Wednesday, November 18, 2015

අපේ දෙයිය දෙයියා දෙයියන්ගෙත් දෙයියා

කොන්කිස්තදෝස් නම් පොත ගැන ට්‍රාන්ස්ලිවේනියා බ්ලොග් එකේ ලිපියක් පළවී තිබූ අතර එය කියවීමෙන් පසු ඒ ගැන විචාරයක් පළ කිරීමට සිත් වුවද කුමන හෝ කරුනක් නිසා එය මග හැරුනි.
මේ ට්‍රාන්සිල්වේනියා වෙ පලවූ කොන්කිස්තදෝස් ලිපිය 
එය යළි මතකයට ආවේ වර්තමානයේ මැද පෙරදිග උද්ගත වී ඇති ආගමික නොසන්සුන්තාවය නිසාය. සිය ආගම සත්‍ය කියා අනෙක් ආගම් අදහන අය මරන මේ අයි එස් ම්ලේච්ඡත්වය ඉබේ ඇතිවුනක් නොවේ. යුරෝපීයයාද අවුරුදු දහස් ගනනක් තිස්සේ පුරන ලද ව්‍රතයකි. මේ නො ඉවසිල්ලේ මූලය සොයා ගත යුතුය. 



මම ඉතා ස්වාධීනව බ්ලොග් ලියමි. ජනප්‍රිය වීම මගෙ අරමුණ නොවේ. කියවන අය මගේ අදහස් වලට එකඟ වීම හෝ නොවීම මට ප්‍රශ්නයක් නොවේ. හැමෝගේම සිටහ් දිනා ගැනීම මගෙ අරමුන නොවන නිසා නිසා මට නිදහසේ අදහස් ප්‍රකාශ කළ හැක. එසේම යමක් කියන විට අහවලා තරහ වෙයිද අරයා මොනව හිතයිද වැනි කාරනා මට අදාල නැත.


මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ කලින් ලිපියේ සාකච්ඡා කල කරුනක් ඔස්සේම නව මානයකට යාමටයි. වර්තමානයේද සජීවී බලවේගයක් වන අන්‍යමත නොඉවසීම ගැන කතා කිරීමටයි. ප්‍රංශයේ ප්‍රහාරය එල්ලකළ පිරිස අන්‍යමත නො ඉවසන පිරිසකි. මේ ගැන ශාස්ත්‍රීය ගවේශනයක යෙදෙමු.


කොන්කිස්තදෝස් ලියූ නාරද කරුණාතිලක හා කොලට් සේනානායක යන මහතුන් ද විවාදාත්මක ලේඛකයන් දෙපළකි. ඔවුහුද සිය අදහස් ප්‍රකාශ කිරීමට පෙර දෙවරක් නොසිතූහ. ඔවුන්ගේ මුල්ම සංවාදශීලී කෘතිය යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ යන්නයි. මෙම පොත රට පුරාම විශාල ලෙස අලෙවි විය. පොත් බෙදා හැරීමට කැපවීමෙන් කටයුතු කළ ප්‍රියන්ත මලයා පොතට තිබූ ඉල්ලුම ගැන  රස කතා අප සමග කීවේය.

මා එකළ ජාතික ආගමික මතවාදවලට ආකර්ශනය වී සිටියෙමි. මම නාරද අයියා හමුවීමට ඔහුගේ නිවසට ගියේ මේ පොතේ උනුසුම පිටමය. මට ඔහු සමග සාකච්ඡා කිරීමට කාරනයක් විය. ඒ කුමක්දැයි සඳහන් නොකරමි.එය සංගීතයට සම්බන්ධ එකකි. ඒ ඇති.එම පොත වැනිම වූ කිසියම් ආන්දෝලනාත්මක දෙයක් කිරීමට මට අවශ්‍ය විය. ඒ ගැන ප්‍රදේශයේ ජාතික ආගමික නායකයන් සමග සාකච්ඡා කළත් එය ක්‍රියාවට නොනැගුනි. එසේ වීම හොඳ බව අද මට සිතේ.

ජාතික ව්‍යාපාරයට අවශ්‍ය මතවාදී දායකත්වය නාරදලා දරනු ඇතැයි මම සිතුවෙමි.ජාතික ව්‍යාපාරය ගැන මට එදාද බරපතල විවේචන තිබිණි. මෙම පොත ගැනද මට විවේචන ඇත.යේසුස් සිය අප්‍රකට ජීවිතය ගත කළ තැන් ගැන උපකල්පන ගොඩනගා ඇත්තේ ආරියසේනගෙ ක්‍රමයටය. මෙය ඉතා අසාර්ථක ක්‍රමවේදයක් බව කියමනා නොවේ.කුරුසියෙ ඇනගැසීමෙන් පසු අවස්ථා ගැනද ගොඩ නගා ඇත්තේ මෙවැනිම දුර්වල තර්කය. ඔහු අල්ලාහු අක්බර් නම් කෘතියෙහිද මෙවැණිම දුර්වල තරක ගොඩ නගා තිබිනි. අපට අවශ්‍ය ශාස්ත්‍රීය ගවේශන මිස මෙවැනි දුර්වල තර්ක මත එල්ලීම නොවේ.

ඊශ්‍රායලයේ හෝ අරාබියේ බුදුදහම සුළුවශයෙන් හෝ තිබූ බවට ඔවුන් නගන තර්ක පහසුවෙන් බැහැර කළ හැක. ඒ බුදු සමය වැනි ආගමක් මැද පෙරදිගට කෙසේවත් නොගැලපෙන බැවිනි. මැද පෙරදිග එදාද ලේ ගංගා ගලා ගියේය. එම රටවල තිබුනේ සෙමිටික් මිනිසුන්ට ගැලපෙන ආගම්ය.යම් මතයක් ඉදිරිපත් කිරීම ගල් ගසා මරන්නට සුදුසුකමකි.මෙසේ අනව්මතධාරීන් දහස් ගනනක් මැරුම් කන අතර කන කැස්බෑව විය සිදුරෙන් අහස බලාන සේ එකෙක් බේරීමට ඉඩ ඇත. නමුත් කෙසේ හෝ බේරුනොත් ඉන් පසු අනෙක් නව මත ධාරීන්ට උගෙන් බේරීමට සිදුවේ.

බුදුදහම පමනක් නොව ඉන්දියාව ග්‍රීසිය වැනි රටවල තිබූ කිසිම දර්ශනයක් මැද පෙරදිගට නොගැලපේ. යේසුස් නම් ශ්‍රේෂ්ට සමාජ ශෝධකයා මතුවන්නේ මෙවැණි පසුබිමකය. ඉන්දියාවේ ග්‍රීසියේ මෙන් කෙස් පැලෙන තර්ක මෙහි නැත. මෙහි දේව භක්තිය නැතිනම් මරණයයි.ඊශ්‍රායල් රාජ්‍ය යලි ලබා දෙන බවට පොරොන්දු වූ සිය ගනන් යුදෙව් කුමාරවරු බිහිවූ නමුත් ඒ සියළුම දෙනා රෝම දඩු අඩුවට බිලිවූහ.එහෙත්  පසු කලෙක පෙරදිග ආගම් රෝම සමාජයටට සියුම්ව ඇතුළු විය.ඊශ්‍රායල්වරු බලා සිටියේ ගැලවුකාරයෙකි. ඒ අන් කිසිවෙක් නොව ඊශ්‍රායල්වරුන්ට රජෙකි. දරුවන්ගේ කෑම මේසයෙන් වැටෙන දේවල් පසුකලෙක බල්ලන් විසින් ද කෑම වෙනම කතාවකි.

පෙරදිග ආගම් විසින් රෝම සමාජය ආක්‍රමනය කළැ සැටි අපූරු කතාවකි. එහි කිසිම හාස්කමක් නැත. බොහෝ දෙනෙක් මැරතන් දිවූහ. අවසානයේ ජයගත්තේ යේසුස්ය.මිත්‍රාස් , ඇෆලෝනියස් ඕර්ෆියස් , මිත්‍රාස් ආදීහු පරාජය වූහ.

යේසුස් විසින් මෝසෙස් ගේ ව්‍යවස්ථාව සංශෝධනය කළ පරිදිම පාවුල් විසින් යේසුස් ගේ දේශනාද සංශෝධනය කළේය. යුරෝපයේ කිතු දහමෙහි ජයග්‍රහනය අන් කිසිවක් නොව තියඩෝසියස් කිතු දහම වැළදගැනීමය. ඇත්තෙන්ම මුලින්ම කිතු දහම වැළ්ද ගත්තේ තියඩෝසියස් නොව කොන්ස්ටන්ටයින්ය. එහෙත් කොන්ස්ටන්ටයින් එසේ කළේ දේශපාලන අවශ්‍යතාවයක් ලෙසය. නමුත් තියඩෝසියස් අවංක කිතුනුවකු විය. ඔහු රජ වූ විගසම අනෙක් ආගම් තහනම් කර එම ආගම් වල පුද ස්ථන විනාශ කර එම ආගම් වල පොත් ගිනි තබා පූජකයන් මැරෙව්වේය. එවිට කලායත් සමග එම ආගම් අමතක වී යන බව අමුතුවෙන් කිව යුතු නැත. කිතු දහමට මෙවැනි බියකරු මර්ධනයක් අත් විදින්නට සිදු නොවීය.

තියඩෝසියස්ට පෙර රජවූ ජූලියන් ( යුරෝපා ඉතිහාසයේ ආගම අත හැරි ජූලොඉයන් ලෙස විරුද නම ලද ) තව ටික කලක් ජීවත් වුනානම් යුරෝපා ඉතිහාසය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබිනි. එහෙත් ඔහු පර්සියානුන් සමග වූ සටනින් මළේය. මෙය දෛවයේ සරදමකි. ඔහු ජීවත් වුනානම් රෝමයේ විජයග්‍රාහී වන්නේ මිත්‍රාස් ධර්මයය. එයට ඇත්තේ පර්සියානු සම්භවයකි. ජූලියන් මැරී වැටෙන විට මෙසේ කියා ඇත. " ගැලීලියානුව ජය ඔබටය "

සෙමිටික් ආගම් එන්නට පෙර යුරෝපයේ මෙවැනි ප්‍රචන්ඩ මර්ධනයක් නොවීය. තමන් හැර අන් සියල්ලෝම වැරදියි කියමඉන් අවි උරුක්කරගත්තේ සෙමිටික් ආගම් වල ආගමනයෙන් පසුය.

