Saturday, January 11, 2014

මාක්ස් ගැන කතාවක්

භාවිත අගයක් නැත්නම් හුවමාරු අගයක් ද නැති වී එවැනි භාණ්ඩයක අගයක් නැතැයි කියූ මාක්ස් ඊ ළඟට මුහුණ පෑවේ පාවිච්චියට ගන්නා එක භාණ්ඩයකට ඒ නිසා තවත් භාණ්ඩයකට වඩා වැඩියෙන් අගයක් වෙළඳපොලේ දී ලැබෙන්නේ කෙසේදැයි විමසන්නට. භාණ්ඩ අතර භාවිත වෙනස්කම් තිබිය දී ඒවා අතර පවතින පොදු ස්වභාවයක් සොයන්නට ගත් උත්සාහයේ දී ඔහු එම පොදු ස්වභාවය ලෙස දැක්වූයේ භාණ්ඩයක් නිපදවන්නට වැය කරන ශ්‍රමයයි.

ශ්‍රමය වැඩියෙන් වෙහෙසන භාණ්ඩයක් නිෂ්පාදනය සඳහා වැඩියෙන් අගයක් වෙළඳපොලේ දී ලැබෙන්නේ යයි මාක්ස් සැලකීය. 

අතිරික්ත වටිනාකම (surplus value) හැම විටම පොලිය(interest), කුලිය(rent), සහ ලාබය(profit) යනාදියෙන් දකින්නට හැකියි කියන මාක්ස් ඒවා භාණ්ඩයක් නිපදවන්නට සහභාගී වූ කම්කරුවාගේ ශ්‍රමයේ අතිරික්ත අගය බව දැක්වීය.

මිනිසුන් වෙහෙසන ශ්‍රමයේ ප්‍රමාණයන් මාක්ස් දකින්නේ භාවාත්මක (abstract) ලෙසකටයි.

ඉතින් ඊ ළඟට ඒ ශ්‍රමය මනින්නට ක්‍රමයක් ඔහු සොයන්නට පටන් ගත්තේය.

නමුත්, යම් භාණ්ඩයක් නිපදවන්නට යන කාලය ශ්‍රමය ලෙස සලකන මාක්ස්ට වෙළඳපොලේ එකම කාලයට වෙනස් වේතන ලබමින් ශ්‍රමය වෙහෙසන අය දකින්නට ලැබේ. වලක් කපන්නට පැයක් යන අයට එක පඩියකුත් රෝග විනිශ්චයක් දෙන්නට පැයක් වැය කරන දොස්තරවරයෙකුට වෙනත් ප්‍රමාණයක වේතනයක් ගෙවන බවත් ඔහුට දකින්නට හැකිවේ.

මෙහි දී මාක්ස් සියළු ශ්‍රමය එක හා සමාන ලෙසින් සලකා වලක් කපන අය සපයන්නේ සරල ශ්‍රමය යැයි ද දොස්තරවරයා සපයන්නේ සංකීර්ණ ශ්‍රමය යැයි ද වර්ගීකරණයක් කරන ලදි. සංකීර්ණ නොහොත් කුසලතා ඇති ශ්‍රමය යනු සරල නොහොත් කුසලතා අනවශ්‍ය ශ්‍රමයේ ගුණාකාරයක් පමණක් යැයි ඔහු සලකන ලදි.

මාක්ස්ට අනුව අත්‍යාවශ්‍ය ශ්‍රමය යනු ශ්‍රමිකයාට සහ පවුලට යැපෙන්නට අවශ්‍ය භාණ්ඩය නිපදවන්නට ගන්නා වෑයම පමණකි. එතැනින් එහාට හදන අනෙකුත් භාණ්ඩ නිෂ්පාදනය සඳහා (එවිට නිෂ්පාදන අගයක් බිහිවෙනවා යැයි මාක්ස් සලකන) ශ්‍රමිකයා වැය කරන ශ්‍රමය අතිරික්ත ශ්‍රමයයි.



සූරාකෑම (exploitation) සිද්ධ වෙන්නේ තමන්ට හා පවුලට යැපෙන්නට අවශ්‍ය ප්‍රමාණය ඔබ්බවා යමින් නිෂ්පාදනයේ යෙදෙන්නට ශ්‍රමිකයාට සිද්ධ වීම නිසා බව මාක්ස්ගේ මතයයි.

