Thursday, April 30, 2015

ම්ලේච්ඡයන් ට එරෙහිව මනුෂ්‍යයන් ගේ ව්‍යාපාරය - මරණ දඩුවම තුච්ඡ මිනීමැරුමකි


ප්‍රවීණ බ්ලොග්කරුවෙකු වන රසිකොලොජිස්ට් මරණ දඩුවම ගැන පළ කළ පෝස්ටුව අතිශයින්ම ඉදිරිගාමී එකකි. එම පෝස්ටුවට පාදක වුනේ ඊයෙ පෙරේදා ඉන්දුනීසියාවේදී විදේශිකයන් කිහිප දෙනෙක් මරණ දඩුවමට යටත් කිරීමයි. මෙයට ජාත්‍යාන්තර වශයෙන් දැඩි විරෝධයක් එල්ල විය.එම විරෝධයට පදනම වුනේ ශිෂ්ට ලෝකය මරණ දඩුවමට එරෙහි වීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ද මෙය ලෝක මට්ටමින් අහෝසි කළ යුතුයැයි යෝජනා කළේය. දැනටද ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක මරණ දඩුවම අහෝසි කර හෝ අක්‍රිය මට්ටමක පවතී.විශාල වශයෙ මරණ දඩුවම ලබා දෙන්නේ චීනය ,ඉරානය හා සවුදු අරාබිය යන අන්තනෝමතික රටවල් වල සහ ඇමරිකාවේය. එහිදී චීනයේ මරණ දඩුවමට ලක් වන්නන් සැබෑ අපරාධකාරයන්ද නැත්නම් පාලක කොමියුනිස්ට් පක්ෂයේ විරුද්ධවාදීන්ද කියා දන්න කෙනෙක් නැත. එසේම එම නඩු විභාග කැන්ගරු උසාවි වලි විභාගවෙනවාද විය හැක.

මරණ දඩුවම ගැන මා මුලින්ම යමක් දැනගත්තේ ධර්මසිරි ගමගේ මහතාගේ ලිපිවලිනි. එතුමා මානව හිතවාදී කාරුණිකයෙකි. මරන දඩුවම ගැන දත්ත රැස්කිරීමක්ද කළේය. ඔහු එල්ලුම් ගහ නමින් සිනමා පටයකටද සම්බන්ධ විය. ධර්මසිරි ගමගේ මහතාගේ ලිපිවල එල්ලුම් ගහේ ම්ලේච්ඡත්වය මැනවින් නිරූපනය වී තිබිණි. එහෙත් කරුණු දැක්වීමේදී ඔහුද යම් සීමාවල සිටිබව විදේශීය මරණ දඩුවම් විරෝධීන්ගේ ලිපි කියවීමෙන් මට අවබෝධ විය.

මරණ දඩුවමට විරුද්ධ අය ඊට විරුද්ධවන්නේ විවිධ හේතුනිසාය. ජීවත්වීමේ අයිතිය පිළිබද කරුණ මෙහිලා ප්‍රධාන වෙයි. රජය සදාචාරාත්මක ආයතනයක් බවත් රජයට තවත් අපරාධයක් කිරීමට අයිතියක් නැති බවත් ඔවුහු කියති. මරණ දඩුවමට පක්ෂ අය එයින් අපරාධ අඩුවන බව කියති. එහෙත් දරුණු දඩුවම් කිසිත් නැති ස්කැන්ඩිනේවියානු රටවල අපරාධ ඉතා අඩුය. මරණ දඩුවම තිබෙන ඇමරිකාවේ එලෙස අඩුවක් නැත.

ශ්‍රී ලංකා ජනතාවගෙන් අති මහත් බහුතරයක් මරණ දඩුවමට පක්ෂය. මෙම සංඛ්‍යාලේඛන අසත්‍ය බව මා මුලින් සිතුවත් දැයට කිරුළ ප්‍රදර්ශනයේදී මට තේරුනේ මෙරට ජනතාව එල්ලුම් ගහෙන් අටෝරාසියක් ප්‍රශ්න විසදී රට සුරපුරයක් වන බව විශ්වාස කරන බවය. ඊට හේතුව මාධ්‍ය එල්ලුම් ගහට පක්ෂ ප්‍රචාරක ව්‍යාපෘතියක නිරත වී සිටීමයි. ජනමතය නිර්මාණය කරන්නේ මාධ්‍ය මගිනි. ඔවුහු රටේ අපරාධ රැල්ලක් ඇති බව කියති. එහෙත් එය මිත්‍යාවකි. රටේ ජනගහනයට සමගාමීව අපරාධවල විශාල වර්ධනයක් නැත.


මා මරණ දඩුවමට විරුද්ධ එහි ක්‍රමවේදයෙහි ඇති ම්ලේච්ඡත්වයටයි. මෙහිදී මරණ දඩුවම සහ පෙර සූදානම යැයි කොටස් දෙකකට බෙදමු. එල්ලුම් ගහ පෙර සූදානම සහ ක්‍රියාව යන දෙකින්ම ම්ලේච්ඡය. පළමුව ක්‍රියාව සහ දෙවනුව පෙර සූදානම ගැන කතා කරමු.

ක්‍රියාව ගත්විට අතීතයේ තිබූ අතිශයින්ම පිළිකුල් මරණ දඩුවම් ක්‍රම දෙස බලන විට ඊයෙ පෙරේදා ඉන්දුනීසියාවේ වෙඩි තබා සිදුකල මරන දඩුවම ශිෂ්ටය. හිසට තබන වෙඩි පහරකින් ඕනම එකෙක් එකපාරම මිය යයි. ඒ අනුව ඉන්දුනීසියාවේ මැරුම් කෑ අය දරුණු විදවීමක් කර නැත. ආයුධ පෙන්වන්න ගොස් පසුගියකාලයේ මිය ගිය අයද එසේමය. ඔවුහු තම මරණය ගැන දන්නේ පොලිස් කූඩුවේ දොර හැර සිලි බෑගයක් ඔළුවට දමා පොලිස් ජීප් එකට දමාගත් මොහොතේය. මරණ බිය දැනෙන්නේ වැඩිම වුනොත් පැයක් දෙකක් පමනි.ජපානයේද මරනයට පත්වන තැනැත්තා එය දන්නේ කලින් දා බව කියවේ.

එහෙත් ලංකාවේ එල්ලුම් ගහට ගිය අය දීර්ඝ කාලයක් මැරි  මැරි උපදිමින් වචනවලින් විස්තර කළ නොහැකි ආකාරයේ පීඩාවකට ලක්ව ඇත. ඔවුන් අතින් මියගිය අය නම් මැරුනේ එකපාරය. එහෙත් මොවුහු සියදහස් ගනනින් මැරි මැරී උපදිමින් දැඩි කායික මානසික පීඩනයකට පත්ව මරණයට පත්වූහ.අප එරෙහි වන්නේ මේ ම්ලේච්ඡත්වයටයි.

මරණැ දඩුවම් ක්‍රම දෙස බලන විට ඒවා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ට වෙමින් පරිණාමය වන බව පෙනේ. මුලදී ඉතා දරුණු ක්‍රමවලින් මරණ දඩුවම් ලබා දුන් අතර රජවරු ඒවා නැරඹූහ. මිනිසුන් පනපිටින් හමගසන හැටි ජහන්ගීර් අධිරාජයා ආසාවෙන් නැරඹූ බව කියවේ. මෙවැනි දේවල් අඩංගු ෆෝරමයක කොමෙන්ට් කළ අය ගේ අදහස් දුටු මට සිතුනේ ඔවුහු සංවේදී පිරිසක් බවය. එහෙත් ඒ අදය.

