Wednesday, April 23, 2014

කතන්දර හා කතන්දරකාරයෝ


අපි කතන්දර ඇසීමට කැමැත්තෙමු. අපට යමක් තේරුම් ගැනීමට සංගත තනදරයක් අවශ්‍යය.ඇතැම් කතන්දර ටයිපින් මිස්ටේක් වැනිය.මිස්ටේක් එක දුටුවද එයින් වෙනත් අර්ථ එන බැවින් නිවැරදි නොකර සිටිනවා සේය.මානවයා කතන්දර ඇසීමට කැමතිවූ නිසා මානවයන් අතරින් සමහර මානවයෝ කතන්දරකීමට ඉදිරිපත් වූහ. මානව ඉතිහාසය ඇරඹුන දා සිටම මෙසේ කතන්දරකාරයෝ සිටියහ.

කතන්දරයක් කියන්නේ කුමක් ගැනද කියා බලමු. එක්වරම නොතේරෙන යම් ගූඩ බවක් තිබෙන ඕනෑම දෙයක් ගැන කතන්දරයක් කීමට පුළුවන.එකයි එකයි දෙකයි කී විට ඒ ගැන වෙන කෙනෙකුට කීමට දෙයක් නැත. එහෙත් ලෝකය නිර්මාණය වීම ,මෝක්ෂය වැනි කරුණු ගැන සිත ගැන කතන්දර නිර්මාණය කළ හැක. එහෙත් මෙසේ කතන්දර නිර්මාණය කළත් ඒවා පවතින්නට නම් අධිපති මතවාදය හා බද්ධ විය යුතුය.


බුදුන් ලංකාවේ උපන්නායැයි මීවනපලානේ හිමියන් කියන නමුත් ඒ කතන්දරය අධිපති මතවාදය හා බද්ධ නොවීය.ඒ පොත් හරිහැටි මුද්‍රනය කර බෙදා හරින්නටද හැකිවී නැත.නමුත් සිරිදම්ම රහත් වීමේ කතන්දරය සදහා සිවිල් සමාජයේ බලවතුන් සම්බන්ද කර ගත හැකි වී ඇත.එහෙත් එහිද අඩුපාඩු ඇත.

ඉස්සර සිටි කතන්දරකාරයන්ට නොතිබූ ගැටළු වර්තමාන කතන්දරකාරයන්ට ඇත.එහෙත් ඉස්සර සිටි අයට වඩා සුරක්ෂිත බවක් ඇත. අඩු තරමින් ජිනීවා හෝ යාමට හැක. ඒ සුරක්ෂිත බව තිබෙන්නේ කතන්දරකාරයාටය.කතන්දරයට නොවේ.එහෙත් අපට වඩා වැදගත් කතන්දරකාරයා නොව ඔහු කියන කතන්දරයයි.

ඇත්තෙන්ම මේ යකා එන්නේ මොකාටද" කෙනෙකු තුල එසේ සිතිවිල්ලක් පැන නගිනවා නිසැකය. අපේ හිතවත් බ්ලොග් කරු සෑමා ගේ කලින් පොස්ට් එකේ මම දැමූ කොමෙන්ටුවකට ලැබුන පිළිතුරු නිසා මටද ඒ ගැන පෝස්ට් එකක් දැමීමට සිත් විය.මේ කතන්දරය ඒ ගැනයි.


මා එහි මෙසේද කියමනක් සටහන් කළෙමි
All Religions were invented by the Devil to conceal God from Mankind



සොක්‍රටීස් කතන්දරකාරයෙකි.එහෙත් ඔහු දේව පුත්‍රයෙකු නොවූයේ ඇයි? ඔහු වසබී මියගියේ අප වෙනුවෙන් කියා කතන්දරයක් හදා ගන්න බැරි වුනේ ඇයි.එසේ හදනවා නම් එය ඉතා අපූරු සිද්ධියකි. නමුත් සොක්‍රටීස් දාර්ශනිකයෙකු විය. ඔහු ජීවත් වූ ග්‍රීක් සමාජය එවැනි ඇදහිල්ලකට සූදානම් නොවීය. නැත්නම් මෙවැනි වදන් අපට අසන්නට ලැබෙනු ඇත.


සොක්‍රටීස් ඔබ බලවන්තයි බලවන්තයි බලවන්තයි
ඔබ මට ආදරෙයි ආදරෙයි ආදරේ
ඔබ වස බිව්වෙ මා නිසයි මා නිසයි මා නිසයි
මට ගැලවීම දෙන්න සොක්‍රටීස් පියානෙනි ඔබ මා දෙස බලා සිටින බව මම දනිමි හායි හූයි හායි හූයි

සොක්‍රටීස්ගේ පිළිම හන්දියක් හන්දියක් ගානේ නෙළා නැත. ඒ ඔහුගේ කතන්දරය ට සංගත බවක් නොවූ බැවිනි.සොක්‍රටීස්ට වුනේ අසාධාරණයකි.


පුරාණ ඊශ්‍රායලයේ තිබූ අපූරු සංකලපයක් නම් ගැලවීමයි. මෙහි තේරුම මෙයයි  .වහල් හිමියාගෙන් වහලාට අවශ්‍ය වුනේ ගැලවීමයි.මෙලෝ දුකෙන් වහලාට සදාකාලික ගැලවීමක් වුවමනා විය. මේ ගැලවීම දිය හැකි දෙවියෙක් නිර්මාණය කිරීමට අවශ්‍ය වුනේ එනිසාය. මෙවැනි නිර්මාණ කිහිපයක් අතරින් එකක් තෝරා ගැනුනි.යුදෙව් වහලුන් ග්‍රීක් වහලුන්ට මේ කතන්දරය කී විට ග්‍රීක් වහල්ලු ඊට රුචි කළහ. මේ කතන්දරය අසන ග්‍රීකයා පෙර සිටි දාර්ශනික ග්‍රීකයා නොව වහල් ග්‍රීකයෙකි.යුදෙවු දෙවිතුමා ග්‍රීකයන්ටත් ප්‍රේම කරන්නේ මේ පසුබිම තුලයි.

උතුරු ඉන්දියාවේ ක්‍රි:පූ 6 වැනි සියවසේ තිබූ තත්වය ඊට වෙනස්ය.එය කෘෂිකාර්මික සමාජයකි.රාජපුත්‍රයෝ හා ගෘහ්පතිපුත්‍රයෝ දැනුම් පිපාසයකින් පසු වූහ. සංගාරව ,උපාලි වැනි ගෘහපතියන් කාලාම,වච්ඡගොත්ත,කච්චායන වැනි බමුණන් බුදුන්ගෙන් ඇසූ ප්‍රශ්න දෙස බලන්න.ඉන්දියාවේ ඒ වන විට බුද්ධිමය සංවාදවලට සුදුසු වටපිටාවක් තිබුණි.

එසේම මෙම බුද්ධිමය ප්‍රශ්න නිරාකරණයට අවශ්‍ය කතන්දරකාරයෝද සිටියහ. මේ එක් කතන්දරයක් කියවූ අයට වඩා කතන්දර කීපයක් කියවූ අයට මේ කොයිඅක් ඇත්තද කියා හිතා ගන්නට බැරි තරම්ය. හැම කතන්දරයක්ම ලස්සනය,නියමෙට නිර්මාණය කර ඇත.ජෛන දහමේ කර්මය පෙන්වා දී ඇත්තේ යකඩ තුල ගිනි පුපුරු ඇති සේය.මෙවැනි උපමා රූපක බොහෝ ඇත. අපේ පසේනදි කෝසලලා ,බිබිසාරලා ජෛනයන්ගේත් ප්‍රධාන නළුවෝය දායකයෝය.ඓතිහාසිකව ගත් කළ ජෛනයන්ගේ කතා නිවැරදි යැයි මට සිතේ.කෙසේ වෙතත් සෑම බෞද්ධයකුම ජෛන දහම ගැන පොතක්වත් කියවිය යුතුය. පුදුම වෙනවා නිසැකය.පොටෝකොපි මැසිමකින් ගැසූ පොටෝ කොපියක් සේය.

