Thursday, October 9, 2014

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය යා යුතු මඟ

සාමාන්‍ය ජනතාවට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව ලැබුනේ මිශනාරීන්ගේ පැමිණීමෙන් පසුව බව පිළිගත යුතුමය.එහිදී අධිරාජ්‍යයට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් ලැබුණි.ඒ වනතුරු මෙරට පැවතියේ වැඩවසම් රාජාන්ඩුවට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයකි.එහිදී දැනුම ගලා ගියේ කුල ක්‍රමය මතය.

එහෙත් මේ ක්‍රමය තුල රැකියා ගැටළුවක් නොවීය.එදා සමාජයට අවශ්‍ය සහල්,හැලිවලං,රිදී රත්තරන් බඩු හා අවි ආයුධ මේ ක්‍රමයට නිෂ්පාදනය කෙරුණි.දැනුම කුලයට සීමා විය.එහෙත් අධිරාජ්‍යවාදීන්ගේ පැමිණීමත් සමඟ මෙය වඩා සාධාරන වී දැනුමට තිබූ තහංචි ඉවත් කර නව ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් සැමටම ලබා ගත හැකි විය.එය තත්කාලීන වෙළද ලෝකයට ගැලපෙන එකක් විය.ඉන්පසු කාර්මික ලෝකයට ගැලපෙන ලෙස මෙය පරිණාමය විය.

නිදහස ලැබීමෙන් පසු අධ්‍යාපන ක්ශේත්‍රයේ සිදුවී ඇති එකම ධනාත්මක වෙනස නම් මධ්‍ය මහා විද්‍යාල බිහිවීමයි.ඒ හැර අධිරාජ්‍යවාදීන්ගෙන් උරුම වූ ක්‍රමය එලෙසම පවත්වාගෙන එන ලදී.අධ්‍යාපනයට ජනතාව අතර උනන්දුව අඩු වන තාක් කල් අවුලක් නැතිව මෙම ක්‍රමය පවත්වාගෙන ආවත් ඉගෙන ගන්න පිරිස වැඩි වන විට නිෂ්පාදනයට ඍජු සම්බන්ධයක් නැති පාඨමාලා රටට බරක් විය.

සමාජවාදී රටවල අධ්‍යාපන ක්‍රම වඩා ප්‍රගතිශීලී වන අයුරින් සකස් කර තිබුණි.එහෙත් අපේ රටේ නම් උසස් පෙළින් පසු සුළු පිරිසක් ගොඩ යන අතර බහුතරයක් යන එන මං නැතිවේ.බහුතරයක් තම ජීවිකාව සකසා ගන්නේ පාසලෙන් පිටවී කරන පාඨමාලා වලිනි.ඒ අනුව පාසල වැදගත් වනුවේ මූලික අධ්‍යාපන සහතික පත්‍ර ලබා ගැනීමට පමණි.

අපගේ පාසල් අධ්‍යාපනය මෙසේ නවීකරණය කළ නොහැකිද
දොලොස්  වසරක  ව්‍යායාමයෙන් පසු වෛද්‍ය ,ඉංජිනේරු වැනි රැකියා සුරක්ෂිත ක්ශේත්‍රවල පාඨමාලා සදහා උසස් අධ්‍යාපනයට යන පිරිස හැර ඉතිරි පිරිස තවත් වසර දෙකක් පාසලේ රදවා අනිවාර්ය වෘත්තීය පුහුණු අධ්‍යාපනයක් දිය නොහැකිද
මෙහිදී නිෂ්පාදන,ප්‍රවාහන,ගණකාධිකරන,ලෙස වර්ගීකරණය කර සැළසුම් සහගතව රටේ නිෂ්පාදනයට අදාල ක්ෂේත්‍රවල රැකියා සඳහා පුහුණුවක් ලබා දිය නොහැකිද
මෙහිදී මූලික පුහුණුව ලෙස සියළුම දෙනාට රියදුරු පුහුණුව,පරිගණැක දැනුම හා ඉංග්‍රීසි දැනුම දිය හැක.

