Sunday, March 30, 2014

යකාගෙ දේශපාලන විග්‍රහය 2014 ( බස්නාහිර දකුණ පළාත් සභා මැතිවරණ )

මැතිවරණ විචාරයක් කරන පළමු අවස්ථාවයි.මීට පෙර පැවති මැතිවරණ වලදීද විවිධ අදහස් හිතට ආවද කියා ගන්න ක්‍රමයක් නොවීය. එහෙත් තාක්ෂණයට පින්සිදුවන්නට දැන් ඒවා තවදුරටත් සිතිවිලිම නොවේ.
සාමාන්‍යයෙන් ඕනෑම මැතිවරණයකදී පරාජිතයන් කියන්නේ රටේ වැඩියෙන් ඉන්නෙ හරක් කියාය.ජයග්‍රාහකයන් කියන්නේ බුද්ධිමත් ජනතාව චන්දය පාවිච්චි කර ඇති බවයි. එහෙත් මේ කතා දෙකම සත්‍ය නොවේ.

කෙසේ වතුදු මෙම මැතිවරණය සුවිශේෂී මැතිවරණයකි. ඊට හේතුව රටේ උගත් බුද්ධිමත් ජනතාවක් වෙසෙන පළාත් දෙකෙහි පැවති මැතිවරණයක් වීමයි.විශේෂයෙන් බස්නාහිර පළාතේ උගත් මධ්‍යම පන්තියක් වෙයි.ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කය යනු විශාල සුළුජාතික චන්ද පදනමක් සහිතය එසේම  නාගරික චන්දදායකයන් වෙසෙන ප්‍රදේශයකි.වෙනස්වීම් වලට මුලින්ම සංවේදී නාගරික චන්දදායකයන්ය.

2009 සිටම විපක්ෂය බින්දුවට බස්සමින් ජය පිට ජය ලබමින් ඉදිරියට ආ ආණ්ඩුව යම් පසුබෑමකට ලක් වූ නිසා මේ මැතිවරණය අධ්‍යනය කිරීම වැදගත්ය. එසේම අපට කිසිම දේශපාලන පක්ෂපාතීකමක්ද කිසිවෙකු කෙරෙහි නැති නිසා එය වඩාත් පහසු වෙයි.කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල සුවිශේෂී වන්නේ එහිදී ආණ්ඩුවට වඩා විපක්ෂයට ඡන්ද වැටී තිබීම නිසාය. 17 වසරක් පැවති එජාප ආණ්ඩුව ගෙදර යැවීමේ පළමු වෙඩිමුරය තැබුවේද කොළඹ ජනතාව බව මෙහිදී කිව යුතුය. ඒ 1993 පළාත් සභා මැතිවරණයේදීය.එම චන්දයේද කොළඹ එක්සත් ජාතික පක්ෂය තනිව ගත් ආසනවලට වඩා විපක්ෂයේ අනෙක් පක්ෂ ගෙන ඇත. වයඹ හා දකුණේ වැට උඩ ආණ්ඩු පිහිටුවන ලදී. මෙහිදීද ලැබුනේ එවැනි සඥාවක්ද?

මෙම ඡන්දයේ තවත් වැදගත්කමක් නම් මෙතෙක් කල් අනභිභවනීය යැයි සිතා සිටි ආණ්ඩුව මැතිවරණයකදී පරාජය කළ හැකිය යන මතය විපක්ෂ ඡන්දදායකයා තුල ඇතිවී තිබේ.මෙවැනි තත්වයක් ඇතිවීමට හේතු මොනවාදැයි බලමු.එජාපය කොළඹැ දිස්ත්‍රික්කයේ ජයගෙන ඇති සියළු ආසන විශාල සුළුජන පදනාමක් සහිත ආසන වේ.රත්මලාන හා දෙහිවල පවා සුළුජන ඡන්ද පදනම ඉහල ගොස් ඇත. මෙය එක් එළඹුමකි.


එසේම ආර්ථික දුෂ්කරතා වැඩියෙන්ම දැනෙන්නේ නාගරිකයන්ටය. එජාපය ජයගෙන ඇති සියළු ආසන නාගරික ආසන වේ.ගාල්ල පවා සුළුජන ඡන්ද පදනමක් සහිත නාගරිකයකි. එහෙත් මෙය එකම එළඹුම ලෙස ගැනීමට අප අකමැත්තෙමු.