කතන්දරයක් ජයගන්නේ තව කතන්දර රාශියක් අතරිනි.පොලවට දැමූ ඇට අතරින් එකක් දෙකක් පැළවෙනවා සේය.රාජානුග්‍රහය ආදිය අවශ්‍යය. රජෙක් ගෝත්‍ර නායකයෙක් පහදවගත්තානම් ගොඩේ ගොඩය.හැම ආගමක්ම පැතිරුනේ ඔහොමය.

යුදෙව්වාගේ සිතුම්පැතුමන් ඉන්දියානුවාගේ සිතුම් පැතුමන් සේම අරාබියාගෙ සිතුම් පැතුමන්ද අපේ වී ඇත. අරාබියාට අවශ්‍ය වුනේ යුදෙව්වාට මෙන් ගලවීමවත් ඉන්දියානුවාට මෙන් සිතට වෙන දේ ගැනවත් නොව එක්සත්කමය. මංකොල්ලකන ගෝත්‍ර වලින් බේරී ආරක්ෂිතව සිටීමය.ගෝත්‍රය වර්ධනය කර ගැනීමය.මේ අවශ්‍යතා වලට ගැලපෙන දහමක් ඔවුන්ට හිමිවිය.

අද තිබෙන ආගම් සාර්ථක වුනේ ගල උඩ සටන් වලිනි. එක් වරෙක යුරෝපයේ යේසුස්,ඇපලෝනියස් ඕර්ෆියස් හා මිත්‍රාස් අතර තරඟයක් විය. හැමෝම ඇස් අයාගෙන සිටියහ.අවසානයේ ජයගත්තේ කවුදැයි අප ද්හනිමු.
කොන්ස්ටන්ටයින් අධිරාජයා ක්‍රිස්තියානිය රෝමයේ රාජ්‍යාගම කළේය.එහෙත් ඔහු කළේ කපන්න බැරි අටහ්ක් සිඹීමකි. ඔහුගෙන් පසු බලයට පත් ජූලියන් (ආගම අත හැරි ජූලියන් )ක්‍රිතියානියේ තැන මිත්‍රාස් දහමට දුනි. ඇත්තෙන්ම ජූලියන් තව වසර කිහිපයක් ජීවත් වුනා නම් කිතු දහම අතු ගෑවී යනු නිසැකය.


Julian
ජූලියන්ට පර්සියානුවන් හා යුධ වැදීමට සිදුවිය.සටනින් පසු එන ගමන් ඔහු අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසාන වචන "ගැලීලියානුවෙනි ජය ඔබටය යන්නයි". ජූලියන්ගෙන් පසු බලයට පත් තියඩෝසියස් ක්‍රිස්තියානි නොවන සියළු ආගම් තහනම්කර සමූලඝාතනය කළේය.

මෙහි අපූරුව මෙයයි.මිත්‍රාස් යනු පර්සියානුවෙ කි.මේ ආදිකල්පික  ඇදහිල්ල පුරාන ආර්ය සංක්‍රමන සමඟද සමබ්න්ධ වේ. මිත්‍ර,වරුණ,යම ඉන්ද්‍ර වැනි ඉන්දු ආර්ය දෙවිවරු ගැ ඔබ අසා තිබෙනවා නේද. මේ කියන මිත්‍ර තමයි මිත්‍රාස්.

එදා මිත්‍රාස් ජයගත්තානම්,නොහොත් ජූලියන් අදිරාජයා පර්සියන් සටනෙන් මළේ නැත්නම් අපේ සෑමා ගේ ඉරණම විසදෙන්නේ මෙසේය.

සෑමා තම විවාහයට උපදෙස් ගන්නට මිත්‍රාස් පල්ලියට යයි.ලංකාවේ බටහිර මුහුදුබඩ තීරයම මිත්‍රස් පල්ලිවලින් පිරී ඇත.පූජකතුමා සෑමාට සිකුරාදා ගව බිලි පූජාවට ඇරයුම් කරයි.ඊට අකමැතිවුනොත් නම් මනමාලි හම්බවෙන්නේ නැත.මේ ගව බිලි පූජාවේදී මරණය හා නැවත උත්ථාන වීම සංකේතවත් කෙරේ.

මරණය හා නැවත් උත්ථාන වීමද සම්බන්ධවද කතන්දර රාශියකි. ඊජිප්තුවේ ඔසිරිස්ගේ මරණැය හා උත්ථානය,සුළු ආසියාවේ (නූතන තුරිකියේ ) ඇට්ටිස්ගේ මරණය හා උත්ථානය වැනි බොහෝ කතන්දර විය.මේවාගේ සදාකල් දේව සංකල්ප්ය ස්ත්‍රීලිංගික විය. යුදෙව්වෝ මාතෲ යන්නට පීතෲ ලෙස කට් කොපි පේස්ට් කළහ.
ලෝක නිර්මාණය,සිත වැනි කරුණු ගැන මිනිසුන් කතන්දර නිර්මාණය කළහ.නිත්‍ය අවසානයකට මිනිසා තුල ඇති බිය නිසා ඔහුට මෝක්ෂයක්,නිර්වාණයක් අවශ්‍ය විය.මේ සියල්ල සපිරුන එක ආගම නම් වේ. ආගම යනු අද සාමූහික සංස්කෘතියක් භුක්ති විදින තැනකි.එහි ඥානසාරලාද වටරැක විජිතලාද වෙයි.ඒ නිසා මෙය තව දුරටත් සිටහ් ගැන විග්‍රහයක් නොවේ.

ආර්ථිකය හා ලිංගිකත්වය ගැනද කතන්දර වෙයි. ආර්ථිකය ගැන සමාජවාදී විග්‍රහයේදෙ මාක්ස් නම් කතන්දරකාරයෙක් ජය ගත්තේය. තව තව අතුරු කතා නිර්මාණය කළ අයද වෙයි.ලිංගිකත්වය ගැන ද එසේමය.

අලුත් කතන්දරකාරයන්ගේ ඉරනම කෙසේදැයි බලමු.ඉස්සර නම් ඩේන්ජර්ය.තමන් හැර අනෙක් කතන්දරකාරයන් බොරුකාරයන්යැයි පරණ කතන්දරකාරයන් කියා ඇති නිසා අලුත් කෙනෙකුට තම කතන්දරය ඔසවා තබන්නට ලොකු කට්ටක් කන්නට සිදුවේ.පරණ එකා එහෙම කියා ඇත්තේ තම කතන්දරයට රක්ෂන සහතිකයක් ලෙසය.

ඉස්ලාමයේ මුහම්ම්දගේ ලෝක දැක්ම ඇසූ අරාබිවරු කුපිත වූහ.කෙසේ නමුත් ඔහු අවසානයේදී ජයග්‍රාහී විය.මුසයිලමා නමැත්තෙක් අලුත් කතන්දරයක් කියන්නට ආවේ ඉන්  පසුය.ඔහු මුහම්මද්ගේ නබිත්වය පිළිගත්තත් මුහම්මද් පමනක් නොව තමාද නබිවරයෙක් යැයි කීහ. අලුතෙන් ස්ථාපිත වූ මුස්ලිම් ආගමිකයො මුසයිලමා සමඟ යුධ වැදී ඔහුගේ අනුගාමිකයෝ සමූලඝාතනය කර දැමූහ.ඉස්ලාම් ඉතිහාසයේ සදහන් වන යමාමා යුද්ධය යනු එයයි.

