Thursday, February 12, 2015

ඇමති මණ්ඩලය අඩුකිරීමට යෝජනාවක්

වර්තමාන දේශපාලන ක්‍රමයේ ඇති එක් අඩුපාඩුවක් වන්නේ වට්ටක්කා පුහුල් ඇමතිවරු පත්කිරීමය.කැබිනට් මණ්ඩලය ප්‍රසාරණය වීමෙන් විශාල වියදමක් සිදුවන බව හැමෝම දනිති.කිසිම ආණ්ඩුවක් මෙය කැමත්තෙන් කරනවා නොවේ.නොකර බැරිකමට කරන දෙයකි.


යම් පක්ෂයක් ජයගන්නා මුල් වාරයේදී මෙය ලොකු ප්‍රශ්නයක් නොවේ.කැපී පෙනුන මන්ත්‍රීවරු ඇමතිකම් ප්‍රාර්ථනා කරති.එහෙත් දෙවැනි වටයෙදී නවක විශාල පිරිසක් ඇමතිකම් බලාපොරොත්තු වෙති. දෑත් ශක්තිමත් කිරීමට විපක්ෂයෙන් මන්ත්‍රීවරු ගන්නේනම් වට්ටක්ක පුහුල් ඇමතිවරු පත් කිරීමට සිදුවේ.

අපගේ කැබිනට් ක්‍රමය බ්‍රිතාන්‍යයෙන් ලැබුන උරුමයකි.මෙය 1947 මහ මැතිවරණයෙන් පසු ප්‍රථම වරට ක්‍රියාත්මක විය.ඊට පෙර කැබිනට් ක්‍රමයක් නොවීය. තිබුනේ විධායක කාරක සභා ක්‍රමයකි. එම ක්‍රමය නුසුදුසු බවට තර්ක කලේ ප්‍රමාදය වැනි තාක්ෂණික ගැටළුය. මෙහිදී මන්ත්‍රීවරු යම් විධායක කාරක සභාවක සාමාජිකයන් වන අතර එහි සභාපති ඇමතිවරයාය.

ඇමතිවරුන් සංඛ්‍යාව අඩුකිරීමට නම් ව්‍යවස්ථාදායකයෙන් කැබිනට් මණ්ඩලය වෙන් කළ යුතුය.එවිට අප යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවෙන් නොව පිටින් ඇමතිධූරවලට පුද්ගලයන් පත්කිරීමටය. ඇමතිවරුන් පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරෙන් නොවේ.පිටිනි. එහෙත් ඔවුහු පාර්ලිමේන්තුවට වගකියති.ඔවුහු ඇමති ප්‍රභූන් වෙනුවට ඇමති නිළධාරීන් ය . ඇමති ලෙස යම් ක්ශේත්‍රයක ප්‍රකට පුද්ගලයෙක් පත් කළ හැක. ඇමතිවරු පත්කිරීම ,අස් කිරීම,විනය පාලනය සිදුකරන්නේ පාර්ලිමේන්තුව විසිනි.එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇමතිවරයෙක් වීමට අවසර නැත.

මේ ක්‍රමය හැර වෙන කිසිම ක්‍රමයකින් ඇමතිවරු සීමා කළ නොහැක.පුද්ගලයන් සතුටු කිරීමේ අවශ්‍යතාවය පක්ෂවලට ඇතිවන බැවිනි.

                                       

12 comments:

  1. පක්ෂය වෙනුවෙන් වද කරදර වෙමින් කැප වුන ඔනෑ මෝඩ මනුස්සයෙකුට ඇමති කමක් දීල සනසන්න වෙනව මේ ක්‍රමේට. ඒක් දැන් පුරුද්දක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන වෙන්නෙ.මේ පක්ෂ ක්‍රමයත් තර්කාණුකූල දෙයක් නොවෙයි.ඒ නිසා ජනමතය විකෘති වෙනවා

