Sunday, March 29, 2015

සත් සමුදුර දෙබෑ කරගෙන ආපු යකා බවලත් ප්‍රාණයක් තනිකර දෝස ගෙනා

පොඩි තිරරචනයක් ලියන්න හිතුව. ජාන මිශ්‍රණය ගැන කලින් පෝස්ටුවෙ  කතාබහට සම්බන්ධයි. ඒක ටිකක් අලුත් විදියකට ඉදිරිපත් කරන්නයි යන්නෙ.අත්හදා බැලීම සාර්ථකද මන්ද.රූපරාමු හයක් සහිතව ඉදිරිපත් කරන මෙම කථාව ඉතා කෙටි වන සේ සකස් කළෙමි.

මීට පෙර තිරරචන ලියලනන් නෑ


හිරු මුහුදේ ගිලෙන සන්ධ්‍යාවයි. රළ පෙළ හඩනගමින් වෙරළේ හැපේ.තිරයේ දිස්වන්නේ සප්තමහ සාගරයයි. ප්‍රේක්ෂකයාට එහි සුවිසල්බව ගැන හැඟීමක් ඇතිවේ. තත්පර කිහිපයක් මෙම දර්ශනය දිස්වේ.

වෙරලේ වැටකෙයා කිරළ පදුරු දිස්වේ. භද්‍ර යව්වනයේ සිටින යුවතියක් සිනාසෙමින් එයි. ඇයකෙළි දෙළෙන් වෙරළ දෙසට දිව එයි. උඩුකය නිරුවතිනි. කේශ කලාපය දගකාරය. 
එක්වරම  පරිසරය අදුරු වෙයි. ගැහැණියක් යටිගිරියෙන් කෑගසන හඩකි.

ගම්මානය කඩිගුලක් සේ ඇවිස්සිලාය. ගස් යට ගෑනු කතාබහ කරති. පිරිමි එහෙමෙහෙ දුවමින් යම් යම් වැඩ කරති. ගසක් යට කතාබහ කරන ගැහැණු කණ්ඩායමක් තිරයේ දිස් වේ.

" හරිම කරදරයක් මේ කෙළීට වුනේ " එක් ගැහැණියක් විස්සෝපයෙන් කියයි.

" අනේ ඕකිට ඔහොම වුනා මදි.දාංගලේ වැඩියි . ඔහොමද ලමිස්සියෙක් හැසිරෙන්න ඕන "

" ගොම්මන් වෙලාවෙ තනිපංගලමෙ වෙරළට යනකොට බැල්ම වැටෙන බව ගුරුහරුකන් නොදීපු එකයි වරද. ඕව මහ උන්ගෙ වැරදි බාන් " ඒ නාකි ගැහැනියකි.


ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු

සත් සමුදුර දෙබෑ කරගෙන ආපු යකා
බවලත් ප්‍රාණයක් තනිකර දෝස ගෙනා
ගෝර බිරම් ගති පෙන්නන ධවල යකා
දෙවි පිහිටෙන් බැසපලයන් හිසෙන් බැසා

දුම්මල වරම ගෙන කට්ටඩියා ජපකරයි. වෙස් මුහුණු බැදි නැට්ටුවෝ උඩ පිණුම් බඩ පිණුම් ගසයි. මැණිකා ඇස් ඇරියේ කුකුලා හඩලන ජාමයේය.

" ගුරුන්නාන්සෙ මයෙ කෙලීට කොහොමෙයි " මැණිකාගේ මව බැගෑලෙසින් ඇසයි.


හහ් හහ් හා 

 ගුරා බුලත් කෙළ පහරක් ගසා ආපසු හැරුණි.

"කෙල්ලට තනිකම් දෝසයක් තිබුනෙ. යකා එලෙව්වා. හැබැයි ඉක්මනට පෙළවහක් කර දියන්  " ගුරා අවවාද කලේය.

තොවිලය නිමාවිය.

