Sunday, August 16, 2015

මගේ ඡන්දය , හෙට ඡන්දය සහ වෙනස්ම වෙනස් හෙට දවස

මම හාපුරා කියා ඡන්දය දුන්නේ 1994 මහ මැතිවරණයටය. ගෙදර සියල්ලෝම පොදුපෙරමුණට ඡන්දය දෙන විට මම එක්සත් ජාතික පක්ෂයට දුන්නෙමි. මගේ කුළුදුල් ඡන්දය වැටුනේ එක්සත් ජාතික පක්ෂයටය. දෙමවුපියන් පොදු පෙරමුණට වැඩ කරන විට ගෙදරට ආ අමුත්තන් සමග මා කතාබහ කළේ එජාපය දිනන බවය. පුතා යූඇන්පීද කියා කැන්වසින් යන කීප දෙනෙක්ම පියාගෙන් අසා තිබිණි.


මම ප්‍රේමදාස මියයනතුරුම එජාප ජයක් ප්‍රාර්ථනා නොකළෙමි. මම එජාපයට ලැදිවුනේ ඩී බී විජේතුංග නිසාය.තනි අශ්වයකුගේ රේස් එකක් වූ ඊලඟ ජනාධිපතිවරණයේදී මම ඡන්දය දුන්නේ කිසිදා දිනන්නේ නැති බව දැනගෙනම හරිශ්චන්ද්‍ර විජේතුංගටය.

කෙසේ වෙතත් 1999 දී චන්ද්‍රිකාටත් 2005 දී මහින්දටත් ඡන්දය දුන්නෙමි.2010  දීද මහින්දට ඡන්දය දුන්නෙමි.මේ වතාවේදී වෙනසක් කළෙමි . ඇත්තෙන්ම මේ වනවිට තැපැල් ඡන්දය පාවිච්චි කර ඇත.


දැන් ජනවාරි 8 විප්ලවය සිදුවී ඇත.කවුරු කැමති වුනත් නැතත් යථාර්ථය එයයි.


________________________________________________

ජනවාරි 8 විප්ලවය


ඇත්තටම ජනවාරි 8 වැනිදා සිදුවුනේ විප්ලවයකි.මේ රටේ අධිපති මතවාදය ලෙස පැවති සිංහල ජාතිකත්වය මත පදනම් වූ මතවාදය එක රැයින් ඇද වැටී දේදුණු විප්ලවයක් සිදුවීමය. දේදුණු යැයි දේදුනු යැ‍යි කීවේ ජයග්‍රාහකයා  විවිධ බලවේග වල එකතුවක් වීමය.මේ තුල දෙමළ මුස්ලිම් මතවාදය ,සමාජ නිදහස ප්‍රාර්ථනා කරන්නන් ,යහපාලනය ප්‍රාර්ථනා කරන්නන්, නිතර දකින කුකුලගෙ කරමල සුදුවීම නිසා වෙනසක් පතන්නන් ඇතුළු විශාල පිරිසක් අයත් වූහ.


මට මතක් වන්නෙ 1999 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රකාශනයයි. එය ජනතාව සමග මගේ සම්මුතිය නම් විය. මෙම සංකල්පය අපට ආගන්තුකය.ඔහු ජනාධිපතිවරණ වලදී ප්‍රකාශකළේ මම ඉල්ලුම් කරන්නේ රටේ ඉහළම තනතුරට මම එය මගේ ස්වාමියා වන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියාය. මෙම අදහස මටද ප්‍රියය. මන්ද ලංකා සමාජය පසුගාමී සමාජයක් නිසා මෙය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකි.ශ්‍රී ලංකා සමාජය පසුගාමී වැද නමස්කාරකරන්නන්ගෙන් සමන්විතය. මෙම සමාජයට නූතනවාදී ප්‍රවේශයක් අවශ්‍යය.

egalitarian    සමාජයක් බවට ශ්‍රී ලංකාව පත්වන්නේනම් එය වාසනාවකි.ඒ සමගම සදාචාරාත්මක හා ආචාර ධර්මීය ලෙස වෙනසක් සිදුවීමද අවශ්‍යය.කාන්තාව බලගැන්වීමතුලින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ධනාත්මක පරිවර්තනයක්  අවශ්‍යය. මේ මානසික දියුණුව ආර්ථික සංවර්ධනයට මහෝපකාරීය. ජනාධිපති මහතාට සහ අගමැති මහතාට එය කළ හැකියැයි සිතමි.