නාගරික ප්‍රදේශවල ජනතාව අන්තර්ජාලය භාවිතයද ඉහල නිසා දූෂණ වංචා නාස්තිකාරකම් හා වෙනත් දුෂ්ටකම් ගැ ගැමියන්ට වඩා දැනුවත් බවකින් සිටිති.සියළුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නිර්වින්දනයට ලක් වී ඇති නිසා අන්තර්ජාලය පරිහරණය නොකරන අය ළිදේ සිටින මැඩියන් සේය. නමුත් ගම් මට්ටමේ හොරාකෑම් සිදුවෙන බව ගැමියෝද දනිති.ඉන් එහා දේවල් ගැන කටකතාද යයි.එහෙත් නාගරික සයිබර් ජනතාව මෙන් නොවේ


මෙම මැතිවරණයේ එක් සුවිශේෂී ප්‍රතිඵලයක් නම් මාතර ඡන්ද බලප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලයයි. එය කොළඹ සමස්ත ප්‍රතිඵලයට සමාන විය. ඊට හේතුව මාතර දුරාව කුලයේ ජනතාව බහුල වීමත් දුරාව කුලයේ පුද්ගලයෙකු එජාපයේ ඉදිරිපෙළ ප්‍රහාරකයෙකු වීමත්ය.කුල සාධකය මැතිවරණවල ඉතා ප්‍රමුඛ සාධකයකි.


මෙම මැතිවරණයේදී කෙනෙකු පුදුමයට පත් කරවන ඡන්ද ප්‍රතිඵලයක් නම් හම්බන්තොට ප්‍රතිඵලයයි. බැලූ බැල්මට යමක් කීමට ඉක්මන් විය යුතු නොවන්නේ හම්බන්තොට යනු සුවිශේෂී දේශපාලන කලාපයක් නිසයි.2001 මැතිවරණයේ හම්බන්තොට ප්‍රතිපලයට අනුව හම්බන්තොට ආසන හතරම එජාපය ජයගෙන තිබිණි.එහෙත් හම්බන්තොට යූඇන්පී දිස්ත්‍රික්කයක් නොවේ.එසේනම් යූ ඇන් පී දිනන්නේ කෙසේදැයි බලමු. හේතුව පොදු පෙරමුණ හා ජවිපෙ වෙනම ඉල්ලීමයි. ඇත්තෙන්ම හම්බන්තොට යනු විශාල ජවිපෙ ඡන්දදායක පිරිසක් සිටින ප්‍රදේශයකි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පවා ජය ගැනීමට ජවිපෙ සමත් විය.එසේම මහා සංහාරයෙන් පසු 1994 දී ජවිපෙට මන්ත්‍රී ආසනයක් දිනා ගත හැකිවුනේද හම්බන්තොටිනි.



2005 න් පසු හම්බන්තොට විශාල සංවර්ධන වැඩ රාශියක් කරන ලදී. රජයේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයද හම්බන්තොටයි. මීට පෙර 2009 දී ඌව පළාතේ දිස්ත්‍රික්කවල ප්‍රතිඵලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලත් විමසන විට ඌවේ දිස්ත්‍රික්කවල රජය 80% පන්නා දිනන විට හම්බන්තොට ජයගත් ප්‍රතිශතය ඊට බෙහෙවින් අඩු විය.


මෙම මැතිවරයේදී හම්බන්තොට දී ආණ්ඩුව ලබා ගත් ඡන්ද ප්‍රතිශත සැළැකිය යුතු ලෙස අඩුවී ඇත. එයට හේතුව ජවිපෙ පිබිදීමයි එසේම දකුණු පළාතේ සියළුම ප්‍රදේශවල ජවිපෙ පිබිදීමක් දක්නට ඇත. ෆොන්සේකාගේ පක්ෂය බස්නාහිර දී ජවිපෙ ඉක්මවා තෙවන ස්ථානයට පත් වී ඇත.


එසේම අනාකලී හා නදීශා අන්ත පරාජයට පත්වීම තවත් අපූරු සංසිද්ධියකි. එහෙත් ගාල්ලේදී ගීතා ජයගෙන ඇත.ගම්මන්පිළ පරදවා හිරුනිකා කොළඹින් අංක එකට පැමිණීමද විශේෂ දෙයකි.