මධ්‍යතන යුගය තුල පල්ලිය යුරෝපයේ දරුණුම භීෂනයක් මුදාහළ අතර කොන් කිස්තදෝස් පොතේ සදහන් වන සිදුවීම් එහිම දිගුවකි.ගැලීලියෝ වැනි විද්වතුන් ට පීඩා කළ පල්ලිය බෲනෝ පනපිටින් පිලිස්සීය. ඔහුගේ වරද පොලව හිරුවටා කැරකෙන බව කීමයි. පල්ලිය වෙනුවෙන් සටන් කළ අයටත් ගැලවීමක් නොවීය. ඇල්බිජෙන්සියානු මිත්‍යා වාදය වැනසීම ලෙස ඉතිහාසයේ සදහන් වන්නේ එයයි. මෙම ජනයා සමූලඝාතනය කිරීමට පාප් වරයෙක් අනදුන්නෙන් ලොකු ලේ වැගිරීමක් විය. එහි නායකයන්ගේ හිස් ගසා දමන ලද්දේ පැරීසියේදීය.

අද සාමකාමී සුන්දර පැරීසිය වැනි පුරවල එදා ආගමේ නාමයෙන් ලේ ගංගා ගලා ගියේය. යකැදුරුකම් කළ අහිංසක ගෑනු න්ට වධ දීමට වෙනම වධකාගාර විය. කතෝලික පල්ලියට ප්‍රොතෙස්තන්ත සතුරා මතුවීමෙන් පසු යුරෝපය එකාම් පිස්සන් කොටුවක් විය. ප්‍රොතෙස්තන්තයන් ගේ වධ ක ක්‍රම කතෝලිකයන්ට වඩා කෲර වූ බව කියනු ලැබේ.සෙමිටික් ආගම් එන්නට පෙර මෙහෙම ගිනිවිජ්ජුම්බර යුරෝපයේ නොවීය.

 තියඩෝසියස් ආරම්භ කළ භීෂනය අවසන් වුනේ යුරෝපයේ මානවවාදයේ ජයග්‍රහනයත් සමගමය. ඒ සමගම යුරෝපීය ජනයා ආගම අත හැර දැමූහ.ඉන් පසු කතෝලික සභාවට සිය අනුගාමිකයන් සහ අන්‍යාගමිකයන් අරභයා දරුණු භීෂනයක් මුදා හැරීමට නොහැකි විය. මෙවැනි දෙයක් ඉස්ලාමයෙහි සිදු නොවීය.අද ක්‍රිස්තියානි රටවල ආගමික භීශනයක් නොවීමටත් මුස්ලිම් රටවල ආගමික මූලධර්මවාදයක් තිබීමටත් හේතුව එයයි.මුස්ලිම් සමාජයේ මෙවැනි පරිවර්තනයක් අනාගතයේ වත් සිදුවෙතැයි මම නම් නොසිතමි.යුරෝපීයයා මේ සෙමිටික් දරදඩුකමට සමුදීමට තීරනය කළේය. මේ සෙමිටික් දරදඩුකම නූතන ඊශ්‍රායලයේද නැත. ඊශ්‍රායලයේ ඇදහිලිවන්තයන් ඉන්නේ තුනෙන් එකක් යැයි කියනු ලැබේ. සෙමිටික් ත්‍රාඩ බව විද්‍යාමාන වන්නේ සුන්නි මුස්ලිම්වරු අතර පමනි. ශියා මුස්ලිම්වරු ද එහෙමට කලබල නොකරති.

ආගම වෙනුවෙන් ලෝකය පෙරලූ යුරෝපීයයා ඉන්පසු ගත්තේ පූජකයන් තක්කු මුක්කු වන තීරනයකි. ඔහු ආගම් පැත්තකටම කළේය.එය පුද්ගලික දෙයක් කළේය.( මේ තීරනය මුස්ලිම් වරුද  ගන්න තුරු ලෝකයට සාමය යනු තහනම් වචනයකි ) මෙහි උච්ඡාවස්ථාවේදී ප්‍රංශය කතෝලික ආගම ඇදහීම නීතියෙන්ම තහනම් කළේය. මේ සමගම කිරුම් මිනුම් ක්‍රම පවා වෙනස් කෙරුනි. මේ ප්‍රංශ විප්ලව සමයයි.මුළු යුරෝපයම ප්‍රංශයෙන් ආභාශය ලැබීය.රුසියානු විප්ලවය තුලින්ද භෞතිකවාදී මත උද්දීපනය කෙරුනි.

ලෙනින් ලා ස්ටාලින් ලා මාඕ ලා පොල්පොට් ලා කල මහත් සංහාර වල මෙන්ම ක්ස්ත්‍රෝලා කිම් ජොන් උන්ලා ගේ ප්‍රජාපීඩනයේද මුල් ඇත්තේ ජ්වලිත දෙවියන්ගේය. ක්‍රිස්තියානීන් මේ චින්තනයෙන් යම් තාක් බැහැර වීම මානව සංහතියේ වාසනාවකි. මුස්ලිම්වරුද බැහැරවිය යුතුය. නමුත් ක්‍රිස්තියානීන්ට මෙසේ බැහැරවීම පහසු විය. මන්ද පරන ගිවිසුමේ යුදෙව් දෙවිතුමාට වඩා නව ගිවිසුමේ ග්‍රීක් දෙවිතුමා වඩා ශිෂ්ට බැවිනි. යුදෙව් දිවියා අනුන්ගෙ ඉඩම් මංකොල්ල කෑමටත් එම ඉඩම්වල ජනයා ගේ හුස්ම ඇති සියල්ලෝම ( කිරි දරුවාගේ සිට මහල්ලා දක්වා ) මරන ලෙස අන දෙන මුත් ග්‍රීක් දේවියා සිය කම්මුලට ගැසුවොත් අනෙක් කම්මුලත් අල්ලන ලෙස උපදෙස් දෙයි. එහෙත් මධ්‍යතන යුගයේදී යුරෝපීයයාට වඩා රුචි වුනේ ග්‍රීක් දෙවියා නොව යුදෙව් දෙවියාය.එහෙත් අවාසනාවට  යුදෙව් දෙවියා මැදපෙරදිග හා උතුරු අප්‍රිකාවේදී අමුවටම අමු හද්ද අරාබි දෙවියෙක් බවට පත්ව ඇත. ප්‍රංශයේදී සිදුවුනේ මේ අරාබි දෙවියා සහ ශිෂ්ට මිනිසුන් අතර සටනකි.15 වන සියවසෙන් අනාගතයට ආ මිනිසුන් හා 21 වැනි සියවසේ මිනිසුන් අතරය.



 බටහිර ජාතික රාජ්‍ය සෝවියට් දේශයට එරෙහිව සටන් කිරීමට මෙම යක්කුන්ගෙ උදව් ගත්තේය.යක්කු බැදගෙන වැඩ ගැනීම ලෙහෙසි නැත. ගුරුකම වැරදුන හැටියෙ හැරෙන්නෙ කට්ටඩිය දෙසටය.

ශ්‍රී ලංකා සමාජයට අන්‍ය මත නොඉවසීමේ සම්ප්‍රදාය ආවේ පෘතුගීසීන්ගේ පැමිනීමෙනි.මුල් කාලීන ධර්ම ප්‍රචාරකයන් නවාතැන් ගත්තේ පන්සල්වලය.  අතීතයේ මහසෙන් යුගයේ හැර මෙවැනි සම්ප්‍රදායක් මෙරට නොවීය.නමුත් සමකාලීන යුරෝපයේ අන්‍ය මත නොඉවසීම ජයටම සිදුවිය. කතෝලික පල්ලියේ මතයට එරෙහි මතයක් දැරීම මරනයට සුදුස්කමක් විය. මාක්ස්වාදීනට්ද මෙම දුර්ගුනය උරුම වුනේ ක්‍රිස්තියානියෙනි. මාක්ස්වාදීහු සිය මතයට වෙනස් මතයක් දරන ඕනෑම කෙනෙක් සම්බන්ධයෙන් දක්වන්නේ බද්ධ වෛරයකි. ඒ ඔවුන්ට උරුම වූ ඌනිතවාදය නිසාය.

අන්‍ය මත නොඉවසීම අපි අනුන්ගෙන් ණයට ගන්න අවස්ථාද වෙයි. පසුගිය කාලෙ බොදුබලසේනාව කලේද එයයි. බොදුබලසේනාව ප්‍රධාන දහරාවෙ නෙමෙයි කියා අපි අ පිසදා ගත්තෙමු. එහෙත් අන්තවාදී ව්‍යාපාර ප්‍රධාන දහරාවේ අනුකම්පාවෙන් වියුක්තව ක්‍රියාත්මක වන්නේ නැත. අයි එස් ලා ගැන ඕනෑම මුස්ලිම් කෙනෙකුගෙන් ඇසුවොත් කියන්නෙත් ඔය කතාවමය. එහෙත් ප්‍රධාන දහරාව නමැති ජලය නොමැතිව අන්තවාදය නම් වූ මාළුවාට පැවැත්මක් නැත.

යම් ප්‍රශ්නයක් විසදීමට එහි හේතුව සොයාගත යුතුය. හේතු එකකට වඩා තිබිය හැක. ඔබ 100% ක් වැරදියි මා පමනක් හරි කියා මට කීමට නොහැක. කළ යුත්තේ දෙදනාම සාකච්ඡාවෙන් සම්මන්ත්‍රනයෙන් එකිනෙකාගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමයි. එවිට කිසිවක් ප්‍රචන්ඩත්වය තෙක් වර්ධනය නොවේ.

ත්‍රස්තවාදයට හේතුව අන් කිසිවක් නොව අන් මත නොඉවසීමයි.තමා පමනක්ම හරි කියා සිතීමයි.
******************************************************


ලිපියේ සදහන් හුරුපුරුදු නොවන නම් ගම් ගැන පැහැදිලි කිරීමක්.

