Tuesday, March 31, 2015

ලස්සන සිරගෙයක් ලස්සන සංකල්පයකි. එහෙත් ඔබ ඊට කැමතිද

Bindi ලියන නෙළුම්විළ බ්ලොග් අඩවියේ වැදගත් මාතෘකාවක් සාකච්ඡා කර තිබිණි. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ගැන ප්‍රශංසා මුඛයෙන් එම ලිපිය ලියා තිබිණි.  එහි මගේ අදහස් දැක්වීමක් කළත් වඩා සර්වසම්පූර්ණව එය සාකච්ඡා කළයුතු යැයි සිතේ.

එහි සබැදිය 


                                   Bindi  ගෙ අදහස්


                                ඔහු නැති සිංගප්පුරුවක සිට


හැත්තෑ හතේ විවෘත ආර්ථිකය ගෙනෙනා විට ලංකාව සිංගප්පුරුවක් කරන බව ඇසෙන විට මා පාසල් යන්නටත් පටන් නොගත් කුඩා දැරියකි. සෝබාව  දේ මෙපුර සිරි විසිතුරු ගීතයෙන් කියන්නේ සිංගප්පුරුව ගැන බවද කුඩා කල අසා ඇත්තෙමි. අහස සූරන මැදුරු කීවාම මම ඒ කාලයේ සිතුවේ බිල්ඩිමක් උඩට නැග අහස සුරන්නට හැකි බවයි.
ඒ මගේ පළමු සිංගප්පුරු මතක. පසු කලෙක කියවූ සිංගප්පුරු දරුවා සහ මැලේසියානු තරුණයා පොත් ද්විත්වය ඉතා ආසාවෙන් කියෙව්වා. එතනින් එහාට එච්චර කියන්න තරම් මේ රට ගැන මතකයක් නැත. 
පළමු වරට වියට්නාමයට යන අතර  මග කට්ට අව්වේ පොඩි එකිවත් කිහිල්ලේ ගහගෙන අර කටින් වතුර විදින කිඳුරු ඇඟක් ඇති සිංහ පිළිමය ගාවට ගොස් ආවෙමි. 

එදා පටන් අවුරුද්දකට වරක් එහා ගෙදර  ගමන් කීප විටක්ම දින දෙක තුන ගත කලේ කොයි කවුරුත් බලන්නට එන ජනප්‍රිය සංචාරක ආකර්ශන නැරඹීමටය 

කෙසේ හෝ අද අපේ තාවාකාලික නවාතැන මෙයයි. මගෙත් සිංගප්පුරුවෙත් නියමාකාර හාදකම ඇරඹුණේ එලෙසයි. 
පොත් සාප්පුවකට යන හැමවිටම නිතර අතපත ගා බලන පොතක් ඇත. හැමදාම බල බල ආවත් කවදාවත් මිලට නොගත් ඒ මහා පොත ලියු මිනිසා අද අවසන් නින්දේය.
අපි මේ පොතට ආසා එහි ලංකාව ගැන කියවෙන කුඩා කොටසක් ඇති නිසාය. 

වරෙක සිංගප්පුරුව කොළඹ මෙන් කරන්නට සිතු බව සහ මේ වන විට ආදර්ශයට නොගතයුතු උදාහරණයක් ලෙස එහි සඳහන් වේ. 
 මාළු දුපතක සිට වත්මන් සිංගප්පුරුව දක්වා ආ ගමන සැබවින්ම ආශ්චර්යයකි. ඔහුට හොඳ මොළයක් තිබුණි. සි අයි ඒ කාරයා ඔහුව මිලදී ගන්නට කල උත්සාහය ව්‍යර්ථ විය. යම් විදිහකට එකාධිපතියෙකි. නමුත් හොඳ ඒකාධිපතියෙකි. සිතියමේ තිතක් ලෙසවත් නොපෙනෙන කුඩා දුපත ලෝකයේ ලොකුතැනක ඔසවා තැබූ නියම නායකයෙකි.

සියළු තරුණයින් පාසලින් පසු අනිවාර්ය හමුදා පුහුණුවක් සඳහා යා යුතුය. තරමක් දැඩි ලෙස පෙනුනද රටේ විනය සඳහා එය ඉතා හොඳය. 
" අප ඉතා කීකරු ජාතියක්. ඉංග්‍රීසින් ආ විට ඔවුන්ගේ කීකරු වැසියන් වුණා. ජපනුන් ආ විට සුදු රෙදි වල රතු බෝලයක් මසා එල්ලා දොරවල් වසා ගත්තා. රටේ ආරක්ෂාව සඳහා එයට වඩා උසස් වැඩ පිළිවෙලක් අවශ්‍යයි " ඒ ඔහුගේ වචන.

එකී මෙකි නොකී සිටලු දේවල් සඳහා වැඩපිළිවෙලක් ඔහු සතුව තිබු අතර එම ගමනේදී තදබල නීති ඇතිකරන්නද සිදු විය.

" මා කල සියලු දේවල් හොඳ දේවල් නොවේ. නමුත් ඒ සියල්ල කලේ හොඳ අරමුණකින් "

ඔහු වාසනාවන්ත මිනිසෙකි. පාසල් වියේ පෙම විශ්ව විද්‍යාලයේදී දළුලා වැඩි දැඟිලි බැඳුණු ප්‍රිය බිරිඳක් සහ දරු මුණුපුරන් ලැබූ වාසනාවන්ත මිනිසෙකි.

වැඩි සද්දයක් නැතුවම පැය පහ හය පෝලිමේ අවසන් ගෞරවය දක්වන්නට සිංගප්පුරු වැසියෝ ඇදෙති. රටේ අනෙක් කටයුතු පෙර පරිදි සිදුවෙත්.


 ............පසුතැවිල්ලක් නැතිව මිය යාහැකි  මිය ගියත් මිනිසුන්ගේ ආදරය හිමි නායකයින් සුලබ නැති ලොව කරන්නට බැරි දෙයක් කර පෙන්වූ " ලී ක්වාන් යු " ඔබට සුබ ගමන්...............

"අපේ රට සිංගප්පුරුවක් කරම්"  යන පොරොන්දු  අසමින් ලොකු මහත් වූ මා තුල අද වැඩිහිටියෙක් ලෙස ඉඳහිට සියුම් දුකක් ඇති නොවෙනවා නොවේ. ඒ අදත් ඒ පොරොන්දු අසා ලොකු මහත් වෙන ළමයින් ගැනය.

හරියටම අර පොත අතපත ගා ආවා  මිසක් කවදාවත් ගෙදර ගෙනාවේ නැතිවාක් මෙන්ය, කරන්නට පුළුවන් හෝ බැරි ඊයෙත් අදත් හෙටත් අපේ රට සිංගප්පුරුවක් කරන්නට දෙන පොරොන්දු .

( අපේ රට එහෙම කරන්නට බැරි දේශපාලන සහ සංස්කෘතික හේතු මහ ගොඩකි. ඒ  ගැන ලියන්නට අද දවස නොවේ ) 

######################################################

                                    මගේ අදහස්


සිංගප්පූරුව යන රට ගැන මුලින් කතා කරමු. එම රට කලින් මැලේසියාවට අයත්ව තිබුනු කුඩා බිම් කඩකි. එහි වැසියන් සියළුම දෙනා සංක්‍රමණිකයෝය.චීන , දෙමළ හා මැලේ වාසීන් එහි පදිංචියට ආවේ බ්‍රිතාන්‍ය යුගයේය. ලී ම කියන ලෙස සිංගප්පූරුවාසීන් බ්‍රිතාන්‍යයන්ට කීකරුවුන අතර පසුව ආ ජපනුන්ටද කීකරු වූහ. 


ජපන් පාලනයේදී ලී එකක් ඉගෙන ගත්තේය. එනම් මරණ බිය ඇතිකළ පසු කළ නොහැකි දෙයක් නැති බවයි.ඉංග්‍රීසීන්ට වඩා ම්ලේච්ඡ ලෙස ජපනා සිංගප්පූරුවැසියා පෙළීය. වාසනාවට ජපනා ලංකාව අල්ලාගත්තේ නැත. ලංකාවේ සමහරුන්ට සුද්දට වඩා ජපනා හොදය. උඩින් බෝම්බ දමාගියත් ඍජු ආක්‍රමනයක් දියත් නොවීය. එසේ කළ හැම රටකම ජනයා මුහුණ දුන්නේ නාසි ජර්මන්ආක්‍රමණිකයන්ගේ කුරිරුකමට නොදෙවෙනි කුරිරුකම්වලටය. 


සිංගප්පූරුව සංවර්ධනය කරන්නට ලී ටා අව්ශ්‍ය වූ අතර එය සමකාලීන දකුණු කොරියා , තායිවාන , හොංකොන් ,තායිලන්ත , මැලේසියා වැනි රටවල පාලකයන්ටද තිබූ අවශ්‍යතාවයකි. එහෙත් ඒ කිසිම රටක් සිංගප්පූරුව තරම් මර්ධනකාරී නොවීය. සිංගප්පූරු වැඩිහිටියන්ට ලී ගේ යුගය ගැන අපූරු මතක සටහන් ඇත.



සිංගප්පූරු වැසියා අලුතෙන් කීකරු කරන්නට ලීට මහන්සිවෙන්නට වුනේ නැත. ජපනාගේ දරදඩු නීති එලෙසම පවත්වාගෙන ගියේය. සිංගප්පූරු වැසියන් යනු වැඩිහිටියන් නොව කුඩා ළමෝය. ඔවුන් කළ යුතු වැඩ පැවරීම රජයෙන් සිදුවේ. සිංගප්පූරුවේ ජනප්‍රිය දඩුවම් ක්‍රමයක් නම් වේවැල් පහර දීමයි. වේවැල් යනු පාසල්වල භාවිතා කරන වේවැල් නොවේ. මේ සදහා විශේෂයෙන් සකසා ඇති වේවැල් වර්ගයකි. එම වේවැල් පහර කෑ පසු තුවාල වල කැළැල් සදහට පවතී. 


සිංගප්පූරු පාසල්වල සිසුන්ට කායික දඩුවම් දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  ධෛර්යමත් කෙරේ. ඒ සදහා පොත් පවත්වාගෙන යන අතර විනය නිළධාරීන් ලෙස පිරිසක් මේ සදහා පුහුණු කෙරේ. කායික දන්ඩනය නොකරන පාසල්වලින් නිදහසට කරුණු විමසයි. සිංගප්පුරු අධිකරන මගින්ද බාලවසකාරයන්ට දරුණු වේවැල් පහර දීම් සිදුකර ඇත.



ශික්ෂනය ලමා කාලයේදීම පුහුණු කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිසුන්ට වේවැල් පහර දීමට පාසල් පද්ධතිය ධිරිමත් කරයි. මේ සදහා විනය නිළධාරෙන් සෑම පාසලකටම පත් කෙරේ. මෙයින් රජය අපේක්ෂා කරන්නේ කීකරු බියපත් ජනතාවකි.

සිංගප්පූරු පාසල්වල වේවැල් පහර දීම් අපේ ඉස්කෝලවල සිදුවන ඒවා මෙන් නොවේ. දැඩි වේදනාවක් ලබා දීමට පුහුණුවක් ලැබූ වධකයෙකු විසින් සිදුකරන බැවිනි. සෑම ප්‍රධාන පාසලකටම වධකයෙකු පත් කර ඇත.


