Friday, February 27, 2015

හැම ආගමක්ම සමානද පන්සලේ පල්ලියේ කෝවිලේ මස්ජිදයේ දැල්වෙන්නේ එකම පහනද



මේ ප්‍රශ්නයට මා දෙන උත්තරය ඔවු යන්නයි. එහෙත් ඔවු කියන  සමහරු කියන්නේ  හැම ආගමකින්ම කියන්නෙ හොඳ දේ කරන්න කියානේ ඒකයි කියාය.

ඇත්තටම ඒක නොවේ. හැම ආගමකම පදනම මමත්වය නැතිකිරීමයි.මමය මාගේය කියන හැඟීම නැතිකිරීමයි.මෙහිදී නිර්මාණවාදී ආගම් දෙවියන් වහන්සේ ප්‍රයෝජනයට ගනී.දෙවියන් වහන්සේගේ මමත්වය තුල පුද්ගල මමත්වය ගිලා දැමීමයි. එහෙත් බුදුදහම වැනි ආගම් භාවනා ක්‍රම යොදා ගනී. මෙම භාවනා ක්‍රම අනාදිමත් කාලයක් විවිධ නිකායන් විසින් ප්‍රැක්ටිස් කළ අභ්‍යාස මිස කාගේවත් සොයාගැනීම් නොවේ.

තමනෙග් ආගම අනෙක් ආගම්වලින් වෙනස් බව බොහෝ ආගමිකයෝ කියති. මගේ මිතුරෙක් මෙසේ පැවසීය. අනෙක් ආගම්වල තියෙන්නෙ අන්ධ ඇදහිල්ලක් නමුත් බුද්ධාගමේ විතරක් අවබෝධය මත පදනම් වූ මාර්ගයක් කියාය. සම්පූර්ණ වැරදිය. අන්‍යාගමිකයන් ඔවුන්ගේ ග්‍රන්ථ වචනානුසාරයෙන් පිළිගන්න ලෙසම අප අපේ පොත් වල තිබෙන වාක්‍ය අන්ධානුකරනයෙන් පිළිගනිමු. අන්ධානුකරනයක් නැති ආගමක් නැත.මමත්වය නැතිකිරීම නම් වූ අරමුණ අන්ධානුකරනය තුල සැඟවී ඇත.විවිධ මෝඩ චාරීත්‍ර වලින් වැසී ඇත.

ආගම්වල ගජමිතුරා දේශපාලනයයි. දේශපාලනයෙන් වියුක්තව ආගම් පැවතී නැත.

ආගම්වල පදනම මමත්වය නැතිකිරීම නම් මේ මම යනු කවුද .මම යයි කියා ගන්නා සියල්ලම පරිසරයෙන් පටවන ලද ඒවා වන අතර ඒ සියල්ලේ පැවැත රදා පවතින්නේ සංයෝජනයෙනි. මෙම සංයෝජනය නැතිවූ පසු මම කියා ගත හැකි දෙයක් නැත. ඒ අනුව මම යන්න මනසින් නිර්මාණය කරගන්නා සම්මුතියක් බව පෙනේ.මෙම සාපේක්ෂ මමත්වය නැතිකරගත්විට ප්‍රශ්න නැත. එය පරම තත්වයකි.සැමගේම පැතුමයි .එය සාක්ෂාත්කරගන්නේ කෙසේද  මෙය ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදය වෙනස්විය හැක.ඒ මමත්වය නැතිකර ගැනීමට යොදන විවිධ උපායන් අතිනි.එහෙත් අරමුණ එකමය.මමත්වය මනසේ නිර්මානයක් මිස නිරපේක්ෂ දෙයක් නොවන බව අවබෝධකර දීම ආගම් මගින් සිදුවේ.

බාහිර වස්තූන් අරභයා මනස විසින් නිර්මානය කරගන්නා දේවල් ඇත. ඒවා සාපේක්ෂය.බාහිර අරමුණු ( උපාදානයන් ) ගෙන් නිදහස් වීම යනු නිවනයි. බාහිර අරමුණු වලින් නිදහස් වීම සියල්ලන්ගේම අරමුණය. එහෙත් ඒ අරමුණ කරා යන මාවත් වෙනස්ය. සමහරු ඒ අරමුන කරා යාමට දෙවියන් වහන්සේ යන සංකල්පය ආධාර කර ගනිති. කිසි වරදක් නැත.

අප නින්දට ගියවිට දුක දැනෙනවාද නැත. ඒ කියන්නේ දුක අපේ උඩු සිතේ නිර්මාණයක් බවයි. සියළු හැඟීම් එසේය. ඒවා බාහිර වස්තූන් අතර සම්බන්ධය නිසා ඇතිවූ ඒවාය.සම්බන්ධය බිදුන විට හැඟීමද අවසන්වේ.උඩුසිත නිද්‍රාවට වැටුන විට තාවකාලිකව සම්බන්ධය විසන්ධි වේ.ආගම් මගින් පොරොන්දුවන පරම තත්වය එවැන්නකි.



එකිනෙකාගේ මාවත් වෙනස් වීමට හේතුව සංස්කෘති වෙනස් වීමයි.උදාහරණයකට දාර්ශනික ඉන්දියානුවාට වඩා මැදපෙරදිග වාසීන්ට මැවුම්කරු මැවිල්ලෙන් වෙන්කරගන්න යන කතාව තෙරුම් ගැනීම පහසුය.මැවිල්ලට තිබෙන ආශාව බැදීම දුකට ( පාපයට ) හේතුවන නිසා ඉන් බැහැරවෙන ලෙස එනම් මමත්වය නැතිකරගන්න ලෙස ඉගැන්වේ. 

බලපුවාම ඔක්කොම සමානය. එකම කතාව වටේ ගොහින් හතර අතේ කරකවා කියයි.

Saturday, February 21, 2015

අපූරු අද්භූත අමුත්තෙක්

මට බිය සැක නොදැනුනා නොවේ. එහෙත් මට සිහිවුනේ පොළව පැතලි යැයි විශ්වාස කළ යුගයක තෙරක් නොපෙනෙන මහසයුර දිග් විජය කළ නැවියන්ය. බර්තොලයු ඩයස් ,මැගලන්,  වස්කෝද ගාමා වීර පුරුෂයන්ය.ඔවුහු අවදානම ගත්හ. එහි වාසිය හැමෝටමය. අවාසියක් ඇත්නම් එය එක් පුද්ගලයෙකුටය එහි කම් කිම්ද.

මම කවය තුල ගිලුනෙමි. මට ලැබුන මුල්ම අත්දැකීම පපුවේ වේදනාවකි. මුලු සිරුරා තලා දමනවාක් මෙනි. ඇස් රිදේ. ඇස් නිලංකාර වෙන සෙයකි. සාක්කුවේ කිණිස්සකි. සංචාරයේදී වේදනා සහගත මරණයකින් මා රකින මිතුරා කිණිස්සයි. කිණිස්ස අතගා බැලීමි. එය තිබේ. 
බඩ දගලයි. වැටෙන්නට යයි.එහෙත් හැකිතාක් සමබරව ඉන්න උත්සාහ කළේ.කැරකෙන ගතිය නිසා හිද ගතිමි. පුදුමයකි හිද ගැනීමට අමාරුවක් නැත.

ටික වේලාවක් යන විට වේදනාව අඩුවෙන්නට විය. නැගිට්ටෙමි. අවට බැලීමි.  ඈත පෙනේ. ඇවිදින්නටද පුළුවන. මෙම අවකාශය තුල මම හැකි වේගයෙන් ඇවිද්දෙමි.

එහෙට මෙහෙට  ගියෙමි. මට කාලය ගැන හැඟීමක් නැත. එහෙ මෙහෙ ඇවිද හෝරා කීයක් ගතකළාද නොදනිමි. දැන් ආපසු යා යුතුය. ළහිරු මා එන තෙක් බලා සිටිනු ඇත. එහෙත් යන්නේ කෙසේද .මේ මගුලෙන් ගැලවෙන්නේ කෙසේද
මෝඩකමක් කළාය යන හැඟීම මට තවම නම් ඇතිවුනේ නැත.වෙන දෙයක් වෙද්දෙන් කියා ඉදිරියට ගියේ. එවිට සෙවනැල්ලක් ඈත එනවා පෙනුනි.කෙමෙන් උස් වූ එය නතර වුනේ මා අසලය මා පිටුපසිනි.මගේ උරහිසේ අත තැබීය.

"යාළුවා " සෙවනැල්ල කතා කලේය. කතා කළා නොවේ එය මට දැනුනි.

"මේ කොහේද මට ආපහු යන්න ඕන " මම කීවෙමි.

"බයවෙන්න එපා ' තවත් පණිවිඩයකි.

"කියන්න ඔබ කවුද කියා " මම කෑගෑවේ.

"ඇයි මාව සැකද .මම කවුද කියා කීවට ඔබ මාව දන්නෙ නැහැන " සෙවනැල්ල පවසයි.

දැන් මූ මොකෙක් වුනත් මගේ හිතුවක්කාරකම් වලින් පළක් නැත. කල යුත්තේ මූට අවනත වීමයි.

"මට යන්න ඕන. මගෙ යාළුව මං එනකම් බලාගෙන ඉන්නෙ.මට උදවු කරන්න ." මම ආයාචනාත්මකව කීවෙමි.

සෙවනැල්ල සිනාසුනි.

"කලබල වෙන්න එපා " ඔහු කියයි.

කලබල නොවී කොහොමද .මම යනවා කියමින් ඔහුගේ අත ගසා දැම්මෙමි. ඔහු අත සැනෙකින් ඉවතට ගත්තේය. මේක මොන යකෙක් වුනත් මට බලහත්කාරකමක් නොකරන බව මට දැනේ.එයම සතුටකි.


මම ඉදිරියට ගියෙමි

"නවතින්න.මගේ උදවු නැතිව ඔබට යන්න බැහැ."  සෙවනැල්ල කියයි.

"ඉතින් ඇයි මට උදවු නොකරන්නෙ මම ඇසීමි."මගේ හඩ කුඩා දරුවෙකු වැඩිහිටියෙකුගෙන් කරන ආයාචනයක් මෙනි.

"ඔබ කොහෙ කියල යන්නද. ඔබ මොනවද දන්නෙ.ටිකක් ඉන්න 
කියන්න ඔබට ඕන කොහෙට යන්නද කියල "සෙවනැල්ල අසයි.