###################################################

මැණිකා ගේ ගෙදර උත්සවයකි. ඒ ඇයගේ මංගල්‍යයයි.. මැණිකා තරුණ ගොවියෙකුගේ අතගෙන කුලගෙට යයි. පසෙක පිරිසක් කතිබොති. තවත් තැනක ආශීර්වාද කරන වැඩිහිටියෝය. මැණිකාගේ අම්මා සහ නංගිලා හඩති.පියාද විස්ස්සෝපයෙනි. මැණිකා ගේ අතගත් තරුණ ගොවියා බක්කි කරත්තයෙන් යයි.

බක්කි කරත්තය පැද්දෙයි. මැණිකා තනියම සිනාසෙමින් යයි. ඇයගේ සිටහ් මල් මල් සිහිනවලින් බරවී ඇත.

එක්වරම දෑස බියපත්වෙයි. තිරයේ දිස්වන්නේ එදා යකෙක් වැහුන සිද්ධියයි. පරිසරයේ අන්ධකාරය රජයයි . 
ඊලඟ දසුන සැමියාගේ උකුලේ හිසතබා සිටින මැණිකාය.

මගෙ රත්තරනේ මං ලඟ ඉන්නව . ඔයා බය නැතිව ඉන්න. කියා ගොවියා මැණිකාගේ හිස පිරිමදියි.

##############################################

දැන්මැණිකා හුරුබුහුටි පුතෙකුගේ මවකි. පොඩි එකා පුළුන් බෝලයක් මෙනි.හරි හුරතල්ය. ඔහු සෙල්ලම් කරන දෙස මැණිකා ආදරයෙන් බලා සිටී. එකවරම තොවිලයක හඩ ඇසේ.

සත් සමුදුර දෙබෑ කරගෙන ආපු යකා
බවලත් ප්‍රාණයක් තනිකර දෝස ගෙනා
ගෝර බිරම් ගති පෙන්නන ධවල යකා //

මැණිකා ඇස් පිස දමයි. රනා වරෙන් සෙල්ලම් කළා ඇති. මැණිකා කෑ ගෑවාය. ගෙතුලට ගොස් ඇය වී පොලන්නට විය. නැන්දම්මා මුනුඹුරා ගේ ඇග සෝදයි. 

ඈ දුවේ.

ඇයි අම්මා " මැණිකා පිළිවදන් දුනි.

කොළුවට ඇස්වහ කටවහ දෝස බන්. අර පිංචි කියන ගෑනි  කොළුව දිහා බලල කියපු කතාව. අනෙ අම්මප

ඇයි මොකක්ද අම්මා කිව්වෙ.

උන්ගෙ පැටවු වගෙ නෙමේ මූ සුදුවට ඉන්න එක ඒකිගෙ ඇහේ කටු ඇනෙනව. මං ඉක්මනට කොල්ලව අතට ගත්ත. තව මොනවහරි කිව්වොත් එහෙම.

"ඇයි අම්ම  දවසක් හාමුදුරුවො කියපු කතාව දන්නවැයි"

" කියාපන්කො බලන්න  "

 " මූ කාසි එකතුකරනව පොඩිකමට. හාමුදුරුවො ඒක දැකල කිව්ව මේක හොඳයි වෙළදාමෙ යන්න " කියල.

"වෙළදාමෙ අපේ පරම්පරාවක එකෙවත් යනවයැ. අන්න අරාබිකාරයො නම් සිංහලේ යනව. " නැන්දම්මා කීවාය.

"උන්ට ජයයි අම්ම . උන් හරිහම්බ කරගෙන උන්ගෙ රටට යනව."

" අපට ඕව යා දෙන්නෑ බන්. උන් සප්ත මහ සාගරේ ට බය නැතිව නන්නාදුනන රටවලට එන හැටි අම්මපා. " නැන්දම්මා කීවේ ඇස් උඩ ඉන්දවාගෙනය.