දේශපාලන පක්ෂ ආගම් ලෙස අදහන කිසියම් ප්‍රතිශතයක් තමන්ගේ ලේ කොල පාට හෝ නිල්පාට යැයි සිතති.එහෙත් මේ පිරිස එන්න එන්නම අඩුවෙමින් යයි.ආණ්ඩුව ලබන ඡන්ද හුදෙක් ශ්‍රීලනිපයේ ශක්තියක් ලෙස සැළැකිය යුතු නැත. යූ ඇන්පී කාලෙ එජාපය තනි පක්ෂයක් ලෙස ඡන්ද ගත්තේද මේ ලෙසමය.

සමහර අය කියන්නේ 2009 දී යුධ උනුසුම නිසා ගත් ඡන්ද ප්‍රතිශත මෙවර අඩුවූ බවයි.එහෙත් 2013 වයඹ මධ්‍යම පළාත් සභා වල ආණ්ඩුව ලබා ගත් ඡන්ද ප්‍රතිශත 2009 දී ඒ දෙපළාතේදී ගත් ප්‍රතිශතවලට වඩා වැඩිය.එසේම ජිනීවා කරුණු මැතිවරණ ප්‍රතිපලයට බලපා නැත.


මෙම ඡන්දයේදී ජවිපෙ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හරහා අළුත් මුහුණු රැසක් මතුවී ඇත.මේ අය ආන්ඩුවට ගියත් මේ අයට තමන්ගේම කියා ජනබලයක් නැති නිසා ලොකු වෙනසක් සිදු නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ෆොන්සේකා  මත පදනම් වන අතර ජවිපෙ න්‍යාත්මක දේශපාලනයක් කරන්නකි.එහිදීද පුද්ගලයා වැදගත් නැත.නමුත් පුද්ගල එහා මෙහා වීම් වලදී මොරාල් ඩවුන් වීම නම් සිදුවේ.


මේ මැතිවරණයේදී තරුණ ඡන්ද ගිනිසිළුවට හෝ ජවිපෙට ලැබී ඇත. ඇත්තෙනම් අද පාවෙන ඡන්ද වැඩිය.මෙම පක්ෂ දෙකම නාස්තිය හා දූෂණය තම ප්‍රධාන තේමාව කර ගත්හ.මෙම පක්ෂ ශක්තිමත්වීම වත්මනේදී ප්‍රජාතන්ත්‍රවාදයට හොඳය.


මේ මැතිවරනයේදී මෙසේ වුනත් ඊලඟට තිබෙන ඌවේදී මෙය හාත්පසින්ම වෙනස් වී ආණ්ඩුව 80% පන්නා ඡන්ද ප්‍රතිශත ලැබීමට ඉඩ ඇත.කෙසේ වෙතත් රජය තේරුම් ගත යුතු කරුණක් තිබේ.එනම් රට පුරා පැතිර ඇති වංචා දූෂන හා නාස්තිකාරකම් ගැනය. ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂයටාද අවාසියට හිටින්නේ දූෂන හා වංචාවන්ය. දිල්ලි ප්‍රදේශය  කොන්ග්‍රස් බීජේපී දෙකෙන්ම ගිලිහී අළුත් පක්ෂයකට ගියේ ඒ නිසාය. ශ්‍රී ලන්කාවේ වංචා  හා දූෂනයට අමතරව නාස්තිය ද වෙයි.බොරු වැඩ විකාර වැඩ සෝබන වැඩ ද වෙයි.


පොඩ්ඩන් මෙන්ම ලොක්කන්ද නීතියට අවනත වන එතනෝල් හා කුඩුවලින් තොරවූ වංචා දූෂන නැති යහපත් රටක් බිහිවීමට මේ මැතිවරණ ප්‍රතිඵලය හේතු වාසනා වේවා.


