Saturday, February 21, 2015

අපූරු අද්භූත අමුත්තෙක්

මට බිය සැක නොදැනුනා නොවේ. එහෙත් මට සිහිවුනේ පොළව පැතලි යැයි විශ්වාස කළ යුගයක තෙරක් නොපෙනෙන මහසයුර දිග් විජය කළ නැවියන්ය. බර්තොලයු ඩයස් ,මැගලන්,  වස්කෝද ගාමා වීර පුරුෂයන්ය.ඔවුහු අවදානම ගත්හ. එහි වාසිය හැමෝටමය. අවාසියක් ඇත්නම් එය එක් පුද්ගලයෙකුටය එහි කම් කිම්ද.

මම කවය තුල ගිලුනෙමි. මට ලැබුන මුල්ම අත්දැකීම පපුවේ වේදනාවකි. මුලු සිරුරා තලා දමනවාක් මෙනි. ඇස් රිදේ. ඇස් නිලංකාර වෙන සෙයකි. සාක්කුවේ කිණිස්සකි. සංචාරයේදී වේදනා සහගත මරණයකින් මා රකින මිතුරා කිණිස්සයි. කිණිස්ස අතගා බැලීමි. එය තිබේ. 
බඩ දගලයි. වැටෙන්නට යයි.එහෙත් හැකිතාක් සමබරව ඉන්න උත්සාහ කළේ.කැරකෙන ගතිය නිසා හිද ගතිමි. පුදුමයකි හිද ගැනීමට අමාරුවක් නැත.

ටික වේලාවක් යන විට වේදනාව අඩුවෙන්නට විය. නැගිට්ටෙමි. අවට බැලීමි.  ඈත පෙනේ. ඇවිදින්නටද පුළුවන. මෙම අවකාශය තුල මම හැකි වේගයෙන් ඇවිද්දෙමි.

එහෙට මෙහෙට  ගියෙමි. මට කාලය ගැන හැඟීමක් නැත. එහෙ මෙහෙ ඇවිද හෝරා කීයක් ගතකළාද නොදනිමි. දැන් ආපසු යා යුතුය. ළහිරු මා එන තෙක් බලා සිටිනු ඇත. එහෙත් යන්නේ කෙසේද .මේ මගුලෙන් ගැලවෙන්නේ කෙසේද
මෝඩකමක් කළාය යන හැඟීම මට තවම නම් ඇතිවුනේ නැත.වෙන දෙයක් වෙද්දෙන් කියා ඉදිරියට ගියේ. එවිට සෙවනැල්ලක් ඈත එනවා පෙනුනි.කෙමෙන් උස් වූ එය නතර වුනේ මා අසලය මා පිටුපසිනි.මගේ උරහිසේ අත තැබීය.

"යාළුවා " සෙවනැල්ල කතා කලේය. කතා කළා නොවේ එය මට දැනුනි.

"මේ කොහේද මට ආපහු යන්න ඕන " මම කීවෙමි.

"බයවෙන්න එපා ' තවත් පණිවිඩයකි.

"කියන්න ඔබ කවුද කියා " මම කෑගෑවේ.

"ඇයි මාව සැකද .මම කවුද කියා කීවට ඔබ මාව දන්නෙ නැහැන " සෙවනැල්ල පවසයි.

දැන් මූ මොකෙක් වුනත් මගේ හිතුවක්කාරකම් වලින් පළක් නැත. කල යුත්තේ මූට අවනත වීමයි.

"මට යන්න ඕන. මගෙ යාළුව මං එනකම් බලාගෙන ඉන්නෙ.මට උදවු කරන්න ." මම ආයාචනාත්මකව කීවෙමි.

සෙවනැල්ල සිනාසුනි.

"කලබල වෙන්න එපා " ඔහු කියයි.

කලබල නොවී කොහොමද .මම යනවා කියමින් ඔහුගේ අත ගසා දැම්මෙමි. ඔහු අත සැනෙකින් ඉවතට ගත්තේය. මේක මොන යකෙක් වුනත් මට බලහත්කාරකමක් නොකරන බව මට දැනේ.එයම සතුටකි.


මම ඉදිරියට ගියෙමි

"නවතින්න.මගේ උදවු නැතිව ඔබට යන්න බැහැ."  සෙවනැල්ල කියයි.