කොන්ස්ටන්ටයින් යනු  මුලින්ම කිතු දහම වැළදගත් රෝම අධිරාජයාය. ඔහු එයට පෙළබුනේ බිරිදකගේ බලපෑමෙන් යැයි කියනු ලැබේ. ඔහු අධිරාජ්‍ය ධජපතාක වලට ක්‍රිස්තියානි සංකේත ඇතුලත් කළේය. ක්‍රිස්තියානිඅය ප්‍රමුඛතාවය දුන්නේය. සෙසු ආගම් මර්ධනය නොකළේය. ඔහුගෙන් පසු රජවූ ජූලියන් මේ අයුක්තිය නිවැරදි කරනු වස් සියලුම ආගම් ක්‍රිස්තියානිය හා සම මට්ටමට ගෙනාවේය.ඔහු පර්සියානු යුද්ධයේදී මළේය. ඉන් පසු බලයට පත් තියඩෝසියස් ක්‍රිස්තියානි හැර වෙනත් සියළුම ආගම් ඇදහීම තහනම් කළේය.මෙය සිදුවුනේ ක්‍රි:ව 405 පමනය. ක්‍රි:ව 410 දී රෝමය බිද වැටුනි.


ඇල්බිජෙන්සියානු මිත්‍යාවාදය යනු මධ්‍යැතන යුගයේදී පල්ලිය කළැ පරාධවලින් මට මතක තිබුන එකක් පමනි. කුරුස යුද්ධවලට සහභාගි වී ආපසු ආ අයගෙන් මෙම කන්ඩායම නිර්මානය විය. ඔවුන්ගෙන් පල්ලිය අතීතයේදී කවර ප්‍රයෝජන ගෙන තිබුනත් පාප්වරයෙකුගේ නියෝගයක් මත ඔවුහු සමූලඝාතනය විය. මෙය සදහන් කළේ පැරිසිය සමග තිබූ සම්බන්ධය නිසයි.

50 comments:

  1. ත්‍රස්තවාදයට හේතුව අන් කිසිවක් නොව අන් මත නොඉවසීමයි. +++++++++

    ReplyDelete
    Replies
    1. අන්‍ය මත ඉවසීමේ අන්‍යයන්ගෙ අයිතිවාසිකම්වලට ගරුකිරීමේ සම්ප්‍රදායන් කුඩා කළ සිටම හුරු විය යුතුයි. ඒ වගේම සමානාත්මතාවය , අන්‍යෝන්‍ය ගරුත්වය සහ තමන් මදක් නිහඩ වී අනෙකාට ඇහුම්කන් දීම සමාජ පුරුෂාර්ථයන් ලෙස ස්ථාපිත විය යුතුයි. ආගම්වල ,වාමාංශික දේශපාලන ව්‍යාපාරවල මෙයට සම්පූර්නයෙන්ම ප්‍රතිවිරුද්ධ දේවල් වෙන්නෙ.
      අපට මෙන්ම අනෙකාටද කියන්නට කතාවක් තිබේ කියන පාඨය හදවතේම තියෙන්න ඕන.

      Delete
    2. ඒ වගේම ත්‍රස්තවාදියාගේ මනෝභාවය තමන් හැර සෙසු සියල්ල විනාශ කිරීම කියලයි මට හිතෙන්නෙ. ඉතින් මේ මේ මනෝභාවයන් පෝශනය කරන සමාජ සංස්කෘතික සාධක ගැන අපේ අවධානය යොමුවෙන්න ඕන. කිසිලෙසකින්වත් මෙවැනි විනාශකාරී මනෝභාවයන් පෝශනය නොකළ යුතුයි. නමුත් ආගම් හා දේශපාලන ව්‍යාපාර වලින් එය කෙරෙනවා.
      මේ ලිපියෙනුත් මා වර්තමාන මැදපෙරදිග ත්‍රස්තවාදීන්ට සමාන මධ්‍යතන යුගයෙ යුරෝපීයයන්ගෙ ත්‍රස්තවාදී මනෝභාවයන් ගැන අවධාරනය කළා. මේ දෙගොල්ල මාර විදියට සමානයි.

      අද අයි එස් ල කියන්නෙ මීට අවුරුදු පන්සීයකට ඉස්සර ප්‍රංශකාරයො. අයි එස් ලත් තව සමාජමය ලෙස පරිනාමය වෙන්න ඕන.

      Delete
  2. ත්‍රස්තවාදය ඇතිවීම කෙරෙහි කුමන හේතුව බලපෑවත්, යම්කිසි සමාජ තලයක් තවත් සමාජ තලයක් සමග මතවාදීව පමණක් ගැටීමේ ප්‍රතිඵලයක් ලෙස ත්‍රස්තවාදයේ ඉලක්කයක් වියයුතු නැහැ.

    මතවාදීව විරුද්ධ වන්නන්, මතවාදීව පරාජය කරන්න තමන් සතුව දැනුම, සාධක, වලංගු තර්ක, නැති අය, ත්‍රස්තවාදය ග්‍රහණය කරගන්නේනම්, ඔවුන්ව, නිර්දය ලෙස, සංග්‍රාමිකව මර්දනය කළයුතුයි.

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදය බිහිවීමට කවර හේතුව බලපෑවත් ත්‍රස්තවාදය ඇතිවුනාට පස්සෙ ඒක අනුකම්පා විරහිත ලෙස මර්ධනය කරන්නම ඕන. එසේම එය මුල්ම අවස්ථාවෙදි කරන්නත් ඕන. මුලදි හුරතල් කරන්න ගියාම වෙන්නෙ අවශ්‍ය වන මර්ධනය විශාල වීම.හොඳම උදාහරනය 88 දි ජේවීපී එක මර්ධනය නොකළ නිසා ඔවුන් 89 වනවිට ශක්තිමත් වුනා. 88 දි හරියට මර්ධනය කලානම් සිදුවුන තරමෙ දැවැන්ත විනාශයක් වෙන්නෙ නෑ. ඇල්ජීරියාවෙ( 90/91 වසර වල ) හා පාකිස්තානයෙ තරුනයන් මේ ව්‍යාපාරවලට ඇදුනෙ ඒවයෙ සාර්ථක භාවයට අන්ධ ලෙස මෝහනය වෙලා නිසා කියල ඒ ගැන පර්යේශන කළ අය කියා තිබෙනවා.

      මතවාදීව අනුන් පරාජය කරන්න බැරි දුර්වලයන් තමයි ත්‍රස්තවාදය තෝරගන්නෙ. ඔවුන්ගෙ ඒ තෝරාගැනීම නිසා ශිෂ්ට සම්පන්න මිනිසුන් නිරපරාදෙ දුක් විදිනව. කවුරුත් නිරපරාදෙ දුෂ්ටයන්ගෙ දුෂ්ටකම්වල ගොදුරු වෙන්න ඕන නෑ. ම්ලේච්ඡයන්ට තේරෙන බාසාවෙන් උත්තර දීල තමා ඊලඟ සාකච්ඡා වටය පටන් ගන්න ඕන.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. පොලීසියේ තියරියත් ඕකමයි, කෝට් එකට අත තිබ්බොත් සාකච්ඡා ඉවරයි!

      අපි හැමෝගෙම ඇතුලේ පොලිස් කාරයෙක් ඉන්නවා, ඌට ඉස්සර වෙන්න නොදී පාලනය කරගැනීමට වෙන්න ඕන ශීෂ්ට සම්පන්න වෙනවා කියන්නේ.

      මතවාදීව කෙනෙකු පරාජය කරනවා කියන්නේ වැඩකට නැති වැඩක්නේ, ඒකෙන් ගැටළුවක් විසඳෙන්නේ නෑනේ.

      Delete
    4. /මතවාදීව විරුද්ධ වන්නන්, මතවාදීව පරාජය කරන්න තමන් සතුව දැනුම, සාධක, වලංගු තර්ක, නැති අය, ත්‍රස්තවාදය ග්‍රහණය කරගන්නේනම්, ඔවුන්ව, නිර්දය ලෙස, සංග්‍රාමිකව මර්දනය කළයුතුයි./

      මේක දිගින් දිගට අල්ල ගන්නවාට සමාවෙන්න, ඒත් මේ ටිකත් ලීවොත් හොඳයි කියා හිතෙනවා. - ඔය සංග්‍රාමිකව, නිර්ධයව මර්ධනය කරන එක අතීතයේ හරියට කරානම් අපි ලෝකයේ ශේෂ්ඨ පුද්ගලයෝ විදිහට පිළිගන්න කවුරුත් එයාලගේ තරුණ විය පසුකරන එකක් නෑ.

      Delete
    5. ත්‍රස්තවාදය බිහිවීමට කවර හේතුව බලපෑවත් ........

      එයට හේතු පිළියම් සොයා නොබලා කටයුතු කිරීමෙන් එය කවර දක්වාත් යටපත් කල නොහැක

      Delete
    6. පිළියම් සෙවිය යුත්තේ, ත්‍රස්තවාදය මුලින් මර්දනය කිරීමෙන් පසුවයි. ඒ තමයි නිවැරදි ක්‍රමය. අපිත් ත්‍රස්තවාදය මර්දනය කරන්නේ නැතුව පිළියම් හොයන්න ගිහින් ලක්ෂ ගණනක් සිංහල, දෙමළ,මුස්ලිම් ජීවිත අහිමි වුණා.

      Delete
    7. ඇණයා @ මර්ධනය කිරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ අදහස් ප්‍රකාශන මාධ්‍ය ලෙස ත්‍රස්තවාදය භාවිතා කරන අයයි. ත්‍රස්තවාදියෙක් වුනාට පස්සෙ එයා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙන්නෙ නෑ කොහෙත්ම. සමහර ජයග්‍රාහී ත්‍රස්තවාදීන් වන්දනය කිරීමේ පුරුද්දකුත් තිබෙනවා. එයත් නරක පුරුද්දක්. උදාහරනයක් ලෙස ලෙනින් මා ඕ සෙතුන් වගෙ ත්‍රස්තයන්. ඔවුන් ජයග්‍රාහී වූ නිසා ඔවුන්ගෙ අපරාධ අහෝසි වුනා.

      විචාරක @ එකඟයි. අප දුටුව උතුරෙ ත්‍රස්තවාදය නිවැරදි උපක්‍රම භාවිතා කරමින් මුල් කාලයෙදි මර්ධනය නොකළ බව. බටහිර බලපෑම් එයට හේතු වෙන්න ඇති. කුලප්පු වුන මීම ඉස්සරහට ආවම උගෙන් බේරෙන්න ඕන. අනික් අයව බේරන්න ඕන. මීමව කුලප්පු කලේ කවුද ඌට ඓතිහාසික අසාධාරන වෙලාද කිය කිය උගෙ වැඩ සාධාරනීකරනය කරන්න ගියොත් මීමගෙන් හිරිහැර විදින්න වෙනව.

      මීමගෙන් බේරුනාට පස්සෙ හොයල බලන්න ඕන කවුද ඌව කුලප්පු කලේ කියල. ආයෙ මීමන් කුලප්පු වෙන වැඩ නොකර ඉන්න ඕන.