එහෙත් ඔය කාලයේ සමීක්ෂනයක් කළානම් ඔය කුරිරු දඩුවම් වලට එම සමාජවල ජනයා 99% ක්ම කැමැත්ත පළ කරනු ඇත. අපේ සමාජය එල්ලුම්ගහට දක්වන මනාපය අනුව බිය නැතිවම අප ම්ලේච්ඡයන් බව කීමට පුළුවන. එහෙත් බටහිර මිනිසා අපට ඉදිරියෙනි.

ඉන්දුනීසියාවේ මරණ දඩුවම් ලබූ ඕස්ට්‍රේලියානුවන් දෙදෙනා ගැන සංවේදී වූ සමහර ඕස්ට්‍රේලියානුවන්ට උපදේශනය පවා ලබා දෙන මට්ටමට ආවාලු.  මෙහි කතා දෙකක් ඇත. එකක් නම් උපදේශනය වැනි දේවල් එම ජනයාට කොතරම් සමීපද යන්නයි. අනෙක මේ ඕස්ට්‍රෙලියානුවන් දෙදෙනාම සුදු කොකේසියානුවන් නොවේ. එකෙක්  දෙමළය අනෙකා චීන සම්භවයක් ඇත. එහෙත් ඕස්ට්‍රේලියානුවන්ට එය ප්‍රශ්නයක් නොවේ. මෙයද ඉතා දියුණු ලක්ෂනයකි.

දැයට කිරුළ ප්‍රදර්ශනයේදී එල්ලුම් ගහක් තිබිණි. එහිදී ඩමියක් එල්ලා පෙන්වීය. එය දකින විට ඉතා සරල දෙයක් බව සිතේ. එහෙත් කෙනෙක් එල්ලූ විට නහයෙන් කටින් ලේ එන බවත් මූන රතුවී ඉදිමෙන බවත් දිව එලියට එන බවත් ඇස් ඉදිරියට නෙරන බවත් මළ මුත්‍රා සහ ශුක්‍රාණු පහවන බවත් කියන්නේ නැත. එසේම එල්ලු විගසම මිය යන්නේද නැත. පැයක් දෙකක් දගල දගලා  මරණයට පත්වේ. මෙය බලා සිටිය නොහැකිව අලුගෝසුවා කඹය දිගේ පහලට බැස කකුල් දෙකින් බෙල්ල හිරකරන බවද කියවේ.
එසේම එල්ලීම වැරදී එක්කෝ බෙල්ල කැඩීයාමට හෝ හුස්ම හිරවීමටද පුළුවන. සදාම් හුසේන් එල්ලූ ආකාරය මුළු ලොවම දුටු අතර එහි ම්ලේච්ඡත්වයද දුටහ.


රසිකලොජියේ  සංවාදයේදී බොහෝ දෙනා තර්ක කළේ අපරාධකරුවන් මැරීමේ ප්‍රාථමික ක්‍රමය වෙනුවට යහපත් ශිෂ්ට ක්‍රම ආදේශ කළ යුතුබවයි. එය කිසිසේත්ම අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ.

අපරාධයක් කිරීමට සාමාන්‍ය පුද්ගලයෙක් සාමාන්ය තත්ව යටතේ නොපෙළඹෙයි. මෙය දීර්ඝ ලෙස කතා කළ යුත්තකි. අපරාධකරුවන් බිහිවීමට හේතු ගනනාවකි.

 අපරාධකරුවන් ඔවුන්ගේ උප සංස්කෘතිවලින් පෙළබවීමක් සිදුවේ. 

අපරාධ සදහා ඉතා පැහැදිලි ජානමය බලපෑමක් ඇත. විවිධ දේශපාලන පදනම් මත වර්ථමානයේ මෙම එළඹුම ට එතරම් පිළිගැනීමක් නැත.

මානසික රෝග නිසාද කෙනෙක් පහසුවෙන් අපරාධවලට පෙලඹේ.

මෙහිදී මුලින් සදහන් කළ සංස්කෘතිකමය බලපෑම ගැන කතා කළ යුතුය. අනෙක් දේවල් කතා කරන්නේ අපරාධ විද්‍යාව ගැන කතා කරන පෝස්ටුවේය.

 සංස්කෘතික කතාව කියන්නෙ මේකයි. අප සමාජයේ වැඩි දෙනෙක් ප්‍රශ්න විසදාගන්න බලන්නේ ප්‍රචන්ඩත්වාය් තුලිනි.තමන්ට තනිවම ප්‍රචන්ඩතව්ය මුදා හැරිය නොහැකිනම් චන්ඩින් පාතාලය හා කුලී මිනීමරුවන් දක්වා දිගු වේ. අපගේ ආගමික සංස්ථා පවා සියල්ලටම පළමුව ඉස්සරහට දමන්නේ ප්‍රචන්ඩත්වයයි. ජනතාවද එයට කැමතිය. සාකච්ඡාවෙන් සමන්ත්‍රනයෙන් ප්‍රශ්න විසදා ගැනීමට වඩා ගහමරා මැනීමට කැමතිය. ගමක සංගීත සංදර්ශනයක පවා මේ ප්‍රාථමික ලක්ෂනය දැඛිය හැක. අපරාධ කරන්නේ මේ ප්‍රාථමික මිනිසුන්ය. සමීක්ෂනවලදී එල්ලුම්ගහට පක්ෂව අදහස් දක්වන්නේ මේ අයමය. 

අප කළ යුත්තේ ආපස්සට  ගමන් කිරීම නොව අනාගතයට යාමයි.මරණ දඩුවම තුලින් මුළු සමාජයම එය ආශ්වාදනය කෙරේ. මුළු සමාජයම තිරිසන්කරනය සිදුවේ. 

බිය ගැන්වීම වැනි ක්‍රම අවශ්‍ය වන්නේ ප්‍රාථමික සමාජ හික්මවීමටය. ශිෂ්ට සමාජයක උත්සාහ කරන්නේ අපරාධ වැළැක්වීම සදහා ක්‍රමවේද සකස් කිරීමය. මරණ දඩුවම ඉල්ලන්නෝත් අපරාධකාරයෝත් එකම පිරිසකි. දෙපිරිසම ප්‍රචන්ඩත්වය ගැන විශ්වාසය තබන්නෝය. දෙපිරිසම මතවාදී ව පිටුදැකිය යුතුය. අපරාධවලින් තොර සාමකාමී සුන්දර සමාජයක් ගොඩ නැගිය හැක්කේ මේ දෙපිරිසම එකට තබා පැරදවීමෙනි.