****                    *****                          *******

පසුව ලියමි

මේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය.නැවත කේවළ ක්‍රමයට යාම විසදුම නොවේ.මැතිවරණයේදී ඡන්දදායකයාගේ මනස සකස් කිරීම අවම කිරීමටත් ඕනෑම කෙනෙකුට ඡන්දයට ඉදිරිපත් වීමට හැකිවන ලෙසත් කිසියම් වෙනසක් විය යුතුය.එහිදී ප්‍රායෝගික සුළු අදහසක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.මෙය කේවළ හා සමානුපාතික ක්‍රම වල මිශ්‍රනයකි. එනම් හැම ආසනයකටම ලැයිස්තුවක් ලබා දී එයින් කැමති කෙනෙක් තෝරා ගැනීමට ඉඩ දීමයි.


උදාහරණයක් ලෙස බොරැල්ල ආසනය ගනිමු. බොරැල්ල ආසනයේ ජනතාව තමන් කැමති පක්ෂය දිනවා එම පක්ෂය විසින් නම් කරන කෙනා ස්වයංක්‍රීයව පාර්ලිමේන්තු නොයවා බොරැල්ල නාම ලේඛනයෙන් තමන් කැමති කෙනෙක් නම් කර යැවිය හැක.මෙහිදී හැම ආසනයකටම මන්ත්‍රීවරයෙක් සිටින අතර මැතිවරණය දිස්ත්‍රික්කයේම ධනවත් බලවත් දෙතුන් දෙනෙකු ගේ ඒකාධිකාරයක් වෙන්නේද නැත.මෙහිදී මන්ත්‍රීවරු පක්ෂ නායකත්වය සමඟ පෙර මෙන් දැඩි ඍජු සම්බන්ධතාවයක්ද නැත.






15 comments:

  1. ඒ විදිහට බැලුවම මරාණ්ඩුව (මරා + ආණ්ඩුව) ගෙදර යැවීමේ පළමු වෙඩි මුරය මෙය විය හැකියි.

    ReplyDelete
    Replies
    1. ඔවු එවැනි අවදානමක් තිබෙනවා. ආණ්ඩුව මෙතනදි බුද්ධිමත් වෙන්න ඕන. 1993 පළාත් සභා චන්දෙදි එවකට තිබුන විපක්ෂය බස්නාහිර පැහැදිලිවම දිනුව. චන්ද්‍රිකා මහ ඇමති වුනා. ගැටළුව තිබුනෙ වයඹයි දකුණෙයි.ඒ දෙකෙත් බහුතර ආසන විපක්ෂයට. යූ ඇන් පිය තනි පක්ෂයක් ලෙස ඉදිරියෙන් හිටියත් විපක්ෂෙ එකතු කළා ම වැඩියි.අනික ඒ විපක්ෂය අද වගෙ ඒකාබද්ධ නොවුන එකක් නොවෙයි ( කොළඹ ප්‍රතිපලය ) පොදු පේරමුනයි රාජාලිය පක්ෂෙයි එකට කැම්පේන් කළේ.එතන යූ ඇන් පිය පළාත් තුනේම පැහැදිලිවම පැරදුනා. බස්නාහිර උඩින්ම පැරදිලා චන්ද්‍රිකා මහ ඇමති වුනා. අද එහෙම දෙයක් වෙලා නෑ.


      එවකට තිබුන ඩී බී විජේතුංග රජය වගෙ ගොන් වැඩ මේ අය කරයි කියල හිතන්න බෑ. කෙළින්ම 1993 එක්ක සංසන්දනය කරන්නත් අමාරුයි. එදා වගෙ ආණ්ඩු විරෝධයක් රටේ නෑ. ඊලඟ ඌවෙ චන්දෙදි ආයෙ 80% ඉක්මවන්නත් ආණ්ඩුව ඉඩ තිබෙනව.
      මෙතනදි මෙහෙම දෙයක් තිබෙනව කියන්න මේක මගෙ මතය. එදා ඩී බී මහ චන්දෙ ට යන්න සූදානම් වුනහම රනිල් එජාප නායකයන් එක්ක ඇවිත් ඇවිත් කිව්වලු. ඉස්සරවෙලා ජනාධිපට්‍රහිවරනෙ තියන්න .මුළු ශක්තිය යොදල මුහුණ දෙමු කියල.නමුත් ඩීඑ බී ඉස්සරවෙලා මහ චන්දෙට ගිය එක මෝඩකමක්. රනිල්ට එදත් අදත් මොලේ තියෙනව.