පහත වීඩියෝව නරඹන්න . 

https://www.youtube.com/watch?v=KaBMBVpsuwo

බලන්න ඒ සිසුන්ගේ බියපත් මුහුණු .එය සමස්ත සිංගප්පූරු ජාතියේම ආධ්‍යාත්මයේ ඛේදවාචකයයි.  මෙය මනෝවිද්‍යාත්මක උපක්‍රමයකි. භීෂන කාලයේ ජවිපෙද කළේ මෙවැන්නකි. එසේම ඉතා සුළුවැරදිවලට බරපතල සිරදඩුවම් හා විශාල වන්දි අය කෙරේ. මරණ දඩුවමද ජනප්‍රිය දඩුවම් ක්‍රමයකි. 

සිංගප්පූරුවෙ පාලනය අගය කරන සමහරු මේ ගැණ හරිහැටි නොදන්න අයයි. එහි වැඩවර්ජන , පිකටින් කළ නොහැක. කළොත් පිට්ටනියකට ගෙන ගොස් වෙඩි තබා දමනු ලැබේ. මුල් කාලයේදී මෙය සිදුවුනත් දැන්නම් එය අපහසුවනු ඇත. මේ ක්‍රමයට බිය ගැන්වූ ජනතාවක් ඕන තැනකට දක්කගෙන යාමට පුළුවන.



සිංගප්පූරුවේ ආදායම් මාර්ග මොනවාද . ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය හා වෙළැද මධ්‍යස්ථානයක් ලෙස අයකරන  බදුය. සිංගප්පූරුවේ ව්‍යාපාර කරන විදේශිකයන් විශාල පිරිසක් සිටිති. ආයෝජකයන් හා සංචාරකයන් ඉලක්ක කරගත් සිංගප්පුරු ආර්ථිකයේ තහනම් දේ අඩුය.කැසිනෝ වැනි ඕනෑම දෙයක් ඇත.  ඕනෑම මත්පැන් වර්ගයක් පහසුවෙන් මිළැදී ගත හැකිනමුත් පාරෙ කලබල කළොත් සොරි ඩොට් කොම්ය. මේවා යහපත් දේ බව මමද පිළිගනිමි. එහෙත් සීමාව ඉක්මවායාම් වැඩිය. ටොපි කොලයක් බිම දමා අසුවුනොත් අතිවිශාල දඩයකි. අවුරුද්දක පඩිය සේය.


කිසිම කම්කරු අයිතිවාසිකමක් නැත. සියල්ල තීරණය කරන්නේ ආයතන ප්‍රධානීන්ය. කතා කිරීමේ නිදහසක් නැත. මහජන මතය සංවිධානය කිරීමේ කිසිම ක්‍රමයක් නැත.මැතිවරණ විහිළු ඇත. එහිදී ජනතාවට කළ හැක්කේ පාලක පක්ෂයට ඡන්දය දීම පමණි. 


සිංගප්පුරුවේ ජනවර්ග ප්‍රශ්න විසදන්නේ බලෙන් මිශ්‍ර කිරීමෙනි. ඒ අනුව චීන , දෙමළ  හෝ මැලේ ලෙස කිසිවෙකුට සංවිධානය වෙන්නට බැරිය. සියළුම භාෂාවලින් වැඩ කෙරේ.ඕනෑම කෙනෙකුට ඕනෑම තනතුරකට පත්විය හැක. නමුත් බලය බෙදිලි කතා නැත.


ආර්ථිකය ශක්තිමත් කරගත් සිංගප්පුරු වැසියන් කරන්නේ හැකි ඉක්මනින් එරටින් පිටවීමයි. ඒ සදහා රජයට ගෙවීමක් කළ යුතුය. සිංගප්පූරුවාසීන් සමහරකට දැන් මානව හිමිකම් වැනි විශයන් ගැන උනන්දුවක් ඇත. ලංකාව සිංගප්පුරුවක් කරන්න ඕන කියන බොහෝ දෙනෙක් ඇත්තටම එසේ වුනොත් සිටින්නේ සිරගෙවල්වලය , නැත්නම් දරුණු කායික දඩුවම් ලබා ඇත. විශාල වන්දි ගෙවා ඇත. පීඩනය ඉවසිය නොහැකිව සියදිවිනසාගෙනද විය හැක



අරමුණ යහපත් නිස ලී ඉතා සාධාරණ කෙනෙක් කියා ඔබට සිතෙනු ඇත. ඔබ වැරදිය. එහි පවුල් පාලනය තදින් පවතී. වර්තමාන අගමැති ලී ගේ පුත්‍රයාය. සිංගප්පූරුවේ ආර්ථිකය හසුරුවන තමසෙක් ආයතනයේ   අධ්‍යක්ෂ ජෙනරාල් ඔහුගේ බිරිදය. නමුත් ලී ගේ විරුද්ධවාදීන්ට නම් නීති තදය. ලී ගේ පවුලේ කෙනෙක් වරදක් කර හසුවූ විට ඔහුට ලැබුනේ අවම දඩුවමය.


ලස්සන සිරගෙයක් ලස්සන සංකල්පයකි. එහෙත් ඔබ ඊට කැමතිද

Monday, March 30, 2015

කලාකරුවන් යනු අලිපුකෙන් ආ අයද

මින් ඉදිරියට අළුත් විශේෂාංගයක් හදුන්වාදීමට අදහස් කරමි. එනම් වෙනත් බ්ලොග්වල පළවන ශාස්ත්‍රීය ලිපි  ඒවායේ සබැදි සමඟ  මුළු ලිපියම පළකර විචාරය කිරීමයි ( මගේ අදහස් දැක්වීමයි ). මගේ ලිපි හා කතන්දරද පළ කරමි. අලුත් විශේෂාංගය සුපුරුදු ලිපිවලට අමතරවය.

අපගේ බ්ලොග් අවකාශයේ අන්වර් මනතුංග නම් බ්ලොග් කරුවෙක් වෙයි. මම ඔහු ප්‍රිය කරමි. ඊට හේතුව ඔහු ප්‍රකාශ කරන අදහස් තර්කානුකූල වීම  සහ ඔහුගේ අදහස් මගේ අදහස් වලට සමාන වීමයි.මම පළකරන්නට සිටි පෝස්ටුව කල්දමා කලාකරුවන් ගැන ඔහු කියන දේට ඉඩක් දුන්නෙමි. ඊට සවන් දෙන්න

සබැදිය මෙන්න

http://www.anvermanatunga.net/2015/03/31/namal-udugama-kidney-sinhala/

ඔහුගේ ලිපිය මෙසේය.

##################################################################

                                             

                           අන්වර් මනතුංග ගේ අදහස්

කලාකරුවන් සම්බන්ධයෙන් අපගේ මතවාදය වුයේ ලංකාවේ කලාකරුවන් සිටින්නේ ඉතාමත් අතලොස්සක් බවත් සිටින්නේ නලාකරුවන් (පොඩි දෙයක් කර ලොකු ඝෝෂාවක් දමන) සහ කලාබරයන් (කලාව පැත්තට පොඩ්ඩක් බර) පමණක් බවත්ය. ඉදින් කෙසේ හෝ මේ නලාකරුවන් සහ කලාබරයන් තමුන්ව අද කලාකරුවන් ලෙස හඳුන්වා ගනිති. ජීවත් වීමට දරන උත්සාහයක් ලෙස අප එය ලඝු කිරීමට අවශ්‍ය නැත. නමුත් උන් කලාකරුවන් ලෙස සලකා අන්ධ භක්තියෙන් බුහුමන් කිරීම සහ උන් කියන දේ හරි යැයි සිතා අන්ධ භක්තියෙන් කටයුතු කිරීම ජනතාව විසින් නොකළ යුතු බව අපගේ අදහසයි.


මේ ඊනියා කලාකරුවන් සිතන්නේ තමන් විසින් සමාජයට විශාල මෙහෙවරක් කරන බවත් එයට ජනතාව විසින් විශාල වශයෙන් කෘතගුණ දැක්විය යුතු බවත්ය. නමුත් අපගේ අදහස නම් උන් බහුතරයක් කරන්නේ කලා නිර්මානයක් ලෙස මොනවා හරි උලව්වක් සාදා ජනතාව වෙත විකුණා මුදල් කර ගැනීම බවයි. විශේෂිතම දේ නම් අපි විසින් කිසියම් භාන්ඩයක් මිලදී ගතහොත් එය අපට හිමි වස්තුවකි. නමුත් මේ ඊනියා කලාකරුවන් විසින් අපට විකුණන නිර්මාන වල අයිතිය කවදාවත්ම අපට හිමි නැත. එය සැමදා හිමි ඔවුනටය. නිදසුනක් ලෙස ගායකයෙකු ගෙන බලමු. ඔහු විසින් ගයන ලද ගීතයක් නැවත ඔහුගේ රසිකයෙක් විසින් ප්‍රසිද්ධ මාධ්‍යයක ගැයුවහොත් කුමක් සිදුවේද? එක පාරක් දෙපාරක් ඉවසනු ඇත. නමුත් දිගින් දිගටම කියන්නේ නම් එය වාරණය කිරීමට පියවර ගනු ඇත. බොහෝ විට ගායකයෙකු ස්වකීය ගී ගායන අයිතිය තමුන්ගෙන් පසුව තමුන්ගේ දරුවෙකුට නීත්‍යානුකූලවම පවරනු අප ඕනෑ තරම් දැක ඇත. මෙනයින් බලන කල ඔහු කර තිබෙන්නේ කලාවක් නොව ව්‍යාපාරයකි.

කිසියම් ගායකයෙකු ගීත තැටියක් නිකුත් කළ පසු එයින් බොහෝ විට ජනප්‍රිය වන්නේ එකක් හෝ දෙකකි. මෙහි යථාර්තය කුමක්ද? යථාර්තය නම් ගායකයා විසින් නිර්මාණශීලීව කර ඇත්තේ එක ගීයක් පමණි. නමුත් එක ගීතයක් පමණක් කර වෙලඳපොල මිලක් සාදාගත නොහැක. ඒ නිසා ජනතා රුචියට නොගැලපෙන තවත් ගීත රැසක් සාදා එය තැටියකට දමා අපට අලෙවි කරයි. මේ තැටියෙන් එක් ගීතයක් ජනප්‍රිය (හිට්) වුවා යැයි හිතමු. අද බොහෝ විට ගීතයක් ජනප්‍රිය වෙන්නේ එම ගීතයේ තිබෙන වචන සහ සංගීතය නිසාවෙනි. ඉදින් එෆ්.එම් නාලිකා, ෆෝන් රිගින් ටෝන් සහ සංගීත සංදර්ශන වල මේ ගීතය පට්ට ගැසෙන්නේය. ටික දවසක් යනවිට ජනතාවට මේ ගීතය එපා වන්නේය. ඒ ඇයි? හේතුව එම සංගීතය සහ වචන තවදුරටත් ජනතාවගේ දෙසවනට මිහිරක් ගෙන නොඒම නිසා නොවේද? ඉදින් මේ ඊනියා ගායකයන් කරනුයේ කන පිනවා මුදල් ගරා ගැනීමක් නොවේද?