"ගෙදර නැත්නම් වෙන කොහෙද. ඒත් මට ඕන මගෙ යාළුව ඉන්න තැනට යන්න." ඔහු තාම අර මලමගුල ලග වෙන්න ඇති."

ඔබ මෙහෙ ඇවිත් කළේ මහ මෝඩකමක්. දන්නවද ඔබේ යාළුවගෙ මී මුණුපුරෝ මැරුණ තැන්වලත් දැන් ගසුත් පැළවෙලා.

"මොනවා . " මට කෑගැසුනි.

ඒකයි මම කිව්වෙ ඉවසන්න කියල.

"හොඳයි ඔබට මගෙන් මොනවද වුවමනා. අනේ මට උදවු කරන්න ඔබට බැරිද "මම ආයාචනා කලෙමි.


"ඔබ කරපු වරදක් නිසා දැන් එය අමාරුයි. නමුත් මම උදවු කරන්නම්. 'මේ බලන්න

සෙවනැල්ල යම් ක්‍රියාවක් කලේය. මට දැන් අරුම පුදුම ලෝකයක් පෙනේ.

"සේරටම ඉස්සර මට කියන්න ඔබ කවුද කියල "මම සෙවනැල්ලෙන් ඇසුවෙමි .

"මමත් ඔබ වගේම කෙනෙක්. එත් අපේ තාක්ෂණය වෙනස්."සෙවනැල්ල කීවේය.

මට සැහැල්ලුවක් දැනුනි. මේ අප මෙන්ම ජීවියෙකි.

"තාක්ෂණය වෙනස් නොවෙයි. අපට ඔබල එක්ක හැරෙන්නවත් බැහැ. "මා කීවේ.

එහෙම කියන්න එපා. අපි ඔබලගෙ දියුණු දේවල් දැක තිබෙනවා. අපිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සෙවනැල්ල කියයි.

ඇත්තටම මොවුන් මොක්කු වුනත් කරුණාවන්ත නිහතමානී පිරිසකි. ළදරුවන්ගේ වැලිබත් ඉවීම් සමච්චලයට ලක් නොකරයි . අපේ තාක්ෂනය පහත් යැයි නොකියා එය වෙනස් යැයි කියයි. මොහුගේ උදාර කම ගැන සතුටු වුනෙමි.


සෙවනැල්ල ය තාක්ෂණික ක්‍රියාවක් කරයි.එය තෙරුම් ගැනීමට උත්සාහ කළත් එය මට බැරිය. එහෙත් එය කරන විට පියවරයන් මතක තබාගත හැකිබවක් පෙනේ. එහෙත් ක්‍රියාව අවසන්වූ පසු යළි අනුපිළිවෙළ සිහිකිරීම අමාරුය. සෙවනැල්ලට අවකාශය තුල ය යම් නිර්මාන කළ හැක.ඔහු එහි යම් යම් දේ කරයි. අධ්‍යනය පලක් නැති බව දැනී ඉවත බැලීමි.

"අර බලන්න" සෙවනැල්ල මට යමක් පෙන්වයි.

චලන චිත්‍රපටයක් මෙනි. මම දෑස් දල්වා බලා සිටිමි.

"මට ඕන වුනේ ඔබට විනෝදයක් දෙන්න" සෙවනැල්ල පවසයි.

"ඇත්තටම මට කියන්න ඔබලා මට මායාවක් පෙන්වනවද කවුද මේ නාකි මිනිහා "මම ඇසීමි.

" ගයියස් ජුලියස් සීසර් " සෙවනැල්ල පවසයි. මම හිතුව ඔබ මේකට ආස වෙයි කියල.

"නැහැ ඒ ඉස්සර . ඊට වඩා ක්‍රි: පූ 6 සියවසේ ඉන්දියාව බලන්න තිබුනානම් හොදයි. "මම සිතුවෙමි.

"ඔබට ඔවුන් ලඟටම යන්න පුළුවන්. ඔවුන් ඔබට පෙනුනට ඔවුන්ට ඔබව පෙනෙන්නෙ නැහැ."

ඇත්තෙන්ම අනාදිමත් කාලයක් මිනිසුන් හොල්මන් අවතාර කියා සැකකර ඇත්තේ මෙම ජීවීන්ය. මොවුහු හැර තවත් ජීවීන් විශ්වයේ සිටිනවා විය හැක. අප හුදකලාව නැත. 


එසේම පෞද්ගලිකත්වය කියා දෙයක්ද නැත. අතීතය අනාගතය කියා දෙයක්ද නැත. අප විවිධ නිරීක්ෂණයන්ට බදුන් වන්නෙමු. එහෙත් අපගේ ක්‍රියාවන්ට ඔවුහු මැදිහත් නොවෙති.මට ප්‍රශ්නාවලියකි.

"හරි ඔබව ආපසු යවන්නම්. යාළුව එක්ක කිසිම දෙයක් කියන්න එපා. කිව්වත් ඔහු විශ්වාස කරන එකක් නැහැ."

මට දැන්ම යාමට අවශ්‍ය නැත. එහෙත් සෙවනැල්ල යමක් කරයි.ඔහු මාව පිටත් කරනවා විය හැක.

මට කරන්නට දෙයක් නැත. 

"අප ඔබව අමතක කරන්නේ නැහැ. අපව හමුවෙන්න මින් පසු ඔබ ආ තැනට  එන්න වුවමනා නැහැ.ඔබේ නිවසේම තැනක් සූදානම් කරන්නම්. "සෙවනැල්ල පැවසීය.

මේ යන විදියට මගේ නිවස කියා දෙයක්ද නැත. විශ්වයේ ඉහළ මානවල ජීවත්වන සුපිරි ජීවීන්ට කාලය හරහා ගමන් කල හැක. ඉතිහාසය වෙනස් කළ හැක. කොටින්ම කළ නොහැක්කක් නැත.

මා හිස වැනුවෙමි. පරිසරය වෙනස්ය. මා තන බිස්සක වාඩිවී සිටිමි. ලහිරු විශ්මයෙන් බලා සිටී. මොකද වුනේ බන්. උබ මී හරක වගෙ පැන්න. මේ මගුල ඉවරයක් වෙන්නෙ නෑ.මට මොකුත් පේන්නෙත් නෑ.  මං ආපහු යන්න හදනකොට එක පාරටම මේ කෝලම නතර වුනා.බලපුවම උඹ ඉදගෙන ඉන්නව. 
"මොකද බන් වුනේ "ළහිරු අසයි.

"මොකවත් නෑ බන්.නිකම් කැරකි කැරකි හිටිය එච්චරයි"  මම කිව්වෙ  ඕනවට එපාවටය.

"අපි දැන් යමු. මටත් මහන්සියි "මම කීවෙමි.

මගේ අත්දැකීම් ගැන කිසිවක් නොකීවත් විද්‍යා ප්‍රබන්ධවලට පාදක වූ භෞතික විද්‍යා සංකල්ප ගැන අප කතා කලෙමු.  මා මෙන්ම හොල්මන් විශ්වාස නොකරන ළහිරුද එහි අප නොදන්නා යම් අබිරහසක් ඇති බව පැවසීය.ඔහු සැක කලේ පිටසක්වල ජීවීන් ගැනය.  ඔහු වැරදිත් නැත.

හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙටය. මොවුන්ගේ තාක්ෂනය අප ලබා ගත යුතුය. මොවුන් සමඟ යහපත් සම්බන්දයක් ගොඩනගා ගත යුතුය.අපගේ සියළු චලනයන් ස්වයංක්‍රීයව පටිගතවන බහුමාන ලෝකයක අප ජීවත් වෙමු. ඇත්තෙන්ම අපට උදවු කළ හැකි උසස් අය සිටිති. ඔවුන්ට අප තර්ජනයක් නොවන නිසා කැමැත්තෙන්ම උදවු කරනු ඇත. එහෙත් කිසිවෙකු ගැන ඕනවට වඩා  විශ්වාස නොකළ යුතුය. හොඳින් සිතා බලා ඉදිරි සැළසුම් සකස් කල යුතුය. 

එහෙත් සියල්ල වෙනස්වුනේ නොසිතූ ආකාරයටය. පසුදා පුවත්පත් අතට ගත් විට මට තරු පෙනුනි.ළහිරු බටකැලය ගිනි තබා  තිබුණි. පසුදා පුවත්පත් පිරී ගියේ අපේ කැමරා දසුන්වලිනි.හොල්මන් මන්දිරය වෙනුවට පණු සිදුරක් ගැන විද්‍යා ලිපි පළ වී තිබිනි. විද්‍යා ගුරුවරයෙකු වූ ළහිරු ඊට විවිධ අර්ථකථන ලබා දී තිබුණි. දැන් සියල්ල වෙනස් කළ යුතුය. ළහිරු බාල ප්‍රසිද්ධියක් සොයා යයි. මගේ අරමුණ ඊට වඩා වෙනස්ය. දැන් මා ටිකක් වහන් වී සිටිය යුතුය.

පුවත්පත මේසයට විසි කර කාමරය තුලට ගියේ විවේක ගන්නටය.


Friday, February 20, 2015

අබිරහස මුහුණට මුහුණ හමුවේ.

ලං වන විට කලින්ට සැර බාල වී තිබුණි. මගේ බයද අඩුවිය. ලඟටම ඒමට හැකිවිය. වක්‍රාකාර කටාරමක් වැනි යමක් ලඟ නැවතුනෙමි.යමක් දිලිසෙනවා කැකෑරෙනවා පෙනුනි. මට කළ හැක්කේ බලා සිටීම පමණි.එහි තේරුමක් නැත. තිබෙන දෙය ටිකෙන් ටික නොපෙනී යයි. දැන් එළිවෙන්නටත් කිට්ටුය.

මම ආපසු යමි.මීට වඩා සූදානම්ව එමි.අඩුම ගනනේ කැමරාවක්වත් රැගෙන ආ යුතුය. එසේම තව උදව්කරුවෙක්ද කැදවා ගෙන ඒම ප්‍රයෝජනවත්ය. අඩුගනනේ සාක්ෂියක් ලෙස හෝ ප්‍රයෝජනවත්ය.

ආපසු එන අතර බස් එකේදි මගේ සිතට වැල නොකැඩී ආවේ මෙවැනි සිතිවිලිය. නිවසට ආ විගස ඇදේ ඇළවුනෙමි.නින්දත් නොනින්දත් අතර දෝලනය වී අන්තිමට නිදි දෙව් දුව සමඟ යහන්ගතවීමට හැකිවිය. අවදිවන විට ඇගේ පතේ අමාරු අඩුවී තිබිණි.

