Sunday, April 5, 2015

බක්මහ අකුණු - ( අදට යෙදෙන 1971 කැරැල්ල අනුස්මරණය වෙනුවෙනි ) සහ සිරිපාලයගෙ අන්දරය


1971 කැරැල්ල සිදුවී අදට වසර 44 කි. විජේවීර මහතා එදා රජයට එරෙහිව කැරළි ගසන විට ඔහුට වයස අවුරුදු 27  ක් යැයි කියනු ලැබේ. බලය අල්ලා ගත්තානම්  අදත් මෙරට පාලකයා  ඔහු විය හැක. ඔහුට වයස අවුරුදු 71 කි. මේ වනවිට ඊලඟ නායකයා ලෙස ඔහුගේ දරුවෙකු සූදානම් කරනවා විය හැක. විප්ලවය සිදුවුනානම් අද අපට සිතාගන්නවත් බැරි තරම් රට වෙනස් වී තිබෙන බව සහතිකය. අද අප භුක්ති විදින අයිතිවාසිකම් ගැන අප අසාවත් නැතිවිය හැකි අතර උතුරු කොරියාව කියුබාව  වැනි රටවල මෙන් අන්තනෝමතික ආණ්ඩුවක් යටතේ මේ මොහොතේද ජීවත් වීමට ජනතාවට සිදුවනු ඇත.


මෙම නිර්මාණය එදා විප්ලවය සිදුවුනානම් යන උපකල්පනය යටතේ දිව යයි. මෙහි කථා නායකයා විප්ලවයෙන් පසු උපන්නෙකි. ඔහු ඒකාකාරී පීඩිත සමාජයෙන් මිදී නිදහස සොයා යයි.  මෙහි එන සිදුවීම් ,නම් ගම් සියල්ල මනහ්කල්පිතවේ.






නිදහස සොයා
මුහුදු රළ සෙමෙන් උස් පහත් වේ. ඉතාම සෙමිනි. මගේ හදද ගැහෙන්නේ ඉතාම හෙමිනි.හැම දෙයක්ම මහා ඝෝෂාව කෙමෙන් මහා නිහැඩියාවක් කරා ගමන් කරන්නාක් සේය.සියල්ල එක්වරම නවතීවිදැයි මට සිතුන වාර අනන්තය. මගේ දෑස් ඈත අහස දෙස බැලුනේ මටත් නොදැනීමය.අහස අනන්තය හා ගුප්ත ගනුදෙනුවක යෙදී සිටින්නාක් වැන්න. සියල්ල සෙමෙන් සෙමෙන් නුහුරු නුපුරුදු ලෝකයක් කරා ඇදෙමින් පවතී. ඇත්තටම හෙට දවස කෙබදු වේවිද? කුමක් වුනත් දැනට පවතින ලෝකයට වඩා හොඳය. බෝට්ටුව පෙරලුනත් ආපසු යනවාට වඩා නම් හොඳය.

මගේ ආදරණීය මාතෘභූමිය තව ටිකකින් නොපෙනී යයි.එහෙත් මට කිසිදු දුකක් නැත. යළි කිසිදා මෙහි පස් පාගන්නට තුන් හිතකින්වත් නොසිතන මට ඇති එකම දුක රටින් පැනගන්නට මට මෙන් වාසනාවක් නැති රටවැසියා ගැනය.

වාසනාව මගේ ජීවිතයේ ලඟම හිතවතා විය. ඇතැම් විට වාසනාව මට ඉදිරියෙන් සිටියේය. මා එනතුරු මට ඉදිරියෙන් සිට නැවතී බලා සිටියේය. රැකියාව ,උසස්වීම් ,බලය ආදී හැම දෙයක්ම ලැබුනේ එසේය.

මට අතීතය චලන සිතුවමක් සේ දිස්වෙයි. 1979 දී මා උපන්නේ ජනතා විමුක්ති විප්ලවය සිදුවී වසර අටකට පසුවය. රට රක්ත වර්න වී තිබුනි. මා කුඩා කලම වැඩිහිටියෝ මට කතන්දර ලෙස කියා දුන්නේ 1971 ට පෙර තිබූ ලෝකයය. ඒ කතා අසා මා බියන් ඇලලී ගියේ වරක් දෙවරක් නොවේ. මේ කතා ඇසීම නිසා මා මොනතරම් බියවුනාද කිවහොත් තනියම රෑට නිදාගන්නට බැරි විය. දොර රෙද්ද සුලගට මෑත්වන විට බිත්තියේ ඇදෙන සෙවනැලි මට පේන්නේ ධනපතියන් දඩයම් බලු රෑන සමඟ එනවා සේය. මම සිහිනෙන් බියවීමි. අම්මා උපදෙස් දුන්නේ විජේවීර සිහිකර නින්දට යන ලෙසයි. විජේවීර සිහිකර නින්දට ගිය විට සිහිනෙන් ධනපතියන් පෙනුනේ නැත.

තරුණයන් විප්ලවයක් කර රට අල්ලා ගන්නට පෙර ජනතාව ජීවත් වී තිබුනේ අපායකය. එකළ ධනපති ආන්ඩු බලයේ සිටි අතර මිනිසුන්ට දිවා රෑ ධනපතියන්ගේ පොල්වතු හා කුඹුරුවල වැඩ කරන්නට සිදුවී තිබිණි. වෙහෙස නිසාම මිය ගිය ගනන ස්වල්ප නැත. ධනපතියෝ අශ්ව කරත්ත වල නැගී සිය දඩයම් බලු රැලද රැගෙන ජනයා පසු පස එළැවූවේ කස පහර දෙමිනි. සියළු ලස්සන කාන්තාවන් ධනපති රදල නිවෙස් වලට යැවිය යුතු විය. අධ්‍යාපනය ජනතාවට තහනම් විය. අද ගොවියන් නිවෙස් වලට යනවිට කාර්යක්ෂ්මතාව අඩුවන නිසා ඔවුන් දම්වැල්වලින් බැද දමා තිබුනි.කෙසේ හෝ ධනපතියන් නොකළ කුරිරුකමක් නැත.