අපි දැන් මාතෘකාව දෙසට සෘජුව බසිමු. ප්‍රසිද්ධ ගායක නාමල් උඩුගම මහතාගේ අක්මාව නරක් වී ඔහුට අක්මාවක් බද්ධ කිරීමට සිදුවී ඇති බව පුවත් මගින් වාර්තා විය. දැන් නාමල් උඩුගම රැකගැනීමට කලාකරුවන් ඉදිරිපත් වී සිටිති. එක්තරා කලාකරුවෙක් ලෙස තමන් විසින්ම හඳුන්වා ගන්නා නලාකරුවෙක් රජයට චෝදනා කළේ නාමල් වෙනුවෙන් ආන්ඩුව කිසිවක් නොකල බවයි. ඉන්පසුව ආන්ඩු පක්ෂයේ සිටින අය එයට පිළිතුරු සපයමින් ජනාධිපති අරමුදලෙන් නාමල්ට ලක්ෂ 10ක් දුන් බව පැවසීය. ඒ නාමල් උඩුගමටය. එතකොට අපි? රටේ සාමාන්‍ය ජනතාවට අක්මාවන් නැද්ද? අක්මාව වන්නේ නාමල්ගේ අක්මාව පමණක්ද? රටේ එකම අක්මා රෝගියා නාමල් උඩුගමද? එසේ නොවේ නම් රටේ අනෙකුත් අක්මා රෝගීන්ට මුදල් එකතු කරන්නේ කවුරුන්ද? ඔවුන්ට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ දහය ගණනේ මුදල් ලබා දේද? මේ ඊනියා කලාකරුවන් ඒ අක්මා රෝගීන් වෙනුවෙන් මුදල් එකතු කළේද? උත්තරය නම් කිසිසේත්ම නැත යන්න නොවේද?

එසේ නම් අප විසින් කළයුතු වන්නේ කුමක්ද? අක්මා රෝගයෙන් පෙලෙන ජනතාව වෙනුවෙන් අරමුදලක් ගොඩ නැගීමයි. එසේ ගොඩනගා එක් එක් රෝගීයාගේ අවශ්‍යතාවය පමණට සරිලන මුදලක් ඔවුන්ට ලබා දීමයි. නාමල් උඩුගමත් අක්මා රෝගියෙක් නම් ඔහුටද අන් ජනාතාවට ලැබෙන ආකාරයේ ආධාර මුදලක් ලැබෙන්නට සුදුසු නම් එය ඔහුට ලබා දීම සම්බන්ධව මා විරුද්ධ නැත. 

################################################
                                   මගේ අදහස් 
කලාකරුවන් කියන උදවිය මහළුවියට ආ පසු අපට ආණ්ඩුව සළකන්නෙ නෑ කියා මැසිවිලි නගති. එහෙත් ඔවුහු කර ඇත්තේ රැකියාවකි. ඊට ගෙවීම් ලබාගෙන ඇත. ඔබගේ අපගේ දෙමාපියෝද තරුණ කාලයේ රැකියා කළහ. ඔවුන් බහුතරයක් රැකියා කළේ කුඹුරුවල , වැඩපොලවල් වල දහඩිය මුගුරු වගුරමිනි. ඔවුන්ගේ රැකියාවලට රූපලාවන්‍ය හෝ සුවපහසු ජීවිත අනිවාර්ය සාධක වුනේ නැත. කලකරුවන් මෙන්  අධික මුදලක් අය කලේද නැත. ඔවුහු මුදලක් ඉතිරිකර ගත්හ. මෙම කලාකරුවෝ කියන අය තමන්ට ලැබුන මුදල් නාස්තිකර වයසට ගිය විට ආණ්ඩුවලට දොස් නගති. මේ කිව්වේ පොදුවේ හිඟමනට වැටුන තරුණැ කාලයේ දිව්‍ය ලෝකවල දිවි ගෙවූ අයයි.

අනෙක් කලාකරුවෝ තමන් සුවිශේෂී පිරිසක් නිසා සාමාන්‍ය ජනතාවට නොදියයුතු වරප්‍රසාද ලැබිය යුතු යැයි සිතති. මෙය අසාධාරණය. එක් මාධ්‍ය සාකච්ඡාවකට ආ කලාකරුවන් පිරිසකගෙන් මාධ්‍යවේදියා ඇසුවේ ආණ්ඩුව කලාකරුවන්ට සළකනවා මදි නේද කියාය. එක් කලාකාරිනියක් සිනාසුනාය. තව එකෙක් කීවේ කලාකරුවා යනු රටේ පෙරගන්කරුබවත් උන්ට හොඳ ලයිෆ් එකක් තිබිය යුතු බවත්ය. කොමෙන්ට් දමන්නට බැරි නිසා සිටියේ දත්මිටි කමිනි. මතකයේ රැදුනේද එනිසාය.

මේ මේ අය තමන්ට උපතින් ලැබුන මිහිරි කටහඩ පාවිච්චිකර මුදල් උපයති .එහි වරදක් නැත. අන්වර් කියන ලෙසම අප භාන්ඩයක් මිළදී ගත්විට එහි හිමිකම අපටය. මේ අය සුපිරි මනුෂ්‍යයන් වීම අවශ්‍ය නැත.කලාකරුවාගේ හැකියාවට ආශාකර ඉන් නොනැවතී ඔහුගේ ඇයගේ පංචස්කන්දයටද ආශා කිරීම නිසා මෙම මුලාව ඇතිවී ඇත.නළුවන් මැරෙනවිට සිරුරට ගිනිතබාගන්නේ ඒ අයයි. හැකියාව පංචස්කන්දවලින් වියුක්තව බැලිය යුතුය. මෙසේ සිතන්නට පුරුදුවූ විට දේශපාලකයන් ඇදහීමද නැතිකර ගත හැක.

Sunday, March 29, 2015

සත් සමුදුර දෙබෑ කරගෙන ආපු යකා බවලත් ප්‍රාණයක් තනිකර දෝස ගෙනා

පොඩි තිරරචනයක් ලියන්න හිතුව. ජාන මිශ්‍රණය ගැන කලින් පෝස්ටුවෙ  කතාබහට සම්බන්ධයි. ඒක ටිකක් අලුත් විදියකට ඉදිරිපත් කරන්නයි යන්නෙ.අත්හදා බැලීම සාර්ථකද මන්ද.රූපරාමු හයක් සහිතව ඉදිරිපත් කරන මෙම කථාව ඉතා කෙටි වන සේ සකස් කළෙමි.

මීට පෙර තිරරචන ලියලනන් නෑ


හිරු මුහුදේ ගිලෙන සන්ධ්‍යාවයි. රළ පෙළ හඩනගමින් වෙරළේ හැපේ.තිරයේ දිස්වන්නේ සප්තමහ සාගරයයි. ප්‍රේක්ෂකයාට එහි සුවිසල්බව ගැන හැඟීමක් ඇතිවේ. තත්පර කිහිපයක් මෙම දර්ශනය දිස්වේ.

වෙරලේ වැටකෙයා කිරළ පදුරු දිස්වේ. භද්‍ර යව්වනයේ සිටින යුවතියක් සිනාසෙමින් එයි. ඇයකෙළි දෙළෙන් වෙරළ දෙසට දිව එයි. උඩුකය නිරුවතිනි. කේශ කලාපය දගකාරය. 
එක්වරම  පරිසරය අදුරු වෙයි. ගැහැණියක් යටිගිරියෙන් කෑගසන හඩකි.

ගම්මානය කඩිගුලක් සේ ඇවිස්සිලාය. ගස් යට ගෑනු කතාබහ කරති. පිරිමි එහෙමෙහෙ දුවමින් යම් යම් වැඩ කරති. ගසක් යට කතාබහ කරන ගැහැණු කණ්ඩායමක් තිරයේ දිස් වේ.

" හරිම කරදරයක් මේ කෙළීට වුනේ " එක් ගැහැණියක් විස්සෝපයෙන් කියයි.

" අනේ ඕකිට ඔහොම වුනා මදි.දාංගලේ වැඩියි . ඔහොමද ලමිස්සියෙක් හැසිරෙන්න ඕන "

" ගොම්මන් වෙලාවෙ තනිපංගලමෙ වෙරළට යනකොට බැල්ම වැටෙන බව ගුරුහරුකන් නොදීපු එකයි වරද. ඕව මහ උන්ගෙ වැරදි බාන් " ඒ නාකි ගැහැනියකි.


ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු

සත් සමුදුර දෙබෑ කරගෙන ආපු යකා
බවලත් ප්‍රාණයක් තනිකර දෝස ගෙනා
ගෝර බිරම් ගති පෙන්නන ධවල යකා
දෙවි පිහිටෙන් බැසපලයන් හිසෙන් බැසා

දුම්මල වරම ගෙන කට්ටඩියා ජපකරයි. වෙස් මුහුණු බැදි නැට්ටුවෝ උඩ පිණුම් බඩ පිණුම් ගසයි. මැණිකා ඇස් ඇරියේ කුකුලා හඩලන ජාමයේය.

" ගුරුන්නාන්සෙ මයෙ කෙලීට කොහොමෙයි " මැණිකාගේ මව බැගෑලෙසින් ඇසයි.


හහ් හහ් හා 

 ගුරා බුලත් කෙළ පහරක් ගසා ආපසු හැරුණි.

"කෙල්ලට තනිකම් දෝසයක් තිබුනෙ. යකා එලෙව්වා. හැබැයි ඉක්මනට පෙළවහක් කර දියන්  " ගුරා අවවාද කලේය.

තොවිලය නිමාවිය.

###################################################

මැණිකා ගේ ගෙදර උත්සවයකි. ඒ ඇයගේ මංගල්‍යයයි.. මැණිකා තරුණ ගොවියෙකුගේ අතගෙන කුලගෙට යයි. පසෙක පිරිසක් කතිබොති. තවත් තැනක ආශීර්වාද කරන වැඩිහිටියෝය. මැණිකාගේ අම්මා සහ නංගිලා හඩති.පියාද විස්ස්සෝපයෙනි. මැණිකා ගේ අතගත් තරුණ ගොවියා බක්කි කරත්තයෙන් යයි.

බක්කි කරත්තය පැද්දෙයි. මැණිකා තනියම සිනාසෙමින් යයි. ඇයගේ සිටහ් මල් මල් සිහිනවලින් බරවී ඇත.

එක්වරම දෑස බියපත්වෙයි. තිරයේ දිස්වන්නේ එදා යකෙක් වැහුන සිද්ධියයි. පරිසරයේ අන්ධකාරය රජයයි . 
ඊලඟ දසුන සැමියාගේ උකුලේ හිසතබා සිටින මැණිකාය.

මගෙ රත්තරනේ මං ලඟ ඉන්නව . ඔයා බය නැතිව ඉන්න. කියා ගොවියා මැණිකාගේ හිස පිරිමදියි.

##############################################

දැන්මැණිකා හුරුබුහුටි පුතෙකුගේ මවකි. පොඩි එකා පුළුන් බෝලයක් මෙනි.හරි හුරතල්ය. ඔහු සෙල්ලම් කරන දෙස මැණිකා ආදරයෙන් බලා සිටී. එකවරම තොවිලයක හඩ ඇසේ.

සත් සමුදුර දෙබෑ කරගෙන ආපු යකා
බවලත් ප්‍රාණයක් තනිකර දෝස ගෙනා
ගෝර බිරම් ගති පෙන්නන ධවල යකා //

මැණිකා ඇස් පිස දමයි. රනා වරෙන් සෙල්ලම් කළා ඇති. මැණිකා කෑ ගෑවාය. ගෙතුලට ගොස් ඇය වී පොලන්නට විය. නැන්දම්මා මුනුඹුරා ගේ ඇග සෝදයි. 

ඈ දුවේ.

ඇයි අම්මා " මැණිකා පිළිවදන් දුනි.

කොළුවට ඇස්වහ කටවහ දෝස බන්. අර පිංචි කියන ගෑනි  කොළුව දිහා බලල කියපු කතාව. අනෙ අම්මප

ඇයි මොකක්ද අම්මා කිව්වෙ.

උන්ගෙ පැටවු වගෙ නෙමේ මූ සුදුවට ඉන්න එක ඒකිගෙ ඇහේ කටු ඇනෙනව. මං ඉක්මනට කොල්ලව අතට ගත්ත. තව මොනවහරි කිව්වොත් එහෙම.

