Friday, January 23, 2015

රජ්ජුරුවෝ උඩයි උඩයි මිටි කොල්ලෝ බිමයි බිමයි

සවුදියේ අබ්දුල්ලා මහතා ( රජු ) අභාවප්‍රාප්ත වී ඇත.විධායක බලය පාවිච්චිකරන අතලොස්සක් වන රාජාණ්ඩු අතර සවුදියට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි.එහි සියළුම උසස් තනතුරු දරන්නේ රජපවුලේ අයයි.බුද්ධිමය කටයුතු යුරෝපීයයන්ද ශ්‍රමික කටයුතු ආසියානුවන්ද කරන නිසා මෙහි අවුලක්ද නැත.

රජවරු ගැන මිනිසුන් තුල ඇති ගූඩ හැඟීම විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ කෙසේද යන්න මට ඇතිවූ ගැටළුවකි.මෙම රාජ හැඟීම එක් ජනවර්ගයකට සීමා වූවක් නොවේ.දියුණු නොදියුණු හැම රටකම මිනිසුන් රජවරුන්ට දක්වන බැතිය පුදුමාකාරය.

කෙසේ හෝ කාලයත් සමඟ රජවරු පසෙකට තල්ලු විය.රජවරුන්ට එල්ලවූ ප්‍රථම ප්‍රතිරෝධය එල්ලවුනේ පැරණි රෝමයෙනි.රාජාණ්ඩුව අහෝසි කර පුරවැසියන්ගේ නියෝජිතයන් දෙදෙනෙකුට මාරුවෙන් මාරුවට බලය පැවරුණි.එහෙත් වසර පන්සීයකට පමන පසු රෝම අධිරාජයන් බිහිවිය.නව ලෝකයේ රාජාණ්ඩුවාදයට එල්ල වූ ප්‍රථම ප්‍රහාරය වූවේ පළමුවැනි චාල්ස් රජුගේ හිස ගසා දැමීමයි.ඇත්තෙන්ම චාල්ස් රජු නෙළා ගත්තේ ඔහුට පෙර සිටි පළමුවැනි ජේම්ස් රජු වගා කළ අස්වැන්නයි.ජේම්ස් රජු දේවවරම්වාදියෙකු වූ අතර ඔහු රාජ බලය දෙවියන්වහන්සේගෙන් ආවක් සේ තර්ක කලේය.ඔහුට අනුව නරක පාලකායෙක් පහළ වූ පසු ජනතාවට කළ හැකි එකම දෙය උනන්දුවෙන් යාඥා කිරීමයි.මන්ද නරක රජු දෙවියන් විසින් එවා ඇත්තේ ජනතාවගේ නොමනා ක්‍රියා වලට දඩුවමක් ලෙසය.


පළමුවැනි චාල්ස්ගෙන් පසු ඔලිවර් ක්‍රොම්වෙල් කැරළිකාර රදලයන් නියෝජනය කරමින් බලයට පත්වුනද රාජාණ්ඩුවාදීහු යළි බලය අල්ලාගෙන දෙවන චාල්ස් යටතේ පාර්ලිමේන්තුව සමඟ සම්මුතිගතවූ රාජාණ්ඩුවක් නිර්මාණය කලහ.1649 දී පළමුවෙනි චාල්ස් ගේ හිස් ගසා දමන ලදී.ඊට සියවස් එකහමාරකට පසු  පසු ප්‍රංශ ජනයා  එංගලන්තයෙන් ආභාෂය ලත් ප්‍රංශ ජනයා සිය රජුවූ 16 වන ලුවී ගේ හිස ගසා දැමූහ.එහෙත් එංගලන්තයට වෙනස්ව ප්‍රංශය රජ පවුල හා රදලයන් සෝදා හැර සමාජය පවිත්‍ර කළහ.වැඩවසම් ගූ  ගොඩවල් ඉවත් කළ ප්‍රංශ ජිරොන්ඩිස්ට් හා ජැකොබින් විලවවාදීන්ට අපගේ ආචාරය වේවා.

 ජිරොන්ඩිස්ට් හා ජැකොබින් වරුන්ගේ කාලයේ ප්‍රංශයේ රදලයෙක් වීම මරණ දඩුවමට සුදුසුකමකකි.මෙසේ සමාජය පවිත්‍ර කළද එය අවසන් වුනේ යළිත් අධිරාජයෙක් බිහිවීමෙනි.ඒ නැපෝලියන්ය.නැපෝලියන් තමා අධිරාජයා යැයි ප්‍රකාශයට පත් කළේය.එය කෝර්සිකාවේ ලිපිකරුවකුගේ පුත්‍රයකුට හිමිවූ අරුම තත්වයකි.නැපෝලියගේ වැටීමෙන් පසු ඔහුගේ රාජාණ්ඩුවද අහෝසි විය.