මේ සිද්ධියෙන් පසු මගේ දින චරියාව වෙනස් විය. ඊලඟට කුමක් කරන්නේද යන්න හතට වද දුන් ප්‍රශ්නයයි.මෙය කෙනෙකුට කීම නිශ්ප්‍රයෝජනය. කළ යුත්තේ උපක්‍රමශීලීව යම් වැඩසටහනක් සකස් කිරීමයි.

ඊලඟ ගමනේදී නවාතැන් ගන්නේ ගැමි ගෙදරකය. ගම්මුන් සමඟ සාකච්ඡාවෙන් කිසියම් පොටක් පාදා ගත හැක. එසේම ගුප්ත වැඩ වලට සම්බන්ධ කිහිප දෙනෙකුත් හවුල් කරගත යුතුය.එහෙත් ඔවුන් සිටින්නේ අතේ දුරිනි. මගේ හවුල්කාරයා ලෙස සියළු වැඩ ගුරුවරයෙකු වූ ලහිරු සූරියබණ්ඩාර සමඟය. ගුප්ත වැඩට පිරිසක් යොදාගන්නේ ගම්මුන් තුල ඇතිවිය හැකි සැකය දුරුකිරීමටය. 

.ලහිරු එකපයින් කැමතිවිය.ලහිරුගේ උදව්වෙන් ගුප්ත විද්‍යාව ගැන දැනුමක් ඇති පුද්ගලයෙක් සොයා ගත හැකිවිය. ඔහු කීවේ මෙහි නිධානයක් තිබෙන බවයි. අප තිදෙනා ගමට ගොස් ගෙවල් තුනක  නවාතැන් ගතිමු.

දින කිහිපයක් මෙසේ නවතැන් ගෙන පරීක්ෂා කළත් කිසිම හෝඩුවාවක් සොයාගත නොහැකිවිය. රහසිගතව රාත්‍රී කාලවල මාරුවෙන් මාරුවට මාත් ලහිරුත් මන්දිරයේ සැඟවී පර්යේශන කළෙමු. එහෙත් ප්‍රතිපයක් නැති තැන ඔහු කළකිරී සිටියේය. සියලලටම වඩා නිවාඩු කාලය අවසන් වීම නිසා ඔහු මේ හැංගිමුත්තම තවත් කළ නොහැකි විය. 

එදා ලහිරුගේ වාරයයි. "අද වැඩක් වුනේ නැත්නම් මං ආපහු යනව බන්" ඔහු පැවසුවේ මන්දෝත්සාහිවය.

එහෙත් මටනම් මෙය අතහැරදැමිය නොහැක.අඩුගානේ තව එක් ජීවමාන සාක්ෂියක් හෝසපයා ගත යුතුය. 

ගැමි ගෙදර නිදාගත් එකම දිනකවත් නින්ද මා වෙත ආවේ නැත. එදා මදුරුවන් තලමින් ඉන්න අතරෙ හීන් හඩින් ඇසුනේ ලහිරුගේ හඩය. මම එක පිම්මට දොර ඇරගෙන පැන්නෙමි.

 "වරෙන් මාර සෙල්ලමක් එතන යනවා " ලහිරු පැවසීය.

හිටහන් කැමරාව අරන් එනකම් කියා යළිත් ගෙතුලට ගිය මා ගෙදර අය අවදිවෙන නිසා සීරුවෙන්  කැමරාව සහ රෙකෝඩරය ගෙන ලහිරු පිටුපසින් ආවෙමි.

අප සෙමෙන් අද්භූත කවය අසල නැවතුනෙමු. ලහිරු මට එය පෙන්වීය. මචන් මේකද උඹ දැක්ක කිව්ව එක කියන විටම ඔහු ඇද වැටුනි. ඔහු වත්තන් කරගෙන පසුපසට විත් තනබිස්සෙ තබා පවන් ගැසීමි.

ලහිරු සෙමෙන් ඇස් ඇරියේය. "මොකද වුනේ බන් "මම ඇසුවෙමි

"මම ඒක දිහාට ඇදීගෙන ගියා " ලහිරු ගොත ගැසීය.

මම සිනාසුනෙමි.බියපත් දෑසින් මා දෙස බලා සිටී.

"උඹ  මහ බයගුල්ලෙක්නෙ බන්. අපි ආවෙ රිසර්ච් එකකට .උඹ මට එක පොරොන්දුවක් වෙන්න ඕන. "මම කීවේ ඔහුගේ ඇස් දෙක දිහා ම බලාගෙනය.

මොකක්ද ලහිරු ඇසීය

ගනින් මේ කැමරාව .මෙන්න රෙකෝඩර් එක. උඹ මෙතන වෙන හැම දෙයක්ම පොටෝගන්න ඕන රෙකෝඩ් කරගන්න ඕන . තේරුනාද මම කීවේ නියෝගයක් ලෙසිනි.

"එතකොට උඹ "ලහිරු ඇසීය

"ඒකට තමයි මේ පොරොන්දුව ගන්නෙ. කියපන් උඹ බයද කියල මේකට"

"නෑහ් " දැන් ලහිරු පිළිතුරු දුන්නේ ලැජ්ජාවෙනි. බොඉයවීම ගැණ ඔහු දැන් ලැජ්ජා වෙයි. එය හොදය.

"මම දැන් මේ කරන දේ මොකක් වුනත් උඹ බය නැතිව ඉන්නව කියල දිවුරපන්." මා දැඩි ස්වරයෙන් ඇසීමි.
"හරි උබ මොකක්ද කරන්නෙ".ලහිරු විමසුවේය.

"උඹට කිසිම අවදානක නෑ. අවදානම සීයට සීයක් ගන්නෙ මම. උඹ ට තියෙන්නෙ මම දැන් කරන දේ බලා ඉන්න එක. වෙන දෙයක් රෙකෝඩ් කරපන් , පොටෝ ගනින් " මගේ දෑස් ඔහුගේ දෑස් එක එල්ලේය.

"එතකොට උඹ"

"මම මේ මගුල ඇතුලටම යනව " මම කීවේ බිම් බලාගෙනය.

"මොනවා  " ලහිරු කෑගැසීය.

"වෙන්න පුළුවන් උපරිම දේ මොකක් වුනත් ඒක වෙයි. මම බය නෑ මේකෙ ඉන්න මළ යකා මොකා වුනත් මම ඌ එක්ක මේ ගණුදෙනුව බේර ගන්නවා ".මම කෑගැසුවෙමි.

ලහිරු හිත හොඳ කොල්ලෙකි.ඔහු මා අතහැර පැන නොදුවන බව විශ්වාසය. අනෙක් අතට ඔහුට අවදානමක් නැත. වැඩේ වැරදුනොත් ඔහුට තිබෙන්නේ ගෙදර යාමය.

මම ඉදිරියට පියවර එසෙව්වෙමි.

"පරෙස්සමෙන්" ලහිරු මුමුනයි. මම ඔහු දෙස සරදම් බැල්මක් හෙලා අබිරහස වෙතට පය ඉක්මන් කළෙමි.

කලින් දිනක යකඩය මේ තුලට ඇදී ගියේය. එසේම මෙම තොවිලය හැමදාම නැත. එකම තැනකද නැත. ආකර්ශනය සුළුවෙන් පටන්ගෙන වේගවත් වී පසුව අඩුවේගන යයි. මට ආවේ මේ සිතිවිලිය. අනෙක මම හොල්මන් අවතාර විශ්වාස නොකරමි. බලමු මොකද වෙන්නෙ කියා.

දැන් දැන් ආකර්ශනය වැඩි වෙයි . මම ආපසු බැලීමි. ලහිරු මා දෙස බලා සිටී. මම තවත් පය ඉක්මන් කළෙමි. 

Wednesday, February 18, 2015

කුතුහලයට ඉවකර පියවර මනිමින්

ගුමු ගුමු හඩ ටිකෙන් ටික එන්ජිමක හඩක් මෙන් ඇසෙන්නට විය. දැන් නම් මට හිතෙන්නේ හොල්මනකට වඩා යම් මිනිස් ක්‍රියාකාරකම ඇති බවයි. එය එසේනම් මා සූදානම් මදිය. ඇත්තෙන්ම මම හොල්මන් විශ්වාස නොකරමි. නමුත් එහෙම දේවල් ඇත්දැයි නොදනිමි. මේ නිසා නූගත් ගැමියෙකු මෙන් හොල්මනකට මම බිය නොවුනත් ඒවා ප්‍රතික්ෂේපද නොකරමි.

එහෙත් මිනිස් ක්‍රියාකාරකමක් නම් වැඩේ ලේසි නැත. මෙතන හොරුන් මැරයන් හෝ ත්‍රස්තවාදීන් සිටින්නේනම් මට තනිවම කළ හැකි කිසිම දෙයක් නැත. කිසිම තේරුමක් නැතිව ඔවුන්ගෙන් මැරුම් කෑමට සිදුවේ.එසේනම්කළ යුත්තේ ආපසු යාමය. ඔවු මේ කෑලි කැපිය හැකි අදුරේම මා පිටවී යමි. මෙහි හොල්මන් නැතිනම් වෙනත් දේවල් විමසා බැලීම මාධ්‍යවේදියෙක් ලෙස මට වටිනා දෙයක් වුනත් මේ එයට සුදුසු ක්‍රමය නොවේ.  නමුත් මෙය මිනිස් ක්‍රියාකාරකමක් බව සැකහළ යුතුය.

මා තවත් ටිකක් ඉදිරියට ගියෙමි. ශබ්දය රිද්මයකට අනුව ඇතිවන්නකි. එසේනම් මෙය කිසිසේත්ම හොල්මනක් නොවේ. බලමු. මම තවත් ඉදිරියට ගියෙමි.

දෙවියනේ මා ඉදිරියට ඇදෙන්නට වෙයි.මුළු වෙර යොදා බිමට ආපස්සට පැන්නෙමි. අඩියක් පමන පස්සට විසිවිය.එහෙත් යළි ඉදිරියට ඇදෙයි.මගේ අතින් යකඩය අතහැරුනි. මගේ ඉටු දෙවියාද මා හැර ගොසිනි. අරුමයකි. යකඩය ඊයක් විලසින් ඉදිරියට යයි. එකෙනෙහිම එය අතුරුදන් විය.මම තව ටිකක් පස්සට පැන්නෙමි. ආරක්ෂිත යැයි සිතෙන තරමට පිටුපසට ගිය මම වාඩිලාගෙන කල්පනා කරන්නට වුනෙමි. දැන් නම් මට ආපසු යාමට නොසිතේ. අප මෙහි එනවිට හවස හය පසුවී ගොම්මන් අදුර වැටුනා පමනි. එවිට මේ ශබ්දය ඇසුනේ නැත.මා ආපසු ගොස් කිසිවෙකු රැගෙන ආ විට ඔහු මෙය අත්වින්දේ නැතිනම්.  මේ නිසාකරන දෙයක් මා තනිවම කරගත යුතුය. එහිදී ඇතිවන අවදානම දරා ගත යුතුය.