"ඉතින් ඇයි මට උදවු නොකරන්නෙ මම ඇසීමි."මගේ හඩ කුඩා දරුවෙකු වැඩිහිටියෙකුගෙන් කරන ආයාචනයක් මෙනි.

"ඔබ කොහෙ කියල යන්නද. ඔබ මොනවද දන්නෙ.ටිකක් ඉන්න 
කියන්න ඔබට ඕන කොහෙට යන්නද කියල "සෙවනැල්ල අසයි.

"ගෙදර නැත්නම් වෙන කොහෙද. ඒත් මට ඕන මගෙ යාළුව ඉන්න තැනට යන්න." ඔහු තාම අර මලමගුල ලග වෙන්න ඇති."

ඔබ මෙහෙ ඇවිත් කළේ මහ මෝඩකමක්. දන්නවද ඔබේ යාළුවගෙ මී මුණුපුරෝ මැරුණ තැන්වලත් දැන් ගසුත් පැළවෙලා.

"මොනවා . " මට කෑගැසුනි.

ඒකයි මම කිව්වෙ ඉවසන්න කියල.

"හොඳයි ඔබට මගෙන් මොනවද වුවමනා. අනේ මට උදවු කරන්න ඔබට බැරිද "මම ආයාචනා කලෙමි.


"ඔබ කරපු වරදක් නිසා දැන් එය අමාරුයි. නමුත් මම උදවු කරන්නම්. 'මේ බලන්න

සෙවනැල්ල යම් ක්‍රියාවක් කලේය. මට දැන් අරුම පුදුම ලෝකයක් පෙනේ.

"සේරටම ඉස්සර මට කියන්න ඔබ කවුද කියල "මම සෙවනැල්ලෙන් ඇසුවෙමි .

"මමත් ඔබ වගේම කෙනෙක්. එත් අපේ තාක්ෂණය වෙනස්."සෙවනැල්ල කීවේය.

මට සැහැල්ලුවක් දැනුනි. මේ අප මෙන්ම ජීවියෙකි.

"තාක්ෂණය වෙනස් නොවෙයි. අපට ඔබල එක්ක හැරෙන්නවත් බැහැ. "මා කීවේ.

එහෙම කියන්න එපා. අපි ඔබලගෙ දියුණු දේවල් දැක තිබෙනවා. අපිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සෙවනැල්ල කියයි.

ඇත්තටම මොවුන් මොක්කු වුනත් කරුණාවන්ත නිහතමානී පිරිසකි. ළදරුවන්ගේ වැලිබත් ඉවීම් සමච්චලයට ලක් නොකරයි . අපේ තාක්ෂනය පහත් යැයි නොකියා එය වෙනස් යැයි කියයි. මොහුගේ උදාර කම ගැන සතුටු වුනෙමි.


සෙවනැල්ල ය තාක්ෂණික ක්‍රියාවක් කරයි.එය තෙරුම් ගැනීමට උත්සාහ කළත් එය මට බැරිය. එහෙත් එය කරන විට පියවරයන් මතක තබාගත හැකිබවක් පෙනේ. එහෙත් ක්‍රියාව අවසන්වූ පසු යළි අනුපිළිවෙළ සිහිකිරීම අමාරුය. සෙවනැල්ලට අවකාශය තුල ය යම් නිර්මාන කළ හැක.ඔහු එහි යම් යම් දේ කරයි. අධ්‍යනය පලක් නැති බව දැනී ඉවත බැලීමි.

"අර බලන්න" සෙවනැල්ල මට යමක් පෙන්වයි.

චලන චිත්‍රපටයක් මෙනි. මම දෑස් දල්වා බලා සිටිමි.

"මට ඕන වුනේ ඔබට විනෝදයක් දෙන්න" සෙවනැල්ල පවසයි.

"ඇත්තටම මට කියන්න ඔබලා මට මායාවක් පෙන්වනවද කවුද මේ නාකි මිනිහා "මම ඇසීමි.

" ගයියස් ජුලියස් සීසර් " සෙවනැල්ල පවසයි. මම හිතුව ඔබ මේකට ආස වෙයි කියල.

"නැහැ ඒ ඉස්සර . ඊට වඩා ක්‍රි: පූ 6 සියවසේ ඉන්දියාව බලන්න තිබුනානම් හොදයි. "මම සිතුවෙමි.