මැණිකාගේ පුත් රණා හුරුබුහුටිය. දැන් රණාට නංගිලා මල්ලිලාද සිටී. ඒ අය ට වඩා රණා වෙනස්ය. 

රණා පැහැපත්ය. අහල පහල ළමයින්ගෙන් රණා වෙනස්ව පෙනේ.

මැණිකාගේ ගෙදර ළමෝ රණ්ඩුවෙති. හිටපල්ල මං ලොකු අයියට කියන්න එකියක් ඇගිල්ල උරුක් කරගෙන දුවන්නට වූවාය.  ළමෝ සිය රණ්ඩු නවතා දෙවට දෙස බලා සිටී. කඩුල්ල මෑත්කරගෙන එන්නේ ගජ ඉළන්දාරියෙකි. ඔහුගේ සමේ ඡවි වර්ණය නිසා පවුලේ ඥාතීන්ගෙන් කැපී පෙනේ. නැගනිය ඔහුගේ අතේ එල්ලුනි. නිවසට ආ රනා අම්මාටත් තාත්තාටත් දණගසා වැන්දේය.


"මගෙ පුතාට තුණුරුවන්ගෙ පිහිටයි. මම නම් කැමති ගමනක් නෙමේ මේක "මැනිකා චීත්ත පොටෙන් කදුළු පිස දැම්මාය. 

"වැඩිදවසක් සිංහලේ ඉන්නෙ නෑ මයෙ අම්ම. කාසි ටිකක් හොයාගෙන එඤ්ඤං."

නොපෙනී යන පුතුදෙස කදුළු පිරි දෑසින් මැනිකා බලා සිටී. පියාගේ මුහුණද ශෝකයෙන් බරය. නංගිලා මල්ලිලාද සිටින්නේ අන්ද මන්ද වූ ලෙසිනි.

"උඹල නාඩ හිටපල්ල. අයියන්ඩි වැඩි දොහක් සිංහලේ ඉන්න එකක් නෑ. අනික බන් ඔය වෙළදාම හරියන්නෙ අරාබිකාරයන්ට. අපේ රුහුණු රටේ මිනිහෙක් මේකට අතගැහුව කියන්නෙ සුළුපටු කාරියක්යැ." තාත්තා මැණිකාට කීවේ තරවටුවක් ලෙසිනි.

"හමුදුරුවොත් කීවෙ ඒක තමා " මැනිකාගේ හඩේ සතුටද ගැබ්වී ඇත.


##########################################################
රණා සමග සිංහලේ ගිය එක දෙන්නා ආපසු ආ නිසා මැණිකා සිටියේ විස්සෝපයෙනි. 

ඈ කම්මුලේ අත තබාගෙන සිටී. රණාගේ වයසෙ කොළුවෙක් පැමිණ පිල්කඩේ වාඩිවී සිටී.

"හිටහන් උඹට බෙලිමල් පොල්කට්ටක් දෙන්න. කොහෙන්ද රණාල උඹල මග ඇරුනෙ. 


"රණා අයියන්ඩි වෙළදාමෙ යනකොට මහන්සි නෑ අම්ම. මම ආපහු එනව කීවම උඹ ඕන දෙයක් කරගන් කියල ගඟට ගියා මූණ දොවන්න මං අනික් පැත්ත හැරිල ආව."

ඔව්ව අපට අල්ලල යන්නෙ නෑ. අපට අල්ලල යන්නෙ ගොයිතැන් බත් තමා තරුණයා බෙලිමල් පොල්කට්ට අතට ගෙන කීවේය.

උගුරක් බී
 " ඔව්ව ගැලපෙන්නෙ අරාබිකාරයන්ට " කීවේය. 

අනේ මගෙ කට රණා පිටදේසෙන් ආපු එකෙක්වද මැණිකා තරවටු කළාය.

රණා අයියන්ඩිත් ඉතින් අරාබිකාරය වගෙ තමා පේන්නැද්ද හැටි.ගැටිස්සියන්ගෙන් බේරෙන්න බෑනෙ. තරුණයා කීවේය.