      ඔය පොෂ් මානවහිතවාදීන් තමයි කොටින්ගෙ කඳුළු සීතලයි කියල කවි ලිව්වෙ. කෙළින් කතා කරන්න සමහරු බයයි.අවස්ථා කීපයකදිම සිංහල දෙමළ මුස්ලිම් විශාල පිරිසක් මළා පැවති රජයන්ගෙ වැරදි තීරණ නිසා.

      Delete
    8. මම අදහස් කලේ තමුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් අවිගත් පිරිස්, සමහරු එයාලට කැරලි කරුවන්, සටන්කාමීන් කියනවා. ඒත් පාලකයින් එයාලව හඳුන්වන්නේ ත්‍රස්තවාදීන් හැටියටයි, ඇත්තෙන්ම එය (අවි භාවිතය, හිජසා කිරීම, බය ගැන්වීම) ත්‍රස්තවාදයක් තමා. ලංකාවේ නම්, ජේවිපී, දෙමළ අය අතරත් මුල් කාලයේ එල්ටීටීයට අමතරව තවත් ගොඩක් සංවිධාන තිබුණා, මේ වගේ අවිගත් ව්‍යාපාර නොතිබූ රටක් ලෝකයේ නෑ. සාධාරනය උදෙසා සටන් කරන බොහොමයක් තරුණයෝ මේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙනවා, ඒ අතුරින් අවංක පිරිස ඔවුන් ගේ අත්දැකීම් හමුවේ ඔවුන් සාමකාමී, ප්‍රාජාතන්ත්‍රවාදීන් වෙනවා. 71 අවිගත් නායකයන් ගෙන් ඉතිරි වෙලා ඉන්න බහුතරය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬනගන්නන් නෙවෙයිද? මැන්ඩෙලා කවුද?
      ඔබ දේශනා කරන මුලිනුපුටා දැමීමේ සංකල්පයේ ප්‍රතිපලය වෙන්නේ එම පිරිසත් විනාශ කිරීම, අපි විඳවනවා රටට අවංක නායකයන් නැතුව, එහෙම වෙන්න හිටි කීදෙනෙත් ඔය මුලිනුපුටා දැමීමට ලක් වෙන්න ඇත්ද?

      අපට ඔවුන්, මුලිනුපුටා දෑමීම හැර වෙන විකල්ප නැතිද? විකල්ප ඇතත් ඒවා සලකාබැලිමට තරම් වත් අපි තවමත් ශිෂටයන් වී නෑ නේද?

      Delete
    9. ඇණයා @ ඔබ සාධාරන මිනිසුන්ය කියන අය පළමුකොටම ත්‍රස්තවාදීන්. 71 කැරැල්ලෙ අය අති මහත් බහුතරය එන් ජී ඕ වලට සම්බන්ධ වෙලා බඩ වඩා ගන්නව. වෙන ප්‍රජාතන්තරවාදී දායකත්වයක් නම් මම දැකල නෑ.
      ත්‍රස්තවාදය මර්ධනය කරන්න ඕන. ඒක පළමුව විය යුතු දේ. මොකද ත්‍රස්තවාදීන් ජයගන්නව කියන්නෙ හැම දේම නැතිවෙන එක. ත්‍රස්ත්වාදීන්ට එක්වෙන්නෙ සාධාරනත්වය හොයන තරුණැයො නෙමෙයි. එහෙම තරුණයො නෑ . පහසුවෙන් රැවටෙන ආවේගශීලී අය සටනට යන්නෙ. හීනමානය , කැපී පෙනීම, සාහසිකත්වයට ඇති ලැදියාව මිස වෙන දෙයක් නෙමෙයි.

      මැන්ඩෙලා කියන්නෙ සීතල යුද්ධය අවසන් වූ පසු බටහිර සමාජයෙ වැදගතෙක් වුන කෙනෙක්. දලයිලාම වගෙ කෙනෙක්.දලයිලාමලව මැන්ඩෙලාලව , මලාල ලව පුම්බන්නෙ මටහිර මාධ්‍ය .බටහිර ලෝකය එදා සිටියෙ ඇපතයිඩ් දකුණු අප්‍රිකාව එක්ක.

      Delete
  3. Agree with comments :)
    Great if you could explain some of those lesser or unknown names a bit. Cas I'm sure many of the readers have not done there homework properly. .

    ReplyDelete
    Replies
    1. True I will explain them .may be words such as Theodosius and Albigensian are not familiar to our friends .

      Delete
  4. එක්තරා යුගයක
    ආගම් නොමැති කාලයක් තිබුණි
    එකල මිනිසුන් සහෝදරත්වයෙන් ජීවත් වූහ
    මෙය දුටු යක්‍ෂයා කිපුනේය
    මිනිසුන් සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත් වීම
    යක්‍ෂයා දිනෙන් දින දුර්වළ කිරීමක් විය
    මිනිස් වර්ගයාගෙන් මානුශික ගුණාංග අතුරුදහන් කිරීමට
    යක්‍ෂයා ආගම් නිපදවන ලදි
    ඉක්බිති යක්‍ෂයා ආගම් මිනිසුන් වෙත දමා ගැසීය
    ආගම් නිසා දෑස් අන්ධව ගිය මිනිසුන්
    කෝළහාල කර ගත්හ
    ආගමේ නාමයෙන් තම අසල්වාසියා
    පරි පීඩනයට ලක් කළහ
    ආගමේ නාමයෙන් මහාජන සංහාර කළහ
    ආගමේ නාමයෙන් බෙලි කපා දැමූහ
    ආගමේ නාමයෙන් සමූහ දූෂණ කළහ
    මේ දුටු යක්‍ෂයා ශබ්ද නඟා සිනාසුනේය

    ReplyDelete
    Replies
    1. මිනිසා දෙවියන්ගෙන් ඈත් කිරීමට යක්ෂයා ආගම හදුන්වාදුන් බව කියනවා නේද. මේ කවියෙන් කියවෙන්නෙ ඒකයි. හරි අපූරු අදහසක් ඒක.

      Delete
  5. //අන්තවාදී ව්‍යාපාර ප්‍රධාන දහරාවේ අනුකම්පාවෙන් වියුක්තව ක්‍රියාත්මක වන්නේ නැත// මම හිතන්නේ අන්තවාදයක් අවසන් කිරීමට කැඩිය යුතු මේ සම්බන්ධතාවයයි. සංග්‍රාමිකව අන්තවාදයේ ප්‍රකාශන විනාශ කළ හැකියි. එහෙත්, අන්තවාද වල මුල් සිඳීම ඊට වඩා අමාරුයි. ප්‍රධාන දහරාවේ අභ්‍යන්තරව සිදුවන වෙනසකින් පමණයි ස්ථිර වෙනසක් සිදුවිය හැක්කේ. එය සිදුවීමට ප්‍රධාන දහරාව පරිණාමය විය යුතුයි. ඔබ කියන කාලයේදී ක්‍රිස්තියානි සම්ප්‍රදාය ඇතුලතින් විවේචනය කළ හැකි තත්ත්වයක් කෙසේ හෝ ඇති වුනා. මේ නිසා අද ගබ්සාව/සමකාමිත්වය වැනි දේ සම්බන්ධ විවිධ ප්‍රතිවිරුද්ධ ක්‍රිස්තියානි මත තියෙනවා. ඉස්ලාම් ආගමේ මෙවැන්නක් තවමත් ලොකුවට සිදුවී නැහැ. ඉස්ලාම් අන්තවාදීන්ට ඉස්ලාම් නොවන කොටස් වලින් එල්ල කරන බලපෑම් නිසා ඉස්ලාම් ප්‍රධාන දහරාව ඇතුළතින් ඇති විය හැකි ප්‍රතිවිරෝධතා මතුවීම කල්යනවා. මේ නිසා එක් අන්තවාදයක් මර්දනය කළත් එය වෙනත් අයුරකින් මතුවෙනවා. ප්‍රචණ්ඩත්වයේ පරිමාණය අනුව ප්‍රතිරෝධයක් නොදක්වා සිටීමත් ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන පාර්ශ්ව වලට අපහසු දෙයක්. ඒ නිසා මේ තත්ත්වය ළඟකදීනම් වෙනස්වන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මම එය නිරීක්ෂනය කළා බොදු බල සේනාවෙ ක්‍රියාකාරීත්වය තුලින්. ඔවුන් අන්‍යාගමිකයන්ගෙන් ගුටි නොකන්නෙ අප නිසා බව මට තේරුනා. ඒ කියන්නෙ බොදුබලසේනාවෙ වැඩ ගැන වගකීමෙන් අපට මිදෙන්න බෑ. මේ සම්බන්ධය කඩන්න ඕන. අයි එස් ල ගැනත් කියන්න තියෙන්නෙ ඔච්චරයි.

      ඒක තමා ක්‍රිස්තියානි සමාජය පරිනාමය වූ ලෙසින් මුස්ලිම් සමාජය පරිනාමය වෙලා නෑ . අවුල එතනයි. අරාබිය තවම කූඩාරම් යුගයෙ . තවම ගල් ගහන සමාජයක්. ක්‍රිස්තියානි සමාජය පරිනාමය වුනේ ආගම සහ රජය අතර සම්බන්ධය බිද දැමීමෙන්. ඒ කියන්නෙ ජාතික රාජ්‍ය බිහිවෙලා දේවවාදය වෙනුවට මානව වාදය ආදේශවුනාට පස්සෙ. එහෙම දෙයක් ඉස්ලාමය තුල වෙන්න තියන ඉඩ අඩුයි.

      ප්‍රචන්ඩත්වයට දක්වන ප්‍රතිරෝධය තුලින් අන්තවාදය ශක්තිමත්වෙන්මවා තමයි. නමුත් එම ප්‍රතිරෝධය නොදක්වා බැහැ. ඒ වගේම එය අවශ්‍ය අවස්ථාවේ යොදවන්නෙ නැතිව බටහිර විසින් අන්තවාදය ශක්තිමත් කරනවා. රක්කා නගරයට බෝම්බ දන්නෙ දැන්නෙ. ඒ කියන්නෙ ඉස්සරවෙලා කලේ බොරුව කියන එකනෙ. අයි එස් ල අසාද් එලවන්න බළල් අත් විදියට පාවිච්චි කළා.

