Thursday, January 15, 2015

ජනාධිපතිවරණයෙන් පසු

ජනාධිපතිවරණය අවසන් වී දින කිහිපයකි.මීට මාස කිහිපයකට පෙර සිදුවෙතැයි සිහිනෙන්වත් නොසිතූ දේ සිදුවී ඇත.සර්වබලධාරී යැයි සිතූ මහා වෘක්ෂ පුංචි වී කුඩා ගස් අතර නොපෙනී ගොස් ඇත.

මහින්ද රාජපක්ෂ පරාජය වී දැන් සතියකට ආසන්නය.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වීමේ යහපත් අයහපත් පැති ඇත.ප්‍රධානම දෙය නම් ජ්‍යොතිෂ මිත්‍යාව යම් සෙලවීමකට ලක් වීමයි.යුද්ධය ජයගත් අලුතම රටේ ප්‍රමුඛම ජ්‍යොතිර්වේදීන් සිවු දෙනෙක් කළ මාධ්‍ය සාකච්ඡාවක් මට මතකය.මට නම් එය හිනායන විහිලුවකි.එහෙත් එම පුද්ගලයන් ගොඩ නගා ගෙන ඇති කීර්තිය  දෙස බලන විට ඔවුන්ගේ බස් මුසාබස් වුනත් ඒවා සෙල්ලම් නැත.

රාජපක්ෂ ආන්ඩුව අවුරුදු 160 ක් තිබෙන බව ඔවුහු කීහ.එසේම මේ ආණ්ඩුවේ ඇමතිවරු සමහරක්  දුටුගැමුණු රජුගේ යෝධයන්ලු.යෝධයන් දෙදෙනෙක් රජුට එරෙහිව ඡන්දය ඉල්ලා ඇත.එජාපය පිහිටවූ නැකත අනුව එජාපයට ආයුෂ අවුරුදු 60 කි.දැන් එය ගෙවී ගොස්ය.ජවිපෙටද මෙයින් එහා ගමනක් නැත.නමුත් ජාතික නිදහස් පෙරමුන බලවත්ව එයි.හම්බන්තොට ලංකාවේ අගනුවර වෙයි.ප්‍රභාකරන් මරා දමා ඇත්තේ හමුදාව නොව පිල්ලියකිනි.බලන්න මේ අය මේ කතා ගොතන්නේ මොන තරම් විසුළු ලෙසද කියා.

මේ එක් උදාහරණයක් පමණි.මුළු  සමාජය පුරාම විවිධ මාදිලිවල මිත්‍යා මත අරක්ගෙන තිබිනි..2005- 2015 අධිසොභාවික බලවේගවල යුගයක් ලෙස සැළකීම උචිතය.මීට පෙර රටම කෙහෙල්කැනක් බිං කරන්නට මෙන් දුම් ගැස්සෙව්වේ ප්‍රේමදාස යුගයේය.කට්ටඩින්ගේ සාම්බ්‍රානි  කට්ටකුමංජල්  සුවද පොදු ජන මොළ කුහර අමන්දානන්දයකට පත් කළේය.

එසේම පූජක පක්ෂයද සීමාව ඉක්මවා විකාර රූපී රංගනයන්හි යෙදුනි.පූජක පක්ෂය  සීමාව ඉක්මවා ක්‍රියාකරන බව පෙනේ.පැය විසිහතරෙම ආගමික කන්කරච්චලයක් අවශ්‍ය නැත.රාජ්‍ය ආගමෙන් විය විය යුතුය.එසේ වීම නූතන රාජ්‍යයක පදනමයි.ආගම නොව මානව හිමිකම් හා සමානාත්මතාව රාජ්‍යයේ පදනම විය යුතුය.අපට අවශ්‍ය මැදපෙරදිග රටක් වගේ වීම නොව දියුණු ශිෂ්ට රටක් වගේ වීමයි.