වදුරඹ සිරිවර්ධනගේ කතන්දරය අසන්නට අප සූදානම්ද.මම උන් වහන්සේට මෙසේ කියමි.සිරිවර්ධනයානන් වහන්ස ඇසුව මැනව.ආගම් බිහිවන්නේ සමාජ ප්‍රගමනයේ එක් අවස්ථාවකය.මේ එයට සුදුසු කල නොවේ.අන්තිමට බිහිවූ දෙවියන්ද 17 වැනි සියවසේ කීර්ති බන්ඩාර නැමැති කෙනෙකි.ඒත් කන්ද උඩරට හද්ද පිටිසරය.

ඉන්දියාවේ සායිබබාලා යෝගීන් සිටින නමුත්කාටවත් අලුත් ආගමක් හදන්නට බැරි විය. දැන් නම් මේ අයත් එන්න එන්නම අඩුවේ.අලුත් කතන්දර ලෙහෙසි නැත. හැබැයි කල හොද නිසා මාධ්ය සාකච්ඡාය,ජිනීවාය,අරකය මේකය මහ ගොඩකි. පණ බේරේ ඒත් කතන්දරය ඉස්සර මෙන් නැගල නොයයි.

සියළුම කතන්දරකාරයෝ අප මෙන් සාමාන්‍ය මනුස්සයෝමය.නමුත් කතන්දරකාරයෙකුගේ මරණින් පසු ඔහු වටා අමුතු කතා නිර්මාණය කර ඔහු අද්භූත කෙනෙක් බවට පත් කෙරේ.

මේ දේවල් වලට හේතුව කුමක්දැයි බලමු. අපේ යටි සිත සතු තෘප්ත නොවූ ආශාවක් සංසිදවීම මේ කතන්දරවලින් සිදුවේ. ඇත්තටම දෙවියන් කියා අප අමතන්නේ අපේම යටි සිතටය.එනයින් හැම ආගමකම දෙවියන් එක සමානය.

පන්සලේද පල්ලියේද කෝවිලේද මස්ජිදයේද (මුස්ලිම් ) දැල්වෙන්නේ එකම පහනකි.

(1078 )

Monday, April 21, 2014

නොමඟ නොයන් පුතේ උඹට රටක් නැතේ


මම අවට ලෝකය නිරීක්ෂණය කරන කම්කරුවෙක්මි.  මානසික ශ්‍රමය මාසික වැටුපක් සඳහා විකුනන්නෙක්මි.කායික ශ්‍රමය විකුනන්නන්ට සාපේක්ෂව යම් සුරක්ෂිත බවක් ඇතත් මම පුංචි මිනිහෙක් බව මම දන්නෙමි.පොඩ්ඩෙක්මි.තදයෙක් නොව බුරුලෙක්මි. හැබැයි මට කිසිවෙකු ලොකු නැත. කිසිම ගෝත්‍රයකට අයත් නැති මා පාසල් ගෝත්‍රිකයන් හා වෘත්තීය ගෝත්‍රිකයන් තබේකට මායිම් නොකරමි. ඊට හේතුව එම ගෝත්‍රිකයන් සරදම් කරන්නේ සෙසු සමාජයට වීමයි.මම නිළධාරීවාදයටද එරෙහි වෙමි.චීන සෝවියට් නිළධාරිවාදයට එරෙහිව ලිපි සහ කොමෙන්ට් පළ කළේ එ  නිසයි.

එහෙත් සමාජයේ බොහෝ දෙනෙකුට මේ පොඩ්ඩා මානසිකත්වය වෙනුවට ඇත්තේ හීනමානයකි. තමන් පොඩ්ඩෙක් බව දන්න කිසිම කෙනෙක් ව්‍යාජ ලොකු කම් ආරෝපනය කර නොගනිති.මෙසේ ලොකුකමක් ආරෝපනය කර ගැනීමට සමහරු නිදහස් අධ්‍යාපනයෙන් තමන් ලැබූ වෘත්තීය ජයග්‍රහණ උපයෝගී කර ගනිති. ඊට වඩා වෘත්තිකයන් වෙනත් රටවල සිටියද ඔවුන්ට හීන මාන නැත.ධීවර විශේෂඥයෝ මාලු කූඩෙ අරන් යති. දොස්තරලා ෆුට් සයිකල්වල යති.ලංකාවෙ තත්වය මීට වෙනස්ය. 

තම ලොකුකම පෙන්වීමට හීනමානකාරයන් යොදා ගන්නා ක්‍රම ඇත. පාසල් ගෝත්‍රවාදය ,ප්‍රදේශ ගෝත්‍රවාදය, කුල මල වාසගම්, මේවා අතරින් කිහිපයකි.මම නම් මෙහෙමයි කෝ උඹලට නෑනේ කියා සරදම් කිරීමට අනුන් පහත් කිරීමට මේවා වැදගත්ය. නමුත් මේවාටද වඩා ලස්සනට කැපී පෙනීමට හීනමානකාරයන්ට අපූරු දේවල් ඇත.ඒවා නම් ජාතිවාදය හා ආගම්වාදයයි.

මීට කලකට ඉහත එනම් අප පාසල් ගිය 1990 දශකයේ තරුණ තරුණියන් ව්‍යාජ මතවාදයක් පසුපස ගියත් එය නාමිකව හෝ සමාජ සාධාරණත්වයක් මත පදනම් විය.එය සාර්ථක වූ තැන්වල නිළධාරී පන්තිය ලෙස පන්ති සහිත සමාජ බිහිවීම හෝ එම පක්ෂවල නිළධාරීවාදය හෝ එම මතවාද දරන්නන්ගේ පුහු පණ්ඩිතමාණී මාන්නය වෙනම කතාවකි.කෙසේ හෝ සමානාත්මතාව මතවත් 90 දශකයේ තරුණ මතය සකස් විය.එහෙත් දැන් පස්සෙන් පස්සට යයි.බුකියේ ශෙයා වෙන්නේ ජාතිවාදයයි ආගම්වාදයයි.

සියල්ලමට කලින් බලමු.අපට ජාතියක් තිබෙනවාද ආගමක් ( ශාස්තෲන් දෙසූ දහම මත පදනම්ව දූරාවලි සහිතව නිර්මාණය කළ සංස්ථාව ) තිබෙනවාද? උත්තරය නැත යන්නයි. අප තීරණ ගන්නා සැප විදින අය නොවේ.
මෙසේ කීවද කලකට ඉහත මටද ජාතියක් තිබිණි ආගමක්ද තිබිණි.එහෙත් කරුණු කාරණා තේරුම් ගත් පසු ජාති ආගම් තිබෙන්නේ සැප විදින තීරණ ගන්නා ලොක්කන්ට බව දැන ගත්තෙමි.
ඈ බන් උඹට ජාතියක් ආගමක් නැත්නම් හම්බයො ඇවිත් රට අල්ලගත්තොත් මක් වෙයිද සමහරු අසති.ඒ අයට මම දෙන්නේ සරල උත්තරයකි. හමබයො රට ඇල්ලුවොත් මම හම්බයෙක් වෙනව. දැනට වඩා මගෙ සමාජ තත්වය වෙනස් වෙන්නෙ නැති වෙයි මගෙ හිතේ.

මගෙ මුතුන් මිත්තො මට කෙහෙල්මලක් උරුම කරල දුන්න නොවෙයිනෙ.වඩවැසම් කාලෙ රජාල රදලයල කියපුව උන් පිළිගත්ත.රජාල රදලයල කිව්ව මෙන්න මේකයි ලෝක සොබාවෙ කියල. අවුරුදු දෙදහස් ගනක්නකට පෙර උතුරු ඉන්දියාවෙ ජීවත් වුන ඉන්දියන්කාරයෙක් මේව ටක්කෙටම දැන ගත්තලු. එයා කියනව රජාල රදලයල වෙලා උපදින්නෙ පින් කරපු අය කියල. ඉතින් අපිත් කීකරුව පින් කළ යුතුයි කියල.වෙන දැක්මක් මුතුන් මිත්තන්ට තිබුනෙ නෑ.