මේ කතා ඇසීමෙන් මා තුල ධනපතියන් හා රදලයන් ගැන වෛරයක් මෙන්ම අප සැම ගලවාගත් විජේවීර නම් දේවතාවා ගැන භක්තියක්ද ඇතිවිය.විප්ලවය ආරම්භ කරන ලද්දේ විජේවීර සහෝදරයා විසිනි.

එහෙත් ධනපතියෝ මේ උතුම් මිනිසා සිර කළහ. නිර්ධන පන්තික විඥානයෙන් ඔද වැඩි ජනතාව වීරෝදාර විප්ලවකාරී  පක්ෂයේ මූලිකත්වයෙන්  ඩඩ්ලි නමැති නම අසන විටත් ලොමු දැහැගැන්වෙන පාලකයෙකු බලයෙන් පහ කළහ.


සියල්ල නිරන්තර ගැටුම් තුලින් ඉදිරියට යයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට තැත් කළ සිරිමා නම් රදල කාන්තාවට බලයේ සිටිය හැකිවුනේ වසරක් වැනි කෙටිකලකි. ජනතාව නැගී සිටියහ. ජනතාව හඹා ගොස් මර්ධනය කළ යුතු යැයි රත්නවේල්  කීවේය. විප්ලවකාරී ජීව ගුණැයෙන් ඔද වැඩි ජනයා ප්‍රතිප්‍රහාර දුන්නේ මෙවිටය. අත්පය බැද කෙනෙක් ලිදකට දැමූ විට ඒ මිනිසා ළිද බොර කරනවා යැයි දොස් කීම වැරදිය. ජය හිමිවුනේ ජනතාවටය.

එතැන් සිට භීම සමයක් ඇතිවිය .මේ භීම සමය 1978 තෙක්ම පැවතුනි. මිනී මරුම් නතර කරන ලෙස විශේෂ ආඥාවක් නිකුත් වන තුරුම රට අමු සොහොනක් විය. කෙසේ හෝ රටේ ජනගහනයෙන් බාගයක්ම මරු මුවට පත්වී තිබුනි.රට පාලු සොහොනක් විය. 1978 ආඥාවෙන් පසු මරණ දඩුවම දීමේ බලය ගම්වල සිටින විප්ලවකාරීන්ට අහිමිවිය.

1971 ට පසුව උපන් නිසා උපතින්ම විප්ලවකාරයෙක් වූ මම බහ තොරන වයසේ සිටම පක්ෂයේ නායකයන්ට ප්‍රශංසා කළෙමි.දේශපාලන මණ්ඩලයේ කෙළවරක් නැති මිණීමැරුම් වලින් පසු නායකත්වයට පත් වුනේ ජගත් වික්‍රම නමැත්තකුටය. ඔහු ගේ කල්ලිය දේශපාලන මණ්ඩලයේ බලවත් වූ පසු ඔහුට ප්‍රශස්ති ගැයීමට ජනතාවට සිදුවිය. කලින් සිටි සියල්ලෝම ප්‍රතිගාමීන් බවත් ඉන්දියානු හා ඇමරිකානු ඔත්තුකරුවන් බවත් ජනතාවට උගන්වනු ලැබීය. විප්ලවයේ සමාරම්භකයා වූ විජේවීර පවා ඉන්දියානු ඇමරිකානු හවුල් ඒජන්තයෙකි.

මගේ පාසල් දිවිය ඒකාකාරී බවක් දිස්වෙයි. ගුරුවරු පන්තියේදී ඉන්දියාව හා ඇමරිකාව ගැන වෛර පුපුරන කතා උගන්වයි.ඇත්තෙන්ම අධ්‍යාපනයේ වැඩි කාලයක් ගතවෙන්නේ පක්ෂ ඉතිහාසය ඉගැන්වීමටය. අපි කිසිවෙකුට අප කැමති දෙයක් කළ නොහැක.අප කියන කරන දේ සිතන පතන ආකාරය කියා දෙන්නේ පක්ෂයයි. එසේ කරන්නේ අප ප්‍රතිවිප්ලවවාදී නොමඟ යාම් වලින් බේරා ගැනීමටත් ඉන්දියානු හා ඈමරිකානු කුමන්ත්‍රනවලින් බේරා ගැනීමටත්ය. එය සිහිවන විට පක්ෂය ගැන ඇතිවන්නේ භක්තියකි.

සාමාන්‍ය පෙල ඉහළින් සමත් වී තිබිණි. මගේ ප්‍රථිපල මෙසේය.


සිංහල ඒ සාමාර්ථය


විද්‍යාව සී සාමාර්ථය


ගණිතය එස් සාමාර්ථය


තාක්ෂණය එස් සාමාර්ථය


පක්ෂ ඉතිහාසය ඒ සාමාර්ථය


රුසියන්  ඒ සාමාර්ථය


චීන ( මැන්ඩරින් ) ඒ සාමාර්ථය


මාක්ස්වාදය ඒ සාමාර්ථය


සමාජවාදී ලෝක ඉතිහාසය ඒ සාමාර්ථය


සමාජවාදී ආර්ථික විද්‍යාව සී සාමාර්ථය ලෙසයි.


උසස් පෙළට තෝරාගත්තේ දේශපාලන විශය ධාරාවයි . ඒ යටතේ පක්ෂය ගැන ඓතිහාසික හැදෑරීමක් කළෙමි. උසස් පෙළින් පසු රැකියාවක් සොයාගන්නා ලෙස පක්ෂයෙන් දන්වන ලදී.


 මට තිබුන ගැටළුව මට කුමන රැකියාවක් ලැබේද යන්නයි. රැකියාව තොරා දෙන්නේද පක්ෂයයි. විවාහයට සහකාරිය තොරා දෙන්නේද පක්ෂයයි.ඇය ද සියල්ල වෙනුවෙන් පක්ෂයට වගකිවයුතුය. ඇය සමඟ කතා කළ යුත්තේත් පරිස්සමිනි. දරුවෝද දෙමවුපියන්ට එරෙහිව පක්ෂයට ඔත්තු දිය යුතුය.