      Delete
  6. නාරද කරුණාතිලක,කොලට් සේනානායක ලියපු යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ පොත කියවා බැලුවා.අනිත් පොත් කියවන්න බැරි වුනා.යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ ග්‍රන්ථයේ කතුවරුන්ගේ අනුමානයන්ට අනුව සඳහන් කරන කරුනුත් බොහෝ තිබෙනවා.පැහැදිලි මූලාශ්‍ර ඉදිරිපත් කිරිමකින් තොරව අනුමාන වශයෙන් ප්‍රකාශ කරන කරුනු සත්‍ය වෙන්නත් පුලුවන් අනුමානයක් පමනක්ම වෙන්නත් පුලුවන්.කොහොම ඔවුන්ගේ උත්සහය අගය කල යුතුයි.හේතුව අන්ධානුකරනයෙන් භක්තියෙන් බැහැරව ආගම්වල සම්භවය,විකාශය,මිත්‍යා සංකල්ප අධ්‍යයනය කරන පුද්ගලයකු වඩා රුචි කරන්නේ මෙවනි ග්‍රන්ථ වලට.

    ලෝක ඉතිහාසයේ විශාල මිනිස් ඝාතන සිදුවුන ගැටුම් අධ්‍යයනය කලාම පැහැදිලිව ප්‍රකට වෙන කරුනක් වන්නේ ඉන් වැඩි ප්‍රතිශතයක් ආගමික හා වාර්ගික ගැටුම් කියන එක.ආගමෙන් උගන්වන්නේ ආගමේ නාමයෙන් මිනිසුන් සමූල ඝාතනය කරන්නනම් එවැනි ආගමක් කොහෙත්ම මේ මිහිමත තිබිය යුතු නෑ.දර්ශනයක් ලෙස පැවැති බුදුසමය අශෝක රජු සමයේදි ආගමික ස්වරූපයකට හැඩ ගැසෙනවා.ඉන් පසුකාලීනව ලොව පුරා ව්‍යාප්ත වුනේ බුදුන් වහන්සේගේ දර්ශනය ඇසුරෙන් ගොඩනැගුන බුද්ධාගම මිස බුදුන් වහන්සේ දේශනා කල මුල් දර්ශනය නෙවෙයි.ඒ තුල ,භක්තිය,ඇදහිලි,පුදපූජා වලටයි මුල් තැනක් ලැබුනේ.බුද්ධියට ප්‍රඥාවට ආමන්ත්‍රණය කල දර්ශනයක් වූ බුදුසමයත් අවසානයේදි අර භක්තිවාදි ආගම් ගොඩටම තල්ලුලො ගියා.ඒ භක්තියෙන් අන්ධවුන අන්ධභක්තික බෞද්ධ සංවිධානත් ඒ වාට එක්රොක්වුන පිරිසත් අර අන්‍ය ආගමික ත්‍රස්තවාදි සංවිධාන වගේ මිනිස් සමාජයේ ගැටුම් නිර්මානය කරමින් ලේ වැගිරිමක්ම බලාපොරොත්තු වුනා.

    ReplyDelete
    Replies
    1. ISIS ත්‍රස්තයන්ට තව තවත් මොරාල් එකක් ලැබෙන්නෙත් ලොව පුරා මාධ්‍ය අනවශ්‍ය ලෙසින් ඔවුන්ගේ ක්‍රියාකරකම් මතුකරමින් ඔවුන් ලොව අංක එකේ ත්‍රස්තවාදි සංවිධානය ලෙසින් ලේබල් කිරීම නිසා කියලත් හිතෙනවා.ඒ නිසාම ඔවුන් තමන් වඩාත් දරුණුයි කියලා පෙන්වන්න විවිධ ආකාරයෙන් වඩ දරුණු ආකාරයේ මිනිස් ඝාතන සිදුකරමින් ලෝකයේම අවධානය යොමු කරගන්න උත්සහා දරනවා.දැනටමත් ඔවුන්ට අවශ්‍ය එක් දෙයක් ඔවුන් ලබාගෙන තිබෙනවා.ඒ තමයි ලෝකයේම අවධානය තමන් වෙත යොමු කරගැනීම.එහෙම කලාම එවැනි ත්‍රස්තවාදි සංවිධානයකට ප්‍රිකරන අන්තවාදීන් ඔවුන්ට සහය දක්වනවා වැඩි වෙනවා.නයීජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්තවාදීන් ලෝකයේ අවධානය තමන් වෙත යොමු කරගන්න නොයෙක් නොයෙක් ක්‍රියාකරකම් කලත් ඔවුන්ට ISIS වැනි අවධානයක් යොමු වුනේ නෑ.ISIS සංවිධානයත් පස්සේ කාලයකදි දුර්වල වෙලා ටිකින් ටික විනාශ වෙලා යාවි.හරියට තලේබාන් සංවිධානයට උනා වගේ.නමුත් නැවත එවනි සංවිධානයක් බිහිවෙන්න ආගමික අන්තවාදය හේතුවක් වෙනවා.ඒ කියන්නේ මූලබීජයටත් පිලියමක් යෙදිය යුතුයි.

      Delete
    2. ක්‍රිස්තියානිය කියන්නෙ යුදෙව් ජාතික දෙවියා ජාත්‍යාන්තරීකරනය කිරීමක්. යේසුස් පෙරලිකාර දේශපාලන චරිතයක් ලෙස හැසිරුනා. ඔහුට අවශ්‍ය වුනේ රෝමවරුන් හා යුදෙව්වන් අතර සංහිදියාවක් තුලින් යුදෙව්වන්ගෙ ප්‍රශ්න විසදාගෙන යුදෙව් සමාජයේ සමාජ ශෝධනයක් කරන්නයි. ඔහු අහිංසකයෙක්. පසුකාලෙක පෙතෲස් හා පාවුල් වැනි අය තමා ඇදහිල්ලක් තෙක් වර්ධනය කළේ. ක්‍රිස්තියානිය කියන්නෙ පිටරට පැටවීමට තීන්ත ගාපු යුදෙව් ආගම.

      යුදෙව්වො මාතෲ දේව වන්දනාව මංකොල්ල කාල ඔවුන්ගෙ පෞර දෙවියා වූ යාහ්වේට සමබන්ධ කළා. කතෝලික ආගම කියන්නෙ මේ යුදෙව් ආගමත් නෙමෙයි. එවකට මැදපෙරදිග තිබූ වෙනත් ආගමක් බට් කරල හදාගත්ත එකක්. මාටින් ලූතර වගෙ අය මෙය පසුව සොයාගත්තා. රෙපෙරමාදු ආගම බිහිවුනේ එලෙසයි. ප්‍රොතෙස්තන්තයන්ගෙ ආගම් තරමක් දුරට යුදෙව් ආගම බව පේනව.

      මැදපෙරදිග තිබුනා අපූරු විශ්වාසයක්. එහි ස්ථිර දේවත්වයක් සහ ඉපදී මියයන හා යළි උපදින දේවත්වයක් තිබුනා. මෙය ආදිකාලීනයි. මේ ස්ථිර දේවත්වය ස්ත්‍රී ලිංගිකයි. ඉපදී මියයන දේවත්වය පුරුෂ ලිංගිකයි. ඊජිප්තුවෙ අයිසිස් හා ඔසිරිස් ලෙසත් සුළු ආසියාවේ සයිබීලි හා ඇට්ටිස් ලෙසත් මෙය පැවතියා. ඔසිරිස් ගෙ ඇට්ටිස් ගෙ මරනය හා පුනරුත්පත්තිය තමා වෙනත් නම් වලින් පසුකාලෙක එන්නෙ. අතීත මාතෲ දේවතාවිය පුරුෂ දෙවියෙක් බවට පත්වුනා. මැද පෙරදිග පුරා විද්‍යාතමක සාක්ෂි බලන විට ඉතිහාසයේ පුරුෂ දෙවියෙක් ඇදහූ බවට සාක්ෂි නැහැ.

      ඒබ්‍රහමික ආගම් (යුදෙව්, ක්‍රිස්තියානි,ඉස්ලාම් ) කිසිම කෙනෙකුට තම විශ්වාසයන් පිරිසිදුයි කියල කියන්න බැහැ. ඔවුන් මරාගන්නෙ මේ සැබෑව නොදැන. පොඩිකාලෙ ඉදන් කියවන පොත විතරක් ඇත්ත කියල.

      පෞර දේවතාවා විසින් මාතෲ දේවතාවිය මංකොල්ල කෑමේ සත්‍ය අවබෝධ කර ගත යුතුයි.

      Delete
    3. බුද්ධාගම කියල අද අප අතර තියෙනෙන් බුදුහාමුදුරුවො දේශනා කරපු ඒව නෙමෙයිනෙ. පසුකාලීනව නිර්මානය කරගත් ආගමක්. මේ ගැන මං කලින් පෝස්ට් එකක කතා කළා මතකයි.

      Delete
    4. අබු මුසාෆ් අල් සර්කාවි මුලින්ම බෙලි කපන්න ගියෙ ප්‍රචාරය නිසාමයි. ඔහු වීඩියෝ මුදා හැරියා. මාධ්‍ය මගින් එය පෙන්වා ලොවම ත්‍රස්ත කළා. මේ අපරාධවලට ජාත්‍යාන්තර මාධ්‍ය වගකියන්න ඕන. තුන් තිස් පැයේම නටන මාධ්‍ය නාඩගම නිසා ප්‍රචාරයක් බලාපොරොත්තුවෙන් ත්‍රස්තවාදීන් අපරාධ කරනව.අහිංසකයො මේ මීඩියා කොම්පැනිවල පහත් අරමුණු නිසා දිවි පුදන එක කණගාටුදායකයි. සමහර ප්‍රාන ඇපකාරයො බේරෙන්න තිබුන අවස්ථාත් නැති කළේ මාධ්‍ය විසින්.

      Delete
    5. ...//යේසුස් පෙරලිකාර දේශපාලන චරිතයක් ලෙස හැසිරුනා. ඔහුට අවශ්‍ය වුනේ රෝමවරුන් හා යුදෙව්වන් අතර සංහිදියාවක් තුලින් යුදෙව්වන්ගෙ ප්‍රශ්න විසදාගෙන යුදෙව් සමාජයේ සමාජ ශෝධනයක් කරන්නයි//...