මහා කටවුට් ,මහා සංදර්ශන,උත්සවශ්‍රීයෙන් යුත් ගාම්භීර පෙලපාලි  නැත.එසේම විදුලි පුටු කතා,විජාතික කුමන්ත්‍රණ කතා කන්දොස්කිරියාවක් වී තිබුනි. දැන් වැහැලා පෑව්වා මෙනි.සී  නිව්ස් පමනක් නොවෙ ඊ නිව්ස් ද බැලිය හැක.ඒ නිදහසට මම කැමතිය.


එහෙත් ඡන්දයෙන් පසු දැකිය හැකිවූ අපූරුම දේ නම් රටම මහ පාළුවකින් යාමය.මහින්ද ගැන හැමෝම අනුකම්පාවකින් කතා කළෝය.හංසයාට ඡන්දය දුන් අය තුල තිබුනේ වරදකාරී හැඟීමකි.


කෙසේ වෙතත්තරුණ ඡන්ද 90% කටත් වඩා හංසයාට ලැබුණි.මෙය පෙරට වඩා සමාජ නිදහසක් සමාජයට අවශ්‍යය යන්න කියා පෑ පණිවිඩයක් ලෙසද දැක්විය හැක.මෙම ප්‍රතිපලය දෙස බලන විට සාප්‍රදායික කොන්සවැටිව් අදහස් ප්‍රතික්ෂේප වී ඇත.තරුණන්, කාන්තාවන්,සුළුජාතීන්,නිරාගමිකයන්,සමරිසියන් වැනි ජනකොටස්වල හඩ තවදුරටත් නොතකා සිටිය හැකි නොවන බව පෙනේ.

ඉදිරියට ඇත්තේ වන්දිබට්ට ගී ගයන යුගය නොව තොරතුරු තාක්ෂනයේ යුගයයි.රාජ්‍ය නායක යන තනතුර රනිල්ට පිරිනැමෙන දිනය වැඩි ඈතක නොවේ.එය රැකියාවක් පමණි.රජකමක් නොවේ.ශීලාචාර ශ්‍රී ලංකාවේ පළමු නායකයා ලෙස රනිල් ඉතිහාස ගත වනු ඇත.කොමිසම් පත් කළ පසු දේශපාලනඥයන් වන්දනා කළ යුගය අවසන් වනු ඇත.ශ්‍රී ලංකාව නූතන රාජ්‍යයක් වන අතර මහින්ද මහතා පැරණි ශ්‍රී ලංකාවේ අවසන් රජු ලෙසද ඉතිහාසගත වනු ඇත.යුද්ධය අවසන්කිරීමේ ගෞරවය ඔහුට හිමිවිය යුතුය.ඔහුව විනාශ කළේ වටේ සිටින අයයි.නව පාලකයන් රාජත්වයට ඇන්දවීම නොකළ යුතු අතර තමන්ව ඇන්දවීමේ අවදානම ගැන ඔවුන්ද අවදියෙන් සිටිය යුතුය.

මහින්දගේ අනාගතය කෙසේ තීන්දු වේද ,ඔහු තවදුරටත් ශ්‍රීලනිප නායකත්වය දැරිය හැකිද යන ප්‍රශ්න මතුවී ඇත.මහින්ද ගෙනා සංශෝධනයක් ඔහුටම පාරාවලල්ලක් වී ඇති බවත් දැන් නීත්‍යානුකූල ශ්‍රීලනිප නායකයා ජනපති මෛත්‍රීපාල  බවත් කියවේ.මහින්ද වෙනම පක්ෂයකින් ආවොත් ඔහුට මේ ඡන්ද ලැබෙන්නේද නැත.



මේ ඡන්දයෙන් චන්ද්‍රිකා හා චම්පිකගේ බලය ගැනද හොඳ තක්සේරුවක් ලැබුනි.ශ්‍රීලනිප හැඟීම ඇති සාම්ප්‍රදායික ආසන වූ අත්තනගල්ල,ගම්පහ,දොම්පෙ හා බියගමද හෙළ උරුමයේ බලකදවුරු වූ මහරගම,කැස්බෑව,හෝමාගම යන ආසන මහින්ද දිනුවේය.

