Monday, March 2, 2015

බුදු හිමියන් වැඩි මඟ ඔස්සේ


 





මම ලෝකය දකින්නේ මගේ ඇස්වලිනි. එසේම තේරුම් ගන්නේ මගේ දැනුමෙනි. මගේ අවබෝධය මත තීරන ගැනීම මගේ අයිතියයි. කාලාම සූත්‍රයටද එකඟවය.


ක්‍රි :පූ 6 වන සියවසේ ලොව පහළවූ සිද්ධාර්ථ ගෞතමයානන් වහන්සේ ශ්‍රේෂ්ට සමාජ ශෝදකයෙකු වූහ. ඒ බ්‍රාහ්මණයන්ගේ සමාජ ආධිපත්‍යයට එරෙහිව මතවාදී අරගලයක් කරමිනි.උන්වහන්සේගේ විවේචනයට ලක්වුනේ නිෂ්ඵල පූජා විධිය. විශේෂයෙන් බිලිපූජාවට එරෙහි විය.

විශේෂම කාරණය නම් උන් වහන්සේ ආගමක් දේශනා නොකිරීමයි.එකළ සමාජ චාරීත්‍රානුව මිනිසුන් උන්වහන්සේට නමස්කාර කලහ. උන් වහන්සේ එකළ සිටි අනෙක් නේපාල/ උතුරු ඉන්දියන් මිනිසුන් මෙන්ම සාමාන්ය මනුෂ්‍යයෙක් විය. අහසින් යන කතා ගිනි පිඹින කතා දහ අට රියන් කතා පසුකාලීන කතන්දරකාරයන්ගේ හපන්කම්ය. බුදුන් වහන්සේ සර්වඥ යැයි කීම උන් වහන්සේට කරන අගෞරවයකි.

බුදුන් වහන්සේ .වර්ධමාන මහාවීරයන් යන උතුමන් සාමාන්ය ඉන්දියානු යෝගීහු වෙති. ඉන්දියාවේ යෝගී පරම්පරා ඉතා ඈතට දිව යයි. කපිලවස්තුපුරයට නම හැදුනේද කපිල මුනිගේ නාමයෙනි. ඒ සාංඛ්‍ය දර්ශනයේ පියාය. ජෛන දර්ශනයේ ආදි කතෘ පාර්ශ්වනාථද ආදිපුරුෂයෙකු විය හැක.සමහරවිට කපිල මුනි හා පාර්ශ්වනාථ එක් අයෙකු වීමටද ඉඩ ඇත. ඒ හැර අසිත කොන්ඩඤ්ඤ වනි තවුසන් ගැනද බෞද්ධ සාහිත්‍යයේ සදහන් වේ.

සාහිත්‍ය කෘතිවල මෙම තවුසන් ගේ හපන්කම් ගැන විවිධ කතා ඇතත් මොවුහු භාවනා කරමින් සිත දියුණුකරගෙන යම් ඥාන ගවේශනයක යෙදුන අයයි. ගණිත ක්‍රම සොයාගත් ආර්යභට්ටද මෙවැන්නෙක් විය හැක.එහෙත් මොවුන්ට අහසින් යාම අවුරුදු සිය දහස්ගනන් ජීවත් වීම වැනි ගුණාංග තිබුනායයි කීම  අසත්‍යකි.

අයිසෙක් නිව්ටන් ,අයින්ස්ටයින් වැනි අය අහසින් ගිය බව හෝ ඔවුන් දිව්‍යමය ඍෂිවරු කියා පිළිනොගන්නා අප අතීතයේ සිටි උතුමන් ගැනද සිතිය යුත්තේ එසේය. 
බුදුන් වහන්සේ සිතින් නිදහස් වූවෙකි. උදාන ගාථාවල මෙන්ම ධනිය ගෝපාලට දුන් පිළිතුරෙන්ද එය පෙනේ. ඇත්තෙන්ම ථෙර ගාථා සහ ථෙරි ගාථා  මේ නිරාමිස සුවය කදිමට පෙන්නුම් කරයි. රහත්බව ලැබූ ඒ ස්වාමීන් වහන්සේලා තුල තිබූ චිත්ත ප්‍රීතිය, විමුක්තිය ,පරිපූර්ණ බව , සැහැල්ලුව කදිමට නිරූපනය වේ.