"ඔබට ඔවුන් ලඟටම යන්න පුළුවන්. ඔවුන් ඔබට පෙනුනට ඔවුන්ට ඔබව පෙනෙන්නෙ නැහැ."

ඇත්තෙන්ම අනාදිමත් කාලයක් මිනිසුන් හොල්මන් අවතාර කියා සැකකර ඇත්තේ මෙම ජීවීන්ය. මොවුහු හැර තවත් ජීවීන් විශ්වයේ සිටිනවා විය හැක. අප හුදකලාව නැත. 


එසේම පෞද්ගලිකත්වය කියා දෙයක්ද නැත. අතීතය අනාගතය කියා දෙයක්ද නැත. අප විවිධ නිරීක්ෂණයන්ට බදුන් වන්නෙමු. එහෙත් අපගේ ක්‍රියාවන්ට ඔවුහු මැදිහත් නොවෙති.මට ප්‍රශ්නාවලියකි.

"හරි ඔබව ආපසු යවන්නම්. යාළුව එක්ක කිසිම දෙයක් කියන්න එපා. කිව්වත් ඔහු විශ්වාස කරන එකක් නැහැ."

මට දැන්ම යාමට අවශ්‍ය නැත. එහෙත් සෙවනැල්ල යමක් කරයි.ඔහු මාව පිටත් කරනවා විය හැක.

මට කරන්නට දෙයක් නැත. 

"අප ඔබව අමතක කරන්නේ නැහැ. අපව හමුවෙන්න මින් පසු ඔබ ආ තැනට  එන්න වුවමනා නැහැ.ඔබේ නිවසේම තැනක් සූදානම් කරන්නම්. "සෙවනැල්ල පැවසීය.

මේ යන විදියට මගේ නිවස කියා දෙයක්ද නැත. විශ්වයේ ඉහළ මානවල ජීවත්වන සුපිරි ජීවීන්ට කාලය හරහා ගමන් කල හැක. ඉතිහාසය වෙනස් කළ හැක. කොටින්ම කළ නොහැක්කක් නැත.

මා හිස වැනුවෙමි. පරිසරය වෙනස්ය. මා තන බිස්සක වාඩිවී සිටිමි. ලහිරු විශ්මයෙන් බලා සිටී. මොකද වුනේ බන්. උබ මී හරක වගෙ පැන්න. මේ මගුල ඉවරයක් වෙන්නෙ නෑ.මට මොකුත් පේන්නෙත් නෑ.  මං ආපහු යන්න හදනකොට එක පාරටම මේ කෝලම නතර වුනා.බලපුවම උඹ ඉදගෙන ඉන්නව. 
"මොකද බන් වුනේ "ළහිරු අසයි.

"මොකවත් නෑ බන්.නිකම් කැරකි කැරකි හිටිය එච්චරයි"  මම කිව්වෙ  ඕනවට එපාවටය.

"අපි දැන් යමු. මටත් මහන්සියි "මම කීවෙමි.

මගේ අත්දැකීම් ගැන කිසිවක් නොකීවත් විද්‍යා ප්‍රබන්ධවලට පාදක වූ භෞතික විද්‍යා සංකල්ප ගැන අප කතා කලෙමු.  මා මෙන්ම හොල්මන් විශ්වාස නොකරන ළහිරුද එහි අප නොදන්නා යම් අබිරහසක් ඇති බව පැවසීය.ඔහු සැක කලේ පිටසක්වල ජීවීන් ගැනය.  ඔහු වැරදිත් නැත.

හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙටය. මොවුන්ගේ තාක්ෂනය අප ලබා ගත යුතුය. මොවුන් සමඟ යහපත් සම්බන්දයක් ගොඩනගා ගත යුතුය.අපගේ සියළු චලනයන් ස්වයංක්‍රීයව පටිගතවන බහුමාන ලෝකයක අප ජීවත් වෙමු. ඇත්තෙන්ම අපට උදවු කළ හැකි උසස් අය සිටිති. ඔවුන්ට අප තර්ජනයක් නොවන නිසා කැමැත්තෙන්ම උදවු කරනු ඇත. එහෙත් කිසිවෙකු ගැන ඕනවට වඩා  විශ්වාස නොකළ යුතුය. හොඳින් සිතා බලා ඉදිරි සැළසුම් සකස් කල යුතුය. 