නිෂ්පාදන ක්‍රම උපකරණ (means of production) ඒවායේ අයිතිකරුවන් අත වූ නිසා ශ්‍රමිකයන්ට සිය ජීවිකාව උපයාගන්නට අයිතිකරුවන් වෙත යන්නට සිද්ධ වූවා යැයි පෙන්වන මාක්ස් කාර්මික විප්ලවයෙන් කම්කරුවා ද නවෝත්පාදනයේ නිෂ්පාදන ක්‍රම උපකරණ බිහිකර ඒවායේ අයිතිය කියන්නට හැකි වූවන් බවට පත්වෙන ආකාරය නොදැක්කේය. ඒ හෙයින් මාක්ස් සිය න්‍යාය ලියන්නේ ශ්‍රමිකයාට ජීවත්වෙන්නට පමණක් හැකිවන සේ ශ්‍රමයට ගෙවන ප්‍රාග්ධන අයිතිය යුතු හිමිකරුවන්, ශ්‍රමිකයාගේ ශ්‍රමයෙන් නිපැදවෙන ඉතිරියෙන් අතිරික්තය අගය ප්‍රාග්ධන හිමිකරුවන් සඳහා තබාගන්නා බවයි. 



මෙම ශ්‍රමයේ අතිරික්ත වටිනාකම න්‍යාය ගොඩනඟද්දී මාක්ස් විසින් යම් නිෂ්පාදන ක්‍රම/උපකරණ වලට අයිතියක් තිබීම පමණක් කිසිම වෙහෙසක් නොගෙන ජීවත්වන්නට හැකියාව ලැබෙන මාර්ගයක් හැටියට සලකයි. වැඩවසම් යුගයේ රදළ පංතියට ඉඩම් හිමිකම, අධ්‍යාපනයට වරම් සහ සෙසු වැසියන් වෙතින් බදු අය කරගන්නට නීතියෙන් අවසර ලැබීම හා වැඩකරන පංතියට ඒ වරප්‍රසාද නොමැතිව අනුන්ට කඹුරන්නට සිද්ධ වීම හැමදා ඒ විදියටම සිද්ධ වේ යැයි මාක්ස් විශ්වාස කළ බවක් පෙනී යයි.

කාර්මික විප්ලවයෙන් වැඩවසම් සමාජය තමනට පවරා ගත් වරප්‍රසාද වෙනසකට භාජනය වෙමින් තිබිය ද, අනුන්ගෙන් මංකොල්ලයට නීතියෙන් අවසර තමන්ට දී ගැනීම යනු ධනවාදී ක්‍රමය හෝ නිදහස් වෙළඳපොල හුවමාරුව නොවන බව විමසීම ඔහු සහමුලින් නොසලකා හැරියේය. 

රදළ හිමියන් සතු නොවෙනස්වන ප්‍රාග්ධනය (constant capital) හි වරදක් නැතැයි කියන මාක්ස් ඊට හේතුව හැටියට නොවෙනස්වන ප්‍රාග්ධනය සේ සැලකෙන භාණ්ඩ මිල දී ගැනීමට ඔවුන් සම්පූර්ණ මිලක් ගෙවා ඇති නිසා යැයි කියයි. ඉතින් ඔහුට අනුව වැරැද්ද ඇත්තේ විචල්‍ය ප්‍රාග්ධනයේය (variable capital). මෙම විචල්‍ය ප්‍රාග්ධනය තමයි ශ්‍රමයේ අතිරික්ත වටිනාකමෙන් බිහිවෙන ලද්ද. එය සාධාරණව බෙදී යන්නට ක්‍රමයක් සෙවීම ඊ ළඟට ඔහු ගන්නා ප්‍රයත්නයයි.

වෙළඳපොලේ විවිධ නිෂ්පාදනයන් මිල දී ගන්නට පාරිභෝගිකයන් ඒවාට විවිධ මිල ගණන් ගෙවද්දී සියළු නිෂ්පාදකයන් විසින් කම්කරුවන්ට එක හා සමාන වේතන ගෙවන බව මාක්ස් දකියි. විචල්‍ය ප්‍රාග්ධනයෙන් වෙනස් ලාබ මට්ටම් උපයන්නට හැකියාව ඇතැයි මාක්ස් ගෙනා න්‍යායෙන් ඔහු මෙහි දී කරන්නේ ආර්ථිකයක සියළු අංශයන් සමස්තයක් ලෙස ගෙන අතිරික්ත අගයේ සාමාන්‍යයක් හැදීමයි. මෙය තව දුරටත් අගයේ පදනම ශ්‍රමය යන්න තහවුරු කරන්නට ඔහු ගන්නා ලද උත්සාහයයි.