හම්බයො දෙමළු නොවෙයි පිටසක්වලයො පෘතිවිය අල්ලගත්තත් අම බලන්නෙ මගෙ ශ්‍රමය විකුනන්න පුළුවන්ද කියල.
නිකම් හිතන්න. බන්ඩාරනායකලගෙ ජයවර්ධනලගෙ මුතුන් මිත්තො සුද්ද ලංකාවට ආවම රට ඌට පාවල දුන්න. මගෙ මුතුන් මිත්තන්ට ඒකවත් හරියට කරගන්න බැරිවුනානෙ. උන් එහෙම කළානම් මම අද ලොක්කෙක්නෙ. උන ඒකවත් කර ගන්න දන්නෙ නැතිව තව උන්ගෙ උරුමයන් ඊලඟ පරම්පරාවට දෙන්නලු. මගෙ බල්ල.

මම කාලයන්ත්‍රෙකින් අතීතයට ගියොත් උන්ට හොදවයින් දෙකක් කියනව. ඇයි යකෝ තොපිට රට පාව දෙන්න බැරිවුනේ. එහෙම කළානම් මම ගොඩ නේද. උඹලට ඉඩ කඩම් ගම්වර මුදලි මුහන්දිරම් පට්ටම් හම්බවෙනව නේද තුක් නොදකින් කියල බණිනව.

ලොකුකම් පොඩිකම්ද සාපේක්ෂය.ජාති ආගම් පසුපස යන අය ට තරු පේන්නෙ පුද්ගලිකව කෙළවුන විටය. ලොක්කො එක්ක එකතුවී අපරාධ කරන පොඩ්ඩන්ට වෙන දේ අපි දැක ඇත. උඩතලවින්න සිද්ධිය,බිදුණුවැව සිද්ධිය හා රූකාන්තලාට හිරිහැර කිරීමේ සිද්ධිය බලන්න.ඒ හැම සිද්ධියේදීම පොඩ්ඩෝ නිදහස් වූහ.ඒ වරින් වරය. ලොක්කෝ මුල් වටයේදීම බේරෙයි. සමහර ලොක්කො  (රූකාන්ත සිද්ධිය ) ගැන නම්වශයෙන් වත් සදහන් නොවේ.ලොකු ජාත්‍යාන්තර පීඩනයක් තිබුනා නම් ඔය සිද්ධිවල පොඩ්ඩන්ට සම්පුර්න වගකීම් ගෙන කොල නැති ගස් නගින්නට සිදුවනු ඇත.නියර මිටි තැනින් වතුර ගලන සේ අන්තිමට කෙළවෙන්නෙ පොඩිම පොඩ්ඩටය ඒක ලෝක නියමයයි.

දැන් ජාතිවාදීන්ට නරක කලදසාවක් ලබා ඇත.මේ දෙය වෙන බව මම නම් දැන උන්නෙමි.ජාතිවාදීහු ( මේ ඉහළ මධ්‍යම පාන්තිකයන් ඇත්තෙන්ම ජාතිවාදීහු නොවෙති ඔවුන්ට සිංහල සංස්කෘතිය ගැන හැඟීමක්වත් නැත. ඔවුන්ගේ දරුවන්ගේ හැසිරීම ඊට සාක්ෂිය ) දැන් අඩන බවත් ලියුම් ලියන බවත් පෙනේ.භික්ෂුවට නම් සිවුරේ ආරක්ෂාව ඇත.

මේ ජාතිවාදීහු කළේ සමාජ දැක්මක් නැති තරුණයා ෆෝම් කරවීමකි.අබින් කැවීමකි. අම්ම තාත්තා මෝලෙ මට්ට අල්ලන හරියට ගෙයක් දොරක්වත් නැති තරුණයාට තිබෙන ප්‍රශ්නය ටවුමෙ හම්බ හෝ දෙමළ කඩ සිංහල කඩ වලට වඩා දියුණු වීමය. අනේ අනිච්චන්. සිංහල මුදලාලිලගෙ දරුවන්ටවත් නැති අමාරුවක්නෙ. හම්බය දෙමළ සිංහලය ඔය කෝකත් සල්ලිකාරයො උන් මොකා දියුණු වුනත් අපට මොකද ඔවුන් ඔක්කොම එකයි කියා හිතන්නට බැරි හැටි.

ජාතිවාදය ප්‍රචාරය කරන අය මුළු සමාජයක්ම මිත්‍යාන්ධකාරයේ ගිල්වති.එක් පසෙකින් ජ්‍යොතිෂය වැනි මිත්‍යාවන් සමාජගත කරන අතර අනෙක් පසින් ජාතිවාදයය.නමුත් මේ ජාතිවාදය භයානකය.මේ සෙල්ලම හැමදාම කරන්නට බැරිය.කොතන හෝ හිරවෙන තැනක් එයි. ලංකාව වැනි රටක කිසි ලෙසකින්වත් කළමනාකරනය කර ගන්නට බැරි තරමින් මෙය හිර වෙයි. එහෙත් මේ සෙල්ලම කරන ගොන් වහන්සෙලාගේ මෝඩ කම් නිසා මේ හිරවීම ඉක්මන් වන බව පෙනුනි.

පසුගිය පළාත් සභා චන්දවල ජාතිවාදය හරියට වැඩ කළේ නැත.මේ නිසා මේ උන්දලා දැන් එච්චර වැඩකුත් නැත.එහෙත් මොවුහු සිරිත් පරිදි වැටලීම් කරයි.කුණුහරපෙන් බණියි. මුස්ලිම්වරු පල්ලිවල පලි ගසයි.

මුස්ලිම්වරු මෙසේ පලිගසන විට ඔවුන්ගේ දේවියන්ට මේ කංකරච්චලේ තව දුරටත් ඉවසන්නට බැරි විය.මේ දෙවියන් යනු සියලු විශ්ව ධාතුව මවා එතනින් නොනැවතී ගානසාරලාත් මැවූ උත්තමයාය.ඔහුට කරන්න්ට බැරි දෙයක් නැත. 
මේ ලඟදී ඔහු ගානසාරගේ කටේ බ්‍රේක් එක වෙනුවට ඇක්සලේටරය පෑගුවේය.

මම මේ වීඩියෝ ක්ලිප් එක බලන අතර  ලඟ සිටි අයටද කීවේ දැන් නම් වැඩේ කොස් දෙල් වල්දෙල් වෙන්නයි යන්නෙ කියාය. එය හරිය.මේ වීඩියෝ එකේදී ගානසාර බොහෝ උතුම් අයටද බැණ වැදුනේය.

මම නම් ගඟෙන් මෙහා කෙනෙක්මි. සාමාන්‍යයෙන් මොළේ තියෙන්නෙ ගඟෙන් එහා අයටටය.අපිට යමක් තේරෙන්නේ බාගෙට බාගෙ ලෙසය. කවුරුත් කියන්නෙ එහෙමය. එහෙවු මටත් තේරෙන දේවල් ගානසාරලට නොතේරෙන හැටි කියා මට හිතුනි.

මේ ගැන අපූරු බ්ලොග් පෝස්ට් එකක් දැම්මේ චන්දිම ගෝමස් නම් මහතෙකි. එතුමා අපූරුවට වචන ගලපා ලස්සනට ලියා තිබුනි.ඔහුගේ ලිපියේ අපූරු වාක්‍යයක් ගෙන හැර දක්වමි.



 " දැන් යන්න වෙලාව පැමිණ ඇත. 

නිකන් යන්නේ නැතුව පොල් පිති පාරක්ද කා ගෙනම යන්න හදන්නා සේය....... "
දැන් මිනිසුන් මේවා බලන්නේ ඩ්‍රාමා එකක් බලන මානසිකත්වයෙනි. නාට්‍ය ඉවර වූ පසුත් නළුවා රැදෙන්නේ පොල්   පිති පාර බලාපොරොත්තුවෙන්ම විය හැක.