ප්‍රංශය හැරුන විට රාජාණ්ඩුවට දැඩි ප්‍රතිරෝධයක් එල්ලවුනේ රුසියාවෙනි.සාර් රජපවුල සමූලඝාතනය කෙරුනි.ඇනස්ටාසියා නම් කුමරියක් පමණක් පණ බේරාගෙන පලා ගියාය.රදලයන්ද සමූලඝාතනය කෙරුනි.රුසියානු සමාජය පවිත්‍ර කිරීමේ මෙම උත්සාහයේදී රජවරුන්ගේ ස්මාරකද විනාශ කළ යුතු විය.අපූරු කතාවක් මට මතක් වෙයි.

කොමියුනිස්ට් ආණ්ඩුව සාර්ගේ මාලිගයක් විනාශ කිරීම භාර කලේ යෙල්ට්සින්ටය.මෙය විනාශ කල යුතුවුනේ එසේ නොකළානම් ජනතාව මෙය ශුද්ධ ස්ථනයක් ලෙස සළකා වන්දනාමාන කරනු ඇතැයි බියෙනි.කොමියුනිස්ට් වාදයටත් ජනතාවගේ මෙම පසුගාමී දේවල් මුලිනුපුටා දැමිය නොහැකි වී ඇති බව පෙනේ.

රාජාණ්ඩුවට එරෙහිව ප්‍රතිරෝධය දක්වූ ඊලඟ විශාල ජාතිය චීනයයි.සුන් යත් සෙන් ගේ ව්‍යාපාරය අවසන් වී ඔහු තතුරින් ඉවත්වූ පසු ඊලඟට බලයට පත් යුවන් ශිකායි තමන් චීන අධිරාජයා ලෙස ප්‍රකාශයට පත් කළේය.එහෙත් ඔහුට එය ස්ථාපිත කිරීමට කාලයක් නොවීය.චීනයේ කොමියුනිස්ට් වාදයද ශක්තිමත් වෙමින් පැවතුනි.


නැගෙනහිර යුරෝපයම සෝදා හැර පවිත්‍ර කිරීමට සෝවියට් සමාජවාදී රැල්ල සමත් විය.නවලෝකය ලෙස හැදින්වෙන ඇමරිකානු මහද්වීප දෙකෙහිද රජවරු නැත.බටහිර යුරෝපයේ හා ආසියාවේ නාමික රජවරු සිටිති.එහෙත් රාජ්‍ය පාලනයට සම්බන්ධවන රජවරු සිටින්නේ මැදපෙරදිග හා අප්‍රිකානු ගෝත්‍රවලය.

ලංකාවේ රජු වෙනුවට විදේශිකයන්ට දොර හැරියේ 1815 දීය.මට මතක් වන්නේ පැරණි රෝමයයි.පැරණි රෝමයේ ගර්විත ටාක්වින්ට එරෙහිව නැගී සිටි රෝමවරු ප්‍රකාශකළේ රජෙකුට එරෙහිව යක්ෂයාට වුව පුරයේ දොරටු හැරිය යුතු බවයි.ලංකාවේ රාජාණ්ඩුව ඉංග්‍රීසීන් මැදහත්වී අහෝසි කලේ අපේ වාසනාවටය.නැත්නම් රජෙක් කියා මිනිහෙක් කේක් ගෙඩියක් සේ වඩම්මන්නට අපට සිදුවෙයි.සියළු මිනිසුන් සමානය.වැද වැටීම් අයිති අතීතයටය.

රාජාණ්ඩු නිතරම අතීතකාමය,ජාතිවාදය හා ආගම්වාදය සමඟ සම්බන්ද වෙයි.මේ රජවරුන්ගේ සම්භවය කෙබදුද

මොවුහු අතීතයේ සිටි ගෝත්‍ර නායකයන්ය.මැරවරයන්ය.මුඩුක්කුවාසීන් ඔවුන්ගේ පාතාලයන්ට දක්වන සැළකිල්ල වැන්නක් අතීත අනාරක්ෂිත ගෝත්‍රික ජනයා ඔවුන්ගේ මැර නායකයන් (රජුන් ) ට දැක්වූහ.වර්තමාන රාජත්වය එහි දිගුවකි.

