Sunday, October 2, 2016

අපට නොපෙනෙන ලෝකයක් තිබේද

ගුප්තවිද්‍යාව යනු සියල්ලන්ගේම කුතුහලය අවුස්සන අපූරු ක්ශේත්‍රයකි. මානව වංශකථාවේ ආරම්භයේ සිටම විවිධ ඇදහිලි අභිචාරවලට පදනම වුනේ ගුප්ත විද්‍යාවය.අධිසොභාවික විශ්වාසයන් තරම් මිනිසාට බලපෑම් කල අන් දෙයක් නැති තරම්ය.

මම උපතින් බෞද්ධයෙක්මි.පාසල් යන කාලෙ අවංක බෞද්ධයෙක් වීමි.පන්සලේ අටවිසිබුද්ධපූජාව මට අද මෙන් මතකය.කල්පාන්තර වල අපහල වූ බුදුවරු හා එම යුග සිහිවනවිට චමත්කාරජනක අපූරු හැඟීමක් ඇති වෙයි. මගේ බුද්ධාලම්බන ප්‍රීතිය උපරිමයටම නැගි එම රාත්‍රිය  ඊයෙ පෙරේදා සිදුවූ දෙයක් මෙන් දැනේ.

පසු කලෙක පොත් කියවන විට වෙනත් දර්ශන ගැනද කියවීමි. ජෛන දර්ශනය වේදාන්ත වැනි ඉන්දියානු දර්ශනයන් අඩංගු ලේඛන කියවීමේදී මේ සියල්ල එකම දෙයක විවිධ වර්ෂන් බව සිතුනි.විශේෂයෙන් ජෛන දහමේ කරුණු 99% ක්ම බුදුදහමට සමානය. අටවිසිබුදුවරු සේම කල්පාන්තරවල පහලවූ ජිනවරු සිටියහ. බුදුදහට පෙර ජෛන දහම ඇතිවූ බවත් පන්සිල පවා ජෛන ආභාශය සහිත බවත් නොදත් උපාසකම්මලා වර්ධමාන මහාවීරට අනේ මෙහෙමත් පවුකාරයෙක් කියති. කුඩා අප නොමනා වැඩක් කලොත් අනේ මෙහෙම නිගන්ටයෙක් කියා කම්මුලේ අත් තබා ගනිති.

පරම්පරාවකම මොල සේදූ කොවුර් නම් වූ පුරුශයෙක් විය. අපේ හා අපට වඩා වයස බොහෝ දෙනෙකුට කොවුර් බලපෑවේය. මටනම් කොවුර්ටත් වඩා සුමනදාස සමරසිංහ බලපෑවේය. ඕනෑම එකෙක් ප්‍රශ්න කරන පුරුද්ද මට තිබූ නිසා කිසිම දෙයක් ගෙඩිය පිටින් නොගත්තෙමි.මට සුමනදාස හමුවීමට අවශ්‍ය වුවද ඔහු 2002 දී මිය ගියේය. සුමනදාස  ධනාත්මක චින්තනය සාර්ථකව මෙරට සුවිශේෂ තත්වයන්ට ගැලපෙන සේ සකස් කලේය.නමුත් ඔහු පලකල අදහස්ද  සාවද්‍ය බව පසුව අවබෝධ විය. ඔහුගේ දේශනවල සියුම් බෞද්ධ විරෝධයක් වූ බව මට සිතේ.භාවනාව ගැන ඔහු කී දේවල් අතිශය සාවද්‍යය. ඔහුගේ ධනාත්මක චින්තනය තුල ඕනෑම දෙයක් කල හැක. එනම් පෘථිවියේ ගුරුත්වාකර්ශනයද වෙනස් කල හැක.ඔහු දේශනාකලේ කිසියම් ශාස්තෲ කෙනෙක් විලසිනි. ඔහුගේ අනුගාමිකයන්ට ඔහු එක්තරා මට්ටමක බුදුකෙනෙක් බදුවිය.සුමනදාස කලේ ඉංග්‍රීසියෙන් තිබූ ධනාත්මක චින්තන පොත් පරිවර්තනය බව පසුකලෙක දැන ගත්තෙමි.සුමනදාස චතුර කථිකත්වයක් හිමි අපූරු අදහස් තිබූ සුන්දර මිනිසෙකි. ඔහුගේ ව්‍යාපාරය අද ඇදවැටී ඇති තැන නම් ඛේදජනකය.

ටිකෙන් ටික මම භෞතිකවාදියෙක් වීමි. සියළුම අදෘෂ්‍යමාන දේ ප්‍රතික්ෂේප කලෙමි.සරදම් සහගත සිතිවිල්ලෙන් මේ දේවල් ගැන සොයන්නට වීමේ.හේතුවාදී සංගමයට බැදීමට අදහස් කලත් එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් නොවීමි. නමුත් එහි නායකයන් සමග දුරකථනයෙන් දීර්ඝ ලෙස කතා කලෙමි.