"ඇයි අම්ම  දවසක් හාමුදුරුවො කියපු කතාව දන්නවැයි"

" කියාපන්කො බලන්න  "

 " මූ කාසි එකතුකරනව පොඩිකමට. හාමුදුරුවො ඒක දැකල කිව්ව මේක හොඳයි වෙළදාමෙ යන්න " කියල.

"වෙළදාමෙ අපේ පරම්පරාවක එකෙවත් යනවයැ. අන්න අරාබිකාරයො නම් සිංහලේ යනව. " නැන්දම්මා කීවාය.

"උන්ට ජයයි අම්ම . උන් හරිහම්බ කරගෙන උන්ගෙ රටට යනව."

" අපට ඕව යා දෙන්නෑ බන්. උන් සප්ත මහ සාගරේ ට බය නැතිව නන්නාදුනන රටවලට එන හැටි අම්මපා. " නැන්දම්මා කීවේ ඇස් උඩ ඉන්දවාගෙනය.

මැණිකාගේ පුත් රණා හුරුබුහුටිය. දැන් රණාට නංගිලා මල්ලිලාද සිටී. ඒ අය ට වඩා රණා වෙනස්ය. 

රණා පැහැපත්ය. අහල පහල ළමයින්ගෙන් රණා වෙනස්ව පෙනේ.

මැණිකාගේ ගෙදර ළමෝ රණ්ඩුවෙති. හිටපල්ල මං ලොකු අයියට කියන්න එකියක් ඇගිල්ල උරුක් කරගෙන දුවන්නට වූවාය.  ළමෝ සිය රණ්ඩු නවතා දෙවට දෙස බලා සිටී. කඩුල්ල මෑත්කරගෙන එන්නේ ගජ ඉළන්දාරියෙකි. ඔහුගේ සමේ ඡවි වර්ණය නිසා පවුලේ ඥාතීන්ගෙන් කැපී පෙනේ. නැගනිය ඔහුගේ අතේ එල්ලුනි. නිවසට ආ රනා අම්මාටත් තාත්තාටත් දණගසා වැන්දේය.


"මගෙ පුතාට තුණුරුවන්ගෙ පිහිටයි. මම නම් කැමති ගමනක් නෙමේ මේක "මැනිකා චීත්ත පොටෙන් කදුළු පිස දැම්මාය. 

"වැඩිදවසක් සිංහලේ ඉන්නෙ නෑ මයෙ අම්ම. කාසි ටිකක් හොයාගෙන එඤ්ඤං."

නොපෙනී යන පුතුදෙස කදුළු පිරි දෑසින් මැනිකා බලා සිටී. පියාගේ මුහුණද ශෝකයෙන් බරය. නංගිලා මල්ලිලාද සිටින්නේ අන්ද මන්ද වූ ලෙසිනි.

"උඹල නාඩ හිටපල්ල. අයියන්ඩි වැඩි දොහක් සිංහලේ ඉන්න එකක් නෑ. අනික බන් ඔය වෙළදාම හරියන්නෙ අරාබිකාරයන්ට. අපේ රුහුණු රටේ මිනිහෙක් මේකට අතගැහුව කියන්නෙ සුළුපටු කාරියක්යැ." තාත්තා මැණිකාට කීවේ තරවටුවක් ලෙසිනි.

"හමුදුරුවොත් කීවෙ ඒක තමා " මැනිකාගේ හඩේ සතුටද ගැබ්වී ඇත.


##########################################################
රණා සමග සිංහලේ ගිය එක දෙන්නා ආපසු ආ නිසා මැණිකා සිටියේ විස්සෝපයෙනි. 

ඈ කම්මුලේ අත තබාගෙන සිටී. රණාගේ වයසෙ කොළුවෙක් පැමිණ පිල්කඩේ වාඩිවී සිටී.

"හිටහන් උඹට බෙලිමල් පොල්කට්ටක් දෙන්න. කොහෙන්ද රණාල උඹල මග ඇරුනෙ. 


"රණා අයියන්ඩි වෙළදාමෙ යනකොට මහන්සි නෑ අම්ම. මම ආපහු එනව කීවම උඹ ඕන දෙයක් කරගන් කියල ගඟට ගියා මූණ දොවන්න මං අනික් පැත්ත හැරිල ආව."

ඔව්ව අපට අල්ලල යන්නෙ නෑ. අපට අල්ලල යන්නෙ ගොයිතැන් බත් තමා තරුණයා බෙලිමල් පොල්කට්ට අතට ගෙන කීවේය.

උගුරක් බී
 " ඔව්ව ගැලපෙන්නෙ අරාබිකාරයන්ට " කීවේය. 

අනේ මගෙ කට රණා පිටදේසෙන් ආපු එකෙක්වද මැණිකා තරවටු කළාය.

රණා අයියන්ඩිත් ඉතින් අරාබිකාරය වගෙ තමා පේන්නැද්ද හැටි.ගැටිස්සියන්ගෙන් බේරෙන්න බෑනෙ. තරුණයා කීවේය.

උඹට ඉරිසියාව කියමින් මැණිකා ගෙට ගියාය.
ඊලඟ දසුන රණා ගං දියෙන් මූණ දොන දසුනයි. දවසේ විඩාව ගත දවයි. 

රණා බිම වාඩිවී ගඟ දෙස බලා සිටී.

පසුබිම් ගායනාව

සෙමිටික් දිරිය ගෙන 
අරාබි, සිරියන් ,ඇසිරියන් යුදෙව් 
දිග්විජය කරන සද 
ගිනි ගෙන දැවෙන හිරුගේ දෙපා මුල
දෙවිදුන්ද උන් බණවා 
තොප තද කුලල් ඇති සෙනගක්ය
කියා දෙයි විවරණ
නිරුදක කතර මැද 
දිරිය දිවියේ තොරතුරු 
සත් සමුදුරු අභිභවා 
කොදෙව්වට ආ කතා පුවතයි
දිග හැරෙන්නේ ඔබ ඉදිරියේ.

##########################################################

රණා ටැංටු කරත්තයකින් ගෙදර එයි. ගෙදරද කල එළිවෙලාය. මැණිකා ඇදපැළද සිටින්නේ වලව්වක ළමාතැනී කෙනෙක් ලෙසය. පියා සාඩම්බරව සක්මන් කරයි. ඔහු රැල්බුරුල් අරී. 

මගෙ තාත්තගෙ තාත්තටත් බැරිවුනා ටැංටු කරත්තයක් ගන්න. තාත්තටත් බැරිවුනා. මගෙ පුතා ගත්ත " කියා වහසි බස් දෙඩීය.

අප්ප දොඩන්නෙ මක්කැයි සුදු මහත්තුරු දැන් මිනිස්සුන්ට සල්ලි හම්බකරගන්න ඉඩ පාදල තියෙන්නෙ. ටැංටු කරත්ත නෙමේ මං මේ ගමට ඉස් ඉස්සෙල්ලම ගේන එක බලා ගන්නකො. ආරච්චිත් පුදුම වෙයි ඕන් රණා කීවාය. 

කට කට උඹේම ඇස්වහ වදියි මැනිකා සැර දැම්මාය.

ඊලඟ පාර යන්නෙ සිංහලේ නෙමේ කොළඹ. සුද්දගෙ බාසාවත් ටිකක් කටගාගන්න ඕන රණා කීවේය.

##########################################################################

රණා තේජවන්ත ලීලාවෙන් ටැංටු කරත්තයෙන් දාසයන්ද සමඟ යන්නේ පන්සලටය. ඒ හාමුදුරුවන්ගේ පණිවිඩයකටය. රණාසේම මුහන්දිරම් ද පන්සලට එයි. පළාතේ ප්‍රභූවරුන් මේ පැමිණ සාකච්ඡා කරන්නේ උපසම්පදා විනය කර්මය පිළිබදවය. 

මුහන්දිරම් රණාගේ දැක උරහිසට අත තැබීය. රණා බිම බලා ගත්තේය. මුහන්දිරම් හාමුදුරුවන් දෙස බලා අවසර මූ අපේ රුහුණටම කීර්තියක් ගෙනා එකෙක්. කියා රණා දෙසබැලුවේ සිනාසෙමිනි. 

බෙන්තර ගඟෙන් මෙහා එවුන් ඉතින් හපන්නු නොවැ හාමුදුරුවෝ ඇගිලි දෙක මුවෙහි තබා බුලත් කෙළ පහරක් ගැසුවේ උතුරා යන සතුටකිනි.

එවිටම පරිසරය අදුරුවෙයි. තොවිලයේ ඩෙංකුටු හඩ ඇසේ 

සත් සමුදුර දෙබෑ කරගෙන ආපු යකා
බවලත් ප්‍රාණයක් තනිකර දෝස ගෙනා
ගෝර බිරම් ගති පෙන්නන ධවල යකා //

යළි පරිසරය ආලෝකවත් වෙයි. පන්සලේ සිට එන්නේ තේජාන්විත ධනවතකු වන රණාය. ඔහුගේ ටැංටු කරත්තයේ ශබ්දය කෙමෙන් අඩුවී නෑසී යයි.


අවසානයි.



Saturday, March 28, 2015

දුටුගැමුණු එළාර ප්‍රභාකරන් හා කිරිබත්

ප්‍රභාකරන්ගේ  මරණය ඇසූ ජනයා ස්වෙච්ඡාවෙන්  කිරිබත් කා උත්සව පැවැත්වීම සමහරුන්ට ප්‍රශ්නයකි. ඇත්තෙන්ම විදේශගත දෙමළ ඩයස්පෝරාව සමඟ ආර්ථික සම්බන්ධතා  තිබූ කිහිපදෙනෙකුට හැර සෙසු සියල්ලන්ටම ප්‍රභාකරන් යනු ත්‍රස්තවාදියෙකි . එකළ බසයකට නැගුනේ කොයිවෙලේ පුපුරයිද යන බියෙනි. එය යුද්ධය සම්බන්දව යුධ කලාපයෙන් බැහැරව ජීවත්වූ අප මුහුන දුන් පෞද්ගලික අත්දැකීමයි. යුධ කලාපයේ ජනයා  වර්ග සමූලඝාතන බියෙන් ජීවත් වූහ. උයා ගත් දේ කෑවේ කැළයේය. එසේම ආර්ථික මර්මස්ථාන විනාශ කිරීම හා වෙළද නැව් වලටපවා පහර දෙන මට්ටමකට ආ නිසා මුළු රටම ඛේදවාචකයට මුහුණ දී සිටියේය.

ඒ නිසා ප්‍රභා මළ දා රටම ප්‍රීතිවූහ. බින් ලාඩන් මළ විට ඇමරිකානුවන් ප්‍රීතිවූ ලෙසින්මය.

ප්‍රශ්නය මෙයයි . එසේනම් අතීත සිංහලයා එලාරගේ සොහොනට  ගරු  කළේ මන්ද යන්නයි.

මටනම් සිතෙන්නේ මේක සිංහලයාගේ යහපත්කමකටවත් දුටුගැමුනුගේ යහපත්කමකටවත් නොව දේශපාලන උපක්‍රමයක් ලෙස සිදුවූ බවයි. එළාරගේ මරණය ඔහුට පක්ෂව සිටි ජනතාවට විශාල දුකක් විය. එළාර ප්‍රචන්ඩ විනාශකාරී ත්‍රස්තවාදියෙකු නොවේ.එළාර වසර 44 ක් රට පාලනය කළ අතර රටෙන් බාගයකටත් වඩා එළාර හැර වෙන නායකයෙක් ගැන අසා තිබුනේද නැත.එළාර යුක්තිගරුක යැයි කියනු ලැබේ. ඔහුගේ යුක්තිගරුකකම ගැන වෙනම කතාවක් ඇත.ඔහු ජනතාව අතර ජනප්‍රිය අයෙකි. දුටුගැමුනු අනුරාධපුර වැසියාට පිටස්තරයෙකි. එහෙත් අනුරාපුර රජු ලෙස දුටුගැමුණු එළාරගේ මිනිසුන්ගේද සිත් දිනාගත යුතුය. ඒ සඳහා උපක්‍රමයක් ලෙස එලාරගේ සොහොනට ගරු කරන ලෙස නියෝග කෙරුණි. එසේම එළාරට හිතවත්ව සිටි අයට තනතුරු දී ඔවුන් ද තම පැත්තට නම්මා ගැනුනි.