උඹට ඉරිසියාව කියමින් මැණිකා ගෙට ගියාය.
ඊලඟ දසුන රණා ගං දියෙන් මූණ දොන දසුනයි. දවසේ විඩාව ගත දවයි. 

රණා බිම වාඩිවී ගඟ දෙස බලා සිටී.

පසුබිම් ගායනාව

සෙමිටික් දිරිය ගෙන 
අරාබි, සිරියන් ,ඇසිරියන් යුදෙව් 
දිග්විජය කරන සද 
ගිනි ගෙන දැවෙන හිරුගේ දෙපා මුල
දෙවිදුන්ද උන් බණවා 
තොප තද කුලල් ඇති සෙනගක්ය
කියා දෙයි විවරණ
නිරුදක කතර මැද 
දිරිය දිවියේ තොරතුරු 
සත් සමුදුරු අභිභවා 
කොදෙව්වට ආ කතා පුවතයි
දිග හැරෙන්නේ ඔබ ඉදිරියේ.

##########################################################

රණා ටැංටු කරත්තයකින් ගෙදර එයි. ගෙදරද කල එළිවෙලාය. මැණිකා ඇදපැළද සිටින්නේ වලව්වක ළමාතැනී කෙනෙක් ලෙසය. පියා සාඩම්බරව සක්මන් කරයි. ඔහු රැල්බුරුල් අරී. 

මගෙ තාත්තගෙ තාත්තටත් බැරිවුනා ටැංටු කරත්තයක් ගන්න. තාත්තටත් බැරිවුනා. මගෙ පුතා ගත්ත " කියා වහසි බස් දෙඩීය.

අප්ප දොඩන්නෙ මක්කැයි සුදු මහත්තුරු දැන් මිනිස්සුන්ට සල්ලි හම්බකරගන්න ඉඩ පාදල තියෙන්නෙ. ටැංටු කරත්ත නෙමේ මං මේ ගමට ඉස් ඉස්සෙල්ලම ගේන එක බලා ගන්නකො. ආරච්චිත් පුදුම වෙයි ඕන් රණා කීවාය. 

කට කට උඹේම ඇස්වහ වදියි මැනිකා සැර දැම්මාය.

ඊලඟ පාර යන්නෙ සිංහලේ නෙමේ කොළඹ. සුද්දගෙ බාසාවත් ටිකක් කටගාගන්න ඕන රණා කීවේය.

##########################################################################

රණා තේජවන්ත ලීලාවෙන් ටැංටු කරත්තයෙන් දාසයන්ද සමඟ යන්නේ පන්සලටය. ඒ හාමුදුරුවන්ගේ පණිවිඩයකටය. රණාසේම මුහන්දිරම් ද පන්සලට එයි. පළාතේ ප්‍රභූවරුන් මේ පැමිණ සාකච්ඡා කරන්නේ උපසම්පදා විනය කර්මය පිළිබදවය. 

මුහන්දිරම් රණාගේ දැක උරහිසට අත තැබීය. රණා බිම බලා ගත්තේය. මුහන්දිරම් හාමුදුරුවන් දෙස බලා අවසර මූ අපේ රුහුණටම කීර්තියක් ගෙනා එකෙක්. කියා රණා දෙසබැලුවේ සිනාසෙමිනි. 

බෙන්තර ගඟෙන් මෙහා එවුන් ඉතින් හපන්නු නොවැ හාමුදුරුවෝ ඇගිලි දෙක මුවෙහි තබා බුලත් කෙළ පහරක් ගැසුවේ උතුරා යන සතුටකිනි.