අපට සිතින් නිදහස් වීමට නොහැකිවී තිබේ.මම නම් සිතෙන් න්දහස් වීමට උත්සාහ කරමි.තවම බැරිවී ඇත. ඒ නිසා දුකින් මිදීමට අපට හැකිවී නැත. පිධානයකින් වැසූ නිධානයක් මෙන් බුදු මඟ වසා දැමූ පුද්ගලයන් ඊට වගකිව යුතුය.

මම බෞද්ධයෙක් යැයි මට නොබියව කිය හැක. ඒ උප්පැන්න සහතිකයේ ඇති නිසා නොවේ. මම බුදුන් අනුගමනය කරන බැවිනි. ඒ සඳහා මම පළමුව බුදුන්ගෙන් මිදුනෙමි.එවිට සිමෙන්තිවලට වැදීම්. යුනිෆෝම්වලට වැදීම් , ගඩොල් වලට වැදීම් මගේ නැත. එහෙත් ඒවා මම නොකරනබවක් අදහස් නොවේ. සමාජ චාරිත්‍රයක් ලෙස ඒවා කරමි. එහෙත් වෙන වැදගත්කමක් නැත.
බන්ධනයන්ගෙන් මිදීමෙන් සැනසිල්ල ලැබේ. බහුතරයක් කරන්නේ තම උඩුසිත පිනවාගැනීමට ඇදහිල්ලක කොටු වීමයි.මෙයින් එළියට ආ සැනින් අවට ලෝකය පෙනේ. එහි චමත්කාරය රස විදිය හැක.

සතුට ඇත්තේ අත්හැරීම තුලය. එහි තේරුම අප සිටින්නේ මහා බරක් කරට ගෙන බවයි. සිතිවිලි ඇත්තෙන්ම අපට බරකි. පීඩාවකි.එහෙත් උඩුසිත පිනවීමේ පුරුද්ද නිසා එය බරක් බව අපට නොහැඟේ.සිතිවිලිවලින් අප නටවනු ලැබේ.සිතිවිලි ඇතිවන්නේ බාහිර පරිසරය නිසාය. අප බාහිර පරිසරයේ රූකඩ බව ඉන් කියැවේ.

සිතිවිලි යනු මොනවාද බාහිර පරිසරයේ වස්තූන් හා අපගේ මනස අතර ප්‍රතික්‍රියාවෙන් උපදින දෙයයි.මෙය මනස විසින් ගබඩා කර ගනී. එතැන් සිට සිතිවිල්ල අනෙක් සිතිවිලිවල විනිසුරු වේ.සිතිවිල්ල ඊට සමාන සිතිවිලි පොකුරක් සාදා ගනී. පහසුව තකා මෙම සිතිවිල්ල ප්‍රධාන චේතනාව යැ‍යි කියමු.උවමනාවෙන්ම පාරිභාෂික වචන භාවිතා නොකරමි. මෙසේ පොකුරු විශාල සංඛ්‍යාවක් ඇත. එක් ප්‍රධාන සිතිවිල්ලක් තවත් ප්‍රධාන සිතිවිල්ලක ට අයත් පොකුරකය .

ඇතැම් විට මෙම ප්‍රධාන සිතිවිලි බිද වැටේ. එවිට වෙනත් සිතිවිල්ලක් ප්‍රධාන සිතිවිල්ල බවට පත්වේ. ඉන් පසු එය වටා සිතිවිලි පොකුර සැදේ. මෙසේ සිතිවිලි පොකුරු පවතින අතර ඒවා ද ප්‍රධාන සිතිවිල්ලකට අයත්ය. මෙම පොකුරු ආකෘතිය මනස තේරුම් ගැනීමට වඩා පහසු බව මගේ අදහසයි.

