Tuesday, September 8, 2015

ඇයි බං අපට මෙහෙමවෙලා තියෙන්නෙ

මේ මාතෘකාව මම මීට පෙරත් කොමෙන්ට් වල කතා කර තිබෙන එකකි.එනම් අපේ පැරණි ශ්‍රී විභූතිය ගැනයි.මෙම ශ්‍රී විභූති කාරනය කලක් මාද විශ්වාස කළෙමි. ඉතිහාස විශය මගේ ප්‍රියතම විශයක් වුනේ මෙම විශ්වාසය නිසයි.

ආර්යයන්ගේ ආගමනයට පෙර යුගයෙන්ම ආරම්භ කරමු.යක්ෂ ගෝත්‍රිකයන් යනු මාතෘමූලික ජනවර්ගයකි. ඔවුහු රට මැදට වන්නට ජීවත් වූහ. දිවයිනේ බහුතරය වූ ඔවුන් වෙළදාම්වල නියැලුනත් රටේම බලය පවත්වාගෙන නොගියහ. නාග ගෝත්‍රිකයෝ වෙරළබඩ වෙළද රාජ්‍ය පවත්වාගෙන ගියහ. දුටු ගැමුණු යුගයේ පවා ඔවුහු බලවත් වූහ. දුටුගැමුණු රජු මියගියේද  නාගවිසෙන්ය කියා තිබේ.දුටුගැමුණු යුගය වනතුරුම නාගයන් මහා සමාජයට අනුකලනය වී නොසිටියහ.එකලද ලංකාව වෙළද මධ්‍යස්ථානයක් වන්නට ඇත.

යක්ෂ ගෝත්‍රිකයන් මෙරට ස්වාධීන ශිෂ්ටාචාරයක් ප්‍රවර්ධනය කළා කියා වරදවා නොසිතන්න.මෙරට යක්ෂ ගෝත්‍රිකයන්  යනු මැද පෙරදිග සිට නැගෙනහිර හා දකුණු ඉන්දියාව තෙක් විහිදුන අනාර්ය ශිෂ්ටාචාරයේ එක් කොටසක් පමනි.

අනාර්යයන්ගේ සභ්‍යත්වය නාගරික විය. ආර්යන් ගැමියෝද එඩේරුද වූහ.අනාරියන් ඊජිප්තුවේ සිට ඉන්දියාව තෙක් සිය අණසක විහිදුවාගෙන සිටි අතර සෙමිටික් වරු හා ආර්යයන් එය වරින් වර බිද දැමූහ.ඉතියෝපියානු භාෂාවල හා අප්‍රිකානු භාෂාවල හා ඇදහිලිවල පුදුම එලවන සුළු සමානකම් ඇත.මානව රූපාකෘති අතින් ද සමානකම් ඇත.

යක්ශ ගෝත්‍රිකයන්ගේ ශිෂ්ටාචාරය ඉන්දියාව හා ඊට එපිටින් පැවති අනාර්ය මහා සභ්‍යැත්වයක නෂ්ටාවශේෂයකි. ඒ ගැන වෙනම කතා කළ යුතුය. මෙහි විශිෂ්ට ආදර්ශයන් තිබුනේ ඉන්දු නිම්නයේය. මොහෙන්ජොදාරෝ හරප්පා සභ්‍යතවයේම කොටසක් ලෙස යක්ෂ රාජධානිය තිබූ බවත් පසු කලෙක ආ එළාර ,සේන ගුත්තික වැන්නන්ද ද්‍රවිඩයන් නොව වෙනත් අනාර්ය සභ්‍යත්වයකට අයත් අය බව සිතිය හැක. එළාරද දුටුගැමුණු මෙනම් මෙරට රාජවංශයට මුහු වූ උරුමකරුවෙකි.

ආර්ය සභ්‍යත්වය වැළැද ගැනීමට පෙර ඉන්දියානු අනාර්යයන් හා ලාංකික අනාර්යයන් එකිනෙකාගෙන් භාෂාවෙන් හෝ ඇදහිල්ලෙන් වෙනස් නොවීය.උතුරු ඉන්දියානු සභ්‍යත්වය වැළැදගත් පිරිස සිංහල වූ අතර එසේ නොවූ අය ද්‍රවිඩ විය.දකුණු ඉන්දියාවේ දවිඩ ජනකොටස් ස්වාධීනව සිය සංස්කෘතිය ගොඩ නගන්නේද උතුරු ඉන්දියානු බලපෑම් අවම කර ගනිමිනි. එහිදී උපස්ථම්භක වුනේ මුස්ලිම් ආක්‍රමනයි. මුස්ලිම්වරු ඉන්දියාවට නො ආවා නම් ද්‍රවිඩයන් ඉන්දියානු සමාජයේ ජාතියක් නොවී කුලයක් වන්නාට් ඉඩ තිබිනි.නොදන්නා බසක් කතා කළැ තොල් පළල් ලිංග පූජා කරන්නවුන් ශුද්‍රයන් ලෙස හංවඩු ගසා ඒකීය ඉන්දියානු සමාජයට අනුකලනය කරගැනීමට ඉන්ද්‍ර වරුණ වැනි එඩේර ආර්යයන්ගේ උත්සාහය සියවස් කිහිපයකින් පසු අඩාල වුනේ මුස්ලිම් ආක්‍රමන නිසාය. එසේ නොවන්නට අද අප දකින ඉන්දියාවට වඩා හාත්පසින්ම වෙනස් ඉන්දියාවක් ඇතිවනු ඇත.

දැන් අපි හොඳින් දන්නා ඉන්දියානුකෘත යුගයට එමු. ඉන් පසුවද ඇත්තටම අපට සෙස්සන්ට නැති මහානර්ඝ ඉතිහාසයක් වීද. මගේ මතය නම් අපට ආඩම්බර විය හැකි ඉතිහාසයක් නැති බවයි.පශ්චාත් ලිඛිත ඉතිහාසයේද සැක සහිත තැන් ඇත.උදාහරනයකට පඩුවස්නුවර සිදුවීම් වලට අදාල පුරාවස්තු ලෙස අප සිතා සිටි ඒවා ඊට පසුකලෙක පරාක්‍රමබා යුගයේ බව හෙළිවී ඇත. දුටු ගැමුණුට පෙර ඉතිහාසය ජනකතාවක් වැනිය.සෙසු ලෝකයේ හැම රටකම තිබූ පරිදි අපටද රාජාණ්ඩුවක් විය. එහි වරදක් නැත.රාජාණ්ඩුව නැතිවුනේ අහම්බෙනි.රජවරු අපට එපා වී තිබුනේ නැත. අපට ඕනෑ වුනේ හොඳ රජෙකි.ශ්‍රී වික්‍රම නරක වූ නිසා එංගලන්තයේ ජෝජ් මෙහි ඇවිත් රජකරතැයි අපේ ටිකිරි මොළවලට හිතුනි.එම අලකලංචි අවසානයේ අපට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ලැබිණි.

ඉතිහාසය ලෙස අප ඉගෙන ගන්නෙ හැම එකාම අපට ගුටි දී ගිය කතා වස්තුවකුයි. හරි හෝ වැරදි වේවා මහා පරාක්‍රමබාහු විදේශ දේශපාලනයට මැදිහත් විය.

අපට සමාන ලිඛිත ඉතිහාසයක් තිබූ වෙනත් රාජ්‍ය තමන්ගේම කියා දැණුම් පද්ධතියක් , ශිල්ප ක්‍රම, හා සිය සභ්‍යත්වය අනුන්ට පැටවීමට තරම් විභව ශක්තියක් තිබූහ. මෙහිදී පර්සියාව හා චීනය උදාහරණයට ගනිමි. එහෙත් යකඩ භාවිතය ,රෙදි විවීම හා අශ්වයන් හීලෑ කළ යක්ෂ ගෝත්‍රිකයන් ගේ සභ්‍යත්වය ඉන්දියානුකරනය වූ පසු ඉතිහාසය සම්පූර්නයෙන්ම ඉන්දියානු කොපියකි. මුස්ලිම්වරු ඉන්දියාවට එනතුරුම උතුරු ඉන්දියාවේ කාබන් කොපියක් වූ ලන්කාව ඉන්පසු දකුණු ඉන්දියාවේ කාබන් කොපියක් විය.

අගනුවර කේන්ද්‍ර කරගත් මහා සංස්කෘතිය තුල සිටි විදේශශිල්පීන් ජල සම්පාදන හා ප්‍රතිමා කලාවේ යෙදුනි. මෙරටට ශිල්ප ශ්‍රේණි ඉන්දියාවෙන් ආ බව කීමෙන්ම මෙරට තිබූ ශිල්ප අහේනිය පෙනේ.ඉන්දියානු වෙදකම, ඉන්දියානු සංගීතය ,ඉන්දියානු වාරි ක්‍රම මෙරට ආනයනය කර කලෙකින් දෙශීය ලෙස රෙජිස්ටර් කිරීම සම්ප්‍රදාය විය.

අනුන් මත යැපෙන්නෙ බැරි එකාය.බුද්ධඝෝෂ පැමිණ සිංහල අටුවා ගිනිතබා බුදුබණ පාලියට නැගූ පසු සිංහල අටුවා වල මොනවා තිබුනාද කියා දැනගන්නට ක්‍රමයක්ද නැත. අභයගිරිය විනාශ කළ මහාවිහාරවාසීන් විනාශ කළේ අබයගිරි මතවාදය පමණක් නොවේ.ඉතිහාසය ගැන විකල්ප මතයක්ද වසන් කළහ.විජය ප්‍රවාදයට වෙනස් කතාවක් අභයගිරි ඉතිහාසයේ තිබූ බව කියවේ.ඉන්දියන් කිව්වොත් පෙරලි පෙරලි වදින ගතියක් එදා විය. අප සිංහල යැ‍යි සිතන අනුරාධපුර යුගයේ නම් ගම් ඇත්තෙන්ම උතුරු ඉන්දියන් ඒවායි.