ජනපති මහතා , අගමැති මහතා කියන විට මට අපූරු කතාවක් මතක් වෙයි. ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික පිළිගනීමකදී බිල් ක්ලින්ටන් ගැන වර්නන කළ ශ්‍රී ලංකා නිවේදකයා (සිංහලෙන්  )තේජෝබල වීර විපුල නෛක ශ්‍රීන්  විරාජමාන කියමින් දිග හෑල්ලක් ඇද බාන්නට විය. එවිට ඇමරිකන් නියෝජිතයකු මොනවද මේ කියන්නෙ කියා විමසා ඇත.බිල් ක්ලින්ටන් මහතා ගැන වර්ණනාවක්ය කියා කීවිට නෑ නෑ ඔහු මිස්ටර් බිල් ක්ලින්ටන් ඒ ප්‍රමානවත් කියා ප්‍රකාශ කළේය.ඇත්තටම  21 වැනි සියවසට එය ප්‍රමානවත්ය.

ලංකාව නූතන රාජ්‍යයක් වීමට මම කැමති වන්නේ දේශීයත්වය ,පැරණි ශ්‍රී විභූතිය කියා අන්තිමට ගේන්නේ වැඩවසම්වාදය බැවිනි.අප යා යුත්තේ අනාගතයටය. කොස් කොල ඔටුණු පළදවා මහින්ද රාජපක්ෂ මහතා නොමඟ යැවූ කේවට්ටයන් ගැන මට ඇත්තේ අප්‍රසාදයකි.

සාමාන්‍ය මැතිවරන පොරොන්දු වලට ඔබ්බෙන් යහපාලනය වැනි තේමාවක ආගමනයම එක අතකට අරුමයකි. නව පාලනයේ අරමුණ සාර්ථක වී ආයෝජන ගලා ඒමෙන් පසු අත මිට සරුවන යුගයක් ඇතිවේයැයි සිතමු.ජනතාව හිතන පතන විදියද ඊට සමගාමීව වෙනස් වනු ඇත.ශ්‍රී ලංකාව කුඩා  ආර්ථිකයක් හිමි ( හැම අතින්ම කුඩා රටකි ) එවැනි රටක ඉදිරි ගමන සැළසුම් කළ යුත්තේ රා බී ගත් මීයකු මෙන් බලවතුන් සමග ගේම ඉල්ලීමෙන් නොව සහයෝගය වර්ධනය කරගැනීමෙනි.


පසුගිය රජයේ  සෝබන ව්‍යාපෘති වෙනුවට කර්මාන්තශාලා පිහිටුවා රැකියා ලබාදී රටට විදේශ විනිමය  ගෙන ආ හැකිනම් හොදය. ප්‍රේමදාස කළා වගේ.එහෙත් යටිතල පහසුකම් වර්ධනයද නොතකා හැරිය යුතු නැත.කෙසේ හෝ රනිල්ගේ රජයකින් රට නූතන යුගයට ගෙන යන බව පැහැදිලිය.රනිල් යුගයට ඉදිරියෙන් සිටින මිනිසෙකි.කුලියාපිටියේ මුලින්ම පැවති යොවුන් පුරය මට මතකය. මෙවැනි දේ කළේ සිංගප්පූරුවේ ලී ක්වාන් යූය.නිදහස් වෙළද කලාප ,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආදී අළුත් දේවල් රැසක් රනිල් රටට දුන්නේය. රනිල් මේ රටේ ජනපතිවීමට තිබුනේ 1999 දීය. එසේ වුනානම් අද රට බොහෝ වෙනස්ය.

ජනාධිපතිවරණය මුලින් පවත්වා මහින්ද මුග්ධ වැඩක් කළේය. මාතලන්ගෙ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් දමමින් මම මෙහි වරද පෙන්වා දුන්නේ ඌව පළාත් සභා ඡන්දයෙන් පසුවය. ඌවේ රතු එළිය දුටු පසු හදිසි  ඡන්දයකට යාම පුදුමය. ඔහු තමන්   ගැන අධිතක්සේරුවක සිටි අතර මේ නිසා සැබෑ තත්වය නොදුටුවේය. දෙමළ ඡන්ද තමන්ට නොලැබෙන බවත් මහත් පරිශ්‍රමයක් දරා අහිමිකරගත් මුස්ලිම් ඡන්දද තමන්ට නැති බවත් දැන අඹ ඇටයක් මොළය තියන එකෙක් ජනාධිපතිවරණයකට යන්නේ නැත. මහින්දට කොස් කොළ ඔටුණු පැළදවූ අය මෙහිලා වගකිවයුතුය. 