රැකියා පෝරමයේ ප්‍රමුඛතා පිලිවෙලට අනුව මට ලැබුනේ ශ්‍රවණ නිළධාරි හා බැලුම් නිධාරි තනතුරුය. ශ්‍රවන නිළධාරි යනු ජනයා කතා කරන දේවල් වලට කන්දී සිටීමය. බැලුම් නිළධාරි යනු ලියුම් කඩා බැලීමය. ජනතාවගෙන්  පහෙන් එකක්ම ඔත්තුකරුවෝය.ඊට අමතරව එකිනෙකාට එරෙහිවද ඔත්තු දිය හැක. දිස්ත්‍රික් මට්ටමින් වධ කදවුරු පිහිටුවා ඇත.

මෙසේ ඔත්තු බලන්නේ ජනතාව ප්‍රතිවිප්ලවවාදීන්ගෙන් බේරාගැනීමටය. අල්ලාගන්න ප්‍රතිවිප්ලව වාදීන්ට එරෙහි කංගරු උසාවි ගම් මට්ටමින් පැවැත්වේ. වරදකරුවෝ මරණ දඩුවම ලැබීමට පෙර නිර්ධන පන්තියෙන් සමාව ඉල්ලා සිටිති. ඔවුහු පක්ෂ නායකයාගේත් නිර්ධන පන්තියේත් ගුණ කියමින් මරණ මංචකයට යති. සියල්ල නාට්‍යයක් මෙනි. කිසිවෙකු විශ්වාස කළ නොහැක. විශ්වාස කළ හැක්කේ කිසිදා කිසිවක් නොවරදින සුළු පක්ෂ නායක සහෝදරයා පමණි. දෙමවුපියන් , සහෝදරයන් , සැමියා/ බිරිද , දරුවන් පවා ඉන්දියාව හා ඇමරිකාව විසින් උපක්‍රමශීලීව යොදවන ලද ප්‍රතිවිප්ලවවාදීන් විය හැක


මගේ වාසනාව උදාවුනේ පක්ෂ නායකයන් රැස්වූ තැනක කථාවක් පැවැත්වීමට ලැබීමෙනි.මා කතාකළේ මරණයට සුදුස්සෝ මරා දැමිය යුත්තොය යන මාතෘකාව යටතේය. මා කතා කළේ උද්වේගයෙනි.මරන්න තව මරන්න යළි යළි මරන්න විප්ලවය 1971 න් අවසන් වුනා නොවේ. ඔබ අසල සිටින ඔබේ හිතවතා අසල්වැසියා ඉන්දියාව හා ඇමරිකාව විසින් යෙදවූ ඔත්තුකරුවෙක් විය හැක. මා කතා කරන විට සියල්ලෝම අසල සිටි අය දෙස බැලූහ. ඉන්දියාවෙන් හා ඇමරිකාවෙන් අප බේරාගන්නා පක්ෂයට ප්‍රශංසා කළෝය.

ඉන්පසු මට දේශන සදහා ඇරයුම් ලැබුනි. බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිගාමීත්වය හා විමුක්තිය ලබාගත හැක්කේ පක්ෂයට කීකරු වීමෙන් බවට මා පැවැත්වූ දේශන මාලාව නිසා මට උසස්වීම් ලබාගැනීම පහසු විය.

මට සුවපහසු ජීවිතයක් උරුම විය. මට තිබුනේ පක්ෂයට කීකරු වීමෙන් ජනතාවට ලැබෙන මහත්ඵල මහානිසංස ගැනත් පක්ශය ලබා ඇති ජයග්‍රහණ ගැනත් දේශන පැවැත්වීමයි.



1990 ගනන්වලදී පක්ෂය අරුම පුදුම ජයග්‍රහණ ලැබීය. කොම්පියුටරය නම් අරුම පුදුම යන්ත්‍රයක් මට මුලින්ම දැක ගත හැකිවූවේ ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනය කිරීමේ මූලස්ථානයේදීය. විදේශීය පුහුණුවක් ලද අයෙක් එය ක්‍රියා කරවන හැටි පෙන්වා දුන්නේය. නිර්ධන පන්තියේ බුද්ධි මහිමය ගැන මට ඇතිවුනේ අභිමානයකි. මෙය නැරඹූ සියළු දෙනාම විප්ලවීය ජීව ගුණයෙන් පිරී ගියේය. පක්ෂයේ නායක සහෝදරයාගේ ගුන ගයා ඔහුට මුව නොසෑහෙන සේ ස්තුති කර අප විසිර ගියෙමු.


හැමෝගේම ජීවිත ඒකාකාරී වී තිබිනි. මේ ඒකාකාරීකම නැති වුනේ අළුත් තාක්ෂණික භාන්ඩ පැමිනීමෙනි. ඒවා නම් පක්ෂ නායකයන්ගේ ප්‍රඥාව මේ ‍යැයි කියා පාන්නක් විය. එක තැනක සිට කතා කරන විට කිලෝ මීටර් ගනනක් දුරින් සිටි අයටද එය ඇසේ. මේ තාක්ෂනික දේවල් 1971 විප්ලවයේ ජයග්‍රහණ ලෙස කියා දෙන ලදී. අප මේවා ජනතාවට කියා දිය යුතු විය. ඇත්තෙන්ම දුෂ්කර ප්‍රදේශවල ජනයා මෙම විශ්මකර්ම භාන්ඩ ලොවට දුන් විප්ලවවාදීන්ට නිසිලෙස ගෞරව නොකරති. ඇත්තෙන්ම අප මේවා ලොවට දීම ගැන පක්ෂනායක සහෝදරයාට කෘතඥ විය යුතුය. පක්ශය යනු අරුම පුදුම විශ්මයකි.