ඒ අනුව අනාදිමත් කාලයක සිට අප අනුන්ගේ කාබන් කොපි ලෙස පැවති බවයි. මෙය හීනමානයක් ඇතිකරවන කතාවක් වුවද ඇත්ත කතාව ඒකය.මෙවන් පසුබිමක ලොවෙන් අඩක් පාලනය කළ රාවණා කතා නිකම්ම විහිළු පමණි.

අපට ඊනියා ස්වාධීනත්වයක් තිබූ බව කියන අනුරාධපුරයේ තතු එසේය. අනුරාධපුරයේ විදේශ හමුදා ,විදේශ ශිල්පීන් සිටි  අතර ඊට එපිටින් අල්පේච්ඡ චූල සංස්කෘතියක් විය. ජනතාවට අවශ්‍ය වුනේ ආහාර නිෂ්පාදනයට ජලයත් සාසනික කටයුතුත් පමණි.රජු සැපවිදිමින් විශාල වෙහෙර විහාර කරවමින් සිටි අතර මේවා ජනතාවගේ අමන්දානන්දයට හේතුවිය.මෙම අල්පේච්ඡත්වය අපේ දුප්පත්කමද විය. නලින් ද සිල්වා ඔහුගේ කෘතියක අයින්සටයින් අනුරාධපුරයේ සිටියානම් කුමක් කරයිද කියා අසයි. ඔහුම පිළිතුරක් දෙමින් දැණුම සංස්කෘතිය සාපේක්ෂ නිසා අයින්සටයින් වියුක්ත දැනුමක් නිරමාණය නොකරනු ඇතැයි කියයි. කතාව ඇත්තය.අලුත් නිර්මානයක් කළ එකා මරන රජෙක් සිටි නිසා කිසිවෙක් දුරට සිතන්නේ නැත. කල ශිපීන් පවා නිර්මාණැය කර අවසන් වූ පසු මැරීම හෝ ඇස් අන්ධ කිරීම සිදුකර ඇත.එසේම ගුරු මුෂ්ටි සහිතව ටික ටික අඩුවෙමින් පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආ දැණුම අවසානයේ නැත්තටම් නැතිවේ.

පුතුන්ට හා ගෝලයන්ට වටිනාම දැනුම නොදී ගුරු මුෂ්ටි ලෙස තබා මිය ගිය අධම කුහකයන් බටහිර ශස්ත්‍රඥයන් හා සසදන විට අහසට පොලව මෙනි.

පොලොන්නරු යුගය වන විට අගනුවර බලවත් වුනේ දෙමළ ,කේරළ ,පාන්ඩ්‍ය හමුදාය. පරාක්‍රමබාහුගේ යුද්ධ මෙහෙයවූ සෙනවියන් ද්‍රවිඩයන් ය. දමිලාධිකාරී නම් සෙනෙවියා යටතේ දමිළ හමුදාව විදේශ යුද්ධ මෙහෙයවීය.ඉන්පසු දඹදෙනි කුරුණෑගල යාපහු යුගයන් වනවිටද මෙය වර්ධනය වූවා මිස අඩු නොවීය.කුරුණෑගල යුගයේදී රජවරු මාරුකිරීමට රාජ්පුත් හමුදාද සහභාගිවී ඇත. කුරුණෑග ගම්පොල යාපහු යුගවල අන්ධ සේනාපති ( ආන්ද්‍ර ප්‍රදේශ් ) ,වග සෙනවි ( බෙංගාලය )මල්ලයන් ,චාලුඛ්‍යයන්,කේරළයන් ,කාලිංගයන් ( ඔරිස්සා ) ලංකාවේ රාජ්‍ය කටයුතුවලට හමුදා සහිතව මැදිහත්වී ඇත. මෙය පුදුමය දනවයි.

14 සහ 15 සියවස් වන විය කෝට්ටේ රජුගේ බලය බටහිර මුහුදු සීමාවේවත් නොතිබිණි.ඇත්තෙන්ම රටේ නියම පාලකයන් වුනේ වෙළද පවුලක් වූ අලකේශවරයන් විසිනි. රජවංශය නාමිකව සිටියහ. ( ඇත්තෙන්ම පොලොන්නරුවෙන් පසු රාජවංශය අවසන් වෙයි .කාලිංඝ මාඝ සියළු කුල මිශ්‍ර කර සමාජ විපර්යාසයක් කළේය. එනිසා වර්තමාන සමාජ සංවිධානයෙහි මූලය දඹදෙනි යුගය තෙක් දිවේ.පොලොන්නරුව බිද වැටීමෙන් පසු දඹදෙනි රාජවංශය පිහිටෙව්වේ ප්‍රාදේශීය රදලයෙකි.අනුරාධපුරයේද මෙවැනි කැඩීම් දැකිය හැකිවුනත් මෙය ඉතා පැහැදිලි ඛන්ඩනයකි.

අලකේශවර හා සෙසු විදේශ බලයන් දුර්වල වී හයවන පරාක්‍රමබාහු වන විට පිරිසඉදු සිංහල රාජවංශයක් විය. එය සාපේක්ෂ තත්වයකි. එහෙත් ඊට හේතුව මේ වනවිට මුළු ඉන්දියාවම මුස්ලිම් ආධිපත්‍යට නමුතු වී තිබීමය. එයින් බේරුන මලබාරය හා දකුණු ඉන්දියාවේ දෙමළැ රාජ්‍ය තිබිණි. හයවන පරාක්‍රමබාහුගෙන් පසු යුගය සෙසු ඉන්දියානු බලවේගවලින් මිදුනත් එය සම්පූර්නයෙන්ම දෙම ආධිපත්‍යට නතුවී තිබිණි.

පෘතිගීසීන් පැමිනියේ මෙසේ ද්‍රවිඩකරනය වූ රාජ්‍යකටය. 
ඉන්දියාවේ අවසාන ද්‍රවිඩ රාජ්ය වූ විජයනගර් අධිරාජ්‍ය බිද වැටෙන යුගයේම පෘතිගීසීන් ආවේ නැතිනම් ඒ රැල්ල පෝක් සමුද්‍ර සංධිය තරණය කර ලංකාවට එන බව නිසැකය.මෙය ලියන මා ද්‍රවිඩයකු වීම වැළැකුනේ විජයනගර් අධිරාජ්‍ය බිදවැටුන නිසාය.විජයනගර් අධිරාජ්‍ය බිදවැටුනේ මුස්ලිම් ආක්‍රමන නිසාය.මා මුස්ලිම්වරයෙකු වීම වැළකුනේ පෘතුගීසීන් ලංකාවට ආ නිසාය. පෘතිගීසීන් පිටුපස ආ ප්‍රංශ හා බ්‍රිතාන්‍ය  වෙළෙන්දන් ඉන්දියාවේ තිබූ මුස්ලිම් අධිරාජ්‍යද සම්පූර්නයෙන්ම අතුගා දැමූහ.එය අවසන් වුනේ පමු ලෝක යුද්ධයෙනි. එහිදී තුර්කි ඔටෝමන් වරු සම්පූර්නයෙන්ම පරාජය කර තුර්කියටම සීමා කෙරුණි.ද්‍රවිඩ බාධකය නිසා පට තුර්කි හෝ පර්සියන් බලපෑමක් ආවේම නැත. එසේ ආවානම් අපේ භාෂාවද බරපතලම වෙනස්කම්වලට ලක් වන්නට ඉඩ තිබිණි.

දීර්ඝ ඉතිහාසයන් තිබූ ලොව සැම රටක්ම සිය ශිෂ්ටාචාරය ව්‍යාප්ත කිරීමට උත්සාහ කළත් ලංකාවේ අපි දූපතෙන් පිටට කිසිම කර්ත්‍යයක් නොකළ තරම්ය. අපේ සියළුම චින්තනය දූපත තුලම සිරවිය.අපගේ සමස්ත ව්‍යායාමය ආත්මාරක්ෂාව සදහාම විය.

බ්‍රිතාන්‍ය යුගයේ සිංහලයන් හමුදා පුහුණුවට බදවාගත් විට ඔවුහු බියේ පලා ගොස් සැගවුන බව ඔවුන් සටහන් කර ඇත. මෙය ලැජ්ජාවකි. එහෙත් පළමු ලෝක යුද්ධය වන විට ලාංකිකයන් යුද්ධයට ගියහ.එහෙත් ඔවුහු ද බොහෝ විට කර තිබුනේ බඩු උස්සාගෙන යාම වැනි ඒවායි. ගුර්කා ,පන්ජාබ් වාර්ගිකයන් මෙන් වීරත්වයක් පෙන්වාද නැත.