මෙවර මහමැතිවරයට මහින්ද තරඟ කිරීම නිවැරදිය. ඔහුගේ මුළු ශක්තිය දායකත්යව පක්ෂයට දී ඉන් පසු ගෞරවාන්විත සමුගැනීමක් ගැන සිතිය යුතුය.පොදු සතුරා වන මහින්ද වේදිකාවෙන් ඉවත් වූ පසු ඔහුට එරෙහිව සිටින අය අලුත් පොදු සතුරෙක් සොයාගෙන යළි සටන් අරඹනු ඇත. ඔවුන්ගේ සමගිය බිදී යයි.

ඊලඟ ඡන්දය තිබෙන්නේ 2019 දීය. ඒ වනවිට පැරණි සටන්පාඨ අහෝසි වී ගොස්ය. කොටි කතා ඇත්තේම නැත. ඒ  වෙනුවට දියුණු රටක මැතිවරණයක් මෙන්ම වනු ඇත.

සියල්ලම වෙනස් වනු ඇත. අද සිටින බොහෝ පැරණි යුගයේ දේශපාලනඥයන් දේශපාලනයෙන් සමු ගෙන සිටිනවාට සැක නැත. එසේම නව බලවේග මතුවී දේශපාලන සම්ප්‍රදායන්වලද වෙනසක් වනු ඇත. ඊලඟ ඡන්ද විද්‍යුත්  ක්‍රමයට පවත්වන නිසා මැතිවරණ රාජකාරි සදහා විශාල සේවක සංඛ්‍යාවත් අවශ්‍ය නොවනු ඇත. ප්‍රතිඵලද ඉතා ඉක්මනින් නිකුත් වනු ඇත. එසේම ප්‍රචාරක කටයුතු  මුළුමනින්ම පාහේ විද්‍යුත් ක්‍රමවලට සිදුවනු ඇත. 2020 වන විට වෙනස්ම වෙනස් අනාගතවාදී සමාජයක් බිහිවී තිබෙනවා නිසැකය.

19 comments:

  1. ඔබේ කතාව කියෙව්වා..... මේ කමෙන්ටුව දාන මටනම් ඔබ තරම් අතීතයක් නැතත්.... 2005 න් පසු මැතිවරණ වලට ඡන්දය දමා අැත.... කෙසේ වෙතත් කිසි විටෙක ජනප්‍රිය රැල්ල සමග නොගිය මා හැම විට ම සිදුවන්නා වූ වෙනස් වීම් දැක සතුටු වූවෙමි... දේශපාලනය යන්න අලුත් විය යුතුය.. නැතහොත් ඒය ඉක්මනින් ම වැඩවසම් ක්‍රමයක් නිර්මාණය කර ගනියි.... ඒය අලුතින් පත්වීමට නියමිත යූඒන්පී රජයටද සත්‍යයකි..... මේ වෙමින් පවතින වෙනස පිළිබද මා ප්‍රිය කරන්නේ ඒබැවිනි.......

    ReplyDelete
    Replies
    1. මට තිබෙන්නෙත් ඔබේම සිතිවිලිය. මමද වෙනසට කැමැත්තෙමි.සිදුවන දෙයද ඉතාම පැහැදිලිය.වෙනස ජනයා කෙසේ දරාගනියිද කියන එකනම් අනාගතයට බාරය.

      එජාපය ඉදිරිපත් කරන වෙනසද අත්හදා බලන්නට ජනතාවට ඉඩ දියයුතුය. යූඇන්පී කෑමත් කාල බලන්න කියා මම කියමි.රාජපක්ෂ යුගය ඉතිහාසයට එක්වී හමාරය.
      එජාපයේ නූතනවාදී වෙනසට මා ප්‍රිය කරනවා කීමෙන් 1994 ට පෙර සිදුවූ ඍණාත්මක දේවල් කිසිවක් අනුමත කිරීමක් වත් ඔවුන් ගැන අනවශ්‍ය බලාපොරොත්තුවක් තබාගැනීමක්වත් නැත.