එළාර ද්‍රවිඩයෙක්ද

එළාර දුටුගැමුණු සටන සිංහල දෙමළ සටනක් ලෙස අර්ථ දක්වන්නට වුනේ පසුකාලීනවය. පසුකලෙක සැබවින්ම දෙමල ආක්‍රමන ආ විට සිංහල වීර ගැලවුම්කරුවකු අවශ්‍ය විය. රට ආක්‍රමණය කළ සියල්ලන්ටම පොදුවේ දෙමළුන් යැයි හදුවන ලදී.සියළුම සටන් සිංහල දෙමල සටන් විය. එහි පරමාදර්ශය ද්‍රවිඩයෙක් ලෙස බෞතීස්ම කල වෙළද සමුද්‍රාධිපතියා සහ මාගම්පුර කුමාරයා අතර සටනයි.ළාර ජීවත්වූ යුගයේ දෙමළ කියා ජනවර්ගයක් නොවීය. එළාරද එකළ අනුරාධපුර වාසීන් මෙන්ම භාෂාවෙන් හා ඇදහිලිවලින් සමානව සිටි අයෙකි.

ද්‍රවිඩයන් ගැන මුලින්ම සදහන් වන්නේ කලබ්‍රයන් අතින් ඔවුන් නිදහස් වූ අවස්ථාවේය. මේ කලබ්‍රයන් ගැන ඉන් පසු සදහනක් නැත. කලබ්‍රයන්ගෙන් නිදහස් වූ පල්ලවයන් ද්‍රවිඩ වර්ගයක් ලෙස මුලින්ම බලවත් වූහ.


ලංකාවට එල්ල වූ පළමු ද්‍රවිඩ ආක්‍රමනය කළේ පල්ලවයන්ය. මාරන් යන නමින් පල්ලව රජුන් හැදින්වේ. පනය මාර , පිළය මාර යන අය මෙය සිදුකළහ.අනුරාධපුර රාජධානිය වැටුනේ ද්‍රවිඩ ආක්‍රමන නිසාය.

ද්‍රවිඩයෝ අනෙක් ජනවර්ග වලට වඩා අමුතු ප්‍රචන්ඩත්වයක් මෙරටට මුදා හැරියේ නැත. පොලොන්නරුව විනාශකළ මාඝ ඉන්දියාවේ ඔරිස්සාවෙන් හෝ මැලේසියාවේ තාම්‍රලිංග ප්‍රදේශයෙන් ආවෙකි. රජවරු ජනතාවට මුදාහැරි ප්‍රචන්ඩත්වයට ව්ඩා වෙනස් අමුතු දෙයක් ආක්‍රමනිකයෝ කළ බව සිතන්නටද බැරිය.

දෙමළ විරෝධය පසුකාලීනව පොත් ලියූ දුරදිග නොබලන මෝඩ හාමුදුරුවරුන්ගේ වැඩකි. දුටුගැමුනුට මහා උපාසකකම් පිරිනැමුවේද ඔවුන්ය. එහෙත් දුටුගැමුණු යනු උපාසකයෙකුට වඩා දේශපාලනඥයෙකි. ඔහුගේ පියා දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. සෝම පුර සේරු පුර යාකරගැනීම් වලින් එය පෙනේ.දුටුගැමුණු දක්ෂ දේශපාලනඥයෙකු බව පෙනෙන්නේ එලාර සොහොන ට ගරු කිරීමෙනි.

Thursday, March 19, 2015

යමපල්ලෙකුගේ චරිතාපදානය


උදෑසන බ්ලොග් සංචාරයේ යෙදී සිටින අතරතුර ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ  අපූරු පෝස්ට් එකක් ඇස ගැටුණි. ලුවිස් අයියාගේ කතන්දරය මතක් වුනේ එය කියවන විටය.

ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ තිබුනේ ෆීලික්ස් ශෙර්සින්ස්කි නම් මාක්ස්වාදී මිනීමරුවෙකු ගැන පුවතකි. වෙනස් මත දරණ අය සමූලඝාතනය කිරීමේ මාක්ස්වාදී ප්‍රතිපත්තිය මත 1918 න් පසු චෙකා නමින් හදුන්වන මිනීමරු ආයතනය විසින් කළ අපරාධ ගැන මෙම පෝස්ටුවේ දැක්වේ. මේවා ස්ටාලින් කළ අපරාධ නොවේ. ලෙනින් ගේ ඍජු අණදීම මත සිදුවූ ඒවායි. 1918 සිට වසර පහක් ඇතුලත ලක්ෂ 18 ක් ම්ලේච්ඡ ලෙස මරා දමා තිබුනි. ඔවුන් කළ වරද වෙනත් දේශපාලන මත දැරීමයි.මාක්ස්වාදෙන් අනුදකින්නේ තනි පක්ෂ ක්‍රමයකි. එම රටවල මැතිවරණ නැත. ජනතාවට පාලකයන් තෝරා ඝැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට බලයක් නැත. ජනතාව යනු පාලකයන්ගේ සිරකරුවෝය. 

ට්‍රාන්ස්ලිවේනියා සබැදිය

http://transyl2014.blogspot.com/2015/03/did-felix-dzerzhinsky-suffer-from.html


මා බොහෝ කොමියුනිස්ට් මිනීමරුවන් ගැන අසා ඇතත් මේ යක්ෂයා ගැන නම් ඇසුවාමය. මොහු විප්ලවීය රුසියාවේ මහත් බලයක් හොබවා ඇත. මොහු නියෝග ලබා ගත්තේ කෙළින්ම ලෙනින් මිනීමරු මහතා ගෙනි. 

කියන්න යන්නේ එය නොවේ.ලුවිස් අයියා ගැන කතාවකි. 

ලුවිස් සිඤ්ඤෝ යනු අපේ ගමේ සිටි වඩුවෙකි.ඔහු සමහරුන්ට ලුවිස් අයියා විය. සමහරුන්ට ලුවිස් මාමාය. වැඩි කලබලයක් නැති ලුවිස් තම රැකියාව කලේද ඕනවට එපාවටය. රැකියාව දියුණු කරගන්නටද වුවමනාවක් නොවීය. 

මට මේ මගුල එපා වෙලා බං තියෙන්නෙ " ලුවිස් වැඩපොලට එක අය සමඟ පවසයි.

වඩුවැඩ ඔහුට උරුමවුනේ පිය උරුමයෙනි.  වඩු රස්සාවට ලුවිස් ආසා කළේ නැත. ඔහු වැඩියක්ම ප්‍රිය කළේ කෝපි කඩයට ගොස් කයිවාරු ගැසීමටය. අපරාධවලට දෙන දඩුවම් ප්‍රමාණවත් නැති බව ඔහුගේ මැසිවිල්ල විය. රජ කාලේ දඩුවම් හා මැදපෙරදිග රටවල දැඩි නීති ගැන නිච්චි නිනවු නැතිව වර්ණනා කරයි . අනෙක් අයට තිබෙන්නේ අසා සිටින්නට පමණි. ඒ හැර ඔහුගෙන් මොන කරදරයක්ද

ලුවිස් ගේ ජීවිතය වෙනස් වුනේ පසුගිය භීෂන සමයත් එක්කමය. එකළ ලොකු ආණ්ඩුවට අමතරව පොඩි ආණ්ඩුවක් තිබිණි. පොඩි ආණ්ඩුවේ නීති සැරය. දඩුවම් ක්ෂනිකය.  දෙපාර්ශ්වයටම සවන් දීම හෝ චෝදනා ඔප්පු වන තුරු විත්තිකරු නිර්දෝෂී යැ‍යි සැළකීම , චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවීම වැනි ධනපති නීති විගඩම් එහි නැත. දෙපයින් ඇවිදින සියල්ලෝම මරනයට සුදුස්සෝය එය උද්‍යෝග පාඨයයි. කැරළිකරුවන්ගේ ප්‍රාදේශීය නායකයෙකුට අහවලා මරන්න ඕන කියා සිතුනොත් මරණය ස්ථිරය. ඇපල් ගැනීම් ඔය මොනවත් නැත. වැරදුනොත් ශෝකය පළකර බැනරයක් දමයි. එච්චරය.

කැරළිකරුවන්ගේ වීරක්‍රියා ගැන  පුවත් ප්‍රචාරය කරන්නේ කඩ පිළේය. ලුවිස් දැන් උදේම කඩපිළට යයි. ලුවිස්ලා පරම්පරාවෙන් කැපුවත් කොළ යූඇන්පීකාරයන්ය. ඒත් දැන් ලුවිස්ට යූඇන්පිය පෙන්නන්නටවත් බැරිය. ඩී ඇස් ගේ කාලයේ සිට එජාප නායකයන්ට බණින්නේ අම්ම මතක් කරලාය. කැරළිකරුවන්ගේ පක්ෂය ගැන ලුවිස්ට උනන්දුවක් ඇති විය. අම්මට සිරි මේක මරු පක්ෂයකි. දඩුවම් දෙන්නේ ප්‍රසිද්ධියේය

කැරළිකරුවන්ගේ පක්ෂයට රහසින් වැඩ කරන අය ගමේ ප්‍රසිද්ධ රහසකි. සෝමසිරි එවැන්නෙකි. ලුවිස්ට ඉන්ඩ හිටින්ඩම බැරිවූ එක් රාත්‍රියක සෝමසිරි හමුවීමට ගියේය.

සෝමසිරි හමුවූ ලුවිස් ඔහුගේ ගැටළුව කියා පෑවේය. මේ රට හදන්න ඕන බව  ලුවිස් ගේ මතය විය. ලුවිස්ගේ උද්‍යෝගය දැක සෝමසිරි සතුටු විය.

ලුවිස් අයිය අපේ රට දැන් තීරණාත්මක අවස්ථාවක. විදේශ හමුදාවක් රට ආක්‍රමණය කරලා. ලංකාව ඉන්දියාවෙ 26 වාන් ප්‍රාන්තය වෙන්නයි යන්නෙ. මේ ද්‍රෝහිය ජේ ආර් රට ඉන්දියාවට පාවා දීල සෝමසිරි කීවේය.

ඒම බෑ මල්ලි අපි සටන් කරන්න ඕන ලුවිස් කෑගෑවේය.

ලුවිස්ට ඉන්දියාවෙන් වැඩක් නැත. නිර්ධන පන්ති විප්ලවවලින්ද වැඩක් නැත. එහෙත් සෝමසිරිගෙ මගපෙන්වීම මත පන්තියකට සහභාගි වීමට ලුවිස්ට සිදුවිය.

පන්තියේදී දේශකයා කී අන්ඩර දෙමළ ලුවිස්ට තේරුනේ නැත. ඔහු ප්‍රශ්න ලෙස ඇසුවේ දැඩි දඩුවම් ගැනය. ද්‍රෝහීන් හොරිකඩයන් මර්ධනය යන වචන ලුවිස්ගේ කණට මී පැණි වත්කරන්නක් මෙනි. 