එවිටම පරිසරය අදුරුවෙයි. තොවිලයේ ඩෙංකුටු හඩ ඇසේ 

සත් සමුදුර දෙබෑ කරගෙන ආපු යකා
බවලත් ප්‍රාණයක් තනිකර දෝස ගෙනා
ගෝර බිරම් ගති පෙන්නන ධවල යකා //

යළි පරිසරය ආලෝකවත් වෙයි. පන්සලේ සිට එන්නේ තේජාන්විත ධනවතකු වන රණාය. ඔහුගේ ටැංටු කරත්තයේ ශබ්දය කෙමෙන් අඩුවී නෑසී යයි.


අවසානයි.



10 comments:

  1. නියමයි,,කතාව තඹ පාටට හුරු කළුසුදු පාටකින් මැවිලා පෙනුණා... රණා ගේ තාත්තා එකත් එකටම අරාබි කාරයෙක්ම තමයි හි හි... කථාව ඇතුලේ ඔබ සමාජ තත්වය හංගලා ලියලා තියනව හරිම ලස්සනයි මටනම්

    //බෙන්තර ගඟෙන් එහ එවුන් /// මේක කියන්නේ බෙන්තර ගඟෙන් එහා එකෙක් නිසා මෙහා කියලා වෙනස් වෙන්න ඕනේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. වැරැද්ද පෙන්නා දුන්නට ස්තුතියි. මම බෙන්තර ගඟෙන් එහා නිසා එහෙම ලියවිලා. මේක කියන්නෙ බෙන්තර ගඟෙන් මෙහා එකෙක්. ඇත්තටම වෙරලබඩ ජනතාව සෙසු ජනයාට වඩා ඉදිරියෙන් ඉන්නව. ( මම වෙරළබඩ නොවෙයි රට මැද කෙනෙක්) . ඒකට හේතුව ඔවුන් කාලාන්තරයක් මිශ්‍රවෙලා තිබීම. ණෑන මස්සිනා විවාහ වගෙ දේවල් නිසා වෙන්නෙ ඕකෙ අනෙක් පැත්ත. ක්‍රීඩා වල ඉදිරියෙන් ඉන්න අයගෙ නීග්‍රොයිඩ් ලක්ෂන තියනවා. ජාතීන් අතර විවාහ වගෙ දේවල් හරිම වැදගත්. අපේ අය එකම ජාතිය තුලත් විවිද බෙදීම් හදාගෙනනෙ. ඒක ජානමය වශයෙන් නරකයි.

      ඒ මොනව වුනත් අපට නොදැනීම අපේ ජාන තඩාගයට විදේශීය ජාන ඇවිත් තියනවා. මොන තරම් බාදක තිබුනත් එය අපූරුවට සිදුවී තිබීම පුදුම සහගතයි. අපේ ජනතාව සිය දහස්වර මිශ්‍රවෙලා .බොරුවට ජාති කුල ආගම් බේද හදාගත්තට ඒව කිසිවක් වලංගු නොවෙන්නෙ ඒකයි.

      Delete
  2. නියමයි,,කතාව තඹ පාටට හුරු කළුසුදු පාටකින් මැවිලා පෙනුණා... රණා ගේ තාත්තා එකත් එකටම අරාබි කාරයෙක්ම තමයි හි හි... කථාව ඇතුලේ ඔබ සමාජ තත්වය හංගලා ලියලා තියනව හරිම ලස්සනයි මටනම්

    //බෙන්තර ගඟෙන් එහ එවුන් /// මේක කියන්නේ බෙන්තර ගඟෙන් එහා එකෙක් නිසා මෙහා කියලා වෙනස් වෙන්න ඕනේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. වැරැද්ද නිවැරදි කළා.
      ආචාර්ය ශිරාන් දැරණියගල මේ සම්බන්ධව අපූරු පර්යේශනයක් කළා. ඔහු වැදි ජනයා , දෙමළ ජනයා සිංහල ජනයා එකට මිශ්‍රවී ඇති සැටි පෙන්වා දුන්නා. මානව සංහතිය තුල පිරිසිදු ජනකොටස් නැති බව පැහැදිලියි. මෙය හැමෝම අවබෝධකරගත්දා සාමයේ සුගන්ධය ලොව පුරා හමාවි.