එහෙත් සියල්ල වෙනස්වුනේ නොසිතූ ආකාරයටය. පසුදා පුවත්පත් අතට ගත් විට මට තරු පෙනුනි.ළහිරු බටකැලය ගිනි තබා  තිබුණි. පසුදා පුවත්පත් පිරී ගියේ අපේ කැමරා දසුන්වලිනි.හොල්මන් මන්දිරය වෙනුවට පණු සිදුරක් ගැන විද්‍යා ලිපි පළ වී තිබිනි. විද්‍යා ගුරුවරයෙකු වූ ළහිරු ඊට විවිධ අර්ථකථන ලබා දී තිබුණි. දැන් සියල්ල වෙනස් කළ යුතුය. ළහිරු බාල ප්‍රසිද්ධියක් සොයා යයි. මගේ අරමුණ ඊට වඩා වෙනස්ය. දැන් මා ටිකක් වහන් වී සිටිය යුතුය.

පුවත්පත මේසයට විසි කර කාමරය තුලට ගියේ විවේක ගන්නටය.


24 comments:

  1. කරකවා අත හැරියා වගේ. හොඳයි හොඳයි. අපි ආවේ ඇත්ත අත්දැකීමක් බලන්න.කොහොම උනත් රසවත්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කොහොමත් මේක හොල්මන් කතාවක් නොවෙයි විද්‍යා ප්‍රබන්ධයක්. නමුත් සමාජ විද්‍යාත්මක පැත්තකුත් තියනවා.

      Delete
  2. මාර කතාව ඈ.
    ඒක නෙමෙයි සමහර තැන්වලදි චූට්ටක් විතර අවුල්. කලබලෙන් ලියලද මන්දන්නෑ. “ටෙන්ස්“ එක පැටලෙනව වගේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මට පුළුවන්නම් උදව්වක් කරන්න . කොයි හරියෙද එහෙම වෙලා තියෙන්නෙ කියල. මට ඒක හරිගස්සන්න ඕන.
      ඉක්මන් කරන්න කියල කීපදෙනෙක් ඉල්ලපු නිසා පොඩි නෙමේ ලොකු කලබලයකුත් තිබුන විශේෂයෙන් මේක සහ කලින් එක ලියද්දි.

      Delete
  3. Replies
    1. මචන් මේක විද්‍යා ප්‍රබන්ධයක්. මෙතන කාලය හරහා යාම කියන සංකල්පය තියෙන්නෙ. හැබැයි මම එතනදි හොල්මන් , අවතාර පමණක් නොවේ ආගම් ඇතිවුනෙත් මිනිස් දැනුම සහ විශේෂ සිදුවීම් වලටත් මෙහෙම බාහිර බලපෑමක් වුන බව කියනවා.

      Delete
  4. හරිම රසවත් මට මෙච්චර කල් එන්න බැරිවුනා නේ !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. දිගටම එන්න . එක එක කතන්දර දාන්න ඉන්නෙ

      Delete
  5. හරිම රසවත් මට මෙච්චර කල් එන්න බැරිවුනා නේ !

    ReplyDelete
  6. අලුත් ම කතාවක් වගේ.

    නියමයි..

    ඔය වගේ අද්භූත කතා කියවන්න අහන්න මම බොහොම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      නිසරු දේශපාලන සංවාදවලට වැඩිය මේ වගෙ කතාවක් ලියපුවම කාටත් හොඳයිනෙ බන්. ඒත් මේ අන්තිම පෝස්ට් එක ගැන මගෙ හිතට සැටිස් නෑ.
      මේ බ්ලොග් එකේ කතන්දර ලියන්න ඉන්නෙ. දේශපාලනය වුනත් කතන්දරේ ඇතුලෙ තමා තියෙන්නෙ. අත්හදාබැලීමක්

      Delete
  7. අවසාන කොටසෙන් කතාවේ තිබුන කික් එක නැති උනාද මන්දා....