මේවා අසාවත් නැති තවම ධනපති යුගයේ සිටින ඇමරිකානුවන් ගැන මට දුක සිතුනි. මා සමඟ එක් වැඩිහිටි සහෝදරයෙක් කීවේ මෝටර් සයිකලය ගැනයි. ඔහු එය වර්ණනා කළේය. ධනපතියන්ගේ එකම පාරට්ටුව පාපැදියයි.එයද නිර්ධනපන්තියේ නිෂ්පාදනයකි. එවැනි නිෂ්පාදන කල හැක්කේ විප්ලවවාදීන්ට පමනි. එහෙත් ධනපති පාපැදියට වඩා සමාජවාදී රටවල භාවිතවන මෝටර් සයිකලය කාර්යක්ෂ්මය.


ධනපති රටවල මිනිස්සු ඉන්නෙ වැද්දො වගෙ වෙන්න ඇති නේද කියා මම ඇසුවෙමි.


ඔවු සහෝදරය ඒ රටවල විප්ලවය සිදුවෙලා නැති නිසා මිනිස්සු කොළ අතු ඇදන් වගෙ ඇති. මාත් දන්නෙ නෑ . පක්ෂෙන් කියන දේවල් තමා අපිත් දන්නෙ " ඔහු කීවේය.



අමුතු ගැජට් එන්නට පටන් ගත්තේ 1990 න් පසුය. එහෙත් මේවා පක්ෂයට සීමා විය . පක්ෂයේම ශාඛා වූ ආරක්ෂක අංශ සහ අධිකරණය මේවා පක්ෂ නායකයාගේ අනුමැතිය ඇතිව පාවිච්චි කළහ. මේ සියල්ල පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ප්‍රඥාව පිළිබිබු කරන්නකි. සෙසු ලෝකය අපට වඩා ගව් ගනනක් පසුපසිනි. මේවා තේරුම් කර දීම පට පැවරී ඇති රාජකාරියයි.සෙසු රටවල් අපට වඩා ඔය තරම් පසුපසින් නම් දුම් රිය මාර්ග හැදුවේ කෙසේදැයි එක් කොළුවෙක් ඇසීය. මට ගනදෙවි නුවන පහල විය. ඒවා කළේ ඒ රට වල සිටි නිර්ධන පන්තියයි.මම කීවෙමි.


සෙල් ෆෝනය නමින් අමුතුම ගැජට්ටුවක්ද ආවේය. ධනපති රටක මෙය කිසිසේත්ම භාවිතා කළ නොහැක. මන්ද ජනතාව ඉක්මනින් පක්ෂයක් යටතේ සංවිදානය වී විප්ලවය සිදුකරන බැවිනි. එය ගැලපෙන්නේ අපේ වැනි සමාජවාදී රටවලටය. පොලිස් ඔත්තුකරුවන් හරහා මෙය කළ හැක. ඔබට තව කෙනෙක් සමඟ යමක් සන්නිවේදනය කරන්නට අවශ්‍ය මෙම උපකරණයත් පොලිස් ඔත්තුකරුවන් දෙදෙනෙකුත් පමණි.

මේ උපකරනයෙන් කතා කරන්නේ මෙසේය. එක් තැනක සිට කතා කරන ඔබ කියන දේ අසා සිටින පක්ෂ ඔත්තුකරුවෙක් වෙයි (රහස් පොලිස් කාරයෙක් ) ඔබේ කතාව අර රහස් පොලිස්කාරයා ඔබේ මිතුරා සිටින තැණ සිටින රහස් පොලිස් කාරයෙකුට කියයි. ඔහු එය ඔබේ මිතුරාට කියයි.එක අතකට මෙය වියදම් අධික මෙන්ම කල් ගත වන වැඩකි.



කෙමෙන් කෙමෙන් උසස්වීම් ලබාගත් මට විදේශන් ගැන යම් දැනුමක් ලැබෙන්නට විය.විදේශිකයන් හදුනා ගන්නටද ලැබුනි. විදේශීය රූපවාහිනී චැනල් නැරඹීමට ලැබුන පසු අප සිටින්නේ සත්තු වත්තක බව මට තේරුම් ගියේය. රට ලෝකයෙන් හුදකලා වී ඇත. ඇමරිකාව භංග වේවා ඉන්දියාව භංග වේවා ජගත් වික්‍රම දිනේවා කියා මරහඩ තලන අප යාන්ත්‍රික මිනිසුන්ය. අපට අපේ කියා ජීවිතයක් නැත.සිනාසෙන හැටි අඩන හැටි කියා දෙන්නේද පක්ෂයයි.

මට රටින් පැනයාමට අවශ්‍ය විය. එහෙත් එය ලේසි නැත. රටින් පළායන අයට වෙඩි තැබීමට නාවික හමුදාව සීරුවෙනි. නාවික හමුදාවේ ප්‍රධාන කාර්ය රටින් පළායන ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනයයි. නාවික හමුදාවෙන් බේරී පළායන බෝට්ටු වලට වෙඩි තැබීමට ගුවන් හමුදාවක්ද ඇත. පැය 24 ම ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනය කරන පොලීසිය හා හමුදාව හැරුන විට මෙම  හමුදාවන්ද කරනුයේ ඉමහත් සේවයකි.

රටින් පැන යාම මේ තරම් ලේසි වුනේ මා දැරූ නිළය නිසයි. බෝට්ටුව ලඟ යනතුරුම කිසිම කරදරයක් නොවීය. හමුවන සියල්ලන් සමඟම විප්ලවය දිනේවා ඇමරිකාව ඉන්දියාව භංග වේවා යි කියමින් බෝට්ටුවට නැග ගත්තෙමි. ලොකුම අභියෝගය වුනේ ලේ ඥාතීන් සියළු දෙනා සමඟ පැන යාමයි. මම තනියම පළා ගියොත් ලේ නෑයන්ගෙන් පළිගන්නා බැවිනි.