මුන් නම් මොළේ ඇති අය නොවේ. මොළේ තිබෙන නළුවෙක්නම් කවුරුහරි ඇසුවොත් එතුමද හොද මෙතුමද කියා මෙසේ සින්දුවකින්ම උත්තර දී ජාමෙ බේර ගනිති.

එතුමා හරි කීවත් වැරදී
මෙතුමා හරි කීවත් වැරදී 
එනිසා පින්වත දැනගනු සොදිනී
දෙන්නම හරිය කියා


(935)

Wednesday, April 16, 2014

සිංහලයන් යනු මෙරට ආදිවාසීන්ද ඉන්දියානු සංක්‍රමණිකයන්ද


මීට බොහෝ කලකට ඉහත උතුරු ඉන්දියාවේ සංචාරය කළ මගේ මිතුරෙක් ආපසු ලංකාවට පැමිණ මා හමුවූ මුල් දිනයේම කිව්වේ " මචන් සිංහලයන් උතුරු ඉන්දියාවෙන් ආව කියන එක අමුම අමු බොරුවක්" කියාය. එම කතාව මට එවෙලේ ප්‍රසන්න නොවීය.

මෙසේ උතුරු ඉන්දියාවේ සංචාරය කර මෙරටට එන බොහෝ දෙන විජයගෙන් සිංහලයන් පැවත එනවා කියන කතාව සැක කරති.මූලිකම හේතුව උතුරු ඉන්දියානුවන් දෙස බැලූ විට මූලික වශයෙන්ම මොවුන් හා අප කිසිසේත්ම සමාන නොවීමය.උතුරු ඉන්දියානුවන් ඉරාන ජාතිකයන්ට යුරෝපීයයන්ට මහත් සේ සමානය.ඉන්දියාවේ සංචාරය නොකළ කෙනෙකුට මේ වෙනස මෑතකදී හඩ කවා ප්‍රචාරය කළ ඉන්දියානු සෝප් ඔපෙරා නැරඹීමෙන් දැනගත හැක.

මේ කතන්දරය ලියන්නට සිතුනේ   ෆේස් බුක් පේජ් එකක් ඉතිහාසය විකෘති කරමින් වැරදි අදහස් සමාජ ගත කරන හැටි දුටු විටයි. මෙහි හානිය නම් මේ වැරදි අදහස් සත්‍ය ලෙස ඉතිහාසය ගැන නොදන්න අය මෙන්ම අන්තර්ජාලය පරිහරණය කරන සිසුන්ද රැවටීමකට ලක් වීමයි.මේ ගැන පෝස්ට් එකක් දමනවායැයි සිතා සිටියද එය කල් ගියේ ඊට වඩා ප්‍රමුඛත්වය දිය යුතු කාලීන ලිපි දැමිය යුතු නිසාය.

මගේ බ්ලොග් එකේ එක් පරමාර්ථයක් නම් අළුත් විදියකට සිතන්න පෙළඹවීමයි. එහිදී කවර දෙයකට වුවද අභියෝග කරන්නට නොපැකිළෙමි.නමුත් මෙහිදීද අප දැනුම සොයා යන පිළිවෙලක් ඇත.එය නම් විද්‍යාත්මක ක්‍රමයයි.මෙහි අඩුපාඩු තිබිය හැක.නමුත් සාපේක්ෂව වරදින ඉඩ අඩුය.

ඉතිහාසය ද විද්‍යාවකි.මෙය මහාචාර්ය කර්(ර්) ඉතිහාස විද්‍යාව නම් පොතේ අපූරුවට විස්තර කර ඇත.ඉතිහාසය යනු රජවරුන්ගේ කතා නොවේ. යටගියාව පිළිබද සැබෑව සහ පරිනාමය පිළිබද මනා වූ අධ්‍යනයයි. මෙහිදී මැටි භාජන විකාශනය වුන හැටි,අවමංගල චාරීත්‍ර වල සොභාවය වැනි දේද අදාල සමාජය ගැන වැටහීමක් ලබා ගැනීමට ඉතා වැදගත්ය.

ඉතිහාසය ඉගෙනීමේ මූලාශ්‍ර ගැන කතා නොකරමි. මෙය බ්ලොග් ලිපියක් මිස ඉතිහාස පාඩමක් නොවේ.නමුත් මහාවංශයේ එන සිංහ ප්‍රවාදය ගැන කතා කරන නිසා මූලාශ්‍රයක් ලෙස එම ලිඛිත ග්‍රන්ථයේ වැදගත්කම පමනක් හුවා දක්වමු. 

ඉතිහාසය යනු පොතක තිබුන දෙයක් එලෙසම පිළිගැනීමක් නොවේ.පුරා විද්‍යාත්මක වශයෙන් මානව රූපාකෘති විද්‍යාත්මක වශයෙන්,ජීව විද්‍යාත්මකව,මානව විද්‍යාත්මකව ආදී වශයෙන් කරුණු නිරවුල් විය යුතුය.එසේම අදාල දේ එලෙස සිදුවුනේ මන්ද එය වෙනස් විදියකට සිදුවුනා නම් කෙලෙස වේවිද ආදී වශයෙන් තර්ක කළ හැකිවිය යුතුය. ඉතිහාසය දේව භාෂිතයක් නොවේ. නව සොයා ගැනීම් අනුව මෙතෙක් පිළිගත් දේ වෙනස් විය හැක. ස්වාභාවික විද්‍යාවන්ගේ වගේමය.

මේ අටුවා ටීකාවන්ගෙන් පසු යකා සහ ඉතිහාස විශය අතර සමබ්න්ධයද කියන එක හොඳ යැයි සිතේ. යකා ඉතා කුඩා කාලයේ ඇස ගැටුන පොත් දෙකක් විය. එකක් නම් නිව්ටන් පිංතු මොරගොඩගේ ලංකාව හා යුරෝපීයයෝ නම් පොතයි.අනෙක ලංකාව හා තදාසන්න රාජ්‍ය නම් පොතයි.එයද නිව්ටන් මහතාගේදැයි නොදනිමි.

මේ පොත් වලට මා කොයි තරම් ප්‍රේම කළාද කිවහොත් රාජාවලි ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛන දින වකවානු සහිතවම කටපාඩම් විය. එසේ කටපාඩම් වුනේ කුමන වයසේදීදැයි මම නොකියමි. ඊට හේතුව එය කිසිවෙකු පිළිනොගන්නා නිසාය.පසු කළෙක පුස්තකාල වලට ඇබ්බැහි වූ පසු තනිවම යුරෝපා රෝම හා ඉන්දියන් ඉතිහාසය හදාරන්නට පටන් ගත්තෙමි.

මේ කතාව කියන විට මට අපූරු කතාවක් මතක් වේ එනම් ශක්‍ර දෙවියන් ගැන ලානරොල් මහතා ලියූ පොතක්ද මට හමුවිය. ඔහු ශක්‍ර දෙවියන් ගැන අපූරු කතාවක් කියයි.ඔහුට අනුව ශක්‍ර දෙවියන් යනු පර්සියානු අධිරාජයාය.එහි දිව්‍ය ලෝක යනු ඔහුගේ ප්‍රාන්ත රාජ්‍ය බව කියයි. ශක්‍රයා,සුර අසුර,දේව,මනු වැනි වදන් වලින් ඇත්තෙන්ම මිනිස් ගෝත්‍ර සිටි බව අපූරුවට පෙන්වා දී ඇත. ඔහුට අනුව ශක්‍රයා යනු ඩේරියස් රජුය.දියුණු පර්සියන් අධිරාජ්‍යය නොදියුණු ඉන්දියානුවා දුටුවේ දිව්‍ය ලෝක සේය. සදෙව් ලොව යනු හක්ක මානුසීයයාගේ සත්‍රප ( ප්‍රාන්ත )ලෙසද දක්වා ඇත.
නාගලන්තය යැයි රටක් අදද ඉන්දියාවේ තිබේ.ඔවුහු මොන්ගෝලීය මිනිසුන්ය.