    ReplyDelete
  8. කතාවට අදාල නැත. // විශ්වයේ ඉහළ මානවල ජීවත්වන සුපිරි ජීවීන්ට කාලය හරහා ගමන් කල හැක. ඉතිහාසය වෙනස් කළ හැක. කොටින්ම කළ නොහැක්කක් නැත.// ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි වැනි මහා කලාකාරයන්ටද කල හැක. :P

    කතාවට අදාලව.. මුල සිටන් සැකකල දෙයක් ඊට වඩ රසවත්ව සිදුවී ඇත. ළහිරු ලා වැනි යාලුවන්ගේ ප්‍රවේශම් වී (ලාබ ජනප්‍රිය බව හොයන්නන්ගෙන්) අනාගතයට තියා වැසිකිළියටවත් යා නොහැක. කතා ආරම්භය මෙන්ම අවසානයද සර්ථකය. ජය ශ්‍රීය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      මට ඇතිවුන අදහසක් තමයි හොල්මන් අවතාර දේවියන් බඹුන්, දේව වන්දනා ,ආගම් බිහිවීම ( ශාස්තෲන්ට දේව පනිවිඩ ලැබීම ) වගෙ දේවල් අපට වඩා වෙනස් බහුමානයක ජීවත්වන ජීවී කණ්ඩායමක ක්‍රියා වීමට ඉඩ ඇති බව.
      එවැනි ජීවීන් නැතැයි කියා කියන්න බැහැ. සාමාන්‍යයෙන් පිටසක්වලයන් කියන්නෙ කාබනික හෝ රසායනික සංස්ලේශනයෙන් ශක්තිය ලබා ගන්නා අපට වඩා දියුණු අතැම්විට මානවරූපී ජීවීන් ලෙස විද්‍යා ප්‍රබන්ධවල තිබෙනවා.
      එහෙත් එහෙම රූපකායක් නැති විශ්වයේ බහුමානයන් හා සම්බන්ධ විශ්වයේ භෞතික ස්වරූපයට පවා බලපෑම් කළ හැකි බලවේග ලෙස ඔවුන්ට පවතින්න බැරිද
      ඔවුන් දැනටමත් අපේ ලොව හරහා ගමන් බිමන් වල යෙදෙනවා වන්නට බැරිද
      අතීතය හා අනාගතය වෙනස් කරමින් අපට නොදැනුනත් අපව පාලනය කරනවා වන්නට බැරිද
      කියන ප්‍රශ්න මෙහි සාකච්ඡාවට ගත්තා.

      මෙහි දෙවන කොටසේදී පෘථිවියේ ජීවය ඇතිකර ඩී එන් ඒ ආර් එන් ඒ තුල පිටසක්වලයන් දත්ත ගබඩා කරන හැටි සහ ඔවුන් කරන මැදිහත්වීම් ගැන කතා කරනවා.

      Delete
  9. අක්චුවලි මං මගක් කියෝලා පහලට ඇවිත් බැලුවා මේක අපේ යකා බාස් ම ලියපු එකක්ද කියලා, මේක මන් ආස ස්ටයිල් එකක්,, නියමයි තැන්ක්ස්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි
      මේ ස්ටයිල් එකට තමා ලියන්නෙ ඉන්නෙ. විද්‍යා ප්‍රබන්ධ ,රහස් පරීක්ෂක කතා වගෙ දේවල් ලියනවා. මොන හේතුවක්ද මන්දා අපේ රටේ විද්‍යා ප්‍රබන්ධ ජනප්‍රිය නැහැ. බලමු බ්ලොග් හරහාවත් යමක් සිදුවෙයිද කියලා

      Delete
    2. අපේ රටේ ඉන්නේ යථාර්ථවාදී සිරා පොරවල්.. ඔය යුරෝප් කන්ට්‍රිස්
      වල වගේ ප්‍රබන්ධ කියවන මිනිස්සු නෑ :D දිගටම ලියන්න නියමයි

      Delete
  10. සමාවෙන්න අඩුපාඩුවක් කියනවාට. සමහර තැන්වල විස්තර කෙරෙනවා මදි නැද්ද? මේ වගේ කතාවක කුතුහලය අවුස්සන්නනම් එහෙම වෙන්න ඕනි කියලා හිතෙන නිසා කීවෙ.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න නොවෙයි බොහොම ස්තුතියි. මම වඩා කැමති අඩුපාඩු පෙන්වන අයට. හැමෝම මොකක් හරි අඩුපාඩුවක් පෙන්වනවනම් මම වඩාම ආසයි.
      අන්තිම පෝස්ට් එක ලියද්දි පොඩි කලබලයක් තිබුන. හදිසියෙ වගෙ ලිව්වෙ . මුල් ඒව නම් මට සැටිස් . අන්තිම එකේ මහ මොකක්ද අඩුවක් වගෙ එකක් හිතට ආව.
      මේක මගෙ පළමුවෙනි කතාව. මේ අඩවියෙ ඉදිරියට දාන්න ඉන්නෙ කතන්දර . අඩුපාඩු හදාගෙන යනව. ඊලඟ කතාව විද්‍යා ප්‍රබන්ධයක් නොවෙයි රහස් පරීක්ෂක කතාවක්.