      Delete
  3. බොහොම වේගයෙන් ගලාගියත් හංගලා තියෙන සිද්ධිය පැහැදිලිව පේනවා. අර කීවා වගේ තිරගත වුනොත් වඩාත් හොඳින් සියල්ල මැවේවි.

    ReplyDelete
    Replies
    1. මෙහිදී වැදගත්වුනේ කාලය . මුළු දර්ශනයම විනාඩි 20 කින් වගෙ පෙන්වන්නයි ඕන වුනේ.

      Delete
  4. අරාබි?
    පැහැදිලි කරන්න.
    මේ කොයි කාලේ කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. දිගුකාලයම් මුහුදු ගමන්වල යෙදී සිටි නාවිකයන් , මූදු සරන්නන් ගොඩබිමකට ආවිට කාලයක් තිස්සේ කැකෑරුන ලිංගික අවශ්‍යතා ඉටුකරගන්නයි බලන්නේ. අනාදිමත් කාලයක පටන් සිද්ධවුන දෙයක් ඕක. මේ නාවිකයන් මුහුදුගමන්වලට ඔබින ලෙස කය මනස සකස් වූවන්. ඔවුන් එම සමාජවල බුද්ධිමත් අය ලෙසත් සැළකිය හැකියි. මේ අයගේ ක්‍රියාකාරකම් නිසා උසස් ජාන රටට ලැබුනා කියලයි මට හිතෙන්නෙ.

      මේ කතාව නම් ඒ තරම් ඈත නොවෙයි. ඉංග්‍රීසීන් රට පාලනය කරන යුගය . මේ කාලයේ තමයි දකුණෙ මිනිස්සු උඩරටට වෙළදාමෙ ගියෙ. සුද්දගෙන් කරදරයක් තිබුනෙත් නෑ. අළුත් මංපෙත් විවර කරගනිමින් ඉදිරියට ගිය මිනිසුන් ට ජානමය සහායත් ලැබෙන්න ඇති.
      අරාබි කතාව විශේෂ සදහනක් කළේ ඔවුන් වෙළදාමට තරම්ම මේ වැඩේටත් ප්‍රමුඛත්වයක් දුන් නිසයි. අරාබි වෙළැදුන් ගාල්ල ප්‍රදේශයේ කාන්තාවන් තාවකාලික ලිංගික භාන්ඩ ලෙස යොදාගෙන තිබෙනවා. යුද්ධ කාලෙ සෙබලුන්ට ලිංගික සේවා සපයන්නට අනුරාධපුරේ කාන්තාවන් සැදී පැහැදී සිටි හැටි බලන්න.

      ඒ කාලෙ ගෑනු මූද දිහා බලාගෙන ඉන්න ඇති. ශක්තිමත් ලස්සන නාවිකයන් තෑගි ගේනකන් . ඒකෙන් අපට හොඳ ජාන ලැබුන. හැබැයි ඒ අතර අපරාධකාරී ජානත් එන්න ඇති.

      ජාන වල කතා හරිම රසවත්. මං දන්න පවුලක් ඉන්නව. ඒකෙ මිනිහ මොන්ගල් ටයිප් පොරක්. මිනිහගෙ ලොකු ළමයි දෙන්නම ඒ වගෙ. ඉගෙනගැනීමෙදි හරිම පසුගාමියි. පාසලේදිත් මුළුගැන්විලා ඉන්නෙ. ඔය මිනිහ ගෙ ගෑනි ලගට එනව තව පොරක්. එන්නෙත් හොරෙන් නෙමේ. ඌ එනකොට නීත්‍යානුකූල මිනිහ හැංගෙනව.උගෙ තමයි තුන්වැනි ළමය. ඒ ළැමයට හොඳට ඉගෙන ගන්න පුළුවන්. දැන් ඒ ළමය ව්‍යාපාරයක් කරනව. සහෝදරයන්ටත් බලනව.මොන්ගල් තාත්තටත් ? සළකනව. මේ කතාව ලියද්දි මට මතක් වුනේ ඒක. සදාචාරය මොකක් වුනත් අර ගෑනි හොරාට හොරාට කරපු වැඩෙන් පවුලට වුනේ යහපතක් නේද?