පවනට බදුවේගයෙන් එන නාවික යාත්‍රා සහ ගුවන් ප්‍රහාර නොතකමින් අපේ බෝට්ටුව ඉදිරියට ඇදේ. කෙසේ හෝ ජාත්‍යාන්තර මුහුදට යාම අපේ අරමුණයි. අප බලාපොරොත්තු වූ පරිදි ඉන්දියාවට යාමට බැරි විය. ලංකා රජයේ හිතවත් රටකට පාවුනොත් අත් අඩංගුවට ගනු නො අනුමානය.


බෝට්ටුව පදවන සහෝදරයා  දැඩි අධිෂ්ඨානයෙන් තම කාර්යය සිදුකරයි. 


අපට නින්දක් නැත. සෑම මොහොතක්ම තීරණාත්මකය. කම්මැලිකම නිසා පොතක් කියවන්නට සිතූ මම  රැගෙන ආ පොත් වලින් එකක් ගෙන බෝට්ටුවේ ඇන්දකට ඇල වුනෙමි. 


ගතවුනේ හෝරාවක් හෝ දෙකකි. මහත් ප්‍රීතියෙන් මා වෙතට එන සමන්ය. ඔහුගේ මුහුණ මේතරම් පිබිදී තිබෙනු මා කිසි දිනක දැක නැත. 


ගොඩබිමකට ආසන්න වී ඇත. එහෙත් මගේ හද ගැහෙයි. මේ තවත් නරකාදියක් වෙන්නෙ බැරිද . අපව ආපසු භාරදුන් පසු මාධ්‍යවලින් පට්ටගසනු මට චිත්තරූප මැවේ.  එහෙත් අනෙක් අයට ඒ ගැන වගේ වගක් නැත. අප ගොඩබිමකට ලගා වුනෙමු. ඒ රටේ වෙරලාරක්ෂකයන් විසින් පව පොලීසියකට භාර දුන්හ.


නිදහස් මැතිවරණ ඇති සුන්දර ඒත් අනුන්ගේ භූමියට පා තැබූ සැනින් මට ඉකි ගසා ඇඩුනි.මම ඒ පොළව බදා ගෙන සිප ගත්තෙමි.තමන් ව මෙහෙයවන්නට තනි පක්ෂයක් නැති අපා දෙපා සිවුපා සතුන් මත්ස්‍යයන් පක්ෂීන් ඇතුළු සියළු ජීවීන් ලබන නිදහස මමද මගේ ලේ නෑයන්ද දැන් ලබයි. මගේ රටේ තනිවූ අසරණැයන් ගැන දුක හදවතේ කොණක ඇත.




අපට දේශපාලන රැකවරන ලැබුනි. ටික දිනක් සරණාගත කදවුරට සිටීමෙන් පසු ශිෂ්ට රටක  පුරවැසියන් ලෙස ජීවත් වීමේ වරම උදා විය. එහෙත් මට කාලයක් යනතුරු සාමාන්ය ජීවිතයකට හුරුවීම දුෂ්කර විය. මට අහවල් තැනට යන්න අවසරද කියා ලග ඉන්න අයගෙන් අසන පුරුද්ද නැතිකර ගැනීමට අමාරු විය. එළිමහන් කදවුරක  ( සත්තු වත්තක ) ජීවත්වී සාමාන්ය මනුෂ්‍යයෙක් ලෙස ජීවත්වීමට හුරුවීම ට ටික කලක් ගත විය.

####################################################

මේ මම දන්න අදුරන සිරිපාල කියල පොරකට වෙච්චි දෙයක්. සිරිපාලය ගෙයක් බින්ද සිරිපාලය තර්ක කරනව අහන එවුන් මඤ්ඤං වෙන විදියට. ඕං බලමුකො ඒ කතාවත්.


මේ කතාව කියන්නෙ නිකම් රසවින්දනයට. සිරිපාලය කියන්නෙ අණ්ඩපාලය. ඒ වගේම වාචාලය. කතා කරන්න ගියොත් ඉවරෙයක් නෑ කතා කරලම කෙනෙක් මරනව.ඔන්න සිරිපාලය ගෙයක් බිඳින්න ගිහින් පොලීසියට අතේ මාට්ටු. කවුරුත් හිතුවෙ දැන් නම් සිරිපාලයට කට උත්තර නැතිවෙයි කියල. ඔයින් මෙයින් පොලීසියයි ගමේ උනුයි අමතල දේශනයක් කරන්න සිරිපාලය පොට පාද ගත්තා.කවුරුත් උඩට ගත්ත හුස්ම පහලට හෙළුවේ නෑ.

කාලය මා නිවැරදි කරාවි. සිරිපාලය කිව්ව. මේ පොලිස් ලොක්ක කියල තියෙනව හොරු තමයි ප්‍රධානම සතුරා ඒ නිසා හොරු හඹා ගොස් අත් අඩංගුවට ගත යුතු බව.මා දැන ගත්තා මර්ධනය මා පසුපස එන බව.ඒක මර්ධනයට සාක්ෂියක්.

බලපුවම ඇත්ත නේ කවුරුත් කතා වුනා.

එහා ගමේ කසිප්පු මාටිය පොලීසියෙන් මේ වන විට අත් අඩන්ගුවට අරගෙනයි තිබුනෙ. මම දැන ගත්ත ඊලඟට මාව අත් අඩංගුවට ගන්න බව. මර්ධනය මා පසුපස එන බව.  මේ සිරිපාලය හතර පෝයටම සිල් ගන්න උපාසකය බව කවුරුත් දන්නවා.

මේ විදියට සිරිපාලය පැයක් විතර දේශනය කළා. වාස්තවික තත්වයන් ව්‍යුත්පන්න කොට අපෝහනය කළ යුතු බවයි සිරිපාලයගෙ අදහස. ගෙවල් බින්දෙ සිරිපාලයය කියන එක සමාජය විසින් පටවල තිබෙන මිත්‍යාවක්.ඇත්තටම වෙලා තිබෙන්නෙ සිරිපාලය යම් යම් ක්‍රියාවලට සමාජය හා කාලය විසින් පොළඹවල.ඒක තේරුම් ගන්න හුඟක් පොත් කියවන්න වෙනව.කියන්න ඕන පොතුත් සිරිපාලය නිර්දේශ කළා.