රජවරු හා ආගම අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි.ක්‍රි:පූ 800 දී ප්‍රංශ රජු ශුද්ධ රෝම අධිරාජයා ලෙස ඔටුණු පැළැදවුනි.ඉන් පසු යුරෝපයේ අන්ධකාර යුගය ඇරඹුනි.ආසියානු රටවලද රජු ආගමේ ආරක්ෂකයා ලෙස භූමිකාවක් රඟපායි.ඇත්තෙන්ම රජු යනු තම වහල් ජනයාගේ ශ්‍රමය මංකොල්ල කා එහි ක්‍රෙඩිට් එක ගත් නරුමයාය.ශ්‍රේෂ්ට රජවරු ලෙස අප ඉගෙන ගන්නා අය ඉතා නරුමයෝය.පළමුවැනි පරාක්‍රමබාහු ශ්‍රේෂ්ටයෙක් ලෙස කියැවේ.එහෙත් ඔහුගෙන් පසු බලයට පත් නිශ්ශංක මල්ලගේ සේවාවන් ලෙස අප ඉගෙන ගන්නේ පරාක්‍රමබාහු විසින් බන්ධනාගාර ගත කළ විශාල සෙනගක් නිදහස් කිරීමත් බදු බර අඩුකිරීමත්ය.පරාක්‍රමබාහු තමන්ට එරෙහිවෙතැයි සකකළ සියළු දෙනා මරා දැමූ නිසා රාජත්වයට උරුමකරුවෙකු සොයාගැනීමටද අපහසු විය.මේ එක් උදාහරණයක් පමනි.


සියළු දෙනාගේ මහන්සියේ ප්‍රතිපල එක මිනිහෙකුට දෙන්නේ ඇයිද යන්න කල්ප්නාකර බැලිය යුතුය.මෙම වැඩවසම් ෆොසිලය අහෝසි වනතුරු මිනිස් වර්ගයාට තන දියුණු ජීවියෙක්යැයි කිව නොහැක.

Thursday, January 15, 2015

ජනාධිපතිවරණයෙන් පසු

ජනාධිපතිවරණය අවසන් වී දින කිහිපයකි.මීට මාස කිහිපයකට පෙර සිදුවෙතැයි සිහිනෙන්වත් නොසිතූ දේ සිදුවී ඇත.සර්වබලධාරී යැයි සිතූ මහා වෘක්ෂ පුංචි වී කුඩා ගස් අතර නොපෙනී ගොස් ඇත.

මහින්ද රාජපක්ෂ පරාජය වී දැන් සතියකට ආසන්නය.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වීමේ යහපත් අයහපත් පැති ඇත.ප්‍රධානම දෙය නම් ජ්‍යොතිෂ මිත්‍යාව යම් සෙලවීමකට ලක් වීමයි.යුද්ධය ජයගත් අලුතම රටේ ප්‍රමුඛම ජ්‍යොතිර්වේදීන් සිවු දෙනෙක් කළ මාධ්‍ය සාකච්ඡාවක් මට මතකය.මට නම් එය හිනායන විහිලුවකි.එහෙත් එම පුද්ගලයන් ගොඩ නගා ගෙන ඇති කීර්තිය  දෙස බලන විට ඔවුන්ගේ බස් මුසාබස් වුනත් ඒවා සෙල්ලම් නැත.

රාජපක්ෂ ආන්ඩුව අවුරුදු 160 ක් තිබෙන බව ඔවුහු කීහ.එසේම මේ ආණ්ඩුවේ ඇමතිවරු සමහරක්  දුටුගැමුණු රජුගේ යෝධයන්ලු.යෝධයන් දෙදෙනෙක් රජුට එරෙහිව ඡන්දය ඉල්ලා ඇත.එජාපය පිහිටවූ නැකත අනුව එජාපයට ආයුෂ අවුරුදු 60 කි.දැන් එය ගෙවී ගොස්ය.ජවිපෙටද මෙයින් එහා ගමනක් නැත.නමුත් ජාතික නිදහස් පෙරමුන බලවත්ව එයි.හම්බන්තොට ලංකාවේ අගනුවර වෙයි.ප්‍රභාකරන් මරා දමා ඇත්තේ හමුදාව නොව පිල්ලියකිනි.බලන්න මේ අය මේ කතා ගොතන්නේ මොන තරම් විසුළු ලෙසද කියා.