33 comments:

  1. //එල්ලුම් ගහට ගිය අය දීර්ඝ කාලයක් මැරි මැරි උපදිමින් වචනවලින් විස්තර කළ නොහැකි ආකාරයේ පීඩාවකට ලක්ව ඇත. ඔවුන් අතින් මියගිය අය නම් මැරුනේ එකපාරය. එහෙත් මොවුහු සියදහස් ගනනින් මැරි මැරී උපදිමින් දැඩි කායික මානසික පීඩනයකට පත්ව මරණයට පත්වූහ.//ඔබේ ලිපියේ මේ කොටස ඇතුලතින් හඬා නොවැටී කියවීමට එල්ලුම් ගහ අවැසියයි පවසන කිසිවකුට හෝ හැකියාවක් තිබිය නොහැකිය.
    වැරදි කරුවන් හා නිවැරදි කරුවන් අතර ඇත්තේ එකම එක වෙනසකි. “වැරදිකරුවා“ යනු වරද අනාවරණය වූ තැනැත්තාය නිවැරදි කරුවා යනු වැරදි සඟවාගෙන සිටින කොනාය. එහෙයින් යම රජු හෝ යමපල්ලා වීමට කාට හෝ අයිතියක් සුදුසුකම් තිබේද ?

    ReplyDelete
    Replies
    1. මේ රටේ එල්ලුම්ගස් ගිය සියළුම දෙනා කිසිම දෙයක් කරකියාගන්න බැරි අසරණයො. එකම වෘත්තිමය අපරාධකාරයෙක්වත් එතන නෑ. කොස් ගෙඩියට ,පුවක් කුරුට්ටට මිනී මරපු අය. හැබැයි 1976 ට පෙර වෘත්තිමය අපරාධකාරයො රටේ හිටිය.
      ආයෙත් එල්ලුම්ගහ ගෙනාවත් කිසිම පාතාල නායකයෙක් එල්ලුම් ගස් යන්නෙ නැහැ. පාතාල නායකයො ඉන්නෙ දේශපාලන සහ ධන බලය සහිතවයි. සාක්ෂිකරුවන් බියවැද්දීම සහ තවත් බොහෝ දේ හරහා ඔවුන්ට නිදහස් විය හැකියි.විදේශිකයන්ට එරෙහිව හෝ බලවතුන්ට එරෙහිව හෝ අපරාධයක් නොකරන තාක්කල් ඔවුන් සුරක්ෂිතයි.

      අපරාධ ලෝකයේ අන්තිම පුරුක වන බිලිබෝයිල මිස පිටුපසින් සිටින මෙහෙයවන්නන් දඩුවම් ලබන්නෙ නෑ. කුඩු ග්‍රෑම් ගනන් ගෙනත් මරණ දඩුවම ලබනව හැබැයි කන්ටේනර් පිටින් ගේන අය පොලිස් දේශපාලන ලොක්කො සාක්කුවෙ දමාගෙන නිළියො රැයෙන් රැයට මාරුකරගෙන රජ සැප විදිනව. කුඩු රජවරුන්ගෙ මාලිගා දැකල ඇතිනෙ. ඔය එකෙක්වත් දඩුවම් ලැබුවද

      මරණ දඩුවම ගැන තියන මාධ්‍ය කැසිල්ල පුවක් කුරුට්ටට මිනී මරන ඈත වන්නියෙ ඉන්න ගැමියෙක් එල්ලන්න විතරයි.

      මම තර්ක කලේ මෙතන අපරාධයට වඩා දඩුවම දරුණු වීම ගැනයි.

      Delete
  2. මරණ දඬුවමෙහි එකම ඉලක්කය විය යුත්තේ සමාජයට යම් තදබල අනතුරු ඇඟවීමක් පමණි. ඒ හැර එයට ලක්වන පුද්ගලයාට මානසිකව කෙතරම් පීඩාවන් ගෙන එන ක්‍රියා පටිපාටයක නියුතු වුවද අද හෙට මියයන ඔහුට එයින් පලක් නැත. මරණ දඬුවම හුදු මිලේච්ඡත්වයේ කැඩපතක් පමණි. එය තුලින් ලේ පිපාසිත වූද මිනිසුන් වධයට ලක්වනු දකින්නට කැමැත්තෝද පමණක් තෘප්තිමත් වෙති. කෙනෙකු විඳවීම තුලින් තවකෙකු ලබනා තෘප්තිය පුදුමාකාරයැයි සිතේ.

    ReplyDelete
    Replies
    1. මරණ දඬුවමෙහි එකම ඉලක්කය ...., සාහිත්‍යට නැඹුරු අයට කෙනෙකු මරණ එක අනුමත කරන්න පුළුවනිද?

      Delete
    2. එල්ලා මැරීම වැනි දඩුවම් ක්‍රම නිර්මානය කර ඇත්තේත් මේ වින්දනය සදහා යැයි සිතේ. එකළ එංගලන්තයේ මෙය සැණකෙළියක් විය. එය නැරඹීමට මිනිසුන් ආවේ පොර කමිනි. එල්ලූ පසු පැයක් දෙකක් දගලන අසරණයා දෙස බලා ප්‍රීතිවීම මෙහි සැබෑ අරමුණයි. එහෙත් බිත්ති හතර තුල එල්ලීමෙන් සාමාන්‍ය ජනයාට මෙම ප්‍රීතිය අහිමි වී ඇත. අහෝ දුකකි.මෙම දඩුවම් ක්‍රම සැලසුම් කරන්නට ඇත්තේම රජවරුන්ගේ විකෘති ලිංගික ආශාවන් උදෙසා යැයි මම සිතමි. පේ රටේ පැවති උල තැබීම හා ඇතුන් ලවා පෑගවීම, පුවක් ගස්වල බද කකුල් දෙකට ඉරීම බලන්න.මෙම දඩුවම් පැනවූ අයද ප්‍රකෘති මානසිකත්වයෙන් සිටි බව සිතන්නට බැරිය.

      එකළ එල්ලා මරා ඇත්තේ මිනීමැරීම් වලට පමනක් නොවේ. එංගලන්තයේ මරණ දඩුවම ලබීමේ වැරදි 200 ක් තිබිණි.
      මා වඩාත් සසළ කළේ පාන්ගෙඩියක් සොරකම් කිරීමේ වරදට කුඩා ළමුන් දෙදෙනෙක් ( අවුරුදු 14 ,12 ) එල්ලා මැරීමේ සිද්ධියයි.පාන්ගෙඩි ඔවුන්ගේ බෙල්ලේ එල්ලා තිබිණි.
      අප එංගලන්තයට ඇගිල්ල දිගුකිරීමට හදිසි නොවිය යුතුයි. ඔය සිද්ධිය වුන කාලයේ අපට තිබුනේ පොඩි ළමයින්ටත් මරණ දඩුවම දී කිරි දරුවන් වංගෙඩිවල දමා කොටා මවුවරු දියේ ගිල්වන නීතියකි. ඒවාද නීතියේ නාමයෙන් කළ අපරාධ ලෙස අප දුටුවත් එකළ ජනයා අනුමත කළහ.