මහින්ද දැන් කළ යුතු හොඳම දේ දේශපාලනයෙන් සමුගැනීමය.එසේ නැතිව කරන හැම දේකින්ම ඔහු සවුත්තු වී ඔහුගේ ප්‍රතිරූපයට හානි සිදුවේ.ඊලඟ මහ මහමැතිවරණයේදී ශ්‍රීලනිපය දරුණු ලෙස ඛාදනය වේ.විදුලි පුටු ඡන්ද, ආදිය මෙන්ම අයි ටී එන්,ජාතික  වලින් මනස සකස් කළ ඡන්දද ඉදිරියේදී නැත.රාජ්‍ය බලය නැතිව ශ්‍රීලනිපයට ඡන්දය කිරීම ටිකක් නුහුරු වනු ඇත.පාවෙන ඡන්දද යන කෝච්චියට නගින්නට හදනු ඇත.සේරටමත් වඩා හොරකම් එලිවන විට තියන ඡන්ද ටිකටත් කෙළවෙනු ඇත.දින සීය යටතේ සහන දුන්නොත් ආණ්ඩුව ජනප්‍රිය වනු ඇත.මේ සහන දුන්නේ කලින් ආන්ඩුවේ හොරකම් නැවතුන නිසා කියා ඒත්තු ගැන්වූවොත් ශ්‍රීලනිපයට අඹ සරණාය.

නමුත් ජ්‍යොතිර්වේදීන් අසවල් ග්‍රහ පිහිටීම නිසා ඔබතුමාට වාසිය,ඔබතුමාගේ පක්ෂියා රජවී ඇත.ආදී වශයෙන් අන්දවා තංගල්ල ප්‍රාදේශීය සභාවටද තරඟ කිරීමට පොළඹවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලනය හමාර කරවීමට ක්‍රියා නොකළොත් ඒත් පුදුමයක් නැත.මාස තුනකින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය වැඩිවනවා මිස අඩු නොවේ.කලින් අවුරුදු දෙකෙන් යූඇන්පිය පාඩම්ද ඉගෙන ගෙන ඇත.

මුලින් ජනතාව රැවටීමට බොරු කියා අන්තිමට තමන්ද ඒ බොරුවෙන් මුලාවීම පිළිබද කතාවකි මෙසේ හමාර වුනේ.


දැන් එළඹ ඇත්තේ අනාගතයයි.රට නූතන ලෝකයට පියමැනීමට සූදානම් බව පෙන්වා ඇත.ඇත්තෙන්ම මෙම සූදානම පෙන්වූවේ 2001 දීය.එහෙත් කොටි ප්‍රශ්නයට මූලිකත්වය දිය යුතුව තිබුනි.,දැන් ඒ බාධා නැත.
වෙනසක් අවශ්‍යය.එම වෙනස මුළු සමාජ දේහයම සිසාරා යන්නක් විය යුතුය.

යහපාලනයේ දොරටු විවර වී තිබේ.එළැඹ ඇත්තේ නව ලොවට පියවර මැනීමට සුදුසු හෝරාවයි.එයට නැකැත් නොබලාම පියවර ඔසවමු.




පසුව ලියමි

යුද්ධයට දේශපාලන නායකත්වය දීම සම්බන්ධව මාතුල මහින්ද කෙරෙහි ඇති ගෞරවයේ අංශු මාත්‍රයකවත් වෙනසක් සිදුවී නැත.එහෙත් හොරමැරකම් ,රට කෝලම් මඩුවක් වීම ( ඥානසාර,මර්වින් ),රට මිත්‍යාන්ධකාරයේ ගිල්වීම,රට වැඩවසම් අතීතයකට දක්කාගෙන යාම ගැණ නම් විවේචනයක් ඇත.