මීට පෙර දිනක මෙහි ආවේ පිරිසක්  සමඟ ආම්පන්න මත්පැන් ආදියද ඇතිවය. එදා මේ කිසිවක් නැත. එසේනම් මෙහි පැහැදිලිවම අබිරහසකි.


අබිරහස පිටුපස කිසිවෙකු සිටිනවා විය හැක. මා තනිව සිටින බැවින් මගෙන් බාධාවක් නැතයි සිතනවා විය හැක.සමහරවිට මා සිටින බව දන්නේ නැතිනම්. නැත. කලින් දැන නොසිටියත් දැන් නම් දනී යකඩ උලක් අබිරහස අතරට මැදිවී ඇත. දැන් අබිරහස පිටුපස සිටි උන් ප්‍රතිප්‍රහාරයකට සූදානම් වනවා විය හැක. කුමක් කරන්නද ඊට මුහුණ දෙනවා මිස. මගේ අනෙකා කෙබදුදැයි නොදනිමි. ඌ මහ ජගතෙක් නම් ආපසු ගොස් බේරෙන්නටද මට පුලුවන් කමක් නැත.

ගනු කඩුව එවසටනට කියා අභියෝග කිරීම හැර වෙන විකල්පයක් නැත. මම තවම මගේ සතුරා දැක නැත. යකඩ උල නිසා ඌ දැන් මා බලාපොරොත්තුවෙන් ඉන්නවා විය හැක. අතේ කිසිම ආයුධයක් නැතිව තමන් ඉදිරියට එන අමුත්ත පිළිගැනීමට ලකලැහැස්තිවෙමින් සිටිනවා වත්ද. ඇතැම්විට නිරායුධව මල්ලව පොරයට එන මා දැක ඌට සිනහ පහළ වී ඉළ ඇට කැඩෙන්නටද බැරි නැත. සමහරවිට දනටම එසේ වීද දන්නේද නැත.

ගනු කඩුව එව සටනට  මම ඉදිරියට ගියෙමි.


මා යළිත් වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. මගේ ධෛර්යය බින්දුවටම සිදුනි. හැකිවෙර යොදා ආපස්සට පැන්නෙමි. මා පසෙකට ඇද වැටුනි. සියොලඟම දාඩියෙන් තෙත්වී ඇත. මේ මළ යකා මා සිතනවාට වඩා කෙරුම්කාරයෙකි.මගේ හිසෙන් දාඩිය වැගිරේ. තව මගේ ප්‍රතිවාදියා ඇහැට දැකලාවත් නැත.ඌ මාව දුටුවොත් දාඩිය දාගෙන හති අරින මට සරදම් කිරීමටද බැරි නැත.

මම බොහෝ වේලාවක් හිටිතැනම හිද සිටියෙමි. කලබලකාරී ගතිය අඩුවිය. සන්සුන් විය.මා කරන මේ විගඩම කුමක්දැයි මට සිතුනද දැන් නම් කොටි වලිගය අල්ලාගෙන සිටින නිසා ආපසු යාමක් නැත. හෝරාවකට ආසන්න කාලයක් සිටියත් මූමගෙන් ගේම ඉල්ලන බවක් පේන්නටද නැත. මූ මට බයේ වත්ද

යළිත් නැගී සිටියෙමි. සෙමෙන් සෙමෙන් යළි පියවර මැන්නෙමි. කලින් මෙන් ඇදී යන ගතියක් දැන් නැත.සුළුවෙන් පැවතියද එය මට මැඩගත හැක. කියන තරම් යකා කළු නැතිවා විය හැක. මොකා සිටියත් බෙල්ල මුලින්ම අල්ලා ගන්නෙමි. ඔහොම සිටුව.

මා තව තවත් ලං වුනෙමි.

Tuesday, February 17, 2015

මා තනිවම හොල්මන් මැදුරේ සිත ඔබමොබ යයි ගන අදුරේ

හුදකලාව බිහිසුණුය. හුදකලාවට ගුඪබව මුසුවූ විට එය අති බිහිසුණුය. එහෙත් බිය යනු සිතේ නිර්මාණයකි. බිය උපදින්නේ රැකගැනීමට යමක් තිබේනම්ය. මට රැකගනීමට යම් යම් දේ නැත්තේ නැත. එහෙත් අවදානම සොයා යාමේ අමුතු ගතියක් මට ඇත. මෙය මට දෙමවුපියන්ගෙන් උරුම වූවක්ද නොවේ. මටම ආවේණිකය.මේ ගතිය නිසා මට අහිමි වූ බොහෝ දේ ඇත.එහෙත් දහම්සොඩ රජු මෙන් නොදන්නා දේ සොයායාමේදී ජීවිතයද මට අලුයම කෙළ පිඩකි.

මන්දිරය විශාලය. එහි සොභාවය අතීත ගර්වය මොනවට පෙන්වයි. එදා මිතුරන් සමඟ පැමිණියාට වඩා අමුත්තක් දැනේ. මන්දිරයේ ඔබ මොබ ඇවිද්දෙමි.පන ඇති කිසිවෙක් නැතත් ගූඪ භාවය නම් අඩුවක් නැත. ඇත්තෙන්ම මෙම මන්දිරය සැදූ පුද්ගලයාද අපූරු කෙනෙකි.මන්ද කදු මුදුනක බියකරු හෙල් ඇති කිසිවෙකුට පහසුවෙන් ලංවිය නොහැකි තැනක මෙය ඉදිකළේ ඇයි.

මෙවැනි සිතුවිලි සිතට ඇතුළු වේ.තනිවම ඇවිද යමින් කාමර පිරික්සමින් ඇවිදින මා දුටු එක් අවදානමක් නම් පැරණි ඉදිකිරීම් ඔළුවට කඩා වැටෙයිද කියන බියයි.එහෙත් ඒවා වර්තමාන ඉදිකිරීම්වලට වඩා ශක්තිමත්ය. එසේම පිරිසිදු නොකළ කාමර කෘමීන්ගේ වාසභවන වී ඇත.මෙහි පර්යේශන සඳහා අවසර ලබා ගැනීම අපට පහසු වුනත් කලෙක මෙයට ඇතුළුවීමද සාමාන්‍ය මිනිසුන්ට සිහිනයක් වන්නට ඇත.

මට යමක් සොයාගත හැක යන විශ්වාසය මට තිබේ. මෙවැනි තැනක පර්යේශනයක් කිරීමට අගතිගාමී සිතිවිලිවලින් විනිර්මුක්ත වූ මනසක් අවශ්‍යය. ඇත්තෙන්ම මම හොල්මන් අවතාර නොපිළිගනිමි. 

එහෙත් විද්‍යාවට හසුනොවන යම් යම් දේ විශ්වයේ තිබිය හැකි බව මම සිතමි.


කෙමෙන් කෙමෙන් කළුවර ලඟා වෙයි. ගෘහභාන්ඩ පවා අදුරෙන් වැසී නියම හොල්මන් මන්දිරයක සිරි ගනී.සුලං හමා එයි. කැඩුන ජනේලවලින් ඇතුලටද සුලන් එයි. අදුරත් සමඟ අපූරු සිතුවම් මැවී ඇත. ඒවා මා දෙස බලා මූද මිනිහ මූද මිනිහ කියඉන් එකිනෙකා සමඟ වහසි බෙණෙන්නාක් මෙනි. නින්දද මා අසලට නො එයි. ඇත්තෙන්ම මා මෙහි ආවේ සුව විදින්නට නොවේ.පවුලේ අය නෑ හිතවතුන් මා මෙවැනි දෙයක් කරනු ඇතැයි සිහිනෙනුදු නොසිතති. දේවදූතයන් පා තබන්නට බිය තැන්වලට මෝඩයෝ කඩාවදින බවට කියමනක් ඇත. මා ඔළ මොළ වැඩකළත් ඒවා මේ තරම් දුර දිග නොයන බව ඔවුහු දනිති.

රාත්‍රියේ හෝරාවන් එකිනෙක ගත වෙයි. අමුත්තක් නැත.මෙහි කිසිවක්ම නැද්ද 
කතා හුදෙක් මෝඩ ජනයාගේ පරිකල්පනයන් පමණක්ද  .කමක් නැත. මා මෙහි තනිවම පැමින කළ හිතුවක්කාරකම ගැන සගයන් හා කියමි.ඔවුහු කෙසේ ප්‍රතිචාර දක්වයිද. සමහර විට සිනාසෙනු ඇත. මට කම් කිම්ද

අදුර ටිකෙන් ටික දැඩිවෙයි. අදුර මා පරීක්ෂා කරන්නට සිතන භූතයෙක් වැන්න.එහෙත් මන්දිරයේ තිබෙන්නේ අදුර පමනක්ම නොවන බව මට දැනුනි. අමුතු ශබ්ද ඇසෙන්නට වෙයි. එහෙත් පාසලක වැනි කලබල කාරී තැනක වුනත් රාත්‍රියට අමුතු ශබ්ද ඇසෙන බව මා අසා ඇත. එසේම හිස් ගොඩනැගිල්ලක දෝංකාරය නැද්ද. අනෙක මේ පාළු නිවසේ නැත්තේ මොකාද .කැරපොත්තාගේ සිට සරපයා දක්වා ඕනෑම එකෙක් සිටිය හැක. ඇත්තෙන්ම මා කර ඇත්තේ උන්ගේ සම්ප්‍රදායික නිජභූමි උල්ලංඝනය කිරීමකි.


මටකුඩා කාලයේ වැඩිහිටියෙකුගෙන් උපදෙසක් ලැබී ඇත. එන හොල්මන යන මන හෙල්ලීම බවයි. සැකකටයුතු දෙයක් එවේලේම සොයා බලන ලෙසයි. සද්දයක් ඇසුනොත් වහාම එම තැනට ගොස් විමසා බැලීමට මම පුරුදුව සිටියෙමි. මෙතනත් මම කරන්නේ එයයි.