මේ එක් උදාහරණයක් පමණි.මුළු  සමාජය පුරාම විවිධ මාදිලිවල මිත්‍යා මත අරක්ගෙන තිබිනි..2005- 2015 අධිසොභාවික බලවේගවල යුගයක් ලෙස සැළකීම උචිතය.මීට පෙර රටම කෙහෙල්කැනක් බිං කරන්නට මෙන් දුම් ගැස්සෙව්වේ ප්‍රේමදාස යුගයේය.කට්ටඩින්ගේ සාම්බ්‍රානි  කට්ටකුමංජල්  සුවද පොදු ජන මොළ කුහර අමන්දානන්දයකට පත් කළේය.

එසේම පූජක පක්ෂයද සීමාව ඉක්මවා විකාර රූපී රංගනයන්හි යෙදුනි.පූජක පක්ෂය  සීමාව ඉක්මවා ක්‍රියාකරන බව පෙනේ.පැය විසිහතරෙම ආගමික කන්කරච්චලයක් අවශ්‍ය නැත.රාජ්‍ය ආගමෙන් විය විය යුතුය.එසේ වීම නූතන රාජ්‍යයක පදනමයි.ආගම නොව මානව හිමිකම් හා සමානාත්මතාව රාජ්‍යයේ පදනම විය යුතුය.අපට අවශ්‍ය මැදපෙරදිග රටක් වගේ වීම නොව දියුණු ශිෂ්ට රටක් වගේ වීමයි.

මහා කටවුට් ,මහා සංදර්ශන,උත්සවශ්‍රීයෙන් යුත් ගාම්භීර පෙලපාලි  නැත.එසේම විදුලි පුටු කතා,විජාතික කුමන්ත්‍රණ කතා කන්දොස්කිරියාවක් වී තිබුනි. දැන් වැහැලා පෑව්වා මෙනි.සී  නිව්ස් පමනක් නොවෙ ඊ නිව්ස් ද බැලිය හැක.ඒ නිදහසට මම කැමතිය.


එහෙත් ඡන්දයෙන් පසු දැකිය හැකිවූ අපූරුම දේ නම් රටම මහ පාළුවකින් යාමය.මහින්ද ගැන හැමෝම අනුකම්පාවකින් කතා කළෝය.හංසයාට ඡන්දය දුන් අය තුල තිබුනේ වරදකාරී හැඟීමකි.


කෙසේ වෙතත්තරුණ ඡන්ද 90% කටත් වඩා හංසයාට ලැබුණි.මෙය පෙරට වඩා සමාජ නිදහසක් සමාජයට අවශ්‍යය යන්න කියා පෑ පණිවිඩයක් ලෙසද දැක්විය හැක.මෙම ප්‍රතිපලය දෙස බලන විට සාප්‍රදායික කොන්සවැටිව් අදහස් ප්‍රතික්ෂේප වී ඇත.තරුණන්, කාන්තාවන්,සුළුජාතීන්,නිරාගමිකයන්,සමරිසියන් වැනි ජනකොටස්වල හඩ තවදුරටත් නොතකා සිටිය හැකි නොවන බව පෙනේ.

ඉදිරියට ඇත්තේ වන්දිබට්ට ගී ගයන යුගය නොව තොරතුරු තාක්ෂනයේ යුගයයි.රාජ්‍ය නායක යන තනතුර රනිල්ට පිරිනැමෙන දිනය වැඩි ඈතක නොවේ.එය රැකියාවක් පමණි.රජකමක් නොවේ.ශීලාචාර ශ්‍රී ලංකාවේ පළමු නායකයා ලෙස රනිල් ඉතිහාස ගත වනු ඇත.කොමිසම් පත් කළ පසු දේශපාලනඥයන් වන්දනා කළ යුගය අවසන් වනු ඇත.ශ්‍රී ලංකාව නූතන රාජ්‍යයක් වන අතර මහින්ද මහතා පැරණි ශ්‍රී ලංකාවේ අවසන් රජු ලෙසද ඉතිහාසගත වනු ඇත.යුද්ධය අවසන්කිරීමේ ගෞරවය ඔහුට හිමිවිය යුතුය.ඔහුව විනාශ කළේ වටේ සිටින අයයි.නව පාලකයන් රාජත්වයට ඇන්දවීම නොකළ යුතු අතර තමන්ව ඇන්දවීමේ අවදානම ගැන ඔවුන්ද අවදියෙන් සිටිය යුතුය.