එහෙත් විපක්ෂය අතිශයෝක්තියෙන් කියන තරම් හොරකම් සිදුවූ බවක් නොකියමි.මහින්ද කිසිම හොඳක් නොකළ බවත් ඔහු කරන තරමක් කළේ නරකම බවත් කියන අධම විවේචනයන් සමඟද එකඟ නැත.කණගාටුව වෙන කිසිවෙකු නොකළ තරම් වූ අවදානම් සහගත වූ උදාර වූ ඔහුගේ  යහපත් ක්‍රියා වැසෙන තරමට ඔහුට පාලනය කළ නොහැකි වූ  අවට සිටියවුන්ගේ නරක දළුලා වැඩීමය. 


මහින්දට සුබ සංධ්‍යාවක් වේවා.

දේශපාලනඥයන් ජාතිවාදය අවුස්සන්නේ ඔවුන් ඇත්තටම ජාතිවාදීන් වන නිසා නොවෙයි.ජාතිවාදය යනු වැඩවසම් අතීතයට යාමට ඇති කෙටිම පාර වන බැවිනි. - මම

20 comments:

  1. සියල්ල සුභවාදීව දැකීම තමා හොඳම දේ. මොකද, ඔය කවුරු කළත් අපි අපිට යන කළක් බලාගන්න ඕනි. ඉදිරියට දේශපාලකයන්ට ලේසි වෙන්නෙ නෑ කොහොමත්. ඔබේ මේ ඇඩැප්ට් වීම ගැනත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. වෙනස ගැන මට සතුටුයි.සංධාන ආන්ඩුව හිතපු විදියෙ මෝඩයො නොවෙයි රටේ හිටියෙ.විදිලි පුටු කතා කවුරුවත් විශ්වාස කෙරුවෙ නෑ.ඒත් උතුරෙ ප්‍රශ්නෙ කළමනාකරනය කරගන්න විදිය ගැන නම් ජනතාවට මහින්ද ගැන තිබුනෙ පැහැදීමක්.ඒත් සංධානෙ ලොක්කො හිතුවෙ උන්ගෙ බයිල වලට රැවටිල ඡන්දෙ දෙනව කියල.ජනාධිපතිවරණයක් තියන්න ඉතාම අවදානම් සහගත තීන්දුවක් ගත්තෙත් ඒ නිසා.

      ඇත්තටම මහින්ද යුද්දෙට දේශපාලන නායකත්වය දුන්නෙ නැත්නම් මහින්ද පැරදුන වෙලාවෙ හුඟක්ම සතුටුවෙන කෙනෙක් මම.රට කෝළම් මඩුවක් වෙලයි තිබුනෙ.ආර්ථිකය මෙහෙයවූවෙ දැලිපිහිය ගත්ත වදුරෙක් වගෙ.

      මේ රටේ දැක්මක් සහිත දේශපාලනඥයෙකුට කියල ඉන්නෙ රනිල් වික්‍රමසිංහ විතරයි.එදා එජාප රජයෙ ලාබාලම ඇමතිවරයෙක් විදියට ඔහු කරපු දේවල් දිහා බලන කොට හිතෙනව ඔහු යුගයට ඉදිරියෙන් සිටි නායකයෙක් කියල.යොවුන් පුරය එක උදාහරණයක්.මේක සිංගපූරුවෙ ලී ක්වාන් යූ කරපු එකක්.හැබැයි ලී ක්වාන් යූ වඩාත් විද්‍යාත්මකව කළා.ආකල්ප වර්ධනය පමනක් නොවේ බුද්ධිමත් තරුණ තරුණියන් හදුන්වාදීමටත් ඔහු ක්‍රියා කළා.ලංකාවෙ යොවුන් පුරය තිබුනෙ එකපාරයි.බෞද්ධ මුල්ලාවරුන්ගෙ විරෝධය නිසා කරන්න බැරි වුනා.තොරතුරු තාක්ෂණය හදුන්වා දෙන්නත් මුල් වුනේ රනිල්.