      Delete
  2. කැබිනට් එකනම් අඩු වෙන්නම ඕනේ. ඒ විතරක් නෙවෙයි පර්ලිමෙන්තුව නඩත්තු කරන්න යන වියදම අඩු වෙන්නත් ඕනේ කියලා මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. කැබිනට් එක අඩුකරන්න මේ ක්‍රමය ඇර වෙන ක්‍රමයක් නෑ.පක්ශවලින් ඇමතිවරු පත්කළාම හැමෝම සතුටු කරන්න වෙලා අන්තිමට මහළු මඩමකුත් දාන්න වෙනව ජ්‍යේෂ්ඨ ඇමතිවරු කියල.
      මේ යෝජනාව අනුව මෙය සරලව විසදාගත හැකියි

      Delete
  3. අපේ කැබිනට් එක ජීවිතේට පොඩි කරන්න බෑ, මොන ව්‍යවස්ථා සංශෝදනේ ගෙනාවත් ඔය නිකන් මිනිස්සු රවට්ටන්න , තිබ්බට වඩා ලොකු එකක් පත්කරනවා මිසක් පොඩි කරන්න කොහෙත්ම බෑ,

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. රාජ්‍ය ඇමතිවරු ,ජ්‍යේෂ්ඨ ඇමතිවරු කියල එක එක නම් වලින් පත්කරලා වැඩක් නෑ.අන්තිමට වෙන්නෙ ඔක්කොම මන්ත්‍රීවරුන්ට මොන මොනවහරි දෙන්න වෙන එක. නැත්නම් කඩාගෙන යනව.
      බලන්න මේ සරල යෝජනාවෙන් මේ ප්‍රශ්නෙ නිට්ටාවටම විසදෙන හැටි.සෞඛ්‍ය ඇමතිලෙස කීර්තිමත් වෛද්‍යවරයෙක්, ඉංජිනේරු විශයට අදාල අමාත්‍යාංශවලට කීර්තිමත් ඉංජිනේරුවන්. ක්‍රීඩා ඇමතිලෙස කීර්තිමත් ක්‍රීඩකයෙක් මේ විදියට විශයන්ට අදාලව ඒ ඒ විෂයන්වල ප්‍රවීණයො පත්කළාම ඉතා සාර්ථකයිනෙ.
      මේ අය අගමැති හෝ ජනපති විසින් පත් කරනවා.
      මේ අයට ජනතා පදනමක් අවශ්‍ය නැහැ. හැබැයි පාර්ලිමේන්තුවට මේ අය නියාමනය කරන්න පුළුවන්.

      Delete
    2. නමුත් මෙහෙම දෙයක් තියෙවා ම.ම. .. කීර්තිමත් ඉංජිනේරුවෙක් ,වෛද්‍යවරයෙක්, ක්‍රීඩකයෙක් වූ පමණින් ඒ ඒ ක්ෂේත්‍රයේ පරිපාලනමය හැක්යාව ඔවුන් සතුවෙයිදයි කියන්නට බෑ. මොකද තම ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණික සහ න්‍යායික දැනුමෙන් ඔවුන් පරිපුර්ණ වෙන්නට පුළුවන්. නමුත් අමාත්‍යංශයක කටයුතු කිරීමට පරිපාලනමය හැකියාව තිබිය යුතුයි. ක්ෂේත්‍රයේ ප්‍රාමානිකයෙකු වූ පමණින් මේ හැකියාව ලැබෙන්නේ නෑ.
      හොඳම උදාහරණයක් ගත හැකියි ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් . ඔබට මතක් ඇති 1996 ලෝක කුසලානය ලබා ගැනීමට යන ගමෙන් එහි සභාපතිවරයා වුනේ ආනා පුංචිහේවා මහතා. එහිදී ඔහුගේ පරිපාලනමය හැකියාව හොඳින් කැපී පෙනුනා . එත් ඉන් පසු කාලයකදී ලෝක කුසලානය දිනා දුන් අර්ජුන රණතුංග ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වුනාම ඔහු ඒ දක්වා සිටි අසාර්ථකම සභාපතිවරයා වුනා .

      Delete
    3. අපි ඇමතිවරු ගැනනෙ කතා කළේ.පරිපාලනය ගැන නොවෙයි. ඒක වෙනමම නිළධාරි මට්ටමෙන් සිදුවෙන දෙයක්නෙ. මොකුත් නොදන්න වාචාලයනට වඩා විෂය ප්‍රවීණයො ඇමතිවරු ලෙස එන එක හොඳයි කියල මට හිතෙන්නෙ.