      නමුත් සුළු ජාතීන් තුල යූ ඇන් පිට කෙරෙහි තිබෙන ලැදියාව සුළුජන පක්ෂ සමඟ සන්ධාන ගත වීමට යූ ඇන් පියට තිබෙන හැකියාව වගෙ සාධක මත මුළින් ජනාධිපතිවරනකෙට යන එක යූ ඇන් පියට වාසියි.හැබැයි සංධානෙට ඒකෙ අනික් පැත්ත.

      දැන් රෙඩ් සිග්නල් එහෙමත් වැටිල නිසා ආණ්ඩුව මුලින්ම යන්න ඕන මහ චන්දෙට. මුළු ශක්තිය යොදල ඒක දිනාගෙන ඒ උනුසුම පිටම ජනාධිපතිවරනෙ තියන්න ඕන. ඒ විදියට මේ රජයේ කාලය දිගු කර ගත හැකියි.
      අපි දන්නව 2005 දි මුළු රටම සංධානෙට චන්දෙ දුන්නත් උතුරෙ චන්ද ආවනම් රනිල් දිනන බව. 2010 දි යුධ උනුසුම බලපෑව.ආණ්ඩුවට කළ චෝදනා වලටත් වලංගු බවක් තිබුනෙ නෑ.ආර්ථික ප්‍රශ්නත් මිනිස්සු විද දරා ගත්ත යුද්ධෙ නාමයෙන්. දැන් එහෙම නෑ.

      1993 දි යූ ඇන් පිය පිරිහුන තරම් මේ ආණ්ඩුව පිරිහිලා නෑ. මුලින් මහ චන්දෙකට යන එකේ තව වාසි තිබෙනව. දෙකට දෙවාරෙන් ඉන්න අය එතනින්ම තොලොන්ජි කරල දැම්මහැකි.2001 දි චන්ද්‍රිකා මහ චන්දෙකට ගිහින් ඇන ගත්තට ඒ වෙනකොට චන්ද්‍රිකා මිනිස්සුන්ට අප්පිරිය වෙලා තිබුනෙ. ඒත් මහින්ද ජනාධිපතිතුමා ජනතාව අතර තවම ජනප්‍රියයි .
      මුලින් ජනාධිපතිවරනෙකට ගිහින් දෙකට දෙවාරෙ ඉන්න අය අනෙක් පැත්තට පැනල මොරාල් ඩවුන් වෙලා සුළු ජාතීන් හරහට ඉදල ජාත්‍යාන්තරයත් කට්ට ගැහුවෙත් ලොකු ප්‍රශ්නයක් වෙනව.

      උත්තරේට අමතර දේවලුත් කියවෙන්න ඇති. ඒත් ඒ හැම දෙයක්ම වැදගත් ලිපියෙ කරුණු විග්‍රහ කරන කොට.

      Delete
  2. පලාත්සභා චන්ද වලදී බොහෝ දෙනෙක් එය ගනනකට නොගෙන චන්දය නොදමා ඉඳීමේ සිද්ධියත් තියෙනවා නේද. ඒ අයත් චන්දය දුන්නනම් ප්‍රතිඵලය මේ විදිහටම වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔවු විරුද්ධ පාක්ෂිකයන් පමණක් නොවෙයි ආණ්ඩු පාක්ෂිකයනුත් පළාත් චන්ද වලදි චන්දෙ දෙන්න යනව හොරයි.හැබැයි චන්දෙ නොදෙන වැඩි පිරිස විපක්ෂෙ අය බව මමත් පිළිගන්නව.
      වයඹ මධ්‍යම වගෙ ආකර්ශනීය නායකයො දාල කැම්පේන් එකක් ආණ්ඩුවෙන් කළෙත් නෑ.

      Delete
  3. "ඊට හේතුව රටේ උගත් බුද්ධිමත් ජනතාවක් වෙසෙන පළාත් දෙකෙහි පැවති මැතිවරණයක් වීමයි."
    හැක.. හැක..