මහින්දගේ අනාගතය කෙසේ තීන්දු වේද ,ඔහු තවදුරටත් ශ්‍රීලනිප නායකත්වය දැරිය හැකිද යන ප්‍රශ්න මතුවී ඇත.මහින්ද ගෙනා සංශෝධනයක් ඔහුටම පාරාවලල්ලක් වී ඇති බවත් දැන් නීත්‍යානුකූල ශ්‍රීලනිප නායකයා ජනපති මෛත්‍රීපාල  බවත් කියවේ.මහින්ද වෙනම පක්ෂයකින් ආවොත් ඔහුට මේ ඡන්ද ලැබෙන්නේද නැත.



මේ ඡන්දයෙන් චන්ද්‍රිකා හා චම්පිකගේ බලය ගැනද හොඳ තක්සේරුවක් ලැබුනි.ශ්‍රීලනිප හැඟීම ඇති සාම්ප්‍රදායික ආසන වූ අත්තනගල්ල,ගම්පහ,දොම්පෙ හා බියගමද හෙළ උරුමයේ බලකදවුරු වූ මහරගම,කැස්බෑව,හෝමාගම යන ආසන මහින්ද දිනුවේය.

මහින්ද දැන් කළ යුතු හොඳම දේ දේශපාලනයෙන් සමුගැනීමය.එසේ නැතිව කරන හැම දේකින්ම ඔහු සවුත්තු වී ඔහුගේ ප්‍රතිරූපයට හානි සිදුවේ.ඊලඟ මහ මහමැතිවරණයේදී ශ්‍රීලනිපය දරුණු ලෙස ඛාදනය වේ.විදුලි පුටු ඡන්ද, ආදිය මෙන්ම අයි ටී එන්,ජාතික  වලින් මනස සකස් කළ ඡන්දද ඉදිරියේදී නැත.රාජ්‍ය බලය නැතිව ශ්‍රීලනිපයට ඡන්දය කිරීම ටිකක් නුහුරු වනු ඇත.පාවෙන ඡන්දද යන කෝච්චියට නගින්නට හදනු ඇත.සේරටමත් වඩා හොරකම් එලිවන විට තියන ඡන්ද ටිකටත් කෙළවෙනු ඇත.දින සීය යටතේ සහන දුන්නොත් ආණ්ඩුව ජනප්‍රිය වනු ඇත.මේ සහන දුන්නේ කලින් ආන්ඩුවේ හොරකම් නැවතුන නිසා කියා ඒත්තු ගැන්වූවොත් ශ්‍රීලනිපයට අඹ සරණාය.

නමුත් ජ්‍යොතිර්වේදීන් අසවල් ග්‍රහ පිහිටීම නිසා ඔබතුමාට වාසිය,ඔබතුමාගේ පක්ෂියා රජවී ඇත.ආදී වශයෙන් අන්දවා තංගල්ල ප්‍රාදේශීය සභාවටද තරඟ කිරීමට පොළඹවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලනය හමාර කරවීමට ක්‍රියා නොකළොත් ඒත් පුදුමයක් නැත.මාස තුනකින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය වැඩිවනවා මිස අඩු නොවේ.කලින් අවුරුදු දෙකෙන් යූඇන්පිය පාඩම්ද ඉගෙන ගෙන ඇත.

මුලින් ජනතාව රැවටීමට බොරු කියා අන්තිමට තමන්ද ඒ බොරුවෙන් මුලාවීම පිළිබද කතාවකි මෙසේ හමාර වුනේ.


දැන් එළඹ ඇත්තේ අනාගතයයි.රට නූතන ලෝකයට පියමැනීමට සූදානම් බව පෙන්වා ඇත.ඇත්තෙන්ම මෙම සූදානම පෙන්වූවේ 2001 දීය.එහෙත් කොටි ප්‍රශ්නයට මූලිකත්වය දිය යුතුව තිබුනි.,දැන් ඒ බාධා නැත.
වෙනසක් අවශ්‍යය.එම වෙනස මුළු සමාජ දේහයම සිසාරා යන්නක් විය යුතුය.

යහපාලනයේ දොරටු විවර වී තිබේ.එළැඹ ඇත්තේ නව ලොවට පියවර මැනීමට සුදුසු හෝරාවයි.එයට නැකැත් නොබලාම පියවර ඔසවමු.




පසුව ලියමි

යුද්ධයට දේශපාලන නායකත්වය දීම සම්බන්ධව මාතුල මහින්ද කෙරෙහි ඇති ගෞරවයේ අංශු මාත්‍රයකවත් වෙනසක් සිදුවී නැත.එහෙත් හොරමැරකම් ,රට කෝලම් මඩුවක් වීම ( ඥානසාර,මර්වින් ),රට මිත්‍යාන්ධකාරයේ ගිල්වීම,රට වැඩවසම් අතීතයකට දක්කාගෙන යාම ගැණ නම් විවේචනයක් ඇත.