      1999 දි ජනතාව සමඟ මගේ සම්මුතියෙත් ඔහු තමන්ගෙ නූතනවාදී අදහස් පෙන්වා දී තිබෙනව.
      2015 ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂයක්.කපටි රැවටිලිකාර වැඩවසම් දේශපාලනය වෙනුවට ශිෂ්ට නූතනවාදී නැඹුරුවක් දැන් අප හමුවේ තිබෙනව.


      දැන් හැබැයි කාටවත් වැරදි කරන්න බෑ.සයිබර් අවකාශය තමයි සියල්ල තීරණය කරන්නෙ.2020 මැතිවරණ වෙනකොට පරිඝනක සාක්ශරතාව 75 % වත් වෙයි.හැම දෙයක්ම හොඳ අතට වෙනස් වෙයි.දේශපාලනඥයන් අන්තර්ජාලය හරහා නියාමනය වෙයි.පුද්ගල වන්දනාව වෙනුවට යාන්ත්‍රණය ශක්තිමත් වෙයි .දැන් ගැලවුම්කාර අරුම පුදුම මිනිසුන්ගෙ යුගය ඉවරයි .දැන් තියෙන්නෙ සමානයන් අතර ප්‍රමුඛයන්ගෙ යුගය.පවුල්වාදය ඇතුළු හැම අගතියක්ම පසුගිය ආන්ඩුවත් එක්කම වැළලිලා යයි.

      Delete
  2. ///මේ ඡන්දයෙන් චන්ද්‍රිකා හා චම්පිකගේ බලය ගැනද හොඳ තක්සේරුවක් ලැබුනි.ශ්‍රීලනිප හැඟීම ඇති සාම්ප්‍රදායික ආසන වූ අත්තනගල්ල,ගම්පහ,දොම්පෙ හා බියගමද හෙළ උරුමයේ බලකදවුරු වූ මහරගම,කැස්බෑව,හෝමාගම යන ආසන මහින්ද දිනුවේය.////මහරගම කඩුවෙල හෝමාගම යන ආසන මුලු ලංකාවෙන්ම වැඩිම චන්ද ප්‍රතිශතයක් හිමි ආසන වේ. මේවයේ 1% යනු ඡන්ද 10,000 ඉක්මවා යයි. හෙල උරුමයේ බලපෑම වැඩිම මේ ආසන වලය. මීට ඉහතදී මේ ආසන පොදු පෙරමුන ජයග්‍රනහ්නය කරන්නේ ඡන්ද 40,000 ට වැඩි සංඛ්‍යාවලනි. මේදා ජනපතිවරණයේදී පොදු පෙරමුන මේ ආසන ජයග්‍රහණය කරන්නේ 10,000 අඩු සංඛ්‍යා වලිනි.

    ReplyDelete
    Replies
    1. හෙළ උරුමය නැතත් රැල්ලක් පවතින විට වැඩි ඡන්ද ඔබ ඔය කියන මට්ටමට එයි.1977 මැතිවරණයෙන් ෆීලික්ස් ගේ දොම්පෙද පරාජය විය.සතුරු රැල්ලක් තිබෙනා විට යම් පක්ෂයක සාමප්‍රදායික ආසනයක් එම සාම්ප්‍රදායික පක්ෂය ජයගන්නේ යන්තමිනි.
      2001 මහ මැතිවරණයෙන් කැස්බෑව වැනි ආසන එජාපය ජය ගත්තේය.හෙළ උරුමයට නොව සක්‍රිය සිංහල බෞද්ධ ඡන්ද තිබෙන ආසන ලෙස මම ඒවා හදුනා ගන්නෙමි.2004 දී ප්‍රකටභික්ෂූන්ගේ දායකත්වය නිසා මෙම ආසන හෙළ උරුමය ජයගත් බව සැබෑවකි.එහෙත් මෙම ප්‍රදේශ මහජන එක්සත් පෙරමුණේද බල කදවුරු වේ.