      එය තමයි සැබැ සත්‍යය.බයිබලය මුල ඉඳලම සියුම්ව විමසමින් කියවනකොට ඒ බව පැහැදිලි වෙනවා.ඔබ ජේසුස් වහන්ස් සහ බුදුදහම කියන පොත කියවා තිබේද ?.අනිත් ග්‍රන්ථය තමයි මූර්තිගේ මියගිය ලෝකය.මේ ග්‍රන්ථ දෙකේ ආගමික ඉතිහාසය ගැන පැහැදිලි විවරණයක් ඉදිරිපත් කර තිබෙනවා.

      Delete
    6. මූර්තිගෙ පොත නම් කියෙව්වෙ පොඩි කාලෙමයි. අනික් එය හරියටම මතක නෑ එක වගෙ නම තියන දෙක තුනක්ම කියෙව්වා. යේසු ට ඉන්දියන් ආභාෂයක් ලැබිල නෑ. ඔහුට ගැඹුරු දර්ශන තේරුම් ගන්න හැකියාවක් තිබුන කියල මම විශ්වාස කරන්නෙත් නෑ. ඔහුට ඇකඩමික් පැත්තක් තිබුනෙ නැහැනෙ.
      නිරවුල් අවබෝධයක් ලබාගන්න මේ පොත් හැම එකක්ම කියවන එක වටිනවා

      Delete
    7. ඔබට මම ස්තූතිවන්ත වෙනවා මෙම ලින්ක් එක දීම ගැන . මූර්තිගෙ පොත් මා ආසාවෙන් කියවා තිබුනත් ඔහු ගේ ජීවිතය ගැන මේ දේවල් දැනගෙන හිටියෙ නෑ. අපූරු තොරතුරු ටිකක්.

      Delete
  7. "ශ්‍රී ලංකා සමාජයට අන්‍ය මත නොඉවසීමේ සම්ප්‍රදාය ආවේ පෘතුගීසීන්ගේ පැමිනීමෙනි.මුල් කාලීන ධර්ම ප්‍රචාරකයන් නවාතැන් ගත්තේ පන්සල්වලය. අතීතයේ මහසෙන් යුගයේ හැර මෙවැනි සම්ප්‍රදායක් මෙරට නොවීය.නමුත් සමකාලීන යුරෝපයේ අන්‍ය මත නොඉවසීම ජයටම සිදුවිය. කතෝලික පල්ලියේ මතයට එරෙහි මතයක් දැරීම මරනයට සුදුස්කමක් විය. මාක්ස්වාදීනට්ද මෙම දුර්ගුනය උරුම වුනේ ක්‍රිස්තියානියෙනි. මාක්ස්වාදීහු සිය මතයට වෙනස් මතයක් දරන ඕනෑම කෙනෙක් සම්බන්ධයෙන් දක්වන්නේ බද්ධ වෛරයකි. ඒ ඔවුන්ට උරුම වූ ඌනිතවාදය නිසාය." දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය උඩුයටිකුරු නොකර ඉදිරි පරපුරකට හෝ මේ අහිතකර තත්ත්වයන් ගෙනි මිදීමක් නැත.

    ReplyDelete
    Replies
    1. සියල්ල එකම දෙවියෙකුට ඌනනය කළ පෘතුගීසීන්ගෙන් තමා අන්‍යමත නොඉවසීම අපට උරුම වුනේ. මාක්ස්වාදීන් සියල්ල ආර්ථිකයට ඌනනය කරනවා. අපේ චින්තන ක්‍රමය වෙනස් කරගන්න ඕන. අපි විතරක් නිවැරදි වෙන්න බෑ. අනෙකාටත් කියන්න කතන්දරයක් තිබෙන නිසා. ඌනිතවාදය තුලින් ඇත්ත දකින්න බෑ.ඇස යොමුකරගෙන ඉන්න පොයින්ට් එකට මෝහනය වෙන එකයි වෙන්නෙ.

      ඒ වගේම ස්වාධීනව සිතන්න පුරුදුවෙන්නත් ඕන. අනුන්ගෙ ඇස්වලින් නොබලා අනුන්ගෙ කන් වලින් නො අසා අනුන්ගෙ මොළවලින් නොසිතා කරුණු විමසීමකින් පසු නිගමනවලට එන්න.ස්වාධීන වෙනව කියන්නෙ අනුන් මත යැපෙන්නෙ නෑ කියන්නෙ එක. ගොඩක් දෙනෙකුට තියන ගැටළුව ලෝකය නිදහස්ව දකින්න බැරි එක. අප උගත යුතු චින්තන සම්ප්‍රදාය ලොව නිදහස්ව දැකීමේ චින්තන සම්ප්‍රදායයි.

      Delete
    2. පෘතුගීසීන් පැමිණීම නිසා ලංකාව ඉස්ලාම්කරණය නොවුනා කියල මාටින් වික්‍රමසින්හගේ බෑණා වන සපරමාදු කියනව

      Delete
    3. ප්‍රා @ මමත් ඔය මතය දැරුව. ඒත් ඒක හරියටම කියන්න බෑ. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.මාලදිවයින් ඉස්ලාම් වුනේ ක්‍රි:ව 1153 පමන. මැලේසියාවත් ඒ කාලෙම තමා ඉස්ලාම් වුනේ. ලංකාවට ඒ කාලෙ බලපෑමක් වුනේ නෑ.පෘතුගීසීන් එනකොට සමුද්‍රයෙ ඉස්ලාම් ආධිපත්‍ය දුර්වල වෙලා තිබුනෙ. ඉන්දියාවෙ මුස්ලිම් බලය 1505 වන විට දුර්වල වෙමින් පැවතියා.

      නමුත් විජයනගර අධිරාජ්‍ය බිද වැටීමත් එක්ක ඇතැම් විට ලංකාව ආක්‍රමනය කරන්නත් ඉඩ තිබුන.




      Delete
  8. මේක සංකීර්ණ දෙයක් ඒත් වැඩිය ටයිප් කරන්න බැරි නිසා පොඩ්ඩක් කියන්නම්.

    මධ්යතනයුගයේ කුරුස යුද්ධකාලයේ වගේ ක්‍රිස්තියානි යුරෝපීයයන්ට වඩා ලිබරල් හා දියුණු බවක් මුස්ලිම් සැරසන්ස්ලා පෙන්නුම් කලා. ඒත් යුරෝපීයයන් ආගම් අන්තවාදයෙන් ක්‍රමයෙන් ඈත්වෙමින් ලිබරල් වුනා. මුස්ලිම්වරුන් අනිත් පැත්තට ගමන් කලා. ඉස්සර මුස්ලිම් අය ලිබරල් වීමට හේතුව පර්සියාවේ හා යුප්‍රටීස් ගඟ අසබඩ ශිෂ්ඨාචාරය වෙන්න ඇති. ස්පාඤ්ඤයේ තිබුනු මුස්ලිම් රාජ්‍යයන් (ග්‍රෙනෙඩා වගේ )සෑහෙන්න ලිබරල්. ඒත් උතුරු අප්‍රිකාවෙන් ආපු අය අතර ෆැනටිසම් තිබුනා.

    ආගමට වඩා සංස්කෘතික පසුබිම අනුව ලිබරල්බව තීරණය වෙන්න ඇති. මෑත ඉතිහාසයේ අරාබීන්ට තෙල් සල්ලි බලය නිසා ඔවුන්ගේ පසුබිමෙන් එන හාර්ඩ් ලයින් ආගම්වාදය පැතිරුනාද?

    ReplyDelete
    Replies
    1. රසායන විද්‍යව ඇතුළු බොහෝ ශාස්ත්‍ර ප්‍රගුන කල නව සොයාගැනීම් කළේ මුස්ලිම් ශාස්තර්ඥයන්. ඒ කාලෙ යුරෝපය තිබුනෙ අන්ධකාරයෙ. යුරෝපයෙ දැනුමටත් පදනම වුනේ මුස්ලිම්වරු හා චීනුන්ගෙ සොයාගැනීම්. නමුත් එකපාරටම මෙය උඩුයටිකුරු වුනා.මට හිතෙන්නෙ මෙහෙමයි.
      මුස්ලිම් ලෝකයෙ පර්සියන් බලපෑම වෙනුවට තුර්කි බලපෑම ප්‍රබල වුනා.පර්සිවරුන්ගෙ ආගම් පවා ලිබරල්. සුෆිවාද ආවෙ එතනින්. නමුත් තුර්කීන් තුල එවැනි ලිබරල් හැඟීමක් තිබුනෙ නෑ. කෙළවරක් නැති කුරුස යුද්ධ අවසානයෙ තුර්කීන් ජයගත්තා. යුරෝපීයයන් සමුද්‍රය තුලින් දැනුම හාධනය සොයායන්න පෙළැබුනේ එතනින්.

      තුර්කි ජයග්‍රහනයත් එක්ක ඥානාලෝකයට රාජ්‍ය අනුග්‍රහය අහිමිවෙලා වහාබ්වාදය ඉදිරියට එන්න ඇති. ඒ අතරෙ යුරෝපීය ජාතික රාජ්‍ය ලෞකික ලෙස දියුනු වුනාට පස්සෙ මුස්ලිම්වරු න්ට කොහොමවත් තරඟ කරන්න බැරිවුනා.පළමු ලෝක යුද්ධයෙන් තුර්කිය පරාජය වුනාට පස්සෙ මුස්ලිම්වරු කරලියෙ පැත්තකටම විසි වුනා. දැන් ඔවුන්ට තියන එකම සහනය තෙල් සල්ලි විතරයි.

      පර්සියන් බලපෑම වෙනුවට තුර්කි බලපෑම ප්‍රමුඛවීම මුස්ලිම්වරුන්ගෙ පිරිහීම කියල මට හිතෙන්නෙ . දැන් හාඩ්ලයින් එකම අල්ලගෙන ඉන්නව.

      Delete
    2. තුර්කීන් දරුණු වෙන්න ඇත්තේ මධ්‍යම ආසියාවේ පැත්තෙන් ආපු ජෙන්ගීස් කාන් වර්ගයේ දරුණු මංකොල්ල කාරයන්ගේ බලපෑමෙන් වෙන්න බැරිද? මගේ ඉතිහාස දැණුම නිල්, මේ පොස්ට් එකෙන් ගොඩක් නොදැන සිටි දේ දැන ගත්තා.

