Sunday, March 16, 2014

මැදින් පොහෝදා යකාගෙ කවි


මැදින් මහ පොහෝ දින 
උදේ සිට ඇදි ඇදී ගිය
කඳු අතර හෙල් අතර
ගමන නිම විය සවස

විඩා  බව හැර පියා
ජනේලද හැර පියා
සිසිල් සුලඟක් පතා
පුටුවටම බර වුනෙමි



දහවලම ගිල ගත්ත
මහා රකුසෙකු ලෙසින 
හාත්පස පැතිර ඇති
අන්ධකාරය රජෙකි

නැත නින්ද මා අසළ
සිතට රැය දැනී නැත
ඒ  නිසා ලැපද ගෙ                                              
සිත එයට වගුරුවමි.

මේ ලියන ඇඩ්මින් මෙමා 
තවත් එක් සතෙක් බව
පිරිසිද දැනගෙනම
ලෝසතුන් දෙස බලමි

ඒ මහා සත්ව කැළ
කෙළවරක් නැති සසර
සැරිසරන කතන්දර
අප සැවොම අසා ඇත

සියල්ලෙන් වියෝ වූ
ආත්මය හෝ සිතක්
නැති බවම වදාලූ 
බුදු සිරිත මම දකිමි.

නැති සිතක් යළි නසන
දරන මෙහෙයක් කුමට
ලොවට ඇලුමක් නැතිව
ලොවම දෙස බලනු මිස

පුහුණු කළ විට මනස
ලොවේ රස විඳ විඳම
එයට නොම වී ගොදුරු
යෙහෙන් දවසැරිය හැක

මේ දහම සනාතන
දත් පබසර සිතම
බැබලේ ආනන්දයෙන්
නිරන්තර ප්‍රීතියෙන්

23 comments:

  1. නියමයි.. යකා ලිවුව කවියක් මේ කියෙවුවමද මන්දා..

    ReplyDelete
    Replies
    1. මම මීට ඉස්සර සමහර අයගෙ පෝස්ට් වල කොමෙන්ට් විදියට මෙහෙම කවි දාල තිබෙනව.
      මට නිකමට හිතුන මෙහෙම එකක් දාන්න

      Delete
  2. හැබෑට යකාත් හොද කයි කාරයෙක් නෙව... මේ යකත් මාර යකෙක් කෙන

    ReplyDelete
    Replies
    1. මේව ලිව්වට සදැස් ලියන්න මට බෑ.
      බෑ කිව්වට ඉතින් බැරිත් නෑ. මම ඒවට එච්චර කැමති නෑ. මට හිතෙනව මෙතන මම ලොකු පෝස්ට් එකක දාන්න ඕන හුඟක් දේවල් දැම්ම කියල

      Delete
    2. නිවාඩු දවසෙ කිලෝමීටර් සිය ගනනක් නුවර පැත්තෙ වාහනේ එළවල ගෙදර ඇවිත් නිදා ගන්න හැදුවත් රස්නෙ හරියට.
      ඒ නිසා ජනේලෙ ඇරගෙන හුලන්වදින්නත් එක්ක ඉන්න කොට ඇතිවුන සිතිවිලි තමයි මේව.

      Delete
    3. ඒකාකාරී බවෙන් මිදෙන්නත් එක්ක කවි පදයක් දෙකක් කියන එක හොඳා.

      Delete
  3. උඹ එහෙනං කවිකාරයෙකුත් .....
    සුපිරි...

    ReplyDelete
    Replies
    1. හැකි හැම ක්‍රමයකින්ම අදහස් ප්‍රකාශ කරන්න තමයි ඉතින් උත්සාහය. ඉදිරියෙදි විද්‍යා ප්‍රබන්ධ එහෙමත් දානව. අනෙක් බ්ලොග් කියවන කොට තමයි අදහස් එන්නෙ බ්ලොග් එකට අරව දාන්න ඕන මේව දාන්න ඕන කියල.

      Delete
  4. යකා කවි බණ කියන්න පටන් ගෙන

    ReplyDelete
    Replies
    1. මෙතන මම බෞද්ධ දර්ශනය ගැන කතා කරනව. බුදුන් වහන්සෙ සිත පිළිබඳ අගනා විග්‍රහයක් කළත් ඒක අද එක එක අය එක එක විදියට අර්ථ කථනය කරමින් ඉන්දියානු පුදපූජා ගෙඩිය පිටින්ම අරන් හැම සංකල්පයක්ම වැළදගෙන අච්චාරුවක් කරල.ගස්වලට ඇඳුම් අන්දනව පිළිමවලට කෑම කවනව.බුදුන් වහන්සේ ඉන්දියන් මොඩලයේ දෙවියෙක් කරල. ඒ මදිවට මැදපෙරදිග යක්ෂ සංකලපය අරන් මාරයෙකුත් හදල.සර්වබලධාරී දේව සංකල්පෙන් බෝධිසත්ව සංකල්පයකුත් හදාගෙන.
      ඒත් සැබෑ බුදුදහම කියන්නෙ සියළු උපාදානයන්ගෙන් මිදිල නිදහස්ව ඉන්න.