      Delete
    3. @ඇනෝ,
      //මරණ දඬුවමෙහි එකම ඉලක්කය විය යුත්තේ සමාජයට යම් තදබල අනතුරු ඇඟවීමක් පමණි// මෙයින් මා අදහස් කරන්නේ දඬුවම් ක්‍රමයක් වශයෙන් අනෙක් දඬුවම් වලට වඩා මෙය වෙනස් වන්නේ එහි දඬුවම්ලාභියා කිසිසේත්ම පාඩමක් ඉගෙනනොගන්නා නිසා එවැනි වරදක් කිරීමට අනෙක් අය හෝ පෙළඹීම වැලැක්වීම පමණක් බවය. එය තිබෙන තත්ත්වය මිස මගේ අදහසක්ද නොවේ. සාහිත්‍යයට නැඹුරුවීම හා කෙනෙකු මැරීමට පෙළඹිම අතර සෘජු සම්බන්ධයක්ද නැත. මාගේ සමස්ථ අදහස් දැක්වීමෙන් කියවෙන්නෙ නිශ්චිත දිනයක නිශ්චිත වේලාවක වද විඳ හෝ නොවිඳ මිය යාම ඔහුට ජීවත් වන කෙටි කාලයේ විශාල මානසික වදයක් වීමත් ඒ තුලින් ඔහු හදාගැනීම හා සමාජගත කිරීම යන්න සිදුනොවීමත් නිසා මරණ දුඬුවම නිශ්ඵල බවයි. මා සාහිත්‍යෙයහි යෙදුනත් නැතත් මාගේ ජීවිතයට, මාගේ අඹුදරුවන්ගේ ජීවිතවලට හානියක් කරන්නට එන්නෙකු මරන්නටද පසුබට නොවෙම්. එහිදී මගේ සාහිත්‍යය වන්නේ අනෙකා මරා හෝ මා සහ මගේ උන් රැකගැනීමයි. මම සාහිත්‍යෙය් එන සිරිසඟබෝ නොවෙමි.

      Delete
  3. මරණ දඩුවම මිනිස්සුන්ට යහපත් ලෙස හැසිරීමට අනුබල දෙන තර්ජනයක් විනා...ම්ලේච්ඡ හදවත ඇත්තන්ට තෘප්තියක් දෙන ක්‍රියා දාමයක් නොවිය යුතුමය.අපි කවුරුත් මනුෂ්‍යෙයා්ය.

    ReplyDelete
    Replies
    1. මා වඩාත් අවධාරණය කලේ මරණ දඩුවම් ක්‍රමය සහ මරණ දඩුවම දීමට දින ගනනාවක සිට කරන අති දරුණු මානසික වධය ගැනයි.එසේම දඩුවම අපරාධයට වඩා අතිශයින්ම සාහසික වීම ගැනයි.
      රාජ්‍යයට මිනීමරන්න අයිතියක් ඇද්ද යන දාර්ශනික කාරනය එතරම් සළකා බලුවේ නැහැ.

      මරණ දඩුවම කියන්නෙ පැහැදිලිවම ම්ලේච්ඡ හදවත් ඇති අයට තෘප්තිය ලබා දෙන කාරනයක් තමයි.

      Delete
  4. යකා............... අපිත් මරණ දඩුවමට විරුද්ධයි.... මොන දේකට වුණත් මිනිහෙක් මැරීමට අපිට අයිතියක් නැහැ.... ඔහු නිදහසේ ඉපදුන කෙනෙක්... ඒක ස්වාභාවික උපතක් නම් මරණයටත් අයිතිය අැත්තේ ස්වාභාවයටමයි.... මිනිහෙක් මරන්න නීතියක් හදලා මොකටද?? වැරදි මිනිහෙක් හරිගස්සන්න ක්‍රමයන් තමයි හදන්න ඔ්නේ...... මිනිහෙක් මරණ දඩුවමක් දෙන්න තරම් වැරැද්දක් කරනවානම් ඒකට වගකිවයුතු සමාජය තමයි..... රටක අාණ්ඩුවක් තියෙන්නේ මේ ගැටලු අවම කරන්න තමයි..රාජ්‍ය සේවයකයින් ඉන්නේ මේකට තමයි..... රටේ මිනිස්සු මිනීමරුවන් මංකොල්ල කරුවන් වෙන්නේ රටේ අාණ්ඩුවේ සහ සමාජයේ වැරැද්දෙන් මිසක් තමන්ගේ අාසාවට නෙමෙයි...... අැත්තට ම මරණ දඩුවම දෙන්න වෙන්නේ අායෙම පාර්ලිමේන්තුවේ ඉන්න ගැන්සියට ම තමයි අන්තිමට බලද්දි

    ReplyDelete
    Replies
    1. අප ජීවත් වන්නේ අපරාධ සදහා පොළඹවන සමාජයක. ටෙලිනාට්‍ය මගින් අපරාධ කරන විදිය දිනපතාම උගන්වනවා.
      අපරාධකරුවන් වීරත්වයට නංවන ධර්මතා ,පුරුෂාර්ථ සහ වටිනාකම් එක්ක. නගරයේ සිටින පෞර්ශ අක්‍රමතාවන්ගෙන් පෙළෙන එකා හිත හොද චන්ඩියා. ඉතින් තව මොනවද .
      ඒ වගේම අපරාධ නිවාරනයට කිසිම මනෝ විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක වැඩ පිළිවෙළක් නැහැ. මේ මොනවත්ම නොකර නිර්වානය මෝක්ෂය වගෙ අනුත්තර විකල්පයක් ගැන විශ්වාස කරනව .ඒ තමා එල්ලුම් ගහ.
      අපරාධ වලින් සැළැකිය යුතු ප්‍රතිශතයකට දායක වෙන්නෙ දේශපාලනඥයන් සහ මහා පරිමාන ධනපතියන්. අපරාධ මෙහෙයවන මේ අදිසි හස්තය සොයා නොගෙන නිර්ධන පන්තියෙ බිලිබෝයිල එල්ලුවට වැඩක් නෑ.

      අන්තිමට කියපු එක තමා අපූරු. මහජන මුදල් වංචාකල දේශපාලනඥයන් එල්ලන්න කියල කවුරුත් කියන්නෙ නෑ.

      අපරාධය කියන්නෙ සමාජයට වැලදෙන රෝගයක්.ඊට සමාජයටම ප්‍රතිකාර අවශ්‍යයි.

      Delete
  5. One of the best posts I read about death penalty. I also like your analysis on Aussies attitudes towards the two drug dealers, Andrew Chan and Sukumaran who were executed in Indonesia. It didn't matter to them that they were not Aussies by birth. In that sense, they are much more advanced than Sri Lankan Buddhists.

    ReplyDelete
    Replies
    1. Our society is badly in need of rehabilitation .Its attitude towards death penalty reveals the symptoms from which entire society is suffering . They are fond of ridicules remedial measures such as hanging ,firing squad etc.
      Ausies have shown their standard relating to benevolence ,liberality and humanity.