අප සිතිවිලිවල සිරකරුවෝය. අප යමක් සිතනවා නොව සිතෙනවාය. සිතිවිලි වැල් මෙන් ඔහේ අප ගෙන යයි.එහිදී වෛරය ක්‍රෝඪ්ජ්හය ඇතිවේ. කුඹ ගසක් නැති නෞකාවක් වැන්න. සති භාවනාවෙන් කෙරෙනුයේ මෙසේ ඉබාගාතේ යන නෞකාවට පාලනයක් දීමය. භාවනාවට මුල් තැන දුන් බෞද්ධ සමාජයක් මොනතරක් හික්මුණ ප්‍රබුද්ධ සමාජයක්  වනු ඇතිද. එහෙත් අවාසනාවට භාවනාව තුන්වැනි තෑට දමා දානය මුලට දමා දන් දීමෙන් දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් පැතීමේ සම්ප්‍රදයක් ඇතිකර ගෙන ඇත.

බෞද්ධ භාවනාවෙහි සුවිශේෂම ලක්ෂණය විදර්ශනාවයි. විදර්ශනාව අභ්‍යාස කළ අවස්ථා ඇත. එක් අවස්ථාවකදී වතුරපාරක් ගලා යන හැටි නිරීක්ෂණය කර මාර්ඝඵල ලැබූ අතර තවත් වරෙක සුදු රෙදිකඩක් කිළුටුවන හැටි බලා සිත පිරිසිදුකරගෙන ඇත.එනම් විදර්ශනාව යනු අපගේ සිතිවිලි නිරීක්ෂනයයි. මෙය සිහියෙන් සිටීමට අපට උපකාරී වේ.

ඉදින් මෙම අභ්‍යාස ප්‍රගුණ කිරීමෙන් ප්‍රභාෂ්වර චිත්තය මතුවේ. එය දීප්තිමත්ය. බුදුදහමේ ද පබසර සිත වර්ණනා කර ඇත.කෙටි පණිවිඩය නම් සිතිවිලිවල සිරකරුවන් නොවන්න කියන එකයි. නිහඩතාව, ඕම් ශබ්දය ,අවකාශය අරමුණුකරගැනීම , දෙවියන් වහන්සේ ( බ්‍රහ්මන් ) අරමුනුකර ගැනීම යනාදියෙන් යෝගීන් පැහැදිලිකරන්නේ එකම දෙයයි. ඒ චිත්ත ඒකාග්‍රතාවයි. එය හාස්කම් කරන්නක් නොව පුදලිකව ආධ්‍යාත්මික සුවිශුද්ධතාවයක් උදෙසා පමණි.

මෑත කාලීන ඉන්දියානු දාර්ශනිකයන් මෙම චෛතසික විද්‍යාව යළි හෙළිපෙහෙළි කළහ. විශ්නු භාෂ්කර් ලීල්, ශ්‍රී අවුරෝබින්දෝ, රාජ්නීෂ් ඕෂෝ  මෙහිලා වෙහෙස වූ උත්තමයන්ගෙන් කිහිප දෙනෙකි.


සුමනදාස සමරසිංහ මහතා සිත පිළිබඳ පොත් රැසක් පළ කළේය. බටහිර ධනාත්මක චින්තනය දේශීය ඌරුවකට හැඩගසා නව මුහුණුවරකින් ඉදිරිපත් කළත් එතුමන්ගෙන් පසු එය කඩා වැටුනි.

වෙදාට වට්ටෝරුවට වැද වැද සිටීමෙන් පළක් නැත . බෙහෙත පාවිච්චි කළ යුතුය. මුග්ධ ශ්‍රද්ධාවක් භක්තියක් ගූඩ හැඟීමක් තුලින් ලැබෙන දෙයක් නැත. කිසිවක් අන්ධානුකරනයෙන් නොකළ යුතුය. අපේ මුතුන් මිත්තෝ විදුලි ආලෝකය නොතිබූ අතීතයේ සාකච්ඡාවකට පෙර එකිනෙකාගේ මුහුණු නොපෙනෙන නිසා පහනක් පත්තු කළහ . අද එය චාරීත්යක් වී ඇථ. මහ දවල් හෝ විදුලිය තිබෙන විට හෝ අප මෙය පත්තු කරන්නේ විවිධ කතන්දර ගොඩක් කියමිනි. ආලෝකයෙන් අහවල් දේ සංකේතවත් වේ අරකය මේකය කීවත් ඇත්ත කතාව නම් කළුවර කාමරයක  ආලෝකය ලබා ගැනීම සදහා පත්තු කළ පහන අපට අත අරින්න බැරි වී ඇත යන්නයි.