ඇත්තෙන්ම මම හොල්මන් වලට වඩා බිය මිනිස් ක්‍රියාකාරකම් වලටය. මට සිහියට එන්නේම ඩීමන් ආනන්දගේ පොත්වල සිදුවීම්ය. ඈත පදුරකට මුවාවී විකී ජයසිංහට වෙඩි තැබූ ඩග්ලස් ජෑන්ස් මට සිහිවිය. එහෙත් ඩීමන් ඒ රාත්‍රියේ සිටියේ ඩග්ලස්ටද නොපෙනෙන තැනකය. විකීට වෙඩි තබා පලායන ඩග්ලස් ඩීමන්ගේ වෙඩි පහරින් ඇද වැටුනි. එහෙත් මට එවැනි සූදානමක් නැත. හරි  නම් මා සිටිය යුතුව තිබුනේ මන්දිරයෙන් පිටතය. 

මට චකිතයක්ද දැනේ. එහෙත් ඉදිරියට තැබූ පය ආපස්සට ගැනීමක් නැත.
අමුත්තක් දැනී හිස ඔසවා පිටුපස නොබලාම නැගී සිටියෙමි. කිසියම් රිද්මයකට ශබ්දයක් ඇසේ. එයනම් සතකුගේ ක්‍රියාවක් වන්නටම බැරි බව මගේ සිත කියයි. එම ශබ්දය ඇසුන දිසාවට පියවර මනින්නට වීමි.

Sunday, February 15, 2015

හොල්මන් මන්දිරයේ රැයක්

මීට ටික කාලයකට ඉහත මහත් ආන්දෝලනයක් ඇති කළ හොල්මන් මන්දිරය ඔබට මතක ඇතැයි සිතමි. කලක් මාධ්‍යවල අංක එකේ පුවත් මවන තැනක් වූ මෙහි වැදගත්කම නැතිකර දැමුවේ අප විසිනි. අපගේ පර්යේශනයෙන් පසු මේ ගැන රටේ උනන්දුව අඩු විය. කෙසේ වෙතත්  මේ ගැන විවිධ මත තිබුණි.සමහරු පැවසුවේ හොල්මන් කතා පෙරට දමා යම් නීතිවිරෝධී ක්‍රියා සිදුවන බවය. මේ සියලු සංවාද අවසන් වුනේ අපගේ පර්යේශනයෙනි.

පර්යේශන කණ්ඩායමට වෛද්‍යවරු දෙදෙනෙක් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙක් සහ මාධ්‍යවේදියෙක් ලෙස මා අයත් විය. ඇත්තෙන්ම මා හට මේ අවස්ථාව ලැබුනේ අහම්බෙනි.ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් මේ සදහා ආයතනය විසින් කළින් නම්කර තිබුනත් ඔහුට හදිසි කාර්යයක් යෙදුනෙන් මට මේ අවස්ථාව ලැබුනි.

වෛද්‍ය දිස්නකාන්ත විදානගමගේ  සහ වෛද්‍ය සීවලී ලංකාපුර අපගේ කණ්ඩායමේ සිටි ප්‍රකට වෛද්‍යවරුන් දෙදෙනාය. ඇත්තෙන්ම ඔවුන් ප්‍රකට වුනේ මේ පර්යේශන නිසාමය. ඔවුහු හේතුවාදීහු වූහ. ඇත්තෙන්ම රට මිත්‍යාන්ධකාරයෙන් ගලවා ගැනීමට ඔවුන් නිස්සරණධ්‍යාසයෙන් කරන සේවය නිසා මට ඔවුන් ගැන තිබුනේ ගෞරවයකි.

සීවලී මහතා වඩා සුහදශීලී විය. ඔහු රාත්‍රිය පුරාම කතා කළේ මිත්‍යා විශ්වාස ගැනය. අප බඩ අලාගෙන සිනාසුනෙමු. සීවලී මහතා රට පුරාම ගොස් මෙවැනි දේ ගැන පර්යේශන පවත්වා ජනයාගේ මෝහාන්ධකාරය නැති කරයි. දිස්නකාන්ත මහතා ද කුෂාග්‍ර බුද්ධිමතෙකි.ඇත්තටම මොවුන් නැත්නම් කට්ටඩියන් රට යකුන් නැටූ පිටියක් කරනු ඇත. 

සීවලී මහතා තුල මා දුටු අනෙක් ලක්ෂනය නම් ඔහුට යමක් පැහැදිලිකර දීමේ දක්ෂතාවයි.ඇත්තෙන්ම ඔහු හොඳ ගුරුවරයෙකි. යකුන් වැහීම වැනි දේ ඔහු මායාවන් ලෙස පෙන්වා දුන්නේය. එසේම ගැමි සමාජයේ විශ්වාස ඔහු මානසික රෝගීන්ගේ ඇත්දැකීම් ලෙස පැහැදිලි කළේය.මා හටත් මිත්‍යා මත සමඟ ඇරියස් එකක් තිබුනත් මෙහිදී ගැටළුවක් විය. මා සීවලී මහතා සමඟ තර්ක කළෙමි. මේ මතවාදය තුල පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන දේවල් ගැන දැනුම බැහැර කෙරේ.මා ඔහු හා විවාද කළේ තත්වය mass hysteria පිලිබඳවයි.

එනම් කිහිප දෙනෙක් යම් පාරභෞතික දෙයක් අත්වින්දද එය සමූහ මායාරෝගයක් ලෙස බැහැර කෙරේ.එහෙත් එය මුග්ධකමක් ලෙස මට සිතේ. ඒක පුද්ගල අත්දැකීම් පවා මෙසේ අන්ධ ලෙස සැලකීම මේ ක්ශේත්‍රයේ ප්‍රයේශනවලට බාධාවකි.විශාල පිරිසක් ලබන අත්දැකීමක් නිකම්ම බැහැර කිරීම උගත් මෝඩකමකි.


හොල්මන් මන්දිරයේ අප ගත කළ රාත්‍රිය සිනා සාගරයක් විය. අප ගත්තේ ආතල් එකකි. කිසිම පර්යේශනයක් සිදුනොවීය.ගම හරහා අප එනවිට හමුවූ ගැමියන් දෙස අප බැලුවේ අවඥාවෙනි. ඔවුන්ට අප පිටසක්වලින් ආ පිරිසක් මෙන් විය. ඊට හේතුව මේ ප්‍රදේශය ඉතා දුෂ්කර එකක් වීමයි.පරිසරය මනස්කාන්තය. මෙම මන්දිරය මුලින් ඉදිකළ සුද්දා මෙම පරිසරයට වශී වීම පුදුමයක් නොවේ. එහෙත් මේ සුන්දරත්වය ශාපයක් වී ඇත. ගම ලෝකයෙන් වෙන් කර ඇත.සුද්දාගෙන් පසු අතින් අතට ගිය මෙම මන්දිරය සංචාරක කටයුත්තකට යොදා ගැනීමට ව්‍යාපාරිකයෙකුට සිතක් පහළ විය. එහෙත් එය අසාර්ථක වුනේ හොල්මන් නිසාය.


ගැමියෝ දෙගිඩියාවකින් තොරව හොල්මන් විශ්වාස කළහ. දෙකට දෙවාරෙන් මේ දෙස බලන්නට බටහිර අධ්‍යාපනයක් ලැබූ අයද හිඟ නිසා හොල්මන් කතා සරුවට වැඩුනි. පත්තරකාරයන්ටද ඉල්ලමක් විය. අපේ වියත්තුනම් සත පහකට විශ්වාස නොකළහ. උඹ කැමති දෙයක් ලියාපන් බන් කියා සීවලී මහතා මට  පැවසීය. ඇත්තෙන්ම බොහෝඉන්ටවීව් අප කරන්නේ කලින් සූදානම් කළ ප්‍රශ්න අදාල පුද්ගලයාට යැවීමය.සමහර පිළිතුරු අප විසින් ද සංස්කරණය කෙරේ.

මේ ගැන ලිපිය අපේ පර්යේශකයන්ගේ සිතැගි අනුව සකස් කළෙමි.එහෙත් අප හරියට යමක් නොකළ බව මට දැනුනි. මේ සිතිවිල්ල මට වද දෙන්නට විය.මා තනිවම පර්යේශනයක් කිරීමට ඉටා ගත්තේ එනිසාය.

කාර්යාලයේ නිවාඩු දමා අවශ්‍ය අඩුම කුඩුමද  රැගෙන හොල්මන් මන්දිරයට රාත්‍රියක් ගත කිරීමට ගියේ එනිසාය.කලින් වතාවේ මෙන් නොව ගැමියන් සමඟ සුහද වීමි. අපගේ පර්යේශනය ගැන කී විට ඔවුහු සිනාසුනහ. අපොයි මහත්තයො හත් අට දෙනෙක් එක්ක ඉන්න කොට මොන හොල්මන්ද ඔවුහු කීහ. කතාව ඇත්තකි. යා යුත්තේ තනිවමය.

ඔවුන්ගේ කතාව මම පිළිගත්තෙමි. මෙහි රැයක් ගතකිරීමට මට සිතෙන බව කී විට ඔවුහු බිය වූහ. එහෙත් කිසිදා කිසිවකින් මැඩිය නොහැකි කුතුහලයක් සහිතව මෙලොවට ජනිතවූ මා නවත්වන්නට ඔවුන්ගේ විරෝධය සමත් නොවේ. ගැමියන්ගේ බියමුසු දැස් පසුකරමින් මම හොල්මන් මන්දිරයට ගොඩ වුනෙමි.

කතාව කොටස් වශයෙන්  ලියන්නෙමි. 

Saturday, February 14, 2015

දේශපාලන පක්ෂ ක්‍රමය සුදුසුද

දේශපාලන පක්ෂ හැට හුටාමාරක් පැවතියද සක්‍රිය තත්වයේ තිබෙන්නේ කිහිපයකි.එජාප,ශ්‍රීලනිප,ජවිපෙ සිංහල සමාජයේද ටී ඇන් ඒ දෙමළ සමාජයේද මුස්ලිම් කොන්ග්‍රසය වැනි පක්ෂ මුස්ලිම් සමාජයේද ඡන්ද පදනමක් සහිත පක්ෂ ලෙස සැළකේ. එහෙත් මේ පක්ෂ තුලින් ඇත්තටම ජනමතය නියෝජනය වෙයිද

අද වනවිට එජාප ශ්‍රීලනිප පක්ෂ දෙක අතර කිසිම වෙනසක් නැති බව පෙනේ.දෙපිරිසම ධනපති පක්ෂය.පසුගිය කාලයේ සංධාන ආන්ඩුවේ කැපී පෙනෙනෙ ඇමතිකම් දැරුවේ එජාපයෙන් ආ අයයි. එ නිසා ඇත්තටම පසුගිය කාලයේ තිබුනෙත් එජාප ආන්ඩුවක් යැයි කෙනෙකු රැවටුනොත් පුදුමයක් නැත.ශ්‍රීලනිපය බිහිවුනේද බණ්ඩාරනායක මහතාට අගමැතිකම නොළැබීම සම්බන්ධ ප්‍රශ්නයකි.ඒ වනවිට වර්ධනය වී තිබුන ජාතික ව්‍යාපාරයට ඔහු උපක්‍රමශීලීව නායකත්වය දුනි.