      Delete
  6. මේවා කියවනකොටත් ඇඟ සීතල වෙනවෝයි.....පුද්ගල හෝ වේවා බලධරය හෝ වේවා කෙනෙකු තවකෙකු මරණ එක මා තදින්ම පිළිකුල් කරනවා.....එහෙත් කෙනෙකු අතින් මරුමුවට ලක්ව ජීවත් වීමේ සාධාරන අයිතිය උදුරාගනු ලැබූ ඒ මැරුම් කරුට බලධරයක් විසින් කරන සාධාරනය නම් කුමක්ද​? මැරිච්චි එකාට මොකක් දැනේවිද කියල ඔහුට තිබූ ඒ අයිතිය අහක දාන්න පුළුවන්ද? මැරුම් කරු හෝ මරණ කරු, දෙදෙනාගෙන් කාට වුනත් අංශු මාත්‍රයක අසාධාරනයක් බලධරය අතින් සිදු නොවිය යුතුයි. මේ දේ කරා නම් මේ දේ අත්වෙනවා යන බිය අප කාටත් තිබිය යුතුයි. අප ගින්නක් දැකල අප ඒකෙන් ඈත්වෙන්නේ ගින්න අපව දවනවා යන ඇති බිය නිසයි. ගින්න දවන්නැතිවෙයි කියල අප දන්නවනම් අප සාමාන්‍යයෙන් ගින්නත් එක්ක කටයුතු කරයි. ඒ, ඒ ගැන අපට බියක් නැති නිසයි. මරණය ගැන බිය අප කාටත් තිබිය යුතුයි, එය අපව වරදින් වලකයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ සම්පූර්ණ ඇත්ත. බිය ගැන්වීම මගින් නොදියුණු මිනිසා වරදින් මුදා ගත හැකියි. නමුත් දියුණු සමාජවල මිනිසුන් එකිනෙකාගේ අයිතීන්ට ගරුකරන තත්වයට ඇවිත් තියනවා. දරුණු දඩුවම් අඩු ස්කැන්ඩිනේවියානු රටවල අපරාධත් අඩුයි.ඊට හේතුව ඒ රටවල උසස් ජීවන තත්වයම නොවෙයි. අපරාධ ගැන ඒ රටවල අධ්‍යන කෙරෙනවා. දෙවන ලෝක යුද්ධය ගැන අදටත් පර්යේශන කෙරෙනවා. අපරාධ වළැක්වීමේ විද්‍යාත්මක ක්‍රමවේද ගැන සොයා බලනවා. අපරාධකරුවන් බිහිවීමේ හේතු වළක්වනවා.
      ඒ වගේම නව තාක්ෂණය මගින් සොයා බලනවා අහිංසකයො එල්ලුම් ගස් ගියාද කියලත්. ඒ අය නිතර අප්ඩේට් වෙනවා.
      අපට ඒ මොකුත් නෑ. එකම විසදුම එල්ලුම් ගහ. බලන්න අප කොයි තරම් නොදියුණුද.

      නොදියුණු මිනීකන ගෝත්‍රිකයන් ලගට ගිහින් එකිනෙකාගෙ මානව හිමිකම් වලට ගරුකරන්න කීවොත් උන් මුලින්ම හිනාවෙයි.ඊට පස්සෙ එහෙම කියපු එකාව බාබකිව් කරයි.
      ඒ නොදියුණු මිනිසුන් දියුණු කරන්නයි අපි ලියන්න ඕන . එහෙම නැතිව පත්තරකාරයො කරනව වගෙ විශ්‍රාමික යමයකෙක් ගෙන්නල ඉන්ටවීව් අරන් කුණු රහ අවුස්සන එක නොවෙයි.

      Delete
  7. බිය ගැන පමනක්ම නොවෙයි මා කීවේ, කෙනෙකු අතින් මැරුම් කෑ පුද්ගලයාට වන අසාධාරනය ගැනත් මං මතු කලා //අපරාධ වළැක්වීමේ විද්‍යාත්මක ක්‍රමවේද ගැන සොයා බලනවා// මෙවැනි දේවල් අපේ රටේත් ඇතිවෙනවා නම් අපි කොයි තරම් වාසනාවන්තද​? මොකද එකාගේ පන අනෙකා නැති කිරීම, ඒ නිසාම තමන්ද නැතිවීට කවුරුත් කැමැති නෑනේ. අනුන් මරණ මානසිකත්වයෙන් මිනිසුන් මුදව ගන්න නම් රජය තම පුරවැසියන්ගේ සිත්වලටයි කතා කල යුත්තේ. එකා අනෙකාට ඉරිසියා, ක්‍රෝදය ඇති නොකරන මනසකුයි ඇති කල යුත්තේ. උවමනාවෙන් ඉදිරිපත් වෙනවනම් රජයක් වශයෙන් එය කරන්න බැරි කමකුත් නෑ. එහෙම එකක් ඇතිවෙයිද කියන එකයි ප්‍රශ්නේ. මොකද බෙදා පාලනය කිරීමෙන් නේ අපේ අය සාර්තකය දකින්නේ.

    ReplyDelete
    Replies
    1. මම අපරාධය දකින්නේ සමාජ පිළිවෙල වෙනස් වීමක් ලෙස. ඉදින් කළ යුත්තේ එසේ විකෘති වූ පිලිවෙල යළි යථා තත්වයට පත් කිරීමයි. වරදකරු මරා දමීමෙන් එය සිදුවන්නේ නැහැ. මට සිතෙනවා මීට අපූරුම විද්‍යාත්මක විසදුම් දී තිබෙන්නේ ඔබේ අනගි ආගමේ කියා. ඒ තමා ලේ වන්දිය.
      යම් කෙනෙක් මරා දැමූ පසු මිනීමරුවාගෙ ධනයෙන් වින්දිතයාගේ පවුල නඩත්තු කළ යුතුයි.එය රජය මැදිහත්වීමෙන් කළ යුතුයි. මෙවැනි දෙපැත්තටම වාසි විසදුම් ගැන සොයා බැලිය යුතුයි.

      අපරාධකරුවන් පුහුණු කරන සහ දුර්වලයන් දාමරිකයන්ගේ වහලුන් කරන නූතන බන්ධනාගාර ක්‍රමය වෙනුවට සිරකරුවන්ගේ ශ්‍රමය ජාතික ආර්ථිකයට දායක කරගන්නා එළිමහන් ක්‍රම සකස් කළ යුතුයි.
      සමාජය තුල අපරාධ විරෝධී ආකල්ප වර්ධනය කළ යුතුයි.
      මේ සංවාදවලට අපේ යාළුවො කැමතිනම් තව තවත් පෝස්ට් මගින් මේ විශය කතා කළ හැකියි.

      Delete
  8. ලංකාවේ එල්ලලා මරන්න ඉන්න එකා දීර්ඝ කාලයක් මැරි මැරි උපදින්නත්. ඉන්දූනීසියාවේ මැරිච්ච උන් එහෙම නොවෙන්නත් හේතුව පැහැදිලි කලා නම් වටිනවා.

    මරණ දඬුවම් ක්‍රම ගැන කතාවට නම් එකඟයි.

    මම පෞද්ගලිකව මරණ දඬුවමට විරුද්ධ උනත් ගෝත්‍රිකයන් පිරි රටක ගෝත්‍රික ලක්ෂණයක් වන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ වරදක් නෑ. මොකෝ සර්ව බළධාරී රජෙක් ඉල්ලන ගොන් හැත්තක් ඉන්න රටක් නේ මේක.

    ReplyDelete
    Replies
    1. ඉන්දුනීසියාවේ ඔය කියන සිරකරුවන් මරාදමයි කියා කිසිවෙක් සිතුවේ නැහැ. සිරගෙදර තුල ඔවුන් සාමාන්‍ය ජීවිතයකට හුරුවී සිටියා. එකෙක් සූපවේදියෙක් බවට පත්වුනා. ඔවුන්ට දඩුවම් ලැබුනේ වසර දහයකට පෙරයි.
      සුනිල් මාධව පරිවර්තනය කළ කතාවක එක් මිනීමරුවෙක් ඈත දූපතක සිරකර කාලයක් ගතවූ විට කුරුළු විශේෂඥයෙක් බවට පත්වුනාලු.ඔවුන්ට මරණය ආවේ අනපේක්ෂිතව.

      ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මකවූ කාලයේ එය දැන්වූ මොහොතේ සිට විද ඇත්තේ අපා දුකක්. එය වනේ වන හතුරෙකුටවත් නොපැතිය යුතු ම්ලේච්ඡත්වයේද අන්තිම උපරිමයට ගිය එකක්. ඉන්දුනීසියාවේ සිරකරුවන් මේ දුක විද ඇත්තේ දිනක් හෝ දෙකක්. එසේම එකපාර වෙඩි තබා මරන නිසා ඔවුන්ට ඒක ලොකු දෙයක් නොවෙන්නත් ඇති.
      නින්දා සහගත බෙල්ලෙන් එල්ලීමක් සහ ඉන් පසු මල සිරුරට නින්දාකිරීම් මොවුන්ට නැහැ.
      සවුදියේ රිසානා පවා ඇයගේ මරනය දැනගත්තේ ඊට කලින්දා විය හැකියි.
      ලංකාවේ සිරකරුවන් නිතර කාමර මාරුකරමින් වැලි කොට්ට කිරමින් දැඩි මානසික වධයන්ට මුහුන දී තිබෙනවා. අදින්න දෙන ඇදුම , පොරවනය පවා මරන දඩුවම සිහිවන ලෙස ඉතාම සක්කිලි ක්‍රමයට සකස් වී තිබුනත් වෙන රටවල එහෙම නැතැයි සිතනවා.

      Delete
    2. //ලංකාවේ සිරකරුවන් නිතර කාමර මාරුකරමින් වැලි කොට්ට කිරමින් දැඩි මානසික වධයන්ට මුහුන දී තිබෙනවා. අදින්න දෙන ඇදුම , පොරවනය පවා මරන දඩුවම සිහිවන ලෙස ඉතාම සක්කිලි ක්‍රමයට සකස් වී තිබුනත් වෙන රටවල එහෙම නැතැයි සිතනවා.// ඒ කතාවට මාත් එකඟයි මමා

      මං හිතුවා ඔයා ලිපියක් ලියයි කියලා මේ ගැන..

      Delete
    3. මේවට තමයි ලොක්කා ජෝක්ස් කියන්නේ.. එයාලට මරණ දඩුවම දුන්නා කියලා තීන්දුව දීපු දවසෙම දන්නවා. ඒත් එයාල හිතුවා ඔස්ට්‍රේලියන් කාරයෝ නිසා බේරේවී කියලා. අනික ඔස්ට්‍රේලියාව මාර ගේමක් ගෙනිච්චේ. මුන් දෙන්නා තමයි කුඩූ ගේම් එකේ රජවරු. ඒත් ඔස්ට්‍රේලියාව ෆයිට් කලේ උන්ගේ උන් දෙන්නා බේර ගන්න විතරයි. මේ දෙන්නත් එක්ක තව 8 දෙනෙකුට එකම දඬුවම හම්බ උනා. ඒත් අහම්බයකින් බේරුනේ පිලිපීන කාන්තාව විතරයි.

      රිසානාට මරණ දඬුවම හිමියි කියලා. රිසානා මැරි මැරි ඉපදුනා. ඒත් බේරගනීවී කියන බලාපොරොත්තුවක් තියෙන්න ඇති. රිසාන මරණ බව නොදැන හිටියේ ඩිලාන් පෙරේරා විතරයි. එයා තමයි පාර්ලිමේන්තුවේද කිව්වේ කොහොම හරි රිසානා බේර ගන්නවා කියලා. එතකොට රිසානා දිවිය ළෝකේ ගිහින් අහවරයි..

      Delete
  9. මරණ දඬුවම මිලේච්ඡ බව ආයේ පන්ති පවත්වා කියා දිය යුතු කාරණයක් නොවේය.
    ප්‍රශ්නය තියෙන්නේ ඒ අපරාධකාරයා අතින් මිය ගිය මනුස්සයා ගැනය.
    අපරාධකාරයා ට මරණ දඬුවම දීම මිලේච්ඡ නම් ඔහු අතින් මිනිසෙක් මිය යාම මිලේච්ඡ නොවන්නේද?

    ඔබ කියන පරිදිම මේ රටේ ඝාතන "රැල්ලක් " නැත.
    එත් සිද්ධවෙන ඝාතන කිසිවක් මානුෂික ද නැත. හොඳම උදාහරණ තියෙන්නේ කොටකෙතන ය.

    තාම අපි කරන්නේ කොටකෙතන සිද්ධවෙන ඝාතන එකින් එක ගණන් කිරීම , රෑට සුවර්ණ වාහිනියෙන් ඒ අපරාදේ සිද්ද වෙච්ච විදිය නාට්‍යානුසාරෙය්න් බල සිටීම පමණය. එදත් අදත් මේ රටේ මහා ලොකු "බලධාරී" "නිලධාරි" පැලැන්තියට මේ ප්‍රශ්නේ විසඳන්න බැරි වුනේය.

    ---
    තව කියන්න බොහෝ කතා ඇත.

    මරණ දඬුවම මිලේච්ඡ ය. මනුස්ස කම හිතේ තියෙන එකෙක්ට වත් මරණ දඬුවමට පක්ෂ විය නොහැක.

    ඒ වගේම සාහසිකයෙක් අතින් සාමාජිකයෙක් මිය ගිය පවුලක අනෙක් සාමාජිකයින්ට, කාමතුරයෙක් අතින් දූෂණය වුනු තරුණියකට, එලෙස දූෂණය කර මරා දැමුණු තරුණියක ගේ සහෝදර සහෝදරියන්ට, දෙමවුපියන්ට , ඒ සහාසිකයාට දිය හැකි එකම දඬුවම මරණ දඬුවම බව පෙනී යාම ද කිසිදු අවස්තාවක අසාධාරණ හෝ අමානුෂික නොවේ.

    නායකයින් හරියට රට නොහදන තාක් කල් මිනීමරු අපරාධ කාරයන් මෙන්ම උන්ට මරණ දඬුවම දෙන්න පෙළ ගැසී සිටින අහිංසක ජනතාවක් ද සිටිනු ඇත.

    ReplyDelete
    Replies
    1. මේ ගැන නම් මම උඩ කොමෙන්ටුවක කතා කර තිබෙනවා. අවශ්‍ය වන්නේ පළිගැනීමට වඩා යථා තත්වයට පත්කිරීමයි. වින්දිතයාගේ පවුල නඩත්තුව මිනීමරුවාට පැවරීම එකක්. මා එක් කෙටි කතාවක කියවා තිබෙනවා එහෙම පවුල් දෙකක් අතර පසුකාලීනව ඇතිවූ බැදීම. වින්දිතයාගේ දරුවන්ට පසුකලෙක තම පියා මැරූ මිනීමරුවා පියෙක් වෙනවා.

      කොටකෙතන කාලකන්නි නරුමයා කියන්නෙ ලොකු අයිස්බර්ග් එකක උඩට මතුවූ අපට පෙනෙන දෙයයි.
      එහෙත් එයට යට ඔබ කියන ලෙසම ප්‍රවුත්තිවල අපරාධ නාට්‍යානුසාරයෙන් පෙන්වන චැනල් තිබෙනවා. ඔය චැනල්වල ටෙලිනාට්‍යවල වීරයා දරුණු අපරාධකරුවෙක්. ඔහු අපරාධ කරන්නට කුමක් හෝ හේතුවක් හොයාගන්නවා. අපරාධ සාධාරණීකරනය කරනවා විතරක් නොවෙයි අපරාධවලට හිතකර වටිනාකම් හදුන්වා දෙනවා. අපරාධවලට අකමැති චරිත පොන්නයන් ලෙස හදුන්වන්නෙ. බලන්න ඕනම ඩ්‍රාමා එකක චන්ඩිය නේද උස්සල පෙන්නන්නෙ.