එහෙත් විපක්ෂය අතිශයෝක්තියෙන් කියන තරම් හොරකම් සිදුවූ බවක් නොකියමි.මහින්ද කිසිම හොඳක් නොකළ බවත් ඔහු කරන තරමක් කළේ නරකම බවත් කියන අධම විවේචනයන් සමඟද එකඟ නැත.කණගාටුව වෙන කිසිවෙකු නොකළ තරම් වූ අවදානම් සහගත වූ උදාර වූ ඔහුගේ  යහපත් ක්‍රියා වැසෙන තරමට ඔහුට පාලනය කළ නොහැකි වූ  අවට සිටියවුන්ගේ නරක දළුලා වැඩීමය. 


මහින්දට සුබ සංධ්‍යාවක් වේවා.

දේශපාලනඥයන් ජාතිවාදය අවුස්සන්නේ ඔවුන් ඇත්තටම ජාතිවාදීන් වන නිසා නොවෙයි.ජාතිවාදය යනු වැඩවසම් අතීතයට යාමට ඇති කෙටිම පාර වන බැවිනි. - මම

Friday, January 2, 2015

ජනවාරි දෙවැනිදා පරන මතකයන්

අද ජනවාරි දෙක.

ජනවාරි දෙක කියපුවම මට අමතක නොවන දවසක්.බහ තෝරන වියේ ඉදලම දේශපාලනෙත් එක්ක හිටපු මම ඉස් ඉස්සරවෙලාම සවිඥානකව මැතිවරණයක අත්දැකීම වින්දෙ 1989 මැතිවරණෙ.ජනාධිපතිවරනෙ ගැසට් කරපු දා ඉදන්ම මට වෙන සිහියක් තිබුනෙ නෑ.තිබුන එකම පරහ තමයි මට චන්දෙ නැතිකම.මම ඉස්සරවෙලාම චන්දෙ දුන්නෙ 1994 පාර්ලිමේන්තු මැතිවරනෙ.1989 ජනාධිපතිවරනෙන් ජයගත්ත රණසිංහ ප්‍රේමදාස මහත්තය දිවුරුම් දුන්නෙ 1989 ජනවාරි දෙවැනිද .අන්න ඒකයි මට එදා දවස මතකයෙ තිබුනෙ
.
අපේ ගෙදර අය බලාපොරොත්තුවෙන් හිටියෙ මැතිණි දිනනකම්.මට මතකයි අපේ ගෙදර ආපු කට්ටියක් කියනව කට්ටියක් කියනව "සුබසෙත කාරයට පුකෙන් යන්න වෙන්නෙ ( මගෙ කී බෝඩ් එකේ සියළුම අකුරු වැඩ කරන නිසා  අකුරු වෙනුවට තරු ලකුණු දැමීමේ අවශ්‍යතාවයක් නැත ) මැතිණි දිනනව කියල.ජේවීපී කලබල තිබූ නිසා  ඒ චන්දෙදි කවුරු දිනයිද කියල හොයන්න බැරි තරමට අවුල් විය.මේ වන විට එජාපය ජනතාවට එපාවී තිබුනත් එම චන්දයේ නියම ජයග්‍රාහකයා ප්‍රේමදාසම බව මට දැන් සිතේ.


චන්ද ප්‍රතිපල අහන්නට ටී වී අද මෙන් සියළුම නිවෙස් වල තිබුනේ නැත.ටී වී නොතිබුන අල්ලපු ගෙදරක කට්ටිය අපේ ගෙදර ඇවිත් චිත්‍රපට බලන්නට පුරුදුවී සිටියහ.කවර හේතුවක් නිසා හෝ චන්දය අහන්න මේ අය ආවේ නැත.නමුත් රෑ බෝ වන විට ඝෝෂාවක් ඇසුනි.ඒ ගෙවල්වල දොරවල්වත් ඇරපු නැති කාලයකි.භීෂනය මට මතකය.මැතිණි චන්දය පැරදීම නිසා ශෝකයට පත් ශ්‍රීලංකා කාරයන් හොඳටම බීගෙන දුක බෙදාගන්නට අපේ ගෙදර එයි.ඔවුහු ඒ ආවේද මග දිගට එජාපයට පමනක් නොව ජවිපෙටද කුනුහරපෙන් බනිමිනි.එහි ඇති භයානකකම වචනයෙන් විස්තර කළ යුතු නැත.මේ දෙදෙනා දුටු අම්මා සිරිමටවත් මුන්ට වගෙ අමාරුවක් නැතුව ඇති යි කීවාය.ඒ පැමිණි දෙදෙනාගේම පවුල් මේ වනවිට යූඇන්පී වී ඇති බව කිව යුතුය.