පෙරහරවල් වල අලි ගෙන යාමද එවැන්නකි. එදා තිබූ ගාම්භීරම ප්‍රවාහන මධ්‍ය ඇතා හෝ අසුය. අපේ මනසට එය අත හරින්නට බැරිය. අද වාහන තිබුනත් කැලෑ සත්තු දුක් විදින්නේ එනිසාය.

පුරාන අරාබියේ එළිමහනේ වැසිකිලි යනවිට කම්මුලේ අත තබාගෙන වැසිකිළි යන ලෙස උපදෙස් ලැබුනි. ඊට හේතුව බිම හිදගෙන වැසිකිළියන විට බෙල්ලට උඩින් තොන්ඩුවක් වැටීමයි.මෙය කරන්නේ ගසක් උඩ සිටය.කම්මුලේ අත තබාගත් විට තොන්ඩුවෙන් ගැලවිය හැක. මෙය ආගමට සම්බන්ධ වී වර්තමානයේ සැදැහැවත් ඉස්ලාම් භක්තිමතුන් කොමොඩ් එකේ වැසිකිළි යන්නේද කම්මුලේ අතක් තබා ගෙනය.



ඔහු සිත සියල්ලටම ප්‍රධාන වන බව රස කතා උපහැරණ මගින් ලස්සනට පෙන්වා දුන්නේය. එහෙත් ඔහුගේ අනුප්‍රාප්තිකයෝ  ආගමික සංස්ථාවල අංග උපුටා ගෙන එය නාඩගමක් කරගෙන ඇත.සඟරා බෙදන අයට කියන්නෙ සංඝයා වහන්සෙලා කියාය. එක් පසෙක බුදු පිළිමයකි අනෙක් පස ඔවුන්ගේ ලාංජනයයි.


වර්තමාන සමාජ ව්‍යාපාර මෙතරම් ඉක්මනින් දූෂණය වෙන්නේ නම් අවුරුදු දහස් ගනනකට පෙර පැවති ආයතන මොන තරම් දූෂනයකට ලක්වෙන්නට ඇථිද. සුමනදාස මහතා අලුත් දෙයක් කීවා නොවේ. ඔහු  ධනාත්මක චින්තනය ගැන ලියවුන පොත් පරිවර්තනය කර දේශීය විඥානවාදී මුහුණුවරකින් ඉදිරිපත් කළේය. ඔහුගේ සංවිධානයේ සංස්ථාපිත ලක්ෂන තිබිනි.2002 දි ඔහු මළ පසු අවුරුද්දෙන් දෙකෙන් එය නාඩගමක් විය. සුමනදාස මීට අවුරුදු දහසකටවත් පෙර සිටියානම් අද අපට සුමනදාස යනු අහසින් යන ගිනි පිඹින මකරෙක් වැනි අයෙකි.



විවෘත මනසින් ලොව දැකීම තරම් සුන්දර අන් යමක් නැත.

15 comments:

  1. ලිපිය සහ අදහස් සුපිරියි.

    -මගේ අදහස අනුවත් බුදුන්ට මල් පහන් පුජා කරන එක නිෂ්පල වැඩක්. කරන්න ඕන බුදු දහම ජීවිතයට සමීප කරගැනීම සහ නොපමාව නිවනට යාමට වැඩ කිරීම. නමුත් අප අතර ඉන්න අයගේ බුද්දි මට්ටම වෙනස් දහමේ සංකීර්ණ කොටස් සියලු දෙනාටම තේරුම් ගන්න බැහැ. එවැනි අයට මලක් පහනක් පුජා කරලා, බෝදිය වටේ ඇවිදලා. සිත සන්සුන් කරගන්න පුළුවන්. එක නිසා ඔය නිෂ්පල පුජා ක්‍රම පවා තියෙන එකේ ප්‍රයෝජන තියෙනවා.