      තව දෙයක් මේවගෙන් අපරාධ කරන හැටි උගන්වනවා.

      මොනම වරදකටවත් පිළිතුර මරණය කියල මම නම් හිතන්නෙ නෑ. මරල විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ.කොච්චර මැරුවත් කාම අපරාධකාරයින් බිහිවෙන එක වළක්වන්න බෑ. මොකද ඒක ඒ අයට පාලනය කරන්න පුළුවන් දෙයක් නොවන නිසා.

      කාම අපරාධ කරන අයට ඒ සදහා ඇති අවස්ථාවන් අවම කළ යුතුයි. පාදඩයා කියන සිනමා පටය බැලුවද . එහි පාදඩයා ස්ත්‍රී දූෂනයක් නොකළොත් තමා පුදුම.ඔහුට ඊට ගැලපෙන පරිසරයක්මයි නිර්මානය වෙන්නෙ. ඔහුගෙ අඩු අධ්‍යාපන තත්වය , නිල් චිත්‍රපට එයට රුකුලක් වෙනවා. හෝමෝනමය හා ජානමය අක්‍රමතා තිබෙන අයෙක් මේ වගෙ පරිසරයකට වැටුනම ඌ තිරිසනෙක්මයි. එහෙම එකෙකුට ඒ මොහොතෙ නීතිය එල්ලුම් ගස් මතක් වෙන්නෙ නෑ. ඌ රෝගියෙක්. ඌට ඌව පාලනය කරගන්න බැහැ. ගෑනියෙක් දැක්කනම් ඇති.

      එල්ලුම් ගහෙන් අලුත් අපරාධකරුවන් වළක්වන්න බෑ. හැබැයි ගම්වල කොස් ගෙඩියට මිනීමරන එවුන්නම් බයවෙයි.කාම අපරාධකරුවන්ට උන්ව කොන්ට්‍රෝල් නෑ. ඒවගෙ කල්ලියක් සෙට් වුනොත් විනාසයි. මෙහෙම අය හදුනාගෙන ප්‍රතිකාර කරන්න පුළුවන් නම් අපූරුයි.මෙහෙම අය එකතුවෙන තැන් කුලී කම්කරුවන්ගෙ වැඩපොලවල් වගෙ ඒව ගැන විමසිලිමත් විය යුතුයි.අපචාරී පරිසරයන් නිර්මානය වීම වැළැක්වීම ගැන කීවෙ.


      කාම අපරාධ වැළැක්වීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ ගැන අපරාධ ගැන දමන ඊලඟ පෝස්ට් එකේ කතා කරමු.

      Delete
    2. සීයට දෙසීයක් එකඟයි..

      Delete
  10. එල්ලුම් ගස හෝ මරන දඬුවම කොහෙත්ම පිළිගන්න බෑ. ඇරත් සල්ලි කාරයට එක විදිහකටයි දුප්පතාට එක විදිහකටයි නීතිය ක්‍රියාත්මක වන මේ රටේ ඕක ක්‍රියාත්මක උනොත් වෙන ටික කියන්න දෙයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ක්‍රියාත්මක වුන කාලෙත් සිද්ධ වුනේ ඕක. 1976 ට පෙර මිනිස්සුන්ට පොලීසිය උසාවිය කිව්වම චූ යනව.ඕනම අහිංසකයෙක් පොලීසියට නිකම් සැකේට අල්ලගෙන ගිහින් එල්ලුගහට ඇරියත් කරන්න දෙයක් නෑ.

      ඒ කාලෙ මානව හිමිකම් , ජිනීවා ප්‍රජාව, සාධාරන නඩු විභාගවල අයිතිය ,,ඩී ඇන් ඒ සාක්ෂි ඒ මොකුත් නෑ. එල්ලුම් ගහට නියම වුනාට පස්සෙ නගුට දෙපරන්සෙ ගහගෙන එල්ලුම් ගහට නගින එකයි තියෙන්නෙ.උඩ ඉදන් පහලට හැම තැනම ම්ලේච්ඡත්වය. මිනිස් ජීවිතයක් බල්ලෙක් බලලෙකුගෙ ගානටවත් නෑ. රදල යුගයක්නෙ.

      චාල්ස් දයානන්දගෙ පොත්වල ඒ කාලෙ තත්වය අපූරුවට පෙන්වා දී තියනව. ඒකාලෙ අඩුවක් නැතිව තිබුනෙ එකම එක දෙයයි ඒ තමා සිව් දිසාවටම හැමුව අයුක්තිය කියන මහා චන්ඩ මාරුතය.

      අපරාධ මෙහෙයවන සල්ලිකාරයො ආතල් එකේ ඉදියි.උන්ගෙ බිලිබෝයිල එල්ලුම්ගස් යයි. ඒකත් සල්ලිකාරයන්ට අමතර ආතල් එකක් වෙයි.

      Delete
  11. /* ඔහු එල්ලුම් ගහ නමින් සිනමා පටයකටද සම්බන්ධ විය. */

    ධර්මසිරි ගමගේ චිත්‍රපටි අධ්‍යක්‍ෂකවරයෙක්. ඔහු අළුගෝසුවෙකු ගේ චරිතය ඇසුරෙන් සෑදු විත්‍රපටයේ නම පූජා. එය ඇත්තටම පියෙකු ගැණ කතාවක්.

    මගේ මතකයේ හැටියට ඔහු මවක ගැනත් චිත්‍රපටයක් සෑදූවා. එහි තමා අම්මාවරුනේ, සම්මා අම්බුදු අම්මාවරුනේ කියන ගිතය තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය කතාවෙ කොටසක් දවසක් අහම්බෙන් මම ටීවී එකෙන් බැලුවා. ඒත් ඒකෙ නම මට මතක තිබුනෙ නෑ. මම හිතුවෙ ඒ එල්ලුම් ගහ කියන සිනමා පටය කියායි.
      පූජා කතාවෙ අලුගෝසු පියා බොරු වැරැද්දකට එල්ලුම් ගහට නියමවුන පුතාව එල්ලනවා.ඒක පලිගැනීමක්. මරන දඩුවම නියම කරපු කෙනාගෙ පුතෙක් බලුකමකට ගිහින් අලුගෝසුවගෙ පුතාගෙ අතින් මැරුම් කාල හරි එහෙම එකකට පලිගැනීමක්.

      "අම්මාවරුනේ" හැදුවෙ ධර්මසිරි ගමගේ කියලත් මම දැනගෙන හිටියෙනෑ
      මම හිතුවෙ ඔහු පුවත්පත්කලාවේදියෙක් හා මානව හිතවාදියෙක් පමනක් කියලයි.සාමාන්‍ය ජීවිතයෙත් ඔහු ඉතා කාරුණික ඉතා යහපත් කෙනෙක් කියල අහල තියනවා.


      සම්මා සම්බුදු අම්මාවරුනේ ගීතයත් මම ආස කරන හැඟීම්බර එකක්.