එහෙත් දේශකයා ලුවිස්ට වරක් දෙවරක් තරවටු කළේය.
සහෝදරයා දඩුවම් කියන දේම මත රැදෙන්න එපා. අප හැකිතාක් උත්සාහ කළ යුත්තේ විරුද්ධවාදීන් නිවැරදි මගට ගන්නයි. අපේ සතුරා පුද්ගලයන් නොවෙයි ධනපති ක්‍රමය. දේශකයා අවවාද කළේය.

එහෙමනම් උන්ව කෝවෙ දාල මකන්න වෙයි ලුවිස් තමාටම කියා ගත්තේය.

ලුවිස්ට තේරුන ලෙස මෙම ව්‍යාපාරය සල්ලිකාරයන්ට විරුද්ධ එකකි. කෝපි කඩේට යන එකද සීමා කළ යුතු යැ‍යි ලුවිස්ට සිතුනි. සරදියෙල් මෙන් මග රැක සිට සල්ලිකාරයන් මර්ධනය කළ යුතුයැයි ලුවිස් කල්පනා කළේය.

දැන් ලුවිස් නිර්ධන පන්තියේ වීරයෙකි. ඔහුට පැවරුන රාජකාරිය වූවේ නිර්ධන පන්තියට විරුද්ධ ඉන්දියාව හා ඇමරිකාව සමඟ එකතුවී මවුබිමට ද්‍රෝහිකම් කරන අය ට දඩුවම් දීමය. මැරිය යුතු අයගේ ලැයිස්තු පක්ෂයෙන් ලැබේ. ලුවිස්ගේ කැපවීම හා විප්ලවකාරී ජීවගුණය පක්ෂයේ ඉහළ මට්ටමේ අයගේද පැසසුමට හේතුවිය. 

ලුවිස්ට මෙම රාජකාරිය ලැබුනේ එකවරම නොවේ. ඔහු එකවරම මෙය ඉල්ලීමට මෝඩ නොවීය. වෙනවෙන වැඩ කර විප්ලවයේ සතුරන්ට බැණ වදිමින් නායකයන්ගේ සිත් දිනාගෙන ගානට වැඩේට සෙට් විය. දැන් ලුවිස් කොයි වෙලේවත් ගෙදර නැත. පැය විසිහතරෙම පක්ෂෙ වැඩය. ගස් කපා බිම දමයි. පාරවල් වසයි ,බස් ගිනි තියයි ,කඩවල් වසයි  ලෝකෙ නැති වැඩය.


පුංචි ආණ්ඩුවේ වැඩවලින් රටම හෙම්බත් විය. ලොකු ආණ්ඩුව ගේමට සෙට් වුනේ වැඩේටම ගැලපෙන ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයෙකු සමඟය. සුදුසු පොලිස් හමුදා ලොක්කන් පත් කෙරුනි. ත්‍රස්ත මර්ධනයට අවශ්‍ය කණ්ඩායම් පත් කෙරුනි. සමහරු ඒවායේ සාමාජිකත්වය ලබා ගත්තේ පැණි හැලියට ඇඹලයන් ඇදෙන්නක් මෙනි.

කැරළිකරුවන්ට පොට වැරදුනි. කැරළිකරුවන්ගේ වැඩ වලින් පීඩාවට පත් ජනතාව කැරළිකරුවන් මර්ධනයට රජයට සහාය පළ කළේය.ඝාතන කල්ලිවලට සාමාජිකයන් බදවා ගැනීමේදී කැරළිකරුවන්ගෙන් පීඩාවට පත්වූ අයගැන විශේෂයෙන් සළකා බැලුනි.

ගම් රටවල් හොල්ලගෙන සිටි මහ වීරයෝ අතුරුදහන් වන්නට විය. හැමතැනම ටයර් සෑයවල්ය. අත් අඩංගුවට පත්වන අයට දරුණු වධ හිංසා ලැබෙන බව අසන්නට ලැබුණි. කැරළිකරුවන්ගේ කිසි ගතියක් නැති මිනීමැරුම් වලට වඩා මේවා ශෝයි බව ලුවිස්ට සිතුනේ වරක් දෙවරක් නොවේ. මිනීමැරීම  දේපොළැ වැනසීම වැනි යහපත් වැඩ තිබුනත් කැරළිකරුවන්ගේ දෙලොවටම නැති නීති තිබුනි. ස්ත්‍රී දූෂන තහනම් විය. ප්‍රතිවිප්ලවවාදියෙකු මරා උගෙ බිරිද හෝ දුව දූෂනය කිරීමෙන් ජනතාව වැඩිපුර බයවෙන බව ලුවිස් ප්‍රාදේශීය නායකයන්ට කීවේ වරක් දෙවරක් නොවේ. එහෙත් මේවා ඇසූ විප්ලවවාදීහු ලුවිස්ට තදින් තරවටු කලේය. තමාව පක්ෂයෙන් නෙරපයි කියා ලුවිස් බිය විය.

වැඩිය කන්ඩ ගිය රටේ වලහ කාපි පිඩි ගැටේ කිව්වෙ කට කහනවටයැයි ලුවිස් තමාටම කියා  ගත්තේය.

ඒ අලුගුත්තේරු නීති ලොකු ආණ්ඩුවට නැත. 

ගෙවල්වලට පැන මිනීමැරීමට වඩා අත් අඩංගුවට ගෙන වධකාගාරවලට යවා දරුණු වධ දෙයි. නාඹර කෙල්ලන් ගෙනා විට කල්ල මරේය. ලුවිස්ට පක්ෂය ගැන කළකිරීමක් ඇතිවිය. 
ඔහු තීරණයක් ගත්තේය.

බුලත් අතක් රැගෙන ඇමතිතුමා හම්බවෙන්නට ගියේය. තමන් නොමඟ ගොස් සිටි බව පවසා දණගසා වැද සමාව ඉල්ලීය. කැරළිකරුවන් මර්ධනයට තමන්ට සහාය විය හැකි බව කී විට ඇමතිවරයා බණ කියන්නට විය. මහමග මරාදමන තරුණයන් ගැන ඇමතිවරයාට අප්‍රමාණ කනස්සල්ලක් තිබුනි. 


මෙසේ පාලක පක්ශය සමඟ සබඳතා ගොඩනගාගත් ලුවිස් පක්ෂයට බැහැල වැඩකරන්නට විය.කොඩියක් දාන්න එකෙක් නැති කාලයක ලුවිස් නොබියව සැරසිලි කළේය. ඔහුගේ නිර්භයබව දැක ලොකු ලොක්කන්ද තුටු පහටු විය. මර්ධන කටයුතුවල යෙදෙන කණ්ඩායමකට සෙට් වෙන හැටි ගැන ලුවිස් උදේ හවා කල්පනා කලේය. සිහින දැක්කේය.

වැඩිකළක් කට්ට කකා ඉන්නට සිදුවුනේ නැත. ලුවිස්ගේ කරල පැහුනේ කැරළිකරුවන් මර්ධනයට සහාය දෙන දේශපාලනඥයෙකු ගැන දැනගැනීමෙනි. ලුවිස් උපක්‍රමශීලීව ඔහු හා සම්බන්ධ විය. එම දේශපාලනඥයා ලුවිස්ගේ අනන්‍යතාවය ගැන උපාසක ඇමතිවරයාගෙන් විමසා බැලීය.ඔහු තමන්ගෙ මිනිහෙක් බව උපාසක ඇමතිද පවසා තිබුණි. මැර ඇමතිගේ සැක දුරුවූ පසු ලුවිස්ගේ තත්වය ස්ථාවර විය. දැන් මිළ මුදලින් මත්පැනින් අඩුවක් නැත. කොටින්ම ලුවිස්ට කළ නොහැකි දෙයක් නැත.

මෙසේ මර්ධන කල්ලිවල ටික කළක් සේවය කිරීමෙන් විශාල වධකාගාරයක සේවය කිරීමේ භාග්‍ය ලුවිස්ට ලැබුනි. ලුවිස් සේවය කළේ තමනට  කිසියම් ගුප්ත බලවේගයකින් නියම කෙරුන දේව කාර්යයක් ලෙසය. ඔහුගේ උද්‍යෝගය විශ්මයජනකය. ලුවිස්ට අසුවන කැරළිකරුවන්ට ඉතාම දරුණු වධ හිංසා මැද මියයාමට සිදුවෙයි. ලුවිස් ප්‍රාණවත් වන්නේ වධ හිංසා දෙන විටය.සිරකරුට කෑගැසෙන විට ලුවිස්ටද කෑගැසෙයි. කාරාතේ කාරයන් යාහ් කියා සතුරන්ට පහරදෙනවා මෙනි. මෙසේ ලුවිස්ගේ රැකියාව රඟ දැක්වුන නාට්‍යයක් විය.


ලුවිස්ගේ ප්‍රීතිමත් යුගය අවසන් වුනේ කැරැල්ල පරාජය වීමෙනි. කැරැල්ල පරාජය වෙනවාට ලුවිස් ඇත්තටම කැමති වුනේ නැත. එහෙත් කැරළිනායකයන් එකපිට එකා අසුවුන අතර රජය ත්‍රස්ත මර්ධනය නිළ වශයෙන් නතර කළේය. එහෙත් ඉන් පසු සාක්ෂි සැඟවීමේ ක්‍රීඩාව කරන අවස්ථාවයි. මෙතෙක් දඩයක්කරු වූ ලුවිස් දැන් දඩයම බවට පත් විය. 

ආරක්ෂක අංශවල ලොක්කන් තම යහළුවන් ලෙස ලුවිස් සැළකුවද ඔවුන්ට ලුවිස් යනු අකොළුවක් පමණැක් විය. ලුවිස්ට කුමක් සිදුවුනාදැයි දන්න කෙනෙක් නැත.
ඔහුගේ වඩුමඩුව දිරා යයි. ඉන්දියාවට හා ඇමරිකාවට එරෙහිව යුධ වැදී පසුව ධනපති ප්‍රජාතන්ත්‍රවදය වෙනුවෙන් මහ මෙහෙයක් කළ යුග පුරුශයෙකුගේ වැඩපොළ අද වේයන්ගේ රාජධානියකි. වතුපාලු වැනි වල් ගස් වඩුමඩුව තව පැත්තකින් ආක්‍රමණය කරයි.කාලයේ වැලි තලාවෙන් වැසී යන්නේ ගමේ එක්තරා යුගයක නටඹුන්ය.

එහෙත්

සමාන්තර විශ්වයක මෙය සිදුවුනේ මෙසේය. එහි විප්ලවය ජයගත්තේය.  හදිසියේම විදේශ රටක් කැරළිකරුවන්ට යුධ ආධාර දීම ඊට හේතුවයි.

1990 දී විප්ලවය ජයගත් අතර ඉන්පසු එළැඹුනේ නිර්ධන පන්තික ආඥාදායකත්වයයි
ජයග්‍රාහී කැරළිකරුවෝ 1995 වනතුරුම ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනය කළහ. රටේ ජනගහනයෙන් හතරෙන් එකක්ම මැරුම් කෑ මෙම යුගයේදී වධකාගාර අවශ්‍ය විය. ලුවිස්ගේ ක්‍රියාකාරකම් ගැන කැරළිකරුවන් අසා තිබුණි. විප්ලවීය රජයේ එක් ප්‍රධාන ක්‍රියාවක් වූයේ ලුවිස් විප්ලවීය නායකත්වය මුණ ගැසීමයි. නව විප්ලවීය රජයට සහාය දෙන්න ලුවිස් එකඟ විය. ඔහු සේවය කළ වධකාගාරය වසා නොදැමිනි. එසේම ලුවිස්ට නව තනතුරක් ලැබුනි. ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනය කිරීඑමි සමස්ත ලංකා අති විශේෂ කොමිසමේ ප්‍රධානියා ලෙස ලුවිස් පත් කෙරුනි. 