මේ කාලයේ මට ගැලපෙන මිතුරු පිරිසක්ද විය. දේවාල දෙවිවරු කට්ටඩි ගැන කතාබහ කරමින් හූ කියමින් සිනාසුනෙමු. ගුප්ත විද්‍යා පසුපස යන අය මහා මෝඩයන් බව අපගේ අදහස විය. නමුත් මගේ නිරීක්ෂනවල ප්‍රථිඵල අනුව බොරු කිරීමේ අදහසින් නොව සත්‍ය දැනගැනීමේ කුහුලින් යුතුව නිරීක්ෂනය කිරීම සුදුසු බව අවබෝධකර ගතිමි.

එඩ්ගාර් කේසි , ජීන් ඩික්සන්, වුල්ෆ් මෙසින් ආදී අධිමානසිකලාභීන් ගැන ලියවුන පොත් කියවීමි. මේ අය පලකල  අනාවැකි වලින් එකක් දෙකක් හැර සියල්ල වැරදී ඇත.1999 දී ලෝක යුද්ධයක් ඇතිවීම වැනි කතා අනුමාන වෙයි. කේසිගේ පුනර්භව කතාද ප්‍රබන්ධ බව මගේ හැගීමයි. නමුත් ජීන් ඩික්සන් කෙනඩිගේමරනය හා සෝවියට් දේශයේ බිද වැටීම ගැන කලින් කියා ඇති බව කියවේ. බල්ගේරියාවේ බාබා වැන්ගා 2016 දී යුරෝපය විනාශවන  බව කීවේද මෙවන් අනුමානයකිනි.1977 එජාප රජය අවුරුදු 17 ක් පවතින බව කී අනාවැකියද එසේය. එය කීවේ මෙරට ජ්‍යොතිෂවේදියෙකි. ජ්‍යොතිෂයෙන් මෙවන් අනාවැකි කිව නොහැකි අතර මේවාද  යම් ගුප්ත ක්‍රමයකින් ලබා ගන්නා දැනුම විය හැක.

මගේ නිරීක්ෂන වලදී මට අවබෝධ වුනේ යම් යම් අද්භූත බල ඇති අය අප අතර වෙසෙන බවයි.. සමහරු ප්‍රසිද්ධියට බියවන්නේ බව් බව් භෞතිකවාදීන් නිසාය. ඔවුන්ගේ අත්දැකීම් කියන්නට ගියොත් එක එක ඉංග්‍රීසි නම් වලින් ලෙඩ රෝග නම් කර හංවඩුගසන්නට බට( හිර )  වෙදුන් එනු ඇත. මේ හිස්බටයන් ගේ ඉංග්‍රීසි වචන දැක සමාජයද අකුරු තුනේ උපාධියක් මේ අයට දෙනු ඇත.වහලුන්ට වහල් හිමියන්ගෙන් නිදහස් වීමට සිතීම හා සමලිංගිකත්වයද මානසික රෝග ලෙස කලක් මොවුහු හැදින්වූහ. දේශපාලන උද්ඝෝෂන හමුවේ ඒවා වෙදපොත්වලින් අහකට විසිවිය. වෛද්‍ය විද්‍යාව දේශපාලන විද්‍යාවට යටවන අවස්ථාවන් දෙකකි ඒ. ඔබ දෙවියන්ට කතා කරන විට එය යාඥාව ලෙසත් දෙවියන් ඔබට කතා කරනවිට එය ස්කිසොප්‍රේනියාව ලෙසත් හැදින්වේ කියා කතාවක් ඇත.

මට හමුවූ ඇතැම් පුද්ගලයන් නිවසට එන මාර්ගය ආදිය හරියටම කියා ඇත. ඒ වංගුවක් හම්බවෙයි කිරිගහක් හම්බවෙයි ආදී බාල අනුමාන නොවේ. එක් වරෙක අපේ ගෙදර මල්පැලක් නෑ නේද කියා ඇසීය. ගම්බාර දෙවියන්ට ඉස්සර මල්පැලේ පාන් තිබ්බා දැන් නැත්තෙ ඇයි කියා ඇසීය. එය අපේ ගමේ වෙන ගෙදරකට කීවා නම් බොරුය. හැම ගෙදරම මල් පැලක් ඇත.

ආච්චි මියගිය දිනවල මලවුන් කතාකරවන තැනකට ගිය අතර ඇය අප හදුනාගෙන කතා කලාය. ආවේ ඇත්තටම ආච්චිද නැත්නම් වෙන භූතාත්මයක්ද ක්‍රිස්තියානි සාතන්ගෙ ගෝලයෙක්ද ඉස්ලාම් ශෙයිතාන් හෝ ජින්වරයෙක්ද කියා නම් නොදනිමි.නැත්නම් ආවේශය තුල කිසියම් පරචිත්ත විජානන හැකියාවක්  ආවේශවූ ස්ත්‍රියට ලැබුනාද නොදනිමි.