    ReplyDelete
  4. //පරාජිතයන් කියන්නේ රටේ වැඩියෙන් ඉන්නෙ හරක් කියාය.ජයග්‍රාහකයන් කියන්නේ බුද්ධිමත් ජනතාව චන්දය පාවිච්චි කර ඇති බවයි. /// මේ කතාවනම් හිනා යන කතාවක් තමයි යකා,

    ReplyDelete
    Replies
    1. ඔවු . මම නම් හිතන්නෙ මේ රටේ නොවෙයි කොයි රටෙත් ජනතාව පූර්ව මනස සකස් කිරීම් වලට ගොදුරු වෙනවා. ඒක මැතිවරණ දිනට පෙර දින පවා සිදුවිය හැකියි. ඇමරිකාවේත් ජයග්‍රහණයට තීරණාත්මක වෙන්නෙ මුදල් එකතු කිරීම්.ඒ කියන්නෙ ඒ මුදල් යොදවන්නෙ මනස සකස් කරන්න.

      Delete
  5. 93 පෙරලිය ඇති උනේ කොළඹින් නොව දකුණෙනි. දකුණු පළාත් සභාවෙනි. එහිදි කුප්‍රසිද්ධ ෆ්‍රැන්සිස්කුකරණය නම් නාඩගමක් එජාපය විසින් රඟ දැක්වීම පරාජය තීව්‍ර කිරීමට බෙහෙවින් ඉවහල් විය. එහිදි ඊට එරෙහිව දියත් වූ සටනේ ප්‍රධාන භූමීකාවක් රඟපෑ මහින්ද අද රටේ ජනාධිපති වී සිටි. මහ ඇමති වූයේ අමරසිරි දොඩංගොඩයි. ආන්ඩු පෙරලියේ ආරම්බය එම උත්තේජනයයි. එමෙන්ම ප්‍රේමදාස මහතාගේ අභාවය යූ ඇන් පීයේ පරාජයට විශාල වශයෙන් හේතු විය. එසේ නොවුනේ නම්, ඉතිහාසය මීට වඩා වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබිනි.

    ReplyDelete
    Replies
    1. ඔවු එහෙම තමයි වුනේ .නමුත් මම කතා කලේ ඊට පෙර පැවති පළාත් සභා මැතිවරණයේදී වයඹ හා දකුණෙන් විපක්ෂය ලද ජය ගැනයි.වයඹ හා දකුණේ පොදු පෙරමුණ හා ප්‍ර.එ.ජා.පෙ ආසන එකතු කළ විට එජාපයට වඩා වැඩියි.නමුත් තනි පක්ෂයක් ලෙස එම පළාත්වල වැඩි ආසන එජාපය ගත් නිසා ආණ්ඩුකාරවරු වයඹ ජයවික්‍රම පෙරේරාටත් දකුණේ එම් .එස් අමරසිරිටත් ආරාධනා කළා. එහිදී ඔවුන්ට එම පදවි අහිමි වුනේ අධිකරණ තීන්දුවකින්. ඩී.බී විජේතුංග යුගයේ අධිකරණය ස්වාධීන වූ බවට එය සාක්ෂියක්. හැබැයි ප්‍රේමදාස මහතා සිටියා නම් එසේ වෙන්නේ නැහැ.

      අමරසිරි දොඩන්ගොඩට මහ ඇමති වෙන්න ත් ලොකු සටනක් දෙන්න සිදුවුනා. එම සටනේ ඉදිරියෙන්ම සිටියේ වත්මන් ජනපති මහින්ද හා රිචඩ් පතිරණැයි. එම විරෝධතාවයේදී ජීවිත දෙකකුත් නැති වුනා.

      ප්‍රේමදාස මහතාගේ අභාවය සිදු නොවුනා නම් 1994 දී පොදු පෙරමුනට බලයට එන්න ලැබෙන්නෙ නෑ තමයි. එහෙම වුනා නම් අද ඉතිහාසය හුඟක් වෙනස් වේවි. ලලිත්ලා ගාමිණීල එජාපයේ සිටියත් ඒ අය වයසට ගිහින් මැරිලා යාවි. චන්ද්‍රිකා සාර්ථක විපක්ෂ නායිකාවක් ලෙස සිට වයසට යාවි. ප්‍රේමදාස මහතාට දේශපාලන අනුප්‍රාප්තිකයන් නොසිටි නිසා ඔහු වියපත් වන විට ඉබේම සජිත් ප්‍රේමදාස මහතා එම තනතුරට පත් වේවි.
      එහෙම වුනා නම් මේ වෙනකොට වසර 40 කට වැඩි කලක් විපක්ෂයේ සිටින ශ්‍රී ල නිප පාක්ෂිකයන් හොඳටම මානසිකව වැටීමත් එජාප විරෝධී ප්‍රධානම බලවේගය බවට ජවිපෙ පත් වීමත් සිදුවිය හැකියි.එහෙම වුනා නම් මේ වෙන කොට සජිත් ජනපති ලෙසත් විමල් හෝ අනුර කුමාර විපක්ෂ නායක ලෙසත් සමහර විට ඉන්න ඉඩ තිබුනා.