ලංකාව දූපතක් බව අපි දනිමු.එසේම එය ඉන්දියාවෙන් වෙන් වන්නේ කුඩා වැලිපරයකිනි.පුරාන අයිස් යුගයේ මේ දෙරට එකට සම්බන්ධව තිබුනි.ඉන්පසුවද සතා සීපාවා මෙන්ම මිනිසුන්ද පිහිනා හෝ කුඩා යාත්‍රාවලින් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියහ.මෙසේ පැමිණ මෙරට සමාජයට මිශ්‍ර වීම අලුත් දෙයක් නොවේ.මෙසේ පැමිණි එක් පුරුෂයෙක් වන විජය (ජයග්‍රහනය කළ තැනැත්තා)  නමැත්තෙක් ගැන ඉතිහාසයේ දැක්වෙන අතර ඔහු සිංහයෙකුගේ මුණුපුරෙක්ල.

සිංහයා යනු පුරාණ මිනිසුන්ගේ කුතුහලයට හා ගෞරවයට ලක් වූ සතෙකි. පුරාණ බැබිලෝනියානුවන්ගේ ජාතික සංකේතයද සිංහයාය.අපේ සිංහ ප්‍රවාදය මෙරට හෝ පිටත ඇතිවූවක් විය හැක.එහෙත් මේ මොන දේට වුනත් ඉන්දියාවේ සම්බන්ධයක් කෙලෙස හෝ ගෙතිය යුතු විය. ඊට හේතුව බුදුහාමුදුරුවන්ට නෑ කමක් නිර්මාණය කළ යුතු වූ නිසයි.

ඉතිහාසය ලියූ උදවිය මෙලෙස අගතිගාමී හැඟීම්වලින් ඉතිහාස පොත් ලියූ නිසා සැබෑ ඉතිහාසය සොයා ගවේශනය කරන අය මුහුණ දෙන්නේ මහා අභාග්‍යකටය.ඉන්දියාවට විශේෂයෙන් උතුරු ඉන්දියාවට නෑකම් හදන්න යාමෙන් සැබෑ ඉතිහාසයට වී ඇති හානිය අපමණය.

සිංහලයන් ඉන්දියාවේ සිට ආ බව සාමාන්යයෙන් පිළිගැනේ.දෙමළ අය දකුණු ඉන්දියාවේ සිටද මුස්ලිම්වරු අරාබියේ සිටද ආ බව කියවේ. මේ කතාවේ දෙමළ ජනයා දකුණු ඉන්දියාවේ සිට ආ බව පමනක් සත්‍ය වේ.සිංහලයෝ උතුරු ඉන්දියාවෙන් ආ බව මුළින්ම සැක කරන්නේ උතුරු ඉන්දියාවේ සංචාරය කළ අයයි. මානව රූපාකෘති විද්‍යාවට අනුව උතුරු ඉන්දියානුවන්ට කිසි ලෙසකින්වත් සිංහලයෝ සමාන නැත. ඊට වඩා දකුණු ඉන්දියානුවන්ට සමානය.

පෝල් ඊ පීරිස්  සිරිමතුන් හා ඔහුගේ පුත් ශිරාන් දැරණියගල සිරිමතුන් මේ උතුරු ඉන්දියානු ප්‍රවාදය සාර්‍ථකව ඛන්ඩනය කළහ. ඔවුහු ජීව විද්‍යාත්මක සාක්ෂි ඒ සඳහා යොදා ගත්හ.ශ්‍රී ලංකාවේ වැද්දන් ඉන්දියාවේ ආදිවාසීන් ට හෝ නිව්ගිනියාවේ හෝ ඉන්දුනීසියාවේ ආදිවාසීන්ටත් සමාන නොවන බව පෙන්වා දුන්නේය .එසේම ශ්‍රී ලාංකිකයන් සියළු දෙනාගේම සිරුරේ වැදි ලේ තිබෙන බව පෙන්වා දීම ඉතා වැදගත්ය. එනම් වැද්දන් පමනක් ආදිවාසීන් ලෙස හැඳින්වීම වරදක් බව මෙම අධ්‍යන වලින් පෙනේ.

වැද්දන් හා සිංහලයන් එකිනෙකාගෙන් වෙන්වුනේ මීට වසර 6100 කට පමන පෙර බව ඔවුහු පවසති.සිව්හෙළය නමින් හැදින්වුන ගෝත්‍ර එක්වී සිංහලයන් හැදුන බවට වූ ප්‍රවාදය වඩාත් පිළිගත හැකි මතය බව පෙනේ.මේ අනුව වැද්දන් හා සිංහලයන් මෙරට ආදිවාසීන් වූ බව පෙනේ.

ලංකාවේ ඉතිහාස කතාව ලියූ ලේඛකයන්ට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වුනේ ඉතිහාසය ලිවීමට නොව බුදුහාමුදුරුවන් සමඟ නෑකමක් හදා ගැනීමය.සිංහලයන් යනු කවුද ඔවුහු කෙසේ ඇති විනිද යන කරුණ විමසා බැලීමේදී එක් මූලාශ්‍රයකට පමණක් සීමා විය යුතු නැත.

එකළ ලංකාව පුරා විවිධ ගෝත්‍ර තිබිණි. මේ ගෝත්‍ර අතර යක්ෂ,නාග, දේව, රාක්ෂස, සබර  වැනි ඒවා ප්‍රධාන වේ. නාගයන් මුහුදුකරයේ වාසය කළ අතර  යක්ෂයෝ කෘෂිකාර්මික ප්‍රදේශවල ජීවත් වූහ. ගොවිතැන් කළ යක්කු ගැන පුරාණ කතාවල නිතර සදහන් වේ.
ගෝඨයිම්බර සමඟ දබර කළ ගොවිතැන් කළ යකෙක් ගැන කතාව බලන්න. කුවේණිද යක්ෂ ගෝත්‍රික රැජිනකි. යක්කු අදෘෂ්‍යමාන ජීවීන් නම් ඔවුන් ගොවිතැන් කරන්නේ ඇදුම් මහන්නේ ඇයි? මණි අක්ඛික ,චූලෝදර,මහෝදර නාගයන් ගේ රාජධානි ගැන කියැවේ. නයින්ට මොකටද මැණික් පුටු? මේ රට පුරා සිටි ගෝත්‍රික කන්ඩායම්ය. අරවින්ද මුචලින්ද වැනි නම්වලින් හැදින්වෙන්නේද ගෝත්‍රික මිනිසුන්ය.

දුටුගැමුණු රජදවස මේ සියළු ගෝත්‍ර එකට එක්විය. බටහිර මුහුදුතීරයේ රාජධානි විවාහ සම්බධතා මගින්ම මාගම සමන්නග සම්බන්ධ විය. මාගම සිට අනුරාධපුරයට යන විට සෝම නුවර ,සේරු නුවර යයි රාජධානි තිබුනි. කාවන්තිස්ස හා දුටුගැමුණු රජවරුන්ට මේ රාජධානි තම රාජ්‍යයට යා කර ගත්හ.මේ වන විට මේ සියළු රාජ්‍ය වල බුදුදහම පැතිරී තිබුනි.

එළාර නම් විදේශීය ආක්‍රමණිකයා පරාජය කිරීමට පෙර  දුටුගැමුනුට සියලුම කුඩා කුඩා රාජ්‍ය එක්සත් කළේය. එළාර ද්‍රවිඩයකු නොවේ. ද්‍රවිඩ කියා මිනිස් කොට්ඨාසයක් එකළ නොවීය.ද්‍රවිඩ ඉතිහාසය පටන් ගන්නේ සංගම් යුගයෙනි.ලංකා ඉතිහාසය ලිව්වේ දෙමළ ආක්‍රමණ පැවති යුගයකය.රට ආක්‍රමණය කළ ඕනෑම කෙනෙක් වංශකතා කරුට අනුව ද්‍රවිඩයෙකි.මෙය කොයිතරම් ඔඩු දිව්වාද කිව හොත් පෘතුගීසීන්ටද ඇතැම් අවස්ථාවල කිව්වේ ද්‍රවිඩයන් කියාය.