ලුවිස්ගේ පරණ වඩුමඩුව අද මනරම් මන්දිරයකි. දැසි දසුන් පිරිවරාගෙන  තේජාන්විතව නිවසට ඇතුළුවන්නේ බිය සැක දනවන මහා විප්ලවවාදියා වන ලුවිස්ය. ඔහු වග කියන්නේ උත්තරීතර නායකත්වයට පමණි. 

විප්ලවකාරී විමුක්ති හමුදාව අති විශේෂ කොමිසමේ කමාන්ඩර් ලුවිස් සහෝදරයාට ආචාරරරරර කරවු
ලෙෆ් රයිට් ලෙෆ් රයිට් ලෙෆ් රයිට් ලෆ් රයිට්

ලුවිස් සහෝදරයා සාඩම්බර ලීලාවෙන් එයි.ආයිත්තම් වලින් සැරසුන ඔහුගේ ඇදුමේ බරට ඔහු නොවැටෙන එක පුදුමයකි. එහෙත් ඔහු නොසැලී ඉදිරියටම එයි.

පරිසරය දෝංකාර දෙයි. ගස් වැල් පවා බියපත්ව ඇති සේය.

Sunday, March 15, 2015

කැටපත් පවුරේ කිවිදිය උදයා 2221 සරසවි සිසුවාට සමාව දෙන්න

අවන්හලේ කෙළවර මේසයේ පුටුවේ  වාඩිවී යන එන අය දෙස බැලුවේ ඕනවට එපාවටය. ඇත්තෙන්ම ශ්‍රී නිවාස් සමඟ ඇතිවූ හබය මා නොසන්සුන් කර තිබිණි. ශ්‍රීනිවාස් උස්  හීන්දෑරි නිතර සිනාසෙන මුහුණක් සහිත සුන්දර මිනිසෙකි. ඔහු සමඟ අමනාප කෙනෙකුටද ඔහු සමඟ දබර කළ නොහැක. කෙනෙක් වශී කරවන අපූර්වත්වයක් ඔහුගේ දෑස්වල දසන්වල තිබුණි.

ශ්‍රී නිවාස් සමඟ ගැටුනේ මහම මළ විකාරයකටය. 16 වන සියවසේ සමහර විට 18 වැනි සියවස වන තුරුම  ශ්‍රී ලංකාවේ දෙමළ රාජ්‍යයක් පැවති බව ඔහු කියයි. ඉතින් එහෙම වුනත් මට ඇති කාරිය කිම.

මා මෙලෙස දිගින් දිගට තර්ක කරනු ඇතැයි ශ්‍රීනිවාස් සිතුවේ නැත. මීට පෙර හූමිටි තබමින් ඔහුගේ මතය ස්ථිර කරමින් සිටි නිසා මෙලෙස වාද කිරීම ඔහුට පුදුමයක් විය. ආ දෙස සිනාමුසු මුහුණින් බලා සිට මහ හඩින් සිනාසෙමින් කොරිඩෝරය දෙසට ගියේය.

ඉතිහාසය හා පුරා විද්‍යාව හැඳෑරිය යුතු‍යැයි මට හැඟීමක් ආවානම් ඊට තුති පිදිය යුතු ශ්‍රී නිවාස්ටය. සිංහලයාගේ ඉතිහාසය අදට ඒ කියන්නෙ 2221 ට අවුරුදු හාරසීයක් වත් නැත. සිංහල බස දෙමළෙන් තද්භව වූවකි. විවිධ රටවලින් ආ කල්ලතෝනින්ගෙන් සිංහල ජාතිය හැදී ඇත. ශ්‍රී නිවාස් අපූරු තර්ක දමායි.ඇත්තෙන්ම ගම්පල කෝට්ටේ මහනුවර පාලකයන් ගේ දෙමල නම් දෙස බලන විට ඒවා ඇත්ත බවද සිතේ. ඊට පෙර ආදිකාලේ සිටිවිජය යනු විජයන්ය. දේවානම්පියතිස්ස යනු දේවා නම්බිය තීෂවන්ය , යක්ෂ ගෝත්‍රිකයන් ද්‍රවිඩයන් වන අතර චිත්ත රාජ හා කාලවේල යන නම් ඔහු ගෙන හැර දක්වයි.  බලනවිට ඇත්තය. 


ශ්‍රීනිවාස්ගේ මත එකහෙලා පිළිගත් නිසා ඔහු මට බොහෝ ළැදිවිය. මට දිගින්ද හරහින්ද කියා මම ද සිටියෙමි. 

ශ්‍රීනිවාස් සහ මා ගැටුනේ සීගිරිය සම්බන්ධවය.

සීගිරිය මහා දෙමළ රාජයකුගේ විශ්මිත නිර්මාණයක් බව ශ්‍රීනිවාස් කීය. ඔහු ඊට උදාහරනැයක් ලෙස පෙන්වා දුන්නේ එකළ සිටි උදයා නම් වූ කිවිදියක කැටපත් පවුරේ කළ නිර්මාණයයි. එය පැහැදිලි දෙමළ අකුරින් ලියා ඇති නිසා අනෙක් අකුරු අපැහැදිලි අකුරු කෑලි නිසාත් සීගිරියේ කැටපත් පවුරේ කාව්‍යයන් එකළ සිටි දෙමළ කිවිදියක වූ උදයා විසින් ලියන්නට ඇති බව පැහැදිලිය. සමහර විට උදයා එම කවීන්ගේ නායිකාව වන්නට ඇත.

 මා කීවේ පසුකාලීනව දෙමළ කාන්තාවක් කැටපත් පවුරේ මෙසේ නම ලීවා විය නොහැකිද කියායි

ශ්‍රී නිවාස් සිනාසුනි 

ශ්‍රීනිවාස් තර්ක කළේ 21 වැනි සියවසේ සිංහල ආණ්ඩුවක් තිබියදී  ලණු තුනකින් පැන භාෂා තුනකින් තිබූ අවවාදය නොතකා ආරක්ෂකයන්ගේ ඇස් වසා දෙමළ තරුණියක් එසේ කරයිද කියායි.

ඒ කතාවත් ඇත්තය. මම බොරුවට ශ්‍රීනිවාස් තරහකර ගත්තෙමි. මට වරදකාරී හැඟීමක් සිතට එයි. මම සිතා මතා කිසිවෙකුට වරදක් නොකරමි. එහෙත් දෙමළ රජවරුන් ගේ විශ්මිත නිර්මාණයක් වන සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගී ලියූ ඒ උදාර දෙමළ කලාකරුවන්ට නින්දා කර ඇත. 

තේජෝබල වීර විපුල මහා  ද්‍රවිඩ රාජයා පවා ඇබිටිල්ලන් මීයෙක් ලෙස සැළැකූ ඒ මහා කිවිදිය උදයා ගැන මට ඇත්තේ ක්ණගාටුවකි. උදයා ද චෝල පල්ලව කේරළ රාජසභා ආලෝකමත් කළ කිවිදියක වන්නට ඇත.එබදු එක් කිවිදියක් දෙමල සමාජයේ ප්‍රකට වුනේ දෙමළ ආච්චි යන නමිනි.

ශ්‍රීනිවාස් ගෙන් සමාව ගන්නෙමි. කල්ලතෝනින්ගේ විකාර තර්ක දෙස කුඩාවුන්ගේ  වැලිබත් ඉවීම් දෙස බලන වැඩිහිටියෙකු මෙන් එදා මහා දෙමළ රාජ්‍යෙයේ රාජසභාවේ සිටි මහා කිවිදිය උදයා බලා සිටී.උදයාගේ කරුණාබර දෑස් මා වෙත යොමුව ඇති සේය. මට තවත් ඒ දෑස් දෙස බලා සිටිය නොහැක. හනික යමි. ශ්‍රීනිවාස් ගෙන් සමාව ගනිමි. උදයාද මට සමාව දෙනු ඇත.

Monday, March 2, 2015

බුදු හිමියන් වැඩි මඟ ඔස්සේ


 





මම ලෝකය දකින්නේ මගේ ඇස්වලිනි. එසේම තේරුම් ගන්නේ මගේ දැනුමෙනි. මගේ අවබෝධය මත තීරන ගැනීම මගේ අයිතියයි. කාලාම සූත්‍රයටද එකඟවය.


ක්‍රි :පූ 6 වන සියවසේ ලොව පහළවූ සිද්ධාර්ථ ගෞතමයානන් වහන්සේ ශ්‍රේෂ්ට සමාජ ශෝදකයෙකු වූහ. ඒ බ්‍රාහ්මණයන්ගේ සමාජ ආධිපත්‍යයට එරෙහිව මතවාදී අරගලයක් කරමිනි.උන්වහන්සේගේ විවේචනයට ලක්වුනේ නිෂ්ඵල පූජා විධිය. විශේෂයෙන් බිලිපූජාවට එරෙහි විය.

විශේෂම කාරණය නම් උන් වහන්සේ ආගමක් දේශනා නොකිරීමයි.එකළ සමාජ චාරීත්‍රානුව මිනිසුන් උන්වහන්සේට නමස්කාර කලහ. උන් වහන්සේ එකළ සිටි අනෙක් නේපාල/ උතුරු ඉන්දියන් මිනිසුන් මෙන්ම සාමාන්ය මනුෂ්‍යයෙක් විය. අහසින් යන කතා ගිනි පිඹින කතා දහ අට රියන් කතා පසුකාලීන කතන්දරකාරයන්ගේ හපන්කම්ය. බුදුන් වහන්සේ සර්වඥ යැයි කීම උන් වහන්සේට කරන අගෞරවයකි.

බුදුන් වහන්සේ .වර්ධමාන මහාවීරයන් යන උතුමන් සාමාන්ය ඉන්දියානු යෝගීහු වෙති. ඉන්දියාවේ යෝගී පරම්පරා ඉතා ඈතට දිව යයි. කපිලවස්තුපුරයට නම හැදුනේද කපිල මුනිගේ නාමයෙනි. ඒ සාංඛ්‍ය දර්ශනයේ පියාය. ජෛන දර්ශනයේ ආදි කතෘ පාර්ශ්වනාථද ආදිපුරුෂයෙකු විය හැක.සමහරවිට කපිල මුනි හා පාර්ශ්වනාථ එක් අයෙකු වීමටද ඉඩ ඇත. ඒ හැර අසිත කොන්ඩඤ්ඤ වනි තවුසන් ගැනද බෞද්ධ සාහිත්‍යයේ සදහන් වේ.

සාහිත්‍ය කෘතිවල මෙම තවුසන් ගේ හපන්කම් ගැන විවිධ කතා ඇතත් මොවුහු භාවනා කරමින් සිත දියුණුකරගෙන යම් ඥාන ගවේශනයක යෙදුන අයයි. ගණිත ක්‍රම සොයාගත් ආර්යභට්ටද මෙවැන්නෙක් විය හැක.එහෙත් මොවුන්ට අහසින් යාම අවුරුදු සිය දහස්ගනන් ජීවත් වීම වැනි ගුණාංග තිබුනායයි කීම  අසත්‍යකි.