      පරිපාලනයට දක්ෂ අය වෙනම ඉන්න බව මම පිළිගන්නවා. විධායක කාරක සභාවට පරිපාලනය ගැන දක්ෂ අයත් පත්විය යුතුයි.මෙය ලොකු ව්‍යුහයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් ඉන්නවා ඩොනමෝර් ක්‍රමයෙ වගෙ.
      මේ සියළුදෙනාගෙ සභාපති තමයි ඇමති. ඔහු රාජ්‍ය නායකත්වය විසින් පාර්ලිමේන්තුවෙ අනුමැතිය මත පත් කරනවා.ඔහු කරන්නෙ කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් විධායකයට සහාය වීමයි.

      මන්ත්‍රීවරු අතරින් ඇමතිවරු පත් කරන වර්තමාන ක්‍රමයට වඩා මෙය හොඳයි කියල මට හිතෙනව. ප්‍රධානම වාසිය තමා ඇමති මණ්ඩලය ලියලන්නෙ නැති කම

      Delete
  4. ඔන්න ඕක කරගන්න පුළුවන් නම් හොඳා තමයි යහපාලනයක් අල්ලන් මැරෙන්න හදන උදවියවත්..වැඩේ තියෙන්නේ එහෙ හිටි අයත් දැන් ආයෙත් ඇමතිලා, නොහිටි අයත් ඇමතිලා..දුක සැප නිති පෙරලේ රිය සක ලෙස ලෝකේ කිව්වේ කාටද මන්දා....:D

    ReplyDelete
    Replies
    1. මේ අයට මේක කරන්න අවංක වුවමනාවක් තියනව කියල විශ්වාස කරන්න බෑ.හැමෝටම බෙදාගෙන හොරාකන්න මේ ක්‍රමය වැදගත්. බ්‍රිතාන්‍යයෙ වර්ධනය වුන මේ කැබිනට් ක්‍රමය එංගලන්ත රදලයන් හා රජු අතර සම්මුතිය තුලින් පරිනාමය වූවක්. ඇමති නිළධාරීන්ගේ සුවිශේෂත්වයත් අහෝසි කළ යුතුයි.
      ඒ සඳහා විද්‍යාත්මක විසදුම් සොයා ගත යුතුයි

      Delete
  5. ලෝකේ වෙන මොන රටකට ඕක ගැලපුනත් ලංකාවට හරි යන්නේ නෑ.. මොකද බලය තියා ගන්නනම් වටේ ඉන්න අයව සතුටු කරන්නම වෙනවා..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. මෙතන ක්‍රියාවලිය වෙනුවට එහි ප්‍රතිපලයක් වන පුද්ගලයා ඔසවා තැබීමක් වෙනවා. පුද්ගලයා සුවිශේෂ නැහැ. නිතරම දෙවැනියාට වගකීම් පුහුණුවක් ලබා දිය යුතුයි. පුද්ගලයන් නිතරම වෙනස් විය යුතුයි. එවිට ක්‍රියාවලිය මතුවෙනවා.
      ඕනෑම කෙනෙකුට පුහුණුවකින් පසු ඕනෑම දෙයක් කළ හැකියි. යම් කාර්යයන්ට සුවිශේෂ පුද්ගලයන් නැහැ.මේ මිත්‍යාව නිසයි රාජවංශ ඇතිවුනේ. යමකට සුවිශේෂ පුද්ගලයකු හමුවුනහම ඔහු පසුපස තිබූ මහා ක්‍රියාවලිය අමතක කරල ඒ ක්‍රියාවලිය ඔහු නිසා සිදුවූවක් කියා සිතනව.ඉන්පසු එම ශ්‍රේෂ්ටත්වය ඔහුගෙන් පැවතෙන්නන්ටත් ආරෝපනය වෙනව.

      කිසිම පුද්ගලයකුට සුවිශේෂත්වයක් නොදිය යුතුයි.එහෙම දුන්නහමයි එක එක්කෙනා මත රදාපවතිමින් ඔවුන් සතුටු කරන්න වෙන්නෙ.

      Delete