    -රටක දියුණුවට එම රට ගැන හන්ගීමක් තිබීම වැදගත්. රට ගැන හන්ගීමක් ඇතිවීම සඳහා සංස්කෘතික අංග වැදගත්. පෙරහැර සඳහා අලි ගෙනයාම සංස්කෘතික අංගයක්. ඒවා ඉවත් දැමීම නොකළ යුතුයි. වර්තමානයේ ලංකාවේ යම් පිරිසක් සංවිධානාත්මකව කරගෙන යන දෙයක් තමයි ලංකාවේ බව්ද්ද සංස්කෘතික ක්‍රියාකාරකම් විනාශ කිරීම. ඔය අලින්ගේ අයිතිවාසිකම් ගැන කෑගහන එකේ අරමුණ එකයි. අලින්ට පෙරහැර සහ පන්සල්වල ඇතිකිරීම නිසා යම් හිංසනයක් තමයි ගෙදරක බල්ලෙක් ඇතිකරන විටත් ඒ හිංසනය සිදුවනවා නේද. හරක් , කුකුලන්, එළුවෝ මස් සඳහා ඇතිකිරීම පන්සල්වල අලි ඇතිකිරීමට වඩා හිංසනයක් නේද? ලෝකයේ බොහෝ රටවල අශ්වයෝ ඇතිකරනවා රේස් සඳහා. එංගලන්ත රැජිණිය පවා එය කරනවා එය ස්සත්ව හිංසනයක් නොවේද? මෙසේ ලෝකයේ සතුන් හිංසනයට ලක්වෙන තැන ඕන තරම් තිබියදී පන්සලේ ඉන්න මෙන්ම පෙරහරේ යන අලියා ගැන රැඩිකල් කැක්කුමකින් කතා කරන්නේ ඇයි. එතන අරමුණ සත්ව හිංසනය වෙනුවෙන් කතා කිරීම නොව ලංකාවේ කැපී පෙනන බවුද්ද සංකෘතික අංගයක් ගැන ඇති ඉරිසියාව වේ. පිරිසක් හදන මතය යටි අරමුණ විමසීමකින් තොරව පොෂ් වෙන්න ජනප්‍රිය කරන පිරිසට ඔබත් එකතු වෙන්න එපා. පන්සලෙන් පෙරහරෙන් අලි ඉවත් කරන්න කලින් ගෙවල්වල බල්ලෝ, සත්තුවත්තේ සතුන්, මසට ඇතිකරන සතුන් හැදීම නවත්වලා සියලු සතුන්ට කැලේට වෙලා ඉන්න නිදහස දෙන්න.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++
      එකඟයි. පෝස්ට් එක හදන කොටත් මට කල්පනා වුනා ඔය අලි කතන්දරේ තිරයෙන් පිටිපස්සෙ වෙන දේවල්. අලින් වෙනුවෙන් කිඹුල් කදුළු සලන අය වෙනත් සතුන් ගැන අනුකම්පාවක් නෑ. එහෙම හිතුනත් මම ඒකත් පෝස්ටුවට ඇතුල් කළා. නිවැරදි වෙනකොට කොණක් තියන්නෙ නැතිවම නිවැරදිවෙන්න ඕන කියල හිතල.

      මුලින් කියපු එකට නම් සම්පූර්ණයෙන්ම එකඟයි. ඒත් චාරීත්‍ර , පුදපූජා වලටම සීමා වෙලා බඩගිනි බුද්ධාගමක් ඇතිවෙන එක අද යුගයට හරි මදි. ඒව අතීතයට අවශ්‍ය වෙන්න ඇති. නමුත් මීට වඩා මානසික සංවර්ධනයක් කරන්න බුදු දහමට පුළුවන්. මම නිරීක්ෂනය කරල තියෙන දෙයක් විධිමත් අධ්‍යාපනය නොළැබූ අය සමාජවාදී දේශපාලනය වගෙ දේවල් ගැන හොඳ දැණුමක් ලබාගෙන අනුන්ටත් උගන්වනව. සමහර ක්‍රිස්තියානි නිකායවලත් මේ තත්වය තියනව. අපි බෞද්ධයො විදියට මනස සංවර්ධනය කරන පැත්තට වැඩි බරක් දාන්න ඕන. සමහර අයගෙ වාගෙ ඇස කඩාගෙන යන මෝහනය කරන දේවල් වලට වඩා අපි යන්න ඕන බුද්ධිමය පැත්තට. ඒක අඩුයි කියල මට දැණෙනවා. කට්ටඩි , කේන්දරකාරයො පස්සෙ වගේම මේ වගෙ විකාරකාරයො පස්සෙ යන තරමට බෞද්ධයො පිරිහෙන්නෙ ඒකයි.