මෙරට අසාර්ථක විප්ලව දෙකක් කළ ජවිපෙ වර්තමානයේ ජනතාවාදී පදනමක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ක්‍රියාත්මක වෙයි. වර්තමානයේ ඔවුන්ගේ නායකයන් සැබවින්ම නිර්ප්‍රභූ පුද්ගලයන් නොවේ.ඔවුන්ට අනුග්‍රහය දක්වන බලවේග අතර ප්‍රමුඛව සිටියේ චීනයය. නමුත් දැන් එම තත්වයට එජාපය පත්වී ඇති බව පෙනේ. චීන සල්ලි හෝ වෙනත් විදේශීය ප්‍රභව හරහා විදේශ විනිමය ලැබේ.ප්‍රධානම සුබ පතන්නා සහ සම්පත් දායකයා ලෙස එජාපය පත්වීමෙන් ජවිපෙ වඩා දේශීය වෙයි.

මෙම සියළුම පක්ෂවල උඩ සිට පහලට තීරන ගලා එයි.පක්ෂ මෙහෙයවන්නේ ප්‍රභූ පැළැන්තියයි.පක්ෂ පවතින්නේ ගල් ගැසුන සොබාඅවයකය.එනම් එකම  කණ්ඩායමක් සදාකාලිකව පාලනය කරයි. සංසරණයක් නැත. විජේවීර අපූරු උදාහරණයක් මගින් මෙය පෙන්වා දුන්නේය. විජේවීර යනු මෙරට ප්‍රථම නිර්ප්‍රභූ දේශපාලනඥයාය.ඔහු පෙන්වා දුන්නේ 1948 න් පසු සිදුවුනේ වලව්වෙන් වලව්වට බලය මාරු වීම බවයි. මෙය අද දක්වා සාධාරණය. ඇත්තටම ලංකාවෙ දේශපාලනය යනු  බෝතලේ වලව්වෙන් මැදමුලන වලව්වට බලය යාමය .ජනවාරි හතර වෙනිදා මැදමුලන වලව්වේ බලය විජේවර්ධන වලව්ව සහ හොරගොල්ල වලව්ව ඒකාබද්ධව කල අරගලයකින් පසු ඔවුහු ජයගත්හ.

මැදමුලන වලව්වද නිර්ප්‍රභූන් නොවුනත් ඔවුන් කොළඹ අහ්තේ ප්‍රභූ ට නොගැලපෙන බවක් පෙනේ.කොළඹ හතේ ප්‍රභූන් සිය මැදෞලනේ සහෝදරයා දෙස බැලුවේ සැකයෙනි. මේ සැකය තියුණු වුනේ නිදහස් උත්සව වැනි ඒවාට ප්‍රභූ පාසල් වලින් නොව ගංකබර පාසල් වලින් ද කණ්ඩායම් සහභාගී කරවීමෙනි.  ඒ මදිවාට ආරක්ෂක අංශ වලද උසස් තනතුරු  පීඩිත පාසල්වලින් ආ අයටද ලැබුනි. මෙය සම්ප්‍රදාය විරෝධී විය.

මෙම පක්ෂ ක්‍රමය ජනතා විරෝධී වෙයි.තීරණ ගැනීමෙහිලා ජනතාවට කිරීමට කිසිවක්ම නැත. මීට විසදුමක් අවශ්‍යය.

අපේ රටේ ජනගහනය කෝටි දෙකකි.මැතිවරණ කොට්ඨාසයක ආසන්න ජනගහනය ලක්ෂයක් පමන වේ. මන්ත්‍රීවරු  දෙසීයක් පත්වන අතර එක් අයෙක් දළ වශයෙන් පුද්ගලයන් ලක්ෂයක් නියෝජනය කරයි.එසේම මැතිවරන කොට්ඨාසයක ගම් දෙසීයක් පමන ඇත.

එක් ගමක ජනතාව එම ගමේ ජන සභාවක් පිහිටුවනවා යැයි සිතමු.එවිට මෙබදු ජනසභා දෙසීයක් එක් මැතිවරන කොට්ඨාසයක පවතී.ගමේ ජන සභාවේ සභාපතිවරයා පත් කරන්නේ ගමේ අයගේ ඡන්දයෙනි. මෙසේ ගම් දෙසීයටම ජන සභා පතිවරු දෙසීයකි. මෙම දෙසිය දෙනා ඡන්ද විද්‍යාලයක් ලෙස ක්‍රියා කරයි.පාර්ලිමේන්තුව නියෝජනය කරන  මන්ත්‍රීවරයා මෙම ඡන්ද විද්‍යාලයට වග කියයි.ඔහුගේ කටයුතු මෙම ඡන්ද විද්‍යාලය මගින් නියාමනය කෙරේ.ඔහුව ඉවත් කිරීමටද මෙම විද්‍යාලයට බලය ඇත.මෙසේ ජනතාව රහස් ඡන්දයෙන් පත් කරන තැනැත්තා යළිත් ජනතාවගේ ක්ශුද්‍ර නියෝජිතයන්ගේම පාලනයට ලක් වේ.ඔහු පරිබාහිර ප්‍රභූ පිරිසකගේ ප්‍රාණ ඇපකරුවෙකු නොවේ. මෙසේ යටින් උඩට බලය ගලා යයි.

එවැනි ක්‍රමයකින් නිර්ප්‍රභූ ජනතාවට එරෙහි ප්‍රභූ ආධිපත්‍ය බිද දැමිය හැක.

Friday, February 13, 2015

අද වැලන්ටයින් දවසෙ රූකඩ නටවන සහ රූකඩ වෙන සියල්ලන්ට සුබ පැතුම්


අද වැලන්ටයින් දිනය.

වැලන්ටයින් සාන්තුවරයා රෝමයෙ ක්ලෝ ඩියස් අධිරාජයාගෙ නියමයක් උල්ලංඝනය කරල තරුණවන් විවාහ කරවපු එකට උදහස් වුන ක්ලෝඩියස් වැලන්ටයින්ව මරල දැම්ම. එහෙම මරල දාපු දවස සමරන්න පසුකාලෙක ජනතාව පුරුදුවුනා. ඒත් රෝමයේ ආදරයේ දෙවගන වූ ජූනෝ සමරපු දවසත් මෙයමයි.මේ නිසා නත්තලට වගේම වැලන්ටයින් දව්සටත් පැහැදිලි රෝම උරුමයක්  තිබෙනව.

ලංකාවෙ අපි මේක සමරන්න පටන් ගත්තෙ අනූව දශකයෙ. වලන්ටයින් කියන වචනවත් අහල නැති ලංකාවෙ මිනිසුන්ගෙන් සිරස ඇහුව අද වැලන්ටයින් දවස නේද කියල.
අද ඔයා වැලන්ටයින් එකට මොකද කරන්නෙ කියල සිරසෙ ගෑනු ඔන්ලයින් ඇහුව
අක්කි අද වැලන්ටයින් ඩේ නෙ කියල සමහර අය මතක් කරපු අවස්ථාත් තිබුනා. ඇත්තටම මේ සන්වාදවල යෙදුනේ ජනතාව සමඟද කියා දන්න කෙනෙක් නෑ. අපි නොදන්න ලයිව් ද දන්නෙ නෑ. කොහොමත් මේකෙන් වාසි වුනේ වෙළෙන්දන්ට. ඇත්තෙන්ම ධනපති මාධ්‍ය වල වගකීම තමයි කොල්ලකාරී වෙලදපොල ක්‍රමය ප්‍රවර්ධනය කිරීම.ළමා මවුවරු බිහිකිරීම වගෙ අතුරු සේවාත් සිදුවෙනව.

නමුත් මේකට ප්‍රතිරෝධයක් ආව. බෞද්ධ ආගමික සංවිධාන එදාට ශීල ව්‍යාපාර පැවැත්තුව.කොහොම කොහොම හරි මුල් උණුසුම අඩුවුනා. සමහරු මේක දේශීයකරණය කරන්න හැදුවා.

මොකක්ද මේ දෙශීයකරනය කියන්නෙ
අපි හදාගෙන තියන රාමුවලට ආගන්තුක දෙයක් ප්‍රතික්ෂේප කරන පුරුද්ද නිසා අපේ රාමුව තුලම දැනට තියන ආදේශයක් හොයා ගැනීම.  ආගන්තුක දේ වුනත් කාලය එක්ක හුරුවුනහම ඒක දේශීය දෙයක්. එහෙනම් මේ රාමු කිසිම තේරුමක් නෑ. මේ රාමු කාලයත් එක්ක බිදවැටෙනව, තාක්ශනය එක්ක බිද වැටෙනව.  ඒ නිසා රාමුවට ආගන්තුක වීම නිසාම යමක් ප්‍රතික්ෂේප කරන එකත් තේරුමක් නෑ.


මොකක්ද මේ ආදරය කියන්නෙ .මේක උත්තරීතර දෙයක්ද  නෑ. මේකත් අපි හදාගෙන තියන රාමුවක් තුල ඒ සීමාවන් තුල අපට රැකවරණය ලබා ගනීමට යොදාගන්නා දෙයක්. ඇත්තටම කෙනෙක් තව කෙනෙකුට ආදරේද නෑ ආදරේ කරන්නෙ තමන්ට. එහෙම තමන්ට ආදරේ කරනව කියන්නෙ තමන්ගෙ මමත්වයට තිබෙන කැමැත්ත. මේ මමත්වයත් බාහිර ගොඩ නැගීමක්. මනස කියන ප්‍රපංචය ගොඩ නැගීමෙදි මම කියන කේන්ද්‍රය නිර්මාණය වෙනව. මේ කේන්ද්‍රය සෙස්සන්ගෙන් වෙන්කරගන්නව. ඊට පස්සෙ සෙස්ස මේ කෙන්ද්‍රය තුලින් විනිශ්චය වෙනව. කේන්ද්‍රය තුලින් තමයි පරිධියෙ තිබෙන දේ තීරණය වෙන්නෙ.