අපගේ රාජ්‍ය තාන්ත්‍රික පිලිගැනීමේ තරම කියාපාන කතාවක් එයි. උඩරට රජපවුල සූර්ය වංශයෙන් පැවත එන නිසා ඉන්දියාවේ සූර්ය වංශික කුමාරියක් සොයා දූතයන් ගියේ දකුණු ඉන්දියානු රජමාලිගයකටය. මොවුහු ක්ෂත්‍රියයෝ නොව ශ්ද්‍රයෝය.එහිදී නායක්කාර් ප්‍රධානියා ( මට මතක හැටියට තිරුමල ) මෙසේ කීවේය. තොපත් අපත් අතර කවදානම් හිර ගනුදෙනු සිදුවී ඇද්ද .තොප බියක් සැකක් නැතිව ආ හැටි. කියා නිග්‍රහ කළහ. ඉන්පසු දුප්පත් නායක්වරයෙක් රහසිගත තැනකට නුවර දූතයන් කැදවා ගෙන ගොස් සිය දියණියන් පාවා දී ඇත. උපායශීලී වූ මොහු ගේ පුතුන් හා බෑණා වරුන් ශ්‍රී විජය කීර්ති ශ්‍රී ආදී වශයෙන් පසුව රජ වූහ.

අප මෙතරම් පීචන් වී ඇත්තේ මන්ද කියා මට සිතුන වාර අනන්තය.මට හිතෙන්නේ අප දැනුම සහ බලය අතින් ශක්තිමත් නොවී  පසුගාමී වී ඇති බවයි.එයයි හේතුව. එය අපගේ නොහැකියාවක්ද. අපගේ වෙළද සන්නාමයන් දූපතෙන් එහාට නොයන්නේ මන්ද .යුදෙව්වො වගෙ අපේ මිනිස්සු වැඩ්ඩො නොවන්නෙ ඇයි.නලින් කියන ලෙස වියුක්ත ව සිතන්න අපට බැරිකම නම් නොවේ.මොකක් හරි අපට බැරි බැරියාවක් නම් ඇති බව මට සිතේ.

කරුණු මෙසේ හෙයින් අප මුලින්ම අපේ සැබෑ තත්වය තේරුම් ගෙන අපේ සාර්ථකත්වය රදා පවතිනුයේ සෙස්සන් සමග ගැටීමෙන් නොව සෙස්සන් සමග මුහුවීමෙන් බව තේරුම් ගත යුතුය.ඇගිල්ලෙ තරමට ඉදිමිය යුතුය. රවණා කතා බටහිර විරෝධය ,ඉන්දියන් විරෝධය ,චීන විරෝධය වැනි දේවල් අවශ්‍ය නැත.එසේම දකුණු කොරියාව ,සිංගප්පූරුව, තායිවානය, හොංකොන් ,ඩුබායි වැනි දූපත් රාජ්‍ය අවබෝධකරගත් ක්‍රමවේදය අපටද සුදුසු බව සිතමි.අපගේ මහද්වීපික මානසිකත්වය අපට ටිකක් තරමට වඩා වැඩි බව පෙනේ.


43 comments:

  1. ඇයි බුදු හමුදුරුවොත් ඉපදුනේ ලංකාවේ කියල කියනවා නේද? .. අද බිසී.. මේක ගැන තව ටිකක් කතා කරන්නොනේ.. බලමු අනිත් උනුත් කියන ඒවා..

    ReplyDelete
    Replies
    1. ඔය හැම දෙයක්ම හීනමානය නිසයි එන්නෙ.වංසෙ කබල් ගාන්නෙ බැරි එකානෙ. පිනාගෙ තමයි කටේ සවුදම වැඩි.

      Delete
  2. සංවාදයක් ගොඩනගන්න තරම් ලොකු කමෙන්ටුවක් දාන්න දැනුමක් මට නෑ...ඒත් ලිපිය කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. හුඟක් සීරියස් ගන්න එපා බන්. මේව මහලොකු දේවල් නෙමේ. ඇත්තෙන්ම ඉතිහාසය කියන්නෙ කලා විශයන් අතර තිබෙන අතුරුපසක් වගෙ එකක්.ආර්ථික විද්‍යාව,තර්ක ශාස්ත්‍රය,සංඛ්‍යානය ,දර්ශනය වගෙ විශයන්වල හිතන්න දෙයක් තර්ක කරන්න දෙයක් තියනව. ඉතිහාසය කියන්නෙ නිකම්ම ගිරව දැමීමක්.පුරා විද්‍යාව කියන්නෙ විද්‍යාවක්. පුරා විද්‍යාවෙ ආලෝකයෙන් තම්යි ඉතිහාස අන්ධයා පාර හොයා ගන්නෙ.අපිත් මේ විවේක වෙලාවට කියවල ලබා ගත්ත දැනුම .

      Delete
    2. @ මධ්‍යස්ථ මතධාරියා

      ඉතිහාසය ගිරවා දැමීමක් කියලා ඔබ කියන්නේ වර්තමානයේ එය හදාරන ක්‍රමය දිහා බලලා. ඒත් ඉතිහාසය හැදෑරීම කියන්නේ ඊට වඩා පුළුල් දෙයක්. ඉතිහාසය ගොඩනැගෙන්නේ මූලාශ්‍රය මත.

      ප්‍රධාන වශයෙන් සාහිත්‍ය සහ පුරාවිද්‍යා මූලාශ්‍රය මත. පුරාවිද්‍යාවේ කටයුතුවලට ආලෝකය දෙන්නෙත් ඉතිහාසය තමා. ඔබ කතා කරන යක්ෂ ශිෂ්ටාචාරය ගැන වුණත් තොරතුරු දෙන්නේ ඉතිහාසයේ තියෙන සාහිත්‍ය මූලාශ්‍රය :)

      Delete
    3. //...පුරා විද්‍යාවෙ ආලෝකයෙන් තම්යි ඉතිහාස අන්ධයා පාර හොයා ගන්නෙ....//

      මේක බොහොම වැරදි ප්‍රකාශයක්. ඉතිහාසය සහ පුරාවිද්‍යාව කියන්නේ රේල් පාරක සමාන්තරව දිවෙන රේල් පීලි දෙකක් වගේ. ඉතිහාසයේ තියෙන දේ තහවුරු කරන්න පුරාවිද්‍යාවෙනුත්, පුරාවිද්‍යාවෙන් හොයාගන්න දේ ගැන වටහාගන්න ඉතිහාසයෙනුත් අන්‍යෝන්‍ය වශයෙන් උදව් ලැබෙන එක තමා වෙන්නේ

      Delete
  3. //ඉන්පසු දුප්පත් නායක්වරයෙක් රහසිගත තැනකට නුවර දූතයන් කැදවා ගෙන ගොස් සිය දියණියන් පාවා දී ඇත. උපායශීලී වූ මොහු ගේ පුතුන් හා බෑණා වරුන් ශ්‍රී විජය කීර්ති ශ්‍රී ආදී වශයෙන් පසුව රජ වූහ.//
    පලමු වතාවට මේ කතාව් ඇහුවෙ. ඒ කියන්නෙ එදා ඉදං මුන් කලේ අපිව ගොනාට අන්දන එක.
    ම.ම පොඩ්ඩක් පැහැදිලි කරපං අපි විදේශ ශිල්පීන් හැම කටයුත්තකටම ගෙනාවනම් ගෙනෙන්න ඇත්තෙ ඉන්දියාවෙන්නෙ , එතකොට කොහොමද ලංකාවෙ වෙනස්ම වාරි තාක්ශනයක් තිබිල තියෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. මචන් ටිකිරි අභයසිංහ මහතාගෙ උඩරට ඉතිහාසය පොත කියවපන් .ඒකෙ මේව සවිස්තරව තියනවා.
      වාරි කර්මාන්තය ගැන අනාදිමත් කාලයක සිට අපට හිමි දැනුම් සම්භාරයක් තියනවා. යකඩ හා රෙදි විවීම ගැනත් එහෙමයි.නමුත් මේ දැනුම මහද්වීපයෙන් වියුක්ත වූවක් නම් නෙමෙයි. මොහෙන්ජොදාරෝ ශිෂ්ටාචාරයෙත් මනා ජලසම්පාදන නාගරිකයක් ගැන කියවෙනවා.
      අප මෙම ශිල්පයන් අනන්‍ය ලෙස වර්ධනය කර නොගත් බවක් කියවෙන්නෙ නෑ.
      සුද්ද අල පෙති ලෙස කෑමට ගෙනා අර්තාපල් වලින් අපේ අම්මලා අල හොද්ද නිර්මානය කළා වගෙ අප යම් යම් දේ අපේ කරගෙන තියනවා.
      මම මේ ලිපියෙ අපි හැමෝටම උඩින්ය ,ලෝක සිතියමේ අනික් පැත්ත හරෝපුවම ලෝකෙම ලංකාවෙ එල්ලිලාය තියෙන්නෙ වගෙ අදහස් වලටත් පහර ගැහුවෙ.

      Delete
  4. සංවාදයකට හොඳ ආරම්භයක් ගෙන එන ලිපියක්. පහුගිය කාලෙ අපේ වාහිනී වල ඉතිහාසය පිළිබඳ පාන්ඩිත්‍යය විහිදුවාපු චක්‍රවර්තිලාත් බැලුවොත් නම් මරු.

    ReplyDelete
    Replies
    1. ඔය චක්‍රවර්තිල ඉතිහාසය විකෘති කරනවා.චක්‍රවර්ති නම් ඉන්නෙ රජකාලෙනෙ. චක්‍රවර්තිල විතරක් නෙමේ ඕකට ආපු මාහාචාර්යවරුත් කෙළින්නෙ පට්ට කෙබර.

      Delete
  5. ඉතා දීර්ඝව කතාකලයුතු මාතෘකාවක් මේ තරම් සංක්ෂිප්ත කොට දැක්වීම ගැන බොහොම ස්තුතියි. නමුත් කොටස් කීපයකට කඩා මීට වඩා පුළුල් ලෙස ලියන්නත් තිබුණා.