එසේම පාසල් කීපයක් එක් කර පර්ශද පාසලක් පිහිටුවා එහි අංග සම්පූර්ණ විද්‍යාගාර ආදිය පිහිටුවා මෙම අතිරේක වසර දෙක ඇතුලත සමාජයට වැඩදායී පුරවැසියෙක් බිහි කළ නොහැකිද



මෙම වසර දෙක ඉලක්ක කර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කාලයද සැළසුම් කෙරේ.මන්ද රැකියාවට සුදුසුකම් දෙන්නේ මෙම වසර දෙක තුල බැවිනි.

බොහෝ රැකියා ඉලක්ක කර ගත් පාඨමාලා වසර දෙකට අඩුය.මෙම වසර දෙක තුල බරවාහන පුහුණුව කැමති අයට එම පුහුණුව මෙන්ම  AAT කිරීමට කැමති අයට එම පුහුණුවද ලැබේ.මෙසේ කීවේ මෙය විවිධත්වයෙන් යුතු පුහුණුව ලබා දෙන වසර දෙකක් බව පෙන්වා දීමටය.නිදහස් අධ්‍යාපනය අර්ථවත් වීමට රජයේ වියදමෙන් මෙසේ ඩිප්ලෝමා පාඨමාලා සිදු කළ හැක. වියදමක් දරා වසර දෙකක පමණ ඇගළුම් කමහල් පුහුණුවකින් ඇගලුම් කම්හලක හොද රැකියාවකට යාමට පුළුවන.මාස තුනක හෝ හයක පුහුණුවකින් සාමාන්‍ය රැකියාවට යාමට පුළුවන .කැමති අයට මේ වසර දෙකෙන් පසු විශ්ව විද්‍යාල වලට ඇතුලත් වී තුන් වෙනි වසර අවසන් කර උපාධිධාරියෙක් වීමටද පුළුවන.



එසේම බොහෝ උපාධි පාඨමාලා යනු ගිරවා දැමීමකි.උපාධි පාඨමාලාවල විශය කරුණු හැකිතාක් පාසල් මට්ටමට දමා එම උපාධි ද නිෂ්පාදනයට අදාල වන සේ සකස් කළ යුතුය.පාසල හා විශ්ව විද්‍යාලය අතර දුරස්ථ බව අවම කර කෙටි ක්‍රම හරහා අවශ්‍ය සුදුසුකම් සපුරා උගතෙකු වීමේ වරම සිසුන්ට දිය යුතුය.


මේ තුලින් සමාජයේ තරාතිරම් අහෝසි කිරීමට අපේක්ෂා කෙරේ.ඒ අනුව බොහෝ දෙනා උපාධිධාරීන් වී උපාධිය යනු වෘත්තීය සුදුසුකම් සහිත අංගසම්පූර්න සහතිකයක් වෙයි.රැකියාවකට බදවා ගැනීමේ මූලික සුදුසුකම උපාධියයි.රැකියා ශ්‍රෙණි නැත.අවශ්‍යතාවය සඳහා ශ්‍රේණි සකස් කළත් ඒවා අනිවාර්යයෙන්ම සමාන්තර ශ්‍රේණි විය යුතුය.අධිරාජ්‍යවාදීන් හදුන්වා දුන් ධූරාවලි මත පදනම් වූ වහල් ක්‍රමයට තිත තැබේ.



මෙසේ දැනුම නිදහසේ ගලා යන අතර කෙනෙකුට මුදල් ගෙවා දැනුම ලබා ගැනීමට අවශ්‍ය නම් ඊටද ඉඩ තිබිය යුතුය.මොන ක්‍රමයකට දැනුම ලබා ගත්තත් දක්ෂතාව හා ජ්‍යෙෂ්ඨතවය මටහ් ඕනෑම කෙනෙකුට ඉදිරියට යාමට අවකාශය තිබිය යුතුය.කිසිම විටෙක වහල් ශ්‍රේණි ක්‍රම නොතිබිය යුතුය.


මෙසේ අධ්‍යාපනය තුල ඇති විශමතා දුරු කර ඒකාකාරී බඳවාගැනීම් පටිපාටියක් සකස් කිරීමෙන් සමාජ විශමතාද  අහෝසි වනු ඇත.