      Delete
    3. ජෙන්ඝිස් ඛාන් මොන්ගෝලියානු ආක්‍රමනිකයෙක්. ඔහු තුර්කීන්ට සම්බන්ධයක් නැහැ. නමුත් පසුකාලීන මෝගල් ආක්‍රමනිකයන්ගෙත් ජෙන්ගිස්ඛාන් ,ටැමර්ලේන් වැනි අයගෙ ජාන තිබුන. ජෙන්ඝිස්ගෙ ජාන බ්‍රිතාන්‍ය රජපවුලෙ පවා තියනව කියල සමහරු කියනව.
      තුර්කීන් කරලියට එන්නෙ කුරුස යුද්ධ එක්ක. සෑම කෘස යුද්ධයකම එක පැත්තක යුරෝපීයයන් සිටි අතර අනෙක් පස සිටියෙ තුර්කීන්. තුර්කීන් කාලිෆ්වරුන්ගෙ ආරක්ෂකයන් ලෙස ක්‍රියා කළා . ඇත්තටම සැබෑ පාලකයො වුනේ තුර්කීන්.
      සියවස් ගනක ඇදුන කුරුස යුද්ධ අවසන්වුනේ ක්‍රිස්තියානීන් අන්ත පරාජයකට පත්වීමෙන්. කුරුස යුද්ධකරුවන් පරාජය කළේ සලහුදීන් . පළැමු ලෝක යුද්ධය වෙලාවෙ මැදපෙරදිගට ආ බ්‍රිතාන්‍ය ජෙනරාල් වරයා සලාහුදීන්ගෙ සොහොනට කෙවිටකින් තට්ටු කර " අපි ආයෙත් ආවා " කියා තිබෙනව.

      කුරුස යුද්ධකරුවන්ට අභියෝගයක් වූ සෙල්ජුක් තුර්කීන් ගෙන් පසු ඔටෝමන් තුර්කීන් ද තුර්කි බලය ලොව ප්‍රමුඛම යුධ බලයක් බවට පත් කළා. ඇත්තෙන්ම එකළ ලෝක බලවතා වුනේ තුර්කියයි.

      තුර්කීන් කොහොමත් හොඳ සටන්කාරයන්. ඔවුන් ඉස්ලාම් ආගම වැළදගැනීම ඉස්ලාමයට අහසින් කඩාවැටුන වාසියක් වුනා.

      ඉතිහාස දැණුම මහමෙරක් කියල හිතන්න එපා. මෙය ගැඹුරු විශයක් නෙමෙයි. මේ හරිම සිම්පල් දෙයක්. කියවනකොට ඉබේ ඔළුවට වැටුන ඒව. ලියන කොට ඉබේම බ්ලොග් එකට වැටෙනව.

      Delete
  9. ත්‍රස්තවාදය කියලා අපි කරන්නේ දේශපාලනික අවශ්‍යතාවයන් වෙනුවෙන් භය උපක්‍රමිකව භාවිතා කිරීමක්.... මේක තේරුම් නොගෙන මෙය මර්ධනය කළ නොහැකියි....

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදයේ ප්‍රධානම මූලධර්මය තමා භීතිය පැතිරවීම. මිනිසුන් එකිනෙකා හුදකලා කර මරන බිය මත ත්‍රස්තවාදියා සිට ගන්නවා. ත්‍රස්තවාදීන් සංඛ්‍යාත්මකව ස්වල්පයයි. නිහඩ බහුතරය තමා වැඩි.

      ත්‍රස්තවාදය මර්ධනය කළ යුතුයි. ඒ එක්කම ත්‍රස්තවාදය නිර්මානය වීමට තිබෙන ඉඩ අහුරන්න ඕන. ඉස්ලාම් සමාජය මීට වඩා ලිබරල් වෙන්න ඕන. බටහිර මිනිසා ලැබූ ආකාරයේ නිදහසක් මැදපෙරදිග මිනිසාටත් අවශ්‍යයි.මේ සමාජ නිදහස එක්කම අධ්‍යාපනයත් දෙන්න ඕන. තෙල් දෙයියො මැව්ව කියල හිතන මෝඩ අරාබි තරුනයා තමන් විදින සැප ගැන කෘතගුන දක්වන්න මරාගෙන මැරෙන්නත් බැරි නෑ. ඩාවින් ලගෙ මාක්ස්ලගෙ පොත් එහෙම අරාබි ඔළුවට දාන්න ඕන. ලිදෙන් එහා ලෝකයක් තියන බව පෙන්වා දෙන්න. අනික මරාගෙන් මැරෙනව කියන්නෙ මහ ඔළමොළ වැඩක් බවත් වැදගත් වෙන්නෙ තමනුත් ජීවත් වෙලා අනුන්වත් ජීවත් කරවන එක කියල දෙන්න ඕන.

      Delete
  10. අපූරු සටහනක්.

    //කොන්කිස්තදෝස් ලියූ නාරද කරුණාතිලක හා කොලට් සේනානායක යන මහතුන් ද විවාදාත්මක ලේඛකයන් දෙපළකි. ඔවුහුද සිය අදහස් ප්‍රකාශ කිරීමට පෙර දෙවරක් නොසිතූහ. ඔවුන්ගේ මුල්ම සංවාදශීලී කෘතිය යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ යන්නයි.//

    පොත හොයාගෙන කියවන්ට ලොකු ආශාවක් ආවා.

    //ඊශ්‍රායලයේ හෝ අරාබියේ බුදුදහම සුළුවශයෙන් හෝ තිබූ බවට ඔවුන් නගන තර්ක පහසුවෙන් බැහැර කළ හැක.//

    ක්‍රිස්තු වර්ෂ 2 දී නුතන ඉරානයේ, (පැරණි පර්සියානු රාජ්‍යයේ ) බුදුදහමේ සම්බන්ධයක් තිබුණේ නැද්ද?

    //ත්‍රස්තවාදයට හේතුව අන් කිසිවක් නොව අන් මත නොඉවසීමයි.තමා පමනක්ම හරි කියා සිතීමයි.//

    හේතු ගණනාවක එක් ප්‍රතිපලයක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක කියවන්න වටින පොතක්. භද්‍රජි මහින්දත් ඔය විශය ගැන පොතක් පරිවර්තනය කරල තිබුන. දැනගන්න බොහෝ කරුණු තියනව. ඒ දත්ත හරි. නමුත් උපන්‍යාසය ඔප්පු කරන්න ඒ දත්ත ප්‍රමානවත් නෑ.ඒ තර්ක ගැලපෙන්නෙත් නෑ.

      කුෂාන අධිරාජ්‍ය කාලෙ බුදුදහම පැතිරුනා. පාකිස්ථානය , ඇෆගනිස්ථානයටත් , චීනයටත් පැතිරුනා. ඇෆගනිස්ථානෙ කියන්නෙ ඉරාන බෝඩර් එකනෙ. ඉරානයටත් බලපෑම දැනෙන්න ඇති. එහෙත් ඉරානයේ (පර්සියාවෙ ) ශක්තිමත් මට්ටමක බෞද්ධ සම්ප්‍රදායක් තිබූ බවට සාක්ෂි නැහැ.ඉරානය කොහොමත් අරාබි රටක් නොවෙයි.

      සෙමිටික් රටවල නම් බුදුදහම තිබුනෙම නෑ. සිවුරක් දාගෙන වැරදිලහරි ඒ පැත්තෙ ගියානම් අනිවාර්යයෙන්ම මරනව.

      සමහරු කියනව සුනාපරන්ත දේශය අරාබිය කියල. බුදුන් පුන්න හිමියන් සුනාපරන්තයට යන්න හදන්කොට අහනව එහෙ මිනිස්සු දරුණු බවට ප්‍රසිද්ධයි නේද .ඔවුන් කැටකැබලිති වලින් ගැහුවොත් පොලු මුගුරු වලින් ගැහුවොත් ආදි වශයෙන් අසමින්. මෙන්න මේ නිසා සමහරු සුනාපරන්තය අරාබිය කියල අනුමාන කරන්නෙ . ඒත් ඒක අරාබියම කියල පිළිගන්න බෑ.

      වර්තමානයේ නම් ත්‍රස්තවාදයට ප්‍රධානම හේතුව අන්මත නොඉවසීම. අනෙක් හේතු ත්‍රස්තවාදය සාධාරනීකරනය කරගන්න යොදන තර්ක. දුප්පත්කම ,සමාජ අසාධාරනය වගෙ දේවල් ත්‍රස්තවාදීන් සිය ව්‍යාපාර වෙනුවෙන් උපකාරී කරගන්නවා. ත්‍රස්තවාදී සංවිධානවලට බැදෙන අය එහෙම බැදෙන්නෙ ඇ‍යි කියන එක හොයල තියනවනෙ. ඒ අයට පුද්ගලිකව මනෝ විද්‍යාත්මක සහ සමාජමය හේතු ඇති. නමුත් ත්‍රස්තවාදී ව්‍යාපාරය සමස්තයක් ලෙස ගත්තහම අන් මත නොඉවසීම තමා හේතුව. මම කියන්නෙ කාඩරය ගැන නෙමේ. මධ්‍යගතය ගැන.

      Delete
    2. කාලෙකට පෙර උඩින් පල්ලෙන් පල්ලෙන් කියෙව්වා මතබේදකාරී ඉන්දියන් රිසර්ච් පේපර් වගයක්, එයින් කියවුනේ බුදුන් බුදුවුනේ සහ ගැවසුනේ වර්තමානයේ ඉන්දියාවට අයත් භූමියේ නොවන බවත්, එම ප්‍රදේශය වර්තමාන පකිස්තිනය සහ ඇෆ්ගනිස්තානය බවට, මුලදී ජර්මානු පුරාවිද්‍යඥයකු වර්තමාන ස්ථාන වැරදී ලෙස හඳුනාගත් බවත්, ඒතැන් වලින් සොයාගත්තායැයි කියන පුරාවස්තූන්ට ජපානයේ සහ බුරුමයේ බ්ලැක්මාර්කට් එකක් ලැබුණු නිසා පසුව එම වැරදි සොයාගැනිම් ස්තීර කිරීමට වංචාසහගත ලෙස තොරතුරු නිෂ්පාදනය කළ කියලා. එම ලිපි අනියමින් හැගෙව්වේ, වර්තමානයේ නිවැරදි ස්ථාන පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතත්, කලාපයේ සියළු රටවලට මුහුණ දිමට සිඳවන මතබේදකාරී ආගමික ගැටළු අවමකිරීමට සහ ඉංදියාවට බෞද්ධ සංචාරකයන්ගේන් ලැබෙන විශාල ආදායම සලකා තොරතුරු එළි දරවු නොකිරීමේ දේශපාලන තීරණයකට එළබී ඇති බවක්. මෙය සංවාදයට ලක්වී ඇති කරුණක්ද? සත්‍යතාව කෙබඳුද?