    අපේ දූපත් මානසිකත්වය අද ඊයේ ඇතිවූ දෙයක් නොවන බවයි මගේ හැඟීම. එය, ගෝත්‍රික මානසිකත්වය නිසා පරම්පරානුගතව පැවතෙන හැඟීමක්. තවත් වසර 50 කට පමණ එහා පැත්තේදී ඔය හැඟීම 90% කින් පමණ අඩුවනු අති. විශේෂයෙන් අන්තර්ජාතික විවාහ ප්‍රතිශතය වැඩිවීම නිසා. නමුත් කුල භේදයෙන් මිදෙන්න බැරි අපි ඒ තත්වයට පත්වීමට වසර 50 ට වඩා වැඩි කාලයක් යන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අපි දීර්ඝව කතා කරමු. මෙය හොඳ මාතෘකාවක්. නිදහස්ව මධ්‍යස්ථව සිතනකොට නියම දේ පේනවා.අපි එකිනෙකාගේ දැනුමෙන් ආලෝකය ලබා ගනිමු.මගේ අරමුණ බ්ලොග් අවකාශය තුල බුද්ධි කලම්බනයක් ඇති කරන්නයි.වෙනත් මාධ්‍ය වගෙ නෙමේනෙ. නිදහස් එකක්නෙ.

      මට නම් හිතෙන්නෙ කුලබේද නැතිවෙන්නෙ එච්චර කල් යන එකක් නෑ. ඉදිරි දශක දෙක තුන තුල කුල බේද ජාති බේද ආගම් බේද නැත්තටම නැතිවේවි. ඒ තාක්ෂනයට පින්සිදු වෙන්නයි.
      පස්සෙ කාලෙක අනාගත මානවයන්ට මේව හිනාවට කාරනා වේවි.

      Delete
    2. කුල භේද වලට මොකක් වෙයිද කියන එක ගැන මගෙනම් තියෙන්නේ ටිකක් වෙනස් අදහසක්. ලංකාවේ (සිංහල සහ දෙමළ ගොඩවල් දෙකේම) කුල පදනම් වෙලා තියෙන්නේ රැකියාව මතයි. ඉන්දියාවේ ක්‍රමයටම නෙමෙයි. රැකියා පරම්පරාවට යන එක වෙනත් ශිෂ්ඨාචාර වලටත් පොදු දෙයක්. දැන් අපි ඉංග්‍රීසි සංස්කෘතිය ගත්තොත් අපිට හමුවෙනවා Farmer, Smith, Cook, Taylor, Butcher, Baker වගේ වාසගම්. මේ වාසගම් තියෙන්නේ අදාල වෘත්තීන් පරම්පරාව සමඟ ඉදිරියට ගිය නිසා. ඒත් ඒ රටවල කුල භේදයක් නැහැ. ලංකාවේදී කුල භේදය හැදෙන්නේ රැකියා එක්ක සම්බන්ධ වුනු ධුරාවලියක් සමඟයි. මේකට මුල සමහර රැකියා උසස් සමහර ඒවා පහත් කියා සිතීමයි. බටහිර රටවල මේ සිතීම නැහැ. ඒ රටවල රැකියාව මත පුද්ගලයෙක් උසස් හෝ පහත් වෙන්නේ නැහැ. රැකියා සහ පරණ කුල සමඟ තිබුණු සම්බන්ධතාවය දැන් බිඳිලා. ඒ නිසා පරණ කුල තව ටික කාලයකින් (ඔබ දෙදෙනාම කියනව වගේ) නැති වෙලා යයි. ඒත් මේ කුල භේදයට මුල්වුන මූලික කරුණ එහෙම්මම තියෙන නිසා පරණ කුල වෙනුවට අළුත් කුල ඇතිවෙනවා. පොඩ්ඩක් හිතල බලන්න. දේශපාලක කුලය, ව්‍යාපාරික කුලය, ආරක්ෂක හමුදා කුලය (ඒකෙත් නිලධාරී කුලය සහ සාමාන්‍ය සෙබල කුලය), විධායක නිලධාරී කුලය, වෘත්තීය කුලය (දොස්තර/ ඉංජිනේරු/ ගණකාධිකාරී/ නීතිඥ), වෙළඳ කලාප කුලය, ප්‍රයිවෙට් බස්/ ත්‍රීවීල් කුලය, ගුරු/ලිපිකරු කුලය. ඕව තමයි අළුත් කුල. සමහර ඒවා ඉහළයි. අනිත්වා පහළයි. ඉස්සර වගේම ආවාහ-විවාහ වෙද්දී අර පරණ කුල බේද ප්‍රතික්ෂේප කරන අයත් මේ අළුත් ඒවා බදාගන්නවා. කුලෙන් පිට අයත් එක්ක අඩුගානේ එකට බොනවද? මටනම් හිතෙන්නේ මේ යන විදිහට පරණ කුලබේද වෙනස් විදිහකට මතු වෙන එකයි වෙන්නේ කියලා.

      Delete
  6. ඉතාමත්ම වටිනා සංවාදාත්මක ලිපියක්. ඇත්තටම අපි හදාරන්නේ අපේ නියම ඉතිහාසයද කියන එකත් ගැටලුවක් වෙලා. විවිධ මත විවිධ තර්ක එක්ක අපි අතරමං වෙලා. කෙසේ නමුත් අතීත ජානමය ලක්ෂණත් එක්ක ඉතිහාසයත් ගලපා ගත්තාම ඇයි අපට මෙහෙම වුණේ යන්න ඉතාමත් පැහැදිලියි. ස්තුතියි මේ වටිනා සංවාදාත්මක සටහනට.

    ReplyDelete
    Replies
    1. අපේ මුතුන් මිත්තන් කිසිම අකාරයකින් පොරවල් වුනේ නෑ. ඒක පෙරාපු ඇත්ත.
      කාබන් කාල නිර්නයන් ,පුරා විද්‍යාව වගෙ විශයන් වලින් ඉතිහාසය කපා ඔප මට්ටම් කරන්න ඕන. නැත්නම් ඉතිහාසය සුරංගනා කතාවක් වෙනව. එක එක ජාතීන්ට එක එක ඉතිහාසයන් හැදෙනව.ඉතිහාසය ලියවී ඇත්තෙ ඒකපාක්ෂිකවයි.එනිසායි අගති විරහිත සාක්ෂි අවශ්‍ය වෙන්නෙ.
      මට නම් අවශ්‍ය සත්‍ය දැනගන්නත් අවුලක් තිබෙනවනම් ඒ ඇයි කියා සොයාගෙන ඊට විසදුම් සොයාගන්නත් තමයි.
      අධිතක්සේරුවෙන් මෝහනය වීම හෝ අව තක්සේරුවෙන් ලැජ්ජාවට පත්වීමට නොවෙයි.

      Delete
  7. මේක ගොඩක් පුළුල් ලිපියක්. වෙනත් තැන්වලින් කියවපු සහ අත්දැකීම් තියෙන තැන්නම් පහසුවෙන් සම්බන්ධ කර ගත හැකියි. ඒ වගේ පුළුල් දැනුමක් මට නැති තැන් ගැනනම් නිශ්චිත අදහසක් පලකරන්න අමාරුයි. ඔබ දන්න වෙනත් මූලාශ්‍ර ගැනත් සඳහන් කරන්න පුලුවන්නම් මේක ශාස්ත්‍රීය ලිපියක මට්ටමට ගන්න පුළුවන්. වඩා හොඳ අදහසක් ගන්නත් පහසුයි. (මම දන්නවා මේක බ්ලොග් එකකට ලියපු එකක් බව.)

    ReplyDelete
    Replies
    1. මතකයෙ තිබෙන කරුණු ඇසුරින් තමයි මම බ්ලොග් ලිපි ලියන්නෙ. අඩුගානෙ මූලාශ්‍ර ගැන රෙෆරන්ස් දාන්නවත් උනන්දු නැත්තේ ඒකයි. අමාරුවෙන් කාලය කළමනාකාරනය කරගෙන මෙහෙම සටහනක් දානව. රෙෆෙරන්ස් හොයන්න ගියොත් අමාරුයි.මම කියවපු සමහර පොත්වල කතෲන් වත් මට මතක නෑ. සිතේ රැදුන කරුණු පමණයි මතක.
      රෙෆරන්ස් දානවනම් ශාස්ත්‍රීය වෙනව තමයි. ඉඩක් ලැබුනොත් එහෙම කරන්නම්කො

      Delete
  8. ම.ම මේ තරම් අධ්‍යයනයකින් පසුව ලියූ ලිපියක් කියවන්නත් අාසයි... දැන් දැන් බ්ලොග් ලෝකයේ මේ වගේ වටිනාකම් සහ හරයක් සහිත ලිපි කියවන්න ලැබෙනවා.. .ඒ විතරක් නෙමෙයි ඒකට අවශ්‍ය පරිසරයත් ටික ටික හැදෙනවා.... සංවාදශීලී වේදිකාවක් නිර්මාණය වෙමින් පවතිනවා.. මේක තමා දියුණුව කියන්නේ... ඉතින් අගෙයි ම.ම...................

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බ්ලොග් අවකාශය ඉහලට ඔසවන්න ඕන. මගෙ විශ්වාසය නිකම් රස්තියාදුකාරයො බ්ලොග් ලියන්නෙ නෑ. ලියන හැම එකාම මොනවහරි දන්න එකෙක්. ඉතින් මේ ක්ශේත්‍රය ප්‍රධාන දහරාවෙ සංවාදශීලී මාධ්‍යයක් වෙන්න මොනවද අඩු.