දේශපාලන වශයෙන් මුහුකුරා යනවිට සිරිමා යනු හිතන තරම් සුදු චරිතයක් නොවන බව මම දැන් ගතිමි.කිසිදු යුධ නීතියකට එකඟ නැති තිරශ්චීන අපරාධ සිදුවුනේ 1971 දීය.එදා චැනල් ෆෝ තිබුනානම් ඒ අයට ඕ . ටී කරන්නට සිදුවනු ඇත.එසේම එකළ ජනතාව පෝලිම්වල සිටින විට නායකයෝ සැප වින්දහ.එසේම කවුරු කීවත් එකළ ආර්ථික ප්‍රතිපත්තිය යැපුම් කෘෂිකර්මය හා අත් යන්ත්‍ර මත පදනම් වූ පසුගාමී එකකි.එහෙත් පවුලක් වශයෙන් ගතහොත් ඒ කාලය අපට ඉතා සමෘද්ධිමත් යුගයකි.ඒ එකළ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්තිය නිසා සිදුවූ වක්‍ර වාසියකි.


නැවතත් කතාවට එමු.ඔය කියන චන්දෙදි රනසිංහ ප්‍රේමදාස එජාප අපේක්ෂකත්වයට පත්වෙයි කියා කිසිවෙකු සිතා නැත.ඔහුට වලව් කාරයන්ගෙන් බොහෝ හිරිහැර සිදුවී ඇත.කවර තත්වයක් යටතේ හෝ ඔහුට නාමයෝජනා දීම එජාපයේ ප්‍රගතිශීලීත්වය පෙන්වන්නකි.එහෙත් ඔහු ජයගත් පසු වලව්කාරයෝ ඔහුට ආන්ඩුව ගෙනයාමට ඉඩ නොදුන්හ.ප්‍රේමදාස ආන්ඩුවද වත්මන් ආන්ඩුව සේම දූෂිතය.අද මෙන්ම එදාද ප්‍රධානම චෝදනාව බඩු මිල ඉහලයාමයි.මීට අමතරව තව දෙයක් ඇත.එනම් රැකියා ප්‍රතිපත්තියයි.තරුණ අසහන කොමිෂන් සභාවේ නිර්දේශ මත සුදුසුකම් මත රැකියා දීමක් ප්‍රේමදාස හදුන්වා දුන්නෙන් ගම් මට්ටමේ දූෂිත එජාප ක්‍රියාධටන් ඔහු හා අමනාප විය.ඔහු සමඟ තිබූ වෙනත් ආරාවුල් මත ගෙන ආ දෝෂාභියෝගයෙන් පසු ප්‍ර එ ජා පෙට චන්ද පදනමක් හැදුනේ එසේය.එජාප චන්ද කැඩී 1994 දී පොදු පෙරමුණැ බලයට ඒමට පවා මුල් බීජය හැදුනේ මෙම දෝශාභියෝගයෙනි.

ප්‍රේමදාසටද ජේ ආර්ට මෙන්ම යුද්ධය ජයගැනීමට නොහැකිවුනේ ඊට අවශ්‍ය ජාත්‍යාන්තර සහාය නොවූ බැවිනි.ප්‍රේමදාස  යුගයේ යහපාලනය බාරව සිටියේ සොත්ති උපාලි,මාළු නිහාල් වැනි අයයි.ගම් උදාව වැනි ජනහිතකාමී වැඩපිළිවෙළවල් තුලින් ජනාදරයට පත්ව සිටි ප්‍රේමදාස මහතා ජනාධිපතිවුන පසු සවුත්තු විය.ජනසවිය , නිළ ඇදුම් නොමිලේ දීම,පාසල් දිවා ආහාර වැනි ජනතාවාදී (සුබසාධක ) වැඩ සටහන් ක්‍රියාත්මක කෙරුණි.මේ කිසිවක් එජාපය පරාජයෙන් බේරාගැනීමට සමත් නොවීය.අපට මෙයින් ඉගෙන ගැනීමට ඇති පාඩම කුමක්ද .රජයක් යාවත්කාලීන නොවීම එම රජයේ පරාජයට හේතු වන බවයි.