අපේ සිතිවිලිවල සොභාවය තමයි සමාන සිතිවිලි සොයාගෙන දාම නිර්මාණය කිරීම.මේක අපට විශ්වය තුලිනුත් දකින්න පුළුවන් පොදු මූලධර්මයක්. මෙතන සමානය කියන්නෙ බාහිර සමානකම නෙමෙයි .යම් කිසිවක් අනිවාර්යයෙන්ම එහි පරස්පරය එක්ක සහසම්බන්ධයක් ගොඩ නැගෙනව.මේ දෙක අතර රේඛාවක් ඇන්දොත් එහි මධ්‍ය ලක්ෂය තමයි සොයා යන ඉලක්කය වෙන්නෙ.මේ කතා අපේ පසු ලිපිවල සොබාදහමෙ උදාහරනවලින් කතා කෙරෙනව.මෙතනට අදාල නිසා කෙටියෙන් කීවෙ.

අපේ මමත්වයට ආශා වෙන ගුණාංගවලටයි ඇත්තටම ආදරය කරන්නෙ. මේ ගුණාංග නියෝජනය කරන පුද්ගලයන්ට ආදරය කරනව වගෙ බාහිරට පේනව. හැබැයි පස්සෙ පුද්ගලයාට ආදරය කෙරෙනව. මෙහෙම වෙන්නෙ අන්තිමට මනස රැවටෙන නිසයි. ගුණාංග හා පුද්ගලයා අතර වෙනස කල් යාමෙදි මනසට හදුනාගන්න බැරි වෙනව. 

මුලදි  ආදරේ කරන්නෙ නිල් ඇස්වලට මිස නිල් ඇස් අයිතිකාරිට නෙමෙයි. දෙවනුව ඇස් නැතත් අයිතිකාරිට ආදරේ කරනව. එහෙම වෙන්නෙ මනස  අර කිව්ව විදියට හුරුවීම නිසා.

ගුණාංග නිසා බැදීමක් එනව වගේම අපි යමකට යම් කැපකිරීමක් කළොත් ඒ දේ ගැන බැදීමක් එනව.එහෙම වෙන්නෙ මනස යමකට වෙහෙස වුනොත් එහි පරස්පරය සිදුවීම නිසා.ඒ වෙහෙසට මනස ඇබ්බැහි වෙලාඑතනදි ඒ බැඳීම අපේ කැමැත්ත බවට පත් වෙනව. ඒ කියන්නෙ අපේ මමත්වය බාහිරින් යළිත් ගොඩනැංවීමක් කරල.අපි කැමති ගුණාංගය බාහිරින් ඉර්දේශ කරල. දැන් ඒක අපේ. ඒ කියන්නෙ අපේ මමත්වය බාහිර්න් වෙනස් කරල. මමත්වය කියන්නෙ බාහිරයෙ නිර්මාණයක්.සමස්තයෙන් මම වෙන් කරගන්න නිර්මාණයවෙන සංකල්පයක්.


මේ පසුබිම තුලයි ආදරය අර්ථ කතනය කරන්නෙ. එහෙම වෙනකොට නිරපේක්ෂ දෙයක් නෑ. ආදරයත් සාපේක්ෂයි. මෙතනදි ජීව විද්‍යාත්මක ආව්ශ්‍යතාවක් නිසා සොබාදහමෙන් දුන්න පෙළඹවී නිසා ලිංගික සහකරුවන් සොයායාමට තමන් කැමති ගුණාංග හිමිකරුවන්/කාරියන්ට ආශා කිරීමටම සීමාවෙන්නෙ නැතිව ආදරය ගැන පුළුල් විග්‍රහයක් කරනව.

සාපේක්ෂ ආදරයෙ දිග පළල තීරනය වෙන්නෙ එහි කොන්දේසි මත.  ආබාධිතව උපන් ළමයි මැරෙනකන් බලා ඉන්න අම්මල මම දැකල තියනව. පියා කියන සංකල්පය ඇතිවුනේ සමාජ විපරිනාමයෙ පසු කළෙක.  ඒ නිසයි අම්මා උදාහරනයකට දැම්මෙ.ස්ත්‍රී පුරුෂ ප්‍රේමය නම් තනිකරම ගිවිසුමක් .ඒ ගිවිසුම සකස් කරන්නෙ සොබා දහම විසින්. සොබාදහමෙ අවශ්‍යතාවන් නිසා අපට දෙන අල්ලස් තිබෙනව.එයින් එකක් තමයි ඒ. මේ අල්ලස පදනම් කරගෙන අපේ මන්ස නිර්මානයක් කරනව.ඒ ලෝකයෙ ඉන්නෙ අපේ ගුණාංගය අයිති කෙනා විතරයි.අපේ මනස අපේම නිර්මාණයක් එක්ක මෝහනය වෙනව. ගුණාංගය බාහිර ලෝකයෙ නිර්මාණයක් බව අපට අමතක වෙනව.

සාපේක්ෂ ආදරයෙන් මත්වීම තුල සැබෑ සැනසිල්ලක් නෑ. මේකත් අනෙක් මත්වීම් වගෙම තමයි. ලෝකය අපෙන් වියුක්තයි. ඒ වියුක්තබව අමතක කරල සාපේක්ෂ රාමු තුල ව්‍යාජ සහසම්බන්ධයන් ඇතිකර ගැනීම විසදුමක් නොවෙයි.සියල්ල මමත්වයෙන් වියුක්ත වන අතර අවසාන විග්‍රහයෙදි මමත්වයත් එයින් වියුක්තවෙනව. නාගර්ජුන ගෙ ශුන්‍යතා සංකල්පයට සාංඛ්‍යයන්ගෙ නත්ථිවාදයට ( එය මගෙ වචනයකි ) සමානයි මම කියපුව.

වියුක්තබව සත්‍ය වුනත් අපි සංයුක්තයන් නිර්මාණය කරගන්නව. මනුස්සයො විදියට ජීවත් වෙන්න ඒක අවශ්‍ය කරනව. වෙළදපොල ක්‍රමයටත් පැවැත්ම තියෙන්නෙ ඒ තුල.එහිදී අපට කළ යුතු ක්‍රියාකාරකම් නිර්දේශ කෙරෙනව. ඒව කළ යුතු වෙනව.  හැබැයි ඇති දෙයකුත් නෑ. මෙතන වෙන්නෙ අපට කිසිසේත්ම අනවශ්ය සංයුක්තයන් මාධ්‍ය විසින් නිර්මාණය කරල අපට බලෙන් පැටවීම.රූකඩ නැටුමක් නටන එක. දාර්ශනිකව සොබාදහම එක්ක ගැලපීම් කරල බිම් මට්ටමට එනකොට මෙතන වෙන්නෙ කීප දෙනෙකුට මුදල් හම්බකරගන්න මනස සකස් කිරීමක් විතරයි. සොබාදහමෙ අල්ලස්වලට රූකඩ නටමු හැබැයි තක්කඩියන්ගෙ රූකඩ නොවී ඉමු.

Thursday, February 12, 2015

ඇමති මණ්ඩලය අඩුකිරීමට යෝජනාවක්

වර්තමාන දේශපාලන ක්‍රමයේ ඇති එක් අඩුපාඩුවක් වන්නේ වට්ටක්කා පුහුල් ඇමතිවරු පත්කිරීමය.කැබිනට් මණ්ඩලය ප්‍රසාරණය වීමෙන් විශාල වියදමක් සිදුවන බව හැමෝම දනිති.කිසිම ආණ්ඩුවක් මෙය කැමත්තෙන් කරනවා නොවේ.නොකර බැරිකමට කරන දෙයකි.


යම් පක්ෂයක් ජයගන්නා මුල් වාරයේදී මෙය ලොකු ප්‍රශ්නයක් නොවේ.කැපී පෙනුන මන්ත්‍රීවරු ඇමතිකම් ප්‍රාර්ථනා කරති.එහෙත් දෙවැනි වටයෙදී නවක විශාල පිරිසක් ඇමතිකම් බලාපොරොත්තු වෙති. දෑත් ශක්තිමත් කිරීමට විපක්ෂයෙන් මන්ත්‍රීවරු ගන්නේනම් වට්ටක්ක පුහුල් ඇමතිවරු පත් කිරීමට සිදුවේ.

අපගේ කැබිනට් ක්‍රමය බ්‍රිතාන්‍යයෙන් ලැබුන උරුමයකි.මෙය 1947 මහ මැතිවරණයෙන් පසු ප්‍රථම වරට ක්‍රියාත්මක විය.ඊට පෙර කැබිනට් ක්‍රමයක් නොවීය. තිබුනේ විධායක කාරක සභා ක්‍රමයකි. එම ක්‍රමය නුසුදුසු බවට තර්ක කලේ ප්‍රමාදය වැනි තාක්ෂණික ගැටළුය. මෙහිදී මන්ත්‍රීවරු යම් විධායක කාරක සභාවක සාමාජිකයන් වන අතර එහි සභාපති ඇමතිවරයාය.

ඇමතිවරුන් සංඛ්‍යාව අඩුකිරීමට නම් ව්‍යවස්ථාදායකයෙන් කැබිනට් මණ්ඩලය වෙන් කළ යුතුය.එවිට අප යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවෙන් නොව පිටින් ඇමතිධූරවලට පුද්ගලයන් පත්කිරීමටය. ඇමතිවරුන් පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරෙන් නොවේ.පිටිනි. එහෙත් ඔවුහු පාර්ලිමේන්තුවට වගකියති.ඔවුහු ඇමති ප්‍රභූන් වෙනුවට ඇමති නිළධාරීන් ය . ඇමති ලෙස යම් ක්ශේත්‍රයක ප්‍රකට පුද්ගලයෙක් පත් කළ හැක. ඇමතිවරු පත්කිරීම ,අස් කිරීම,විනය පාලනය සිදුකරන්නේ පාර්ලිමේන්තුව විසිනි.එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇමතිවරයෙක් වීමට අවසර නැත.

මේ ක්‍රමය හැර වෙන කිසිම ක්‍රමයකින් ඇමතිවරු සීමා කළ නොහැක.පුද්ගලයන් සතුටු කිරීමේ අවශ්‍යතාවය පක්ෂවලට ඇතිවන බැවිනි.