      Delete
  9. සෙස්සන් සමඟ මුහුවීම කෙසේ වෙතත් සෙස්සන් සමග ගැටූම් ඇති කරගන්නයි අද වැඩි දෙනෙක්ගේ කැමැත්ත.. ආකල්ප වෙනස් වෙනවනම් මේ හුඟක් දේවල් වෙනස් කර ගන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. ගට්ඨනයට වඩා සංයෝජනයට මම කැමතියි. මම හිතන්නෙ සොබා දහමත් ඒකට අනුකූලයි.

      Delete
  10. උඹේ මේ වගේ ගවේෂණාත්මක ලිපිවලට මං පට්ට ලයික්. ඒක තමා උඹේ අනන්‍යතාව (මගේ අනන්‍යතාව උඹ දන්නවනේ)
    අනේ මන්දා බං දූපත් මානසිකත්වය කියන්නේ, එක හාමුදුරුකෙනෙක් මේ දවස්වල කියනවා නාග ගෝත්‍රිකයෝ කියන්නෙ ඇත්තම නාගයෝලු. පොළොව යට නාග ලෝකෙ තියෙනවාලු. එහෙම නාග ලෝක කීපයක් අපේ මහගෙවල් වටේත් තිබුණා.
    ගහන්න ඕනි තැන් වලටත් උඹ රිදෙන්න ගහලා තියෙනවා. තව මේ වගේ ලිපි ලිවීමට හැකියාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. //උඹේ මේ වගේ ගවේෂණාත්මක ලිපිවලට මං පට්ට ලයික්. //
      මමත් මේ වගේ ලිපි වලට පට්ට ලයික්.

      Delete
    2. එක හාමුදුරුකෙනෙක් .............?

      Delete
    3. මැටි මෝල්ලු නිර්මානය කරමින් රට මිත්‍යා අන්ධකාරයේ තබාගන්නට වෙර දරන මේ කහකඩයන්ට එරෙහි වෙන්න ඕන. මුන් ඇත්තටම මේව විශ්වාසකරන මැට්ටොද දන්නෙ නෑ. සමාහරවිට ජනතාව අන්දල වාසි ගන්න හදන තක්කඩී වෙන්නත් බැරි නෑ.
      ඊලඟ වටේ නාග පූජාවකට සල්ලි එකතු කරන්නත් බැරි නෑ.
      මුන් ඇත්තටමමේව විශ්වාසකරනවනම් අනේ අනිච්චන් කියලයි කියන්න වෙන්නෙ.
      ඔය නාගයො කියන්නෙ නාග ගෝත්‍රිකයො. ඔවුන් ජලය ශුද්ධ ලෙස ඇදහූ අය,දෙවිවරු කියන්නෙ ආර්යයො, අනාර්යයන්ට තමයි යක්ෂයො කිව්වෙ.

      Delete
  11. සදොස් යැයි හැඟෙන තැන් කීපයක් නිදොස් කරන්නට උත්සහ කරමි :)

    //...අනුන් මත යැපෙන්නෙ බැරි එකාය.බුද්ධඝෝෂ පැමිණ සිංහල අටුවා ගිනිතබා බුදුබණ පාලියට නැගූ පසු සිංහල අටුවා වල මොනවා තිබුනාද කියා දැනගන්නට ක්‍රමයක්ද නැත....//

    මෙය බොහෝ දෙනා කියන එකක් විනා සාධක ඇතිව කියන කරුණක් නෙමේ. බුද්ධඝෝෂ හිමියන් සිදුකළේ සිංහල අටුවා පාලියට පෙරලීමයි. ඒ සඳහා උන්වහන්සේගේ හැකියාව කෙබඳුදැයි මහාවිහාර භික්ෂූන් වහන්සේලා තෙවරක් පරීක්ෂා කළ අන්දම ඔබ දනී යැයි සිතමි. අනතුරුව පාලියට පෙරලූ අටුවාවක කිසියම් දොසක් තිබුණා නම් පාලි බස දත් මහාවිහාර භික්ෂූන් එය ඉවසූ බව නම් සිතිය නොහැක. සිංහල අටුවා ගිනි තැබීම කියනවාට කියන්නකි. මුද්‍රිත පොත් පැමිණි පසු පුස්කොළ පොත් අභාවයට ගිය පරිද්දෙන්ම ජාත්‍යන්තරව පැතිරුණු පාලි අටුවා සැකසීමත් සමග හෙළ අටුවා භාවිතය ක්‍රමයෙන් ඈත්වීම ඒවා විනාශවීමට හේතුවයි

    //..පොලොන්නරු යුගය වන විට අගනුවර බලවත් වුනේ දෙමළ ,කේරළ ,පාන්ඩ්‍ය හමුදාය. පරාක්‍රමබාහුගේ යුද්ධ මෙහෙයවූ සෙනවියන් ද්‍රවිඩයන් ය. දමිලාධිකාරී නම් සෙනෙවියා යටතේ දමිළ හමුදාව විදේශ යුද්ධ මෙහෙයවීය.....//

    ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසයේ පළමු කාණ්ඩයේ දෙවැනි භාගයේ අන්තර්ගත නම් 50 කින් යුතු පැරකුම්බාගේ සෙනෙවිවරුන්ගේ නාම ලේඛනය කියවා බලා දමිළ සෙනෙවියන් කොපමණ සිටියාදැයි නිවැරදිව දැනගන්න. දමිළාධිකාරී නම් මුලට ඇතිව රක්ඛ, ආදිච්ච නමින් දෙදෙනෙක් සිටී. ඔවුන්ගේ විදෙස් ආක්‍රමණවලදීද සිංහල සෙනෙවියන් ද එයට සම්බන්ධ වී ඇත.

    //..14 සහ 15 සියවස් වන විය කෝට්ටේ රජුගේ බලය බටහිර මුහුදු සීමාවේවත් නොතිබිණි.ඇත්තෙන්ම රටේ නියම පාලකයන් වුනේ වෙළද පවුලක් වූ අලකේශවරයන් විසිනි...//

    අලකේශ්වර පවුලේ බලපෑම තිබුණේ කෝට්ටේ රජුට නොව ගම්පොළ රජුටය. ඔවුන් පමණක් නොව සේනාලංකාධිකාර නමින් පවුලක් රජුගේ අගමැති තනතුරු එකල උසුලා තිබේ.

    //..අපගේ රාජ්‍ය තාන්ත්‍රික පිලිගැනීමේ තරම කියාපාන කතාවක් එයි. උඩරට රජපවුල සූර්ය වංශයෙන් පැවත එන නිසා ඉන්දියාවේ සූර්ය වංශික කුමාරියක් සොයා දූතයන් ගියේ දකුණු ඉන්දියානු රජමාලිගයකටය. මොවුහු ක්ෂත්‍රියයෝ නොව ශ්ද්‍රයෝය.එහිදී නායක්කාර් ප්‍රධානියා ( මට මතක හැටියට තිරුමල ) මෙසේ කීවේය. තොපත් අපත් අතර කවදානම් හිර ගනුදෙනු සිදුවී ඇද්ද .තොප බියක් සැකක් නැතිව ආ හැටි. කියා නිග්‍රහ කළහ.....//

    සිංහල දූතයන් ගොස් හමුවූයේ මදුරාවේ රජතුමා වූ විජයරංග චොක්කනාථ නායක්වය. ශුද්‍රයන් යැයි මතයක් ඔවුන් පිළිබඳ පැවතියද ඔවුන් එවකට මදුරාව ආදි ප්‍රදේශ රැසක පාලන බලය උසුලා තිබේ.

    //..ඉන්පසු දුප්පත් නායක්වරයෙක් රහසිගත තැනකට නුවර දූතයන් කැදවා ගෙන ගොස් සිය දියණියන් පාවා දී ඇත. උපායශීලී වූ මොහු ගේ පුතුන් හා බෑණා වරුන් ශ්‍රී විජය කීර්ති ශ්‍රී ආදී වශයෙන් පසුව රජ වූහ....//

    රජුගේ දිළිඳු ඥාතියෙක්ගේ දියණියක් නරේන්ද්‍රසිංහ රජු සරණ පවාගත් අතර එම දිළිඳු නායක්කර්වරයාගේ පුතා ශ්‍රී විජය රාජසිංහ නමින් රජු වූ බව සැබෑය. එහෙත් ශ්‍රී විජයට බිසෝවරුන් සෙවූ අවස්ථාවේඩී මදුරා රාජ්‍යය බිඳ වැටී තිබූ හෙයින් එහි උප රජු ලෙස කටයුතු කළ බංගරු තිරුමල නායකගේ ඥාතියෙකු වූ නරේනප්පා නායකගේ දියණිය රජු සරණ පාවා ගත් අතර ඔහුගේ පුතුන් දෙදෙනා පිළිවෙලින් කීර්ති ශ්‍රී සහ රාජාධි රාජසිංහ යන නම්වලින් උඩරට සිහසුන්ට පත්ව තිබේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      හෙළ අටුවා අභාවයට යාම තාක්ෂනික පෙරළියට සමාන කරන්න බැ නේද. බුද්ධ ඝෝශගේ විවරණවලටම සීමා වෙන්නෙ ඇයි.පසුකාලීන උගතුන්ටත් මුල් මූලාශ්‍ර පරිශීලනය කරන්න අවස්ථාව තිබිය යුතුයි. හෙළ අටුවා ග්‍රන්ථ සංරක්ෂනය කළානම් නේද වටින්නෙ., ගිනි තියපු කතාවත් වැඩි දෙනෙක් පිළිගන්න එකක් නේද
      මේක හරියට පොතක් පරිවර්තනය කරල මුල් කෘතිය විනාශ කරනව වගෙ වැඩක්. මොකක්ද ඒ අබිරහස.