වෙළඳපොලේ යම් භාණ්ඩයකට අගයක් ලැබෙන්නේ පාරිභෝගිකයෙක් ඊට අගයක් දෙන නිසා යැයි බොයිම්-බැව්ර්ක් පෙන්වා දුන්න පිළිගන්නට මාක්ස්වාදීන් තවමත් අකමැති වෙති. යමක් මිල දී ගන්නේ හෝ මිල දී නොගෙන සිටින්නේ පාරිභෝගිකයාය. භාණ්ඩයකට අගයක් දෙන්නේ හෝ නොදෙන්නේ පාරිභෝගිකයාය. එය මාක්ස් විශ්වාස කළ ලෙසින් සිද්ධ වන භාවාත්මක ක්‍රියාවක් නොවේ.

ශ්‍රමිකයාගේ ශ්‍රමය ද වෙළඳපොලේ දී භාවාත්මක ලෙසකින් තක්සේරු නොවේ. සුවිශේෂී කුසලතා ඇති සහ එවැනි කුසලතා නැති අය අතර වෙනස වෙළඳපොලේ ශ්‍රමයට ගෙවන වේතනය දිහා බැලීමේ දී පෙනී යයි. වෙළඳපොලේ වැඩි කුසලතා ඇති අයට ඉහළ වේතන ලැබෙන බව මාක්ස් ද දැක්කේය. එහෙත් එසේ සිද්ධ වෙන්නේ මන්දැයි සිය න්‍යායෙන් ඔප්පු කරන්නට ඔහු යොදාගන්නේ ඔහු අභ්‍යුපගමනය (presume) කරන්නයි. මාක්ස්ගේ න්‍යාය කුසලතා නැති ශ්‍රමය කුසලතා ඇති ශ්‍රමය බවට වැඩිකරන (multiply) ආකාරය කෙසේදැයි පෙන්වන්නේ නැත. 

මාක්ස් සම්පූර්ණ ආර්ථිකය දකින්නේ එක ඒකකයක් හැටියට. එහෙත් ආර්ථිකයක් යනු එක ඒකකයක් (single unit) නොවේ. යම් කර්මාන්තයක් උපයන ලාබය/අලාභය අනෙකුත් කර්මාන්ත වලට බලපෑම් සිද්ධ කළ ද යම් කර්මාන්තයක් ලබන ලාබය/අලාභය අනෙකුත් කර්මාන්ත පුරා නිතැතයෙන් බෙදී යන්නේ නැත. මාක්ස් එහි දී ලාබය යන්න වැරදි ලෙසින් භාවිත කරන ලදි.

එසේම ශ්‍රමිකයා යනු නිෂ්පාදකයෙක් සහ පාරිභෝගිකයෙක් යන භූමිකා දෙකේම එකවර නියැළෙන අයෙක් ලෙස ද මාක්ස් නොදැකීය. වැඩවසම් යුගයේ රදළයන් වෙනුවෙන් සියල්ල නිෂ්පාදනය කළ විළිවසා ගන්නට වස්ත්‍ර පවා හරි හැටියකට නොතිබුණ සේවකයන් කාර්මික විප්ලවයෙන් පසු පහසුවෙන් වස්ත්‍ර සඳහා හිමිකම් කියන්නට පටන් ගත්හ. කාර්මික විප්ලවයෙන් පටන් ගෙන, ලොව තවමත් බහුතර නිෂ්පාදනයන් සිද්ධ වෙන්නේ බහුතර ජනතාවක් සඳහාය. සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ අතලොස්සක් වෙනුවෙනි. වැඩි පිරිසක් වෙනුවෙන් නිෂ්පාදනය වූ නිසා ඒ භාණ්ඩ දියුණු වීමත්, මිල අඩුවීමත්, වැඩවසම් යුගයේ සුඛෝපභෝගී භාණ්ඩ ලෙසට සැලකුණ භාණ්ඩ අද සාමාන්‍ය පුරවැසියාගේ පරිභෝජනයට ලැබීමත් සිද්ධ වූවත් තවමත් ශ්‍රමිකයා ද තමන් පරිභෝජනය කරන භාණ්ඩ නිෂ්පාදනයට මෙන්ම පරිභෝජනයට ද දායක වෙන බව දකින්නට පැකිළෙති.

තමන් නිෂ්පාදනයේ මෙන්ම පරිභෝජනයේ ද යෙදෙන බව පිළිගන්නට අකමැති සේ, මාක්ස් මෙන්ම බහුතරයක් ලෝක වාසීන් තවමත් ශ්‍රමිකයා සහ නිෂ්පාදකයා යනු හුවමාරුවක නියැළෙන දෙදෙනෙක් බව දකින්නට පැකිළෙති.