      Delete
    3. ඇණයා @ ඔබ අපූරු ප්‍රශ්න අසනවා. මා කැමතියි ඒකට. එහෙම වුනාමයි වක්කඩ කැඩුව වගෙ මගෙන් බොහොමයක් දේ එළියට එන්නෙ. හෙහ් හෙහ් .
      බුද්ධ චරිතයට සම්බන්ධ තැන් ගැන සැක තියනවා. නමුත් දැන් ඒව දේශපාලන ව්‍යාපෘති . ඒක හරි.
      නමුත් ඔය වගෙ දේවල් සතුටුදායක තර්ක මගින් ඔප්පු කරන්නත් බෑ. අන්තිමට ආරියසේන ක්‍රමයට තර්ක කරන්න වෙන්නෙ.
      ශක්‍ර දෙවිය කියන්නෙ පර්සියාවෙ ඩේරියස් කියන එක සිත්ගන්නා සුළු ලෙස විග්‍රහ කළත් අන්තිමට ආරියසේන ක්‍රමයනෙ මතු වෙන්නෙ.

      කමක් නෑ මාත් යමක් එකතු කරන්නම්කො. ඔය සැක්කර කතාව සැක්කර දෙයියන්ගෙ සදෙව් ලොව ගැණ කතා ,සුර අසුර යුද්ධ ගැන ලස්සන කතා තියනව. බුද්ධ සංකල්ප ඉන්දියාවට ඒම පිටුපස නම් පර්සියානු සම්බන්ධයක් තියනව කියල මට පොඩි විචිකිච්චාවක් තියනව. බ්‍රහ්මය කෙරුව සැක්කාර් දෙයිය කෙරුව කියල අපි පොඩිකාලෙ අහපු කතා සොරවැස්ටර් ධර්මයෙ එන කතා.

      සමහරවිට පර්සියාවෙ අහුරමස්දා සංකල්පය ඉන්දියාවෙදි බුද්ධ වුනාද දන්නෙ නෑ

      Delete
    4. දන්නවද? අතුරු මිතුරු දඹදිව තුරු කවිය /සෙල්ලමටත් පර්සියන් ආභාශයක් තිබිය හැකිබව? මට ඔක්කොම මතක නෑ. නෙවිල් ලියල තියනව
      අහුරා මැස්ඩා (මිත්‍රා ) .. අතුරු මිතුරු
      ඉන්දියාවෙන් ආපු හෙට්ටි හෝ පර්සියන් වෙලෙන්දෙක් ගැන.
      ආයිත් කියවන්න ඕනෙ

      Delete
    5. දිර්ඝ අදහසකට වෙලාව මඳි මධ්‍යස්ථ.නැතිනම් ප්‍රාග් භාරතීය ආගමික සංකල්ප පිළිබද කරුනු කිහිපයක් විස්තරාත්මකව සඳහන් කරන්න තිබුනා.

      භාරතිය ආගමික ඉතිහාසය ගැන කෙටියෙන් යමක් සදහන් කලොත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් පසු ආර්ය සංක්‍රමණ සමග ඉන්දියාවට පැමිනි නොයෙක් ආගමික ඇදහිලි වෛදික යුගයේදි දකින්නට ලැබෙනවා.ඔවුන් ආර්යන් යනුවෙන් හැඳින්වුවත් මෙම පිරිස සංචාරක ජීවිත ගතකල සංක්‍රමණිකයන්.ඉන්දියාවට එන්න පෙර කිර්ඝිස් තෘණභූමී ප්‍රදේශ ආශ්‍රිතව ඔවුන් දීර්ඝ කාලයක් වාසය කර තිබෙනවා.එහිදි විවිධ ඇදහිලි ආගමික සංකල්ප නිර්මාණය වෙනවා.කිර්ඝිස් ප්‍රෙදේශයේ ජනගහනය වැඩිවීමත් සමග ඔවුන් කණ්ඩායම් වශයෙන් බෙදෙමින් විවිධ ප්‍රදේශ වලට සංක්‍රමණය වෙනවා.පිරිසක් පර්සියාවටත් යනවා.තව පිරිසක් වර්ථමාන බටහිර රටවල් පිහිටි ප්‍රදේශවලට සංක්‍රමණය වෙනවා.ඉරානයටයි ඉන්දියාවටයි තවත් පිරිසක් බෙදිලා යනවා.ඉන්දියාවට පැමිනි පිරිස් එහි ස්ථාවරව පදිංචි වෙන්නේ වර්ථමාන පංජාබ් ප්රදේශයේ.එහිදි වෛදික ආගමික සංකල්ප බිහිවෙනවා.පෙර ඔවුන් තුල පැවැති ආගමික සංකල්පත් වගේම ඒ වනවිට ඉන්දියාවේ පැවති ආගමික සංකල්පත් මිශ්‍ර වෙමින් ස්වභාවධර්මයේ ක්‍රියාකරකම්ද මුල් කරගනිමින් නව්‍යමය ආගමික සංකල්ප බිහිවෙන්නේ මෙහිදි.එදා සෘත සංකල්පය පසුකාලීන කර්ම සංකල්පය බවට පත්වෙනවා.එදා පවුකාරයන් ඇදගෙන වැටුන මෘන්මය ගෘහය පසුකාලීනව ආපය බවට පත්වෙනවා.මේ වගේ තව බොහෝ දේ තිබෙනවා.දීර්ඝ වැඩි නිසා ඒ කරුනු පෝස්ට් එකකින්ම දාන්නත් අදහසක් තිබෙනවා.

      Delete
    6. මනෝ ඔබ කියන කතා ඇත්තයි.ඉන්දියාවේ යුරෝපයේ හා මැදපෙරදිග ආර්යයන් එකම ආගමක් ඇදහූ එකම ජනකොටසක්. මිසරයන් හා ආර්යයන් අතර ගිවිසුමක ඉන්ද්‍ර වරුන් නාසත්‍ය යන දෙවිවරු ගැන සදහන්ව තිබෙනවා. යුරෝපීය භාෂාවල ඇති සාම්‍යයත් හරිම සිත් ගන්නා සුළුයි. පෝස්ට් එකක් දාන්න. අපට එතනත් මේව කතා කරන්න පුලුවන්. මේ ලිපියෙන් මතුවුන මීට සම්බන්ධ අතුරු මාතෘකාවක් අලලා මාත් පෝස්ට් එකක් දාන්නම්.

      මිත්‍ර දෙවියා මිත්‍රාස් වී ක්‍රි: ව 5 වෙනි සියවස දක්වාම ආවා. මේ දේව කතන්දර හරිම රසවත් .කියවන අයත් රස විදීවි. සියළුම ආගම් එකම මූලයකින් මතුවී පරිනාමය වූ බවයි මට සිතෙන්නෙ

      ඒක නෙවෙයි අර මෛත්‍රී මූර්ති නම් කරගෙන තියෙන්නෙ ලෝක අපරාධයක් නේද. ආගම් ගැන තුලනාත්මකව පොත් ලියල නතරවුනේ භක්තිවාදී ආගමක ප්‍රකාශනයක සංස්කාරකයෙක් වෙලා. කොන්ත බෙරලියන්තු විකුනන මනිබඩුකාරයෙක් වෙලා. මූර්තිගෙ පොත් කියවල ඔහු ගැන යෝධ ප්‍රතිරූපයක් මවාගෙන හිටපු මට අනේ අනිච්චන් කියල හිතුන.

      Delete
  11. ඒකනම් ඇත්ත මධ්‍යස්ථ.මිත්‍යාවේ කඩතුරාව බිඳදමමින් සමාජය දැනුවත් කරන්න පොත් ලියපු මූර්ති අනිත්මට එවනි දෙයකට දායක වුනේ මුදලට යට වෙලාද කියලත් හිතුනා.

    ReplyDelete
    Replies
    1. මුදල් සඳහානම් මෙච්චර දෙයක් කරගනියිද
      මට නම් වෙන දෙයකුයි හිතෙන්නෙ

      Delete
  12. යකාගේ මේ ලිපිය බොහෝම විශාල මාතෘකාවක් ආවරණය කරන ලිපියක්. ඒ වගේම ඒක යටතේ කථාවට භාජනය වෙලා තියෙන කාරනාත් හුඟාක් පුළුල්.
    මේකට යමක් ලියනවානම් පොතක් විතර ලියන්න පුළුවන් මට හිතෙන හැටියට.
    කොහොම වුනත් බුදු දහම ආශ්‍රිතව අප අසා ඇති කථා ආදියත් මැදපෙරදිග සම්බවයක් ඇති දේ බව කීම බොහෝම පරිස්සමින් විග්‍රහ කල යුතු දෙයක්. මෙතැනදී බුදු දහමේ හරය බුදු දහම වටා ඇති ආටෝප වලින් මුදා ගෙන විමසීම බොහෝම වැදගත් වෙනවා. සක්‍රයා හා භ්‍රහ්මයා ගැන කියවෙන දේවල් බොහෝවිට සූත්‍ර ධර්මයන්ට ඇතුලත් නැති කාරනා කා කථාව විය හැකියි. එහෙත් සූත්‍ර පිටකයෙහි ජාතක පාලියෙහි එන කථා ඊට වෙනස්. ඒවා විමසීම මතුපිටින් හිතෙන හිතෙන ආකාරයට ගැනීම නම් වරදක් විය හැකියි.
    මේවා ගැන කියනවානම් බොහෝම ගැඹුරින් හා සවිස්තරාත්මකවම විමසිය යුතු නිසා වැඩි දුරට මම කියන්න යන්නේ නැහැ.
    මගේ ප්‍රථිචාරය කියවූ කෙනෙකු මම අපායේ යන්නට බයේ බුදු දහම අදහන මල් පහන් පුදන්නෙකු ලෙස සිතීමට ඉඩ තියෙන වගනම් මම දන්නවා.

    ReplyDelete
    Replies
    1. මැදපෙරදිගින් ආව කිව්වෙ වැඩිපුරම ඔය සාහිත්‍යයෙ තියන දේවල්. බ්‍රහ්ම, පර්සියානු අහුරමස්දා සහ චීන ටා ඕ වගෙ සංකල්ප එකිනෙක කිට්ටුවෙන් යන්න ඇති. මේ අය එකම කාලෙක පහල වෙලා තියෙන්නෙ.
      අපි ඉදිරි ලිපිවලත් කතා කරමු මේව ගැන

      Delete