      සිංහල සෙනෙවියන් ඉන්න ඇති. නමුත් ප්‍රධාන වශයෙන් යුද්ධ මෙහෙයවූවේ දමිළ සේනාව නේද. විශේෂයෙන් මියන්මාරය.වේලෙයික්කාර සේනාව විජයබාහුගෙ කාලෙ ඉදන්ම ප්‍රධාන රෙජිමේන්තුවක් නේද. දළදා මාළිගාව ආරක්ෂා කළෙත් ඔවුන් නේද
      පොලොන්නරු යුගය අගම්පඩි හමුදාවලට මහත් ප්‍රසිද්ධියක් ඉසිලුවා නේද

      කෝට්ටේ වන විට සේනාධිලංකාර හා අලගක්කෝනාරලා තරඟකරුවන් වී සිටියහ. සේනාලංකාධිකාර උතුරේ දෙමළ බලය කුරුණෑගල තෙක් පැතිරෙන එක වළක්වන්නට බැරි විය. ආර්ය චක්‍රවර්තීන්ගේ බලය කළුතර දක්වා ම පැතිරුනි. අලකේශ්වරයා මෙය මර්ධනය කර කෝට්ටේ අගනුවර නිර්මානය කළේ එනිසාය.

      ඔබ හරි කෝට්ටේ නොව කෝට්ටේ වනතුරු කියා මා නිවැරදි විය යුතුය. කෝටේ යුගයේ සෙනෙවියන් වූ වීදිය බන්ඩාරලා,සපුමල් බන්ඩාරලා, තානිය වල්ලභලා,සකලකලා වල්ලභලාත් දෙමළැ නේද
      ඇ‍යි මේ තරම් දෙමළ බලයක් සාහිත්‍ය යුද්ධ ආදී සියළු ක්ශේත්‍රවල විරාජමාන වූයේ.

      මට අමතක වූ දෙයක් ඔබ මතක් කළා ඊට ස්තුතියි. මෙසේ අවමන් කළේ තිරුමල නොවෙයි විජයරංග චොක්කනාථ. ඔයා කාලෙ ඔවුන් පිරිහෙමින් පැවතියේ. මුස්ලිම් බලය දකුණු ඉන්දියාවට වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබුනා. මේ වනවිට විජයනගර් අධිරජ්‍ය ත් බිදවැටිලා නේද. මදුරාව ආක්‍රමනය කළ මුස්ලිම් නායකයන්ගෙ නම් එහෙමත් මට මතක නෑ නසීර් වගෙ නමක් මට හිතෙන්නෙ.


      ශ්‍රී විජයට බ්සෝවරුන් සොයනවිට පොර ටෝක් මොකුත් නෑ එතකොට නායක්වරු නට්ටන් වෙලා හිටියෙ. ඉන්දියාවෙ ඉන්න බැරි තත්වයක් තිබුනෙ.ඇත්තෙන්ම ඔවුන්ට ආරක්ෂක ස්ථනායක් සහ කාල බීල වැටිල ඉන්න තැනක් ලෙස ලංකාව දිව්‍ය ලෝකයක් ලෙස පෙනෙන්න ඇති.

      Delete
    2. //......හෙළ අටුවා අභාවයට යාම තාක්ෂනික පෙරළියට සමාන කරන්න බැ නේද. බුද්ධ ඝෝශගේ විවරණවලටම සීමා වෙන්නෙ ඇයි.පසුකාලීන උගතුන්ටත් මුල් මූලාශ්‍ර පරිශීලනය කරන්න අවස්ථාව තිබිය යුතුයි. හෙළ අටුවා ග්‍රන්ථ සංරක්ෂනය කළානම් නේද වටින්නෙ...//

      පාලි අටුවාවේ සැමවිටම බුද්ධඝෝෂ හිමියන්ගේ විවරණ පමණක් අන්තර්ගත නැහැ. බුද්ධකාලයේ පටන් තමා අටුවා ලියවෙන්නේ. මිහිඳු හිමියන් තමා ලංකාවට ඒවා ගෙනවිත් හෙළ අටුවා සකස් කරන්නේ. ඒ හෙළ අටුවා පාලියට පරිවර්තනය කිරීමේදී අදාළ ස්ථාන සඳහා කරුණු එක් කිරීමක් තමා බුද්ධඝෝධ හිමියන් කරන්නේ. ඒ නිසා පාලි අටුවා 100% බුද්ධඝෝෂ හිමියන්ගේ නිර්මාණයක් හෝ මහාවිහාර සිංහල අටුවාවේ පරිවර්තනය නෙමේ.

      පසුකාලීනවත් මුල් හෙළටුවා පරිහරණය කරන්න ඉඩ හසර ලබාදීම කළ යුතුයි කියන එක හොඳ අදහසක්. ඒත් ඒකට හොඳ හේතුවක් තිබෙන්නට ඇති.

      //..ගිනි තියපු කතාවත් වැඩි දෙනෙක් පිළිගන්න එකක් නේද
      මේක හරියට පොතක් පරිවර්තනය කරල මුල් කෘතිය විනාශ කරනව වගෙ වැඩක්. මොකක්ද ඒ අබිරහස....//

      ගිනි තියපු කතාව වැඩි දෙනෙක් පිළිගත්තා කියලා හරි වෙන්නේ නැහැ නේද? ධර්ම ග්‍රන්ථවලට ඉමහත් සැලකිල්ලක් දක්වපු අපේ ජනතාව එවැන්නකට ඉඩ තිබ්බා කියලා හිතන්න පුලුවන්ද ?

      මුල් කෘතිය විනාස වීම ගැන ආයේ කිව්වොත් මුද්‍රිත පූජාවලියක් පන්සලේ තියෙද්දී ඒක පරිහරණය කරනවා විනා පුස්කොළ පොත් පූජාවලිය පරිහරණය කිරීම අඩුයි. කාලයක් යද්දී අවධානය යොමුවීම අඩුවීමත් එක්ක පුස්කොළ පොත් පූජාවලිය විනාශ වෙනවා. ඒත් ගැටලුවක් නැහැ ඒක ආධාරයෙන් තවත් පිටපත් රාශියක් සකස් කරපු මුද්‍රිත එකක් තියෙන නිසා. හෙළටුවා සම්බන්ධවත් ඒක තමා සිද්ධ වුණේ.

      //..සිංහල සෙනෙවියන් ඉන්න ඇති. නමුත් ප්‍රධාන වශයෙන් යුද්ධ මෙහෙයවූවේ දමිළ සේනාව නේද. විශේෂයෙන් මියන්මාරය...//

      දමිළ සේනාවක් යම්තරමකට හිටියත් වැඩ ව්ශයෙන් හිටියේ සිංහල සෙබළු. ඒ වගේමයි වැඩි දෙනා සිංහල සෙනෙවියෝ

      ///..වේලෙයික්කාර සේනාව විජයබාහුගෙ කාලෙ ඉදන්ම ප්‍රධාන රෙජිමේන්තුවක් නේද. දළදා මාළිගාව ආරක්ෂා කළෙත් ඔවුන් නේද
      පොලොන්නරු යුගය අගම්පඩි හමුදාවලට මහත් ප්‍රසිද්ධියක් ඉසිලුවා නේද...//

      වේලයික්කාර හමුදාව කියන්නේ රජුට සේවය කරපු කුලී හමුදාවක්. ඔවුන්ගේ නිර්භීතකම වගේම පක්ෂපාතීත්වය නිසා තමා රාජත්වයේ සංකේතය වුණු දළදාව ආරක්ෂා කරන්න ඔවුන්ට භාරකරන්නේ. ඔවුන් බෞද්ධයන් බවටත් මතයක් පවතිනවා.

      //..කෝට්ටේ වන විට සේනාධිලංකාර හා අලගක්කෝනාරලා තරඟකරුවන් වී සිටියහ. සේනාලංකාධිකාර උතුරේ දෙමළ බලය කුරුණෑගල තෙක් පැතිරෙන එක වළක්වන්නට බැරි විය. ආර්ය චක්‍රවර්තීන්ගේ බලය කළුතර දක්වා ම පැතිරුනි. අලකේශ්වරයා මෙය මර්ධනය කර කෝට්ටේ අගනුවර නිර්මානය කළේ එනිසාය...//

      කෝට්ටේ යුගය වෙද්දී සේනාලංකාධිකාර ජීවත් වුණේ නැහැ. ඒ වගේමයි ගම්පොළ රාජධානියේ ආරම්භක කාලයේ තමා ඔහු ජීවත් වුණේ. ආර්ය චක්‍රවර්තී පැරදවීමට අලකේශ්වර කෝට්ටේ බලකොටුවක් ඉදිකළත් ඒක අගනුවරක් වුණේ කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු යටතේ

      //..ඔබ හරි කෝට්ටේ නොව කෝට්ටේ වනතුරු කියා මා නිවැරදි විය යුතුය. කෝටේ යුගයේ සෙනෙවියන් වූ වීදිය බන්ඩාරලා,සපුමල් බන්ඩාරලා, තානිය වල්ලභලා,සකලකලා වල්ලභලාත් දෙමළැ නේද ඇ‍යි මේ තරම් දෙමළ බලයක් සාහිත්‍ය යුද්ධ ආදී සියළු ක්ශේත්‍රවල විරාජමාන වූයේ....//

      තනියවල්ලභ සහ සකලකලා වල්ලභ කියන්නේ ද්‍රවිඩයන් නෙමේ. 8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමාගේ දෙවෙනි බිසවගේ දරුවන් තමා ඔවුන් දෙදෙනා. අගබිසවගේ පුතුන් තමා ධර්ම පරාක්‍රමබාහු, විජයබාහු සහ ශ්‍රී රාජසිංහ.