අයිසෙක් නිව්ටන් ,අයින්ස්ටයින් වැනි අය අහසින් ගිය බව හෝ ඔවුන් දිව්‍යමය ඍෂිවරු කියා පිළිනොගන්නා අප අතීතයේ සිටි උතුමන් ගැනද සිතිය යුත්තේ එසේය. 
බුදුන් වහන්සේ සිතින් නිදහස් වූවෙකි. උදාන ගාථාවල මෙන්ම ධනිය ගෝපාලට දුන් පිළිතුරෙන්ද එය පෙනේ. ඇත්තෙන්ම ථෙර ගාථා සහ ථෙරි ගාථා  මේ නිරාමිස සුවය කදිමට පෙන්නුම් කරයි. රහත්බව ලැබූ ඒ ස්වාමීන් වහන්සේලා තුල තිබූ චිත්ත ප්‍රීතිය, විමුක්තිය ,පරිපූර්ණ බව , සැහැල්ලුව කදිමට නිරූපනය වේ.

අපට සිතින් නිදහස් වීමට නොහැකිවී තිබේ.මම නම් සිතෙන් න්දහස් වීමට උත්සාහ කරමි.තවම බැරිවී ඇත. ඒ නිසා දුකින් මිදීමට අපට හැකිවී නැත. පිධානයකින් වැසූ නිධානයක් මෙන් බුදු මඟ වසා දැමූ පුද්ගලයන් ඊට වගකිව යුතුය.

මම බෞද්ධයෙක් යැයි මට නොබියව කිය හැක. ඒ උප්පැන්න සහතිකයේ ඇති නිසා නොවේ. මම බුදුන් අනුගමනය කරන බැවිනි. ඒ සඳහා මම පළමුව බුදුන්ගෙන් මිදුනෙමි.එවිට සිමෙන්තිවලට වැදීම්. යුනිෆෝම්වලට වැදීම් , ගඩොල් වලට වැදීම් මගේ නැත. එහෙත් ඒවා මම නොකරනබවක් අදහස් නොවේ. සමාජ චාරිත්‍රයක් ලෙස ඒවා කරමි. එහෙත් වෙන වැදගත්කමක් නැත.
බන්ධනයන්ගෙන් මිදීමෙන් සැනසිල්ල ලැබේ. බහුතරයක් කරන්නේ තම උඩුසිත පිනවාගැනීමට ඇදහිල්ලක කොටු වීමයි.මෙයින් එළියට ආ සැනින් අවට ලෝකය පෙනේ. එහි චමත්කාරය රස විදිය හැක.

සතුට ඇත්තේ අත්හැරීම තුලය. එහි තේරුම අප සිටින්නේ මහා බරක් කරට ගෙන බවයි. සිතිවිලි ඇත්තෙන්ම අපට බරකි. පීඩාවකි.එහෙත් උඩුසිත පිනවීමේ පුරුද්ද නිසා එය බරක් බව අපට නොහැඟේ.සිතිවිලිවලින් අප නටවනු ලැබේ.සිතිවිලි ඇතිවන්නේ බාහිර පරිසරය නිසාය. අප බාහිර පරිසරයේ රූකඩ බව ඉන් කියැවේ.

සිතිවිලි යනු මොනවාද බාහිර පරිසරයේ වස්තූන් හා අපගේ මනස අතර ප්‍රතික්‍රියාවෙන් උපදින දෙයයි.මෙය මනස විසින් ගබඩා කර ගනී. එතැන් සිට සිතිවිල්ල අනෙක් සිතිවිලිවල විනිසුරු වේ.සිතිවිල්ල ඊට සමාන සිතිවිලි පොකුරක් සාදා ගනී. පහසුව තකා මෙම සිතිවිල්ල ප්‍රධාන චේතනාව යැ‍යි කියමු.උවමනාවෙන්ම පාරිභාෂික වචන භාවිතා නොකරමි. මෙසේ පොකුරු විශාල සංඛ්‍යාවක් ඇත. එක් ප්‍රධාන සිතිවිල්ලක් තවත් ප්‍රධාන සිතිවිල්ලක ට අයත් පොකුරකය .

ඇතැම් විට මෙම ප්‍රධාන සිතිවිලි බිද වැටේ. එවිට වෙනත් සිතිවිල්ලක් ප්‍රධාන සිතිවිල්ල බවට පත්වේ. ඉන් පසු එය වටා සිතිවිලි පොකුර සැදේ. මෙසේ සිතිවිලි පොකුරු පවතින අතර ඒවා ද ප්‍රධාන සිතිවිල්ලකට අයත්ය. මෙම පොකුරු ආකෘතිය මනස තේරුම් ගැනීමට වඩා පහසු බව මගේ අදහසයි.

අප සිතිවිලිවල සිරකරුවෝය. අප යමක් සිතනවා නොව සිතෙනවාය. සිතිවිලි වැල් මෙන් ඔහේ අප ගෙන යයි.එහිදී වෛරය ක්‍රෝඪ්ජ්හය ඇතිවේ. කුඹ ගසක් නැති නෞකාවක් වැන්න. සති භාවනාවෙන් කෙරෙනුයේ මෙසේ ඉබාගාතේ යන නෞකාවට පාලනයක් දීමය. භාවනාවට මුල් තැන දුන් බෞද්ධ සමාජයක් මොනතරක් හික්මුණ ප්‍රබුද්ධ සමාජයක්  වනු ඇතිද. එහෙත් අවාසනාවට භාවනාව තුන්වැනි තෑට දමා දානය මුලට දමා දන් දීමෙන් දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් පැතීමේ සම්ප්‍රදයක් ඇතිකර ගෙන ඇත.

බෞද්ධ භාවනාවෙහි සුවිශේෂම ලක්ෂණය විදර්ශනාවයි. විදර්ශනාව අභ්‍යාස කළ අවස්ථා ඇත. එක් අවස්ථාවකදී වතුරපාරක් ගලා යන හැටි නිරීක්ෂණය කර මාර්ඝඵල ලැබූ අතර තවත් වරෙක සුදු රෙදිකඩක් කිළුටුවන හැටි බලා සිත පිරිසිදුකරගෙන ඇත.එනම් විදර්ශනාව යනු අපගේ සිතිවිලි නිරීක්ෂනයයි. මෙය සිහියෙන් සිටීමට අපට උපකාරී වේ.

ඉදින් මෙම අභ්‍යාස ප්‍රගුණ කිරීමෙන් ප්‍රභාෂ්වර චිත්තය මතුවේ. එය දීප්තිමත්ය. බුදුදහමේ ද පබසර සිත වර්ණනා කර ඇත.කෙටි පණිවිඩය නම් සිතිවිලිවල සිරකරුවන් නොවන්න කියන එකයි. නිහඩතාව, ඕම් ශබ්දය ,අවකාශය අරමුණුකරගැනීම , දෙවියන් වහන්සේ ( බ්‍රහ්මන් ) අරමුනුකර ගැනීම යනාදියෙන් යෝගීන් පැහැදිලිකරන්නේ එකම දෙයයි. ඒ චිත්ත ඒකාග්‍රතාවයි. එය හාස්කම් කරන්නක් නොව පුදලිකව ආධ්‍යාත්මික සුවිශුද්ධතාවයක් උදෙසා පමණි.

මෑත කාලීන ඉන්දියානු දාර්ශනිකයන් මෙම චෛතසික විද්‍යාව යළි හෙළිපෙහෙළි කළහ. විශ්නු භාෂ්කර් ලීල්, ශ්‍රී අවුරෝබින්දෝ, රාජ්නීෂ් ඕෂෝ  මෙහිලා වෙහෙස වූ උත්තමයන්ගෙන් කිහිප දෙනෙකි.


සුමනදාස සමරසිංහ මහතා සිත පිළිබඳ පොත් රැසක් පළ කළේය. බටහිර ධනාත්මක චින්තනය දේශීය ඌරුවකට හැඩගසා නව මුහුණුවරකින් ඉදිරිපත් කළත් එතුමන්ගෙන් පසු එය කඩා වැටුනි.

වෙදාට වට්ටෝරුවට වැද වැද සිටීමෙන් පළක් නැත . බෙහෙත පාවිච්චි කළ යුතුය. මුග්ධ ශ්‍රද්ධාවක් භක්තියක් ගූඩ හැඟීමක් තුලින් ලැබෙන දෙයක් නැත. කිසිවක් අන්ධානුකරනයෙන් නොකළ යුතුය. අපේ මුතුන් මිත්තෝ විදුලි ආලෝකය නොතිබූ අතීතයේ සාකච්ඡාවකට පෙර එකිනෙකාගේ මුහුණු නොපෙනෙන නිසා පහනක් පත්තු කළහ . අද එය චාරීත්යක් වී ඇථ. මහ දවල් හෝ විදුලිය තිබෙන විට හෝ අප මෙය පත්තු කරන්නේ විවිධ කතන්දර ගොඩක් කියමිනි. ආලෝකයෙන් අහවල් දේ සංකේතවත් වේ අරකය මේකය කීවත් ඇත්ත කතාව නම් කළුවර කාමරයක  ආලෝකය ලබා ගැනීම සදහා පත්තු කළ පහන අපට අත අරින්න බැරි වී ඇත යන්නයි.


පෙරහරවල් වල අලි ගෙන යාමද එවැන්නකි. එදා තිබූ ගාම්භීරම ප්‍රවාහන මධ්‍ය ඇතා හෝ අසුය. අපේ මනසට එය අත හරින්නට බැරිය. අද වාහන තිබුනත් කැලෑ සත්තු දුක් විදින්නේ එනිසාය.

පුරාන අරාබියේ එළිමහනේ වැසිකිලි යනවිට කම්මුලේ අත තබාගෙන වැසිකිළි යන ලෙස උපදෙස් ලැබුනි. ඊට හේතුව බිම හිදගෙන වැසිකිළියන විට බෙල්ලට උඩින් තොන්ඩුවක් වැටීමයි.මෙය කරන්නේ ගසක් උඩ සිටය.කම්මුලේ අත තබාගත් විට තොන්ඩුවෙන් ගැලවිය හැක. මෙය ආගමට සම්බන්ධ වී වර්තමානයේ සැදැහැවත් ඉස්ලාම් භක්තිමතුන් කොමොඩ් එකේ වැසිකිළි යන්නේද කම්මුලේ අතක් තබා ගෙනය.



ඔහු සිත සියල්ලටම ප්‍රධාන වන බව රස කතා උපහැරණ මගින් ලස්සනට පෙන්වා දුන්නේය. එහෙත් ඔහුගේ අනුප්‍රාප්තිකයෝ  ආගමික සංස්ථාවල අංග උපුටා ගෙන එය නාඩගමක් කරගෙන ඇත.සඟරා බෙදන අයට කියන්නෙ සංඝයා වහන්සෙලා කියාය. එක් පසෙක බුදු පිළිමයකි අනෙක් පස ඔවුන්ගේ ලාංජනයයි.


වර්තමාන සමාජ ව්‍යාපාර මෙතරම් ඉක්මනින් දූෂණය වෙන්නේ නම් අවුරුදු දහස් ගනනකට පෙර පැවති ආයතන මොන තරම් දූෂනයකට ලක්වෙන්නට ඇථිද. සුමනදාස මහතා අලුත් දෙයක් කීවා නොවේ. ඔහු  ධනාත්මක චින්තනය ගැන ලියවුන පොත් පරිවර්තනය කර දේශීය විඥානවාදී මුහුණුවරකින් ඉදිරිපත් කළේය. ඔහුගේ සංවිධානයේ සංස්ථාපිත ලක්ෂන තිබිනි.2002 දි ඔහු මළ පසු අවුරුද්දෙන් දෙකෙන් එය නාඩගමක් විය. සුමනදාස මීට අවුරුදු දහසකටවත් පෙර සිටියානම් අද අපට සුමනදාස යනු අහසින් යන ගිනි පිඹින මකරෙක් වැනි අයෙකි.



විවෘත මනසින් ලොව දැකීම තරම් සුන්දර අන් යමක් නැත.