                                       

Tuesday, February 10, 2015

අරවින්ද් කෙජ්රිවාල් - දෙවැනියෙකුගේ අවශ්‍යතාවය

අරවින්ද් කෙජ්රිවාල්
අරවින්ද් කෙජ්රිවාල් දිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගෙන ඇත.ආසන 70 න් 67 ක්ම ජයගැනීම යනු ඇත්තෙන්ම විශිෂ්ට ජයග්‍රහණයකි.ඔහුගේ ප්‍රතිවාදියා ලෙස සිටියේ හිටපු පොලිස් කොමසාරිස් වරියක් වූ කිරාන් බ්‍රෙඩිය. ඇය රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යයි.
මෙහිදී ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂය අන්ත පරාජයක් ලබා ඇත.ඔවුන්ට එකද ආසනයක්වත් හිමි නොවීය.බී ජේ පීය ආසන තුනක් ජයගත්තද නරේන්ඩ්‍ර මෝඩි අගමැති දූරයට පත්වී  සුළු කලෙකින් පැවති මෙම මැතිවරණයෙන් ඔහුගේ ජනප්‍රියත්වය උරගා බැලීමක් සිදුවූ බව විචාරකයෝ පවසති.

ඉන්දියාවේ නිදහසින් පසු ප්‍රබලම පක්ෂය ලෙස පැවතියේ කොන්ග්‍රස් පක්ෂයයි.පසු කලෙක භාරතීය ජනතා පක්ෂය එහි අනෙකා බවට පත්වීමෙන් පසු ඉන්දියාවේ ද්විපක්ෂ ක්‍රමය ශක්තිමත් විය.බී ජේ පීය එරට ජාතික මතය නියෝජනය කරයි.බී ජේ පීයේ සාර්ථකත්වයෙන් පසු වමේ බලය තුන් වැනි හතරවැනි තැන්වලට පසුබැස ඇත.

අතල් බිජ්හාරි වජ්පායි අගමැති ධූරයට පත්වූ 1998 දී මෙන් නොව නරේන්ද්‍ර මෝඩි 2014 දී අගමැති වන විට බී ජේ පීය ගැන ඉන්දියානු උගත් සමාජය තුල විචිකිච්ඡාවක් නොවීය.මුල් කාලයේ රාශ්ට්‍රීය ස්වයන් සේවක් වැනි සංවිධාන සේම අන්තවාදී ආස්ථානවල සිටියද 2014 වන විට මුස්ලිම්වරුන්ගේ පවා සහාය ලබන මට්ටමට පරිණාමය විය.බාබරි මස්ජිද් පල්ලිය බිදදැමීම මුල් කාලයේ ඔවුන් ක්‍රියාකාරීව කටයුතු කළද අතල් බිහාරි වජ්පායි හෝ මෝඩි බලයට පත්වූ පසු මධ්‍යස්ථ ව කටයුතු කර ඇත.

හින්දුත්වා සංකල්පය මත ගොඩ නැගුන බී ජේ පී වැනි පක්ෂවලට වඩා සුළුජාතීන්ගේ සහාය ලැබුනේ කොන්ග්‍රසයටය. ඉන්දියාවේ ප්‍රථම අගමැති වූ පන්ඩිත් ජවහර්ලාල් නේරු ,ඉන්දිරා ගාන්දි,රාජ්‍යව් ගාන්දි හා දැනට ඔහුගේ වැන්දඹු බිරිද වන සෝනියා ගාන්දි හා පුත් රාහුල් ගාන්දි වශයෙන් කොන්ග්‍රසය ගාන්දි පවුලේ පුද්ගලික දේපළක් වී ඇත.

එහෙත් බී ජේපියට හෝ කොන්ග්‍රසයට ඉන්දියාව පුරාම බලයක් නැත.ප්‍රාදේශීය පක්ෂ සමඟ සභාග ආණ්ඩු පිහිටවීමේ ඉතිහාසයක් ඇත.එසේ නොවන අවස්ථාද ඇත.ඉන්දිරාගේ මරණින් පසු ඉක්බිතිවම පැවති මැතිවරණයේදී රාජ්‍යව්  ද පසුගිය මැතිවරණයේදී මෝඩිද තනිව ආණ්ඩු පිහිටවීමේ බලයක් ලබා ගත්හ.


කෙජ්‍රිවාල්ගේ යනු හිටපු ආදායම් නිළධාරියෙකි.ඔහු පසුව ආමි ආද්මි පක්ෂය පිහුටුවා ගත්තේය.මෙය ඉන්දියාවේ උගත් මධ්‍යම පාන්තිකයන් අතර ජනප්‍රිය විය.දිල්ලිය යනු ඉන්දියාවේ ප්‍රබුද්ධම ප්‍රදේශයකි.මෙහි ආමි ආද්මි පක්ෂයට සරු තෝතැන්නක් විය.
 එහෙත්  දිල්ලිය යනු සමස්ත ඉන්දියාව නොවේ. ඉන්දියාවේ සෙසු ප්‍රදේශවල ජනයා දේශපාලනඥයන් වෙනුවෙන් දේවාල තනමින් ඔවුන් වෙනුවෙන් සිරුරට ගිනි තබා ගනිමින් නානා විප්‍රකාරවල යෙදෙති.දේශපාලනඥයන් මතු නොව ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන්ද දේවාල සාදා බාර හාරවන ඉන්දියාව අපූරු රටකි.එහි එක පැත්තක  අවිද්‍යාලෝකය පතුරවමින්  විභූති මවන සාමිවරුය .තව පැත්තක අගහරු වෙත යානා යවන , කිලෝමීටර් 5000 ක් තරම් දුරට න්‍යෂ්ඨික මිසයිල ,න්‍යෂ්ඨික සබ්මැරීන සාදන විද්‍යාලෝකයයි.

ඉන්දියානු භූමියෙන් තුනෙන් එකක් පාලනය කරන්නේයයි කියන මාවෝවාදීන් හැරුනවිට ප්‍රජාතාන්ත්‍රික ලෝකයේ තුන්වැන්නෙක් නොව දෙවැන්නෙක් වීමට ආමි ආද්මි වැනි පක්ෂයකට බැරි නැතැයි සිතෙන්නේ මතකදී  නම් චිත්‍රපටය ජනප්‍රිය වූ සැටි දකින විටය. ආගමික මිත්‍යාවන් සරදමට ලක් කරන මෙම චිත්‍රපටය ඉන්දියානු උගත් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය විය.එය සුබ ලකුණකි.ඉන්දියානු මුග්ධත්වය සංස්කෘතිකමය වශයෙන් ආරෝපනය කරනු ලැබූවක් මිසා ජානමය දෙයක් නොවේ.අලුත් පරම්පරාව වෙනසකට සූදානම්ය


අපටද දෙවැන්නෙක් අවශ්‍යය.ඒ සඳහා රික්තයක්ද ඇත.මෙම පෝස්ටුවේ වැඩි අවධානය ආමි ආද්මි පක්ෂයේ දූෂන විරෝධයට වඩා එය බී ජේපීයට හා කොන්ග්‍රසයට අභියෝගයක් වූ සැටි ගැන කතා කිරීමයි.අපේ දේශපාලනයේද මෙවැනි උත්සාහයන් තිබිණි.මෑත යුගයේ රාජාලියා පක්ෂය හා ජවිපෙ මේ ඉලක්කයට ආසන්න විය.

මේ සඳහා ඇති බාධක මොනවාද .ඇත්තෙන්ම සම්ප්‍රදායිකවම එක් පක්ෂයකට ඡන්දය දීමට පුරුදු වී සිටින අවාසනාවන්ත ජනතාව ප්‍රධාන බාධාවයි.අපේ රටේ ලේ කොළපාට ජනතාව එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙති. ලේ නිල් පාට ජනතාව ඡන්දය දෙන්නේ ශ්‍රීලනිපයටයි.තම පක්ෂය කරන කවරක් නමුත් පාක්ෂිකයාට හරිය.මේ හේතුව නිසා සර්වජන බලය විහිළුව්ක් වේ.ඇත්තෙන්ම මෙසේ පක්ෂවලට සින්න වී තිබෙන්නේ ප්ක්ෂයකින් සිදුවූ පුද්ගලික උදව්වකි,නැත්නම් සතුරුකමකි.මේ අයට පක්ෂය යනු ආගම වැනි දෙමවුපියන්ගෙන් උරුමවන දෙයක් මිස තම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ප්‍රකාශකිරීමේ මෙවලමක් නොවේ.මේ නිසා කෙනෙක් සම්ප්‍රදායික පක්ෂයෙන් කඩන එක ඉතා අමාරුය.එජාපය වැනි පක්ෂයක සාමාජිකයෙකුගේ තත්වය වඩා අසාධ්‍ය විය හැක.ඊට හේතුව ඔවුන්ගේ ලකුණ කිසිදා වෙනස් නොවී තිබීමය.ඔවුන්ට ඡන්ද පත්‍රිකාවේ අලියාට කතිරය ගැසීම යම් ගූඪ පූජනීය දෙයක් විය හැක.එසේ නොකළැහොත් පවු සිදුවන නිසා කළ යුතු අභිචාර විධියක් වැන්න.අලියා ඔවුන්ට පූජා තෝටමයක් වී ඇත.

පාක්ශිකයා තුල කවර ස්වාභාවයක් තිබුනද සාපේක්ෂව එජාපය හා ජවිපෙ ප්‍රගතිශීලී නූතන දේශපාලන පක්ෂ වේ.ජවිපෙ,ෆොන්සේකාගේ පක්ෂය,පෙරටුගාමී පක්ෂය,ජාතික නිදහස් පෙරමුණ,හෙළ උරුමය වැනි පක්ෂවලට ඡන්දය දෙන ජනතාවද ප්‍රගතිශීලී බුද්ධිමත් පිරිසක් ලෙස සැලකිය හැක.මන්ද ඔවුන් උරුමයට නොව විචාරයට මුල්තැන දී වෙනස් වන පුරවැසියන් බැවිනි.

ආමි ආද්මි වැනි පක්ෂයක් අපට අවශ්‍යය.උගත් මධ්‍යම පාන්තිකයන් නියෝජනය කරන එවැනි පක්ෂය අඩුව දැනේ.වෘත්තිකයන්,සිවිල් ක්‍රියාකාරීන්,ආගමික නායකයන් දූෂන විරෝධී පදනමක සිට සංවිධානය වී එවැනි බලවේගයක් ගොඩ නැංවීමට කාලය එළඹ තිබේ.