      වීදිය බණ්ඩාර කියන්නේ මිශ්‍ර අයෙක්. ඔහුගේ මව තමා තනියවල්ලභගේ දියණිය. පියා සොළී කුමාරයෙක්. සපුමල් කුමාරයා කියන්නේත් මිශ්‍ර අයෙක්. මේ කාලසීමාව තුළ ද්‍රවිඩ සිංහල විවාහ සබඳතා ඇතිවුණු බව ඇත්ත.

      //..ඔයා කාලෙ ඔවුන් පිරිහෙමින් පැවතියේ. මුස්ලිම් බලය දකුණු ඉන්දියාවට වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබුනා. මේ වනවිට විජයනගර් අධිරජ්‍ය ත් බිදවැටිලා නේද. මදුරාව ආක්‍රමනය කළ මුස්ලිම් නායකයන්ගෙ නම් එහෙමත් මට මතක නෑ නසීර් වගෙ නමක් මට හිතෙන්නෙ...//

      විජයනගර අධිරාජ්‍යය බිඳවැටිලා තිබුණේ. ඒ වගේමයි මුස්ලිම ආක්‍රමණ වගේම මදුරා සිහසුනට අභ්‍යන්තර අර්බුදත් ඇතිවෙමින් තිබුණේ මදුරා රැජිණ සහ තවත් කණ්ඩායම් අතරේ. මේ තත්වයෙන් ප්‍රයෝජන ගත්තු ආර්කොට්වල නවාබ් තමා චන්දා සහීබ් යටතේ සේනා එවලා මදුරා අල්ලාගන්නේ

      //..ශ්‍රී විජයට බ්සෝවරුන් සොයනවිට පොර ටෝක් මොකුත් නෑ එතකොට නායක්වරු නට්ටන් වෙලා හිටියෙ. ඉන්දියාවෙ ඉන්න බැරි තත්වයක් තිබුනෙ.ඇත්තෙන්ම ඔවුන්ට ආරක්ෂක ස්ථනායක් සහ කාල බීල වැටිල ඉන්න තැනක් ලෙස ලංකාව දිව්‍ය ලෝකයක් ලෙස පෙනෙන්න ඇති....//

      ඇත්ත :)

      Delete
  12. api gana Robert knox hondata liyala thiyenawa ...

    mada soda gath kala apith raja wenna puluwan minissu bolaw...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අපි එහෙමයි හරිය

      Delete
  13. හමුවෙලා පැය ගාණක් කතා කරන්න ඕනෙ දේවල් කමෙන්ට් එකකින් කියන්න බෑනෙ.

    එකක්- ඔය ජාතිය කියන සංකල්පය වර්ථමානයේ තිබුන විදිහටම අතීතයේ තිබුනයි කියල පේන්නෙ නෑ, තියන සාධක අනුව.
    වඩා වැදගත් වුනේ තමන්ගෙ කුලය, පලාත, ගෝත්‍රය, හා නායකයා.
    නායක්කර් වංශයට විරුද්ධ බල අරගලයේදී උඩරට රදලයින් සිංහල රජ කෙනෙක් ඕනෙය කියල කිව්වට 48 නිදහස දෙනකොට සෑහෙන දෙනෙක් කැමැත්තෙන් හිටිය උඩරටට ෆෙඩරල් බලයක් ලැබෙනවට පහතරටෙන් වෙන් වෙලා.
    කෝට්ටෙ අන්තිම කාලෙ හොඳ උදාහරණයක් ලෙස ගන්න පුලුවන්වෙයි ඊට ඉස්සරත් එහෙම තියෙන්න ඇති කියල. සීතාවක, උඩරට හා කෝට්ටෙ ප්‍රාදේශීය බල අරගල මිසක් සිංහල එරෙහිව පෘතුගීසි සටන් වුනේ නෑ කෝට්ටෙ කාලෙ. බලය සඳහා වෙනස් වුනා බොහොම ඉක්මනට.

    අනුරාධපුර කාලෙ සිංහල කියන්නෙ හරියටම කුමක්ද කියන එකත් අපිට අනුමාන කරන්නත් අමාරුයි දැන්. විජයගෙන් පෙර හා ඊටත් වඩා පසු කොයිතරම් සංක්‍රමණයන් වෙන්න ඇද්ද

    සෑහෙන කාලෙක ඉඳන් ඉතිහාසය කියවීම හා හැදැරීම මගේ ප්‍රධානතම විනෝදාංශය. මං ඉගන ගත්ත එක තමයි ඉතිහාසය apply කිරීම ඉතා අඩු වශයෙන් හා ඉතාමත්ම පරිස්සමෙන් කරන්න ඕන දෙයක් කියන එක. ඉතිහාසයේ කිසිම දෙයක සියලු පැතිකඩයන් අපිට සම්පූර්ණයෙන් දැන් දැන ගන්න බෑ.ඉතිහාසයේ කරුණු in isolation සහ out of context අරගෙන තමන්ගේ මතයන් හෝ සුරතල් සිද්ධාන්ත්වලට ආධාරකයන් ලෙස හුඟක් අය යොදා ගන්නව.
    ඉතිහාසයේ වූ හැමදේටම (අපි හරියටම සමහර ඒව ඇත්තද කියල දන්නෙවත් නෑ, ඇත්තෙයි කියල උපකල්පනය කලොත් )ඒවට විශේෂීය context එකක් තියනව. කාලෙන් කාලෙට contexts වෙනස් වෙනව. අපි සමහර වෙලාවට ඉතිහාසයේ එක් කරුණක් වෙන් කරල අරගෙන වර්ථමානයට apply කරන්න හදනව

    ආර්ය අනාර්‍ය ගැන පස්සෙ කතා කරමු. මගේ සාමාන්‍ය කමෙන්ට් එකකට වඩා දැනටත් මේක දිග වැඩි වුනා. සමාවෙන්න

    ReplyDelete
    Replies
    1. හමුවෙලා පැය ගාණක් කතා කරන්න ඕනෙ දේවල් කමෙන්ට් එකකින් කියන්න බෑනෙ. //
      +++++++++++++++++++++++++

      මාක්ස් ප්‍රනාන්දු වෙනුවට දෙමළ කෙනා උගත් නියෝජිතය වුන එකම හොඳ උදාහරණයක්නෙ නේද
      ඇත්තටම උඩරැටියන්ට තමයි ෆෙඩරල් ඕන වුනේ ඒකට දෙමළ අය විරුද්ධ වුනා .ඒ කාලෙ තත්වය ගැන හොඳ හෝඩුවාවක් ඒක.

      අනුරාධපුර වගේම පොලොන්නරු කාලෙත් සිංහල කියන්නෙ කවුද කියල හොයන්න අමාරුයි.

      ඉස්සර මගෙත් විනෝදාංශය ඒක. දැන් නම් ඊට වඩා තාක්ශනික දේවල් කියවන්න කැමතියි.
      සමහරු තම තමන්ගෙ සුරතල් සිද්ධාන්තවලට ආධාරකයන් ලෙස ඉතිහාසය ෆුට්බෝලයක් කරගෙන. මටනම් ඕන ඇත්ත දැණගන්න.

      වර්තමානයට ඇප්ලයි කරන එක ප්‍රවේසමෙන් කරන්න ඕන. ඉතිහාසයෙ වැඩි හරියක්ම පක්ශපාතී සුරංගනා කතා නිසා.පෘතුගීසීන්වත් හැදින්වූවෙ දෙමළු කියල (රාජාවලියෙ ? ) .තව මොනවද ඉතින්.
      දුටුගැමුනුට ඉස්සර රජවරු රට පාලනය කරල තියෙන්නෙ දහයෙ ගුනාකාරවලින්.සමහරු උපදිනකොට තාත්තලට වයස සීයත් පැනලලු.
      සුද්දො ලියපු උඩරය්ට ඉතිහාසය නම් වඩා පැහැදිලියි. ඔවුන් ඇදපු චිට්ත්‍ර එහෙම හරියට වටිනව. ඒ කාලෙ මිනිස්සු හිටපු විදිය දන්නෙ නොක්ස්ගෙ පොත් නිසානෙ. බල්ලො බලල්ලුන්ටත් අන්ත විදියට අපේ මුතුන් මිත්තිඔ ඉදල තියෙන්නෙ. අනුරාධපුර යුගවල කොහොම තියෙන්න ඇද්ද

      නොක්ස්ල ඩේවිල එහෙම ලිව්වට අපේ ගනරාලල ලිව්වෙ රජවරුන්ගෙ විස්තර විතරයි. රජවරුන්ගෙ යුද්ධ ,උන්ගෙ පුදපූජා, බඩු ගහපුව ඕව තමයි.ඕවද ඉතිහාසය කියන්නෙ.
      සාමාන්‍ය ජනතාව ගැන කලා ශිල්ප ,සාහිත්‍ය ජාත්‍යාන්තර දේශපාලනය මොකුත් නෑ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හමුවෙලා කතාකරන එක කවදවෙයිද කියල කියන්න බැරි නිසා ආර්ය කතාවට එකක් කියන්නම්.
      19 සියවසේ අන්තිම ලියවුන පාසල් පෙල පොතක පූර්විකාවක තිබුණ අනාර්‍ය වඩුග රජුන්ගේ යටතේ හිටපු ආර්ය අපි ආර්ය රැජිනක් යටතේ සිටීම වාසනාවක් කියල. ජර්මන් ස්කොලර්ස්ල උතුරු යුරෝපීය ආර්ය කතාව නග්ගල ගත්තනෙ ඒ කාලෙ, (පස්සෙ නාසි න්‍යායාචාර්‍යන් ඔවුන්ගේ ලිවීම් වෙනත් තලයකට ගෙන ගියා ).
      මං ඔය කතාව ගුණදාස අමරසේකරලත් එක්ක ඉන්න දැන් නීති ක්ෂේත්‍රයේ ලොකු එක්කෙනෙකුට හුඟ කාලෙකට ඉස්සර කිව්ව. ඔහුගේ ප්‍රථම රියැක්ශන් එක වුනේ "ඔව් දෙමෙල්ලුන්ට වඩා එහෙම හොඳයි"
      කබරගොයා පමණක් නොව කොමෝඩෝ මකරාද තලගොයෙක් කිරීමට ඉතිහාසයේ කොටස් ගෙන සීමිත සිද්ධාන්තවලට යොදාගත හැක.