දුටුගැමුණු විසින් රට එක්සත් කළ පසු රටේ ජනතාව එකම තැනක සිට පාලනය වුනි. කුඩා කුඩා ප්‍රාදේශීය භාෂා නැතිවී ගියේය. බෞද්ධ පත පොත ආදිය උතුරු ඉන්දියානු මුහුණුවරක් තිබුන නිසා සිංහල භාෂාව උතුරු ඉන්දියානු භාෂාවලට සමානය. එහෙත් ජීව විද්‍යාත්මකව මෙරට වැසියන් සමාන උතුරට නොව දකුණටය. පෝක් සමුද්‍ර සන්ධිය හරහා මිනිසුන් නිතරම දකුණු ඉන්දියාව හරහා මෙරටට පැමිණි බව රහසක් නොවේ.

විජය විසින් මෙරට වැසියා සමූලඝාතනය නොකළ බව මහා වංශයම කියයි.මහා වංශයට අනුව වැද්දන් පැවත එන්නේ විජයගේත් කුවේණිගේත් දරුවන්ගෙනි.ඒ අනුව වැද්දන්ටත් වඩා විජය ආදිවාසියෙකි.විජය ආක්‍රමනිකයෙක් නොවී එළාර පමනක් ආක්‍රමනිකයෙක් වුනේ මන්දැයි විමසා බලමු. විජය යන වචනයේ තේරුම ජයගත් තැනැත්තා යන්නයි.විජය වනි මුහුදු මංකොල්ලකාරයන් සියගනනක් මෙරටට පැමිණ මංකොල්ලකන්නට ඇත.විජය යනු මේ සියල්ලන්ගේම සංකේතයකි.මේ වන විට මෙරට ස්ථාපිත ආගමක් නොවීය. එහෙත් එළාර එන විට එවැන්නක් තිබුණි. මේ නිසා එළාර මිත්‍යාදෘෂ්ටිකයෙක් විය. එළාර දුටුගැමුණු යුද්ධයේ පදනමද ආගමික කරුණුය.එළාරගෙන් පැවත එන බව නොකියා විජයගෙන් පැවත එන බව කියන්නේ මේ නිසයි.

රටට ඇතුලුවන ඕනම පල්හොරෙකුගේ නමින් උප්පැන්න ලියවා ගනීම නිසා සැබෑ ඉතිහාසයට මෙන්ම අපේ මුතුන් මිත්ත්නටද සිදුවී ඇත්තේ අවමානයකි. විකිපීඩියාව වැනි විශ්ව කෝෂවල මේ සත්‍ය නැත. විකිපීඩියාව මූලාශ්‍ර කරගෙන ඇත්තේ කවුරුන් විසින් හෝ සැපයූ දත්තයකි. එයට දත්ත දෙන්නට ඕනෑම කෙනෙකුට පුළුවන. එය පරම සත්‍යයක් නොවේ. මේ කරුණ ගැන මා සමඟ වාද කළ අය විකිපීඩියාව සරණ යන තරමටම අසරනව සිටියහ.

ලංකාව දකුණු ඉන්දියාවට වඩා උතුරට කිට්ටු වුනේ බුදුදම නිසාය.උතුර මුස්ලිම් වනවිට මේ සබදතාව දකුණට බර විය. ඉන්පසු සිංහල බස දෙමළ කරනය වන්නට විය.අපේ හෝඩිය හා ද්‍රවිඩ හෝඩි අතර සමානකම් ඇතිවුනේ ඒ නිසාය.

ජාතිය ජීව විද්‍යාත්මකද සංස්කෘතිකද යන ගැටළුව ආදි කාලේ සිට තිබුනි. ජර්මනියේ නාසි වාදීහු ජාතිය ජීව විද්‍යාත්මක බව විශ්වාස කළහ. එහෙත් අමිශ්‍ර එවැනි ජාතියක් අද ලෝකයේ නැත.හිට්ලර් ආර්ය ජර්මන් ජාතියේ නෝඩික් ලක්ෂන ගැන කතා කළත් නෝඩික් ලක්ෂන ජර්මානුන්ට වඩා වෙනත් ජාතීන් තුල දැකිය හැකි බව සොයා ගෙන ඇත.ඇමරිකාවේ ජාතිවාදී දේශපාලනයක යෙදෙන තැනැත්තකුගේ ජාන පරීක්ෂා කර ඔහුතුල අප්‍රිකානු ජාන තිබෙන බව හෙළිකරන ලදී.

කළු දෙමවුපියන්ට හිටි ගමන් සුදු දරුවන් උපදී. මීට හේතුව සුදු ජානය නිලීනව තිබී මතුවීමය.ආණමඩුවේ පවුලක අප්‍රිකානු ළැමයෙක් වැනි ළෑම්යෙක් උපන්නේය. ගෙදර රන්ඩුත් ඇතිවිය.පසුව හෙළිවුනේ මේ පරම්පරාවල සැඟව තිබූ අප්‍රිකානු ජානයක් මතුවීම ලෙසයි.බලන්න අප අතර පොකුටු කෙස්,පලල් තොල් ඇති කී දෙනෙක් නම් ඉන්නවාද කියා.අපේ සමහර ක්‍රීඩකයන් සමහර රටවලට ගිය විට එම රටවල ස්වදේශිකයන්ගෙන් වෙනස් කර හදුන ගන්න බැරි තරම්ය.

ජාතිය ජීව විද්‍යාත්මකද සංස්කෘතිකද යන ගැටළුව ආදි කාලේ සිට තිබුනි. ජර්මනියේ නාසි වාදීහු ජාතිය ජීව විද්‍යාත්මක බව විශ්වාස කළහ. එහෙත් අමිශ්‍ර එවැනි ජාතියක් අද ලෝකයේ නැත.හිට්ලර් ආර්ය ජර්මන් ජාතියේ නෝඩික් ලක්ෂන ගැන කතා කළත් නෝඩික් ලක්ෂන ජර්මානුන්ට වඩා වෙනත් ජාතීන් තුල දැකිය හැකි බව සොයා ගෙන ඇත.ඇමරිකාවේ ජාතිවාදී දේශපාලනයක යෙදෙන තැනැත්තකුගේ ජාන පරීක්ෂා කර ඔහුතුල අප්‍රිකානු ජාන තිබෙන බව හෙළිකරන ලදී.

කළු දෙමවුපියන්ට හිටි ගමන් සුදු දරුවන් උපදී. මීට හේතුව සුදු ජානය නිලීනව තිබී මතුවීමය.ආණමඩුවේ පවුලක අප්‍රිකානු ළැමයෙක් වැනි ළෑම්යෙක් උපන්නේය. ගෙදර රන්ඩුත් ඇතිවිය.පසුව හෙළිවුනේ මේ පරම්පරාවල සැඟව තිබූ අප්‍රිකානු ජානයක් මතුවීම ලෙසයි.බලන්න අප අතර පොකුටු කෙස්,පලල් තොල් ඇති කී දෙනෙක් නම් ඉන්නවාද කියා.අපේ සමහර ක්‍රීඩකයන් සමහර රටවලට ගිය විට එම රටවල ස්වදේශිකයන්ගෙන් වෙනස් කර හදුන ගන්න බැරි තරම්ය.