මේ දේශනයට අනුව සිරිපාලයට කරන්න දෙයක් තිබිලා නෑ. ඌව අතපය බැඳල ළිදට දාපු මිනිහෙක් වගේ. ඒ මිනිහ ළිද බොර කරන එකට ඒ මිනිහට බැනල වැඩක් නෑ.

වෙලා තිබුන දේ දන්නවද? සිල් ගන්න හිතාගෙන නවගුනවැල අරන් පාරෙ ගිය සිරිපාලෙය පිටිපස්සෙ පොලීසිය එළවල. ඉතින් සිරිපාලෙය ට වෙන කරන්න දෙයක් නෑ. දුවගෙන ගිහින් ගෙවල් බිඳින උපකරන සපයාගෙන  බිඳින්න ඔබින ගෙයක් හොයල ඔත්තු බලල හොඳ බයික් එකක් හොයාගෙන ගිණි අවි හොයාගෙන ඒ ගේ බිඳල වටිනා බඩු අරන් එළියට එන කොටම පොලීසියට මාට්ටු වුනා.

මෙතන වැරැද්ද කාගෙද? පොලීසියට ආයුධ තියාගන්න හොඳ නම් සිරිපාලයට මොකද නරක.

ඔන්න ඔහොම තර්ක කළාම සිරිපාලය නිවැරදිකාරය කියල හැමෝම දැනගත්තා.හැම පැත්තටම නැවෙන දිවක් සිරිපාලයට උරුම වෙලා තිබුනා.

21 comments:

  1. හෙහ් හෙහ්.. උඹෙ කතා දෙක කියෙව්වම මට දැනුනෙ අන්නාසි කාල වතුර බිව්ව වගේ.

    ReplyDelete
    Replies
    1. හෙහෙ හෙහෙ එහෙනම් එච්චරයි

      Delete
  2. බොහොම අපූරු කතාවක්.. මට මතක් වුනේ Divergent ෆිල්ම් එක.. ඒකෙත් ඔය පාලනය කරන අයම ඉගෙන ගන්න ඕන දේ කියලා රස්සාවත් හොයලම දෙනවනේ..

    ඇත්තටම ඔය කියන විදිහට එදා ඒ දේ සාර්ථක උනානම් රාමුවක් ඇතුලේ කොටු වෙලා ඉන්න ජීවිතයක් අපි කාට කාටත් ඉතුරු වෙන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. රට දෙයියො බේරුව. දෙපාරම නූලෙන් බේරුනේ . නැත්නම් අපට උපදින්න වෙන්නෙම හිරගෙයක. මානව දයාව , මානව හිමිකම් , ටෙක්නොලොජි , නිදහස ඔය මොකවත් නෑ. ම්ලේච්ඡයන්ගෙ ආණ්ඩුවක් යටතෙ ඉන්න වෙන්නෙ. තනිකර සත්තු වත්තක් මනුසත් උයන .

      Delete
  3. විප්ලවය එදා දිනුවා නම් ඔය අපේ කතාවයි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම . මූදෙන් පැනගන්න තමයි වෙන්නෙ කියුබානුවන්ට වගෙ. මොකද බර්ලින් තාප්පෙ වගෙ එකක් තියනව කියලයැ ලේසියෙන් පැනගන්න .

      තව ප්‍රශ්නයක් .තනියම පැනගන්නත් බෑනෙ. එක්කො පවුල් පිටින් සියදිවිනසාගන්න වෙනව .නැත්නම් පවුල පිටින්මයි පැනගන්න වෙන්නෙ නිදහස තියන රටකට.

      Delete
  4. Another "1984' by George Orwell.....

    http://en.wikipedia.org/wiki/Nineteen_Eighty-Four


    Nineteen Eighty-Four, sometimes published as 1984, is a dystopian novel by English author George Orwell published in 1949.[1][2] The novel is set in Airstrip One (formerly known as Great Britain), a province of the superstate Oceania in a world of perpetual war, omnipresent government surveillance and public manipulation, dictated by a political system euphemistically named English Socialism (or Ingsoc in the government's invented language, Newspeak) under the control of a privileged Inner Party elite, that persecutes individualism and independent thinking as "thoughtcrimes".[3]

    The tyranny is epitomised by Big Brother, the quasi-divine Party leader who enjoys an intense cult of personality but who may not even exist. The Party "seeks power entirely for its own sake. We are not interested in the good of others; we are interested solely in power."[4] The protagonist of the novel, Winston Smith, is a member of the Outer Party, who works for the Ministry of Truth (or Minitrue), which is responsible for propaganda and historical revisionism. His job is to rewrite past newspaper articles, so that the historical record always supports the party line.[5] Smith is a diligent and skillful worker but he secretly hates the Party and dreams of rebellion against Big Brother.

    ReplyDelete
    Replies
    1. That is why I pointed out here . Their ultimate type of doctrine deliberately force to deteriorate entire human skills ,choices , feelings , physical and mental strength ,,inner ambitions , personalty and social life to the extent that human beings should pay much contribution to become a cogwheel of a huge mechanism .It is considered to be a ultimate goal that everybody should reach. We lose our humanity being a scapegoat of their mythology.