      සියළු බලපෑම් වලින් වියුක්තව සිත තාබා ගන්න.සමස්තයෙන් වියුක්ත ආත්මයක් නෑ.ආත්මයට සිතිවිලි පරම්පරාවක් කියල වමක් හදාගෙන හින්දු මොඩලයේ පුනරුත්පත්තියකුත් හදාගෙන.

      ඇත්තටම මම කියල කෙනෙක් නෑ.මේ නැති "මම "ලැබිය යුතු විමුක්තියකුත් නෑ.ලෝකයේ සෑම දෙයක්ම විඳීමේ වරදක් නෑ. හොඳ නරක කියා දෙයක් නෑ.දුක් සැප කියා දෙයක් නෑ. ඒ සියල්ල අපෙන් වියුක්තව පවතින දේ පමණයි.මෙසේ සිතාගෙන යන විට අපත් අපෙන් වියුක්තයි. ඒ කියන්නෙ මම කියල කෙනෙක් නෑ. පැහැදිලිවම මේක තමයි බුදුන් වහන්සේ දේශනා කළේ.

      මේ සත්‍ය විග්‍රහය පසුකාලීනව වෛදික සංසාරයේ ගිල්වනු ලැබුවා.ඉන්පසු දාර්ශනිකයෙකුවූ බුදුන් වහන්සේ දේවාතිදේව බ්‍රහ්මාතිබ්‍රහ්ම චරිතයක් බවට පත් කළා.බුදුන් වහන්සේට ධර්මය දෙසන ලෙස ආරාධනා කරන්නත් බ්‍රහ්මයෙක් ඕන වුනා. ඒත් බුදුන් වහන්සේ පමනක් නොවෙයි බොහෝ චින්තකයන් තර්ක කළේ බ්‍රහ්මයාට එරෙහිවයි.

      පසුව මිනිස් ලෝකයේම පොටෝ කොපි වැනි දිව්‍ය ලෝක,බ්‍රහ්ම ලෝක නිර්මාණයකරනු ලැබුවා.සිත නැති කය ඇති බ්‍රහ්ම ලෝක ( කිසිදු සංවේදනයක් නැති )මල් කඩන කන බොන ලිංගික වශයෙන් ( ස්ත්‍රී පුරුෂ )
      සිටින දෙවිවරු, කිසිම වැඩක් නැතිව ඔහේ සිටින බ්‍රහ්මයන් පිළිබද කතා නිර්මානය වුනේ එහෙමයි.මනුස්ස ලෝකයේ නම් ගෑනු පිරිමි ඉන්නෙ ලිංගික ප්‍රජනනයට. හිටිගමන් ආහාර පහලවෙන කන බොන දිව්‍ය ලෝක කතා වගෙ දේවල් ඇති වුනා.

      ඒත් බුදුන් වහන්සේ දේශනා කළේ මීට වඩා වෙනස් බුද්ධිමය දර්ශනයක්

      Delete
  5. නියම පද වැල. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. හැමදාම මේ වගෙ සබ්ජෙක්ට් වලට ලොකු පොස්ට් දානවට වඩා වෙනසක් කරන්න හිතුව. වැඩේ සාර්ථකයි කියල හිතෙනව. අර වගෙ පෝස්ට් තේරෙන්නෙ නෑ කියලත් සමහරු කියනවනෙ. සමහර අයට මේකෙ අර්ථෙ තේරුනේ නැතත් මේක ඔහෙ කියවලවත් දාන්න පුළුවන්නෙ කියල හිතුව.

      Delete
  6. යකෝ යකා යක්ස කවි යකෙකනේ ..පට්ටයි මචෝ......උඹේ දේශපාලන ලිපි කියවලා එපාවෙලා හිටියේ ඇත්තටම ...උඹ කවි ලියන්න උපන් හපනෙක් නොව

    ReplyDelete
    Replies
    1. ඔවු දැන් මේක මම ලිපියක් විදියට දැම්මනම් නීරස එකක් වෙනව. මම හිතනව ඉතා සරලව යමක් මෙහෙම කියන්න පුළුවන් කියල.මේකෙ සියුම් දාර්ශනික අදහසකුත් හංගල තියනවා.

      Delete
  7. යකාගෙ කවියක් කියෙව්වෙ අදමයි මයෙ හිතේ.......හොඳ නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකක් විදියටනම් මේක තමයි මුලින්ම පළ කරපු කවිය. හැබැයි කොමෙන්ට් විදියටනම් කවි පළකරල තියෙනව.
      අදහස් ප්‍රකාශනයෙදි ලිපියකට වඩා සුන්දරව කෙටියෙන් යමක් කියන්න පුළුවන් කවි වලින්.ඒක ඔයාලගෙ බ්ලොග් එකේ කවි කියවනකොටත් මට තේරුම් ගිය දෙයක් තමයි.