      Delete
    2. මහා කළු ලාංකිකයා කයන කතාවේත් ඇත්තක් තිබෙනවා. අලි වගේම අනිත් සතුන්ටත් ඒ කරුණාව තිබිය යුතුයි.

      Delete
  2. "බඩගිනි බුද්ධාගමක් ඇතිවෙන එක" ට හොඳ පිළිතුරක් මෙහි තියනව. එහෙත් 60 ,70 දශක හා සසඳනවිට ආපසු යන ගතියක් පෙනී යනවා. සැබෑ බෞද්ධ කම යුනිපෝම් එක තුළ ද එකල දක්නට හැකි වුනා. එවැනි යතිවරුන් දිවිමගේ ඉක්මයාමත් සමග බෞද්ධ කම ගොඩක් ඈතට ගිහින්. අද එය විශාල ලාභ ලබන ව්‍යපාරයක් වෙලා.

    ReplyDelete
    Replies
    1. කොහාට යයිද කියන්න බැහැ. ලාබ ලබන එක පරමාර්ථය වුනාට පස්සෙ හැම යහපත් දෙයක්ම අතුරුදන් වෙනවා. මෙහි ප්‍රතිපලයක් ලෙස ජනතාව පන්සලෙන් ඈත් වෙන්න ඉඩ තියනවා.
      සමහරු කැමති නෑ දාර්ශනික ගැටළු තැන්ගැන කතා කරන්න. ඒත් ඒක අවශ්‍යයි. කොහොමත් රටට ජාතියට ආගමට හානිකර දේවල් අපෙන් ලියවෙන්නෙ නැහැනෙ. යහපත් හෙටක් ගැන අවංක ඒ වගෙම අහිංසක බලාපොරොත්තුවෙනුයි ලියන්නෙ

      Delete
  3. මේවා මේ ලියන්න දේවල් නැති අය ලිඅන මාතෘකා. මේවා පත්ටරවල පට්ට ගහපු මාතෘකා. අවලංගු මාතෘකා. හිට්ස් නැත්නම් වෙන මොනවාහරි ලියන්න මචෝ.

    ReplyDelete
  4. //වෙදාට වට්ටෝරුවට වැද වැද සිටීමෙන් පළක් නැත . බෙහෙත පාවිච්චි කළ යුතුය. //

    අපේ මිනිස්සුන්ට තේරුම් කළ යුත්තේ මෙයයි... වෙදාටත් සැලකිය යුතුයි.. නමුත් ඒයින් සුව නොවේ.... සුවය ලබන්නට නම් ඒ ගමන්ම බෙහෙත භාවිතා කළ යුතුයි.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. ඔය ටික තේරුම් ගන්නෙ නැති එකනෙ දුක

      Delete
  5. හොඳ ලිපියක්. පස්සේ දීර්ඝ පිළිතුරක් ලියන්නම්. වෙලාව මදි.

    ReplyDelete
    Replies
    1. හරි හරි. එහෙම කරමු.
      මගෙ පෝස්ට් එකක් නිව්ස් වෙබ් එකටත් දාල තිබුන. ඒකටත් බොහොම ස්තුතියි

      Delete
  6. කාලීන ලිපියක්.. ජයවේවා...

    ReplyDelete
  7. // පිධානයකින් වැසූ නිධානයක් මෙන් බුදු මඟ වසා දැමූ පුද්ගලයන් ඊට වගකිව යුතුය.// නැවත නැවත කියවීමට පොළඹවන හාසිකමක් ඇති ලිපියක්

    ReplyDelete
    Replies
    1. අපි බ්ලොග්කරුවන් විදියට ජනප්‍රිය මතවලම සිරකරුවන් වෙන්න ඕන නෑ. සිතට එන දේ කියල රිලැක්ස් වෙනව.

      Delete