      Delete
  6. මැතිවරණ ගැන නම් කතා කිරීමට පවා හිරිකිතය.

    ReplyDelete
    Replies
    1. ඔවු ඒත් කතා නොකරත් බෑනෙ. කොහොමටත් මේ මැතිවරණෙ ගැන කතා කරන්න දේවල් තිබෙනවා.ටිකක් වෙනස් විදියෙ දේවල් සිදු වුනානෙ.

      Delete
  7. මේ මැතිවරණ නම් ඉලක්කම් මගින් මනස තැනිමේ සෙල්ලම තින්දු කරන්නේ ම බලවන්තයන් පිරිසකි. 'අපි' කියන්නේ 'ජනතාව' නම්, දැන් පවා ප්‍රශ්නය තියෙන්නේ ඒ කොන්දේසි අපේ අත ට ගැනිම ය. කොන්දේසි වෙනස් නම් ගේම ම වෙනස් වනු ඇත. ඒත් මම අදහස් කරනුයේ 'මැතිවරණ ක්‍රමය' වෙනස් කිරිම වැනි මතුපිට වෙනස් කිරිම් වර්ගයක් ගැන නොවේ.

    ReplyDelete
    Replies
    1. කොන්දේසි අපේ අතට නිකම්ම එනව මැතිවරණ ක්‍රමය වෙනස් වුනහම. මේ කියන්නෙ කේවළ ක්‍රමයට යන්න කියන එක නොවෙයි. කේවළ ක්‍රමයට වඩා සමානුපාතිකේ හොඳයි.ඒත් මුළු දිස්ත්‍රික්කයක චන්ද කරන්න අමාරු නිසා මැතිවරණ කොට්ටාසයකය විකල්ප කීපයක් දැම්මනම් පක්ෂයට ඡන්දයක් දීල තමන් කැමති විකල්පය ලකුණු කරන්න ඡන්දදායකයට පුළුවන්.
      ඒ වගේම නිර්පාක්ෂික ලැයිස්තුවක් වෙනම ඉදිරිපත් කරන්න පුළුවන් නම් විද්වතුන් වගෙ අය දාල.පක්ෂයෙ නියෝජිතයට අමතරව තව නිර්පාක්ෂික විද්වතෙකුත් තෝරල අරින්න පුළුවන්.
      කොහොමටත් පක්ෂයේ ආධිපත්‍යයෙන් ඡන්දදායකයා බේරන්න ඕන.

      Delete
  8. දේශපාලනයට මගෙත් මනාපයක් නෑ..

    ReplyDelete
    Replies
    1. සමහරු දේශපාලනයට කැමති නෑ. මම නම් කැමතියි. දේශපාලනය ඉතා උතුම් චාරිකාවක් ලෙස ඇක්ටන් සාමිවරයා වරෙක ප්‍රකාශ කළා. දේශපාලනය යනුවෙන් බොහෝ දෙනා දකින්නේ අපේක්ෂකයන් තම ප්‍රතිපත්ති ජනතාවට ඉදිරිපත් කිරීමක් හා ජනතාව තමන් කැමති නියෝජිතයන් පත් කර ගැනීමත් නොවෙයි. පුද්ගල ප්‍රතිරූප වන්දනයයි. ගැලවුම්කාරයො දුප්පතාගෙ හිතවතුන් බිහිවෙන්නෙ ඒ පදනමිනුයි.
      ඡන්දදායකයා දේශපාලන වශයෙන් සවිඥානක විය යුතුයි. එවිට හොඳ ප්‍රතිඵල ලැබෙනවා.

      Delete