      Delete
  8. බොහෝම අපූරු කයි පද බැඳීමක්. යකා කියනවා වගේ පිරිසිඳු බුදු දහම මෙතන තියෙනවා. මල් මසුරන්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පිරිසිදු බුදුදහම ගැන කියන්නයි මට උවමනා කළේ. මම අපක්ෂපාතී නිගමන වලට එන්න හුඟක් පොත් කියවන කෙනෙක්. එදා සුනීතල සෝපාකල වගෙ පොඩි ළමයි,කිසා ගෝතමීල වගෙ නූගත් ගෑනු,නූගත් ගොවියො කවියක්වත් පාඩම් කර ගන්න බැරි චුල්ලපන්ථකල එහෙම ඉක්මනින් ධර්මාවබෝධය ලැබුව කියනව.ගාථා පද දෙකක් තුනක් ඇසූ පමනින් කෝලිතල උපතිස්සල ධර්මාවබෝධය ලැබුව කියනව. ඒ කියන්නෙ ධර්මය ඔය කියන තරම් සංකීර්ණ නැහැ. අපි එක එක අටුවා ටීකා හදාගෙන පැටලුන නූල්බෝලයක් කරගෙන.
      මේ සරල බව පිළිගන්න අකමැති වුන අපි ඊට පස්සෙ මේ සරල දේ තේරුම් ගත්ත අය මහා පින් ඇති අය බවට පත් කර ගන්නවා.ඊට ප්ස්සෙ කෙළවරක් නැතිව ඒ අයගෙ පෙර ආත්ම කතන්දර නිර්මානය කරනව. ඊලඟට එක එක විදිහෙ පුද පූජා. එක එක සංකල්ප හැම තැනින්ම ආනයනය කරනව.

      ඇත්තටම පිළිම වන්දනාව,වෘක්ෂ වන්දනාව,වැනි ළාමක දේවල් පුරාණ ඉන්දියානුවාගෙ ඇදහිලි. ඒව පසුකාලීනව ආ දේවල්.සරල කම අපට මදිකමක් නිසා අපි හැම දෙයක්ම ණයට ගන්නව ලොකු කරගන්න. දැන් අසපුවල ගීතිකාත් කියනවලු.

      අපි මේ නූල් බෝලෙ පැටලුම් ඇර ගන්න ඕන ඔක්කොටම ඉස්සර

      Delete
    2. මමනම් එකඟ නෑ ඔය ටින් ගාලා රහත් බව අවභෝධවුනා කියන මෝඩ කතාවලට. ඕවා හොඳයි දහ අටවන සියවසේ උපාසක අම්මලව චූන් කරන්න. මට පොතක් අහුවුනා වියට්නාම් හාමුදුරු නමක් ලියපු එකක පරිවර්තනයක්. හාමුදුරුනමක්මයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඒක එක තැනක කියනවා හරි විදිහට බාවනා කරන්න අරගෙන අඩුම ගානේ අවුරුදු හයක්වත් යනවලු අරහත් තත්ත්වයට එන්න. වෙන්න පුළුවන් කියලා අපිට ප්‍රායෝගිකව වැටහෙන දේත් ඒකමනෙ.

      Delete
  9. යකාට කවි ලියන්නත් පුලුවන්නේ හැබෑට. උඹ නම් යකෙක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. මම හිතනව අපි හැමෝටම කවි ලියන්න කියන්න පුළුවන් කියල. හුඟක් විදේශීකයන් සිංහලයගෙ ලේ වල තිබෙන මේ ගතිය විශේෂයෙන් දක්වල තිබුන.සිංහලයන් හිටි ගමන් මහ හඩින් කවි කියන කොට පෘතුගීසීන් තමන්ගෙ වැඩ නවත්වල අහන් ඉන්නවලු.ඒ අය වාර්තා කරල තිබෙනව.ඒ කවි මේව නොවෙයි ජනකවි.පුරාණයෙ කවියට කවිකාරයන්ට පුදුමාකාර ඉහල තැනක් ලැබිල තියෙන්නෙ.

      Delete
    2. යකාට බැරිද මේ කාන්තා විමුක්තිය වගේ මතවාද සමාජය ලෙඩ කරවන එක ගැන කවියෙන් කියන්න?

      Delete
  10. කවිපංතියනම් අපූරුයි, කිවුවට මොකද මටනම් මෙහෙම කවි සිතුවිලි පහල වෙන්නේ නෑ. උඹේ උත්සහය මම අගය කරනව.

    ReplyDelete