සිය ගනනක් වූ ගෝත්‍ර දුටුගැමුණු යුගයේදී බුදුදහම මත පදනම්ව එක්සත් වී ඇත.ඉන් පසුවද සිය දහස් වර මිශ්‍ර වී ඇත. එහෙත් මේ සියල්ල සිදුවී ඇත්තේ එක් පදනමකිනි.එනම් ස්වදේශීය ලෙස වර්ධනය වූ අපටම ආවේණික රිද්මයකටය.විජය එළාර වැනි ආක්‍රමනිකයන් මෙන්ම පසුකලෙක සිදුවූ දකුණු ඉන්දියානු ආක්‍රමණ වලින්ද දේශිකයන්ට එක්සත්වීමේ අගය වැටහුනි.ආක්‍රමනිකයන් ලෙසද සංක්‍රමනිකයන් ලෙසද මේ රටට බොහෝ විදේශීය ජාන ලැබුනි. දැනුමද ලැබුනි. එසේම දේශීය ජාන හා දැනුම විදේශයන්ටද ලැබුනි.



Sunday, April 13, 2014

කිරි ඉතිරේවා නව වසරේ - හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා

ලෝකයේ විවිධ ජාතීහු වසන්ත සැණකෙළිය සමරති.එය අප්‍රේල් මාසයේම බොහෝ රටවල සිදු කිරීම විශේෂ දෙයකි.ලාඕසය තායිලන්තය මියන්මාරය හා ජපානය වැනි රටවලද මෙය උසස් අන්දමින් පවත්වනු ලැබේ.එසේම මෙහි නැකැත් ශාස්තානුකූල පදනමද සුවිෂේෂය එනම් සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට යාමයි. මේ නිසා මෙයට නිශ්චිත දවසක් නැත.ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යන බව ලෙනේ. රොබර්ට් නොක්ස් එදා හෙළදිව පොතේ සදහන් කලේ අලුත් අවුරුද්ද මාර්තුවේ සැමරූ බවයි. අනාගතයේදී එය මැයි මාසයට යනු ඇත. අප්‍රේල් මාසයේම රදවා ගැනීමට නම් මීන රාශියෙන් මේෂ රාශියට යනවාය කියන කතාව වෙනස් කර ගන්නට සිදුවේ.

අවුරුද්ද පිළිබද විවිධ මත තිබේ. එකක් නම් හෙළයා ගේ අතිශයෝක්තියට නැංවූ ඉතිහාසය මතුකර පෙන්වන අවස්ථාවක් ලෙසයි. නම් හිරු ඇදහූ ආදි හෙළයා යට ගිය දවස ලෝකයෙන් අඩක් පමන පාලනය කර ඇත.එදා සිව්හෙළය අතිතිවිශාලය. එය ක්‍රමයෙන් ක්ෂීන වී කුඩා රටක් වී තිබෙන වර්තමානයේදීද අප එය සමරණ බව එක් මතයකි.මේ මතය වචන වල පද නිරුක්ති ලෙස ගත් එකකි. කලින් පෝස්ට් එකේ සදහන් කළේද එයයි.එය මිත්‍යාවක් බව නොකිවමනාය.අපට අධිමානයක් අවශ්‍ය නැත.එවිට එය විහිලුවක් වන බැවිනි

විවිධ පළාත්වල විවිධ විශේෂීකරනයන්ට ලක්ව අවුරුද්ද සැමරුවද එකම මොහොතක රටම යම් සිරිතකට වැඩකිරීම ඉතා වටී. එහිදී ජාතික එකමුතුවක් ඇතිවේ. නැකැත් ශාස්ත්‍රය විශ්වාස නොකළද මෙය ඉතාම වටින්නේ එම කරුණ නිසාය.

එහෙත් අවුරුද්ද මත්පැන්බී කලහ කරන අනතුරු සිදුකර ගන්නා දිනයක් බවට පත්වීම කණගාටුදායකය. එහෙත් එය පවා අවශ්‍ය දෙයක් ලෙස සිතමි. මන්ද අවුරුද්දේ එක් දිනක්වත් මෙසේ පිස්සු කෙලීමට අවකාශ තිබිය යුතු බැවිනි


අවුරුද්ද ආශ්‍රිතව තිබෙන මතවාද අතරින් මගේ අවධායට ලක්වුනේ සමහරු  මෙය දෙමළ ජනතාවගෙන් හොරා කෑ එකක් ලෙස පෙන්වා දුන් නිසාය.ලෝකයේ කිසිදු ජාතියකට තමන්ගේම යැයි කිව හැකි සියල්ල නැත.එහෙත් ඇතැම් ජාතීන් සතුව සුවිශේෂතා ඇත.චීන,යුදෙව් හා අරාබීන් එවැන්නෝය. ඉන්දියාව යනු සුද්දා  විසින් නිර්මාණය කරන ලද්දකි.බුදුන්  සිටි කාලයේ සිටි ජනකොටස් විවිධ අද නැත.ඉන්දියාවේ විවිධ භාෂාවන් සිටින විවිධ ජාතිකත්වයන් සහිත දේශයකි.

එහෙත් අරාබීහු ඉස්ලාමයද යුදෙව්වෝ යුදෙව් හා ක්‍රිස්තියානි ආගම්ද චීන්නු ටා ඕ ,කොන්ෆියුසියස් ආගම්ද වෙඩි බෙහෙත් ආදිය ලොවට දුන්හ.
ඉලක්කම්,වෘත්තය වැනි ගණිත ක්‍රම ආදිය පුරාණ ඉන්දු අරාබීන් නිර්මාණය කළහ.
එහෙත් වර්තමානයේ කිසිම දෙයක් තමන්ගේ යැයි කීමට කාටවත්ම බැරිය.ඕනෑම ජාතියක නිර්මාණයන්ට වෙනත් ජාතීන්ගේ දායකත්වය ලැබී ඇත.

ඔබ ඔය කියන දෙමළ ශ්‍රේෂ්ටත්වය ඔවුන්ට උතුරු ඉන්දියාවෙන් ළැබුනකි.
එසේම සිංහලයෝද පැරණි ජාතියක් ලෙස යකඩ කර්මාන්තය .වෛද්‍ය කලාව,වාරි කර්මාන්තය ආදී බොහෝ දේ ලොවට දායාද කළහ. වාරි කර්මාන්තය අපටම ආවේණික සුවිශේෂත්වයකි. 
අපට අධිමානයක් මෙන්ම හීනමානයක්ද අවශ්ය නැත. 

අනෙක් අතට අවුරුද්ද දෙමලුන්ගෙන් ආවා යැයි  යමෙකු කියන්නේ කෙසේද?දෙමලුන්ගේ අලුත් අවුරුද්ද තයිපොන්ගල්ය. මට සිතෙන්නේ මේ අවුරුද්ද අපෙන් දෙමළු ගත් එකක් ලෙසයි.ඉන්දියාවේ මේ උත්සවය මහ ඉහලින්පැවැත්වෙන්නේ නැත.එබැවින් මෙය කොහෙන්වත් ගෙඩි පිටින් ගත්තක් නොව අස්වනු නිවසට ගැනීමේ ප්‍රීතිය හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් විකාශනය වූ අපේම උත්සවයකි

මෙන්න අපේ දේවල් ගැන කළ සොයා ගැනීමක්. මෙය සත්‍ය නම් තුර්කියේ මුලින් තිරිගු වගා කළ අයටත් කලින් අප වී වගා කරලා.ඉතින් අස්වනු නෙළා ගන්නා උත්සවක් අනුන්ගෙන් ගන්න ඕනද

http://vidya-gaweshana.blogspot.com/2014/04/blog-post.html

පහන් සිතක් සේ නෙතු දැල්වේවා
 වසන්තයක් සේ දිවි සරු වේවා
 පියුම් විලක් සේ සුවද දැනේවා
මේ නව වසරේ කිරි ඉතිරේවා



                                  බ්ලොග් එක කියවූ සැමටත්
                               බ්ලොග් එක කියවන සැමටත්
           අනාගතයේදී බ්ලොග් එක කියවන සැමටත්
     අනාගතයේදී   බ්ලොග් එක කියවන්නට
                    බලාපොරොත්තු නොවන      සැමටත්

සියළු පැතුම් ඉටුවන යස ඉසුරින් පිරි දුක් දොම්නස් නැති සුබම සුබ නව වසරක් වේවා