මිත්‍යා මත විශ්වාස කිරීම ,රෙද්ද බැනියම ඇදීම,වෙලේ නියරෙ යාම වැනි දේ වලින් සාමාන්‍ය ජනයා ට සමීප වූ ප්‍රේමදාසට එරෙහිව නැගුන ප්‍ර එ ජා පෙ රැල්ල මෙරට ප්‍රථම යහපාලන කතිකාව කිව හැක.ප්‍ර එ ජා පෙ නායකයෝ නීතීඥ වැනි ඉහළ මධ්‍යම පන්තියට අයත් ප්‍රභූවරු වූහ.ඔවුහු ජිනීවා ප්‍රජාවට අයත් වූහ.මෙම ජිනීවා ප්‍රජාව යන වචනය දෙවන ලෝක යුද්ධයට පෙර ඊනියා සභ්‍ය රටවල් හැදින්වීමට යෙදුනකි.සුබසාධන ප්‍රේමදාසට එරෙහිව යහපාලන රැල්ලක් එදා ඇතිවීම සිත් ගන්නා සුළුය.අද නම් උගත් මධ්‍යම අන්තියේ ප්‍රසාරණැය,මාධ්‍ය ප්‍රසාරණැය,සමාජ ජාල ආදිය නිසා  මෙහි අමුත්තක් ණැතත් වැඩවසම් ශ්‍රීලනිපයට සමගාමීව තවත් එජාප විරෝධී බලවේගයක් ලෙස යහපාලන කතිකාවක් ඇතිවීම පුදුම විශේෂ කරුණැකි.එහෙත් මෙම කතිකාව චන්ද්‍රිකාගේ ඊනියා මානුෂික මුහුණුවර හා මිශ්‍ර වී එහි ගිලී ගියේය.මේ කාලයේ සුළුවෙන් ජාතිකත්ව කදවුර ගොඩ නැගෙමින් පැවතුනි.

අන්ත දූෂිත ප්‍රේමදාස යුගයේ එජාප යේ අය සිතුවේ එම ආන්ඩුව කිසිදාක පරාජය කළ නොහැකි බවයි.විධායක ජනාධිපති ක්‍රමය නිසා ප්‍රේමදාස ජනාධිපති මැතිවරනයකින් පරාජය කිරීම දුෂ්කර වන්නට ඉඩ තිබිණි.ඇමතිවරු ප්‍රේමදාස සමඟ සිටියේ හිත හොඳකින් නොවේ.දෝශාභියෝගයට අත්සන් කළ ප්‍රමානය ඊට සාක්ෂියකි.ලෝරන්ස් මාෆියාව යනුවෙන් හැදින්වුන පොලිස් කන්ඩායමක් මගින් ෆයිල් පවත්වාගෙන ගොස් තිබුනි.

විධායක ජනාධිපති ක්‍රම තිබූ වෙනත් රටවල්වල කෙසේ වුවත් ලංකාවේ නම් අතීතයේ සිටි සියළුම දෙනාගේ හැසිරීම් වලින් එහි අයෝග්‍යබව පෙනේ.මෙවැනි ම අදුරු පැත්තක් දකුණු කොරියාවේ,සිංගප්පූරුවේ,තායිවානයේ තිබුනද ඊට වන්දියක් ලෙස එම රටවල් සංවර්ධනය කරා ගියේය.එහෙත් ලංකාවට එයද නැත.නමුත් යුද්ධය ජයගැනීමටනම් විධායක ක්‍රමය මහෝපකාරී විය.

ජනවාරි දෙවැනිදා ඉතා බලසම්පන්න නැකතකින් ජනාධිපති වූ ප්‍රේමදාස මහතාට එම ධූරකාලය කිසිසේත්ම වාසනාවන්ත නොවීය.ඔහුට ලැබුනේ දෙකොණ ගිනිගත් විළක්කුවකි.අද ජනවාරි දෙවැනිදා මට මතක් වුනේ අද වනිම දවසක සිදුවූ දේශපාලන සිදුවීම් අදට ගැලපෙන සැටිය.එදා තිබූ කතිකාවතම වෙනස් මුහුනුවරකින් අදද ඇත.එදා මෙන්ම අදද එකසේ දේශපාලනය උණුසුම්ය.එදා තිබූ උණුසුම අදත් මා තුල ජීවමානය.ඒ මගේ දේශපාලන උණ නිසාය.

එදා සීතල දුරුත්ත අද මෙන්ම දේශපාලනයෙන් උණුසුම් වූ සැටි එක සේය.එහෙත් මුහුණු වෙනස් වී ඇත.සතුරන් මිතුරන් වී ඇත.මිතුරන් සතුරන් වීඇත.අපූරුය,ඇත්තෙන්ම අපූරුය.