      ඉතිහාසය විනෝදාංශයක් ලෙස හෝ pure scholarship සඳහා විෂයයක් ලෙස හැර අන් ඇජෙන්ඩා සඳහා ගැනීම ඉතා දෝෂ සහගත මෙන්ම භයානක දෙයකි!!

      Delete
    4. Dear MM,
      (Sorry I am typing in English as I am unable to use Sinhala converter)
      I am reading your posts and comments with great interest.
      However I have noted that you are based on some misconceptions when you are writing on Sri Lankan history and Kings. You are considering the kings as brutal dictators based on false information and people as bunch of fools with no self confidence.
      As far as I can see the main mistake you are making is treating the book of Robert Knox as a bible. You tend to believe all misconceptions, half baked stories and lies in it as eternal truth and develop your arguments around them.
      When Knox arrive Sri Lanka he was a boy with basic education. Throughout his stay in Sri Lanka he lived with prisoners and being treated as one of them. When you read his book carefully, it is evident that he failed to understand the thinking, traditions, culture or religion of the country. Most of the thing he wrote in his book are the stories he heard from others rather than his first hand experiences. Furthermore he was living among the punishers who hate the King. Obviously you can’t expect them to praise the King.
      Similarly Knox hates the king for taken them in to custody and keeps him as a prisoner for half of his life.
      When he got back to England, he wrote a book about this exotic country mixing his life experience with all sorts of imaginations which makes him and his book very popular. Later Daniel Defoe wrote another fairy tale (Robinson Crusoe) inspired by this book.
      It will be better if you can look at other sources of information as well before getting in to unreasonable conclusions.

      Delete
  14. නැහැ ඔබේවත් හසිතගේවත් කොමනේටු දිග වැඩි නෑ. බ්ලොග් ලෝකයේ වල්පල් අතරෙ කුරුටු කියන්න වගේ මැණික් මුතු මතුවෙමින් තියනවා. ඒ හින්ද දිගටම සංවාදයට එන්න එය ගෙනයන්න කියල යකා හෙවත් මධ්‍යස්ථ, හසිත, ඔබ වගේම තවත් අයටත් ඇරයුම් කරනවා.
    ඉතිහාසය වල්වැදෙන්න උනේ මා හිතන්නෙ ඉතිහාස විෂයය පාසලෙන් අයින් කරල තිබුණ හින්ද ඒක නතර වෙලා වල්පැල උදුරා දාන්න නම් මේවගේ සංවාද විශාල මෙහෙයක් ඉටු කරනවා.

    ReplyDelete
    Replies
    1. හසිත ප්‍රා වගෙ අයගෙ කොමෙන්ට් දිග වැඩි නෑ. එහෙම නැතිව ඒව කියන බෑනෙ. හසිත මට අමතක වෙලා තිබුන ඒව මතක් කරල සමහර තැන්වල මාව නිවැරදි කරල මහ මෙහෙයක් කළා.

      ඉතිහාසයෙ විතරක් නොවෙයි බොහෝ කෙත්වතුවල තියන වල්පැල උදුරා දමමු.ඉතිහාසයෙ නම් වල්පැල පිරිලා

      Delete
  15. සෑහෙන නොදැනගෙන හිටපු දේවල් ඉගෙන ගත්ත. බොහොම ස්තූතියි. ඉස්සර බැරිඋනාට දන් තියෙන තාක්ශණයත් එක්ක අපිට බුදු දහම ලෝකෙට විවෘත කරන්න පුළුවන් වුනොත්, අනික් රටවල් ලෝකෙට දීපු හැම දේටම වඩා ඒක වටිනා දෙයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. බෞද්ධ දර්ශනය උසස් ඥාන මාර්ගයක්. හැබැයි අපි පුරුදුකරගෙන තියන ගස් ගල් වදිනසිස්ටම් එක නෙමෙයි.කිරිබත්ගොඩ මහතා කරනව වගෙ මර්මෝඩ ශ්‍රද්ධාව අවදිකරවන පුද පූජා නෙමෙයි. ඇත්තටම මනෝ විද්‍යාත්මක අභ්‍යාස ක්‍රමයක්, චින්තන සම්ප්‍රදායක් විදියට. අන්න එහෙම නම් යමක් කරන්න හැකි වෙයි.
      ඇත්තටම මුල ඉදලම නියම බුදුදහම ප්‍රැක්ටිස් කළා නම් හුඟක් නව නිෂ්පාදන ලොවට හදුන්වාදෙන්නෙ අපි.
      හින්දු රාජ නාඩගම වෙනුවට නව විද්‍යත්මක දේශපාලන ක්‍රමවේද වුනත් ලොවට දෙන්න ඉඩ තිබුන. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හා ඊටත් එහා ගිය දේවල්.
      නමුත් වුනේ රජෙකුට දුම් අල්ලගෙන බුදුදහම ආරක්ෂා කරන්න ඌටත් තව මදිපාඩුවට දෙවියන්ටත් බාර දීල පැත්තකට වුන එකයි.
      ක්‍රිස්තියානියෙන් මාක්ස්වාදය බිහිවුනා වගෙ බුදුදහමෙන් ඒ වගෙ දේශපාලන දර්ශනයක් බිහිවුනානම් වඩා ලෝකයට හිතකර වෙන්න ඉඩ තිබුනා.

      මමත් විකාර පුදපුජා සහ පූජක තන්ත්‍රයේ අන්ත දූෂිත බවට එරෙහිව හඩ නැගුවට මගෙ අදහස් වලටත් මූලික වශයෙන් බලපාල තියෙන්නෙ බුදුදහම.

      Delete
  16. මෙතනදී මට කාරනා දෙකක් ගැන ඔබේ අදහස දැනගන්න කැමකියි.
    1. // බ්‍රිතාන්‍ය යුගයේ සිංහලයන් හමුදා පුහුණුවට බදවාගත් විට ඔවුහු බියේ පලා ගොස් සැගවුන බව ඔවුන් සටහන් කර ඇත. මෙය ලැජ්ජාවකි. එහෙත් පළමු ලෝක යුද්ධය වන විට ලාංකිකයන් යුද්ධයට ගියහ.එහෙත් ඔවුහු ද බොහෝ විට කර තිබුනේ බඩු උස්සාගෙන යාම වැනි ඒවායි. ගුර්කා ,පන්ජාබ් වාර්ගිකයන් මෙන් වීරත්වයක් පෙන්වාද නැත.
    මෙම ලිපියට කලින් ලිපියේ දක්වා ඇති කරුණු වලට අනුව මෙහෙම වීම ලැජ්ජාවට කරුණක් වන්නේ කොහොමද? මට පලමු ලෝක යුද්දෙට යන්න ලැබුණනම් මමත් කරන්නේ ඕකමයි. :)
    2.බුද්ධ ඝෝෂ හිමියන්ගේ කාලෙදි වූ සිද්ධියෙදි වුනේ බුදුදහම විකෘති වීම වැලැක්වීමයි. බුදුදහම සිංහලෙන් තිබුනාම ඒක යන්නමින් හදාරලා අළුත් මත ප්‍රචාරය කරන්න පුලුවන් නිසා තමයි පාලි බසට පරිවර්තනය වුනේ. නමුත් ඒක දිර්ඝ කාලීනව හොඳ ක්‍රමයක්නම් නෙමෙයි. අපි දැන් බුදුදහම හදාරා අලුත් දැනුම ගොඩනැගිය යුතුයි
    උදාහරණයක් හැටියට baiscopelk.com අඩවිය හරහා මම බලපු supernatural කථාමාලාව දැක්වුවහොත් ඇමරිකන් කාරයෝ බයිබලයේ එක ඡේදයක් අල්ලාගෙන ටෙලිනාට්‍ය කොටස් 20ක් හදනවා. අපිට තවම ජාතක කථා වලින් එහාට යන්න බැරිවෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාවට කරුණක්ය කීවේ එම විස්තරය සමගම ඔවුන් ඊලඟට ජාතියක් ලෙස අප ගැන ලියා තිබූ දේ නිසයි.

      සිංහලෙන් තිබුනාය කියා බුදුදහම විකෘති වෙන්නෙ කොහොමද.
      නිකාය ඇතිවීම නම් පාලියෙන් තිබුන කියා නැතිවුනේ නෑ නේද

      Delete
  17. බුද්ධ ඝෝෂ හිමි හෙළ අටුවා ගිනිබත් kaLa බව සඳහන් වන්නේ කොහේදැයි පහදනු. මාත් ඒක හොයනවා .එහෙම එකක් මුල් මූලාශ්‍ර වල කොහේද තිබෙන්නේ ??

    ReplyDelete