන්වහන්සේ වදාළ ධර්මය පිළිබඳව සාකච්ඡා කරන එක තමයි වටින්නෙ.

      නුවණින් විමසීම කිව්වම ධර්මය නුවණින් විමසීම ගැන තමයි උගන්වන්නෙ. ඒ නිසා දහම් කරුණු සාකච්ඡා කිරීමම නුවණින් විමසීම වෙනවා. තමා තුලින්ම ධර්මය විමසා බැලීම. එතකොට තමන්ට එම දේශණා කරන ලද දේ තමා තුලත් තියනවා කියල පෙනුනම බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇතිවෙවි, උන්වහන්සේ කවුද, මොනවද දේශණා කලේ කියලා...

      Delete