      Delete
  3. //මහින්ද ගැන හැමෝම අනුකම්පාවකින් කතා කළෝය.හංසයාට ඡන්දය දුන් අය තුලද තිබුනේ වරදකාරී හැඟීමකි.//
    මම ජන්දේ දුන්නෙත් හංසයාට,හැබැයි ම.ම කියන විදියේ හැගීමක් මා තුල නම් නැහැ.කොහොම වෙතත් ම.ම මහින්දට යෝජනා කරන විදියට දේශපාලනයෙන් සමුගැනීම තමයි වඩා සුදුසු වන්නේ.ඒ වගේම ඔහුගේ රජය පැවති කාලයේ ඔහු වෙතින් සිදු වී තිබෙන දුෂණ,අක්‍රමිතා ගැන සොයා බලා නිතිය බලත්මක කිරීමත් කලයුතුමයි.

    ReplyDelete
    Replies
    1. ඔහු දේශපාලනයෙන් සමුගැනීමයි දැනට ඔහුට කරන්නට තිබෙන වඩාත්ම බුද්ධිමත් දෙය.

      හොරකම් හෙළිවනවිට (අතිශයෝක්තියද ඇතිව ) ,කිසිම මාද්‍යක පිළිසරණක් නැතිව ඔහුට චන්දයට එනවනම් එන්න වෙන්නෙ.විදිලි පුටුකතා,විජාතික කුමන්ත්‍රනත් දැන් මාකට් කරන්න බැහැ.ආයෙ ආවොත් ඡන්ද ලක්ෂ 57 ලක්ෂෙට දෙකට බැහැල කුජීත වෙන්නයි වෙන්නෙ.

      ඔහු යළිත් බලවේගයක් වෙයි කියල හිතන්න බැහැ.රාජපක්ෂ පවුලෙ අයට හම්බන්තොටවත් රැක ගන්න පුළුවන් වුනොත් ලොකු පුදුමයක්

      ඒ කාලයේ සිදුවූ දූෂණ,වංචා අක්‍රමිකතා හෙලිකළ යුතුයි.එසේම අයථා ක්‍රමවලින් රැස් කළ සියල්ල යළි අයකර ගත යුතුයි.නමුත් එම ක්‍රමවේදය සාධාරණ විය යුතුයි.රාජපක්ෂ පවුලෙ නොවන අයත් ඊට යටත් විය යුතුයි.රාජපක්ෂ පවුල් විරෝධය යටින් ඔහු නියෝජනය කළ ජාතිකවාදී දේශපාලනය තිබෙන බව පේනව.ඒක එහෙමනම් විමල් වීරවංශ හෙට රාජපක්ෂට විරුද්ධ වුනොත් ඔහුත් යහපාලන වීරයෙක් වේවි.

      බැසිල්ට ගෝටට විරුද්ධව පැමිනිලි කරලලු.කවුද මේ පැමිනිලි කරල තියෙන්නෙ

      සියලුම දේවල් රාජපක්ෂ ගිණුමට බැරකරල අනෙක් ඔක්කොම හොඳ මිනිස්සු වෙන්නයි යන්නෙ.ඒක එහෙමනම් මෙතන යන්නෙ වෙන කතන්දරයක්
      http://boondionline.blogspot.com/2015/01/blog-post_76.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FAWEv+%28%3F%3F%3F%3F%3F%3F+-+%3F%3F%3F%3F%3F%3F%3F+%3F%3F%3F+%3F%3F%3F%3F%3F%3F%3F%3F%29


      http://politicalnewslk.blogspot.com/2015/01/blog-post_14.html

      Delete
  4. //රාජ්‍ය නායක යන තනතුර රනිල්ට පිරිනැමෙන දිනය වැඩි ඈතක නොවේ.// පව් අසරණයා :-D

    ReplyDelete
    Replies
    1. රනිල් රට කරන හැටිනම් මට මැවී පේනව.ජෙප්පන්ට දේශීයත්වය ගැන කෑගහන උන්ට සහ තව තව අයට ඉස්සරහට වැඩ තියෙයි.