      මෙහෙම පැත්තකුත් තියනව.ඔය බඩු ගැහිල්ල නිසා සමාජ විද්‍යාත්මක වශයෙන් වැදගත් දේවල් වුනා.
      මේක හරි සරලයි.
      කවුරුහරි දාමරික මුහුදුසරන්නෙක් ගෑනුන්ට හදිකරනව. යක්කු වැහුන කතා ඔක්කොම පිටුපස තිබුනෙ මේක. ඊට පස්සෙ ඒ යකා වෙනුවෙන් පූජා පවත්වනව. පිං දෙනව. පිං බලෙන් ඌ දෙවියෙක් ලෙස ප්‍රමෝෂන් ලබනව.පුරාන දේව කතා ඔක්කොම ඔය වගෙ. ඊට පස්සෙ කාලයක් ගිහාම ඌ මතුබුදුවන දෙවියෙක් කරනව.
      අහවල් රටෙන් ගිනි පිඹගෙන මූද කලම්බගෙන් අහවලාගෙන් වරන් අරන් ආපු අහවල් කුමාරය කිය කිය යාතිකා තියෙන්නෙ. ඔඩ්ඩි දේසෙ ( ඔරිස්සා ප්‍රාන්තය ) දෙමළ රට , මල්ල රට වගෙ පළාත්වලින් නාවිකයො ඇවිල්ල තියෙන්නෙ. මුහුදුබඩ දේව පුරාණය කියෙව්වොත් මේක අපූරුවට පැහැදිලි වෙනව.
      මම මේ කතාවෙදි ඒ තරම් දුර ඈතට ගියෙ නෑ.

      Delete
  5. //විනාඩි කිහිපයක් මෙම දර්ශනය දිස්වේ//
    //භද්‍ර යව්වනයේ සිටින යුවතියක් ... උඩුකය නිරුවතිනි.//
    මෙන්න මේ දෙතැන පොඩ්ඩක් අවුල්.. විනාඩි කීපයක් නෙවෙයි තත්පර කීපයක් විය යුතුයි.. විනාඩි කීපයක් ඔය සීන් එක ගියොත් ප්‍රේක්ශකයෝ නැගිටල යයි.. අනික භද්‍ර යව්වනයේ ඉන්න යුවතියක් උඩුකය නිරුවතින් එන එක අවුල් නැද්ද?

    ඒ දෙක ඇරුනම කතාවනම් සුපිරි.. මට ඒකාංගික ටෙලියක් මතක් උනා.. කතාවේ ප්ලොට් එකත් එලෙසමයි..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ලොකු වරදක් තමයි. ඒක තත්පර ලෙස නිවැරදි කළා.
      උඩුකය නිරුවත් දර්ශනයනම් අවශ්‍යයි .ඔය කාලෙ ලංකාවෙ හැම තැනම උඩුකය නිරුවත් ගැහැණු හිටියා. නමුත් දකුණ වගෙ ප්‍රදේශවල කාන්තාවන් උඩුකය ආවරනය කළා ඒ යුරෝපීයයන්ගෙ බලපෑම නිසා. ඒත් ඇතැම් කාන්තාවන් උඩුකය නිරුවතින් හෝ රෙදිපොටක් දමාගෙන යන එකත් අසාමාන්‍ය වුනේ නෑ.
      මෙතන කියන්නෙ අවුරුදු 16 ක 18 ක කෙල්ලෙක් ගැන . කෙල්ලොනම් උඩුකයට මොකුත් ඇන්දෙම නෑ

      Delete