      Delete
  5. හදිස්සි වලො ඇණගන්න එක තමයි වරින්වර ලබාපු අත්දැකීම වෙලා තියෙන්නෙ කියල මෙහි ඉතිහාසය ගැන හදාරන විට පෙනී යනව. කියාගන්න බැරිවටිනා බුද්ධිමත් තරුණ ජීවත අහිමිව ගියා. 1818 ඉඳලම නෙවෙයි තවත ඈතට ගියාම 1521 සිටම සිදුව ඇත්තේ එය යයි මට සිතෙනවා. මම වැරදි වෙන්න ඇති ඒත් මට හිතෙන්නෙ එහෙමයි

    ReplyDelete
    Replies
    1. උන් ඇනගත්ත නිසයි අපි බේරුනේ. නැත්නම් අපේ මානව හිමිකම් හා නිදහස නැතිවෙලා. උන් දිනුවනම් ඔයිට වඩා තරුණ ජීවිත නැතිවෙයි. නිදහස නැත්නම් මේ මනුස්ස ජීවිතේ වැඩක් තියනවද
      අපි ජීවත් වෙන්න ඕන අපට ඕන විදියට. පක්ෂයකට නොවෙයි. අපි මහා යාන්ත්‍රණයක දැතිරෝද නෙමෙයි ලේ මස් වලින් හැදුන මිනිස්සු.
      අංක එක ප්‍රජාතන්ත්‍රවාදය , නිදහස ,මානව හිමිකම්

      Delete
  6. මට සිද්ද වෙන්නෙත් එහෙමමයි. බලන්නකො “හදිස්සි වෙලා“ සහ “තරුණ ජීවිත“ යන වදන් වගේම පද බෙදීමේ දුබලතාත් රාශියක් කොමෙන්ටුවේ තියනවා. හදිස්සි වීම තමයි ඒකටත් හේතුව

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් නෙ. බ්ලොග්වල අක්ෂර වින්‍යාස ගැන එච්චර වොරි වෙන්න එපා. කියන දේ තේරෙනවනම් එච්චරයි. මේක නිදහස් මාධ්‍යයක්.

      Delete
  7. අනේ අම්මේ මලාටවත් එපා එහෙම ක්‍රමයක්නම්. මේ රට දුක් විඳලා තියෙන තරම හොඳටම ඇති. ආයිත් එකෙක් ඔලුව නරක්වෙලා පටං ගන්නවනම් නියපොත්තෙන් කඩලා දාන එක තමා කරන්න ඕනි.
    මධ්‍යස්ථ, ලිපි අතරෙ දවස් දෙක තුනක පොඩි ගැප් එකක් තිබ්බොත් මොකෝ? සමහර ලිපි මග හැරෙනවානෙ.

    ReplyDelete
    Replies
    1. සන්නද්ධ අරගලය ගැන අදටත් කතා කරන එවුන් ඉන්නවා. එකෙක් ඌ පොඩිකාලෙ ලබපු පීඩනය සමාජයට මහා ප්‍රචන්ඩත්වයක් ලෙස මුදා හැරියා. 89 දි නම් පරපීඩාකාමුකයො රැසක්ම ඌ වටා එකතුවුනා.
      1971 දි මුන් දැන් උරෙනුර ගැටිල සටන් කරනව . හැබැයි එක එකා රහසින් ප්ලෑන් කරනව අනෙක් එවුන් මරන්න. මාබෝලෙ මිල්ටන් කියන කැරළිකරුව විප්ලවය දිනුවනම් මරන්න හිටපු එකෙක්ලු. මුන් මොන තරම් සක්කිලිද. මිනී මරන්ඩමනෙ කතාව.
      ඒ කාලෙ කැපස් වල ගස් නම් කරල තිබුනෙ මහාචාර්යවරුන්ගෙ නම් වලින්ලු. විප්ලවය දිනුවනම් ඒ නම් කරපු ගස්වල තමා ඒ මහාචාර්යවරු එල්ලන්නෙ. විප්ලවයෙන් පස්සෙ නිර්ධන පන්තික ආඥාදායකත්වය කියල මුන්ගෙ මිනීමරු සංක්‍රාන්ති යුගයක් තියනව. උන් ඒ කාලෙ දි රටෙන් බාගයක් විතරම මරනව. විප්ලව සිදුවුන හැම රටකම එහෙම වුනා. එහෙම නොවුන රටක් නෑ. කාම්බෝජය වගෙ රටවල ඒක උපරිමයටම ගියා. පොල්පොට් වගේමයි ලෙනිනුත් මිනීමැරුව. නමුත් අලුගෝසුවෙක් ලෙස අපි දන්නෙ පොල්පොට් විතරයි. ලෙනින් මහප්‍රාණ දදානෙ මිනී මැරුවෙ.

      මුන් කියන්නෙ ඒක නෙමේ නියම සමාජවාදෙ කියනව. හැබැයි උන් නියම සමාජවාදෙ කියල හදුන්වන හැම තැනකදිම පුදුම අපරාධ මුන් කළේ.

      ලිපි අතරෙ දවස් දෙක තුනක පොඩි ගැප් එකක් තිබ්බොත් මොකෝ? සමහර ලිපි මග හැරෙනවානෙ.// සළකා බලන්නම්

      Delete
  8. අනේ පවු, ඔබතුමා ගැන දුකයි මට. ඔය ඉහතින් වෙනව කියල ඔබ තුමාගෙ මනෝ මූලික ලෝකෙ තියෙන දේවල් වර්ථමානයේදිත් සිදුවීම වලක්වන්නෙත් ඔබ ඔය කියපු පක්ෂෙම තමයි.

    ReplyDelete
    Replies
    1. මේක මචෝ නිර්මාණයක්. අපි උඹල බ්ලොග් අවකාශයෙ එක මල්ලෙ ලුණු කන එවුන්. අපි අතර අවබෝධයක් තියෙන්න ඕන. ඔය කියන පක්ෂෙට මම දෙතුන් පාරක් ඡන්දෙත් දුන්න කිව්වොත් උඹ විශ්වාස කරන්නෙ නැතිවෙයි. ඡන්ද හරවලත් තියනව. වෙනත් ද්‍රව්‍යමය ආධාරත් කරල තියනව.