      Delete
  5. කොහොම උනත් මේ ඡන්දෙන් මහජනයා බලවත් කියන එක ඔප්පු උනා.. ඒ තීන්දුව හරිද වැරදිද කියන්න මම හිතන්නේ අපි තාම ඉක්මන් වැඩියි.. දවස් 100න් කෙරෙන වැඩ එක්ක තමයි කාගෙ කාගෙත් අනාගතේ තීරණය වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මහජනයා බලවත් කියන එක නම් අපූරුවට පෙනුනා.හැබැයි මහජනයාගේ අභිලාශයන් කොයිතරම් දුරට ඉටුවෙයිද කියා කියන්න බැහැ.

      Delete
  6. //රට නූතන ලෝකයට පියමැනීමට සූදානම් බව පෙන්වා ඇත.ඇත්තෙන්ම මෙම සූදානම පෙන්වූවේ 2001 දීය.එහෙත් කොටි ප්‍රශ්නයට මූලිකත්වය දිය යුතුව තිබුනි.,දැන් ඒ බාධා නැත.
    මෙතන ගැටලුවක් තියෙනවා මේකෙන් කියවෙන්නේ කොටි ප්‍රශ්ණයට නූතන ලෝකය තුල විසඳුම් නෑ කියන එකද? ඒක නූතනත්වයේ දුබලතාවයක් ලෙස සැලකිය හැකිද?

    මෙතන තව දෙයක් තමයි නූතන කියා නිෂ්චිත අච්චුවක් නෑ අපි අපට ගැලපෙන නූතනත්වයක් ගොඩනගා ගත යුතුයි.
    නූතනත්වය තුලත් ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා එකක් ඇමරිකන් ක්‍රමය අනික ස්කැන්ඩිනේවියන් ක්‍රමය මමනම් වඩා කැමති ඇමරිකන් පාරට

    ReplyDelete
    Replies
    1. රට දෙකඩ වීමේ අනතුර දැන් නැහැනෙ.රාජ්‍යයට එරෙහිව සන්නද්ධව සිටින කිසිම බලවේගයක් දැන් නැහැ.දැන් සියළුම කතා බැලට් එකෙන්නෙ.ඒ නිසා පරාජිතයාත් ජයග්‍රාහකයාත් දෙන්නම පනපිටින්.
      නූතනත්වය යන්නෙන් මා අදහස් කළේ සාමාන්‍යයෙන් අදහස් කෙරෙන එක.ඒ කියන්නෙ ඇමරිකාවට හොද දේ කාටත් හොඳයි කියන එක.
      නමුත් ඔබ කියන්නාවගේ අපේ සිස්ටම් එක ස්කැන්ඩිනේවියන් පැත්තට යයි කියල මට හිතෙනව.ඒකයි වාමාංශිකයන්ට,සුචරිතවාදීන්ට,ආචාරධර්මවාදීන්ට,කන්සවැටිව් දේශප්‍රේමීන්ට ඉස්සරහට වැඩ වැඩි වෙයි කිව්වෙ.
      බුදුදහම ඕල්කට් ක්‍රමයට යයි.ඒකෙත් හොඳ නරක දෙකම තියනව.