ශ්‍රමිකයා අද වෙහෙසෙන්නේ හෙට දෙන වේතනයෙන් අදට වඩා හොඳ ලෙසකට හෙට දවසේ දී ඔහුගේ ජීවිතය යහපත් කරගන්නට හැකියාවක් ඇතැයි ඔහු විශ්වාස කරන බැවිනි. වෙළඳපොලක දී පාරිභෝගිකයන් භාණ්ඩ වලට අගයක් දී මිල ගණන් තීරණය කරද්දී ලාබය අස්ථායී වූවක් යැයි මාක්ස් නොදැක්කේය. 


ව්‍යාපාරිකයෙකු දිහා මාක්ස්වාදීන් බලන්නේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් බැහැරක සිටින කෙනෙක් දිහා බලන ලෙසකට. පැත්තක ඉඳලා අතිරික්ත වටිනාකම (surplus value) අරගන්න අයෙක් හැටියට. අතිරික්ත වටිනාකම අරගෙන යන මේ ව්‍යාපාරික පරපෝෂිතයන්ව මුලිනුපුටා දැමීමෙන් සමාජවාදී සමාජයක් ගෙන එන්නට හැකි යැයි කියන මාක්ස්වාදීන් වැරදි වනුයේ කාර්මික විප්ලවයෙන් පසුව දකින ව්‍යාපාරිකයාගේ භූමිකාව යනු වැඩවසම් සමාජයේ ස්වාමියා යන භූමිකාවට වෙනස් බව ඔවුන් වටහා නොගැනීම නිසයි.


වැඩවසම් යුගයේ රදළයා යනු නිෂ්පාදන ක්‍රියාවලියෙන් පැත්තක සිටිය හැකි වූ උප්පත්තිය නිසා පමණකින් ඵලදාවට හිමිකම් කියන්නට හැකි වූ අයෙක්. ඔවුන් බදුබර පටවලා තම වත්කම වැඩිකරගත්ත අය. නමුත් වෙළඳපොල ව්‍යාපාරිකයා නම් නිෂ්පාදන ක්‍රියාවලියේ දී ලාබ සහ පාඩු ඇති නැති කරන අවදානම් තීරණ ගත යුතු අයෙක්. සමාජවාදී සමාජයක දී වුවත් ඕනෑම කර්මාන්තයකින් නිෂ්පාදන බිහිකරන්නට නම් එවැනි තීරණ ගත යුතු අයෙක් අවශ්‍යයයි. ආයෝජනයට අවදානම් තීරණ ගැනීම යම් පුද්ගලයෙකු විසින් කළ යුතු භූමිකාවක් යන්න මාක්ස් නොසලකා හැරියෙ ප්‍රාග්ධනය තියෙනවා නම් එයින් නිසැකයෙන්ම වටිනාකමක් උපයන බවක් ඔහු විශ්වාස කළ නිසා.

සමාජවාදී ආර්ථිකයක් විසින් ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ යුත්තේ අවිනිශ්චිත අනාගතය වෙනුවෙන්. තාක්ෂණික සාර්ථකත්වයක් තිබුණ ද අනාගතය යනු හැම විටම ස්වභාවයෙන් ම අවිනිශ්චිත වූවක්. 

මාක්ස්වාදයෙන් speculator සහ petty bourgeois කියා අවනම්බුවට ලක් කළ භූමිකාව යනු ව්‍යාපාරිකයාගේ භූමිකාවයි. ආර්ථික තත්වයන් වෙනස් වෙන ස්වභාවය ලෝක ස්වභාවය නිසා, (ගංවතුර, ඉඩෝර, සුළි සුළං යනාදිය) අනාගතයේ අවිනිශ්චිත තත්වයන් ගැන නිෂ්පාදනය ක්‍රියාවලියේ දී දැන් ගතයුතු තීරණය අවදානම් සහිත වූවක්. එම අවදානම් තීරණ ගෙන නිෂ්පාදනයේ යෙදෙන ව්‍යාපාරිකයා උපයන ලාබය මාක්ස් දෝෂ සහගත වූ ඔප්පු නොකරන ලද න්‍යායක් තුලින් පෙන්වූයේ අතිරික්ත වටිනාකමක් හැටියට.

මාක්ස්වාදය හදාරන්නේ නොමැතිව එය දන්නා ලෙසින් කතා කරන අය නිසා ලාබයක් සෙවීමේ හැකියාව ලොව පැසසුම් ලැබිය යුතු කුසලතාවයක් වෙද්දී ලෝකයා හුරු වී ඇත්තේ ඊට ගරහන්නට. ඉතින් තවත් කොපමණ කාලයක් ලාබ සොයන්නට නොදන්නාකම නිසා කොටසක් මංකොල්ලයෙන් ද තව කොටසක් ණය ආධාර වලින් ද යැපෙමින් සිටිනු ඇත් ද?

No comments:

Post a Comment