      මේ නිර්මාණය 1971 කැරැල්ලෙදි ඔවුන් බලයට ආවනම් කියන උපකල්පනය මත ලියපු එකක්. හිතල බලපන් ඔය දේ වෙන්නෙ නැද්ද කියල. මම කියපු එක අකුරක් හරි වැරදිද කියල හිතල බලපන්. 1971 විතරක් නෙමේ 1989 දි ඔවුන් ආවනම් මේව වෙන්නෙ නැද්ද. ඒකෙ තේරුම ඔවුන්ගෙ ඒ යුගයේ භාවිතාවේ වරදක් තිබුන කියන එක නේද

      මම සමාජවාදියෙක්. සමාජයට සමාජවාදී ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියල විශ්වාස කරන්නෙක්. ක්‍රමය උඩු යටිකුරු කරන්න ඕන කියල හිතන එකෙක්.ඒ හැමදෙයක්ම කරන්න ඕන දැනුවත්කිරීම් තුලින් බුද්ධිමය සංවාද තුලින් කියල හිතන එකෙක්. මට උඹේ කොමෙන්ටුව කෝටියක් වටින්නෙ ඒකයි.

      මම ප්‍රචන්ඩත්වය , ත්‍රස්තවාදය හා අයුක්තිය හෙළා දකිනව. අපි අතීතය විවේචනය කරන්න ඕන .ඒක අපි අපි ගැනම කරන ස්වයං විවේචනයක්. නැත්නම් සමාජ ගැටළුවලට විද්‍යාත්මක විසදුම් සොයන්න බැහැ.

      ලොව පුරාම ඊනියා සමාජවාදී රටවල තිබුන අමානුෂික කුරිරු තිරිසන් ( වචන නෑ මට ඒක විවේචනය කරන්න ) පාලන ක්‍රමය හෙළා දැකපන් මචෝ

      Delete
    2. අඩෝ යකා උඹ නියම මධ්‍යස්ථ මථධාරීයා කියල දැන්නං ෂුවර්.

      මනෝ,

      අපි ලුණු තියාගන්න ඕන අවශ්‍ය ප්‍රමාණයට දාගන්න මිස ලුණු විතරක් කන්න නෙමේ. ඔය කතාවෙ කියවෙන්නෙ බත් එක ලුණු වෙන දාක වෙන්න තිබ්බ දේ.

      Delete
    3. ලුණු උපමාව තමයි වඩාත් ගැලපෙන්නෙ.
      හොද්දට ඕන ප්‍රමාණයට ලුණු තිබුනම ඇති. ලුණු විතරක් කන්න සිද්ධවුනොත් ඇතිවන තත්වය හිතාගන්න බැරි තරම් භයානකයි.

      Delete
    4. වැඩේ කියන්නෙ ලුනු රස විතරක් ඇලජික් වෙච්ච එකනෙ. දසක හයකටත් වඩා යස අගේට ඔය කෑවෙ තිත්‍ත රහට බත්.

      Delete
  9. මේකෙ සමහර වචන සහ ශෛලිය ටිකක් වෙනස් කරා නම්, මේක තමයි අපි ඇත්තටම මුහුණ දීපු ඉතිහාසය. හොඳින් කල්පනා කරලා බලන්න, මේ දේවල් මේ ආකාරයෙන්ම සිද්ධ වුණේ නැද්ද කියලා.

    ReplyDelete
    Replies
    1. නෑ මචන් මෙ වගෙ ඉතිහාසයකට මුහුණ දෙන්න තරම් අපි අවාසනාවන්ත වුනේ නෑ. සමාජවාදී රටවල ජනතාව මුහුණ දීපු ඛේදවාචකය අපට සිතාගන්නත් බෑ. අධිකරණය , මාධ්‍ය ,සිවිල් බලය ආගමික සංස්ථා වැනි සියළුම බලය එකම ලක්ෂයකට ඌනනය කරල පක්ෂය නම් වූ අද්භුත යාන්ත්‍රණයට අනුව මිනිස්සු සිතන්න ඕන කියල රාමුවක් හදල මනුෂ්‍යයගෙ මනුෂ්‍යත්වය නැත්තටම නැතිකරල අණ පිළිපදින රොබෝවෙක් බවට පත්කරපු කාලකන්නි කෘතිම සමාජයක් තමයි සමාජවාදය කියන්නෙ.

      කොටින්ම ජනතාව කියන්නෙ ප්‍රේක්ෂකයො . පක්ෂයෙ දේශපාලන මණ්ඩලයෙ කීප දෙනා තමයි නළුවො.උන්ගෙ එක එක කල්ලි තියනව. කොයි කල්ලියද දිනන්නෙ කියන එක මත රටේ අනාගතය තීරණය වෙනව. ජනතාව ගොවිපොලක ඉන්න එළුවො ,හරක් ,ඌරො ,කුකුල්ලු වගෙ තමයි.
      පක්ෂයෙ මතය ඇර වෙන මතයක් දැරුවොත් මරණය.

      ස්ටාලින් ගෙ කාලෙ ජීව විද්‍යාව පවා වෙනස් කළා පක්ෂයට ගැලපෙන්නෙ නෑ කියල. ජාන මගින් තොරතුරු ගෙන යාම මාක්ස්ගෙ පොතට ගැලපෙන්නෙ නැහැල්ලු.සියල්ල සූරාකෑම මතලු වෙන්නෙ. ඊට එහා ඇත්තක් නෑලු.

      සියල්ල ආර්ථික ක්‍රියාවලියේ උපරි ව්‍යුහයන්. පක්ෂය කියන ලක්ෂය වටා බ්‍රමනය විය යුත්තේ මිනිසුන් පමනක් නොවෙයි සියළුම දේවල් .
      සපත්තුවට ගැලපෙන විදියට කකුල කපන එක කරන්නෙ.මාක්ස් ,එන්ගල්ස් , ලෙනින් වගෙ අය සරවඥ කියල හිතාගෙන ඔවුන්ගෙ පාඨ කටපාඩම් කරමින් අනෙක් මිත්‍යාදෘෂ්ටිකයන් විනාශ කරන භයානක ආගමක් මේක.
      අන්මත ඉවසීම ගැන අත්දැකීම් ගන්න පැරණි සමාජවාදී රටවලට යන්න ඕන නෑ. අන්තරේ වැඩකරන හැටි ම හොද උදාහරණයක්.

      Delete