      Delete
    2. අපි මෙහෙම හිතමු, යම් පුද්ගලයෙක් කුලියට දීම සඳහා නිවසක් තනනවා
      එම නිවස නවීන ගෘහ නිර්මාණ ක්‍රම යොදාගෙන ඉතා සුඛෝපභෝගී විදියට හදනවා
      නමුත් එහි වැසිකිලියක් නෑ
      ඒ ගැන කවුරු හරි ඇහුවොත් කියනවා අසල්වැසි මිතුරන්ගේ ගෙවල්වල වැසිකිලි පාවිච්චි කරන්න කියලා
      එහෙම ගෙයක කුලියට නතර වෙන්න කවුරුවත් කැමති නැහැ
      රනිල්ගේ නූතන ලංකාවත් ඒ වගේ එකක් එහි මොනවා තිබුනත් ආරක්ෂක යාන්ත්‍රණයක් නෑ

      Delete
  7. මහින්දලා දුෂණ සැහෙන ගොඩක් කලා කියල තමා දන්නේ. මම පෞද්ගලිකව දන්නා එක්තරාMR ගේ ලඟ නෑදෑයෙක් එක්තරා තැනකදී ඒක කෙලින්ම කිව්වා එයාට හම්බවුන ගානත් එක්ක. (අති විශාල ප්‍රමාණයක්) ඔයාල අපි හිතන ගණන් නොවේ හොඳද? මගේ ප්‍රශ්නේ එයා ඒක බය නැතුව කිව්ව එක ගැන. පුදුම බලයෙන් උදම් වීමක් තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා බන්! නම්ගම් ඇතුඉව ලියපන් දැන් රාජපක්ෂලා බලයේ නහෙන, හැමතැනම යහපලනයෙනේ !

      Delete
    2. දූශන මහා පරිමාණයෙන් කළා. රට මාර ඇන්දිල්ලක්නෙ අන්දල තිබුනෙ.මේ තත්වය 2010 න් පසුවයි දක්නට ලැබුනෙ.කවදාවත් බලය අත් අරින පාටක් තිබුනෙ නෑ.පවුලෙ අනෙක් සාමාජිකයොත් හැසිරුනේ රජ පවුලකටත් හපන් විදියට.මේ තත්වයට ජනතාවත් වගකියන්න ඕන.
      ඉතින් එහෙම තත්වයක් තියන කොට හොරකමට නිරායාසයෙන්ම පෙළඹෙනව.හොරාකාපු හැම සතයක්ම අයකර ගන්න ඕන.
      මෙයා විතරක් නොවෙයි බලුවංශලත් හිතන් හිටියෙ මේ රටේ මිනිස්සු මරි මෝඩ අමනයො කියල.

      Delete
  8. හ්ම්ම් බොරු නෙවේ. පොඩි සදාචාරාත්මක ප්‍රශ්නයක් තිබෙනවා එලි කිරීම ගැන. තැනැත්තා හොඳ යහළුවෙක්ගේ හොඳ යහළුවෙක්. කිවේ පෞද්ගලික හමුවීමකදී. ජුදාස් හරි බ්රුටස් වෙන්න හරි මට උවමනාවක් නැහැ. ලිව්වොත් ඒක නිකන් අර යාලුවෝ ටිකටත් පිහියෙන් අන්න වගේ. එහෙම කරන්න අමාරුයි. කොහොමත් ඒක එලියට එයි වෙන පැත්තකින්. එන තත්වයක් තිබෙනවා. එතකොට මෙතන update කරන්නම්.
    අනික ඔය කොච්චර කිව්වත් යහපාලනය ගැන වැඩි විශ්වාසයක් නැහැ. පරණ ඇමතිලා අලුත් ඇමතිලා පිටිපස්සේ හිට ගන්න කොට ඒක හිතෙන්නේ නැත්ද ?

    ReplyDelete
  9. මමනම් හිතන්නේ රටේ දේශපාලනය පොදුවේ දූෂිතයි කියලා. වෙනසකට තියෙන්නේ මහින්ද මහත්තය එයාගේ පවුලේ අයට ප්‍රමුඛතාවය දීපු එක විතරයි. අනෙක දූෂිත බව හා බොරු සෝබන වැඩ වලට මුදල් නාස්තිය ඇරුනු විට මහින්ද රාජපක්ෂ මහත්තයගේ නායකත්වයේනම් වරදක් කියන්න බෑ.

    ReplyDelete
  10. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15499-2015-01-25-19-00-05

    ReplyDelete