      ඔබ මෙන්ම මාද වෙනස්වීම් හා අළුත්වීම් වලට ප්‍රිය කරන්නේ එය එකතැන පල් වුනොත් පසුගාමීත්වය කරා පසුගමනක් අරඹන බැවිනි.නිදහස්ව මනස තබා ගැනීමට පුරුදු පුහුණු වූ අපට ජය පරාජය කියා දෙයක් නැත.බැදීම් නැත. වෙනස්වීම් බලා සතුටුවිය හැක.

      Delete
  2. බොහෝම හොඳයි. බොහෝම හොඳයි. පුංචි මහත්තයා 1994 දී දැම්මා වගේ මේ පාරත් UNP එකටම චන්දෙ දාන්න.

    ReplyDelete
  3. මගේ යාලුවෙක් ඡන්දෙ දාන්න ගිහින් මළා.

    ReplyDelete
  4. අහෝ මධ්‍යස්ත මත ධාරියා, දින කිහිපයක කාර්‍ය බහුලත්වය නිසා නිදි වැරීමෙන් අනතුරුව, තදින් නින්ද ගිය රැයක දුටු අනාගතය පිළිබඳ සුභ සිහිනයක්දෝ මෙය.....?

    අනේ මේ සිහිනය සැබෑ වේවා කියා මාද පතමි....

    ඔබේ අවසන් වැකියේ එන "කොටි කථා ඇත්තෙම නැත" සඳහා එසේම වේවා කියා මා ඉත සිතින් ප්‍රාර්ථනා ගොනු කරමි.

    ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාව නවීන සංවර්ධිත රටක් වේවාය යන්න මගේ ප්‍රාර්ථනයයි.ජාතීන් අතර සහජීවනය ඇතිවී ඒකීය රටක් තුල අපේ සභ්‍යත්වය සංස්කෘතික වටිනාකම් රැකගනිමින් සංවර්ධනයේ නෑඹුල් ඵල භුක්ති විදීමට අපේ ජනතාවට අවස්ථාව ලැබේවා කියා පතමු.

      බටහිර දියුණු රටවල උසස් වටිනාකම් උකහාගන්නවනම් හොදයි.
      සන්නස්ගලලගෙ කතා අලුත් ( නරුම ) පරපුරේ කතා නිසා මේ ගමන කොහොම වෙයිද කියා සැකයක් ඇතිනොවෙනවාම නොවෙයි.
      එජාපය අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න ඇතිනෙ.
      අපි සුබවාදීවම බලමු.

      Delete
  5. විද්‍යුත් ක්‍රමයකින් තමන්ට පහසු තැනකින් චන්දෙ දාන්න ලැබෙනකම් ආයේ චන්දෙ නොදමන්න තීරණය කර ටික දවසක් වේ. එනිසා මෙවර මගේ හා බිරිඳගේ චන්දය කිසිවෙකුටත් නොලැබෙනු ඇත. රනිල් යුගයට පෙර ගමන් කරන කෙනෙක් කියනෙකට එකඟයි. කුලියාපිටියේ මුලින්ම තිබ්බ යොවුන් පුරේ මටත් ටිකක් මතකයි. 82 වගේ නේද? අපේ ලොකු අයිය ඒකට ගිහින් ආවේ මනමාලියෙකුත් හොයාගෙන.. හැක හැක.. 'යව්වන යව්වන යව්වනයේ.. නව යව්වන ලෝකය අපගේ.' කියල සින්දුවක් ඒ කාලේ නිතරම TV එකේ යනවා..

    ReplyDelete
    Replies
    1. thapal chandayata liyapadinchi vune naththe ayi?

      Delete
    2. ස්ථීරවල ඊලඟ ඡන්දයෙදි ඒ අවස්ථාව ලැබෙයි. දැනටත් ඉන්දියාවෙ තිබෙනවනෙ.
      82 නෙමෙයි 86 වෙන්න ඕන.කුලියාපිටිය සෙන්ට්‍රල් එකේ යොවුන් පුරේ තිබ්බෙ. සෙන්ට්‍රල් එක තියෙන්නෙ අපේ ගෙවල් කිට්ටුව.මට මතකයි යොවුන් පුරෙන් අපේ ගෙවල් ලග පාරත් හැදුව.
      වොක්ස්වැගන් කම්හල කුලියාපිටියෙ දමන එන ගැනත් මට සතුටුයි. රටට වගේම අපේ ප්‍රදේශයටත් හොද කලක් එයි.