      තොරතුරුවලට ස්තුතියි. අදත් මේ ලෝකෙ ඉන්න යහපත් මිනිසුන්ට තනිකමක් දනෙන්නෙ නැත්තෙ ධර්මසිරිල වගෙ කාරුණික සංවේදී සුන්දර මිනිසුන්ගෙ පාපහසින් මිහිතලය ආශිර්වාද ලබල නිසා කියලයි මට හිතෙන්නෙ.

      Delete
  12. මොනවද මරණ දණ්ඩනය වෙනුවෙන් ආදේශ කරන්න පුළුවන් යහපත් ශිෂ්ඨ ක්‍රම.. ?? ආයුධ පෙන්නන්ඩ යෑම වගේ ක්‍රමද ?

    ReplyDelete
    Replies
    1. මැරුව කියල ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ. අපරාධවල අඩුවක් නෑ. එකම දේ පළිගත්තා කියන ප්‍රාථමික සතුට.
      දියුණු සමාජයක අපරාධ මර්ධනයට නවීන විද්‍යාත්මක විසදුම් අවශ්‍යයි.
      කුඩු රජවරු ගැන කියනවා. නියම අපරාධකාරයො ඉන්නෙ දේශපාලන බලය එක්ක. ඉන්දියාවෙ අෆ්සාල් ගුරු එල්ලුවට ත්‍රස්තවාදය හා මත්ද්‍රව්‍ය එක්ක ඍජු සම්බන්ධකම් තියන දොන් ඩාවුඩ් ඉබ්‍රාහිම් ගැන කතා නෑනෙ. ඉබ්‍රාහිම් හැංගිල නෑ ඉන්නෙ ප්‍රසිද්ධියෙ. ඔහු ඒ සිද්ධියට අෆ්සාල්ට වඩා දායක වුන කෙනෙක්. ඔවුන් තමයි ඉන්දියාවෙ කළු ආර්ථිකය මෙහෙයවන්නෙ.

      සංවිධානාත්මක වෘත්තිමය අපරාධ මර්ධනය කරන්න බෑ එල්ලුම් ගහෙන්. කුඩු ග්‍රෑම් එකක් තියාගන ඉන්න උන්, කොස් ගෙඩියට මිනීමරන එවුන් නම් ටාගට් කරතෑකි.
      නමුත් එහෙම අය සමස්ත අපරාධ වලින් සුළු ප්‍රමාණයක්.

      Delete
  13. මමා එක්ක එකඟ වෙන්න පුළුවන් අදහස් දැක්වීමක්.
    කොහොමත් සිරකරුවෝ මනුෂයෝ කියලා අපේ තියෙන්නේ බෝඩ් වලට විතරයි.මරණ දණ්ඩනය ගැන අපේ මිනිස්සු දරන ආකල්පය හරිම ප්‍රථමිකයි.
    අපරාධකරුවන් මරණ දණ්ඩනයට ලක් කිරීමෙන් පමණක් අපරාධ මැඩලන්න පුළුවන් කියා සිතීම මිත්‍යාවක්.

    ReplyDelete
    Replies
    1. අපේ මිනිසුන්ට මාධ්‍ය මගින් දෙන්නෙ වැරදි චිත්‍රයක්. එල්ලුම් ගහ ගෙනාවම ඔක්කොම හරි කියනවා. නමුත් කළු ආර්ථිකය ධනවාදය එක්ක බදුන එකක්. ඒකෙදි තෝරු මෝරු කවදාවත් අහුවෙන්නෙ නෑ. ඈත වන්නියෙ පුවක් කුරුට්ටට මිනී මරන එකා මහා හාහෝවක් කරල අභීත සිංහ නාද කරල එල්ලන්න රාජ්‍යයට පුළුවන්.
      ප්‍රචන්ඩත්වය සිත්සතන් තුලින් දුරු කරන ක්‍රමවේද අවශ්‍යයි. ප්‍රචන්ඩත්වය නියපොත්තෙන්ම කඩලදාන්න ඕන. වචනයකින් පවා ප්‍රචන්ඩත්වය උලුප්පන්න හොද නෑ.
      " උදාහරණයකට අපි දකුනෙ හරිය " කියන කතාව බලමු. එතන තියෙන්නෙත් නිරුවත් කැත ගෝත්‍රවාදී ප්‍රචන්ඩත්වයනෙ.නියපොත්තෙන්ම කඩල දාන්න ඕන කීවෙ ඒකයි.

      අපරාධය කියන්නෙ රෝග ලක්ෂනයක්.එයට සමාජයටම ප්‍රතිකාර කළ යුතුයි. බන්ධනාගාරවල සිරකරුවන් අතරත් තියෙන්නෙ කැළෑ නීතිය. චන්ඩිකම ,හොරකම ,වංචාව ලැජ්ජාවට කාරණා කළ යුතුයි. අපරාධකරුවන් පුහුණුකරන පාසල් බවට පත්වෙලා තියන බන්ධනාගාර ඒ තත්වයෙන් මුදා ගැනීමත් වැදගත්.

      Delete
  14. අපූරු ලිපියක් හා ඒමත ගොඩ නැගී ඇති සාකච්චාවත් ඉතාම අපූරුයි.
    බොහෝම සංයමයකින් යුතුව කරුණු සාකච්චා කරන සභාවක්. ඇත්තෙන්ම දකින්නත් ආසයි.
    මේ ලිපියේ කියන මූලික කාරනය වන මරණ දඬුවමින් අපරාධ වැලැක්විය නොහැකියි කියන කාරනයට මමත් බොහෝම එකඟයි.ඒත් මගේ තියෙන මූලික පැනය තමයි වින්දිතයාගේ අයිතිය. මේ ගැනත් ඉහත සාකච්චා කෙරී තිබෙනවා වගේම ඒ ගැන මධ්‍යස්ත මතධාරියා දෙන පිළිතුරු ඇත්තෙන්ම ප්‍රශ්ණයේ මානුෂික පාර්ශවය හඳුනා නොගෙන දෙන පිළිතුරු ලෙසයි මට සිතුනේ.
    මිනී මැරුමක් පැත්තකින් තියන්න, එහිදී වින්දිතයා මිය ගොස් අවසන් ඔහුගේ අයිතිවාසිකම් නොව ආදරණීඅයයන්ගේ අයිතිවාසිකම් තමා අප සැලකිය යුත්තේ.
    එහෙත් ස්ත්‍රී හෝ ළමා දූශනයක්දී? සමූහ දූශණයකදී? මෙවන් විටෙක වින්දිතයා මුහුණ දෙන අති කෲර පීඩාව, අසරණ කම, අපේක්ශා භංගත්වය. තමා මත නෙකෙකු තමාට කිසිදින නිවැරදි කල නොහැකි වරදක් කරන විට, එම අපරාධයෙන් පසු එම සිරුරතුළ එයට වෛර කරමින් ජීවිත කාලයක් ජීවත් විය යුතු විට, මේ මනෝ භාවය ගැන සිතන්නට මිනිසුන් සංවේදී නොවන්නේ ඇයි.
    මෙවන් ප්‍රෂ්න ගැන දහම පදනම්ව නම් මා සතු වෙනමම කියැවීමක් තිබෙනවා. එහෙත් පොදු සමාජයේ කියැවීම එය නොවන කල අප සාකච්චා කල යුත්තේ පොදු තත්වය මත හිඳිමිනුයි.

    ReplyDelete