      Delete
  11. මාතෘකාවට අදාල නැති වුනත් ත්‍රිමානයට ඉහල මාන ඇති විශ්වයක ගුණ කිහිපයක් සඳහන් කරන්නම්
    ත්‍රිමාන විශ්වයක ප්‍රතිලෝම වර්ග නියමය නම් ගුණය පවතිනවා
    එනම් ග්‍රහලෝක (හෝ කාන්දම් හෝ ආරෝපන) දෙකක් අතර දුර දෙගුන කලහොත් ඒවා අතර බලය 4න් එකක් වෙනවා , තුන් ගුනයක් ඈත් කලහොත් 9න් එකක් වෙනවා
    මේ ආකාරයටම සිව්මාන විශ්වයක ප්‍රතිලෝම ඝන නියමයක් පවතිනවා එනම් එවැනි විශ්වයක ග්‍රහයෝ දෙන්නේක් අතර දුර දෙගුන කලහොත් ගුරුත්වාකර්ශණ බලය 8න් එකක් දක්වා අඩුවෙනවා මෙම නිසා එවැනි විශ්වයක අපේ විශ්වයේ වගේ ස්ථාවර කක්ෂවල ගමන් කරන ග්‍රහලෝක පවතින්න අමාරුයි එනම් ග්‍රහයා තරුවට කඩා වැටීමේ හෝ ඈත විශ්වයට ගසා යාමේ අවදානමක් තියෙනවා

    තව දෙයක් තමා එවැනි විශ්වයක පරමාණුවල Pකාක්ෂික 4ක් පවතිනවා අනෙක් කාක්ෂිකත් වැඩියෙන් පවතිනවා එනම් එවැනි ශ්වයක මූලද්‍රව්‍යවල ලෝහමය ගුණ වැඩියි
    එමනිසා එවැනි විශ්වයක අපගේ වැනි ජීවයක් ඇතිවෙන්න අමාරුයි
    අපට ජීවත්වීමට වඩාත් සුදුසු ත්‍රිමාන විශ්වයක් තැනුවේ මොනතරම් ප්‍රේමණීය බුද්ධිමතෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමෙන්ට් එකෙන් මම යමක් ඉගෙන ගත්තා ස්තුතියි. ඔබ අලුත් විදියට නිර්මානශීලීව සිතන අපූරු පුද්ගලයෙක්. එසේ කියන්නේ වෙනත් බ්ලොග් වල ඔබ දමන කොමෙන්ට් මා කියවන නිසයි. නිතර මගේ බ්ලොග් එකට පැමිණ කොමෙන්ට් මගින් පෝස්ට් විචිත්‍ර කරන ලෙසට කාරුණික ඉල්ලීමක් කරනවා.

      Delete
  12. හොඳ ප්‍රබන්ධයක්. අර ජගත් කියනවා වගේ විද්‍යාත්මක පැත්තට බර කරලා ලීවොත් වඩා හොඳයි කියල මටත් හිතෙනවා. ඇසිමෝව් ඇතුළු හුඟක් විද්‍යා ප්‍රබන්ධ කතුවරු හොඳට සබ්ජෙක්ට් එක ගැන නියමයන් ගැන හඳුන්වා දෙමින් තමා ලීවේ. එතකොට සත්‍යට ලං වෙන ප්‍රබන්ධයක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇසිමෝව් මටත් හුරු නමක්. සත්‍යයට කිට්ටුවෙන්න ලියන ප්‍රබන්ධ නිසා අලුත් සොයාගැනීම් වලටපවා ඉඩකඩ ඇතිවෙනවා.ඊලඟ ප්‍රබන්ධවලදී එය සැළකිල්ලාට ගන්නවා

      Delete