      Delete
  6. ඡන්දෙන් පස්සේ රට අලුත් පාරක යයි කියා බලාපොරොත්තුවක් නැත. නමුත් මහින්ද රාජපක්ෂ නැමති දේශපාලකයාගේ ලාංකීය ඉතිහාසයේ භූමිකාව මෙතැනින් අවසන් වනවා දක්නට කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙනව අලුත් පාරක යයි කියලා.
      අපි කැමති වුනත් නැතත් මහින්දගෙ ගමන අවසන් වෙනවාමයි

      Delete
  7. ජේ ආර්, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා යන සියල්ලන්ගේම කාලවල LTTE සහ/ හෝ JVP ත්‍රස්තවාදය තිබුනා. ඔවුන්ගේ ක්‍රියාකලාපය බොහෝ දුරට ඒමත රඳා පැවතුනා

    මහින්දගේ 2005-2009 කාලයේ ත්‍රස්තවාදය අවසන් වුනා. ඔහු සහ අනෙකුත් එයට දායක වූ අය සහ රටවල් පැසසිය යුතුයි.
    ඒත් 2010-1014 කාලයේ ත්‍රස්තවාදය තිබුනේ නෑ. මං මහින්දට අකමැති ඔහු ඒකාලයේ රට පාලනය කල ආකාරයටයි. ඔහුට මේ රටේ දේශපාලන හා සාමාජයීය විශාල වශයෙන් සහ සාමාන්‍ය වශයෙන් ආර්ථික වෙනසක් හොඳ අතට කරන්න වෙන කාටවත් නො ලැබුණ අවස්ථාවක් ලැබුනා.
    කලේ නෑ. ඒ අතින් ඔහු අන් පාලකයින් හැමෝටම වඩා නරකයි

    ReplyDelete
    Replies
    1. 2010 න් පසු මහින්ද වෙනස් වුනා. ඔහුගෙ ප්‍රතිරූපය සකස් වෙලා තිබුනෙ ගැමි දේශීයත්වයට බර වාමාංශික නායකයෙක් ලෙස.ඔහු 2010 න් පස්සෙ වෙනස් වුනා. කසිප්පුකාරයො,කැසිනෝකාරයො,හොරු ,කුඩුකාරයො ලංකරගත්තා.
      ඔහුගෙ සෝබන වැඩත් වැඩිවුනා.ලොකුම කිරිබත,නෙළුම් කුළුන ,නෙළුම් පොකුණ මේ විකාර මොකටද
      රටට අවශ්‍ය කර්මාන්තශාලා. නිෂ්පාදනයයි වැඩිකරන්න ඕන. අලුත් තාක්ෂණය එන්න ඕන.එහෙම නැතිව හීනමානය වහගන්න කරන සෝබන නෙමෙයි.

      මහින්දට ලැබුනෙ වෙන කිසිම කෙනෙකුට නොළැඹුන අවස්ථාවක්. ඔහුට මේ රට නිසිමගට ගෙනයන්න අවස්ථාව ලැබුන. ඔහු කළේ කොස් කොළ ඔටුන්නක් ඔළුවෙ දාගෙන පිස්සු කෙළපු එක.