මෑතකදී නාඩිවාක්‍ය අසන්නට ගියෙමි. එහිදී පත් ඉරු ගෙන මගේ පත් ඉරුව සොයාගැනීම පිනිස මගෙන් ප්‍රශ්න කීපයක් ඇසීය. එහෙත් ඒ කිසිම ප්‍රශ්නයක් මගේ දත්ත සොයාගැනීමට ප්‍රමානවත් නැත. පියාගේ නමේ මුල් අකුර හා අකුරුගනන හැර වෙන කිසිම දත්තයක් නොදුන්නෙමි.එසේ කීවේ පත් ඉරු කිහිපයක් ගෙන වැරදුන පසුය. පියාගේ නම කියා ඉන් පසු මවගේ නම මගේ නම මගේ අධ්‍යාපන සුදුසුකම් රැකියාව ආදී බොහෝ තොරතුරු වැල නොකැඩී කියන්නට විය.

 බොහෝ දේවාලවල මායම් වී හරියටම ශාස්තරය කියති. ඇතැම් විට මොවුන් අපේ සිතේ ඇති දේ කියන බවද පෙනේ.ශාස්තරය කෙසේ වෙතත් ඔවුන් මායම්වන ආකරයට අප ඔලුව කැරකෙව්වොත් බෙල්ලද ගැලවී යනු ඇත. අපේ දේවාල වල මායම් වන්නන් සයිබීරියානු ශමන් වරුන් ,ආගම්වල අනාගත වක්තෲවරුන් ,අප්‍රිකානු කට්ටඩින් මේ සියල්ලෝම එකම ක්‍රමයකට දැනුම ලබාගන්නා අයයි.
ඇතැම්විට සියලුම ආගම් වල සම්භවය මෙම දත්ත ලබාගැනීමේ ක්‍රමය විය හැක. දෙවිවරු යනු පිටසක්වල ජීවීන් විශේෂයක් විය හැක.
එනමුදු මෙම දත්ත ලබා ගැනීමේ ක්‍රමයට අනුව අනාගතය කිවහැකිය කියන්නේ නිර්මානවාදී ආගම්වල දැක්වෙන ආකාරයේ පූර්ව සැලැස්මක් ඇති බවය.අතීතය විශේෂයෙන් පුනර්භවය කීම තවත් පැත්තකි.මෙහි බරපතල පරස්පරයකි


මගේ  නිගමන  මෙසේය.


මෙම ක්ශේත්‍රයේ  බොරුකාරයෝ සිටිති.එහෙත් විද්‍යාවට මෙතෙක් හසු නොවූ යම් දෙයක් ඇත.
ඉහත කී විද්‍යාවට හසුනොවූ දෙය මත පදනම් වී අතීතය අනාගතය ගැන දත්ත ලබාගන්නා අය සිටිති.

මෙම දත්ත ලබා ගැනීම පොදු නිරවුල් ක්‍රමවේදයකින් කල හැකිද යන්න මට ඇතිවූ ගැටලුවයි.වෙනත් වචනවලින් කීවොත් කවුරු කලත් එකම ප්‍රතිපලය ලැබිය යුතුය.

අපගේ සිතිවිලි සිදුවීම් ආදිය නිරාවරනය වූවකි. ඒවා යම් ඊතරීය අවකාශයක ගිලී ඇත.කිසියම් ක්‍රමයකින් මේවා දැනගත හැක. අනාගතය ගැන කියනවානම් අද හෙට සිදුවන දේවල් වල නිරවද්‍යතාවය 90% ක් පමන වේ. ඈතට ඈතට යන්නට නිරවද්‍යතාවය අඩුවෙයි.
අතීතය 100% ක් ම නිවැරදිය. එනිසා මෙම ක්‍රමවේදය දියුනු කරගෙන නිවැරදි ඉතිහාසයක් ලිවිය හැක.අපරාධ අනාවරනය කරගතද හැක.
අපට ගෝචර නොවන සිදුවීම් දැනගත හැකි නිසා එය අධ්‍යාපනයටද යොදා ගත හැක.
මෙම ක්‍රමය දියුනු කරගැනීම තුලින් ජාම බේරාගෙන සිටීමට හැකිවනු ඇත. ඒ කපටින්ට හසුනොවී කරදරයක් නැතිව ජීවත්වීමට ලැබෙන නිසාය.
එසේම අසාර්ථක වන ව්‍යාපෘති කලින් දැන ඒවා නොකර සිටීමට හැක. එය කාලය මුදල් ඉතිරි කරගැනීමකි.

මෙම විශය ගැන හැදෑරීම අවශ්‍ය වන අතර මෙම විශය ගැන දන්න අය ගේ අධ්‍යන කවයක් වැනි දෙයක් ( තියොසොපිකල් සමාජය මෙන් )අවශ්‍යය.