      Delete
  8. වොක්සුවැගන් කර්මාන්ත ශාලාව ගැන කියනවානම් ඕක රනිග්ගේ හපන්කමක් වෙන්න බෑ. මොකද ඇඟලුම් කම්හලක් වගේ දෙයක්නම් සාපේක්ෂව පහසුවෙන් ස්ථාපනය කල හැකියි. නමුත් මේ වගේ බැර කර්මාන්තයක් නම් වසර දහයක්වත් ඩදිරිය ගැන හිතලා සැලසුම් කල යුතුයි. මහින්දගේ කාලේ කල යටිතල පහසුකම් සංවර්ධනය සහ යුද්ධය අවසන් කිරීම මෙයට හේතුවිය යුතුයි.
    අනිත් එක නවීන වෙනවා කියන්නේ දුර්වල වෙනවා කියන එක නෙමෙයි.
    උදාහරණයක් හැටියට ඩී. එස්. සේනානායක මහතා සැලකුවහොත් ඔහු ප්‍රසිද්ධීයේ ආගමික කටයුතු කලේ නෑ යුරෝපීය ඇඳුම් ඇන්දා ඉංග්‍රීසි කතා කලා. නමුත් අනිත් අතින් උතුරු නැගෙනහිර පලාත්වල සහ අනුරාධපුර පොලොන්නරු පලාත්වල කැලෑබද පුදේශවල සිංහල ජනාවාස ඇතිකලා. ඒ වගේම මීගමුව ‍දිස්ත්‍රික්කයක් කිරීමට විරුද්ධ වුනා
    නමුත් රනිල් තුල එවැනි ජාතිකවාදයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔවු වොක්ස්වැගන් එක මීට කලින් තමා මෙහෙට එන්න තිබුනෙ. නමුත් ඒකත් හම්බන්තොට අටවන්න නෙ හැදුවෙ. මහින්ද හිතුවෙ ලංකාව කියන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කෙ කියල.දකින දකින දේ හම්බන්තොට අටවනව. කොහෙ හරි සිනමා ගම්මානයක් දැක්කනම් ඒක පස්සෙන්ද හම්බන්තොට ඇටෙව්ව.
      බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාව වගෙ එකක් අටවල තියනව.කිට්ටුව ඉස්කෝලවල විවිධප්‍රසංග තියන්න නම් හොදයි. හම්බන්තොට මේ සේරම අටවන්නෙ මුළු රටම ණය කරල .ඒකයි වරද.
      මහින්ද ජනවාරි 8 දිනුවනම් හම්බන්තොට රටේ අගනුවර කරනව. රටම ණය කරන කැළෑවල එයා පෝට් හදන එක තේරුමක් නෑනෙ. මහ්නිදට ආර්ථික දැක්මක් තිබුනෙ නෑ තිබුනෙ මෝඩ ප්‍රදේශවාදයක්.දෛවයෙ සරදමකට ඔහුට සිද්ධ වුනා ඡන්දෙ ඉල්ලන්න වෙන ගමකට එන්න. ඔහු කියල තිබුන මුළු රටම මගෙ ගම තමා කියල.

      ඩී එස් ගොවි ජනපද මීරිගම හැදුවෙ නෑ. ජේ ආර් මහවැලිය කැළනියට හැරෙව්වෙ නෑ. ප්‍රේමදාස උදාගම් මැදකොළඹ හැදුවෙ නෑ. හම්බන්තොටට කරන්න දේවල් තියනව .ඒව කළේ නෑ.ඔවුන්ට ඕන වුනේ වී වේලන්න අධිවේගී මාර්ග නොවෙයි.කළ යුතුව තිබුනෙ හම්බන්තොට කර්මාන්තශාල හදල ඒ නිෂ්පාදන කොළබ ගෙන ඒමේ ක්‍රමයක් හදන්න. ඒ වගෙම දුම් රිය මාර්ග දියුණු කරන්න. සාපේක්ෂ ඉතා අඩු වියදමකින් හම්බන්තොට මිනිස්සුන්ට ලොකු සේවයක් කරන්න තිබුන. නමුත් එහෙම දේකින් ලොකු කොමිස් කුට්ටි කැඩෙන්නෙ නෑනෙ.

      ලංකාව පොඩි රටක්. ලංකාවෙ හැමදෙයක්ම තීරණය වෙන්නෙ ලොකු රටවල තීන්දු තීරන මත. යුද්දෙ ඉවරකරන්න ජේ ආර්ට බැරිවුනේ ඉන්දියාව පරිප්පු දාන්න ආ නිසා. ජේ ආර්ට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනව ඇර වෙන දෙයක් තිබුනෙ නෑ. ඉන්දියාව එදා කරපු වැඩේ නිසයි යුද්දෙ දිග්ගැස්සුනේ.නමුත් මහින්දගෙ කාලෙ වෙනකොට ඉන්දියාව ඇමරිකාව වගෙ ලෝකෙ හැමෝම අපට උදව් කළා.
      මහින්දගෙ හෝ ෆොන්සේකගෙ පුද්ගලිකත්වය මත පමණක් පදනම් වුන සිදුවීමක් නොවෙයි එය.පොඩි රටක් ලෙස අප කළ යුත්තෙ ශේප් න්‍යාය. අමුතුවෙන් දුර්වල කරන්න දෙයක් නෑ. අපි කුඩා ආර්ථිකයක් තියන කුඩා මිලිටරි බලයක් තියෙන ජාතියක්. සරම කැහිපොට ගහගෙන ගේම ඉල්ලන්න අපට බෑ. කරන දෙයක් කරන්න ඕන මොළේ කල්පනා කරල.

      Delete